සමාජවාදය තුළ පවුල

SHARE

Share on facebook
Share on google
Share on twitter
Share on linkedin

වත්මන් ධනවාදී පවුල “ශුද්ධවූ පවුලක්” නොවන බවත් එය ප්‍රතිවිරෝධතාවයන්ගෙන් හා අර්බුදයන්ගෙන් පිරී තිබෙන බවත් මේ වන විට අප සාකච්ඡා කර තිබේ. එසේ නම් නූතන පවුලේ මෙම අර්බුදයට විසඳුම වන්නේ කුමක්ද? පවුල නැමති ඒකකය අහෝසිකර දැමීමද? පවුල අහෝසිකොට මිනිසුන් හා ගැහැනුන් නිදහසේ අවිචාරවත්ව හැසිරීමද? නැත. සමාජයක් ආපස්සට ගමන්කරන්නේ නැත. මානව වර්ගයාට යළි අතීතයට යාමට නොහැක. අතීතයට යා යුතුද නැත. ඒ වෙනුවට මානව වර්ගයා තවත් පියවරක් ඉදිරියට තබා අනාගතය වෙතට යා යුතුය. පවුලේ අර්බුදයට විසඳුම් ලබාගත යුත්තේ ඒ අනුවය.

දේපළ ක්‍රමයේ වෙනසක් සමග

නුතන පවුලේ ප්‍රතිවිරෝධයත් අර්බුදයත් පවතින්නේ දේපළ පෞද්ගලික වීමත් පෞද්ගලික දේපළ මත සියලු මිනිස් සබඳතා තීරණය කිරීමත් නිසා නම්, දැන් සිදුවිය යුත්තේ ‘පවුල’ පෞද්ගලික දේපළ සබඳතාවන්ගෙන් මුදා ගැනීමය. එහෙත් සමාජය පෞද්ගලික දේපළ මත පවතිද්දී එහි කුඩාම ඒකකය වන පවුල පමණක් ඉන් මුදාගත නොහැක. එබැවින් පෞද්ගලික දේපළ මත පදනම් වූ සමාජය වෙනස් කිරීම පළමු කාර්යය වනු ඇත.
නිෂ්පාදන මාර්ගවල පෞද්ගලික අයිතිය වෙනුවට නිෂ්පාදන මාර්ග හා නිෂ්පාදන මාධ්‍යයන් සමාජමය අයිතියට පත්කරන, නිෂ්පාදන මාධ්‍යයන්ගේ ප්‍රතිලාභ පුද්ගලයන් කීපදෙනෙකුට නොව සමස්ත සමාජයටම සාධාරණ ලෙස බෙදී යන, පරපුරෙන් පරපුරට දේපළ අයිතිය අත්නොවන මිනිසුන්ගේ හා සමාජයේ මූලික අවශ්‍යතා ඉටුකිරීම පෞද්ගලික වගකීමක සිට සමාජීය වගකීමක් දක්වා වෙනස් කරන නව සමාජයකදී එනම් සමාජවාදී සමාජයකදී පවුලේ තත්වය වෙනස් කළ හැකි වේ. පවුල වත්මන් ඛේදවාචකයෙන් මුදාගත හැකි වන්නේ සමාජවාදී සමාජයකදීය.
