පවතින නීති පොත්වලට අනුව “නීතිය” සර්වතෝභද්‍ර ය. එමෙන් ම සර්ව සාධාරණ ය. එහෙත්, සමාජ භාවිතය අනුව එය එසේ නොවේ. නීතිය ක්‍රියාත්මක වන්නේ බලය ඇති පන්තියට පක්ෂපාතීවය. පීඩිත පන්තීන් පවතින නීතිය ඉදිරියේ පිළිසරණක් නැති තත්ත්වයට පත් කරයි. එහෙත්, අත්දැකීම් පසෙක ලා ජනතාව නීතිය හමුවේ මුළා වීම නිම වන්නේ නැත. එනිසා නීතිය යනු කුමක් දැයි පන්ති අරුතකින් විමසා බැලීම වටී. එමෙන් ම පන්ති අහෝසි කරමින් පවතින සමාජවාදී සමාජ අවධියේ දී සහ ඉන් ඔබ්බට වන පන්ති රහිත කොමියුනිස්ට් සමාජයේ දී නීතිය කෙසේ ද යන්න විමසා බැලීමෙන් නීතියෙහි හරය මනාව වටහා ගැනීමට හැකි වනු ඇත. නීතිය අයත් වන්නේ සමාජ පදනමට නොවේ. එනම්, නිෂ්පාදන බලවේග හා නිෂ්පාදන සබඳතාවයන්ට නොවේ. සමාජයේ උත්තර් නිර්මිතයට ය. එනම්, සමාජයේ ආර්ථික පදනම ආරක්ෂා කරන කලාව, අධ්‍යාපනය, සන්නිවේදනය, ආගම ආදී අංගයන් අතරට ය. එනිසා සමාජයේ ආර්ථික පදනම විසින් උත්තර් නිර්මිතය සකසන අතර එහි උත්තර් නිර්මිතය විසින් සමාජයේ පදනම ආරක්ෂා කරයි. නීතියේ හැසිරවීම ද එසේ ය.
නීතිය පිළිබඳ ලිඛිත සාක්ෂි හමුවන්නේ ක්‍රි.පු. 1760 දි බැබිලෝනියාවෙනි. ඒ පුවරු මත සටහන් කරන ලද ‘හමුරාබි’ නම් රජු විසින් ප්‍රසිද්ධ කළ නීති සංග්‍රහයයි. නීතිය බිහි වන්නේ පන්ති සමාජය සමඟය. එයට පෙර පැවැති ප්‍රාථමික සාමූහික සමාජය තුළ නීතියක අවශ්‍යතාවයක් පැවතියේ නැත. නීතිය බිහි වීම සඳහා අවශ්‍ය සමාජමය කොන්දේසි නිම වී තිබුණේ නැත. ඓතිහාසිකව සලකා බලන විට මානව සමාජය වැඩි කලක් ගත කොට ඇත්තේ ප්‍රෘථමික සාමුහික සමාජය තුළ ය. මානව කාල පැවැත්ම යුගවලට නම් කරනුයේ එම අවධි තුළ භාවිත වූ උපකරණ හා අවිවල ස්වභාවය අනුව ය. පුරා ශිලා යුගය යනු ඉතා දීර්ඝ එකකි. එම යුගයේ දී මානවයා ස්වභාව දහමේ පවතින ආහාර රැස් කරන්නන් ලෙස හා දඩයම් කරන්නන් ලෙස විසී ය. පුරා ශිලා යුගය වසර දශලක්ෂයක පමණ කාලයක් පැවැති බවට සාක්ෂි ලැබේ. වානර අවධිය හැර මිනිසා මෙතෙක් ගෙවා ඇති කාලයෙන් සියයට අනුපහක් (95%ක්) ම පුරා ශිලා යුගයට අයත් ය. ඉන් පසුව පැවැති නව ශිලා යුගය ද වසර 20000 – 10000 අතර කාලයක් ගෙවා ඇත. එම යුගය තුළ මානවයෝ ගොවිතැන හා සත්ත්ව පාලනයෙහි යෙදුණහ. නව ශිලා යුගය අවසන් අදියරේ පන්ති සමාජයට පදනම සකස් විය. මේ අනුව මිනිසා වැඩි වශයෙන් පැවැත තිබෙන්නේ ප්‍රාථමික සාමුහික සමාජය තුළ ය.
