සමාජවාදය යටතේ රාජ්‍ය ධනවාදය

SHARE

Share on facebook
Share on google
Share on twitter
Share on linkedin

සමාජවාදය ගොඩනැගීම පිළිබඳව සාමාන්‍ය සමාජයේ ඇත්තේ, ධනවාදී ප්‍රචාරකයින් විසින් ගොඩනගන ලද අභූත දුර්මතයන් ය. සමාජවාදය යනු පොහොසත් අය මංකොල්ලකා දුප්පතුන් හට බෙදා දෙන සරදියෙල් පන්නයේ ක්‍රමයක් ලෙස සමහරු සලකති. තවත් අය ප්‍රචාරය කර ඇත්තේ, සමාජවාදය අතීතයට උරුම, යල්පැන ගිය සංකල්පයක්, සමාජ ක්‍රමයක් හැටියටය. නමුත් සමාජවාදය ඊට කලින් පැවති ධනවාදය සම්පූර්ණ අහෝසි කර අළුමතින් ගොඩ නගන සමාජ ක්‍රමයක් නොවේ. සමාජවාදය ගොඩ නගන්නේ ධනවාදී සමාජ ක්‍රමය තුළමය. ඒ නිසා ධනවාදයේ දියුණු දේ නවීන දේ තාක්ෂණය විද්‍යාව ආදී බොහෝදේ සමාජවාදය උකහා ගනී. සමාජවාදය, කොමියුනිස්ට් ක්‍රමය තෙක් අතරමැදි සංක්‍රමණීය කාලයකි. සමාජවාදය සමාජ ක්‍රමයකට වඩා ධනවාදය සහ කොමියුනිස්ට් ක්‍රමය අතර වන සංක්‍රමණික අවදියකි. එම සංක්‍රමණිය අවදිය තුළ කොමියුනිස්ට් ක්‍රමයේ ලක්ෂණ මෙන්ම අහෝසි වෙමින් තිබෙන ධනවාදයේ ලක්ෂණද සමාජවාදී පරිවර්තන අවධියේදී අඩංගුය.

මෙම සංක්‍රමණීය අවදිය තුළ සමාජවාදී සෝවියට් දේශයේද ක්‍රියාවට නැගුණේ මෙවැනි ආකෘතියකි. සමාජවාදය ගොඩනැගීමේදී සෝවියට් දේශයේ ක්‍රියාවට නැගුණු නිසා සෑම රටකම එලෙස ක්‍රියාවට නැගිය යුතු යැයි ආර්ථික මොඩලයක් ද නැති බව අවධාරණය කරගත යුතුය. මෙහිදී සමාජවාදී පාලනය යටතේ තෝරාගත් රාජ්‍ය ව්‍යාපාර ධනපතියන් විසින් ඔවුන්ගේ දැනුම පළපුරුද්ද අත්දැකීම් අනුව එදා ක්‍රමය යටතේ පාලනය කරනු ඇත. රාජ්‍ය හා පෞද්ගලික දේපළ මිශ්‍රව පවත්වාගෙන යාමක් මෙහිදී සිදුවේ. සෝවියට් දේශයේ ක්‍රියාවට නැගුණු නව ආර්ථික ප්‍රතිපත්ති රාජ්‍ය ධනවාදය මත පදනම්ව ක්‍රියාත්මක විය.

“… අපගේ සෝවියට් සමූහණ්ඩුවේ දැන් පවතින තත්වය අනුව රාජ්‍ය ධනපති ක්‍රමය ඉදිරි පියවරක් වනු ඇත. සය මසක පමණ කාලයකින් අපගේ සමූහාණ්ඩුව තුළ රාජ්‍ය ධනපති ක්‍රමය ස්ථාපිත වේ නම් එය විශාල ජයග්‍රහණයක් වනු ඇත. එවිට අවුරුද්දක් ඇතුළත සමාජවාදය තදින් මුල් අල්ලන බවට හා එය අප රටේ අනභිභවනීයත්වයට පත්වන බවට එම රාජ්‍ය ධනපති සහතිකයක් වනු ඇත.”

ලෙනින්, රුසියාවේ වර්තමාන ආර්ථිකය, 216 පිටුව, තෝරාගත් කෘති, වෙළුම 12

මෙම එකතු කළ කෘති වෙළුම 12 තුළ රුසියාවේ වර්තමාන ආර්ථිකය නැමැති මාතෘකාව යටතේ සමාජවාදී ක්‍රමය ගොඩ නැගීමට ඉවහල් කරගත හැකි මේ නව ප්‍රවේශය වන රාජ්‍ය ධනවාදය ක්‍රියාවට නැගීම තවදුරටත් ගැඹුරින් සාකච්ඡා කර ඇත.