මේ පිළිබඳව එංගල්ස් සිය කෘතියේ 77වන පිටුවේ මෙසේ සඳහන් කරයි. “මෙතෙක් පැවති ඒක භාර්යා වෘතයේ සහ එහි අතිරේක අංගයක් වන ගණිකා වෘත්තියේ ආර්ථික පදනම් සියල්ලක්ම අහෝසි වන සමාජමය විප්ලවයක් දක්වා අපි ළංවෙමින් සිටිමු. එක් පුද්ගලයෙකු අත අතිවිශාල ධනයක් ඒකරාශි වීම නිසාද, එක් පුද්ගලයෙකු තමාගේ ධනය ඔහුගේ දූ දරුවනට මිස අන් කිසිවෙකුට ලබා නොදීමට අධිෂ්ඨාන කර සිටින නිසාද ඒක භාර්යා වෘතය පැන නැඟිණි. මේ කාර්ය සඳහා ස්ත්‍රියගේ සේවය අවශ්‍ය විය. එහෙත් පුරුෂයාගේ සේවය අවශ්‍ය නොවීය. ස්ත්‍රියගේ ඒක පුරුෂ වෘතය පුරුෂයාගේ ප්‍රසිද්ධ හෝ අප්‍රසිද්ධ හෝ බහු භාර්යා සේවනයට බාධා නොකළ යුතුය. නොදුරු අනාගතයේදී එන සමාජමය විප්ලවය නිෂ්පාදනය කිරීමේ මාධ්‍යයන් වන, උරුමය අනුව ලැබිය හැකි නිත්‍ය ධනයේ විශාල කොටසක් සමාජමය වස්තුව බවට හැරවීමෙන්, උරුමය විසින් ලැබිය හැකි වස්තුව අවම ප්‍රමාණයක් දක්වා පහත දමනු ඇත. ඒක භාර්යා වෘතය පැන නැඟුනේ ආර්ථික හේතු නිසා නම්, එම හේතූන් අහෝසි වන විට එයත් අතුරුදහන් වන්නේ ද?
යම්කිසිවෙකු මෙසේ පිළිතුරු දුනහොත් එය අසාධාරණ නොවේ. එය අතුරුදහන් වනවා කෙසේ වුවද, නියම ලෙස ක්‍රියාවේ යෙදවීමට පටන් ගන්නේ එවිට පමණකි. නිෂ්පාදන මාධ්‍යයන් සමාජමය සන්තක වන විට වැටුප් ශ්‍රමයද, නිර්ධන පංතියද, ඒ සමගම සංඛ්‍යා ලේඛන වශයෙන් ගණන් ගත හැකි, මුදලට යටවන ස්ත්‍රීන් සංඛ්‍යාවද අතුරුදහන් වනු ඇත. ගණිකා වෘත්තිය අතුරුදහන් වෙයි. ඒක භාර්යා වෘතය පහත වැටෙනවා වෙනුවට අවසානයේදී පුරුෂයාට බලපාන සත්‍යයක් බවට පෙරළෙන්නේය.”

