මාක්ස්වාදයේ ගුරුවර ප්‍රෙඞ්රික් එංගල්ස් විසින් 1876 මැයි සහ ජූනි අතර දී ලියන ලද 1895 ජූනි ෘසැ භැමැ ’ැසඑ සඟරාවෙහි ප්‍රථම වරට පළ කරන ලද ලිපියක් ඔබේ අධ්‍යයනය සඳහා මෙසේ හඳුන්වා දෙන්නෙමු. එංගල්ස් විසින් රචිත “ස්වභාදහමේ දයලෙක්තිකය” කෘතියෙ හි ද , මාක්ස් එංගල්ස් තෝරාගත් කෘති (1982 ප්‍රගති ප්‍රකාශන – සිංහල) වෙළුම 3 හි පළමු වන ලිපිය ලෙසින්ද මෙය කියවිය හැකිය. 1934 ප්‍රථම වරට ඉංග්‍රීසි භාෂාවෙන් පළ කරන ලද්දේ මොස්කව් හි ‘ප්‍රගති ප්‍රකාශකයන් ’ විසින්ය. සැබවින්ම එංගල්ස් විසින් අදහස් කොට තිබුණේ “ වහල් භාවයේ ප්‍රධාන රූපිකයන් තුන” යනුවෙන් පුළුල් කෘතියක් කරන්නට බව පැවසේ. මේ අප සාකච්ඡාවට භාජනය කරන්නේ එහි හැඳින්වීම පිණිස ලියන ලද ලිපියයි. පොත නොලියවුණු අතර එයට සකස් කළ හැඳින්වීම “වානරයාගේ සිට මිනිසා දක්වා පරිවර්තනය වීමේදී ශ්‍රමය ඉටු කළ කාර්ය කොටස” නමින් පසුව පළ කරන ලදි…
ජීව පරිණාමයේ මූලධර්මයන් සොයාගැනීම සම්බන්ධයෙන් චාල්ස් ඩාවින් විසින් කරන ලද මෙහෙය මාක්ස් සහ එංගල්ස් විසින් වෙසෙසින් අගයන ලදි. එමෙන්ම මාක්ස් ලෙනින්වාදි දර්ශනය උදෙසා වැදගත් මූලාශ්‍රයක් ලෙස පරිණාමවාදය යොදා ගන්නා ලදි. පරිණාමවාදය පිළිබඳ ඩාවින්ගේ විග්‍රහය ඔහුගේ ධනේශ්වර දෘෂ්ටිය විසින් අවහිර කෙරිණ. ඩාවින්වාදය ඉදිරිපත් කළ පරිණාමවාදය පිළිබඳ පොදු විග්‍රහය මඟින් මානව පරිණාමය නිවැරැදිව විග්‍රහ කළ නොහැකි විය. එය ඉදිරියට ගෙන යන ලද්දේ මාක්ස් හා එංගල්ස් විසින්ය.
සත්ත්ව පරිණාම ක්‍රියාවලියට අනුව සලකා බලන විට මානව පරිණාමය යනු ගුණාත්මක පිම්මකි. වානර වර්ගයන් අතරින් පරිණාමයේ අග්‍රස්ථානයේ සිටින වානර වර්ගයට වඩා මානව පරිණාම ක්‍රියාවලියෙහි ප්‍රාථමික අවස්ථාවෙහි සිටින මිනිසා දියුණු භාවයෙන් ඉහළ ස්ථානයක සිටියි. මිනිසා සහ සත්ත්වයා අතර මෙම ගැඹුරු ආගාධය නිමවූයේ කෙසේදැයි මාක්ස්වාදය විසින් කරනු ලබන විග්‍රහය සරලව දැක්වීම සඳහා එංගල්ස් විසින් මෙම ලිපිය මනාව උපයෝගි කරගන්නා ලදි.
සැබවින්ම එංගල්ස් එක් අතකින් උත්සාහ දරා ඇත්තේ මිනිසා, මිනිසකුවීමේදි ශ්‍රමය යන්න එහිලා ඉටුකරන ලද කාර්ය භාරය මැනවින් විග්‍රහ කිරීමය. එංගල්ස් ලිපිය ආරම්භ කරන්නේ මෙසේය.
