පවුල හා සමාජය

SHARE

Share on facebook
Share on google
Share on twitter
Share on linkedin

නූතන පවුල දේපළ හා ආලය

වර්තමානයේ ධනේශ්වර සමාජය තුළ පවතින ‘පවුල’ සමාජ ක්‍රමයෙන් වියුක්ත එකක් නොව එය ධනේශ්වර සම්බන්ධතා සහිත පවුලකි. මෙම පවුල ඒක භාර්යා වෘතය සහිතව ආරම්භ වූයේ ප්‍රාථමික සමාජයේ සාමූහික රටාව බිඳවැටී, පෞද්ගලික දේපළ මත පංති සමාජය බිහිවීමත් සමගය. ප්‍රාථමික සාමූහික සමාජයේ අවසාන කාලයේ සමාජය තුළ වර්ධනය වූ සමාජමය දේපළවලට සාමූහික ආකෘතියක් තුළ තවදුරටත් පැවතීමට නොහැකි විය. විශේෂයෙන්ම සමාජමය නිෂ්පාදනය තුළ අලුතින් බිහිවූ අතිරික්ත ධනය, නිෂ්පාදන මාදිලිය හා මිනිසුන්ගේ චින්තනය වෙනස් කළ අතර, ඒ වන විට පැවති සාමූහික සමාජ සංවිධානය උඩු යටිකුරු කිරීමට සමත් විය. එතෙක් පැවති සමාජමය දේපළ වෙනුවට, පොදු දේපළ වෙනුවට, වංශයේ දේපළ වෙනුවට, දේපළවල අයිතිය පුද්ගලයන් සතුවී පෞද්ගලික දේපළ බිහිවිය. අතිරික්ත ධනය වැඩිකර ගැනීම සඳහා සූරුකෑමත් සූරාකෑම සඳහා මිනිසුන් යටපත්කර තබා ගැනීමට රජයත් පෞද්ගලික දේපළ සාධාරණය කර ගැනීමට නීතිත් ඊටම සරිලන ආචාරධර්ම හා සදාචාරයනුත් බිහිවිය. පංති සමාජය තුළ බිහිවූ සියලු නීතිවල පදනම වූයේ, “මුලින් බලෙන් පැහැර ගැනීමක් සාධාරණය කර ගැනීමට හා නව බලෙන් පැහැර ගැනීමක් වැළැක්වීමටය.”

