ධනවාදයට එරෙහිව කම්කරු පංතිය නැගිටීම

SHARE

අපි මෙතෙක් සාකච්ඡා කරන ලද්දේ, ධනවාදී සමාජ ක්‍රමය සමාජයක් ලෙස ජනතාව පීඩාවට පත් කරමින් තමන්ගේ සූරාකෑමේ ක්‍රියාවලිය මෙහෙයවන ආකාරය පිළිබඳවය. එහි තවත් බොහෝ න්‍යායික පැතිමානයන් තවත් සංකීර්ණ ලෙස ධනවාදී ප්‍රපංචයන් විග්‍රහකරන අයකුට දැකිය හැකිය. එය ධනේශ්වර ආර්ථික විද්‍යාව පිළිබඳවත් මාක්ස්වාදී දේශපාලන ආර්ථික විද්‍යාව පිළිබඳවත් ගැඹුරින් හදාරණ අයට අදාල කටයුතු වෙයි. අපි මෙම ලිපි මාලාවෙන් උත්සාහ කරන්නේ සරල මූලික අවබෝධයක් ඔබට ලබා දීමටයි. ඉදිරි කලාප කිහිපයේදී අප අපේක්ෂා කරන්නේ ධනවාදී සමාජ ක්‍රමයට ප්‍රතිවිරුද්ධ හා විකල්ප ලෙස පවතින සමාජවාදී සමාජ ක්‍රමයේ මූලික ආර්ථික ප්‍රභේද පිළිබඳව ආර්ථික විද්‍යාත්මක සාකච්ඡාවක් ආරම්භ කිරීමටයි.

19වැනි සියවසේ ආරම්භයට පෙර නිර්ධන පංතිය සටන් කළේ පංතියක් ලෙස සංවිධානය වීමකින් තොරවය. ඔවුහු පීඩාවට එරෙහිව තම විරෝධය පළ කළද සමාජවාදයක් ගැන දැන නොසිටියහ. එවකට කාර්මික ව්‍යවසායන්හි විශාල ලෙස යන්ත්‍ර සූත්‍ර භාවිත කෙරිණි. එම යන්ත්‍ර යොදා ගැනීම, එක් අතකින් ඉතා දීර්ඝ වැඩ දිනයක් සහ අනෙක් අතට දැවැන්ත විරැකියාවක් බිහිකළේය. එම නිසා කම්කරුවන් මෙම පීඩාවන්ට මූලික හේතුව ලෙස දැක්කේ, ධනේෂ්වර සබඳතා නොව යන්ත්‍ර සුත්‍රය. ඔවුන් තමන්ගේ විරෝධයේ සටන් යොමු කරන ලද්දේ ධනේශ්වර සබඳතාවලට එරෙහිව නොව යන්ත්‍ර සූත්‍රවලට එරෙහිවය.

18 වැනි ශතවර්ෂයේදී කම්කරුවෝ ප්‍රථම රෙදි කපන යන්ත්‍ර කඩා බිඳ විනාශ කළහ. 19වැනි ශතවර්ෂය ආරම්භයේදී බි්‍රතාන්‍යය පුරා එම ප්‍රවණතාවයන් තදින් පැතිර ගියේය. ලුද්විද් ව්‍යාපාරය එලෙස බිහිවූ සංවිධානාත්මකව යන්ත්‍ර සූත්‍ර බිඳ දැමිමේ ව්‍යාපාරයකි. ආධුනික ශිල්පියකු වන පසුකාලයේදී ජෙනරල් ලුඞ් නමින් ප්‍රසිද්ධ වූ නෙඞ් ලුඞ් නැමැත්තා ප්‍රථමයෙන් තම යන්ත්‍රය විනාශ කළ නිසා ඔහුගේ නමින් ලුද්විඞ් ව්‍යාපාරය බිහි වී යැයි සැලකේ.

කාලයේ විකාශනයත් සමග කම්කරු පංතිය සිය තත්වය ගැන හොඳ අවබෝධයක් ලබා ගත්තේය. තමන් සටන් කළ යුත්තේ යන්ත්‍රවලට එරෙහිව නොව ඒවා භාවිතා කරන ධනවාදී සූරාකෑමට එරෙහිව බව කම්කරු පංතිය අවබෝධ කර ගත්තේය. නිර්ධන පංතියේ අරගලය ඒ සමග උසස් මට්ටමකට ළඟා වූ අතර අරගලයේ ස්වරූප වෙනස් ආකාර ගනු ලැබීය.

