“සමාජවාදය මනෝරාජ්‍යයෙන් විද්‍යාව දක්වා”

SHARE

Share on facebook
Share on google
Share on twitter
Share on linkedin

“මුලින්ම මේ පොත් පිංච වඩාත් විශාල පොතක කොටසකි. බර්ලින් විශ්වවිද්‍යාලයේ ආචාර්ය මණ්ඩල බාහිර කථිකාචාර්ය වරයෙකුව සිටි ආචාර්ය ඊ ඩූරිං තමන් සමාජවාදියකු වූ බව හිටි හැටියේම සහ සෑහෙන ගෝට්ටියක් සහිතව ප්‍රකාශ කොට, ජර්මන් මහජනතාවට සවිස්තර සමාජවාදි න්‍යායක් සකස් කොට , ඉදිරිපත් කළා පමණක් නොව සමාජය ප්‍රතිසංවිධානය කිරීම සඳහා පූර්ණ ව්‍යවහාරික සැලැස්මක්ද ඉදිරිපත් කළේය. මෙතනදී ඔහු ඔහුගේ පූර්ව ප්‍රාප්තිකයන්ට විරුද්ධව නැගී සිටි බව කිව යුතු නොවේ. අන් හැමටම වඩා ඔහු මාක්ස්ට එරෙහිව ඔහුගේ දරුණු කෝපය එල්ල කරන්නේ එමගින් ඔහු මාක්ස්ට ගෞරවාදරයක් දැක්වීය.”

(සමාජවාදය මනෝරාජ්‍යයෙන් විද්‍යාව දක්වා වර්ධනය වීම’ – පෙඞ්රික් එංගල්ස් 1892 ඉංග්‍රීසි සංස්කරණයේ සංඥාපනය. )

‘සමාජවාදය මනෝරාජිකවාදයේ සිට විද්‍යාවක් දක්වා වර්ධනයවීම’ යන පොත් පිංච ‘ඩූරිං විරෝධය’ මහා කෘතියෙන් උපුටා ගෙන සකස් කරගන්නා ලද කොටස් තුනකි. එංගල්ස් විසින් මෙම කොටස පොත් පිංචක් ලෙසින් සකස් කළේ ජගත් දෘෂ්ටියක් ලෙස මාක්ස්වාදය නිර්ධන පංතියට හඳුන්වාදීමේ අරමුණෙනි. එමගින් මාක්ස්වාදයේ සංයුක්ත කොටස් තුන සහ දයලෙක්තික භෞතිකවාදයත්, ඓතිහාසික භෞතිකවාදයත් ගෙනහැර දැකිවීය. එංගල්ස්ගේ ‘ඩූරිං විරෝධය’ පොත ඩූරිංට එරෙහිව පෙළ ගැසුණු ආකාරය ඉහත දැක්වෙන උපුටා ගැනීමෙන් පැහැදිලිවේ.
1880දී මෙම පොත් පිංච ‘මනෝරාජික සමාජවාදය සහ විද්‍යාත්මක සමාජවාදය’ නමින් පළවිය. ඉංග්‍රීසි ම්‍රද්‍රණයත් සමග මෙම පොත් පිංච භාෂා දහයකින් පළවිය. ‘කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රකාශනයට’ සහ ‘ප්‍රාග්ධනයට’ පසුව මෙතරම් භාෂාවන්ට පරිවර්තනයවු මාක්ස්වාදි පොතක් නැත. 1880 ජනවාරි – මාර්තු වල ලියවුණු මෙම පොත් පිංච 1891 ලියන ලද ජර්මන් පිටපතට අනුව ප්‍රගති ප්‍රකාශකයන් විසින් සිංහලයට නගන ලද කෘතිය මාක්ස් එංගල්ස් තෝරාගත් කෘති වෙළුම 3 පිටුව 35 සිට 112 දක්වා හි පළකොට තිබේ.

“සමකාලීන සමාජවාදය හරය ලෙස ගත් විට, අන් හැමටම පෙර එක් පසෙකින් ඇත්තන් හා නැත්තන් අතර, එනම්, ධනපතියන් සහ වැටුප් ලබන කම්කරුවන් අතර ඇති සමාජයේ ප්‍රධාන ලක්ෂණය වන පංති ප්‍රතිඝතීතතාවයද, අනෙක් පසින් නිෂ්පාදනයේ පවතින අරාජිකත්වයද ඇති සැටියෙන් නිරීක්ෂණය කිරීමේ ප්‍රතිඵලයකි.”

