නූතන පවුල හා ලොව පැරණිම වෘත්තිය

SHARE

Share on facebook
Share on google
Share on twitter
Share on linkedin

පවුල නැමැති සමාජමය ඒකකය ඒකභාර්යා වෘතය සහිත වත්මන් පවුල දක්වා සංක්‍රමණය වූ අයුරුත් ස්වභාවිකව වෙනස්වෙමින් ආ පවුලේ ආකෘති පෞද්ගලික දේපළ හා පංති සමාජය බිහිවීමත් සමග ඒකභාර්යා වෘතය සහිත පවුල බවට පත්වූ අයුරුත් ඉහත ලිපි මගින් අපි සාකච්ඡා කළෙමු.

පවුල සමාදානයේ ප්‍රතිඵලයක් ද?

වත්මන් පවුලේ ආරම්භය ආර්ථිකමය හේතුවක් මුල්කරගෙන බිහිවූ බැවින් එය එලෙස බිහිවීමත් සමග පවුල අර්බුද රැසකට හා ප්‍රතිවිරෝධයන් රැසකට මුහුණ පෑවේය. එම ප්‍රතිවිරෝධයන් පවුල තුළ මේ දක්වාම පවතී. වත්මන් පවුල බිහිවූවිට ඒ තුළ ලිංගික ආලය නම් මනෝභාවයත් ඊට ප්‍රතිපක්ෂ ලෙස ලිංගික ඊර්ෂ්‍යාවත් බිහිවූ අයුරු කලින් අප කතා කළෙමු. පවුල තුළ ඇතිවූ මෙම ප්‍රතිවිරෝධය හා ගැටලු තේරුම් ගැනීම සඳහා අපි යළිත් එංගල්ස් වෙතට හැරෙමු. සිය කෘතියේ 67 වන පිටුවේ මේ පිළිබඳ ඔහු මෙලෙස විස්තර කරයි.

“පෞද්ගලික ලිංගික ආදරය නිසා ඒකභාර්යා වෘතය ඇති නොවීය. මේ දෙක අතර පොදුවේ කිසිවක් නොවීය. මන්දයත්, විවාහය පෙර මෙන්ම, සැප පහසුකමේ විවාහයක් වූ බැවිනි. ඒක භාර්යා වෘතය ප්‍රකෘති තත්වය මත නොව ආර්ථික තත්වය මත, එනම්, ස්වභාවික ලෙස වර්ධනය වූ මූලික පොදු අයිතිය වෙනුවට පෞද්ගලික අයිතිය ජයගත් තත්වය මත පදනම් වූ දෙයක් විය. පවුලේ පාලනයට පුරුෂයා පත්වීම, ඔහුට පමණක් ජාතක විය හැකි දරුවන් නම් කිරීම, ඔහුගේ දේපළ ඔවුනට භාරදීම, ඒක භාර්යා වෘතයේ විශේෂ අරමුණු හැටියට ග්‍රීකයන් දුටුවේ ඒවා පමණකි. ඉතිරි හරිය බරකි. දෙවියන්ට, රජයට හා මුතුන්මිත්තන්ට ඔවුන් විසින් කළ යුතු මෙහෙයකි. ඇතැන්ස් නීතිය විවාහය පමණක් නොව අවමය වශයෙන් මිනිසෙකු විසින් කළ යුතු වෛවාහික යුතුකම්ද අනිවාර්ය කරන ලදී.”

නූතන පවුලේ ආරම්භක අවස්ථාව උදාහරණ මගින් එලෙස මෙම පවුල බිහිවීමේ පදනම හා හේතු පැහැදිලි කළ එංගල්ස් ඒ සමගම පවුල තුළ පුරුෂයා හා කාන්තාව අතර වූ ප්‍රතිවිරෝධය ද සිය කෘතියේ 67-68 පිටුවල මෙලෙස පැහැදිලි කළේය.