පවුල හා සදාචාරය

ඒක භාර්යා වෘතය සහිත පවුල බිහිවූයේද ඉහත සමාජ පරිවර්තනයත් සමග ඊට අනුරූපවය. ඒ අනුව ඊට කලින් පැවති පොදු විවාහ ක්‍රම වෙනස් කරමින් එක් ගැහැනියක් හා පිරිමියෙක් අතර ලිංගික සම්බන්ධය වෙනුවෙන් ගොඩනැඟූ නූතන පවුල බිහිවූයේ සදාචාරමය වුවමනා පදනම් කර ගනිමින් නොව, පැහැදිලිවම දේපළමය වුවමනාවන් පදනම් කර ගනිමිනි. පසුව එය සදාචාරය බවට පත්විය. පංති සමාජය බිහිවීමට පෙර ප්‍රාථමික සාමූහික සමාජයේ එක් එක් අවධිවලට අනුව වෙනස් වෙමින් ආ පවුලේ එක් එක් ආකෘති එකල පැවති සමාජමය තත්වයන්ට අනුව එහි සදාචාරය විය. එය සදාචාර විරෝධී වූයේ නැත. මන්ද සදාචාරය යනු සමාජයේ සිදුවන වෙනස්කම්වලට අනුව වෙනස්වන දෙයක් මිස ස්ථාවර දෙයක් නොවන නිසාය. සදාචාරය යනු ඒක භාර්යා වෘතය සහිත පවුලම නොවේ. ලංකාවේ අතීතයේ උඩරට දේපළ බෙදීයාම වැළැක්වීම සඳහා පිරිමි සහෝදරයන් දෙදෙනෙක් සිටින නිවසකට එක් බිරිඳක් රැගෙන ආ, ‘එකගෙයි කෑම’ නම් ක්‍රමයක් පැවති අතර, එය එකල පැවති තත්වයට අනුව එහි සදාචාරය විය.
කෙසේ වුවත් වත්මන් පවුල බිහිවූයේ පොදු විවාහ ක්‍රමය, සදාචාර සම්පන්න නොවන නිසා සදාචාරවත් පවුල් බිහිකිරීමේ වුවමනාව විසින් නොව සමාජය තුළ බිහිවූ පෞද්ගලික දේපළ පිරිමින් සතුවීමත් පිරිමින් සතු දේපළ ඔවුන්ගේ දරුවන්ට උරුමකර දීමේ වුවමනාවත් ඒ සඳහා දරුවන්ගේ පියා නිශ්චය කර ගැනීමේ වුවමනාවත් ඒ සඳහා එක් ස්ත්‍රියක් එක් පුරුෂයෙක් සමග පමණක් විසීම අත්‍යාවශ්‍ය වූ නිසාත්ය යන්න දැන් පැහැදිලිය. ඒ අනුව වත්මන් පවුලේ පදනම සැකසී ඇත්තේ, සදාචාරමය හෝ සමාජමය වුවමනා මූලික කරගෙන නොව දේපළ වුවමනාවක් මුල්කරගෙනය. මේ පිළිබඳව සිය කෘතියේ 64 පිටුවේ එංගල්ස් මෙසේ සඳහන් කරයි. “ඉතා හොඳින් පෙන්වාදුන් පරිදි, මැද අවධියේ සිට උසස් අවධිය දක්වා වනචාරීන් පරිවර්තනය වන යුගයේදී යුගලන පවුල (ජෝඩු පවුල) තුලින් ඒක භාර්යා පවුල ඇති විය. එහි අවසාන ජයග්‍රහණය වූයේ සභ්‍යත්වයේ ආරම්භයයි. එහි ප්‍රකාශිත පරමාර්ථය වූයේ උපන් දරුවන්ගේ පීතෘත්වය සැක රහිතව ස්ථිර කිරීමය. මේ පීතෘත්වය වුවමනා වූයේ පියාගේ දේපළවල නියම හිමිකාරිත්වය යථාකාලයේදී දරුවන්ට ලබාදීම පිණිසය. ඒක භාර්යා පවුල යුගලන පවුලට වඩා වෙනස් වූයේ විවාහ සම්බන්ධය වඩාත් දැඩි නිසාය.”
‘පවුල’ එහි ආරම්භයේ සිට පරිණාමය වූයේ ජීව විද්‍යාත්මක හා සමාජමය වුවමනාවන් මත ස්වභාවිකවය. එය අවිචාරවත් ලිංගික සබඳතා නැමති පුළුල් සම්බන්ධතා ජාලයේ සිට ක්‍රමිකව යුගලන පවුල දක්වා පරිණාමය වූයේ, පවුලේ ස්ත්‍රී-පුරුෂ සම්බන්ධතා කවය දෙදෙනෙක් දක්වා පටු කරමිනි. එය තවදුරටත් ස්වභාවිකව පරිණාමය විය යුතුව තිබුණද පෞද්ගලික දේපළ මත සමාජය උඩුයටිකුරු වීමත් සමග බලහත්කාරී ලෙස අලුත් පවුල් ආකෘතිය වූ නූතන පවුල් ආකෘතිය බිහිකරනු ලැබීය. එය දැන් තවදුරටත් ලිංගික වුවමනා හෝ සමාජමය වුවමනා මත සකස් වූ ආචාර ධර්මවලින් පාලනය වන පවුලක් නොව දේපළ මත පදනම්ව නීතියෙන් පාලනය වන පවුලක් බවට පත්විය.

