සමාජවාදි රාජ්‍යයේ මහජන නියෝජිතයා

SHARE

Share on facebook
Share on google
Share on twitter
Share on linkedin

වත්මන් දේශපාලනය තුළ ජනතාව යනු ‘බලය’ නොව පාලකයන්ට බලය පුදන්නන් බවට පත්ව ඇත. පීඩිත පංතිය සතු දේශපාලන “බලය” තමන්ගේ නොවන අනෙකෙකුට පවරා ඔහු තම මහජන නියෝජිතයා යැයි මංමුලාවකට පත්ව වත්මන් ලාංකීය සමාජය හිස අත් ගසා සාපකරමින් සිටී. එම තෝරා පත් කරගැනීමේ දී විවිධ සාවද්‍ය නිර්ණායක මත තම මහජන නියෝජිතයා තෝරා පත් කර ගන්නා අපුරු ක්‍රමවේදයක්ද ප්‍රජාතන්ත්‍රවාදය නම් ධනපති මිථ්‍යාව විසින් සකස් කොට තිබේ. එය නම් සර්වජන ඡන්දයයි. සැබැවින් ම මානසික හා කායික බලහත්කාරයක් ම පමණක් වන මෙය විසින් ‘තමන්ගේ පක්ෂය’ යැයි පෙන්වමින් යම් ධනපති කණ්ඩායමකට ගැතිකම් කරන්නට සම්මත බුද්ධිමතුන් පවා පොළඹවාලන හාස්කමක් පවතියි. පත් කොට ගත් දිනට පසු දා සිට ම ප්‍රතික්ෂේප කරනු ලබන, එහෙත් යළි පත් කර ගනු ලබන තම පක්ෂයේ මහජන නියෝජිතයා යනු පාක්ෂිකභාවය ම ගසා කන මහජන සතුරෙකි.

එනිසා ජනතාවාදී, ප්‍රගතිශීලි සැබෑ වාමාංශික මහජන නියෝජිතයන් මහජනතාව පත් කර ගන්නා ව්‍යාජ මහජන නියෝජිතයන් නිවැරැදි මඟ යවන (නිවැරැදි මඟ යන්න පවා කුමක්දැයි ඔවුනට නිර්ණායක නොමැත. ) මාර්ගෝපදේශක උපකරණයක් යැයි විශ්වාස කරනු ලබන තත්ත්වයක් පවා පවතියි. ඒ අනුව සැබැ වාමාංශික මහජන නියෝජිතයන් කුණු වූ ධනපති සමාජයේ ම ප්‍රකාශනයක් වන පාදඩ හා දූෂිත ධනපති මහජන නියෝජිතයා යහමඟට ගැනීමට පොළඹවාලන්නකු ලෙස උපයෝගී කර ගැනීමේ බොළඳ උත්සාහයක් සමාජය තුළ පවතියි. එනිසා ජනතා බලය සැමදා පක්ෂය යන ගෝත්‍රය තුළ ගසා කන ස්වරුපයක් වත්මන් ධනපති පාලනයන් හෙවත් ප්‍රජාතන්ත්‍රවාදය් ක්‍රමවේදය තුළ දක්නට ලැබේ. මෙහි ප්‍රතිඵලය නම් ‘කොයිකා ආවත් එකයි’ යන වංචනිකව හෘදය සාක්ෂිය රවටන වදන් හමුවේ සැබෑ සමාජවාදී ජනරජයක් තුළ බිහි වන මහජන නියෝජිතයා පිළිබඳව ද අසාධාරණ බියක් මවා ගන්නට ජනතාව පොළඹවා තිබීමයි. එබැවින්, සමාජවාදය තුළ වන සැබෑ මහජන නියෝජිතයාගේ ස්වරූපය හා හරය හඳුනා ගැනීම යන්න අතිශය වැදගත් කරුණකි.

