තාක්ෂණයේ ගමන් මඟ

SHARE

තාක්ෂණයේ දියුණුව ඉතා ඉහළ ස්ථානයකට පැමිණ තිබෙන අතර එය ඉතාම වේගයෙන් වර්ධනය වන යුගයක අපි ජීවත් වෙමු. මෙය විශේෂයෙන්ම තොරතුරු තාක්ෂණය පිමි පනිමින් ඉදිරියට යන යුගයකි. තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ ඩිජිටල් තාක්ෂණය සොයා ගැනීම එහි විප්ලවීය වෙනසක් ඇති කොට තිබේ. මෙය ඩිජිටල් යුගය ලෙසද ඇතැමුන් හඳුන්වන්නේ මේ නිසාය. කෙසේ වුවත් මානව සමාජය තුළ මහා ප්‍රාතිහාර්යයක් පෑමට සමත්ව ඇති තාක්ෂණය බිහි වූයේ කෙසේද?

කුමන යුගයකද? එහි ගමන් මඟ කුමක්ද? යන කරුණු පිළිබඳ අපේ අවධානය යොමු කිරීම වැදගත්ය.

තාක්ෂණය යනු කුමක්ද? තාක්ෂණයේ ගමන් මඟ විමසා බැලීමේදී තාක්ෂණය යනු කුමක්දැයි නිවැරදිව වටහා ගැනීම වැදගත්ය. තාක්ෂණය ඉංග්‍රීසියෙන් ඔැජයබදකදටහ යනුවෙන් හඳුන්වන අතර එය 17 වන සියවස ආරම්භයේදී ඔැනයබදකදටස් යන ග්‍රීක වදනින් බිඳී ආවක් බව සැලකේ. තාක්‍ෂණය පිළිබඳ ඉතාම සමාන අදහස් ඇති නිර්වචන කිහිපයක් තිබේ. ඒවානම් “විද්‍යාත්මක දැනුම ප්‍රායෝගික  ක්‍රියාකාරීත්වය සඳහා විශේෂයෙන්ම කර්මාන්ත සඳහා යොදා ගැනීම” ලෙසත්, “විද්‍යාත්මක දැනුම මගින් සංවර්ධනය කර ගත් යන්ත්‍ර හා මෙවලම්” ලෙසත්, “ඉංජිනේරු හා ව්‍යාහාරික විද්‍යාව සමග කටයුතු කිරීමේ දැනුමේ පාර්ශ්වයක්” ලෙසත් සඳහන් වේ. කෙසේ වෙතත් පොදුවේ ගත් විට තාක්ෂණය යනු විද්‍යාත්මක දැනුම ප්‍රායෝගික ක්‍රියාකාරීත්වය සඳහා විශේෂයෙන් නිෂ්පාදන ක්‍රියාකාරීත්වය සඳහා යොදා ගැනීම ලෙස හඳුනාගත හැකි අතර විද්‍යාවේ ශරීරය තාක්ෂණය ලෙස  පිළිගැනේ. විද්‍යාව තාක්ෂණය එකට සම්බන්ධව යොදෙන වචනයක් වී ඇත්තේ ඒ නිසාය.