ලිංගික ආලය පැන නැගීම

ඒක භාර්යා පවුල නීතියේ ආධිපත්‍යයෙන් බඳින ලද එකක් වුවද, එය තුළ සමාජයට වටිනා සංකල්පයක් හෙවත් මනෝභාවයක්ද බිහි විය. ඒ, අප අද ‘ආදරය’ ලෙස හඳුන්වන පෞද්ගලික ලිංගික ආලයයි. පවුලේ අතීත ආකෘති තුළ ස්ත්‍රී-පුරුෂ සබඳතා පැවතියේ ජීව විද්‍යාත්මක හා සමාජමය වුවමනාවන් පදනම් කර ගනිමිනි. එහෙත් ඒ අතර යුගලන පවුල ආරම්භ වූ කාලයේ ස්ත්‍රීන් හා පුරුෂයන් අතර විශේෂ කැමැත්තක් දක්වන විරුද්ධ ලිංගිකයෝ වූහ. එය ආදරය නම් හැඟීමේ ආරම්භය විය. එහෙත් එයට එලෙස වර්ධනය වීමට ඉඩක් නොවූයේ පවුලේ ආකෘතිය, පංති සමාජය තූළ වෙනස් වීමත් සමගය. පංති සමාජය තුළ දේපළ වුවමනාකම් මත පෞද්ගලික පවුල බිහිවීමත් සමග එය තුළ පෞද්ගලික ලිංගික ආලය හෙවත් ආදරය නැමති හැඟීම වර්ධනය විය. ඒ පිළිබඳව එංගල්ස් සිය කෘතියේ 71 පිටුවේ මෙසේ සඳහන් කරයි.
“ඒක භාර්යා වෘතය සහිත පවුල නිසා පළමුවරට විශාලතම අධ්‍යාත්මික දියුණුවක් ඇති විය. එබැවින් අපි ඒක භාර්යා වෘතයට ණයගැති වෙමු. ඒක භාර්යා වෘතය තුළින් හෝ ඊට සමාන්තරව හෝ ඊට විරුද්ධව හෝ ඒ ඒ තත්වයන් අනුව මුළු මහත් ලෝකයම කලින් නොදැන සිටි දෙයක්, එනම් පෞද්ගලික ලිංගික ආලය ඇති විය.”
මේ අනුව බලන විට පැහැදිලි වන කරුණක් තිබේ. ඒ, ඒක භාර්යා පවුල බිහිවූයේ ආදරය පදනම් කරගෙන නොවන බවයි. එය ආරම්භයේ දී බිහිවූයේ පෞද්ගලික දේපළ වුවමනාවන් පදනම් කරගෙනය. එහෙත් පසුව ඒ තුළ පෞද්ගලික ලිංගික ආලය නම් අධ්‍යාත්මික හැඟීම වර්ධනය විය. මුලදී පවුල තුළ එකිනෙකාට ආදරය කිරීම හරහා මෙය බිහිවූ අතර පසුව ස්ත්‍රී-පුරුෂ සබඳතා සඳහා දෙදෙනෙකු එකතු වීමේදී මෙම පෞද්ගලික කැමැත්ත හෙවත් ආදරය බලපෑවේය. ඒ කෙසේ වෙතත් නූතන පවුල තුළ පවතින ආදරය පවා ඉතා පිරිසිදු, උත්තරීතර එකක් නොව පංතිමය වුවමනාවන්ට යටත් එකක් විය. වත්මන් ධනේශ්වර සමාජය තුළ පවතින ‘ආදරය’ පසුපස ධනේශ්වර ආකල්ප හා සිතුම් පැතුම් ගැටගැසී තිබෙන බව බොහෝ විට අපට හඳුනාගත හැක. දේපළ, ලස්සන, තනතුරු, ප්‍රසිද්ධිය, රැකියාව, හැකියාවන් ආදී කරුණු රැසක් මත ආදරය පදනම් වන බව ප්‍රතික්ෂේප කළ නොහැක. කෙසේ වුවත් මෙම ආදරය නැමති ප්‍රපංචය බිහිවූයේ නූතන පවුල බිහිවීම සමග නිසා එහි ගෞරවය එයට හිමිවිය යුතුය.