කම්කරු ආර්ථික අරගල

19වැනි සියවස ආරම්භයේ කම්කරු අරගල ස්වරූපය සිය ආර්ථික අයිතිවාසිකම් රැක ගැනීමට සහ ධනවාදීන් විසින් අසීමිත ලෙස සූරාකෑම උත්සන්න කිරීම වැළැක්වීමේ දැවැන්ත ආර්ථික අරගල ස්වරූපයක් ගනු ලැබීය.

19වැනි ශතවර්ෂයේ මුල් භාගයේදීම බි්‍රතාන්‍යයේදීද පසුව අනිකුත් රටවලද වෘත්තිය සමිති බිහි විය. වැඩ දිනය කෙටි කිරීමේ ඉල්ලීම නිර්ධන පංතියේ ආර්ථික ඉල්ලීම් අතර දිගු කාලයක් තිස්සේ පැවැති ඉල්ලීමකි. හෙමාකට් ශ්‍රේෂ්ඨ කම්කරු නැගිටීමත් පැය 08 වැඩ දිනය සහ ජාත්‍යන්තර කම්කරු දිනය දිනා ගැනීම එම අරගලයන්ගේ කම්කරු පංතියේ ජයග්‍රහණයන්ය.
භයානක ලෙස සිදු කරන ශ්‍රම තිව්‍රකරණයටත් අසීමිත ලෙස අතිකාල වැඩ ගැනීමටත් එරෙහිව ඉන්පසු අරගල දියත් විය. කම්කරුවෝ වැටුප් ප්‍රශ්නය ගැන වැඩි අවධානයක් යොමු කරති. වැටුප් අවමය දක්වා අඩු කරමින් ධනපති පංති විසින් අතිරික්ත වටිනාකම් වැඩි කිරීමට දරන උත්සාහයට කම්කරුවෝ නිරතුරුව විරෝධය පළ කරති. ඔවුන් වැඩි වැටුප් ඉල්ලති. තවද කාන්තාවන්ට සහ පිරිමින්ට සමාන අවස්ථා ලබා ගැනීමට අරගල කරති. ආර්ථික අරගල ආකාරයේදී කම්කරුවෝ වඩා හොඳ කාර්ය කොන්දේසි, වැටුප් සහිත නිවාඩු, ආරක්ෂක අවශ්‍යතා අනුගමනය කිරීම ආදියද ඉල්ලා සිටිති.

පංති අරගලයේදී වැටුප් සඳහා වූ ඉල්ලීම අනිකුත් මූර්ත ආදායම ඉහළ දැමීම සඳහා වන ඉල්ලීම සමග ඒකාබද්ධ කරනු ලැබේ. කම්කරු පංතිය වඩා හොඳ සමාජ රක්ෂණයක්, විශ්‍රාම වැටුප් ඉල්ලා සිටී. කොල්ලකෑම වැඩි කිරීම අපේක්ෂා කරන ඔවුන් ධනපති රජයේ බදුවලට එරෙහි වෙති. විවේකය සහ විනෝදය සඳහා සාමාන්‍ය කොන්දේසි සහතික කර ගැනීම සඳහාද සෞඛ්‍ය සුභසාධනය වෙනුවෙන්ද කොන්දේසි ඉදිරිපත් කරති. කම්කරුවෝ පාසල් අධ්‍යාපනය සහ ද්විතීක අධ්‍යාපනය පුළුල් හා දියුණු කිරීමද වඩා හොඳ නිවාසද ඉල්ලා සිටිති. මේ සියල්ල ආර්ථික අරගලයේ ඉල්ලීම් අතර වේ.

ඊට අමතරව පතල්වලින් හා වැඩබිම්වලින් කම්කරුවන් තොග පිටින් ඉවත් කිරීමට එරෙහිවද සටන් කරති. රැකියාවලින් පහකරනු ලැබූවන්ට සහාය සඳහා කරන සටන් වැඩබිම් ඒකාබද්ධ කරගනිමින් පුළුල් වේ. වැඩවර්ජන ස්වරූප විවිධාකාර වී ඇත. ඇතැම් අවස්ථාවල ඒවා කම්හල් එකක හෝ කිහිපයක සිදුවේ. තවත් අවස්ථාවල මුළු කර්මාන්තයටම බලපායි.