මෙම සමාජයේ නීති පිළිබඳ අවශ්‍යතාවයක් පැන නැඟී නැත. ප්‍රාථමික සාමූහික සමාජය තුළ නිෂ්පාදනය ද සාමුහික විය. එම සමාජ පැවැත්මේ අනිවාර්ය කොන්දේසියක් ලෙස බෙදාහැරීම ද සාමුහික විය. මාතෘමුලික සමාජයක් වූ මෙහි විවාහ ක්‍රමය පුද්ගලයන් දෙදෙනෙකු අතර වන වර්තමාන විවාහ ක්‍රමයට වෙනස්ව මිනිස් වංශ දෙකක් අතර වන විවාහයක් බැවින් සහ නිරන්තරව ම දරුවන් සිටින්නේ මව් වංශයේ බැවින් මාතෘ මූලිකත්වයට එය ද සාධකයක් විය. වැදගත් ම කාරණය වන්නේ එම සමාජයේ දරුවන් (අනාගත ශ්‍රමිකයන්) රැක-බලා, හදා-වඩා ගැනීමේ වගකීම පැවරුණේ කාන්තාවන්ට වීම ය. එබැවින්, එම සමාජය මාතෘ මූලික එකක් විය. සමාජයේ අතිරික්ත ධනයක් නිෂ්පාදනය නොවීම හේතුවෙන් පෞද්ගලික දේපළ බිහි වීමේ පසුබිමක් ද නොවී ය. තවද පන්ති රහිත සමාජයක් වු බැවින්, එම සමාජයේ පන්ති පීඩක උපකරණයක් වන රජයක අවශ්‍යතාවය නොවී ය. මේ තත්ත්වය තුළ එම සමාජයට නීති අවශ්‍ය නොවී ය. එබැවින්, ප්‍රාථමික සාමුහික සමාජය හැසිරවූයේ රීති මඟින් ය. රීති යනු හොඳ නරක, යහපත අයහපත ආදිය පිළිබඳ මිම්ම වන සමාජ සම්මතයයි. එම සමාජයේ වටිනාකම් තීරණය වන්නේ සාමුහිකත්වය පදනම්ව ය.
නීතිය බිහි වන්නේ පන්ති සමාජය තුළ ය. නීතිය යනු පාලක පන්තියේ කැමැත්ත බව මාක්ස්වාදී විග්‍රහයයි. පන්ති වශයෙන් බෙදී ගිය සමාජයේ පීඩක පන්තිය විසින් තම පන්ති වුවමනාවන් වෙනුවෙන් සකස් කර ගන්නා උපකරණයක් ලෙස නීතිය සැලැකිය හැකි ය. මෙහි හොඳ ම උදාහරණය වන්නේ මේ වන විටත් අප රටේ නීතියෙහි පදනම වන රෝම නීතියයි. රෝමය හි පැවැතියේ වහල් හිමි සමාජයයි. එහි පාලන අධිකාරිය වූයේ වහල් හිමි රාජ්‍යයයි. රෝමයෙහි වැදගත් ම පරිපාලන ඒකකය වන්නේ සෙනෙට් සභාවයි. එය පැට්ටී්‍රසියන්වරු 600කින් සමන්විත විය. ඔවුහු එම සමාජයේ ධනවත්තු ය. ප්‍රීටර්වරුන් (කොන්සල්වරුන් ) දෙදෙනෙක් මෙම සෙනෙට් සභාව විසින් පත් කරන ලදී. ඔවුහු රාජ්‍යයේ සමපාලකයෝ ය. රෝම රාජ්‍යයේ පීඩිත ජනතාව ප්ලේබියන්වරුන් ලෙසින් හඳුන්වයි. ප්ලේබියන්වරුන් නීතිය දන්නේ නැත. නීතියට අනුව එය නොදැනීම නිදහසට කරුණක් ද නොවේ. එනිසා ඇති වන සමාජ ගැටුම අවම කිරීම සඳහා නීතිය නොදන්නවුන් වෙනුවෙන් ඉදිරිපත් වන එහෙත් පාලක පන්තියේ ම නියෝජිතයන් වන නීතිඥ වෘත්තිය බිහි කළේය. මෙය සැබැවින් ම රජයේ මැදිහත් වීමෙන් ම ඇති කරන ලද්දකි. මුලින් මෙම අතරමැදි නීති සහායකයන් ‘කියුරුලේ’, ‘අයිස්ලේ’, ‘සෙන්සර්’, ‘ක්වේස්ටර්’ ආදී නම්වලින් ප්‍රකාශ විය. ඔවුන් අද පවා සේවය කරන්නේ පවතින ක්‍රමයට ම ය. නීතියේ සාධාරණත්වය රැකීම වෙනුවෙන් එහි පෙනුමට අලංකාර යෙදීම ධනපති ප්‍රජාතන්ත්‍රවාදයේ ස්වභාවයයි. නිදර්ශනයක් ලෙස ක්‍රි.පූ. 79දී වහලුන් මැරීම මහේස්ත්‍රාත් අවසරයකින් තොරව කළ නොහැකි යැයි නීති පැනවීම එවැන්නකි. ඊට පෙර වහල් හිමියකුට වහලකු මරා දැමීමේ අයිතියක් විය.