දේපළ වෙනුවට ආදරය


වත්මන් පවුලේ බැඳීමේ පදනම තුළ පවතින්නේ දේපළය. ආදරය යන මානුෂීය බැඳීම පවතින්නේ ඒ මතය; ඊට යටත්වය. එහෙත් පවුලක් ප්‍රතිවිරෝධවලින් තොර නිදහස් පවුලක් වේ නම්, ස්ත්‍රිය හා පුරුෂයෙකු පවුලක් ලෙස එකට එකතු වීමේදී බලපාන පදනම් සාධකය, එනම් ප්‍රධාන හා එකම සාධකය විය යුත්තේ ඔවුනොවුන් අතර ඇතිවන ආදරය හෙවත් අන්‍යෝන්‍ය කැමැත්ත හා බැඳීම මත පමණක් නම්, වෙනත් සාධක නිසා නොවේ නම්, එම පවුල සැබෑ ලෙසම නිදහස් පවුලක් වේ. එවැනි පවුලක් නිර්මාණය කළ හැක්කේ පෞද්ගලික දේපළ සබඳතා වෙනුවට සමාජයීය දේපළ සබඳතාත් ඊට ගැලපෙන ඊට අනුරූපී ආචාර ධර්ම හා සදාචාරයන්ද, මතවාදයක්ද පවතින සමාජ ක්‍රමයකය. එය සිදුකළ හැක්කේ සමාජවාදයටය.
ස්ත්‍රී-පුරුෂ සමානත්වය සැබෑ ලෙසම පවතින්නේ නම් පුරුෂයාට මෙන්ම ස්ත්‍රියටද ස්වාධීන ආර්ථික ශක්තියක් හෙවත් යැපීමේ මාර්ගයක් (රැකියාවක්) සහතිකවී තිබේ නම්, නිවසක් ලබා ගැනීම, දරුවන්ට ඉගැන්වීම, ගමනාගමනය, ලෙඩට බෙහෙත් ගැනීම තවදුරටත් පෞද්ගලික බරක් නොව සමාජයෙන් අනිවාර්යයෙන් ලැබෙන සේවාවක්ව තිබේ නම්, ආර්ථික හේතු මත, අනාගතය ගැන ඇති බිය නිසා පිරිමියෙක්ට යටත් වීමට ගැහැනියකට අවශ්‍ය නොවේ. එසේම තම කාර්යයන් සඳහා ගැහැනියකගේ ‘සේවය’ ලබා ගැනීමට පිරිමියෙකුට අවශ්‍ය නොවේ. එවිට පවුලක් ලෙස එක්ව ජීවත්වීමට අවශ්‍ය වන්නේ එකිනෙකාට ඇති කැමැත්ත, ඇල්ම හා ආදරයයි.
ආදරය පිළිබඳව පවා වර්තමානයේ ඇති ඊර්ෂ්‍යාවෙන් පිරුණු පෞද්ගලිකව අත්පත් කර ගැනීමේ මනෝභාවය වෙනුවට නිදහස් ලෙස සිතීමේ, එකිනෙකාට ගරු කිරීමේ මනෝභාවයක් ඇති වන අතර, එයද පවුලේ පැවැත්වමට බලපායි.
හැම කෙනෙකුටම නිදහසේ හා නොමිලේ අධ්‍යාපනය ලැබේ නම්, අධ්‍යාපනය අවසන් කළ විට රැකියාවක් තිබේ නම්, විවාහ ජීවිතයක් ගතකරමින් වුවද අධ්‍යාපනය ලැබීමට හැකි නම්, ඒ සඳහා සමාජ රැකවරණය තිබේ නම්, ළමයින් බලා ගැනීම හා උයාපිහා ගැනීම වැනි කටයුතු තවදුරටත් පෞද්ගලික කරදරයක් නොවී, සමාජමය සේවාවක් දක්වා වර්ධනය වී තිබේ නම්, ඉහත හේතු මත විවාහය කල් දමමින් පීඩාවෙන් සිටින හෝ විවාහය තුළ විඩාවට පත්වන තරුණ තරුණියන් අපට හමුවන්නේ නැත. ඔවුන් ‘නිසි කල’ එළඹුන විට ආදරය කරනු ඇත. විවාහ වෙනු ඇත. දියුණු අධ්‍යාපනික අවබෝධය තුළ දරුවන් හැදීම ඔවුන්ගේ කැමැත්ත හා තීරණය මත සිදුවනු ඇත. යම්හෙයකින් ඔවුනට එක්ව සිටීමට නොහැකි තත්වයන් වුවහොත් ඔවුන් දෙදෙනාම සමාදානයෙන් වෙන්වෙනු ඇත. එවැනි සමාජයක පවුල අර්බුද පිරුණු ඒකකයක් වන්නේ නැත.