“ඒක භාර්යා වෘතය ඉතිහාසය ඉදිරියේ පෙනී සිටින්නේ මිනිහා හා ගැහැනිය අතර සමාදානයේ ප්‍රතිඵලයක් වශයෙන් නොවේ. එවැනි සමාදානයක උසස් විධියක් හැටියට ද නොවේ. එහෙත් ඒ වෙනුවට, එක් පක්ෂයක් තවත් පක්ෂයක් යටපත්කර ගැනීමක් ලෙසිනි. ඉතිහාසයට පූර්ව යුගයේදී මිනිසා කොහෙත්ම නොදැන සිටි අරගලයක් ප්‍රකාශ කිරීමක් ලෙසය. මාක්ස් හා මවිසින් 1846 ලියන ලද එහෙත් පළ නොකරන ලද අත් පිටපතක මෙසේ සඳහන් වේ. “ළමයින් ඇති දැඩි කිරීම සඳහා පුරුෂයා හා ස්ත්‍රිය අතර පළවැනි ශ්‍රම විභජනය ඇති විය” දැන් මෙයට තවත් එකතු කළ හැකිය. ඉතිහාසයේ පෙනෙන පළමු වැනි පංතිමය ප්‍රතිවිරෝධතාවය ඒක භාර්යා වෘතය නිසා පුරුෂයා හා ස්ත්‍රිය අතර පැන නැඟි ප්‍රතිවිරුද්ධතාවය සමග ද පුරුෂයා විසින් ස්ත්‍රිය පළමුවරට පංතිමය වශයෙන් පෑහීමත් සමග එකවර සිදුවිය. ඒකභාර්යා වෘතය විශාල ඓතිහාසික ඉදිරිගමනකි. එහෙත් මෙය ඒ සමගම වහල්ක්‍රමය සහ පෞද්ගලික ධනය නැමති යුගය සොයා ගත්තේය. මේ යුගයේ හැම ඉදිරි ගමනක්ම එකවර සාපේක්ෂ වශයෙන් ආපසු යාමක් ද වන්නේය.”

වර්තමානයේ ධනේශ්වර කර්මාන්තය විසින් ගැහැනිය ද නිෂ්පාදන ක්‍රියාවලියට ඇදගැනීම නිසා දැන් ඇයද රැකියවක් කරන ආර්ථිකමය හැකියාවක් ඇති කෙනෙක් වීම නිසා පවුල තුළ පැවති පුරුෂයා ආධිපත්‍ය දරන ස්වභාවය කිසියම් ප්‍රමාණයකින් වෙනස් වුවද පොදුවේ හා පදනමින් ගත්විට අද පවා පවුල තුළ ආධිපත්‍යය දරන්නා පුරුෂයා වී තිබේ. ඒ, ඔහු පවුල තුළ ආර්ථිකයේ ආධිපත්‍ය දරන්නාවීම නිසාය.

ආදරය හා දෑවැද්දේ පරස්පරය

ලොව පුරා බොහෝ රටවල මෑතක් වනතුරුම හා බොහෝ විට දැනුත් විවාහයකදී ස්ත්‍රියගෙන් දෑවැද්ද ඉල්ලා සිටීම විසින් තහවුරු කරන්නේද වත්මන් පවුලේ පදනම ආර්ථිකමය එකක් බවය. මීට වෙනස් අවස්ථා ඇතත් පොදුවේ ගත්විට ‘ආදරය’ පවතින්නේ දේවල්වලට ‘ඉහළින්’ නොව ‘පහළිනි’ වර්තමානයේ දෑවැද්ද නැතත් ගැහැනිය කරන රැකියාව, ඇයගේ ආර්ථිකමය සුදුසුකම් (ගේ දොර වැඩ, දෑතේ වැඩ ගැන) සොයා බලන බවත් ඇගේ පවුලේ ආර්ථික තත්වය ගැනද සොයන බවත් රහසක් නොවේ. ඉන්දියාව වැනි රටවල තවමත් දෑවැද්ද ඉල්ලීම සමාජ ඛේදවාචකයක්ව පවතී. එලෙස සමහර රටවල දෑවැද්ද ඉල්ලද්දී මැදපෙරදිග රටවල පියාට මුදල් දී ගැහැනු දරුවන් අඹුකමට ගෙනයාමේ සිරිතක්ද තිබේ. එවිටද පවුල තුළ බිරිඳ සමාන අයිතිවාසිකම් ඇති කෙනෙක් නොව මිලට ගත් වහලියක් වේ. නූතන පවුල අතීතයට සාපේක්ෂව ඉදිරි ගමනක් වුවත් ඒ සමගම සමාජයේ ආපසු ගමනක් වන්නේ මේ අනුවය.
වර්තමානයේ විවාහවීම තුළ පමණක් නොව දික්කසාද වීම තුළද මෙම තිත්ත ඇත්ත දැකිය හැක. දික්කසාද වීමේදී බොහෝ විට ස්ත්‍රියට වන්දි ගෙවීමට (නඩත්තු ගෙවීමට) පුරුෂයාට නීතියෙන් නියම කිරීම මගින්ද පෙන්වන්නේ නූතන පවුලේ පදනම ආදරය නොව, දේපළ සබඳතාවක් බවය. දික්කසාද වීමේදී මෙන්ම සැමියා හෝ බිරිඳ මියගිය විට ඔවුනට අයත් දේපළ බෙදාගැනීමේ ආරාවුල් මගිනුත් බූදල් නඩු මගිනුත් දේපළ නිසා ඇති කරගන්නා පවුලේ දබර හා ගහමරාගැනීම් මගිනුත් ඔප්පුකර තිබෙන්නේ එංගල්ස් පැවසූ සත්‍යයමය. එනම් නූතන පවුල ගොඩනැඟී ඇත්තේ ආදරය මත නොව දේපළ මතය යන්නය. නූතන පවුලේ සබඳතාවල පදනමේ පවතින්නේ ආධ්‍යාත්මික, මානුෂික සබඳතා නොව දේපළ හා පෞද්ගලික වුවමනාවල සාධක බවය. මින් අදහස් වන්නේ, නූතන පවුල් ඒකකය තුළ ආදරය කොහෙත්ම නැති බව නොවේ. නිර්ධන පංති විවාහ තුළ දේපළවලට වඩා ආදර බැඳීම් ප්‍රබලවන අවස්ථා අපට හමුවේ. එසේම දේපළ නොසලකා ආදරය වෙනුවෙන් කැපකිරීම් කළ පරමාදර්ශී පෙම්වතුන් ගැන පුරාවෘතද අපේ ඉතිහාසයේත් සාහිත්‍යයේත් තිබේ. එහෙත් ඒවා විශේෂයන් වන අතර, පවුලේ පොදු ස්වරූපය නොවේ. කෙසේ වෙතත් ඒ පිළිබඳව වඩා විස්තරාත්මකව ඉදිරියේදී සාකච්ඡා කිරීමට අපට පුළුවන.

