පවුලේ පරිණාමීය ක්‍රියාවලියේදී අවිචාරවත් ලිංගික සබඳතාවල සිට යුගලන පවුල දක්වා, එයද ඇතුළත්ව පවුලේ මෙතෙක් කතා කළ සියලු ආකෘති ප්‍රාථමික සාමූහික සමාජය තුළ පැවති ඒවා විය. ප්‍රාථමික සාමූහික සමාජය තුළ නිර්මාණය වූ යුගලන පවුල අභාවයට යවමින් ඒක භාර්යා වෘතය සහිත නුතන පවුල බිහිවන්නේ, ප්‍රාථමික සාමූහික සමාජය අභාවයට යවමින් නව සමාජ ක්‍රමයක උපතද සමගය. එම නව සමාජය පංති සහිත සමාජයක් විය. එය යුරෝපයේදී වහල් හිමි සමාජය වූ අතර ආසියාකරයේ සමහර ස්ථානවල ආසියාතික නිෂ්පාදන ක්‍රමය ලෙස හැඳින්වූ සමාජයක් විය.
මාතෘමූලික සමාජයක්
ප්‍රාථමික සාමූහික සමාජය තුළ පවුලේ ආකෘතිය කුමක් වුවද එහි පැවතියේ මාතෘමූලික සමාජයකි. ලොව මුල්ම මානව සමාජය වූ ප්‍රාථමික සාමූහික සමාජය මාතෘමූලික සමාජයක් වීමට බලපෑ කරුණු කීපයක්ම තිබිණි. ඉන් ප්‍රධාන වූයේ නිෂ්පාදන ක්‍රියාවලිය හා සම්බන්ධ සාධක හා වර්ගයා බෝකිරීම හා සම්බන්ධ සාධකය.
ප්‍රාථමික සාමූහික සමාජය තුළ නිෂ්පාදනය පැවතියේ ඉතාම පහළ මට්ටමකය. ඒ එකල විය යුතු පරිදිම නිෂ්පාදන උපකරණ ඉතාම පහළ මට්ටමක තිබූ නිසාය. ආරම්භක නිෂ්පාදන උපකරණ වූ හෙල්ල හා පොල්ල ඉතා ප්‍රාථමික උපකරණ විය. මෙය තවදුරටත් වෙනස් වූයේ, දුන්න හා ඊතලය සොයා ගැනීම මගිනි. එහෙත් එයද නිෂ්පාදනයේ විශාල පෙරළියක් කිරීමට සමත්වූයේ නැත. මෙලෙස නිෂ්පාදන උපකරණවල පැවති නොදියුණු තත්වය නිසා නිෂ්පාදනයද සීමිත එකක් විය. ඒ සඳහා සාමූහික ක්‍රියාකාරිත්වයද අවශ්‍ය විය. ආහාර සොයා ගැනීම ජීවිතයේ ප්‍රධාන හා අත්‍යාවශ්‍ය කාර්යය විය. එකල දඩයම ප්‍රධාන ජීවනෝපායක් වූ අතර දඩයමෙන් පමණක් ජීවත් වූ මිනිසුන් සිටියේ නැත. ඒ වෙනුවට අල වර්ග, මුල් වර්ග, ගෙඩි වර්ග වැනි විවිධ දේ ආහාර සඳහා සොයා ගැනීමට ඔවුන්ට සිදුවිය. මුල් කාලයේ දඩමසක් කරගත හැකි වූයේ නිතිපතා නොව ඉඳහිටය.
ගෘහයේ කටයුතු සමාජමය වූ හැටි
අප කලින්ද සඳහන් කළ පරිදි මෙකල ජනතාව සංවිධානය වී සිටියේ ගණ හා ගෝත්‍ර තුළය. ඒ තුළ පැවතියේ සාමූහික බවකි. ආහාර සොයා ගැනීමට මෙන්ම ආරක්ෂාව සඳහාද සාමූහිකත්වය අත්‍යාවශ්‍ය විය. ජනගහනය අඩුවූ අතර හැම කෙනෙක්ම ජීවත්වීම අත්‍යාවශ්‍ය විය. ඒ නිසාම නිෂ්පාදනය සාමූහික වූ අතර පරිභෝජනයද සාමූහික විය. පෞද්ගලික දේපළ හෝ සූරාකෑම තිබුණේ නැත. සූරාකෑම නොතිබීමේ ප්‍රධාන හේතුව වූයේ නිෂ්පාදනය ඉතාම දුර්වල නිසා මිනිසාගේ ශ්‍රමය එකල අතිරික්ත වටිනාකම් නොඉපයීමය. කෙනෙක්ගේ ශ්‍රමයේ ඵලයෙන් කොටසක් තව කෙනෙකුට අත්පත් කරගත නොහැකි තරමට එකල නිෂ්පාදනය දුර්වල විය. මේ නිසා සූරාකෑමද පෞද්ගලික දේපළද ඊට අනුකූලවන රජය, දේශපාලනය නීති වැනිදේද එහි නොවීය. ගණ, ගෝත්‍ර හා වංශ පාලනය කරන ලද්දේ ගෞරවනීය වැඩිහිටියන් විසිනි. නීති වෙනුවට රීති හා සම්ප්‍රදායයන් විසින් ගෝත්‍ර පවත්වාගෙන යන ලදී.
