සමාජවාදය තුළ දේපළ ආකාර සහ ආර්ථික නියාම ක්‍රියාකිරීම

SHARE

අපි ධනවාදී ආර්ථික ව්‍යුහය හඳුනා ගෙන ඇත්තේ අත්විඳීමෙන් සහ අධ්‍යාපනය යන දෙයාකාරයෙන්මය. නමුත් සමාජවාදය තුළ ආර්ථික ව්‍යුහය අපට හඳුනාගත හැකි වන්නේ, අත්දැකීමෙන් නොව අධ්‍යාපනයෙන්ම පමණි. අත්දැකීම් ලද හැකි කියුබාව වැනි උදාහරණ අතළොස්සක් පැවැතියද ඒවා තවමත් ළදරු මෙන්ම සංක්‍රමණීය අවධියේ ඇති ව්‍යුහයන්ය. ධනවාදය මුළුමනින්ම ගිලගත් ගෝලීය ආර්ථික ක්‍රමයක් තුළ පවතින උදාහරණයන්ද අපට පරමාදර්ශ ආර්ථිකයන් ලෙසින්ම දැකිය නොහැකිය. මක්නිසාද, ඔවුන් සමාජවාදය ගොඩනැගීමට වඩා සිදුකරමින් සිටිනුයේ ධනවාදී ප්‍රහාරයන්ට මුහුණදීම නිසාය.
සමාජවාදී ආර්ථිකයේ මූලික ප්‍රතිවිරෝධය වන්නේ ගොඩනැගෙමින් පවතින සමාජවාදී නිෂ්පාදන සබඳතාවයන් සහ ඓතිහාසිකව හැකිළෙමින් පවතින ධනවාදී නිෂ්පාදන සබඳතාවයන් අතර ප්‍රතිවිරෝධයයි. එය මූලික ප්‍රතිවිරෝධය වන අතර සමාජවාදී මහා පරිමාණ නිෂ්පාදනය සහ සුළු පරිමාණ භාණ්ඩ නිෂ්පාදනය අතරද ප්‍රතිවිරෝධයක් පැවතියත් එය මූලික නොවන ප්‍රතිවිරෝධයක් ලෙස පවතිනු ඇත. සමාජවාදය තුළ දේපළ පවතින මූලික ආකාර 3ක් හඳුනාගත හැකිය. එම හඳුනාගැනීම ඒ එක් එක් රටවල ආර්ථිකයේ පවතින තත්වයට හා ඓතිහාසික විකාශනයට සාපේක්ෂව වෙනස් විය හැකි බවද අවධාරණයට ගත යුතුය.
රාජ්‍ය දේපළ, සමූහ දේපළ හා සුළු පරිමාණ පෞද්ගලික දේපළ ලෙස දේපළ ආකාර 3කින් පවතින බව මූලධාර්මිකව අපි පිළිගනිමු.

රාජ්‍ය දේපළ

බලයට පත්වන කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වය යටතේ රාජ්‍යයේ මැදිහත්වීමෙන් කළමනාකරණ කරනු ලබන දේපළ මේ යටතට ගත හැකිය. උදාහරණ ලෙස විදේශ වෙළඳාම, බැංකු, වරාය, ගුවන්තොටුපළ, ප්‍රවාහනය, තොග වෙළඳාම, මහා පරිමාණ ගොවිපොළ සහ කර්මාන්ත, විදුලිය, විදුලි සංදේශ, අධ්‍යාපනය, සෞඛ්‍ය දැක්විය හැකිය.

සමූහ දේපළ

රාජ්‍ය විසින් ඍජුවම පවරාගෙන නොමැති, එහෙත් ධනේශ්වර සබඳතාවයන් තහවුරු වීමේ ඉඩ අවම කරමින් පවත්වාගෙන යන සංක්‍රමණීය දේපළ ආකෘතියකි. සමූහ ගොවිපළ සහ නිෂ්පාදකයන්ගේ සහ පාරිභෝගිකයන්ගේ සමූපකාර ස්වරූපයෙන් පවතී.