පවුලේ සදාචාරය හා සදාචාර අර්බුදය

වත්මන් පවුල සදාචාරයේ මුදුන්මල්කඩ ලෙස පෙනී සිටියද සැබවින්ම වත්මන් පවුල බිහිවූයේ සදාචාරමය හේතුවක් මත නොව ආර්ථික වුවමනාවක් මතය. ඒ නිසාම වත්මන් පවුල බිහිවන විටම ඊට පෙර සමාජය හඳුනාගෙන නොසිටි, වර්තමාන සමාජය තුළ සදාචාරවිරෝධී ලෙස සැලකෙන චරිත කීපයක්ද බිහිවිය. ඒ පතිවත නොරකින ස්ත්‍රිය, අනියම් සබඳතා සහිත පුරුෂයා හා ගණිකා වෘත්තියය. මෙම සදාචාරවිරෝධී ලෙස සැලකෙන චරිත ඒකභාර්යා වෘතය සහිත පවුලේම නිෂ්පාදනයකි. ඒ පිළිබඳව සිය කෘතියේ 69-70 පිටුවල එංගල්ස් මෙසේ සටහන් කර තිබේ.

“ඒක භාර්යා වෘතයත් සමග තවත් ප්‍රතිවිරෝධතාවක් පැන නැගිණි. විවාහයට බාහිරව කරන ලිංගික සම්බන්ධතාවයන්ගෙන් පිරි ජීවිතයක් ගතකරන සැමියා අසළ නොසැලකිල්ලට භාජනයවූ බිරිඳය. ඇපල් ගෙඩියක කොටසක් කා දැමූ පසු සම්පූර්ණ ඇපල් ගෙඩිය ඉතිරි නොවන්නා සේම ප්‍රතිවිරෝධතාවයක එක පැත්තක් පමණක් ඉතිරි නොවේ. කෙසේ වුවද තම බිරියන් තමන්ට හරිහැටි උගන්වන තුරු පුරුෂයෝ වෙනත් විධියකට කල්පනා කළහ. මීට ඉහත නොදුටු සමාජමය චරිත දෙකක්, එනම් සොර සැමියා හා පතිවත නොරකින ස්ත්‍රීන්ගේ සැමියා බිහිවිය. පුරුෂ වර්ගයා ස්ත්‍රී වර්ගයා අභිබවා ජය ගත්තද, ජයග්‍රාහකයාට ඔටුනු පැලැන්දවීම පරාජයට පත්වූ ස්ත්‍රිය විසින් උදාර ලෙස කරන ලදී. කාම මිත්‍යාචාරය වරදක් බවත්, එයට තදබල දඬුවම් පමුණුවන ලද නමුදු, එය මැඩලිය නොහැකිවූ අතර, ඒක භාර්යා සේවනයට සහ හෙටයරිස්මයට සමාන්තරව නොවැළැක්විය හැකි සමාජයීය ආයතනයක් බවට පත්විය.”

