අන්තර්ජාතික සබඳතා සහ සමාජවාදය

SHARE

Share on facebook
Share on google
Share on twitter
Share on linkedin

වත්මන් ලෝකය තුළ කිසිදු රටකට සැඟවී හෝ හුදකලාව පැවැතිය නොහැක. එය අනිවාර්ය ලෙසම මුළු මහත් ලෝකයේ අනෙකුත් රටවල් සමඟ සමාජ, ආර්ථික හා දේශපාලන වශයෙන් විවිධ සම්බන්ධතාවයන්ට යොමුවේ. ධනවාදය යනු මින් පෙර පැවැති සමාජ ක්‍රමයන් මෙන් නොව මුළු මහත් ලෝකය වෙලා ගත් සමාජ ආර්ථික ක්‍රමයකි. ධනවාදයේ හරය වන්නේ අතිරික්ත වටිනාකම් එක් රැස් කිරීමයි. ඒ සඳහා ප්‍රාග්ධනයේ බලය උපයෝගී වන අතර එය මුළු මහත් ලෝකයම වෙලාගෙන සිටියි. ප්‍රාග්ධනයේ ජගත් ආධිපත්‍යය විසින් මුළු මහත් ලෝකයේම වැටුප් ශ්‍රමය සූරා කමින් අතිරික්ත වටිනාකම් එක් රැස් කරයි. යළි ඒවා ප්‍රාග්ධනය බවට පත් කරමින් නැවත නැවතත් සූරාකෑම මඟින් අතලොස්සක් වන ධනපති පංතිය අත අතිරික්ත වටිනාකම් එක් රැස් කරයි. ධනවාදී රාජ්‍යයන් මෙම කාර්යය සඳහා වන පහසුකම් හා ආරක්ෂාව සැපයීම කරනු ලබයි. නැතිනම් ප්‍රාග්ධනයේ නියෝජිතයින් ලෙස කටයුතු කරයි. ධනවාදයේ වත්මන් අවධිය වන අධිරාජ්‍යවාදයේ දී ඒකාධිකාරී බහුජාතික සමාගම් හරහා මෙම ආර්ථික හැසිරවීම මෙහෙයවයි.
අධිරාජ්‍යවාදී ලෝකය තුළ ප්‍රබල ඒකාධිකාරි සමාගම් සහිත බලගතු රාජ්‍යයන් කේන්ද්‍රීය රටවල් ලෙස හඳුන්වයි. එම අධිරාජ්‍යවාදයේ කේන්ද්‍රය වටා පවතින අධිරාජ්‍යවාදී මංකොල්ලයට යටත් රටවල් පරිධියේ රටවල් ලෙසින් හඳුන්වයි. ධනවාදී ලෝකයේ විදේශ සම්බන්ධතා පවතින්නේද මේ ව්‍යුහයට අනුරූපීවය. කේන්ද්‍රයේ වන රටවල් අතර තම බලයන්ට අනුරුපී සමාන කොන්දේසි හා අයිතීන් සහිත විදේශ සම්බන්ධතා හා කටයුතු පවතියි. එසේම පරිධියේ රටවල් අතරද තම බලයන්ට අනුරුපී සමාන කොන්දේසි හා අයිතීන් සහිත විදේශ සබඳතා පවතියි. කේන්ද්‍රයේ වේවා පරිධියේ වේවා සමාන සබඳතාවන් තුළ වුවද බලය අඩු වැඩි භාවය තුළ එහි වාසි අවාසි තීරණයවේ. මෙයට අමතරව කේන්ද්‍රයේ වන ප්‍රබල රටවල් හා පරිධියේ වන දුබල රටවල් අතර විදේශ සබඳතා ඇතිවේ. එහිදී සිදුවන්නේ බලහත්කාරයයි. යටපත් කරගැනීමයි. ඒ සඳහා ආරක්ෂාව, ණය හා කුඩා රට වෙනුවෙන් වන ජාත්‍යන්තර ප්‍රශ්නවලදී පෙනී සිටීම යන උපකරණයන් බලගතු රට විසින් භාවිතා කරනු ලබයි. බොහෝ දුරට මෙම සබඳතාවයන්ගේ ස්වරුපය සකස් වන්නේ කුඩා අල්ලසක්දී දැවැන්ත කප්පමක් ගන්නා අයුරින්ය. මිතුරු ස්වරූපයෙන් තමන් හට නතුව පවතින රටවල් හා වන රාජ්‍ය තාන්ත්‍රික කටයුතු වෙනත් ක්‍රමයකටත්, නතු නොවන රටවල් හා කටයුතු වෙනත් ක්‍රමයකටත් පවත්වා ගෙන යාමට අධිරාජ්‍යවාදී ප්‍රබල රටවල් කටයුතු කරයි. නතු නොවන රටවල් දුබල කිරීම සඳහා කටයුතු කරනු ලබයි. ඒ කුමන තත්වයකදී වුවද සබඳතාවයේ ස්වරූපය තීරණය කරනු ලබන තීරකයා වන්නේ අධිරාජ්‍යවාදි රටය. සැබවින්ම ධනවාදය තුළ විදේශ සබඳතා හසුරුවන්නේ අධිරාජ්‍යවාදීන්ගේ උපාය මාර්ගයන්ට අනුවය.