”සියළු ධනයේ මූලාශ්‍රය ශ්‍රමය බව දේශපාලන ආර්ථිකවේදියෝ පවසත්. ශ්‍රමය විසින් ධනය බවට පරිවර්තනය කෙරෙන ද්‍රව්‍ය සපයන ස්වභාව ධර්මය හැරුණු විට ශ්‍රමය සැබවින්ම එවැනි මූලාශ්‍රයකි. එහෙත් ශ්‍රමය එයටත් වඩා අපරිමිතය. සකල විධ මානව පැවැත්මේ ප්‍රථම ප්‍රධාන පදනම ශ්‍රමයය. එය කෙතරම් දුරට බලපාන්නේද යත්, ශ්‍රමය විසින් මිනිසා බිහිකරන ලදැයි අප විසින් කිව යුතුව ඇත.”
ශ්‍රමය උදෙසා පූර්ව තත්වයන් වන්නේ මානවයාගේ දෙපා ගමන හා දෑත නිදහස් වීමය. එනිසා වානරයාගේ රුක් වැසි ජීවිතය බිම් වැසි ජීවිතයක් දක්වා පරිණාමනයවීම අවශ්‍යය. ස්වභාවික හේතූන් මත වනාන්තර වියැකෙමින් විවෘත භූමි පුළුල් වන විට බිම් වැසි ජීවිතයට හුරුවීමේදී පෙර සංචරණය සඳහා භාවිතා කළ පූර්ව ගාත්‍රා වෙනුවට පසු ගාත්‍රා යොදාගන්නට හුරු විය. මේ හේතුවෙන් දෑත නිදහස් විය. ඒ පිළිබඳව එම ලිපියෙහි මෙලෙස සඳහන් කරයි.
“රුක් නැගීම නිසා අත් වලට හා පා වලට විවිධ කාර්යයන් පැවැරිණි. උන්ගේ ජීවන පර්චය විසින් සමතලා බිම් වල සංචරණයට හේතුවීමේදී ඇවිදින විට අත් භාවිතා කිරීම ක්‍රමයෙන් හින වී යැයිද, එනිසා උන් වඩාත් සෘජු ඉරියව්වක් ගත්හයිද සිතිය හැකිය. වානරයාගේ සිට මිනිසා දක්වා පරිවර්තනයවීමේ තීරණාත්මක පියවර මෙය විය.”
දෑත නිදහස් වීමත් සමඟ උපකරණ භාවිතයට ආදි මිනිසා යොමු විය. මෙය අතිශය සරල තත්ත්වයෙන් ආරම්භ විය. ඒ සඳහා නිදහස් දෑත උපයෝගීවීම විසින් මිනිස් අත අන් කිසිදු සත්වයෙකුට වඩා සුවිශේෂිතවයත් අත් කරගන්නා ලදි. එහි බලපැම පෙරළා ශරීරයේ අනෙකුත් අංගයන්ටද බලපෑම් ඇති කළේය.
“ මානව කල්ප වානරයන්ගේ අත් වලට කිසිදා කළ නොහැකි ක්‍රියාවන් පහත් අවධියේ සිටින ම්ලේච්ඡයාට කළ හැකිය.”
යනුවෙන් එංගල්ස් සඳහන් කරන්නේ එයයි. තවදුරටත්
“එනයින් අත ශ්‍රමයේ ඉන්ද්‍රියය පමණක් නොව, එහි ඵලයද වන්නේය.”
යනුවෙන් එහි මිනිස් අතෙහි විශ්මිත බව පැහැදිලි කරයි.
“ කෙටියෙන් පවසතොත් සතා ඌ අවට පරිසරය පාවිච්චි කරනවා පමණි. උගේ පැවතීම විසින් වෙනස් කෙරෙනවා පමණකි. එහෙත් මිනිසා එය වෙනස් කරගැනීම මඟින් තමන්ගේ අවශ්‍යතාවයන්ට එය උපයෝගී කරගනී. එය මත ආධිපත්‍යය උසුලයි. මිනිසා සහ සතුන් අතර ඇති අවසාන මූලික වෙනස මෙයය. යළිත් මේ වෙනස ඇති කරන්නේ ශ්‍රමය විසිනි.”
