ප්‍රතිවිරෝධතා මැද ‘පවුලේ’ ගමන්මඟ

SHARE

Share on facebook
Share on google
Share on twitter
Share on linkedin

සමාජය තුළ පෞද්ගලික දේපළ බිහිවීමත් ඒ සමගම සමාජය, දේපළ මත පංතීන්ට බෙදීමත් පංති අතර ගැටුම් ඇතිවීමත්, රජය බිහිවීමත් යන සියල්ල සමග ‘පවුල’ද බිහිවූ බැවින් පවුල තුළ වත්මන් පන්ති සමාජයේ සියලු ප්‍රතිවිරෝධයන් ගැබ්ව පවතී. මේ වන විටත් අප සාකච්ඡා කර තිබෙන නූතන පවුල තුළ පොදුවේ පවතින ගැටලු හෙවත් ප්‍රධාන ප්‍රතිවිරෝධතාවන් පහත සඳහන් ඒවා වේ.

  1. පවුල තුළ පුරුෂයා ආධිපත්‍ය දැරීම
  2. දේපළවල අයිතිය පුරුෂයා සතුවීම හා ස්ත්‍රියට ඔහුගෙන් යැපීමට සිදුවීම නිසා ස්ත්‍රිය පවුල තුළ පීඩිත පන්තිය නියෝජනය කිරීම. (නූතන ධනවාදය තුළ කාන්තාවන්ද නිෂ්පාදන ක්‍රියාවලියට දායක් වීමත් රැකියා කිරීමත් නිසා මේ වන විට මෙහි සමහර වෙනස්කම් සිදුව තිබේ.)
  3. පවුල බැඳ තබන සාධකය අධ්‍යාත්මික සබඳතාවලට ඉහළින් පවතින නෛතික බැඳීමක් බවට පත්වීම (විවාහවීම හා දික්කසාදවීම යන සිදුවීම් දෙක මීට අදාළය.)
  4. විවාහයට පිටින් පවතින අනියම් ලිංගික සබඳතා

මෙම කරුණුවලට වෙනස් විශේෂයන් හුදකලාව පැවතුණද පවුලේ ආරම්භක කාලය තුළත් අදත් පවුල තුළ පොදුවේ පවතින්නේ මෙම ගැටලුය. එමනිසා ඒක භාර්යා වෘතය සහිත පවුල එක් ගැටලුවකට විසඳුම් සෙවීමට එනම් පියාගේ දේපළ දරුවන්ට උරුමකරදීමේ ගැටලුවට විසඳුම ලෙස බිහිවුවද, එය ඒ සමග වෙනත් ගැටලු රැසක් නිර්මාණය කර තිබේ.

අතීත වුවමනා සපුරාගත් හැටි

ඒක භාර්යා වෘතය සහිත පවුල බිහිවන විට ඊට පෙර පුරුෂයන් හා ස්ත්‍රීන්ගේ ලිංගික සබඳතා පැවතුණේ පුළුල් සබඳතාවක් ලෙසය. හදිසියේ ආර්ථිකමය වුවමනාවක් මත එම පුළුල් ලිංගික සබඳතාවය ‘පවුල’ තුළ දෙදෙනෙක් අතර සබඳතාවයකට සීමා කළද, ජීව විද්‍යාත්මක අවශ්‍යතා විසින් හා පැරණි පුරුද්ද විසින් පුළුල් ලිංගික සබඳතා පැවැත්වීමේ අවශ්‍යතාවය යළි යළිත් ඉල්ලා සිටින ලදී. මෙය, එනම් ජීව විද්‍යාත්මක හා පැරණි පුරුද්ද විසින් ඇතිකළ පුද්ගල අවශ්‍යතාවයත් නව පවුල් සංකල්පය තුළ සිදුකළ සීමාවත් එකිනෙකට පරස්පර විය. ඒ අනුව එය පවුල ප්‍රතිවිරෝධයට ලක් කළේය. මෙයට එකල සමාජය (පංති සමාජයේ ආරම්භක යුගයේ) විසඳුම් සොයාගත් අතර, එය පවුලේ ප්‍රතිවිරෝධයේ තරම කියාපාන්නක් විය.
පුරුෂයන්ගේ පැත්තෙන් ගත් කළ තම දේපළ තමන්ගේම දරුවන්ට උරුමකර දීම සඳහා ඒක භාර්යා වෘතය සහිත පවුල නිර්මාණය කිරීමට මූලික වූයේ පිරිමින් වුවද, එම පවුල තුළ එක් බිරිඳකගෙන් පමණක් සෑහීමට පත්වීමට ඔවුන්ට නොහැකි විය. ඔවුහු ඊට සූදානම්ද නොවූහ. මෙයට පෙර පැවති පුළුල් හා නිදහස් ලිංගික සබඳතාවලට හුරුවී සිටි ඔවුන්ට එම පුළුල් සබඳතා යළි පැවැත්වීමට අවශ්‍ය විය. මෙහිදී ඇති වූ ප්‍රතිවිරෝධයට ඔවුහු විසඳුමක්ද සොයා ගත්තෝය. ඒ නීති මගින් හෝ සම්ප්‍රදායන් තුළ එක් බිරිඳක් වෙනුවට කාන්තාවන් කීපදෙනෙක් බිරිඳ ලෙස තබා ගැනීමේ අයිතිය ලබා ගැනීමය. මෙම අයිතියද ලබාගත්තේ සමාජයේ සියලුම පුරුෂයන් නොව දේපළ විශාල වශයෙන් හිමි හා රාජ්‍ය බලයට සම්බන්ධ පුරුෂයන්ය. රජවරුන්, සිටුවරුන්, ප්‍රභූවරුන් හා ගෝත්‍ර නායකයන්ය. ඉතිහාසය දෙස බැලීමෙන් මෙය පැහැදිලි වේ.