සමාජවාදය යනු ජගත් ප්‍රාග්ධනයේ බල ආධිපත්‍යයට හා ක්‍රියාකාරිත්වයට එරෙහි විප්ලවීය ක්‍රියාදාමයකි. සැබවින්ම වත්මන් ලෝකයේ මූලික ප්‍රතිවිරෝධය පවතින්නේ ජගත් ප්‍රාග්ධනය හා සමාජවාදය අතරය. මෙය අධිරාජ්‍යවාදී රටවල් හා සමාජවාදී රටවල් අතර මෙන්ම ධනවාදී රටවල ධනපති පංතිය හා නිර්ධන පංතිය අතර ලෙසද ප්‍රතිවිරෝධයක පවතී. එහිදී සමාජවාදී රටකට මුහුණ දෙන්නට වන අභියෝගයක් වන්නේ සමාජවාදී රාජ්‍ය රැක ගනිමින් ප්‍රාග්ධනයට එරෙහිව ප්‍රහාරය දියත් කරන්නේ කෙසේද යන්නය. මෙම අරගලය පසු බැසීම්, කල් අල්ලා සිටීම් හා ප්‍රහාරය යන ස්ථානයන් හි දෝලනය වන්නකි. මෙහිදී සමාජවාදී රාජ්‍ය සමත් විය යුත්තේ ජගත් ප්‍රාග්ධනයෙන් සමස්ථ වැඩකරන ජනතාවගේම ශ්‍රමයේ විමුක්තිය ලබාදීම යන උපාය මාර්ගයේ සිටිමින් අරගලයේ අවශ්‍ය අවස්ථාව, ස්ථානය හා ප්‍රහාරයේ ප්‍රමාණය උපක්‍රමිකව වෙනස් කරමින් පංති සටන වඩාත් විද්‍යාත්මකව පවත්වා ගැනීමයි. සමාජවාදී රටවල විදේශ ප්‍රතිපත්ති සැකසෙන්නේ එලෙසින්ය. අනාගතයේ බිහි වන සමාජවාදී ලංකාව සැලකිල්ලට ගන්න. ලාංකීය සමාජවාදී ජනරජයට ධනේශ්වර ලෝකයේ රටවල් සමගත්, සමාජවාදී ලෝකයේ රටවල් සමගත් විදේශ සබඳතා පවත්වන්නට සිදුවේ. සමාජවාදී රටවල් සම්බන්ධ සබඳතාවයන්හිදී සහෝදරාත්මක සහයෝගය සහිත සබඳතාවයන්ට යෑමට සිදුවේ. එහෙත් යම් ආධිපත්‍යයක හැඟීමෙන් එවන් රටක් වුවද කටයුතු කරන්නේ නම් එය දැඩි අවධානයට ගැනීමට සිදුවේ. එහෙත් සමාජවාදය පාවාදෙමින් එම රටවල් සතුරු බවට පත්කර ගැනීමෙන් නොවේ. සැබවින්ම සමාජවාදී රාජ්‍යයන් හා වන සබඳතාවය කොමියුනිස්ට් ජාත්‍යන්තරයේ ගොඩනැගීම හා එහි මඟ පෙන්වීමද සහිතව එක් සමාජවාදී රාජ්‍ය පද්ධතියක් ලෙස එක ව්‍යුහයකට ළඟාවීමේ අරමුණ පෙරදැරිව විය යුතුය. එනම් සමාජවාදී රටවල් අතර සහයෝගයක් මිස තරඟයක් හෝ පැරැදවීමක් තිබිය නොහැකිය. මේ සඳහා මහත් පරිශ්‍රමයක් දැරි යුතු බව සැබෑය. එහෙත් සමාජවාදයේ පැවැත්ම හා වර්ධනය යන සාධකය මත මෙය සමාජවාදී රටවලට අත්‍යවශ්‍ය පෙළඹුමක් අති කරයි.