තාක්ෂණය බිහි වූ හැටි විද්‍යාව හා තාක්ෂණය, විශේෂයෙන්ම තාක්ෂණය, මානව වර්ගයාගේ නිෂ්පාදන ක්‍රියාකාරීත්වය සමග බැඳී පවතී. එබැවින් අපට තාක්ෂණයේ බිහිවීම පිළිබඳ කතා කිරීමට සිදු වන්නේ මිනිසාගේ බිහි වීමත් සමගය. මානවකල්ප වානර ප්‍රභේදයකින් පරිණාමය වූවා යැයි විශ්වාස කෙරෙන මිනිසා සිය පරිණාමීය ක්‍රියාවලියේදී සතුන්ගෙන්  වෙනස්ව මිනිසා බවට පත්වන්නේ මිනිසා තුළ වර්ධනය වූ සතුන්ට  නැති විශේෂ ලක්ෂණ කිහිපයක් නිසාය. ඒවා නම් යැපීමේ මාධ්‍යයක් නිෂ්පාදනය කර ගැනීම සඳහා වූ ‘ශ්‍රමයේ’ හැකියාව, මතක තබා ගැනීමේ හා තර්කනයේ හැකියාව සහිත ‘විඥානය’ හා අදහස් හුවමාරු කර ගැනීමේ දියුණු අවස්ථාව වන ‘භාෂාව’ වේ. සිය යැපීමේ මාධ්‍යයන් සොයා ගැනීම සඳහා වූ සතුන්ගේ දෑතේ සරල ක්‍රියාකාරීත්වය මිනිසා තුළ ශ්‍රමය බවට පරිණාමය වූයේ, මිනිසා ඉතාම සරල මට්ටමේ හෝ උපකරණ භාවිතය ඇරඹීමත් සමගය. එනම් සතුන් විසින් සිදුකළ ආහාර සොයාගැනීමේ ක්‍රියාවලිය, මිනිසා තුළදී යැපීමේ මාධ්‍යයන් සඳහා වූ ‘නිෂ්පාදනය’ බවට පත්වන්නේත්, ඒ සඳහා වූ මිනිස් ක්‍රියාකාරිත්වය ශ්‍රමය ලෙසින් හඳුනා ගැනීමට හැකි වන්නේත් නිෂ්පාදනය සඳහා උපකරණ පාවිච්චියේ ඇරඹීමත් සමගය. මානව පරිණාමය මාක්ස්වාදී දෘෂ්ටියකින් විග්‍රහ කළ ෆෙඩි්‍රක් එංගල්ස් සිය  “වානරයාගේ සිට මිනිසා දක්වා පරිවර්තනය වීමේදී ශ්‍රමය ඉටුකළ කාර්ය කොටස” නම් ලිපියේ ශ්‍රමය හා නිෂ්පාදන උපකරණවල ඇති සම්බන්ධය මෙසේ සඳහන් කර තිබේ. “ශ්‍රමය ආරම්භ වූයේ උපකරණ සෑදීමත් සමගය.  ප්‍රාග්ඓතිහාසික මිනිසුන් විසින් අපට දායාද කොට ගිය ආදිතම උපකරණ අනුවද, ආදි ඓතිහාසික ජනතාවගේ ජීවන රටාව අනුවද, එමෙන්ම සමකාලීන ම්ලේච්ඡයන්ගේ අවි අනුවද අපට සොයා ගත හැකි ඉතාම ආදි කාලීන උපකරණ මොනවාද? ඒවා දඩයම් කිරීමේ හා මාළු බෑමේ උපකරණය. මේවා උපකරණ මෙන්ම අවි හැටියටද ගැණින.” මේ අනුව අපට පැහැදිලි වන්නේ, ‘නිෂ්පාදනය’ හා ‘ශ්‍රමය’ ඒවායේ නියම අර්ථයෙන් ක්‍රියාත්මක වීම ඇරඹෙන්නේ නිෂ්පාදනය සඳහා ‘උපකරණ’ භාවිතය ඇරඹීමත් සමග බවය. අපට තාක්ෂණය හමුවන්නේ මෙතනදීය.

