සමාජවාදය සහ කොමියුනිස්ට් ක්‍රමය

SHARE

අපි මෙතෙක් මාක්ස්වාදී ආර්ථික විද්‍යාවේ මූලිකාංග පිළිබඳව දළ අවබෝධයක් ලබාගැනීමට උත්සාහ කළෙමු. ආර්ථික විද්‍යා චින්තනයේ විකාශනයෙන් ඇරඹි අපගේ සාකච්ඡා මාලාවේ අවසානයට අපි එළඹ ඇත්තෙමු. අපි මෙතෙක් පැහැදිලි කරගත් කරුණු අනුව, දේශපාලන ආර්ථික විද්‍යාව පදනම් වී ඇත්තේ නිෂ්පාදන ක්‍රියාවලිය සමගය. සමාජයක් ගොඩනැඟෙන්නේ මිනිසුන්ගේ හුදකලා ජීවිත්වීමේ ක්‍රියාවලියක් මත නොව සංවිධානය වූ නිෂ්පාදන ක්‍රියාවලියක ප්‍රතිඵලයක් හැටියට බව අපි දැන් තේරුම් ගෙන සිටිමු. සමාජ සංවර්ධනයේ විකාශනයද නිෂ්පාදන ක්‍රියාවලිය එක් එක් සමාජයන් තුළ සංවිධානය වූ ආකාරය අනුව ගලා ආ බැව් අපි විග්‍රහකර ගත්තෙමු. සරල භාණ්ඩ නිෂ්පාදනයේ සිට ධනපති හුවමාරු භාණ්ඩ නිෂ්පාදනය දක්වා වූ සංවර්ධනයේ ගමන් මඟ අපි තේරුම් ගන්නේ ඒ සඳහාය.
සමාජ සංවර්ධන ක්‍රියාවලිය තුළ නිෂ්පාදනය මත සමාජයේ ක්‍රියාකාරිත්වය තීරණය කරන ප්‍රධාන සාධකය වන්නේ මිනිස් ශ්‍රමයයි. ශ්‍රම ක්‍රියාකාරිත්වය සමාජ නිෂ්පාදන ක්‍රියාවලියේ යාන්ත්‍රණය සකස් කරයි. ධනවාදයට කලින් පැවැති සෑම සමාජ ක්‍රමයකටම වඩා සූරාකෑම ක්‍රමවත් ලෙස සිදු කිරීමට හැකියාවක් ලැබෙන්නේද වැටුප් ශ්‍රමය සූරාකෑම වෙනත් පූර්ව සමාජ ක්‍රමවලට වඩා විධිමත් වූ නිසාය. ධනවාදය ශ්‍රමය සූරාකෑමෙන් පෝෂණය වන නිසාම සූරාකෑමට ලක්වන ශ්‍රමය සංවිධානය වීමේ ප්‍රතිඵලයක් ලෙස ධනවාදය බිඳ වැටීමටද නියමිතය. ඉන් අනතුරුව ගොඩ නැගෙන සමාජ ක්‍රමය කොමියුනිස්ට් සමාජයයි. සමාජවාදය සමාජ ක්‍රමයක් නොව ධනවාදය පෙරළා දමන නිර්ධන පංතිය කොමියුනිස්ට් ක්‍රමය ගොඩ නැගීමේ ක්‍රියාවලිය තෙක් සංක්‍රමණීය අවධියයි.

“ධනපති සමාජ ක්‍රමය හා කොමියුනිස්ට් ක්‍රමය අතර එකක් අනෙකට මාරුවීමේ විප්ලවවාදී ලෙස පරිවර්තනය වීමේ කාලපරාසයක්ද පවතින අතර මීට අනුරූප දේශපාලන සංක්‍රමණීය අවධියේ රාජ්‍ය නිර්ධන පංතියේ විප්ලවීය ආඥාදායකත්වයක් හැර අන් යමක් නොවේ.”