මෙය මෙලෙස සිදුවූයේ කලින් පැවති එකල සමාජය තුළ ස්වභාවික හා ජෛව විද්‍යාත්මක වුවමනාවක් අනුව ක්‍රියාත්මක වූ නිදහස් හා පොදු ලිංගික සබඳතා එක්වරම ආර්ථික වුවමනාවක් වෙනුවෙන් නැවැත්වීමත් සමගය. එවිට ජීව විද්‍යාත්මක වුවමනා හා ආර්ථිකමය සීමාකිරීම් අතර ප්‍රතිවිරෝධයන් හා ගැටුමක් නිර්මාණය වූ අතර, එයට සමාජය විසඳුම් සොයාගත්තේ විවාහයට පිටින් කෙරෙන ලිංගික සබඳතා මගිනි. එවිට එය විවාහ නීතියටත් අලුත් සදාචාරයටත් පටහැණි විය. එතැන් සිට අද දක්වාමත් එය වෙනස්කර ගත නොහැකිව පැවතීම විසින් පෙන්වන්නේ වත්මන් පවුල එම ප්‍රතිවිරෝධය විසඳීමට සමත් නොමැති බවය.
ලොව පැරණිම වෘත්තිය බිහිවීම
ලොව පැරණිම වෘත්තීන් දෙක ලෙස සැලකෙන්නේ ගණිකා වෘත්තිය හා පූජක වෘත්තිය වේ. මින් ගණිකා වෘත්තිය බිහිවූයේ ද ඒක භාර්යා වෘතය සහිත පවුල බිහිවීමේදී එහි අතුරු ඵලයක් ලෙසය. ඒ පිළිබඳව එංගල්ස් සිය කෘතියේ 68 පිටුවේ මෙසේ සඳහන් කර තිබේ.

“හෙටයරිසම් යනුවෙන් මෝර්ගන් අදහස් කරන්නේ පුරුෂයින් හා අවිවාහක ස්ත්‍රීන් අතර ඒකභාර්යා වෘතය සමග එකවර පවතින, අප දන්නා පරිදි සභ්‍ය යුගයේදී විවිධ ක්‍රම අනුව වර්ධනය වූ එක එල්ලේම ගණිකා වෘත්තිය දක්වා වැඩෙමින් පවතින්නා වූ විවාහයට පිටින් පවතින ලිංගික මෙවුන්දමය. විවාහයට බාහිර වශයෙන් පවතින මේ ලිංගික සබඳතා කෙලින්ම කාණ්ඩ විවාහයටත් පතිවෘතාවේ අයිතිය ලබාගත්, ස්ත්‍රියගේ පරිත්‍යාගශීලී යටත් වීමටත් සම්බන්ධ කළ හැකිය. මුදලට යටත්වීම මුලදී ආගමික සිරිතක් විය. ආලයේ දෙව්දුවගේ දේවාලයේදී එය සිදුවිණ. මේ මුදල් දේවාලයේ භාණ්ඩාගාරයට ලැබිණ. ආමීනියාවේ අනයිටීස් දේවාලයේ හා කොරිනින්සි ඇප්‍රොඩයිට් දේවාලයේ හිරෝඩ්‍යුලස් (දේවාලයේ මෙහෙකාරියන් වන වහල් ස්ත්‍රිය) වරියෝ සහ ඉන්දියාවේ දේවාලවල නාටිකාංගනාවෝ වන බයඩරස්වරියෝද (මේ වචනය පෘතුගීසි ඉසක්ාැසර් නැමැති වචනයෙන් බිඳ ගත්තකි. එහි තේරුම නාටිකාංගනාව යන්නය) පළමුවැනි ගණිකාවෝ වූහ.”

මේ අනුව ගණිකා වෘත්තිය මෙන්ම විවාහයට පිටින් පවත්වන ලිංගික සබඳතාද බිහිවූයේ ඒකභාර්යා වෘත්තිය බිහි වන විට ඒ දක්වා පැවති ලිංගික අවශ්‍යතා සීමාකිරීමේ ගැටලුවට සොයාගත් විසඳුමක් ලෙස බව පැහැදිලි වේ. මෙය එක් එක් රටවල සිදුවූ අයුරුත් දේවාල හිමි හා පාලන බලය හිමි පිරිමින් මෙයට සොයාගත් විසඳුම්වල ආකාරයත් සහිතව මෙම කරුණු ඉදිරියේදී තවත් විස්තරාත්මකව සාකච්ඡා කරමු.

නූතන පවුල හා ලොව පැරණිම වෘත්තිය