මෙහිදී සමාජයේ මුල්ම ශ්‍රම විභජනය සිදුවූයේ කාන්තාව හා පිරිමියා අතරය. පිරිමි දඩයමේ ගිය අතර කාන්තාව (දරුවන් ලැබුණේ ඇයට නිසාත් දරුවන්ට කිරිදීමට හා බලා ගැනීමට ඇය අත්‍යාවශ්‍ය නිසාත්) ගේදොර වැඩ බලා ගන්නා ලදී. දරුවන් බලා ගැනීම, ඉවුම්පිහුම් කටයුතු දෛනික ආහාර සොයා ගැනීම කාන්තාවන්ට පැවරුණු කාර්යය විය. මෙම කාර්යය අද මෙන් පෞද්ගලික කාර්යයක් නොවූ අතර, එය ගණය හෝ ගෝත්‍රය තුළ සාමූහික කාර්යයක් හෙවත් සමාජමය කාර්යයක් විය. ඒ නිසාම නිෂ්පාදන ක්‍රියාවලියේදී එදා කාන්තාවන් ඉටුකළ කාර්යය කොටස අත්‍යාවශ්‍ය සමාජමය කාර්යක් විය. එය පිරිමින්ගේ කාර්ය වූ දඩයමට වඩා ප්‍රබල විය. ඒ නිසාම ගෝත්‍රය තුළ කාන්තාවන්ට ප්‍රමුඛතාවය ලැබිණි. මේ පිළිබඳව එංගල්ස් සිය කෘතියේ 159-160 පිටුවල මෙසේ සඳහන් කරයි.
“ජනගහනය ඉතාම අඩු විය. එහි ගණත්වය වැඩිවූයේ විශාල දඩයම් පෙදෙස්වලින් වටවූ ගෝත්‍රික වාසභූමි තුළය. එම සීමාවලින් පිටත තවත් ගෝත්‍රයකින් වෙන් කෙරෙන ස්වභාවික මධ්‍යස්ථ ආරක්ෂක කැලෑවලින් යුක්ත විය. ශ්‍රම විභජනය පිරිසිදු, චාම්, ස්වාභාවික දෙයක් විය. එය ස්ත්‍රී, පුරුෂ දෙපක්ෂය අතර විය. පුරුෂයෝ යුද්ධයට ගියහ. දඩයම් කළහ, මසුන් ඇල්ලූහ. මේ ගමන්වලට වුවමනා ආහාර සඳහා අමුද්‍රව්‍යද අවිද පිළියෙළ කළහ. ස්ත්‍රීහු ගේදොර බලාගත්හ. ආහාර හා ඇඳුම් පිළියෙළ කළහ. ආහාර පිසීම, රෙදි විවීම හා මැසීම ද කළහ. හැම කෙනෙක්ම තම තමන්ගේ අංශවල දක්ෂයෝ වූහ. පුරුෂයෝ කැලෑවලද ස්ත්‍රීහු ගෙවල්වලද ස්වාමිවරු වූහ. තමා විසින් සාදාගෙන පාවිච්චි කළ උපකරණ හා අවි තමාටම අයත් විය. පුරුෂයන්ට තම තමන්ගේ අවි සහ මස් මැරීමේ උපකරණ අයත් වූ අතර, ස්ත්‍රීන්ට ගෘහ භාණ්ඩ හා හැළිවළං ආදිය අයත් විය. පවුල් කීපයක් හෝ බොහොමයක් සහිත ගෘහය කොමියුනිස්ට්වාදී විය. නිෂ්පාදනය කොට භාවිතා කළ හැම දෙයක්ම පොදු දේපළ විය.”
මේ අනුව එදා සමාජමය නිෂ්පාදනයේදී කාන්තාව ඉටුකළ වැඩ කොටස පොදු කාර්යයක් වීමත් එය අත්‍යාවශ්‍ය කාර්යයක් හා සමාජමය කාර්යයක් වීමත් නිසා සමාජය තුළ කාන්තාවට මුල්තැනක් ලැබිණි. එදා සමාජය මාතෘ මූලිකවීමට බලපෑ නිෂ්පාදනයේ සාධකය එසේ විය.
