ධනවාදයේ සිට සමාජවාදය තෙක් සංක්‍රමණීය අවධිය

SHARE

Share on facebook
Share on google
Share on twitter
Share on linkedin

ධනවාදය පිළිබඳව ආර්ථික විද්‍යාත්මක හැදැරීමකට අවශ්‍ය මූලිකාංග අපි මේ වනවිට සාකච්ඡා කර ඇත. ධනේශ්වර ක්‍රමය තුළ ධනේශ්වර සබඳතාවල රාමුව යටතේ සමාජවාදය බිහි කළ නොහැකිය. ධනවාදය තුළ බිහි වූයේ සමාජවාදයට අවශ්‍ය ද්‍රව්‍යමය පූර්ව අවශ්‍යතාවය සහ සමාජවාදය බිහිකරන බලවේගය පමණකි. සමාජවාදය ගොඩ නැගීමට අවශ්‍ය කරන පූර්ව අවශ්‍යතාවය ධනේශ්වර සූරාකෑම හා ධනේශ්වර ක්‍රමයේ අර්බුදය උත්සන්න වීමය. එහි බලවේගය වැඩකරන ජනතාවගේ පෙරමුණු බලඇණිය වන කම්කරු පංතියයි. ධනවාදී ගර්භය තුළ සමාජවාදය සඳහා අවශ්‍ය පූර්ව ද්‍රව්‍යමය අවශ්‍යතා මෝරන බව අපි තේරුම් ගත යුත්තේ එලෙසය.
ඇතැම් ආර්ථික කොන්දේසි යටතේ පමණක් ඉහත තත්වයට පටහැණිව ධනවාදී සංවර්ධන අවදිය ඔස්සේම ගමන් නොකර සමාජවාදී පරිවර්තනයක් වෙත යා හැකිය. එය හැකිවන්නේ එම රටවලට දේශපාලන හා ආර්ථික ස්වාධීනත්වය දිනාගැනීම උදෙසා සමාජවාදී රාජ්‍යයක සහයෝගය ලැබෙන විටදී පමණි.

කෙසේ වුවද කවර රටකවත් සමාජවාදය කිසිදිනක සදා නිමකළ ආකාරයකින් බිහි නොවේ. පැරණි සමාජ ක්‍රමයේ (ධනවාදී) ශේෂයන් අහෝසි කොට නව සමාජවාදී සමාජයේ පදනම දැමීමට ඉතා දිගු කාල පරිච්ඡේදයක් ගත විය හැකිය. එම කාලය ධනවාදයේ සිට සමාජවාදය තෙක් සංක්‍රමණිය යුගය ලෙස හැඳින්වේ. ධනපති පංතිය බලය අත්පත් කර ගැනීමත් සමග ධනේශ්වර විප්ලවය සම්පූර්ණ වුවත් කම්කරු පංතිය බලය අත්පත් කර ගැනීමත් සමග සමාජවාදී විප්ලවය සම්පූර්ණ නොවේ. සමාජවාදී විප්ලවය ආරම්භ වන්නේ කම්කරු පංතියේ දේශපාලන බලය ස්ථාපිත කිරීමත් සමගය. සමාජවාදයේ හතුරන් කම්කරු පංතියේ දේශපාලන බලය ස්ථාපිත කිරීම හඳුන්වන්නේ, බලය පැහැර ගැනීමක් එය දුෂ්ට ක්‍රියාවක් ලෙසටය. එය සපුරා වැරදිය. මාක්ස් පැහැදිලි ලෙස පෙන්වා දී ඇති පරිදි මෙහිදී සිදුවන්නේ, අත්පත්කරගත්වුන්ගෙන් අත්පත්කර ගැනීමකි. (බුක්තිය පැහැර ගත්තවුන්ගෙන් යළි නිවැරදි ලෙස ලබා ගැනීමය.)
දේශපාලන බලය සියතට ගනිමින් සහ ආර්ථිකයේ මර්මස්ථාන අත්පත් කරගනිමින් කම්කරු පංතිය ප්‍රමුඛ වැඩකරන ජනයා සෙසු සමස්ත සමාජය මෙහෙයවමින් සමාජවාදී පරිවර්තනයේ කටයුතු ආරම්භ කරති. සමාජවාදී ආර්ථිකයක මෙහෙයවන මූලික අංශ තුනකි. ඒ සමාජවාදී රාජ්‍ය අංශය, සමුපකාර අංශය සහ පෞද්ගලික අංශයයි. ඒ අනුව සමාජවාදය තුළ පොදුවේ දේපළ ආකාර 3ක් පවතී. 1. සමාජවාදී රාජ්‍ය දේපළ, සාමුහික දේපළ හා සුළුපරිමාණ පෞද්ගලික දේපළය. මෙසේ ප්‍රධාන ක්‍ෂේත්‍ර ලෙස බෙදුණද මෙම වර්ගීකරණය එක් එක් රටවල ඓතිහාසික විකාශනය අනුව වෙනස්කම් සහිත විය හැකිය.