අන්තඃපුරය බිහිවීම

අතීතයේ රාජාණ්ඩු පාලන ක්‍රම තුළ රජතුමා සඳහා අන්තඃපුරයක් නිර්මාණය කර ගැනීම මගින් ඉටුකරගනු ලැබුයේ අප ඉහත සඳහන් කළ ලිංගික නිදහස භුක්ති විඳීමේ අයිතියයි. එම අයිතිය රජුන් හා ප්‍රභූන් විසින් පමණක් ලබාගන්නා ලදී. රජවරුන් සතුව අන්තඃපුර පැවති අතර එහි අගබිසවක් හා සෙසු බිසෝවරු රැසක් සිටියෝය. අන්තඃපුර පාලනය කරන ලද්දේ ස්ත්‍රීන් විසින් හෝ නපුංසකයන් විසිනි. සමහර විට මේ සඳහා ලිංග ඡේදනය කළ පිරිමින්ද යොදාගෙන තිබේ. මේ ආකාරයෙන්ම ගෝත්‍රවලද ගෝත්‍ර නායකයාට බිරින්දෑවරු කීපයක් තබා ගැනීමට ඉඩ සලසාගෙන තිබුණි. අද පවා සමහර අප්‍රිකානු රටවල මෙම සිරිත පවතී. අප්‍රිකානු රටවල ගෝත්‍ර නායකයන් හා පැරණි රජුන්ගේ නෂ්ටාවශේෂ ලෙස ඉතිරිවී ඇති නව ‘රජුන්’ සතුව බිරින්දෑවරු කිහිපදෙනෙක් සිටිති. එසේම අතීත චීනයේද, ජපානයේද, ඉඩම් හිමි ප්‍රභූවරුන්, ප්‍රාදේශීය පාලකයන් තම විශාල මාලිගාවල, මන්දිරවල බිරින්දෑවරු කිහිපදෙනෙක් තබාගෙන සිටි අතර මෙහිදී රූසපුව ඇති තරුණ ළඳුන් මිලට ගැනීමද සිදුව තිබේ. සමහර අරාබි රටවලද තමන් සතුව පවතින දේපළ ප්‍රමාණයට අනුව බිරින්දෑවරු කීපදෙනෙක් (උපරිමය 7කට සීමාකොට) තබා ගැනීමට දේපළ හිමි පුරුෂයන්ට අද පවා ඉඩ ලබාදී තිබේ. එසේම සමහර රටවල බහු භාර්යා සේවනයද සමහර කාලවල පැවතී තිබේ.

මෙයට අමතරව අතීත ඉන්දියාවේ ‘නගර සෝබනී’ ලෙස හැඳින්වූ ස්ත්‍රීන් රජයේ අනුග්‍රහය සහිතව නගරවල සිටි අතර, ඔවුන් වෙත යාමට පුරුෂයන්ට ඉඩ සලසා තිබිණි. එය නීතියට හෝ සදාචාරයට පටහැණි නොවීය. එම නගර සෝබනියන් ගණිකා වෘත්තියට සමාන වුවද, ඊට සර්වසම නොවූ බවද පෙනේ. වෙනත් රටවලද මීට සමාන තත්වයන් තිබී ඇත. නූතන ධනවාදී ක්‍රමය තුළ සමහර බටහිර රටවල ගණිකා වෘත්තිය නීතිගත කර තිබීමෙනුත්, තවත් සමහර රටවල එය නීතියෙන් තහනම් වුවත් වළක්වා ගත නොහැකි ලෙස පැතිර යමින් තිබීමෙනුත් ලොවපුරා දැන් ගණිකා වෘත්තියට කාන්තාවන් යෙදවීම ජාවාරමක් බවට පත්ව තිබීමෙනුත් පෙන්වන්නේ ඒක භාර්යා වෘතය සහිත පවුල එම පවුල තුළම ස්ත්‍රිය හා පුරුෂයා රඳවා ගැනීමට අසමත් වූ බවය. එසේම මෙය ඒකභාර්යා වෘතය සහිත පවුල බිහිවීම විසින් සීමා කිරීමට පෙර තිබූ පුළුල් ලිංගික සබඳතා යළි අත්පත් කර ගැනීමේ උදාහරණයන්ය.

