ඉඩම් හිමි රදලයා හා ‘ඉඩමක් හිමි’ වහලා

SHARE

Share on facebook
Share on google
Share on twitter
Share on linkedin

සූරාකෑමේ මාධ්‍ය ලෙස වහලා වෙනුවට ඉඩම ආදේශ වී නව සමාජ ආර්ථික රටාවක් ගොඩනැගුණු බවත් එම සමාජ ආර්ථික රටාව බිහිවීම සඳහා වහලුන් විසින් ගෙන ගිය අරගලය කෙතරම් බලපෑමක් කළේද යන්නත් පිළිබදව අපි සාකච්ඡා කළෙමු.

ඉඩමේ බිහිවීම

ඉහතින් අප සාකච්ඡා කළ වහල් හිමි සමාජයේ නිෂ්පාදන සම්බන්ධතාව තීරණය වූයේ, වහලුන් සහ වහල් හිමියන් අතරය. මෙහි සූරාකෑමේ මාධ්‍ය වහලා ලෙස හඳුන්වනු ලැබූ අතර එම සමාජය තුළදීම ඇතැම් ප්‍රභූවරුන්, බලවත් පුද්ගලයින් තමන් යටතේ සිටින සේවකයන් ඉඩම්වල සේවයට යොදවා ඉඩම සූරාකෑමේ මාධ්‍ය බවට පත්වන සමාජයට මූලාරම්භයක් සැපයූ බව ඉතිහාසයේ සඳහන් වේ. එනම් වහල් හිමි සමාජය තුළදීම මීළඟට බිහිවන නව සමාජයේ කළල බීජ හට ගනිමින් තිබූ බව අපට පෙනී යයි. මෙය එක දිනකින් හෝ දින කිහිපයකින් සිදු වූවක් නොවන අතර වහල් හිමි සමාජයේ සිටි දේපළ සහිත කොටස් සැලසුම් සහගතව නව සමාජ ආර්ථික ව්‍යුහයක් ඇති කළාද නොවේ. පීඩනයට එරෙහි වහලුන්ගේ අරගලත්, නිෂ්පාදන උපකරණයන්හි වර්ධනයත් මූලික වශයෙන් නව නිෂ්පාදන සම්බන්ධතාවයක් සඳහා සමාජය තල්ලු කළ බව පෙනේ. මෙම නව නිෂ්පාදන රටාව හිමි සමාජ ක්‍රමය වැඩවසම් සමාජ ක්‍රමය ලෙස හඳුන්වනු ලබන අතර ඉඩම් හිමියන් සහ ප්‍රවේණි දාසයන් වශයෙන් මූලික පංති බෙදීමක් මෙහි දක්නට ලැබේ.

ක්‍රමයේ රඟ

ඉඩම් හිමියන් සහ ප්‍රවේණි දාසයන් වශයෙන් මුලික පංති බෙදීම සිදු වුවත් එය ක්‍රියාත්මක වීමේදී එහි පෙනුම විවිධ රටවල විවිධ ආකාරයෙන් ක්‍රියාත්මක වී තිබේ. එනිසා ඉතිහාසඥයන් වැඩවසම් ක්‍රමය සඳහා විවිධ අර්ථකථන දී ඇත. ස්ටබ්ස් නැමැති ඉතිහාසඥයාට අනුව වැඩවසම් ක්‍රමය යනු රජුගේ සිට ප්‍රවේණි දාසයන් (පහළ මට්ටමේ ඉඩම් හිමියා) දක්වා සියලු දෙනාම ඉඩම් භුක්තිය වෙනුවෙන් ඉටු කරන වගකීම් සමුදාය සමඟ බැදී තිබෙන සමාජ සංවිධානයකි.
සරලව වැඩවසම් ක්‍රමය තුළ නිෂ්පාදනය පදනම් කර ගනිමින් සමාජය සංවිධානය වී තිබූ ආකාරය මෙසේ තේරුම් ගත හැක. රජු රාජ්‍යයේ ප්‍රධානියා වූ අතර සියලු ඉඩම්වල හිමිකාරිත්වය ඔහුට පැවරුණි. රාජ්‍ය තුළ තිබෙන සියලු ඉඩම් කොටස්වලට බෙදූ පසු එයින් ප්‍රධාන කොටස් කිහිපයක් රජු විසින් තම බාරයේ රඳවා ගන්නා ලද අතර ඉතිරි කොටස් ප්‍රභූන් අතර බෙදා දෙන ලදී. එසේම ප්‍රභූන්ට ඉඩම් ලබාදීමේ ප්‍රධාන කොන්දේසියක් වූයේ, ඔවුන් රජුට අතිශයින්ම පක්ෂපාතී වීමත් රජුට අවශ්‍ය වූ විටක යුද කටයුතු සඳහා හමුදාවක් සැපයීමට බැඳී සිටීමත්ය. (එකල ප්‍රභූවරුන් සතුවද වෙනම හමුදාවක් පැවතුණි.) මෙසේ රජුගෙන් ප්‍රභූන්ට ලබා දෙන ලද ඉඩම් කොටස් ප්‍රවේණිය වශයෙන් හැදින්වුණි. ප්‍රභූන්ද තම ප්‍රවේණිය කොටස් කර තමාගේ යටත් පිරිසකට බෙදා හැරි අතර ඔවුන්ටද ප්‍රභූන්ට ගරු බුහුමන් දැක්වීමටත් සේවය කිරීමටත් සිදු විය. මෙසේ ඉඩම් කොටස් බෙදා හැරීමේ ක්‍රියාවලියේ අන්තිම පුරුක වූයේ ප්‍රවේණි දාසයාය. ඔහුට ඉතා කුඩා ඉඩම් කැබැල්ලක් ලැබුණි.
මේ ආකාරයට පල්ලියටද ඉඩම් ලැබුණු අතර රජුගෙන් ප්‍රභූන්ට ඉඩම් ලැබෙනවාට සමාන්තරව පල්ලි සංවිධාන යටතේ ඉඩම් ලැබුණේ බිෂොප්වරයෙකුටය. ප්‍රවේණි දාසයාගේ ආධ්‍යාත්මික අවශ්‍යතාවයන් ඉටු කරන ලද්දේ පල්ලිය විසිනි. වෙනත් වචනයෙන් කිවහොත් ඉඩම් හිමි ප්‍රභූ පංතියට අවශ්‍ය ආකාරයට ප්‍රවේණි දාසයන් අවනත කර තබා ගැනීමට අවශ්‍ය මතවාදය සැපයීම පල්ලිය මගින් සිදු කරන ලදී. මෙමගින් සිදුවූයේ පල්ලියේ බිෂොප්වරුන්ද ඉඩම් හිමි පංතියට අයත් වීමයි.