කාල් මාක්ස්

ධනවාදයේ ක්‍රියාකාරිත්වය සඳහාත් එහි නිෂ්පාදනය නිෂ්පාදන සාධක සංවිධානය වී ඇති ආකාරය පිළිබඳවත්, අපි දළ විග්‍රහයක් කර ගත්තෙමු. එනිසාම සමාජවාදී සංක්‍රමණීය අවධිය සංවිධානය වී ඇති ආකෘති පිළිබඳව එහි මූලික පදනම ගැනත් දළ හැඳින්වීමක් කර ගත්තෙමු. සමාජවාදය හා කොමියුනිස්ට් ක්‍රමය අතර ඇති සම්බන්ධය හා වෙනස්කම් කවරේද? එය පැහැදිලි කරගත යුත්තෙමු.
එක් දෙයක් නිශ්චිතය. එනම් සමාජවාදය යනු පූර්ණ ලෙස අංග සම්පූර්ණ වූ සමාජ ක්‍රමයක් නොවේය යන්නය. සමාජවාදය ධනවාදය තුළම බිහි වෙන අතර සමාජවාදයේදී සිදු වන්නේ, බිඳ වැටී ඇති එහෙත් සම්පූර්ණයෙන් මියගොස් නැති ධනවාදය අවසන් කිරීමත්, ඉපදී ඇති එහෙත් සම්පූර්ණ නොවී ඇති කොමියුනිස්ට් සමාජය ගොඩ නැගීමේ කටයුත්තය.
පූර්ව සමාජවාදී විප්ලව (සමාජවාදය බිහිවීමට පෙර බිහිවූ සමාජ විප්ලව) කලින් පැවැති සමාජ ක්‍රමය බිඳ වැටීමෙන් පසු, නව රජය බලය පිහිටුවීමත් සමග බලය ලබා ගැනීම සම්පූර්ණ කරයි. නමුත් සමාජවාදී විප්ලවය එසේ නොවේ. සමාජවාදී විප්ලවය ආරම්භ වන්නේ බලය ලබා ගැනීමෙන් පසුවය. සමාජවාදී විප්ලවය සම්පූර්ණ කරන්නේ ජගත් විප්ලවයද සම්පූර්ණ කිරීමෙනි. එනම් කොමියුනිස්ට් ක්‍රමය ආරම්භ වීමෙනි. කෙටියෙන් දක්වතොත්, සමාජවාදී විප්ලවය සම්පූර්ණ වන්නේ කොමියුනිස්ට් ක්‍රමයට පරිවර්තනය වීමෙනි. සමාජවාදී කර්මාන්ත, ව්‍යාපාර, (සමාජවාදී නිෂ්පාදන සබඳතා) ධනේශ්වර සමාජය තුළ ගොඩ නැගිය නොහැකිය. පූර්ව සමාජ විප්ලවවලදී, නව සමාජ ආර්ථික විප්ලවයේ පදනම තුළ එම නව සබඳතාවයන්ගේ කළල රූපය ගොඩ නැගෙයි. උදා: ලෙස වැඩවසම් ක්‍රමය රජයන විට ධනේශ්වර ආර්ථික ලක්ෂණත් වැඩවසම් ක්‍රමය තුළ කළල රූප ලෙස ගොඩනැගෙයි. ධනේශ්වර විප්ලවය සමග ධනේශ්වර ආර්ථික දේහය සම්පූර්ණත්වයට පත්වේ.
කොමියුනිස්ට් සංස්කෘතියක් එකවර බිහිකළ නොහැකිය. ඒ සඳහා පැරණි ධනේශ්වර සංස්කෘතික සබඳතා බිඳ දැමීමත්, නව කොමියුනිස්ට් සංස්කෘතියක් ගොඩ නැගීමත් කළ යුතුය. එය ධනපති පන්තිය බලයෙන් එලවූ විගස ඉටුකළ නොහැකිය. ඒ සඳහා සංක්‍රමණීය කාලයක් ගත කළ යුතුය. සමාජවාදී අවධිය ඒ ධනේශ්වර ක්‍රමයේ සිට කොමියුනිස්ට් ක්‍රමයට සංස්කෘතිය වර්ධනය කරන සංක්‍රමණීය අවධියයි.
අපි මෙතෙක් සාකච්ඡා කළ පරිදිම සමාජ සංවර්ධන ඉතිහාසය ගමන් කර ඇත්තේ පන්ති ප්‍රතිවිරෝධතා සහිතවය. ප්‍රතිවිරෝධතා නැති සමාජ ක්‍රමයක් ඇත්තේ නැත. ධනවාදය තුළ ද නිර්ධන පන්තිය හා ධනපති පන්තිය වශයෙන් සතුරු ප්‍රතිවිරෝධතාවයක් පවතින්නේය. සමාජවාදයේදී හැකිළී යන ධනේශ්වර සබඳතා සමග ගොඩනැගෙන කොමියුනිස්ට් සබඳතා අතර ප්‍රතිවිරෝධය පවතින්නේය. කොමියුනිස්ට් ක්‍රමය තුළ එවැනි සතුරු නොවන ප්‍රතිවිරෝධයන්ද ඇත්තේය. එය ධනවාදයේදී මෙන්, මිනිසා පරිසරය විනාශ කරන ප්‍රතිවිරෝධයක් නොව, පරිසරය ආරක්ෂා කරමින් මිනිස් අවශ්‍යතා උපරිම ලෙස තෘප්තිමත් කරන ප්‍රතිවිරෝධයකි.
සමාජවාදයේදී වැඩ කළ ප්‍රමාණයට අනුව බෙදාහැරීම තේමාව වෙයි. එමගින්, වැඩ කිරීම අනිවාර්ය වන අතර, පාරිභෝජනය ඇතුළු භුක්ති විඳීම සඳහා වැඩකළ යුතුය. තමන්ගේ හැකියාවට අනුව වැඩ කරන අයට, වැඩ කළ ප්‍රමාණයට අනුව ප්‍රතිලාභ බෙදාහැරීම සමාජවාදයේ බෙදා හැරීමේ ක්‍රමය වේ. ඒ අනුව, සමාන වැඩට සමාන වැටුප් ද දුෂ්කර වැඩට වැඩි වැටුප්ද ලැබෙනු ඇත. නමුත්, කොමියුනිස්ට් සමාජ ක්‍රමයේදී එසේ නොවේ.
කොමියුනිස්ට් ක්‍රමයේදී තමන්ගේ හැකියාව අනුව සමාජයටත්, තමන්ගේ අවශ්‍යතාවයට අනුව සමාජයෙනුත් ලැබෙනු ඇත. හැකියාවට අනුව වැඩකළ හැකි අතර, අවශ්‍යතාවයට අනුව භුක්ති විඳීමේ හැකියාව ලැබෙන සමාජ ක්‍රමයකි, කොමියුනිස්ට් ක්‍රමය.
නිෂ්පාදන බලවේගයන්ගේ අතිමහත් වර්ධනයන්, නිෂ්පාදන සබඳතාවයන් මුළුමනින්ම නිෂ්පාදන බලවේගයන්ගේ වර්ධනයට සමපාත වීමත් නිසා සමාජයේ අවශ්‍යතාවයට අනුව නිෂ්පාදිතයන් බෙදාහැරීමේ ඉහළ මට්ටමකට සමාජමය නිෂ්පාදනය වර්ධනය වූ තත්වයක් කොමියුනිස්ට් ක්‍රමයේදී ඇතිවේ. සමාජමය නිෂ්පාදනය වර්ධනය වීමත් සමග, ධනවාදය යටතේ පැවැති සහ සමාජවාදය යටතේ බැහැර කරමින් පැවැති සියලු ආකාරයේ සතුරු ප්‍රතිවිරෝධයන් අවසන් කෙරෙනු ඇත. ඒ අනුව, මිනිසෙකු විසින් මිනිසෙකු සූරාකෑමද අවසන් කෙරෙනු ඇත. කොමියුනිස්ට් ක්‍රමයේදී මුළු මහත් සමාජයම ජගත් ක්‍රමයක් බවට පත්වෙනු ඇත. ගම හා නගරය, ස්ත්‍රී හා පුරුෂ, කායික වැඩ හා මානසික කාර්යයන්, කර්මාන්ත හා කෘෂිකර්මාන්ත ආදී වශයෙන් පැවැති සියලු ප්‍රතිවිරෝධතාද තුරන් වනු ඇත. සමාජමය නිෂ්පාදනය ඉහළ තලයකට වර්ධනය වනු ඇති අතර එමනිසා ඉහළ ජගත් සංස්කෘතියක් බිහිවනු ඇත.
කොමියුනිස්ට් ක්‍රමය ගැන කොමියුනිස්ට් ප්‍රකාශනයෙන්