කම්කරු පංතියේ දේශපාලන අරගලය

සිය අවසාන අරමුණු දිනාගැනීම සඳහා ආර්ථික ඉල්ලීම් පමණක් ප්‍රමාණවත් නොවන බව ආර්ථික අරගලයේදීම අත්දැකීම් ලබන කම්කරුවන් අවබෝධය ලබාගෙන ඇත. ආර්ථික අරගලයට ඔවුන්ගේ තත්වය අර්ධ වශයෙන් පමණක් වර්ධනය කළ හැකිය. එහෙත් එයට ධනවාදී සූරාකෑම අහෝසි කළ නොහැකිය. ඒ සඳහා ධනේශ්වර ක්‍රමය සමාජ ක්‍රමයක් හැටියට විනාශ කළ යුතුය; අහෝසි කළ යුතුය. එය ආර්ථික අරගලයෙන් පමණක් කළ නොහැකිය. ඒ සඳහා දේශපාලන ඉල්ලීම් ඉදිරිපත් කෙරේ.

දේශපාලන අරගලය නිර්ධන පංතියේ පංති අරගලයේ ඉහළම අවස්ථාවයි. එය තවදුරටත් තනි කම්හලක කම්කරුවන් විසින් තම ප්‍රධානියාට එරෙහිව කරන අරගලයක් නොවේ. එය සමස්ත ධනපති පංතියට එරෙහිම සමස්ත කම්කරු පංතිය විසින් ගෙන යන අරගලයකි. කම්කරු පංතිය සිය දේශපාලන අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම සහ ව්‍යාප්ත කිරීම සඳහා ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් සටන් කරති. අද බොහෝ කම්කරු සටන් ආර්ථික සීමාවන්ගෙන් ඔබ්බට යන දේශපාලන සටන් වී තිබේ.

කොමියුනිස්ට් සහ කම්කරු දේශපාලන පක්ෂ

දේශපාලන පක්ෂයක් පිහිටුවීම යනු කම්කරු පංතියේ පරිණතභාවයේ සලකුණකි. මාක්ස් – ලෙනින්වාදී කොමියුනිස්ට් හා කම්කරු පක්ෂ නිර්ධන පංතියේ පෙරමුණු බල ඇණිවේ. කම්කරු පංතිය ධනපති සූරාකෑම අහෝසි කිරීමට සහ සමාජවාදය වෙත යාමට ගෙනයන අරගලයේදී පක්ෂය කම්කරු පංතිය එක්සත්කර සංවිධානය කිරීම, පක්ෂය නිර්ධන පංතියට සමාජ සංවර්ධනය පිළිබඳව මාක්ස් ලෙනින්වාදී න්‍යායය ගැන දැනුම ලබාදෙමින් එහි අරමුණ හා සටනෙහි ඒකාග්‍රතාවය සහතික කරයි. කලින් සාකච්ඡා කළ ආර්ථික හා දේශපාලන අරගල දෙකම ඒකාබද්ධ කරමින් පංති සටනේ මතවාදී අරගල කොටස සම්පූර්ණ කරන්නේ නිවැරදි සැබෑ මාක්ස් – ලෙනින්වාදී කම්කරු පක්ෂයයි. එය පංති සටනේ නියමු කාර්ය කොටස ඉටු කරයි. මේ ත්‍රිවිධ ආකාර සටන සමාජවාදය වෙත මාවත විවර කරයි.

සැලසුම් සහගත සමාජය ගොඩනැගීම

සමාජ සංවර්ධනයේ නියමය ලෙස ධනවාදයට විකල්ප ඊළඟ සමාජ ක්‍රමය ලෙස සමාජවාදය පිළිනොගන්නා අය තවමත් ලෝකයේ සිටිති. ඔවුන් සමාජවාදය මාක්ස්වාදී පරිකල්පනයේ ඇති සිහිනයක් යැයිද ඒ පිළිබඳව ජනතාව විශ්වාසය තැබිය යුතු නැතැයිද කරුණු දක්වති. ධනවාදයේ අධිරාජ්‍යවාදී අවධිය තුළ යළි සමාජවාදයට ඉඩක් නැතැයිද ඔවුහු පෙන්වා දෙති. ධනවාදය අනාගතයට අයිති සමාජයක් ලෙසත් සමාජවාදය අතීතයට හිමි සමාජ ක්‍රමයක් (යල්පැන ගිය) හැටියටද ඇතැමුන් සම්පූර්ණයෙන්ම විකෘති කළ අදහස් පළ කරනු දැකිය හැකිය.