බිඳ වැටුණු අධිරාජ්‍යවාදයේ නටඹුන් මත සමාජවාදයට නැඹුරු වූ ජාතික විමුක්ති අරගල ඔස්සේ සමාජවාදී මාවතට පිවිසි රටවල නැගිටීම් හා ආර්ථිකයේ වර්ධනය සමාජවාදී න්‍යායයට සහ භාවිතයට නව පෝෂණයක් ගෙනදී ඇත. ඍජුව සමාජවාදී පරිවර්තනයකට ලක්වන වඩාත් හොඳින් වැඩකරන පංතිය සංවිධානය වූ දියුනු ධනේශ්වර රටක විප්ලවය සමාජවාදී ප්‍රතිසංස්කරන ආරම්භ කරන ආකාරයට වඩා වෙනස්කම් මෙවැනි ජාතික – විමුක්ති අරගල බලපෑමට ලක්වූ යටත් විජිත ලෙස හෝ අර්ධ යටත්විජිත රාජ්‍යයන් ලෙස පැවැති රටවල සිදුවිය හැකිය.

සමාජවාදී ආර්ථිකය ගොඩනැගීම

සමාජවාදී පරිවර්තන අවධියකට ප්‍රවේශ වන රට පසුගාමී කෘෂිකාර්මික ආර්ථිකයක් සහිත රටක් නම් ඒ රට මුහුණ දෙන පළමු අභියෝගය කෘෂි කර්මාන්තයට ප්‍රති සංවිධානය කළ හැකි මහා පරිමාණ කර්මාන්ත කරන අවධියකට ප්‍රවිෂ්ට වීමය. එසේම දැනටමත් කර්මාන්තකරණයට ලක්වූ ධනේශ්වර සංවර්ධන අවධිය අත්පත් කරගත් රටක් නම් ධනවාදී සංවර්ධනය මුවාවෙන් ඇති කර තිබෙන නොගැලපෙන දේ බැහැර කර ගැනීමය. සමාජවාදී කර්මාන්තකරණය, ස්වරූපය – වෙනස සහ පරිමාණය, අරමුදල්, මාර්ග සහ සමාජ – ආර්ථික ප්‍රතිලාභ අතින් ධනවාදී කර්මාන්තකරණයට වඩා මූලික ලෙස වෙනස් වෙයි.
ධනේශ්වර විප්ලවවලින් පසු ධනේශ්වර කර්මාන්තකරණයට අවු. 100 – 200 දක්වා කාලයක් ගතවිය. නමුත් සැලසුම් සහගත ක්‍රමවේද යටතේ පැවැති සෝවියට් සමූහාණ්ඩුවට එම තත්වය ලබා ගැනීමට ගතවූයේ වසර 10 – 12ක පමණ සුළු කාලයකි. සමාජවාදී ආර්ථික ප්‍රතිසංස්කරණයන්ගේ ප්‍රතිඵලවලට එයම කදිම උදාහරණයකි.
සමාජවාදය යටතේදී මූලික ප්‍රතිවිරෝධයක් වන්නේ, ගොඩනැගෙමින් පවතින සමාජවාදී නිෂ්පාදන සබඳතාවයන් හා ඓතිහාසිකව හැකිළෙමින් යන ධනවාදී නිෂ්පාදන සබඳතාවයන් අතර වන සතුරු ප්‍රතිවිරෝධයයි. පරාජයට පත් ධනවාදී කොටස් යළිත් තම ධනේශ්වර නිෂ්පාදන සම්බන්ධතාවයන් තහවුරු කර ගැනීමට උත්සාහ දරනු ඇත. එසේම එම ප්‍රතිවිරෝධය සමනය කර ගනිමින් සමාජවාදී මහා පරිමාණ නිෂ්පාදනය ව්‍යාප්ත කිරීම සමාජවාදී රාජ්‍යයේ සුවිශේෂ කාර්යභාරයක් වනු ඇත. එසේ වුවත් ධනේශ්වර සුළු පරිමාණ නිෂිපාදනයද යම් දුරකට පවතිනු ඇත. මහා පරිමාණ සමාජවාදී නිෂ්පාදනය සහ සුළු පරිමාණ ධනේශ්වර නිෂ්පාදනය අතර ප්‍රතිවිරෝධය මූලික නොවන ප්‍රතිවිරෝධයක් ලෙස පවතිනු ඇත.