ඉඩම් හිමි රදළයා හා ඉඩමක් හිමි දාසයා

ප්‍රවේණි දාසයා තමන්ට ලැබූ ඉඩම් කැබැල්ලේ වගා කළ යුතු වූවාක් මෙන්ම ප්‍රභූවරයාගේ, වංශාධිපතිවරයාගේ හෝ බිෂොප්ගේ ඉඩමෙහි අවම වශයෙන් සතියකට දින 03ක් වත් කිසිදු අය කිරීමකින් තොරව වගා කටයුතු කළ යුතු විය. එසේම තමන්ගේ ඉඩම් කැබැල්ලෙන්ද ලැබෙන නිෂ්පාදනයෙන් කොටසක් වංශාධිපතියාට හෝ ප්‍රභූවරයාට දිය යුතු විය. තත්වය මෙසේ වුවත් තම ඉඩම අතහැර වෙනත් විකල්පයක් සොයා ගැනීමට ඔහුට අවස්ථාවක් නොවීය. එහෙත් වහල් හිමි සමාජයේ වහලාට සාපේක්ෂව ප්‍රවේණි දාසයාගේ තත්වය යම් ඉහළ මට්ටමක විය. වහලාට තමන්ට කියා කිසිවක් නොමැති වුවද ප්‍රවේණි දාසයාට පෞද්ගලිකව පරිහරණ කිරීමට ඉඩම් කැබැල්ලක් ලැබුණි. මේ තත්වය වහල් යුගයට වඩා යම් ප්‍රමාණයකට නිෂ්පාදනය වැඩි කිරීමට ඉවහල් විය.