පෞද්ගලික දේපළ

සමාජවාදය යටතේ පෞද්ගලික දේපළක් කිසිසේත්ම පැවැතීමට ඉඩ නොදෙන්නේ යැයි සමාජ ධනේශ්වර මතවාදයක් ඇත. ඒ, සමාජවාදය ජනතාවගෙන් දුරස්කිරීමේ වුවමනාවෙන් කරනු ලබන වූ ධනේශ්වර ප්‍රචාරයන්ය. සමාජවාදය යටතේද පෞද්ගලික දේපළ පවතී. සංක්‍රමණීය අවධිය තුළ ආර්ථිකයේ මූලික ක්‍රියාවලිය රාජ්‍ය හා සමූහ දේපළ මගින් ක්‍රියාවට නඟන අතර, පෞද්ගලික දේපළ පවතින ප්‍රමාණය සහ එහි ක්‍රියාකාරිත්වය නිශ්චිත රටෙහි විෂය මූලික සහ ඓතිහාසික තත්වයන් විසින් තීරණය කරනු ඇත.
සෝවියට් දේශය ඇතුළු පැරණි සමාජවාදී කඳවුරේ රටවලදී මෙය බොහෝ විට සුළු පරිමාණ පෞද්ගලික දේපළ ස්වරූපයක් ගන්නා ලද අතර, පොදු දේපළ තහවුරු වීමේ ප්‍රමාණය මත පෞද්ගලික දේපළ පැවැත්මේ වුවමනාව අවසන් වනු ඇත.

සමාජවාදය යටතේ මූලික ආර්ථික නියාමයන්ගේ ක්‍රියාකාරිත්වය

අපි ධනවාදය හැදෑරීමේදී ධනේශ්වර නියාමයන් ක්‍රියාකාරී වන උපාංග හඳුනා ගත්තෙමු. වෙළඳ භාණ්ඩය, මුදල්, මිල, වැටුප්, බෙදාහැරීම, ශ්‍රමය ආදිය මේ අතර විය. ඒවා ධනේශ්වර ක්‍රමයේදීත් සමාජවාදයේදීත් එකම වචනවලින් යෙදුවට තේරුම් ගත යුත්තේ සමාජක්‍රම දෙක තුළ භාවිත වන, ක්‍රියාවට නඟන අරමුණෙහි වෙනස අනුවය. ධනවාදයේදී ‘මිල’ තීරණය කළ ආකාරයට හාත්පසින්ම වෙනස් ආකාරයට, වෙනස් වුවමනාවන් සහිතව සමාජවාදයේදී ‘මිල’ යොදා ගනී.

සමාජවාදය යටතේ මුදල්

ධනවාදය යටතේ මුදල්, වැටුප් ශ්‍රමය සූරාකෑමේ මාධ්‍යයක් වන අතර, එය ප්‍රාග්ධනය ලෙස කටයුතු කරයි. සමාජවාදය යටතේ සූරාකෑම අවම කර ඇති තත්වයක් යටතේ මුදලද ප්‍රාග්ධනය ලෙස කටයුතු කිරීමේ ස්වභාවය හීනවෙමින් යනු ඇත. සමාජවාදය යටතේද මුදල් පවතින අතර, එහිදී ප්‍රධාන කොටම භාණ්ඩවල වටිනාකම ප්‍රකාශ කිරීමේ මාධ්‍යයක් ලෙසත් සංසරණ මාධ්‍යයක් ලෙසත් ණය ගෙවීමේ මාධ්‍යයක් හැටියටත් සමාජවාදයේදීද පුද්ගලයින්ගේ ඉතුරුකිරීම්වල මාධ්‍යයක් ලෙසත් කටයුතු කරනු ලැබේ.

සමාජවාදයේදී භාණ්ඩ මිල

ධනවාදයේදී වටිනාකමේ මිල, වෙළඳපොළ ඉල්ලුම හා සැපයුම විධානයන්ට අනුව තීරණය වන බැව් පැවසේ. සමාජවාදයේදී වටිනාකමේ මුදල් ස්වභාවය ලෙස හුවමාරු භාණ්ඩයක මිල තීරණය වන අතර, එය සැලසුම් සහගත ක්‍රමවේදයකට අනුව තීරණය කෙරේ.
මෙය සමාජවාදී සංක්‍රමණීය අවධිය තුළ නිෂ්පාදනයේ ව්‍යප්තියේ ප්‍රමාණය මත තීරණය වන්නකි. මෙහිදී භාණ්ඩයක් සඳහා වන වියදමට ශුද්ධ ආදායම එකතු කිරීමෙන් මිල නීර්ණය කරනු ලැබේ. වැඩ කළ ප්‍රමාණයට ප්‍රතිලාභ සමාජයට බෙදාදීම සමාජවාදයේ මූලික වුවමනාව වෙයි. ඒ අනුව, නිෂ්පාදනය බෙදා දීමෙන් අනතුරුව, ශුද්ධ ආදායම ව්‍යාපාර ලාභය සහ වෙළඳ බදු, සමාජය සඳහා වූ නිෂ්පාදනයක් ලෙස රාජ්‍යයේ ගිණුමකට බැර වේ. (මෙම කොටස භාණ්ඩයේ මිලහි අන්තර්ගත වේ.)