සමාජවාදී ආර්ථික ව්‍යුහය

සමාජවාදී ආර්ථිකය තුළ නිෂ්පාදනය මූලික ලෙස බෙදී යන්නේ, මහා පරිමාණ සමාජවාදී නිෂ්පාදනය, සුළු පරිමාණ හුවමාරු භාණ්ඩ නිෂ්පාදනය සහ පෞද්ගලික ධනවාදී නිෂ්පාදනය වශයෙනි.

සමාජවාදී නිෂ්පාදනය

සමාජවාදී ආර්ථිකයේ මූලික නිෂ්පාදන ආකාරය මෙය වනු ඇත. ධනපති පංතිය සහ අනෙකුත් පීඩක බලවේගයන් සතු නිෂ්පාදන මාධ්‍යයන් ජාතික දේපළ බවට පෙරළීම හා ධනේශ්වර ජාතික දේපළවලට ප්‍රතිවිරෝධී ලෙස ඒ මත නව සමාජවාදී සබඳතාවයන් ගොඩනැගීම මෙමගින් සිදුවනු ඇත. රටවල් තුළ ධනවාදය මතින් අනාදිමත් කාලයක් තිස්සේ ස්ථාපිත කර ඇති පසුගාමිත්වය අහෝසි කිරීමේ මෙම අතිශයින් වැදගත් කර්තව්‍යයන් ඉටු කළ හැක්කේ උසස් මට්ටමක කාර්මීකරණයක් මගිනි. සෝවියට් දේශය තුළ ධනවාදයට ජීවය සැපයූ දශ ලක්ෂ සංඛ්‍යාත සුළු ගොවීන් ඒකාබද්ධ කර මහා පරිමාණ ජාතික නිෂ්පාදනයක් පණ ගැන්වීම සමාජවාදය ගොඩනැගීමේදී ඔවුන් මුහුණ දෙන මූලිකම ගැටලුවක් විය. සමාජවාදී විප්ලවයේ ජයග්‍රහණය දුර්වල කිරීම සහ විනාශ කිරීම පරමාර්ථ කොටගත් ධනවාදී නැගිටීම යළි හිස ඉසවීමට ඉඩ නොතැබීම සඳහාද සමාජවාදී මහා පරිමාණ කර්මාන්තකරණය ඉදිරියට ගෙන ඒම අත්‍යාවශ්‍ය වුවමනාවක් ජනිත කළේය.
1937 වනවිට එලෙස කර්මාන්ත සංවර්ධනය ආරම්භ කොට වසර 10-15ක් ඇතුළත සෝවියට් දේශය කාර්මික නිෂ්පාදනය අතින් යුරෝපයේ ප්‍රථම ස්ථානයටත් ලෝකයේ දෙවන ස්ථානයටත් පැමිණියේ ධනවාදී කාර්මිකකරණයේ පීතෘවරුන් වූ බි්‍රතාන්‍ය, ප්‍රංශය සහ ජර්මනියද පරාජයට පත් කරමිනි.

