වහල් යුගය අවසන් කළ කැරලි

SHARE

Share on facebook
Share on google
Share on twitter
Share on linkedin

පසුගිය කලාපයෙන් වහල් හිමි සමාජයේ බිහිවීම සහ ඔවුන් පිළිබඳව එම සමාජයේ තිබූ ආකල්ප පිළිබදව අප සාකච්ඡා කළෙමු. වහලා යනු සූරාකෑමේ මාධ්‍යය විය. උපකරණවල ප්‍රාථමික ස්වභාවය නිසාම නිෂ්පාදන ක්‍රියාවලිය පවත්වාගෙන යෑම සඳහා වහලා මත අධික පීඩනයක් මුදා හැරීම අනිවාර්ය වූවාසේ එම පීඩනයට එරෙහි වහලුන්ගේ ක්‍රියාකාරිත්වයත් අනිවාර්යය විය. ඉතිහාස වෙත අවධානය යොමු කළ විට එවන් වහල් සටන් පිළිබද යම් කිසි අවබෝධයක් අපට ලබා ගත හැක. වහල් හිමි සමාජය වෙනස් කිරීමටද එම කැරලි බලපෑ බව පෙන්වාදිය හැක. ඉතිහාසයේ සිදුවූ එම කැරැලි පිළිබදව මඳක් අවධානය යොමු කරමු.
එක දිනකින් හෝ දින කිහිපයක් තුළ වහල්ලු තම හාම්පුතුන්ට එරෙහිව කැරැලි ගසා වහල් හිමි සමාජය වෙනස් කළේයැයි සිතුවහොත් අප නිවැරදි නොවේ. ඉතිහාසය අධ්‍යනයේදී පෙනී යන්නේ වහල් කැරලි වරින් වර ඇති වී ඇති බවත් එවා වසර ගණන් දිග්ගැස්සී ඇති බවත්ය.
ඉතිහාස ගත තොරතුරු අනුව ක්‍රි.පූ. 198 කාලයේ සිටම වරින් වර වහල් කැරලි හට ගෙන ඇත. ඉන් මහා පරිමාණ ආකාරයෙන් වහලුන් සම්බන්ධ වූ ප්‍රධාන කැරලි තුනක් පිළිබඳව කියවේ. මෙම කැරලි තුනම හටගෙන ඇත්තේ රෝම අධිරාජ්‍යයට එරෙහිවය.
රෝම පාලනය තුළ මෙවැනි කැරලි ඇති වීමට බලපෑ මූලික කාරණා පිළිබඳව මදක් අවධානය යොමු කරමු. රෝමයේ වහල් සේවය ක්‍රි.පූ. 5 වන සියවසටත් පෙර පැවති බවට සාධක තිබේ. ණය නොගෙවන පුද්ගලයන් වහල් සේවයට බඳවා ගැනීමට හැකියාවක් පැවති අතර ක්‍රි.පූ. තුන්වන සියවසේ පටන් රෝම අධිරාජ්‍යයා විසින් ලබා ගත් යුධ ජයග්‍රහණ හේතුවෙන් විශාල වශයෙන් රෝමයට වහල් පිරිස් රැගෙන එන ලදී. මයිකල් ග්‍රැන්ට් නම් ඉතිහාසඥයාට අනුව ඔගස්ටස් අධිරාජ්‍යයාගේ පාලන කාලයේදී ඉතාලියේ සිටි මුළු වහලුන් සංඛ්‍යාව විසි ලක්ෂයකට වඩා වැඩි වන්නට ඇතැයි විශ්වාස කෙරේ.

සටන් වදින වහලුන්

වහලුන්ගේ අතිරික්තය නිසාවෙන් තමන්ගේ ඉතා කුඩා අවශ්‍යතාවයක් පවා වහලුන් ලවා ඉටු කරවා ගැනීමට රෝමන්වරු පෙළඹී සිටියෝය. කර්මාන්තයන්හි සහ ගෙවතුවල කාර්යයන් සඳහා යොදා ගන්නවාට අමතරව තම විනෝදය වෙනුවෙන් ඔවුන් යොදවා ගැනීමටද රෝමන්වරු කටයුතු කළහ. එකල රෝමයේ ප්‍රභූන් අතර ප්‍රධාන විනෝදාංශයක් වී තිබුණේ වහල් මල්ලවයන් (ඨක්ාස්එදර) අතර සටන් නැරඹීමයි. මල්ලවයන් දෙදෙනෙකුගේ හෝ කිහිපදෙනෙකු අතර නැතිනම් සතුන් සහ මල්ලවයන් අතර “ඇරීනාව” නමින් නම් කරන ලද භූමියෙහි සටන්වලට යොදවා වහලුන් සංහාරයට ලක් කිරීම එම විනෝදාංශය විය.