සමාජවාදය යටතේ භාණ්ඩයක වටිනාකම

සමාජවාදය යටතේද, හුවමාරු භාණ්ඩයක හුවමාරු හා ප්‍රයෝජ්‍ය වටිනාකම පවතී. ධනවාදයේ මෙන් අතිරික්ත වටිනාකම් ඉපැයීම පමණක් අරමුණු කරගෙනම සිදුවන හුවමාරු භාණ්ඩ නිෂ්පාදනයට පටහැණිව, සමාජයේ ප්‍රජාවගේ අවශ්‍යතාවයන් තෘප්තිමත් කරන අතර විවිධත්වය අනුව ප්‍රමාණයෙන් හා ගුණයෙන් පොහොසත් ප්‍රයෝජ්‍ය වටිනාකම නිෂ්පාදනය කරයි.

සමාජවාදය යටතේ බෙදා හැරීම

ධනවාදයේ නිෂ්පාදනයේ ප්‍රතිලාභ සියල්ල බෙදා හැරෙන ආකාරය අතිශය සූරාකෑමේ ක්‍රියාවලියක් බව අපි ප්‍රයෝගික ලෙසම අත්විඳ ඇත්තෙමු. නමුත් සමාජවාදයේ ප්‍රතිපත්තිය ඊට ඉඳුරාම වෙනස්ය. සමාජවාදයේදී වැඩ කළ ප්‍රමාණයට අනුව බෙදා හැරීම සිදුවෙයි. මෙමගින් පරිභෝජනය සඳහා වැඩකිරීම අනිවාර්ය වෙයි. අනෙක් අතට සමාන වැඩට සමාන වැටුප් ගෙවනු ලැබේ. මෙමගින් වැටුප්වල මෙන්ම සිදුකරන කාර්යයේ විවිධත්වයක් අඟවයි. එනම් වඩාත් කාර්යක්‍ෂම හා නිපුණ ශ්‍රමයට වැඩි වැටුප් ගෙවනු ලබයි. දුෂ්කර වැඩටද වැඩි වැටුප් හිමිවනු ඇත.

සමාජවාදයේ වැටුප්

ධනවාදයේදී වැටුප් යනු, ශ්‍රම ශක්තියට ගෙවනු ලබන මිළයි. නමුත් සමාජවාදයේදී මෙය බරපතල වෙනසකට ලක්වේ. සමාජවාදයේදී වැටප් යනු වැඩවල ප්‍රමාණයට අනුව බෙදා හැරීමේ ක්‍රමයක් වන අතර, එය සමාජ නිෂ්පාදනය බෙදා හැරීමේ ආකාරයකි.

සමාජවාදී සැලසුම්ගත සංවර්ධනය

ආර්ථීකයේ ප්‍රධාන ධාරාවන් එක් මධ්‍යස්ථානයක සිට දැනුවත්ව අන්තර් සම්බන්ධිතව සැලසුම්ගත කලමනාකරණය මෙයින් අදහස් වේ. නිෂ්පාදන මාධ්‍යන්ගේ බහුතරයක් පොදු දේපළ ලෙස විශේෂයෙන්, රජය සතු දේපළ ලෙස, පවත්නා තත්වයක් යටතේ, එය සිදුකළ හැකි ක්‍රියාදාමයකි. මෙයින් නිෂ්පාදනයේ හා බෙදා හැරීමේ ක්‍රියාවලිය සැලසුමකට අනුව ඉටුකළ හැකිය.අපි මෙතෙක් ධනවාදයේ මෙන්ම සමාජවාදයේ ඇති වෙනස්කම් පිළිබඳව සාකච්ඡා කළෙමු. ඉදිරියේදී සමාජවාදයේ සහ කොමියුනිස්ට් ක්‍රමයේ ඇති වෙනස හා අන්තර් සම්බන්ධය තෝරුම් ගැනීමට උත්සාහ කරමු.

සමාජවාදය තුළ දේපළ ආකාර සහ ආර්ථික නියාම ක්‍රියාකිරීම