ශ්‍රම ක්‍රියාකාරිත්වය විසින් මිනිසා නිෂ්පාදකයකු හෙවත් ස්වභාවධර්මය අභිබවනය කරන්නෙකු බවට පත් වූ ආකාරයද එහිදී නිෂ්පාදනය උදෙසා වන මිනිස් සාමූහිකත්වය හෙවත් සමාජය බිහිවු ආකාරයද ලිපියෙන් විග්‍රහවේ. තම අත්දැකීම් ඔස්සේ උද්දිපනය වන මොළයේ ක්‍රියාකාරිත්වයෙන් චින්තනය බිහිවන බව නැතිනම් සිතන සත්ත්වයෙකු බවට මිනිසා පත්වීම එංගල්ස් නිදර්ශනයන් හා නිවැරැදි තර්කයන් සමඟ පැහැදිලි කරයි. තවද තම අත්දැකීම් එකිනෙකා අතර හුවමාරු කරගැනීමේ අවශ්‍යතාවය විසින් භාෂණය ඇති විය.
“ හස්තයේ සංවර්ධනය සමඟත්, ශ්‍රමය සමඟත් ස්වභාව ධර්මය මෙල්ල කිරීම ආරම්භ විය. සෑම ඉදිරි ගමනක් සමඟම මිනිසාගේ ක්ෂිතිජය පුළුල් විය. ස්වභාවික වස්තූන්ගේ මෙතෙක් නොදත් ගුණයන් මිනිසා නොකඩවා සොයාගන්නට පටන් ගත්තේය. අනෙක් අතින් ශ්‍රමය වර්ධනයවීම විසින් අපේ සමාජයේ සාමාජිකයන් අන්‍යෝන්‍ය ආධාරය සහ එක්සත් ක්‍රියාකාරිත්වය මඟින් වඩාත් ලංවීමක් සහ මෙම එක්සත් ක්‍රියාකාරිත්වය වාසි සහගත බව හැම දෙනාටම පැහැදිලි කරවීමක් ඇති කළේය. කෙටියෙන් කියතොත් මිනිසා බවට පත්වෙමින් සිටි මෙම සත්ත්වයාට එකිනෙකා අමතා ගැනීමේ අවශ්‍යතාවයක් ඇති විය.”
“ප්‍රථමයෙන් ශ්‍රමයද, ඉන් අනතුරුව සහ එයත් සමඟ පැහැදිලි කතාවද යන මේ දේවලින් ලබාගත් උත්තේජනයන් නිසා වානරයාගේ මොළය ක්‍රමයෙන් මිනිසාගේ මොළය දක්වා විපරිණාමයට භාජනයවූ අතර මිනිස් මොළය වානරයාගේ මොළයට වඩා විශාලවී අංග සම්පූර්ණ බවට පත්විය. මොළය වර්ධනය වත්ම එහි ළඟම අවි වන සංවේදිතාවයන් දියුණු විය.
තව දුරටත් මෙම ලිපියෙහි ආදිතම මානව සමාජය ලෙස ප්‍රාථමික සාමූහික සමාජයත්, එම සාමූහිකත්වයෙන් මිඳුනු වහල්, වැඩවසම්, ධනේශ්වර යන පංති සමාජයන්හි පැවැත්ම හා මූලධර්මයන් පැහැදිලි කරයි. ධනපති සූරාකෑම සහ ධනපති කර්මාන්තය විසින් ඇති කරනු ලබන පරිසර විනාශයද ලිපියෙන් විග්‍රහවේ.
ඒ අනුව ඓතිහාසික භෞතිකවාදයට අනුව මානව සමාජ පැවැත්ම පුළුල්ව හා සරලව විග්‍රහ කිරීමට එංගල්ස් මනා උත්සාහයක් ගෙන තිබේ. ඉතා රසවත් ආකාරයෙන් ලියා ඇති මෙම ලිපිය විසින් මාක්ස්වාදි දර්ශනයේ පුළුල් පරාසයක් විවර කරදෙයි. මිනිසා පෘථිවියේ පමණක් නොව ඉන් ඔබ්බෙහිද අනසක පතුරුවන ප්‍රබලයකු වන්නේ කෙසේදැයි මෙයින් පැහැදිලිවේ. දෙවියකුට, භූතයෙකුට හෝ ආත්මයකට ඉඩ නොතබාම එකම බලවතා ඔහු පමණක් බව වටහාගන්නට එම ලිපියෙන් මනා සහායක් ලැබේ.
ඩී. එච්. වික්‍රමසිංහ