“රුසියාවේ ආර්ථික ක්‍රමය ගැන අධ්‍යයනය කිරීමේදී එහි පරිවර්තනීය ස්වභාවය නොපිළිගෙන ප්‍රතික්ෂේප කළ කෙනෙක් නැතැයි මම අදහස් කරමි. එසේම සමාජවාදී සෝවියට් සමූහාණ්ඩුව” යන පාඨයෙන් අදහස් කරන්නේ සමාජවාදය කරා පරිවර්තනය වීමට සෝවියට් බලයේ ඇති අධිෂ්ඨානය මිස පවතින නව ආර්ථික ක්‍රමය සමාජවාදී ලෙස පිළිගැනීමක් නොවන බව කිසිම කොමියුනිස්ට්වාදියෙකු ප්‍රතික්ෂේප කර නැතැයිද සිතමි.”

216 පිටුව, රුසියාවේ වර්තමාන ආර්ථික ලිපිය, 12 වෙළුම

“සමාජවාදයට විරුද්ධව යුද ප්‍රකාශ කර තිබෙන්නේ රාජ්‍ය ධනපති ක්‍රමය නොවේ. එසේ කර තිබෙන්නේ රාජ්‍ය ධනපති ක්‍රමයටත් සමාජවාදයටත් යන දෙකටම විරුද්ධව එක්ව සටන් කරන සුළු ධනපති සහ පෞද්ගලික ධනපති ක්‍රමයයි. රාජ්‍ය ධනපති ක්‍රමයක් වේවා, රාජ්‍ය සමාජවාදී ක්‍රමයක් වේවා සෑම වර්ගයකම රාජ්‍ය ඇඟිලි ගැසීමකම, ගිණුම් තැබීමකම හා පාලනයකට සුළු ධනපතියෝ විරුද්ධ වෙති. මෙය කිසිසේත් නැහැයි කිව නොහැකි යථාර්ථ කරුණකි.”

සෝවියට් දේශය තුළ වැඩවසම් ක්‍රමය සමග වැඩී වර්ධනය වූ පසුගාමීත්වය පරාජය කිරීමේ කටයුත්ත සාර්ථක නොකර සමාජවාදය වෙත පිවිසීම සිතීමටවත් නොහැකි විය. ඒ නිසාම පසුගාමීත්වය පරාජයට පත් කිරීමත් සමාජවාදී ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නැගීමත් ඒකාබද්ධ කළ හැකි වූයේ, උසස් මට්ටමක කාර්මීකරණයක් මගින් පමණි. ඒ වෙනුවෙන් සෝවියට් දේශය රාජ්‍ය ධනවාදයට ක්‍රියවට නගමින් කාර්මීකරණයේ පිමි ගණනක් ඉදිරියට වර්ධනය අත්පත් කරගන්නා ලදී. ඒ සඳහා අවශ්‍ය පියවර ලෙස ද්‍රව්‍ය බද්ද, වෙළඳාම් කිරීමේ නිදහස සහ වෙළඳාමට රාජ්‍ය අනුග්‍රහයන් ලබා දෙන ලදී. ගොවීන්ගෙන් ධාන්‍ය අතිරික්ත රජයට අත්පත් කර ගැනීම වෙනුවට, ද්‍රව්‍ය බද්ද ආදේශ කරන ලදී. ලෙනින් මෙම වෙනස්කම ඔහුගේම වචන වලින් ප්‍රකාශ කළේ මෙලෙසය.
“මේ අනුව බලන කල අපට අවශ්‍ය දෙය නම් ගොවි ජනතාවගේ නිෂ්පාදිතය …… නගා සිටුවීමට හේතුවන හදිසි සහ බරපතළ පියවරයන්ය.
අපගේ ආහාර ප්‍රතිපත්තියෙහි වැදගත් වෙනස්කම් නොකර මෙය කළ හැකි නොවේ. ධාන්‍ය අතිරික්ත අත්පත් කර ගැනීම වෙනුවට ද්‍රව්‍ය බද්ද ආදේශ කිරීම එවැනි එක වෙනස්කමක් විය. බද්ද ගෙවීමෙන් පසුව, යටත් පිරිසෙයින් ප්‍රාදේශීය හුවමාරුවෙහිදී නිදහස් වෙළඳපොළක් පැවැතීම අදහස් කෙරේ. ධන්‍ය අතිරික්ත අත්පත් කර ගැනීම වෙනුවට ද්‍රව්‍ය බද්ද ආදේශ කිරීමෙහි සාරාර්ථය කුමක්ද?
විකල්පය නම්, (අවසාන වශයෙන් විය හැකි හා එකම බුද්ධිමත් ප්‍රතිපත්තිය) ධනපති ක්‍රමයේ සංවර්ධනයට තහනමක් පැනවීමට, නැතහොත් අගුලු ලෑමට ප්‍රයත්න දැරීම නොව, එය රාජ්‍ය ධනපති ක්‍රමය බවට හැරවීමය. එය ආර්ථික වශයෙන් කල හැකි දෙයකි. එසේ කියන්නේ සීමා නොකල වෙළඳාමේ සහ ධනපති ක්‍රමයේ මූලිකාංගයන් පවතින තැන විවිධ ආකාරයෙන් මට්ටමින් රාජ්‍ය ධනපති ක්‍රමය පවතින හෙයිනි.
සෝවියට් රාජ්‍ය සහ නිර්ධන පංති අඥාදායකත්වය සමග රාජ්‍ය ධනපති ක්‍රමය සම්බන්ධ කල හැකිද? ඒවා ගැළපෙන්නේද?
ඇත්ත වශයෙන්ම එසේය. 1918 මැයි මාසයේදී ද මා තර්ක කළේ හරියටම මේ ආකාරයෙනි. ඒ අවස්ථාවේදී මා එය ඔප්පුකර ඇතැයි සිතුවෙමි. 232 පිටුව – රුසියාවේ වර්තමාන ආර්ථිකය.