“වහල් මල්ලවයන් පිළිබද රෝම ඉතිහාසයේ ලියවී ඇති දේ බොහෝය. ඔගස්ටස් සීසර්, මාර්කස් ඖරේලියස්, ටයිටස් හා ට්‍රාජන් වැනි පාලකයින් මෙම සටන් සඳහා විශේෂ කැමැත්තක් දැක්වූ බව පෙනේ. ඔගස්ටස් සීසර් වරෙක දින හැට හයක් පුරා වහල් මල්ලවයින් දස දහසක් දෙනෙකුන් අතර සටන් පැවැත්වූ බව සඳහන් වේ. මාර්කස් ඖරේලියස් පුරා දින 135ක් එවන් සටන් පවත්වා ඇති අතර ටයිටස් තම උපන් දිනය සමරනු වස් දින 100ක් එක දිගට ඇරීනාවේ මිනිස් පොර පැවැත්වීය. ට්‍රාජන් නම් රෝමානු පාලකයා ඇරීනාවේ මිනිස් පොර මහා පරිමාණයෙන් පැවැත්වූ කැපී පෙනෙන තැනැත්තෙකි. මාස හතරක් පුරා මිනිසුන් දසදහසක් හා සතුන් දස දහසක් පමණ යොදවා ඔහු විසින් සටන් පැවැත්වූ බව කියවේ. ඔහුගේ පාලන කාලය තුළ (ක්‍රි.පූ. 106-114 ) වහල් මල්ලවයින් 23,000ක් පමණ සටන් සඳහා යෙදවුණු බව සඳහන් වේ.”

ස්පාටකස් – පරිවර්තනය -සුදත් බණ්ඩාර

මෙවන් වටපිටාවක් තුළ රෝම අධිරාජ්‍යයේ කැපුවා, රෝමය, සිසිලිය වැනි පෙදෙස්වල වහලුන් සටන් සඳහා පුහුණු කිරීමට සටන් පාසැල්ද ඇති කර තිබු බවට ඉතිහාසය සාක්ෂි දරයි.

“රෝම සමූහාණ්ඩු යුගයේදි වහලුන්ට සලකන ලදදේ ඉතාමත් ක්‍රෑර අන්දමටය. ඇසිරියන්වරු හැරෙන්නට රෝම වහල් හිමියන් තරම් සිත්පිත් නැති ක්‍රෑරකම් කළ වෙනත් පැරණි ප්‍රජාවක් දක්නට නැති තරම්ය. මෙලෙස වධ හිංසාවන්ට ගොදුරු වූවෝ විශාල ගොවිපළවල සහ වතුවල පිහිටි මහා මඩම්වල හෝ ගාල් කඳවුරුවල සිරවී දිවි ගෙවූහ. ඉවසිය නොහැකි තරම් අපවිත්‍ර පරිසරයකින් යුක්ත වූ ආකරවල සමහරු වැඩ කළහ. ආකරවල වැඩ කළ වහලුන්ගේ සොහොන් කොත්වල ලියැවී ඇති ශෝක ජනක පාඨවලින් ඔවුන් සතුව තිබුණු දුක්බර ජීවිතය පිළිමිඹු වෙයි.”

රෝම ශිෂ්ටාචාරය – ඇකිරියගල ඒකනායක

වැඩ ගන්නවාට අමතරව ඔවුන් කෙළිබඩු ලෙස යොදා ගැනීම හේතුවෙන් වහලුන් සහ වහල් හිමියන් අතර ප්‍රතිවිරෝධය තීව්‍ර වූ අතරම වහල් හිමියන් සිතා සිටියේ තමන්ට අයිති සෑම වහලෙක්ම තමන්ගේ සතුරෙකු ලෙසය. කිසියම්ම මෙහොතක හෝ ඔවුන්ගේ ප්‍රහාරයක් එල්ල වේ දෝ නොවේදෝ යන අවිනිශ්චිත සිතිවිල්ල විසින් ඔවුන් තුළ දෙගිඩියාවක් මතු කෙරිණි.
වහලුන් හා වහල් හිමියන් අතර ප්‍රතිවිරෝධය කෙමෙන් වැඩිවෙද්දි සටන් පුහුණු පාසැල්වලින් ආයුධ පුහුණුව ලද වහල් මල්ලවයන්ද බිහි කිරීම ගින්නට පිදුරු දැමීමක් හා සමාන විය.