නමුත් පවතින ගෝලීය ධනවාදය තුළ පවා ජයග්‍රහණයට පියවර තබා ඇති අතළොස්සක් සමාජවාදී රාජ්‍යයන් තුළ පවතින යථාර්ථය විසින්ම ඒ සියලු ධනේශ්වර මතයන් ප්‍රතික්ෂේප කර ඇත. පවත්නා සමාජවාදී රාජ්‍යයන් තුළ පවා ධනවාදී සමාජයට සාපේක්ෂව පංති හා පංති පීඩනය සම්පූණ ලෙස අහෝසි කොට ඇත. විරැකියාව, සාගින්න, දරිද්‍රතාවය, අකුරු නූගත්කම අනාගතය පිළිබඳව අවිනිශ්චිතතාවය තුරන් කර ඇත. සෑම පුරවැසියකුටම වැඩ කිරීමේ, විවේක ගැනීමේ, වාසස්ථානයේ සහ මහලු වියේදී සුරක්ෂිතභාවයේ අයිතිය සහතික කරනු ලැබ තිබේ.

සෑම පුරවැසියකුටම කර්මාන්තයේ, ප්‍රදේශයේ පාලනයේ හා මුළු රටේම ගැටලු විසඳීමේදී, සාකච්ඡා කිරිමේදි එයට සහභාගිවීමට අයිතිය ලබා දී තිබේ. ඔවුහු සහභාගි කර ගනු ලැබෙති. ඒවා සුපිරි ධනවාදී සංකේත ලෙස සලකන එක්සත් ජනපදයේ මහා බි්‍රතාන්‍යයේද නැති තරමට දුර්වල සමාජවාදී රාජ්‍යයන් තුළ පවා ක්‍රියාත්මකය. ලොව පුරාම සාමය ආරක්ෂා කිරිමේ පරමාර්ථ කොට ඇති වගකීමක් දැනට පවතින සමාජවාදී රාජ්‍ය ඉටු කරමින් තිබේ. වර්තමානයේද යුද්ධ අවුලවන්නේ සහ පවතින්නේ ධනවාදී රාජ්‍ය පද්ධතින්වල මිස සමාජවාදී කියුබාවේ හෝ උතුරු කොරියාවේ වියට්නාමයේ නොවේය. පවත්නා සමාජවාදී යථාර්ථයද එසේය.

නමුත් අවශ්‍යනම් යමෙකුට ඒ යථාර්ථයේද අඩුපාඩු සෙවිය හැකිය. ලාපාට රෙද්දක එක් කළුපාට පැල්ලමක් එම රෙද්දේ සැබෑ වර්ණය පිළිබඳව දර්ශකයක් නොවන්නාසේම සමාජවාදී ක්‍රමය ක්‍රියාත්මක කිරීමේදී ඇතිවන ප්‍රායෝගික බාධා, ගැටලු එහි හරය සහ ධනවාදය අභිබවා ඇති ප්‍රතික්ෂේප කළ නොහැකි ජනතාවාදී ප්‍රයෝජන වසං කළ නොහැකිය.

සමාජවාදයේ ජයග්‍රහණය අහඹුවෙන් ඇතිවන හෝ තේරුම් කළ නොහැකි දෙයක් නොව සවිඥානික, අරමුණු සහගත සංවිධානාත්මක සාමූහික මිනිස් ක්‍රියාකාරකම්වල ප්‍රතිඵල වේ. සමාජවාදී ආර්ථික සංවර්ධනයේ පාලනය කරන ආර්ථික නියාමය පිළිබඳව දැනුවත් වීම සමාජවාදය හඳුනාගැනීමට අපට පිටුවහලක් සපයයි. ලබන කලාපයේ සිට එම හැදෑරීම අරඹමු.

ධනවාදයට එරෙහිව කම්කරු පංතිය නැගිටීම