“සෝවියට් ආණ්ඩුව ධනපති ක්‍රමය රාජ්‍ය ධනපති ක්‍රමයේ මාර්ග වලට යොමුකරන්නේ සහ රාජ්‍ය ධනපති ක්‍රමය “රෝපණය” කරන්නේ කෙසේදැයි පෙන්වන සරලතම නිදසුන අනුග්‍රහයන් සැකසීමය. අනුග්‍රහයන් දීම අවශ්‍ය බවට දැන් අපි සියලු දෙනම එකඟ වන්නෙමු.”

ලෙනින් – 233 පිටුව – රුසියාවේ වර්තමාන ආර්ථිකය. 11 වෙළුම – එකතු කල කෘති

සමාජවාදය තම පරිවර්තන ආර්ථික ක්‍රමය ක්‍රියාවට නැගීමේදී අතරමැදි – සංක්‍රමණිය අවස්ථාවක් ලෙස රජය ධනවාදී ආර්ථිකයන්ද අත්හදා ඇති බැව් මේ සියලු උදාහරණ හා ප්‍රකාශන වලින් පැහැදිලිය. එය සෝවියට් නිර්ධන පංතික රජය සහ රාජ්‍ය ධනපති ක්‍රමය අතර සන්ධානයක් බව පැහැදිලිය. රාජ්‍ය මැදිහත් වීමෙන් ධනවාදී ආර්ථිකය ක්‍රියාවට නගා ඇත. එවිට අනුග්‍රහ ලබන්නා ධනපතියෙකි. ඔහු ඔහුගේ ව්‍යාපාර ගෙන යන්නේ ධනපති ක්‍රමයටය. ධනපති ක්‍රියාමාර්ග අනුව ලාභ ඉපයීමටය. අධිලාභ සඳහා ධනපතියා නිර්ධන පංති ආණ්ඩුව සමඟ ගිවිසුමකට ඇතුළත් වීමට කැමතිය. ධනපතියාට ලාභ ප්‍රයෝජනයක් ඇතිවාක් මෙන්ම එය ක්‍රියාවට නගන සමාජවාදී පාලනයටද (උදාහරණ ලෙස සෝවියට් ආණ්ඩුවටද) නිෂ්පාදනීය බලවේගයන් සංවර්ධනය වීමෙන්ද වහාම ඉතා වැඩි නිෂ්පාදන ප්‍රමාණයන් ලැබීමෙන්ද වාසියක් සැලසේ. සමාජවාදී පාලනයට අවශ්‍ය තෙල් බිම්, ආකර, ආහාර, ප්‍රවාහන පහසුකම්, ඉදිකිරීම නොමැති නම් ඒ සියල්ල සංවර්ධනය කර ගැනීමේ ඉඩකඩද ඒ සමග බිහිවේ.

රාජ්‍ය ධනපති ක්‍රමය ක්‍රියාවට නගන සමාජවාදී පාලනය ඒ සමගම සුළු නිෂ්පාදනයට එරෙහිව මහා පරිමාන නිෂ්පාදනය ද නොදියුණු අත්කම් නිෂ්පාදනයට එරෙහිව යාන්ත්‍රික නිෂ්පාදනයද ක්‍රියාවට නගයි. ධනපති නිෂ්පාදනයට අනුග්‍රහ දීමෙන් සමාජවාදී පාලනය නොදියුණුව පවතින කම්කරුවාගේ හා ගොවි ජනතාවගේ තත්වය ක්‍ෂණිකව දියුණු කර ගනී. ලෙනින් මෙම තත්වය හඳුන්වා දුන්නේ සංවර්ධනයේ පිමි පැණීමක්. ……… නොමැති හිණි පෙත්තක සංවර්ධනයක් හැටියටය.
අද මෙහි සාකච්ඡාවට ලක් කලේ සමාජවාදය සංවර්ධනයේදී ක්‍රියාවට නැගීමේදී ධනවාදයේ බැහැර කල යුතු දේ බැහැර කරන අතරම සංවර්ධනය සඳහා එකතු කරගන්නා කොටස අදාල කරගන්නා ආකාරයයි. ඉදිරි කාලයේදී සමාජවාදී පාලනයේදී දේපල පවතින ආකාරය ගැන සාකච්ඡා කරමු.

සමාජවාදය යටතේ රාජ්‍ය ධනවාදය