බහුපුරුෂ සේවනය හා ගණිකා වෘත්තිය

පවුල තුළ ලිංගික සබඳතා පිළිබඳව ප්‍රතිවිරෝධයේදී පීඩාවට ලක්වූයේ වැඩිපුරම කාන්තාවන්ය. මෙහිදී ආරම්භක අවදියේ කාන්තාවන්ද මෙයට විසඳුම් සෙවූ බව පෙනේ. අප පසුගිය ලිපියෙන්ද පැහැදිලි කළ පරිදි අතීතයේ සමහර කාන්තාවන් දේවාලවල යාජකීයන් ලෙස දෙවියන්ට භාරවීමේ ක්‍රමයක් අනුගමනය කර තිබේ. එලෙස දෙවියන්ට කැපවූ කාන්තාවන් පිරිමින් සමග ලිංගිකව හැසුරුන අතර, දෙන ලද මුදල් දේවාලයට පරිත්‍යාග කර තිබේ. ලොව මුල්ම ගණිකාවන් බිහිවන්නට ඇත්තේ එලෙසින් යයි උපකල්පනය කෙරේ. ඉන්දියාව ප්‍රමුඛ ආසියානු රටවල නගර සෝබනියන් බවට පත් කාන්තාවන්ද තමන්ට එම අයිතිය ලබා ගන්නා ලදී. ඊට අමතරව සමහර රටවල බහු පුරුෂ සේවනය හෙවත් එක් බිරිඳක් පුරුෂයින් කීපදෙනෙක් සමග විසීමද පැවතී ඇත.
ලංකාව තුළ අතීතයේ උඩරට පැවති එකගෙයි කෑම නම් ක්‍රමය තුළද මෙය පැවතිණි. ‘එකගෙයි කෑම’ නම් විවාහ ක්‍රමය බිහිවූයේ පවුලේ ඉඩම් බෙදීයාම වැළැක්වීම් සඳහාය. එහිදී පිරිමි දරුවන් දෙදෙනෙක් පමණක් සිටින පවුල්වල එම දෙදෙනාටම එක් බිරිඳක් රැගෙන ආ අතර, එම බිරිඳ එම පිරිමි දෙදෙනා සමගම ‘දීග කෑවේය.’

ඉහත උදාහරණත් තවත් සොයාගත හැකි උදාහරණවලිනුත් තහවුරු වන්නේ කුමක් ද? ආර්ථිකම හෙවත් දේපළමය හේතුවක් නිසා ඒක භාර්යා වෘතය සහිත පවුල් ගොඩනැඟුනද ඒ තුළ ලිංගික සබඳතා එක් පුරුෂයෙක් හා එක් ස්ත්‍රියක් අතර පමණක් සීමා කළද අතීතයේ සිට පැවති පුළුල් ලිංගික සබඳතාවන්ගේ වුවමනාකම් විසින් ඒකභාර්යා වෘතය පවතිද්දීම පැරණි ලිංගික නිදහස විඳීම සඳහා පිරිමින් හා ගැහැනුන් විවිධ ක්‍රම අනුගමනය කර ඇති බවය. ඉන් සමහර දේවල් සමාජ අර්බුදයක් බවටද පත්ව ඇති බවය. නූතන පවුල සදාචාරයේ මුදුන්මල්කඩ ලෙස හැඳින්වීමට නොහැකි යයි එංගල්ස් කියන්නේ මේ අනුවය. නූතන පවුල බිහිවූයේ සදාචාරමය හා සමාජීය අවශ්‍යතා මත නම්, අධ්‍යාත්මික බැඳීම් මුල්වීම තුළ නම්, ‘පවුල’ මෙවැනි ඉරණමකට මුහුණ නොපාන්නට ඉඩ තිබිණි.