දරුවන්ගේ අයිතිය
අනෙක් අතට එකල පැවති සියලු විවාහ ක්‍රම පොදු ලිංගික සබඳතා මත පදනම් වූ බැවින් දරුවන්ගේ පියා නිශ්චය කරගත නොහැකි විය. එකල එවැනි වුවමනාවක්ද නොවීය. මේ නිසා දරුවන්ගේ අයිතිය කිවහැකි වූයේ මවගේ පැත්තෙනි. මේ නිසාම දරුවන් අයිති වූයේ මවටය. සැබෑලෙසම ගත් විට සියලු මව්වරුන්ටය. ප්‍රාථමික සාමූහික සමාජය මාතෘ මූලික සමාජයක් වීමට මෙම කරුණද ප්‍රධාන හේතුවක් විය. මෙම සමාජය තුළ පැවතියේ පොදු දේපළ ක්‍රමයක් නිසා දේපළ අයත් වූයේ පරපුරෙන් පරපුරට මිස පුද්ගලයාගෙන් පුද්ගලයාට නොවේ. ඒ නිසාම තමන්ගේ දේපළ තමන්ගේ දරුවන්ට ලබාදීමේ ක්‍රමයක් එකල නොවීය. දරුවන්ගේ අයිතිය පිළිබඳ ප්‍රශ්න ඇති නොවූයේ ඒ නිසාය. දරුවන් එක් පියෙකුට අයිති නොවූවාක් මෙන්ම එක් පුරුෂයෙකුට පමණක් ‘අයිති’ බිරිඳක්ද මෙහි නොවීය. පවුල තුළ දරුවන්ට බිරිඳට, ස්වාමිපුරුෂයාට තනි අයිතිය කියන සම්ප්‍රදායක් හෝ නීතියක් මෙහි නොවීය. මේ සියලු කරුණු අනුව ප්‍රාථමික සාමූහික සමාජය මාතෘ මූලික සමාජයක් විය. ඒ තුළ කාන්තාවට සමාන අයිතීන් ලැබූ අතර ගෞරවයටද පත්විය. ඇය ස්වාධීන වූ අතර, ගෘහමය වහලියක් වූයේ නැත. ඊට හේතු වූයේ ඇයගේ කටයුතු ගේදොර හා දරුවන් බලා ගැනීම වුවත් එය අද මෙන් පෞද්ගලික දෙයක් නොවී, සමාජමය කාර්යයක් වූ නිසාය.
එබැවින් ලෙනින්ද පැවසූ ලෙස කාන්තාවට සැබෑ විමුක්තිය ලැබිය හැකි වන්නේ, ඇය ගෙදරදොර පෞද්ගලික කටයුතුවලින් සමාජමය කටයුතුවලට දායක කර ගැනීමත් ගේදොර කටයුතු පවා සමාජමය කාර්යයක් බවට පත් කිරීමත් මගින් පමණි.
නිෂ්පාදන උපකරණ දියුණු වනවිට
ඉතාම ප්‍රාථමික නිෂ්පාදන ක්‍රමයක් සහිත නොදියුණු සරල නිෂ්පාදන උපකරණවලින් ඇරඹි ප්‍රාථමික සාමූහික සමාජය වසර දස දහස් ගණනක් තිස්සේ හෙමින් වුවත් වර්ධනය විය. මානව සමාජ ඉතිහාසයේ වැඩිම කාලයක් පැවති සමාජ ක්‍රමය වන්නේද ප්‍රාථමික සාමූහික සමාජයයි. ටිකෙන් ටික නිෂ්පාදන උපකරණ දියුණු වීමත් සමග නිෂ්පාදිතයන්ද වැඩිවන්නට විය. හෙල්ල හා පොල්ල වෙනුවට දුන්න හා ඊතලය සොයා ගැනීමත් ලෝකඩ පොරව නිර්මාණය කර ගැනීමත් නඟුල, නිර්මාණය කර ගැනීමත් සමග නිෂ්පාදනය දියුණු වන්නට විය. සතුන් දඩයම් කරමින් සිටි මිනිසා පසුව සතුන් ඇතිකිරීම පටන්ගත් අතර, ඒ නිසා සත්ව ගොවිපළ බිහිවිය. මුලදී සතුන් සඳහා ආහාර වගාකළ මිනිසා පසුව ඒවා තමන්ට ද ආහාරයට ගත හැකි බව උගෙන ගත්හ. ඒ සමග සත්ව රංචුවට අමතරව කෘෂිකාර්මික ගෙවත්තද බිහි විය. ඒවිට ගෝත්‍රයේ ජනයාට නිතිපතා මස්, ලොම්, හම්, කිරි, ධාන්‍ය, එළවළු, පලතුරු ලබා ගැනීමට හැකි විය. මෙලෙස නිෂ්පාදනය වැඩිවෙද්දී එම දේපළ, වංශයේ පොදු දේපළ ලෙස සලකන ලදී. එහෙත් අශිෂ්ටත්වයේ අවසාන අවදිය හෙවත් ප්‍රාථමික සාමූහික සමාජයේ අවසන් කාලය වන විට නිතිපතා වර්ධනය වූ මෙම දේපළ එවකට පැවති සරල සමාජ සංවිධානයට හසුරුවා ගත නොහැකි පාලනය කළ නොහැකි අර්බුද ගෙන එන්නට විය.