මහජන නියෝජිතයා යන්න බිහි වන්නේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය යටතේය. පෞර රාජ්‍යයන් හෝ ඉන්දියානු වැනි ආසියාතික ගණ තන්ත්‍ර පාලන ආකෘති තුළ පැවැතියේ සෘජු ප්‍රජාතන්ත්‍රවාදයයි. පංති සමාජය ආරම්භයේ වහල් හිමියන්, වහල් සමාජයේ බුද්ධිමතුන් හා වහලුන් නොවන වෙනත් නිදහස් මිනිසුන් මහජනතාව යන කුලකයට අයත් විය. ආරම්භක ප්‍රජාතන්ත්‍රවාදය හිමිවූයේ එම අතළොස්සට පමණි. වැඩවසම් ක්‍රමය යනු ප්‍රජාතන්ත්‍රවාදයට ඉඩකඩ විවර කළ සමාජ ක්‍රමයක් නොව අත්තනෝමතිකත්වයකි. යළි ප්‍රජාතන්ත්‍රවාදය පුළුල්ව හමු වන්නේ ධනේශ්වර ක්‍රමය උපත ලබද්දී ය. ඒ තුළ සර්වජන ඡන්දය නම් උපකරණය බිහිවන්නේ බොහෝ පසුකාලීනව ය. එහි දී ජනතාව යනු ධනපතියා ඇතුළු පීඩක පංතියද, නිර්ධනයා ඇතුළු පීඩිත පංතීන්ද අයත් මහා කුලකයක් ලෙස හඳුන්වන ලදී. එම මහා කුලකය ජනතාව නම් ආවරණය තුළ සඟවා තබයි. මේ මහා පිරිස සෘජු ප්‍රජාතන්ත්‍රවාදය තුළ හැසිරවිය නොහැකි බැවින්, නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය ඔවුන් උපයෝගී කර ගන්නා බව පැවසුව ද, සත්‍යය එය නොවේ. නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය හා බහු පක්ෂ දේශපාලනය ඔස්සේ ධනපති පංතියේ නියෝජිතයන් ජනතා ඡන්දයෙන් තෝරා ගන්නා ක්‍රමයක් ධනපති ක්‍රමය සොයා ගන්නා ලදී. ඌරාගේ මාළු ඌරා පිට තබා කපන්නා සේ ජනතාව පෙළීමට පීඩක පංතියේ නියෝජිතයින් ජනතා ඡන්දයෙන් තෝරා පත් කර ගන්නා ක්‍රමයක් ප්‍රජාතන්ත්‍රවාදයට එක්කොට ගත්තේ ය.

මෙම ක්‍රමය තුළ බලය, ධනය, මතවාදී ආධිපත්‍යය ඇති ධනපති පංතිය පක්ෂ තුළ ගෝත්‍රික මානසිකත්වයකට ජනතාව කොටු කරයි. මහජන නියෝජිතයා කෙතරම් අපරාධකාරයෙකු වුවද ඔහු දේවත්වයේ ලා සලකන්නේ තම ඊනියා පාක්ෂික හෙවත් සැබැ ගෝත්‍රික මානසිකත්වය නිසා ය. මෙම ඛේදවාචකයෙන් මිදෙන්නට නොහැකිව තැටිය මත රොටිය සේ ජනතාව කරවෙමින් සිටී.
සමාජවාදය තුළ ප්‍රජාතන්ත්‍රවාදය පවතී. එහෙත්, එය සුළුතරයේ ප්‍රජාතන්ත්‍රවාදය නොව බහුතරයක් වන නිර්ධන පංතිය ප්‍රමුඛ පීඩිත පංතියේ ප්‍රජාතන්ත්‍රවාදයයි. එහි දී සුළුතරයක් වන පීඩක පංතියට එය අහිමි වෙයි. එනිසා එය පංති පීඩක කාර්යයක්ද ඉටු කරයි. පංති අහෝසිව කොමියුනිස්ට් අවධිය එළැඹෙන තුරු සමාජවාදයට ද මහජන නියෝජිත පාලන ව්‍යුහයක් අවශ්‍ය ය. එනිසා සමාජවාදය තුළ ද මහජන නියෝජිතයන්ගෙන් සැදි ආයතන පවතියි. ඔවුන් තෝරා පත් කරගනුයේ ද මහජන ඡන්දයෙනි. මෙම නියෝජිතයන් සැබැවින් ම පත් වන්නේ පීඩිත පංතිය තුළින් ය. පටු පක්ෂ දේශපාලන මායාව තුළ මොවුන් සිරගත කොට නැත. ඔවුන් වග කියන්නේ සමාජවාදී රාජ්‍යයට ය. එහි ජනතාවට ය. සමාජවාදය තුළ විශේෂත්වය වන්නේ එහි පවතින්නේ නිර්ධන පංතිය ප්‍රමුඛ පීඩිත පංතියේ රාජ්‍ය බලයයි. ප්‍රාදේශීය මට්ටමින් හා ආයතන මට්ටමින් මෙම නියෝජිතයන් තෝරා පත් කර ගනියි. ඒ සඳහා ප්‍රාදේශිය මට්ටමේ හා ආයතන මට්ටමේ වරණ ක්‍රමයක් (නියෝජිතවරණයක් ) පවතියි.