ආරම්භයේදීම නූතන පවුල මුහුණදුන් මෙම ගැටලුව පිළිබඳව සිය කෘතියේ 72, 73 පිටුවල එංගල්ස් මෙසේ පවසා තිබේ.

“අපේ කාලයේ ධනපති විවාහයන් වර්ග දෙකකට බෙදෙයි. කතෝලික රටවල දෙමාපියෝ පෙර මෙන්ම දැනුදු තම තරුණ ධනපති පුතුට සෑහෙන බිරියන් සොයාදෙති. මෙහි දුර්විපාකය නම් ඒක භාර්යා වෘතයට ආවේණිකවූ ප්‍රතිවිරෝධතා පැන නැගී සැමියා පර ස්ත්‍රී සේවනයේත් බිරිඳ පර පුරුෂ සේවනයේත් යෙදීමය. මරණයට මෙන්ම පර ස්ත්‍රී පුරුෂ සේවනයටද පිලියමක් නැතැයි කතෝලික පල්ලිය සිතූ නිසා දික්කසාදවීම තහනම් කළ බවට සැක නැත. ප්‍රොතෙස්තන්ත හෙවත් රෙපරමාදු රටවල අනිත් අතින්, අඩුවැඩි වශයෙන් නිදහස් ලෙස ධනපති පුතුට තම පන්තිය තුළින් බිරියක් සොයා ගැනීමට ඉඩ හැරීම සිරිතකි. මේ නිසා විනීත බවේ නාමයෙන් ප්‍රොතෙස්තන්ත කපටිකමට ගැලපෙන සේ විවාහය එක්තරා ප්‍රමාණයකට ආලය මත පදනම්වී ඇති බව නිතර පිළිගැනේ. මෙවැනි විවාහ නිසා පුරුෂයන් අතර පර ස්ත්‍රී සේවනය තරමක් අඩුවෙන් සිදුවේ. ස්ත්‍රීන් අතර පරපුරුෂ සේවනයද රීතියක් වශයෙන් සිදු නොවේ.”

“මේ දෙවර්ගයට අයත් විවාහය තීරණය කරන්නේ එයට සහභාගී වන්නන්ගේ පන්තිමය තත්වය අනුවය. එමනිසා එය පහසුකමේ විවාහය හැටියට ගැනෙයි. පහසුකම කතා කරන මේ විවාහ දෙවර්ගය බොහෝ විට අතිශයින්ම විශාල ගණිකා වෘත්තිය දක්වා හැරෙයි. සමහර විට බිරිඳ හා සැමියාද බොහෝ විට බිරිඳද මෙලෙස ගණිකා වෘත්තියේ යෙදෙති. මෙතැනදී බිරිඳ වැටුප් ලබන කම්කරුවෙකු කෑලි ගණනට වැඩ කරන්නා සේ සිය ශරීරය සදහටම විකුණු එකියක බවට පත්වයි. පහසුව තකා ඉටුකරන සියලු විවාහයන්ට පුරියේගේ කියමන බලපායි.

“ව්‍යාකරණයේ ප්‍රතිශේධ දෙකක් එක් සකාර්යයක් ඇති කරන්නො සේම, විවාහයේ අධ්‍යාත්මික ගුණ අනුව වේශ්‍යාකම් දෙකක් එක් සදාචාරයකට පෙරළෙයි. සැමියා හා බිරිඳ අතර ඇතිවන ලිංගික ආලය රීතියක් බවට පත්විය හැක්කේ පෑහෙන පන්ති තුළ පමණකි.”

වහල් සමාජයේ ආරම්භයත් සමග පැනනැගි ඒකභාර්යා වෘතය සහිත පවුල මේ වන විට අවුරුදු දහස් ගණනක් ගෙවා නූතන ධනවාදී පවුල බවට පත්ව තිබේ. පෙනුමේ හා සමහර අංග අතින් වහල් යුගයේ, වැඩවසම් යුගයේ පැවති පවුලට වඩා නවීන ධනපති ක්‍රමයේ පවුල තුළ සමහර වෙනස්කම් සිදුව තිබේ. ආදරය නම් සංකල්පය වර්ධනය වී පීඩිත තරුණ තරුණියන් අතර තහවුරු වෙමින් තිබේ. එහෙත් පවුලේ පදනම ලෙස ආර්ථික සබඳතා පැවතීම තවම වෙනස් වී නැත. එබැවින් පෙනුමෙන් වෙනස්කම් ඇතද හරයෙන් නුතන පවුල ඒක භාර්යා වෘතය සහිත එම පවුලමය.

ප්‍රතිවිරෝධතා මැද ‘පවුලේ’ ගමන්මඟ