සමාජවාදී රටකට සංකීර්ණ වන්නේ ධනවාදී රටවල් හා කරනු ලබන ගනු දෙනුය. පළමුව ආර්ථික අවශ්‍යතාවයන් (අමු ද්‍රව්‍ය, තාක්ෂණය හා වෙළඳ ගනුදෙනු ) සලකා විදෙස් සබඳතා පුළුල් කරගැනීමට සිදුවේ. දෙවනුව ආරක්ෂාව සම්බන්ධ කාරණා මත විදෙස් සබඳතා පුළුල් කරගැනීමට සිදුවේ. එහිදී සබඳතාවය පවත් වන ධනවාදී රටට කිසිදු වාසියක් අත් නොවන්නේ නම් එම සබඳතාවය ඔවුනට පළක් වන්නේ නැත. මෙහිදී රටේ ආර්ථිකයේ හා රාජ්‍යයේ ආරක්ෂාව පාවානොදෙමින් උපක්‍රමිකව එම සබඳතා පවත්වා ගැනීමට සාජවාදී රට සමත් විය යුතුය. තවද ධනවාදී අවධියේ ඇති කර ගන්නා ලද ගිවිසුම් ආදිය කල්ගැනීමෙන්, සාකච්ඡා මාර්ගයෙන් සහ වෙනත් විදේශ ගනුදෙනු වල රාජ්‍යතාන්ත්‍රික භාවයෙන් විසඳා ගත යුත යුතුය. සමාජවාදි රටක් කුමන ධනවාදි රටක් සමඟ වුව (ධනවාදී රටවල් අතර ප්‍රතිවිරෝධතා නිසා මිතුරු ස්වභාවයක් පෙන්වන්නක් වුවද ) කුමන සබඳතාවයක් පවත්වා ගෙන ගියද කිසිවිටෙක එය එම අනෙක් රටේ සමාජවාදී විප්ලවයට බාධා කරන්නක් නොවිය යුතුය. එම රටේ විප්ලව යසඳහා පවතින සමාජවාදී රාජ්‍යයන් හැකි උපරිම සහය ලබාදිය යුතුය.

සමාජවාදී විදේශ සම්බන්ධතා ධනවාදය තුළ වන සංකිර්ණ තත්වයෙන් මිදීමට නම් අනිවාර්ය ලෙසින්ම සමාජවාදී රාජ්‍ය පද්ධතිය පුළුල් හා ශක්තිමත් කළ යුතුය. ඒ සඳහා වන ජාත්‍යන්තර දැක්ම යන්න මෙහිදී ප්‍රමුඛතම කාර්යයකි. එය ජය ගන්නා ප්‍රමාණයට සාපේක්ෂව සමාජවාදයේ ස්ථාවර බවත්, පැවැත්මත්, වර්ධනයත් තීරණය වේ. ලෝක සමාජවාදය ජයග්‍රහණය කළ හැක්කේ සමාජවාදී රාජ්‍ය පද්ධතියේ සාමූහික ප්‍රයත්නයෙන්ය යන්න මූලික වූ විදේශ ප්‍රතිපත්තියක් හා විදේශ සබඳතාවයක් පවත්වා ගැනීම සමාජවාදී විදේශ සබඳතාවල මූලික ප්‍රතිපත්තියයි.

ඩි.එච්. වික්‍රමසිංහ

අන්තර්ජාතික සබඳතා සහ සමාජවාදය