“එක් පුද්ගලයෙක් තවත් පුද්ගලයෙකු සූරාකෑම අවසන් කරන ප්‍රමාණයට සමානුපාතිකව එක් ජාතියක් තවත් ජාතියක් සූරාකෑම ද අහෝසි කර දමනු ඇත.
එක් ජාතියක් තුළ පන්තීන් අතර ඇති විරෝධය අතුරුදහන් වන ප්‍රමාණයට සමානුපාතිකව ජාතීන් අතර ඇති සතුරු ආකල් ආකල්පයන්ද අඩු වනු ඇත.”

කොමියුනිස්ට් ප්‍රකාශනයෙන් – 56 පිටුව

“වචනයේ පරිසමාප්ත අර්ථය අනුව, දේශපාලන බලය යනු, එක් පන්තියක් විසින් තවත් පංතියක් පෑගීම සඳහා සාදා ඇති සංවිධානාත්මක බලයයි. නිර්ධනීන්, ධනපති පන්තියට විරුද්ධව කරන අරගලයේදී අනිවාර්යයෙන්ම පංතියක් වශයෙන් සමගි වන්නේ නම්, විප්ලවීය මාර්ගයෙන් එය පාලක පන්තිය බවට පත්වන්නේ නම්, පාලක පන්තිය ලෙස එය පැරණි සබඳතාවයන් බලහත්කාරයෙන් ඉවතලන්නේ නම්, එවිට නිර්ධන පන්තිය, පන්ති ප්‍රතීඝතයන් පැවැත්මේ තත්වය නැති කරලයි. පොදුවේ පන්තීන්ගේ පැවැත්මද අහෝසි කර දමයි. එසේ කිරීමෙන් පන්තියක් වශයෙන් ස්වකීය ආධිපත්‍යයද අහෝසි කරලයි.
පන්තිවලින් සහ පන්ති ප්‍රතිඝතීකවලින් සමන්විත පැරණි ධනවාදී සමාජය වෙනුවට, සෑම කෙනෙකුගේම ස්වාධීන සංවර්ධනය, සියලු දෙනාගේම ස්වාධීන සංවර්ධනයේ කොන්දේසිය බවට පත්වන සමාගමයක් ඇති වන්නේය.”



කොමියුනිස්ට් ප්‍රකාශනයෙන් – 59 පිටුව –

සමාජවාදය සහ කොමියුනිස්ට් ක්‍රමය