ආකල්පමය වෙනසක්

සමාජවාදය තුළදී භෞතිකව දේපළ සබඳතා වෙනස් වන විට පෞද්ගලිකත්වය වෙනුවට සාමූහිකත්වය හා සමාජමය ස්වභාවය ආදේශ වන විට ඊට අනුරූපීව සමාජයේ ආකල්පමය වෙනසක්ද ඇතිවේ. සමාජවාදය තුළ පවුල අත්කර ගන්නා උසස් වර්ධනය පිළිබඳ අප පවසන දේ ධනවාදය තුළ ජීවත්වන අයෙකුට සුරංගනා කථාවක් සේ පෙනෙනු ඇත. නැතිනම් එලෙස සිදුවිය නොහැකි යයි සිතෙනු ඇත. ඒ, ඔහු ධනවාදය තුළ පවතින ආකල්පවලින් සිතන බැවිනි. එහෙත් නව සමාජයේදී මිනිසුන්ගේ ආකල්පවලද විශාල වෙනසක් ඇති වේ. මිනිසුන් වටිනාකම් ලෙස භෞතික දේවල් වෙනුවට ප්‍රසිද්ධිය, කීර්තිය වැනි දේ සලකනවා වෙනුවට මානව ගුණාංග වටිනාකම් ලෙස සැලකීමට පුරුදු වේ. මිනිසුන් තුළ පෞද්ගලිකව අත්පත්කර ගැනීමේ වුවමනාව වෙනුවට සමාජය වෙනුවෙන් කටයුතු කිරීමේ වුවමනාව වර්ධනය වේ. එවැනි ආකල්ප සහිත සමාජයකදී ‘පවුල’ එතෙක් තිබූ සියලු දුර්ගුණයන්ගෙන් මිදෙනු ඇත.
දරුවන් දෙමාපියන්ට බරක් නොවන (ඔවුන් රැකබලා ගැනීම සමාජ වගකීමක් නිසා) දෙමාපියන් දරුවන්ට බරක් නොවන, දරුවන් වෙනුවෙන් දේපළ ඉපැයීමේ පීඩාවෙන් දෙමාපියන් මිදුණු, විවාහවීම සඳහා දෑවැදි හෝ වෙනත් වටිනාකම් නොඉල්ලන, අසරණ වීමේ, තනිවීමේ, ගෙදරටම බරක් වීමේ අවදානමින් මිදීමට විවාහවීමේ වුවමනාව අහෝසි වූ සමාජයක, මානව වටිනාකම්වලට ගරුකරන, කිසිවෙකු විසින් තවකෙකු යටත් කර ගැනීමේ මානසිකත්වයක් නැති සමාජයක පවුල මෙන්ම සියලු දෙනා කොතරම් සතුටින් සිටිනු ඇතිද? එබැවින් පවුලේ අර්බුදයට විසඳුම වන්නේ, පවුලේ ධනේශ්වර සබඳතා වෙනස්වී සමාජීය සබඳතා ඇති පවුලක් බවට වත්මන් පවුල පත්වීමය. එවිට නූතන පවුල හා බැඳී තිබූ ගණිකා වෘත්තියද අනියම් සබඳතාද සියල්ල ක්‍රමයෙන් අහෝසි වී යනු ඇත. විවාහය යනු එක් පාර්ශ්වයක් විසින් තවත් පාර්ශ්වයක් යටපත් කර ගැනීමේ, මිලදී ගැනීමේ, විකිණීමට ලක්වීමේ කරුණක සිට පාර්ශ්වයන් දෙකක් අතර, ඇතිවන අවබෝධයක් බවට සමානතා පදනම මත ඇති වන සම්මුතියක් බවට පත්වේ. මෙය එක රැයකින් සිදුවේ යැයි සිතිය යුතු නැත. එහෙත් සමාජවාදය තුළදී දේපළ සාමූහික කරමින් සමාජමය සබඳතා ශක්තිමත් කරන ප්‍රමාණයට සමානුපාතිකව පවුලේ තත්වයද වෙනස් වෙමින් උසස් වෙමින් සැබෑ ලෙසම පෞද්ගලික ලිංගික ආලය හෙවත් ආදරය මත බැඳුණු පවුලක් නිර්මාණය වේ. ඒ සඳහා නව සමාජය තුළ නව මිනිසෙක් නිර්මාණය වීම අවශ්‍ය වේ.
සමාජවාදය තුළ පවුල අත්කර ගන්නා වෙනස්කම් පිළිබඳ ධනපති මතවාදීන් විසින් පතුරුවන මිථ්‍යාවන් හා වැරදි තර්කයන්ද තිබේ. ඒවාද නිරවුල් කර ගනිමින් පවුලේ විකාශනය පිළිබඳ ලිපි මාලාවේ අවසන් ලිපියෙන් මීළඟ කලාපයේදී හමුවෙමු.

සමාජවාදය තුළ පවුල