සමාජවාදී රාජ්‍යයක මහජන නියෝජිතයා තම වගකීම ඉටු කිරීම සඳහා බැඳුණු ස්වේච්ඡා සේවකයෙකි. ඔහු පහසුකම් ලබන්නේ ජනතා සේවය සඳහා ය. වරප්‍රසාදලෘභියකු නොවේ. වරප්‍රසාදයන්ට පසුබිම සකසන සමාජ විෂමතාවයන් කාලානුරූපව සමනය කිරීමට අනුරූපව වරප්‍රසාදිත හා නිලධාරිවාදී වැනි තත්ත්වයන්ට ඉඩ සලසන විෂයමූල තත්ත්වය නිම කරයි. එතෙක් ඔවුන් තුළින් පැන නැඟිය හැකි ජනතා ද්‍රෝහී කටයුතු වැළැක්වීම පිණිස සමාජවාදී ව්‍යවස්ථාවෙන් පනවන නීති පවතියි. මෙම මහජන නියෝජිතයන්ගේ වත්කම් ඕනෑ ම අවශ්‍ය අවස්ථාවක විමසා බැලීමේ පූර්ණ අයිතියක් ජනතාව සතු ය. එමෙන් ම යම් නියෝජිතයකු ජනතා ද්‍රෝහී වන ඕනෑ ම අවස්ථාවක ඔහු ආපසු කැඳවීමේ අයිතිය නිරන්තරයෙන් ජනතාව සතු වන නීති රීති සකස් වේ. එසේ ම නීතිය හා නීති කාර්යයන් මෙන් ම විනිශ්චය හමුවේ සමාජවාදී රාජ්‍යයේ සියල්ලන් ම සමාන ය යන්න පොදු මූලධර්මයකි. එනිසා සමාජවාදය තුළ මහජන නියෝජිතයන් යනු වරප්‍රසාද ලාභීන් නොවේ. ජනතා දේපළ සොරා ගැනීම හා ජනතා ද්‍රෝහී වීමේ දී මහජන නියෝජිතයන් නීතිය හා සදාචාරය ඉදිරියේ සාමාන්‍ය ජනතාවට ද වඩා වගඋත්තරකරුවන් බවට පත්වේ. සමාජවාදී රටවල සමාජවාදී නීතිය හමුවේ ඇමතිවරුන් පවා බරපතළ දණ්ඩනයන්ට ලක්වේ.
මානව සමාජය කොමියුනිස්ට් අවධියට පත් වන විට රාජ්‍යය අහෝසි වේ. එයට අදාළ තත්ත්වයන් සම්පූර්ණ වේ. එනිසා පංති රහිත එම සමාජ ක්‍රමයේදී මහජන නියෝජිතයන් අවශ්‍ය වන්නේ නැත. කොමියුනිස්ට්වාදී පුරුද්ද විසින් ජනතාවගේ සමාජ භාවිතාව හසුරුවන එම අවධියේ අවශ්‍යතාවයට අනුව මැදිහත් වීමේ පුරුද්දක් ජනතාව සතු වේ. වත්මනෙහි ස්වෙච්ඡා යනුවෙන් හඳුන්වන වචනය එහි පුළුල්තම අර්ථයෙන් භාවිතයට නැඟේ. සමාජ ආරක්ෂණය ද සමාජයේ ස්වේච්ඡා මැදිහත් වීමකින් සැපිරේ. එවන් සමාජයක සැබැවින් ම සමාජය මෙහෙයවන සාධකය මානව පැවැත්මේ හා සංවර්ධනයේ අවශ්‍යතාවයයි. එය සමස්ත සමාජයේ ම පුළුල් මැදිහත්වීමකි. ඒ සඳහා වෙන් වූ හෝ විශේෂ ප්‍රාගුණ්‍යයකට ලක් කළ විශේෂිත පුද්ගලයන් හෝ කණ්ඩායම් නැත. අත්දැකීම් බහුලතාවය අනුව පුද්ගලයෙකු තවකෙකුට වඩා උපදේශනයෙන් ඉදිරියෙන් සිටිය හැකි ය. එය වරප්‍රසාදිත තත්ත්වයක් නොව හැකියාව සමාජයේ පොදු සම්පතක් කොට ගැනීමකි.

ඩි.එච්. වික්‍රමසිංහ

සමාජවාදි රාජ්‍යයේ මහජන නියෝජිතයා