ආලයේ ප්‍රතිවිරෝධයද බිහිවෙයි

ඒක භාර්යා පවුල බිහිවීමත් සමග පෞද්ගලික ලිංගික ආලය නම් මනෝභාවය නිර්මාණය වන විටම එහි ප්‍රතිවිරෝධයද නිර්මාණය විය. එනම් ප්‍රාථමික සාමූහික සමාජය තුළ පැවති පවුල් ආකෘති තුළ ජීවත්වූ අය නොදැන සිටි හැඟීමක් වූ ලිංගික ඊර්ෂ්‍යාවය. පෞද්ගලික ලිංගික ආලය බිහිවන විටම එහි ප්‍රතිපක්ෂය ලෙස ලිංගික ඊර්ෂ්‍යාවද බිහිවිය. එබැවින් ආදරය නම් ඉතාම අගනා සුන්දර මනෝභාවය සොයා ගැනීමේ ගෞරවය හිමිවිය යුතු නූතන පවුල ඒ සමගම ලිංගික ඊර්ෂ්‍යාව නිර්මාණය කර ගැනීමේ වගකීමද භාරගත යුතුය. ලිංගික ආලය සමාජයට කළ යහපතට වඩා වැඩි අයහපතක් ලිංගික ඊර්ෂ්‍යාව විසින් සමාජයට, ගැහැනුන්ට හා මිනිසුන්ට, සිදුකර තිබේ. මෙහි වරද ඇත්තේ, ආදරය තුළ නොව ආදරය නමැති මනෝභාවය පදනම්ව ඇති පෞද්ගලිකත්වය තුළය. සමාජයේ සියල්ල පෞද්ගලික දේපළ බවට පත්වූ විට සැමියා හා බිරිඳ එකිනෙකාට අයත් පෞද්ගලික දේපළ බවට පත්විය. ආරම්භයේදී ඇත්ත වශයෙන්ම පැවතියේ බිරිඳ සැමියාට අයත් පෞද්ගලික දේපළ ලෙසය. එය මේ වන විට කිසියම් වෙනසකට ලක්ව තිබුණත් තාමත් පවුලේ පදනම තුළ මෙම තත්වය තිබේ. ඒ පවුල තුළ ආධිපත්‍යය දරන්නේ පුරුෂයා නිසාය. ඒක භාර්යා පවුල ආරම්භ වන විටම එහි අධිපති බව පුරුෂයාට හිමි විය. ඒ පවුල තුළ දේපළ හිමියා පිරිමියා වූ නිසාය.

අතීතයේදී පිරිමියා හා කාන්තාව සමානයෝ වූහ. ගෝත්‍රය තුළදී බොහෝ විට පිරිමියාට වඩා ස්ත්‍රිය ගෞරවයට පත්විය. එකල සමාජය මාතෘ මූලික සමාජයක් විය. එහෙත් පෞද්ගලික දේපළ බිහිවී එහි අයිතිය පුරුෂයන් සතුවීමත් දේපළ පිරිමියාගේ දේපළ තම දරුවන්ට ලබාදීමේ වුවමනාවත් නිසා, නූතන පවුල බිහිවන විටම නොවැළැක්විය හැකි ලෙස එම පවුල තුළ දේපළ හිමිකම මත පුරුෂයාට ආධිපත්‍යය ලැබුණි. එවිට සමාජය පුරුෂ මූලික සමාජයක් බවට පත්විය. පංති සමාජය තුළ දේපළ අහිමි පංතිය පීඩිත පංතිය බවට පත්වෙද්දී පවුල තුළ ස්ත්‍රිය පීඩිතයා බවට පත්විය. ඒ, නව තත්වය අනුව ඇයට දේපළ හිමි නොවීමත් ඇයගේ කටයුතු සමාජමය කටයුතුවල සිට පෞද්ගලික කටයුතු දක්වා පහත වැටීමත් නිසාය. කෙසේ වෙතත් මෙම තත්වය පවුල තුළ ප්‍රතිවිරෝධ රැසක් හා ගැටුම් නිර්මාණය වීමක් දක්වා වර්ධනය විය.

ඒක භාර්යා පවුල බිහිවූයේ, පංති ප්‍රතිවිරෝධතා සහිත සමාජය තුළය. එබැවින් සමාජයේ පවතින පංතිමය ප්‍රතිවිරෝධයන් හා පීඩාවන් ආදී සියලු ගැටලු පවුල තුළින්ද ප්‍රකාශ විය. පංති සමාජය තුළ පවත්නා නූතන පවුල අර්බුද රැසකට මුහුණ දී සිටී. නූතන පවුලේ ප්‍රතිවිරෝධතා මොනවාද යන්නත් ඒ තුළ ස්ත්‍රිය හා පුරුෂයා දරන තත්වය හා පවුලේ ප්‍රතිවිරෝධය නිසා නිර්මාණය වී ඇති ගැටලු පිළිබඳවත් මීළඟට අපි කතා කරමු.

පවුල හා සමාජය