පළමු ගිනි පුපුර

මේ ආකාරයේ පළමු ගිනි පුපුර වන්නේ ක්‍රි.පූ. 135 දි පමණ සිසිලියන් දූපත්හි වතු යායවල් ආශ්‍රිතව පැන නැගි වහල් කැරැල්ලය. මෙම කැරැල්ලට නායකත්වය දෙනු ලැබුවේ ෑමබි මෙම නම් වහලා වන අතර ක්‍කැදබ නම් වහලා වහල් හමුදාවට නායකත්වය දෙන ලදී. ප්‍රමාණවත් ආහාර සහ ඇඳුම් ලබා නොදීම මෙම කැරැල්ලට ආසන්නම හේතුව වූ අතර ක්‍රි.පූ. 135- 132 දක්වා කාල පරාසයක් තුල මෙම කැරැල්ල විහිදුණි. අවසානයේදී රෝමයේ සිට සිසිලිය වෙත පැමිණි රෝම හමුදාව විසින් මෙම කැරැල්ල මැඩ පවත්වන ලදී.
රෝම අධිරාජ්‍යයට එරෙහි දෙවන කැරැල්ල හට ගනු ලබන්නේද සිසිලියානු දූපත් ආශ්‍රිතවය. ක්‍රි.පූ. 104දී පමණ ආරම්භ වන මෙම කැරැල්ල ක්‍රි.පූ. 100 දක්වා පුරා සිවු වසරක් මුළුල්ලේ පැවතිණි. සිසිලියේ හට ගත් පළමු වහල් කැරැල්ලේ නියමුවා වූ ෑමබි ගේ අඩිපාරේ යමින් මෙය මෙහෙයවන ලද්දේ ී්කඩසමි නැමැති වහලා විසිනි.

ස්පාර්ටකස්ගේ ආගමනය

ඉතිහාසයේ ඇතිවූ වහල් කැරලිවලට සාපේක්ෂව වහල් ක්‍රමයට එරෙහිව ප්‍රධානතම කැරැල්ල ලෙස සලකනු ලබන්නේ ස්පාර්ටකස් විසින් නායකත්වය දෙන ලද වහල් කැරැල්ල වේ. නුබියානු කාන්තාරයේ රන් පතලක වහලෙකු ලෙස සිටි ස්පාර්ටකස් වහල් හිමියෙකු විසින් මිලදී ගනු ලැබ “ කැපුවා” නම් වූ ඉතාලි නගරය වෙත ගෙන ගොස් වහල් මල්ලවයෙකු බවට පත් කරන ලදී.“ කැපුවා” නගරයෙහි සටන් පාසැලක මනා පුහුණුවක් ලබන ස්පාර්ටකස් එක් මොහොතක තම සහෝදර මල්ලවයන්ද සමඟ සටන් පාසැල බිඳ පලා යයි. ආරම්භයේදී 78 දෙනෙකුගෙන් පමණ සමන්විත වූ මෙම කැරැලිකාර වහල් කණ්ඩායම අවසානයේ 120,000ක ප්‍රමාණයක් ඉක්ම වූ ගැහැණු, පිරිමි සහ ළමුන්ගෙන් සමන්විත වහල් හමුදාවක් බවට පත් වූ බව කියවේ. ක්‍රි.පූ.73-71 කාල පරාසය තුළ රෝම අධිරාජ්‍යයට එරෙහිව මෙම කැරැල්ල විහිදී ගිය අතර මුලදී මෙය පහසුවෙන් ව්‍යාර්ථ කළ හැකිවේයැයි රෝම පාලකයන් සිතා සිටියද මෙම කැරැල්ලේ ආශ්වාදය දැනුණු වහල්ලු රොද බඳිමින් ස්පාර්ටකස් සමග එකතු වීම නිසා මෙය මැඩ පැවැත්වීමට රෝම හමුදාවට විශාල පරිශ්‍රමයත් දැරීමට සිදු විය. මෙම සටනින් පරාජයට පත් වී සිරභාරයට ගත් වහලුන් 6000ක පමණ පිරිසක් රෝම නගරයේ සිට කැපුවා නගරය වෙත යන ඇපියානු නම් මාර්ගය දෙපස කුරුසවල එල්ලා මරණයට පත් කරන ලද මුත් මෙම සටනේදී ස්පාර්ටකස් කෙසේ මිය ගියාද යන්න ඉතිහාසයේ සටහන් නොවේ.