ධනවාදී සමාජය තුළ නීතිය සකස් වන්නේ ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය ආකාරයට අනුව ය. මෙය සමස්ත මානව සමාජයට සාධාරණ යැයි පෙන්වුව ද සැබැවින් ම බලයේ සිටින පන්තියට පමණක් සාධාරණ වේ. පෞද්ගලික දේපළ යනු හොර බඩු වශයෙන් මාක්ස් පෙන්වා දෙයි. සමාජ දේපළ පෞද්ගලිකව හිමි කර ගැනීම මඟින් සොරකමක් වන බව සාමූහික චින්තනයෙන් සිතන්නෙකුට වටහා ගැනීමට අසීරු නැත. ධනවාදය තුළ නීති සකස් වන්නේ හා ක්‍රියාවට නැඟෙන්නේ ධනපති ප්‍රාග්ධනයට පක්ෂපාතීව ය. ප්‍රාග්ධනය යනු පීඩිත පන්තීන්හි ශ්‍රමය සූරා කනු ලබන මාධ්‍යයයි. සමාජයේ පවතින අපරාධ අතුරින් බරපතල ම හා පැතිරුණු අපරාධය වන්නේ ශ්‍රම සූරාකෑමයි. එහෙත්, පවතින නීතිය රකින්නේ ද එම අපරාධය හා අපරාධකරුවන් ය. රැකවරණ සලසන්නේ ද එම අපරාධයට හා අපරාධකරුවන්ට ය.
ධනවාදය පෙරළා දමා බිහි වන සමාජයේ පළමු අදියර වන සමාජවාදී අවධිය තුළ පන්ති අහෝසි කෙරෙමින් නමුත්, තවමත් දුර්වලව පන්ති පවතියි. එබැවින්, සමාජවාදය තුළ ද නීතිය පවතියි. සමාජවාදී රාජ්‍යය තුළ සමාජවාදී නීතිය, සමාජවාදී නීතිය පසිඳලීම පවතියි. එහෙත්, හුදෙක් පෞද්ගලික දේපළ ක්‍රමයක් වන ධනවාදයේ දී මෙන් නොව සමාජවාදයේ දී නීතිය හා යුක්තිය අතර පරස්පරය ක්‍රමයෙන් වියැකී යයි. එම සමාජ අවධියේ නීතියේ පදනම වන්නේ සාමූහිකත්වයයි. එමෙන් ම බහුතරයක් වන පීඩිත පන්තියේ කැමැත්තයි.
මිනිස් සමාජයේ උත්තරීතර සමාජ අවධිය වන කොමියුනිස්ට් සමාජය යනු මුළුමනින්ම පන්ති රහිත සමාජයකි. එමෙන් ම නිෂ්පාදනයේ උසස් දියුණුව සහිත එම සමාජය තුළ පන්ති අරගල නොපවතින බැවින්, පන්ති පීඩක උපකරණයක් වන රාජ්‍යය පවතින්නේ නැත. එබැවින් නීතියක පැවැත්මට කිසිදු කොන්දේසියක් ඉතිරි නොවන බැවින්, කොමියුනිස්ට් සමාජයේ නීති නොපවතී. එම සමාජය පවතින්නේ සමාජ සම්මතයන් හෙවත් රීතින් පදනම්ව ය. එම රීතින් සාමුහිකත්වය ආරක්ෂා කිරීම අරමුණුකොට සකස්වන්නකි.
මේ අනුව නීතිය යනු ඓතිහාසික ප්‍රපංචයකි. එහි පැවැත්ම ඇත්තේ පන්ති සමාජය තුළ ය. නීතිය සේවය කරන්නේ පාලක පන්තීන්ට ය. එයට හේතුව එහි නිර්මාතෲන් වන්නේ පාලක පන්තිය බැවින් ය. එනිසා ම සාමූහික සමාජයක දී නීතියට පැවැත්මක් නැත. එවන් සමාජයක දී සමාජයට වැදගත් වන්නේ රීතින් ය. එනිසා නීතිය හා නීති ක්‍රියාවලිය යනු පාලක පන්තියේ අවශ්‍යතාවය අනුව මෙහෙයැවෙන්නකි. ඒ පිළිබඳව පීඩිත පන්තීන්ට බලාපොරෙත්තු තැබීමට නොහැකි ය. එය තමන් පෙළන කසයෙන් පවන් සැලීමක් බලාපොරොත්තු වීමක් වැන්නකි.
ඩී. එච්. වික්‍රමසිංහ