අතිරික්ත නිෂ්පාදනය බිහිවීම
අතීතයේදී නිෂ්පාදන උපකරණ ඉතාම නොදියුණු වූ නිසා නිෂ්පාදකයා හෙවත් ශ්‍රමිකයා නිපදවන දේ ඔහුගේ යැපීමේ ප්‍රමාණයටත් මදිවිය. ඒ නිසා ඔහුගේ ශ්‍රමයෙන් තව කිසිවෙකුට යමක් ලබාගත නොහැකි විය. එහෙත් පසුකාලීනව නිෂ්පාදන උපකරණ වර්ධනය වී නිෂ්පාදිතයන් වැඩිවන විට කෙනෙක්ගේ යැපීමට අත්‍යාවශ්‍ය දෙයට වඩා වැඩි වටිනාකමක් නිර්මාණය කිරීමට ඔහුගේ ශ්‍රමයට හැකි විය. එය අතිරික්ත නිෂ්පාදනය නම් විය. එම අතිරික්ත නිෂ්පාදනය වෙනත් කෙනෙකුට ගත හැකි තත්වයටද පත් විය. එනම් සූරාකෑමේ හැකියාව ඇති විය. එය පාලනය කරගෙන යාමට වංශ සංවිධාන මුලදී උත්සාහ කළ බව පෙනේ. එහෙත් කල්යත්ම කෑමට යමක් ලබාදී වැඩ ගැනීම ලාභදායක වීමත්, සත්ව ගොවිපළේ හා කෘෂිකාර්මික ගෙවත්තේ වැඩවලට ශ්‍රමය වැඩිපුර අවශ්‍ය වීමත් සමග වහල් පාලනය නිර්මාණය විය. මුලදී ගෘහමය වහල් සේවය ලෙස ඇරඹි මෙය ක්‍රමිකව වර්ධනය වී වහලුන් ලෙස මිනිසුන් අල්ලාගෙනවිත් බලහත්කාරයෙන් වැඩ ගැනීම දක්වා වර්ධනය වූ අතර එම බලහත්කාරය සඳහා එහි උපකරණය වූ රජය ද බිහිවිය.
මේ අතර තවත් ගැටලුවක් මතුවිය. මෙලෙස වර්ධනය වෙමින් පැවති දේපළවල හිමිකරුවන් පිරිමින් වුවද ඔවුන්ගේ මරණින් පසු එම දේපළ හිමි වූයේ ඔවුන්ගේ වංශයටය. එනම් පිරිමින්ගේ මව්වරුන්ගේ වංශයටය. එසේම වංශයට අයත්ව තිබූ දේපළ දැන් ක්‍රමාණුකූලව පිරිමින්ගේ පෞද්ගලික දේපළ බවට පත්වන්නට විය. විශේෂයෙන්ම වංශ තුළ සිටි බලය පාවිච්චි කළ හැකි පිරිමි දේපළ හිමිකරුවෝ වූහ. මෙය එකරැයකින් සිදුවූවා නොවේ. එහෙත් එලෙස සිදුවිය. අලුත් තත්වය තුළ දේපළවල අයිතිකරුවන් වූ පිරිමි ගැටලුවකට මුහුණ පෑවෝය. එනම් එම දේපළ තම දරුවන්ට අයත් වෙනවා වෙනුවට මවගේ වංශයට අයත්වීමය. තමන්ගේ දරුවන් (වංශ ක්‍රමයට අනුව) සිටියේ ප්‍රතිවිරුද්ධ වංශය තුළය. එහෙත් තම දේපළ තම දරුවන් සිටින වංශයට ලබාදිය නොහැකි විය. අනෙක් අතට පොදු විවාහ ක්‍රමය නිසා තම දරුවන් වෙන්කර හඳුනාගැනීමටද නොහැකි විය. දේපළවල වර්ධනය විසින් ඇති කළ මෙම ගැටලුවට අවසානයේ විසඳුම සොයා ගන්නා ලදී. එනම් වංශ සංවිධානය බිඳදමා ඒකභාර්යා වෘතය සහිත පවුල නිර්මාණය කරගැනීමය.