සියලු වහලුන් මනුෂ්‍යයෝය

ස්පාර්ටකස් විසින් නායකත්වය දෙන ලදැයි සඳහන් වහල් කැරැල්ල පරාජයට පත් වුවත් එය මුළු මහත් රෝම අධිරාජ්‍යයටම වහලුන් සම්බන්ධයෙන් නැවත සිතා බැලීමට බලකරන ලදී. විශේෂයෙන්ම වහලා මින් මතුවට පාලනය කළ යුත්තේ කිනම් ආකාරයටද යන්න පිළිබද වහල් හිමි සමාජය තුළ නොයෙක් මතවාද, හැලහැප්පීම් සිදුවන්නට විය. මතවාදී තලයේ මතුවූ මෙම රික්තය පිරවීම සඳහා විවිධ දාර්ශනිකයෝ, පඬිවරු, සමාජයේ පිළිගත් පුද්ගලයෝ වහලා පිළිබඳව කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් තම මති මතාන්තර ඉදිරිපත් කරන්නට වූහ.
පෙසිඩෝනියස් නම් ස්ටෝයික්වාදියාට අනුව වහලා ආත්මයකින් යුත් තැනැත්තෙක් බැවින් ඔහුට ආගමික කටයුතු කිරීමට ඉඩ දිය යුතුය. පඬිවරයෙක් වූ වැරෝ ( ක්‍රි.පූ.116-27 ) පවසා ඇත්තේ, වහලුන්ගෙන් වැඩ ගැනීමේදී උපකරණවලින් වැඩ ගන්නා ආකාරයට නොව ඔවුනට වධ හිංසා නොකොට මනුෂයින් ලෙස සලකා වැඩ ගත යුතු බවය. මෙම අදහස්වල ක්‍රමික වර්ධනයක ප්‍රතිඵලයක් ලෙස මෙයට ශත වර්ෂයකට පමණ පසු රෝමයේ පාලකයා වූ නීරෝගේ අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ ජනප්‍රිය රෝම ධර්මදේශකයෙකු වූ සෙනෙකා පවසා ඇත්තේ වහලුන්ට මනුෂ්‍යයන් ලෙස සැලකිය යුතු බවය. මෙය මතයක් ලෙස කෙමෙන් රෝම සමාජයේ ඉහළ ස්ථරය තුළ පැතිරෙන්නට විය. එහි දිගුවක් ලෙස ඔගස්ටස් අධිරාජයාගේ සමයේ වහලුන් වධ හිංසාවලින් වැළැක්වීමේ ආඥා පනත් ආදියද පැනවනු ලැබිණි.

වහලා වෙනුවට ඉඩම

වහලා වෙනුවෙන් මෙවන් මානුෂීය අදහස් වහල් හිමියන් තුළ පහළ වූයේ ඕපපාතිකව නොවේ. මන්ද කථා කරන උපකරණයක් ලෙස වහලා හැදින්වූයේද එම වහල් හිමි සමාජය විසින් වීමයි. වහල් හිමි සමාජයේ වහලා සම්බන්ධයෙන් වන අර්ථ විග්‍රහය අංශක 180කින් භ්‍රමණයට වීමට බලපෑ ප්‍රධානතම කාරණාවක් වන්නේ, වෙන කිසිවක් නොව තම වෙත එල්ල කරන පීඩනයන්ට එරෙහිව වහලුන් විසින් ගෙන ගිය අනවරත අරගලයම පමණි.
ක්‍රමිකව සිදුවූ නිෂ්පාදන උපකරණවල වර්ධනය නිසා වහලුන්ගේ අවශ්‍යතාවය කෙමෙන් අහෝසි වන්නට වූ අතර අනෙක් පැත්තෙන් තම අයිතිවාසිකම් වෙනුවෙන් වහලුන් කැරැලි ගැසීම වහල් හිමි සමාජයේ පැවැත්මට විශාල බාධාවක් විය. මෙහි තාර්කික ප්‍රතිඵලය වූයේ මෙතෙක් සූරාකෑමේ මාධ්‍ය වූ වහලා වෙනුවට ඉඩම ආදේශ වී නව ආකාරයේ සමාජ ආර්ථික ව්‍යුහයක් ඇති වීමය.

වහල් යුගය අවසන් කළ කැරලි