සුළු පරිමාණ හුවමාරු භාණ්ඩ නිෂ්පාදනය

සමාජවාදී මහා පරිමාණ නිෂ්පාදන ආර්ථිකය ක්‍රියාත්මක වීමත් සමග එකවර ධනවාදී ආර්ථිකයේ අංග මැරී යන්නේ නැත. සමාජවාදී මහා පරිමාණ නිෂ්පාදනය ජාතික ආර්ථිකයේ ප්‍රධාන මධ්‍යස්ථාන – මර්මස්ථාන නිර්ධන පංති රාජ්‍ය මගින් පාලනය වනු ඇති අතර බොහෝවිට කෘෂිකර්මාන්තයේ සහ නාගරිකවද කුඩා ව්‍යවසායන් සුළු පරිමාණවද පෞද්ගලික දේපල මත හා පුද්ගලික ශ්‍රමය මත පවතිනු ඇත. එසේ පවතින සුළු පරිමාණ හුවමාරු භාණ්ඩ නිෂ්පාදනයට යළි පෙර පරිදි ධනේශ්වර ආර්ථික සබඳතා තහවුරු කිරීමට ඉඩක් නොලැබෙනු ඇත්තේ එය පණගසා නැගිටීමට රාජ්‍ය බලය දරන සමාජවාදී මහා පරිමාණ නිෂ්පාදනය ඉඩ නොදෙන නිසාය.

පෞද්ගලික ධනවාදී නිෂ්පාදනය

සමාජවාදය තුළදී පෞද්ගලික ධනවාදී නිෂ්පාදනයද සහමුලින්ම අහෝසි වී යන්නේ නැත. හේතුව නිර්ධන පංතිය රාජ්‍ය බලය ලත් විගසින්ම සියලුම සමාජ නිෂ්පාදන සමාජවාදී පදනමක් තුළ තහවුරු කළ නොහැකි වන නිසාය. සමාජවාදී පාලනයේ නිරන්තර සොයා බැලීම හා බලපෑම මධ්‍යයේ කර්මාන්ත, කෘෂිකර්මාන්ත හා වෙළදාමේදීද පෞද්ගලික ධනවාදී නිෂ්පාදනය මධ්‍යම හා සුළු පරිමාණ වශයෙන් පවතිනු ඇත.
මෙම ත්‍රිවිධ ආකාර ආර්ථික ව්‍යුහයන් සමාජවාදී ආර්ථික රාමුවක දළ නිර්ණයක් මිස නිෂ්පාදනයේ ස්වභාවයන් නිශ්චිත සූත්‍රගත කිරීමක් කළ නොහැකිය. එම ආකාර ඒ ඒ රටවල සංවර්ධනයේ නිශ්චිත ඓතිහාසික තත්වයන් සහ විෂය මූල තත්වයන් විසින් නිර්ණය කරනු ඇත. ලෝක සමාජවාදී විප්ලවයේ ජයග්‍රහණයන්ගේ ඉදිරි ගමනට සාපේක්ෂව සමාජවාදී නිෂ්පාදන වැඩි වැඩියෙන් තහවුරු වන තරමට මෙම පෞද්ගලික ධනවාදී නිෂ්පාදනයද ක්‍රමිකව තුරන් වී යනු ඇත.
සමාජවාදී ප්‍රතිසංස්කරණයන් ආර්ථිකය තුළ සිදුකරනු ලබන සංක්‍රමණිය අවධිය තුළ සෝවියට් දේශයේදී මුල්වරට භාවිතයට නැගුණ තවත් ආර්ථික ආකාරයකි, සමාජවාදය තුළ රාජ්‍ය ධනවාදී නිෂ්පාදන ආකෘතිය. ලබන කලාපයෙන් අපි ඒ පිළිබඳව පුළුල් ලෙස හදාරමු.

ධනවාදයේ සිට සමාජවාදය තෙක් සංක්‍රමණීය අවධිය