මාක්ස් එංගල්ස් තෝරාගත් කෘති වෙළුම 3 පිටුව 35 සිට 112 දක්වා

සමාජයේ පංති ප්‍රතිවිරෝධතාවය හා එහි සතුරු ප්‍රතිවිරෝධය තුළ සමාජවාදය උපත ලබන බව පවසමින් ආරම්භ වන මෙම කෘතිය එවකට පැවැති තත්වයන් තුළ පැන නැගි මනෝරාජික සමාජවාදයට එරෙහිව විද්‍යාත්මක සමාජවාදය තහවුරු කරන්නට උත්සාහ ගෙන තිබේ. නිර්ධන පංතිය යනු හුදු අනෙකකුගේ අනුකම්පාව අවැසි පිරිසක් නොවේය යන්නත් ඔවුන් සමාජය වෙනස් කරන බලවේගයක් බවත් මෙහිදී ඉතා හොඳින් තහවුරු කරන්නට මෙය සමත් වී ඇත. එහෙත් මනෝරාජික සමාජවාදීන් කල්පනා කළේ පංති සටන නොසලකා සියළුම මිනිසුන් ගේ විමුක්තිය සදන්නටය. පීඩකයා සහ පීඩිතයා යන දෙදෙනාම එකවර විමුක්තිය ලබන්නේ කෙසේද? එසේ විය නොහැකිය. සැබවින්ම පීඩිතයා විමුක්තිය ලබන්නේ පීඩක පංතියෙන්ය. එංගල්ස් මෙය තවදුරටත් පැහැදිලි කරයි.

“ලෝකය මුදවාලීමේ මෙම වික්‍රමය සපුරාලීම සමකාලීන නිර්ධන පංතියේ ඓතිහාසික කාර්ය භාරය වන්නේය. ඓතිහාසික තත්වයන් සහ එයත් සමඟම එම පෙරැළියේ ස්වභාවය පිරීක්ෂා බැලීමද, එමඟින් එම වික්‍රමය සපුරාලීමේ කාර්යභාරයවී ඇති පෑගී සිටින වත්මන් පංතියට එම කාර්යයන්ගේ තත්වයන් හා කටයුතු පැහැදිලි කරලීමද – නිර්ධන පංති ව්‍යාපාරයේ න්‍යායික ප්‍රකාශනයවූද විද්‍යාත්මක සමාජවාදය සතු ක්‍රියා කොටස එසේය.”

පොත ලිවීමේදී මාක්ස්ගේ ‘ප්‍රාග්ධනය’ පිළිබඳව කෙතරම් අවධානයක් යොමු කොට ඇත්දැයි පැහැදිලිය. ඔවුන් ධනපති සමාජයේ බිහිවීමත්, එහි විකාශනයත් එයට අනුරූපීව සමාජවාදය පිළිබඳ මනෝරාජික මතවාදයන් විද්‍යාත්මක දැක්මක් බවට වර්ධනයවීමත් සිදුවු අයුරු පොත මනාව පැහැදිලි කරයි. පහත දැක්වෙන්නේ එයට නිදර්ශන ලෙසින් වන උපුටා ගැනීමකි.
“මෙම කෘතියෙහි නව ආර්ථික ශබ්ද මාලා ඇතොත්, මාක්ස්ගේ ‘ප්‍රාග්ධනයෙහි” ඉංග්‍රිසි මුද්‍රණයේ එන ශබ්ද මාලාවට සමාන වනසේ ඒවා යොදා ඇත. අප විසින් වෙළඳ භාණ්ඩ නිෂ්පාදනය නැමැති වාක්‍ය යොදා ඇත්තේ, නිෂ්පාදකයාගේ හුදු පරිභෝජනය සඳහා පමණක් නොව, හුවමාරු කිරීමේද අරමුණ ඇතිව, නැතිනම්, පාරිභෝගික වටිනාකම නොව, හුවමාරු භාණ්ඩයක් ලෙස නිපදවන්නේ යන අරුතගෙන දීමටය. ”
මනෝරාජික සමාජවාදි සංකල්පයන් හුදු අහම්බීය පැන නැගීමක් නොව, ආරම්භක ධනවාදයේ තිබූ තත්වයන්ට අනුරුපීව එහෙත්, වැරැදි න්‍යායකින් බිහිවූවකි. මනෝරාජික සමාජවාදීන් එක් අතකින් ධනපති අර්බුදය තාවකාලිකව සමනය කරනු ලබන හා ධනපතියන්ගේම උපකාරයෙන් පීඩිතයා සුවපත් කරන්නට හැකි යැයි විශ්වාස කරන මධ්‍යම පාංතික චින්තකයන්ය. වර්තමානයේද යම් රූපවාහිනී නාළිකා මඟින් ගම්මැද්ද ආදි වශයෙන් පෙන්වන්නේ ප්‍රතිසංස්කරන මඟින් සමාජය නගා සිටුවිය හැකි බවය. මෙය මිථ්‍යාවක් බව ඉතා හොඳින් පැහැදිලිය. ඉන් ජනතාව තාවකාලිකව මුළා කළ හැකිය. මින් ප්‍රතිසංස්කරණ මුළුමනින්ම ප්‍රතික්ෂේප වන්නේ නැත. එහෙත් නිර්ධන පංතිය ප්‍රමුඛ පීඩිත පංතිය සංවිධානය කොට එම පක්ෂයේ නායකත්වයෙන් කරනු ලබන විප්ලවයකින් මිස අන් මඟක් පීඩිතයාගේ විමුක්තියට නැත යන්න මෙහි පෙන්වාදෙනු ලබන මාර්ගයයි.

ඩී. එච්. වික්‍රමසිංහ.

“සමාජවාදය මනෝරාජ්‍යයෙන් විද්‍යාව දක්වා”