“නව සමාජයේ නිෂ්පාදන සම්බන්ධතා ඉඩම් හිමි රදළ පංතියත් ප්‍රවේණි දාස පංතියත් අතර තීරණය විය. ප්‍රවේණි දාසයා ස්වකීය රදලයාගේ ඉඩම්හි අනිවාර්යයයෙන්ම වැඩ කළ යුතු විය. ඔහු ඉඩමට බැද තුබූ වහලක විය. තම ස්වාමියා අතහැර පලායාමට නිදහසක් ඔහු සතු නොවීය. එසේ වුවත් රදලයාට කරන ලද සේවයට ගෙවීමක් වශයෙන් ප්‍රවේණි දාසයා ඔහුගේ පෞද්ගලික පරිභෝජනයට ඉඩම් කැබැල්ලක් ලබා ගති. එම නිසා වහල් සමාජයේ වහලාගේ තත්වයට වඩා ප්‍රවේණි දාසයාගේ තත්වය බෙහෙවින්ම යහපත් විය. මීට අමතරව තම රදලයාගේ ආරක්ෂාවද ප්‍රවේණි දාසයාට හිමි විය. නිෂ්පාදන සම්බන්ධතාවල ඇති වූ මේ වෙනස නිෂ්පාදන බලවේගයන්ගේ වර්ධනයට හේතු විය.නිෂ්පාදකයාට ( ප්‍රවේණි දාසයාට) තම ශ්‍රමයේ කිසියම් ප්‍රතිලාභයක් හිමි විය. එහෙත් වහල් යුගයේදී වහලාගේ ශ්‍රමයේ සම්පූර්ණ ප්‍රතිලාභය වහල් හිමියා විසින් සූරාගත් ආකාරය අපි දුටු වෙමු. එම නිසා ප්‍රවේණි දාසයා තම ශ්‍රමයේ කාර්යක්ෂමතාවය වැඩි දියුණු කිරීමට හේතුවන මෙවලම් හොදින් රැක බලා ගත්තේය. වසරකට කන්න දෙක තුනක් ධාන්‍ය වගා කිරීමත් ,භූමිය පොහොර යොදා සරු කිරීමටත් පෙළඹුණි. මෙහි ප්‍රතිඵලය වූයේ කෘෂිකාර්මින නිෂ්පාදනය ඉතා වේගයෙන් වර්ධනය වීමයි. ඒ සමගම ශිල්ප ශ්‍රේණි ක්‍රම යටතේ සුලු පරිමාණික කාර්මික සහ කාර්මික වර්ධනය කෙරෙහි බලපෑවාවූ නව සොයා ගැනීම් රාශියක්ම මේ යුගයේදි ඇති විය. මාලිමා යන්ත්‍රය, දුර දක්නය, වෙඩි බෙහෙත්, කඩදාසි සහ මුද්‍රණ යන්ත්‍රය මෙම සොයාගැනීම් අතුරෙන් ප්‍රධාන ඒවා වූ අතර සුළගින් සහ ජලයෙන් ක්‍රියාත්මක වන බල මෝල් (ඡදඇර ඵසකකි ) සොයා ගැනීම නිසා නිෂ්පාදන උපක්‍රමයේ විශාල වර්ධනයක් ඇතිවිය.”

දේශපාලන චින්තනයේ ඉතිහාසය- පිට-156- එස් දයා ප්‍රනාන්දු

යුගයක නිමාව

කෘෂිකර්මාන්තයට අමතරව 18 වැනි සියවසේදී පමණ මිනිසා සිය දෑතින් නිම කල නිෂ්පාදනයන් යන්ත්‍ර සූත්‍ර මගින් විශාල පරිමාණයෙන් නිෂ්පාදනය කිරීමට පෙළඹීම (මෙය කාර්මික විප්ලවය ලෙසද හඳුන්වනු ලබයි) හේතුවෙන් කාර්මික නිෂ්පාදනයේ ගුණාත්මක පිම්මක් අත්පත් කර ගන්නා ලදී. එහෙත් පැවති වැඩවසම් නිෂ්පාදන සම්බන්ධතා නිෂ්පාදනයට ආශිර්වාදයක් නොව බාධාවක් විය. අනෙක් අතින් ප්‍රවේණි දාසයන් හට ඉඩම් හිමියන් ගෙන් එල්ලවන පීඩනයත් ,නැගීගෙන එන ධනපති පංතියට රාජාණ්ඩුවෙන් මෙන්ම ඉඩම් හිමියන් ගෙන් එල්ලවන පීඩනයත් හමුවේ තව දුරටත් වැඩවසම් ක්‍රමයේ පැවැත්ම නිෂ්පාදන බලවේගයන්ගේ සංවර්ධනයට බාධාවක්ම විය. මේ තත්වයන් හමුවේ 14 වන ශතවර්ෂයේ සිට 18 වන ශතවර්ෂය දක්වා කාල සීමාව තුල යුරෝපයේ ගොවි කැරළි , ධනපති පංතියේ නායකත්වය යටතේ ප්‍රවේණි දාසයන් සිය විමුක්තිය උදා කර ගැනීම සඳහා දියත් කල සටන් ආදියෙන් ඉතිහාසය සමන්විත වි ඇත.

“ධනපති පංතිය ආධිපත්‍යය ලැබූ හැම තැනෙකම,සියලු රදළවාදී,පීතෘ මූලික, පරමාදර්ශී (චාන් ගැමි ජීවිත ) සබඳකම් විනාශ කළේය. “ ස්භාවික ස්වාමිවරුන්ට ” මිනිසා බැද තිබුණු අනෙක් විද රදළවාදී බන්ධනයන් අනුකම්පා විරහිත ලෙස සිඳ බිඳ දැමූ ධනපති පංතිය, මිනිහකු හා මිනිහකු අතර නග්න ස්වාර්ථකාමය හැර,අනුකම්පා විරහිත ලෙස “ මුදල් ගෙවීම හැර ” වෙනත් කිසිඳු සම්බන්ධතාවක් ඉතිරි නොකළේය. ” –

කොම්යුනිස්ට් ප්‍රකාශණය

වැඩවසම් සමාජ ක්‍රමය බිද හෙළීමට අප ඉහතින් සඳහන් කළ ආකාරයේ සටන් ගණනාවක් ඇති විය. අප ලබන කලාපයෙන් එම අරගල පිළිබදව සාකච්ඡාවක් ගොඩ නගමු.

ඉඩම් හිමි රදලයා හා ‘ඉඩමක් හිමි’ වහලා