තාක්ෂණය හා නිෂ්පාදන උපකරණ මානව වර්ගයාගේ ආරම්භයත් සමග ‘නිෂ්පාදනය’ ආරම්භ වූයේ ආදි කාලීන මිනිසා ඉතාම නොදියුණු හෝ ‘උපකරණ’ පාවිච්චි කිරීමත් සමගය. විද්‍යාත්මක දැනුම පිළිබඳ සවිඥානික අවබෝධයක් නැති වුවද, මෙය විද්‍යාව ලෙස හඳුනා නොගත්තද මුල්ම නිෂ්පාදන උපකරණ වන ගල් පතුර, මුගුර, හෙල්ල, පොල්ල ආදිය භාවිත වෙද්දී ඒ තුළ විද්‍යාවක් තිබිණි. සතුන් දඩයම් කිරීමට, මාළු ඇල්ලීමට ඉහත ඉතා රළු ගොරහැඩි ප්‍රාථමික උපකරණ පාවිච්චි කරද්දී මුල්ම මානවයා නොදැන සිටියාට ඒ තුළ වූයේ පසු කලෙක අයිසෙක් නිව්ටන් විසින් සොයා ගත් භෞතික නියාමයක් වන “සෑම ක්‍රියාවකටම ඊට සමාන වූද ප්‍රතිවිරුද්ධ වූද ප්‍රතික්‍රියාවක් තිබේ.” යන සත්‍යයයි. ඒ නිසාම මුල්ම නිෂ්පාදන උපකරණ සරල හා ප්‍රාථමික වුවත් ඒවා තුළ සරල හා ප්‍රාථමික තාක්ෂණයක්ද තිබිණ. එබැවින්  තාක්ෂණය උපදින්නේ නිෂ්පාදනය සඳහා නිෂ්පාදන උපකරණ සාදා ගැනීමත් ඒවා පාවිච්චි කිරීමත් සමග බව පැහැදිලිය. ඒ අනුව තාක්ෂණය බිහිවන්නේ මිනිසා බිහිවීමත් සමගය. එලෙස බිහි වූ තාක්ෂණය මානව සමාජයේ සංවර්ධනය සමග පරපුරෙන් පරපුරට අත්දැකීම් හා දැනුම එකතු කර ගනිමින් වර්ධනය වූ අතර සමාජ ක්‍රමයෙන් සමාජ ක්‍රමයට පිමි පනිමින් ඉදිරියට ගියේය. මිනිසා තම ගමන් මඟ තුළ නිෂ්පාදන මාධ්‍යයන් පුළුල්කර ගැනීමට සාපේක්ෂව තාක්ෂණයද පුළුල් විය. වර්ධනය විය. මේ පිළිබඳව සිය කෘතියේ එංගල්ස් මෙසේ සඳහන් කර තිබේ. “අත්වලත්, කතා කිරීමේ ඉන්ද්‍රියන්වලත්, මොළයෙහිත් සංයුක්ත ක්‍රියාකාරීත්වය නිසා එක් මිනිසෙකුගේ පමණක් නොව, සමාජයේද වඩ වඩාත් සියුම් ක්‍රියාකාරීත්වයන් සපුරාලීමට මිනිසා සමත් විය. වඩ වඩා උසස් පරමාර්ථයන් සඳහා වැඩ කිරීමට මිනිසාට හැකි විය. එක් එක් පරම්පරාවේ වැඩ විවිධ, වඩාත් අංග සම්පූර්ණ සහ වඩාත් නානාවිධ විය. දඩයම් කිරීම, සත්ව පාලනයට ගොවිතැනද එකතු විය. ඊළඟට නූල් කැටීම, රෙදි විවීම, ලෝහ වැඩ, වළං සෑදීම, ගංඟා සහ මුහුදු තරණය ඇති විය. වෙළඳාම හා කර්මාන්තයන් සමග කලාව හා විද්‍යාව අවසානයේදී බිහිවිය. ගෝත්‍ර, ජාතීන් සහ රාජ්‍ය බවට පරිවර්තනය විය.” නිෂ්පාදනය සමග ඇරඹි ජනතාවගේ ගමන් මඟ එංගල්ස් සාරාංශ කර ඇත්තේ එසේය. එබැවින් තාක්ෂණයේ බිහි වීම මෙන්ම එහි වර්ධනය හා ගමන් මඟ අපට වටහා ගත හැකි වන්නේ මානව නිෂ්පාදනයේ ආරම්භය, එහි වර්ධනය හා එහි ගමන්මඟට සාපේක්ෂව හා ඊට සම්බන්ධයක් සහිතවමය.

තාක්ෂණයේ ගමන්මඟෙහි ප්‍රධාන සංධිස්ථාන ප්‍රාථමික සරල උපකරණ පාවිච්චියත් සමග ඇරඹි තාක්ෂණයේ එක් වැදගත් සංධිස්ථානයක් වූයේ ගින්දර සොයා ගැනීමය. විකිපීඩියා ශබ්ද කෝෂය සඳහන් කරන පරිදි මානව හා සමාජ විද්‍යාඥයන් වූ ලෙවිස් මෝගන් ලෙස්ලි වයිට් හා ගොර්හාඞ් ලෙන්ස්කි යන අය පවසා ඇත්තේ මානව ශිෂ්ටාචාරය දියුණුව කරා ගෙන යාමේ ප්‍රධාන සාධකයක් වී ඇත්තේ තාක්ෂණයේ වර්ධනය බවය.  මෝගන්ගේ සංකල්පවලට අනුව සමාජ පරිණාමයේ ප්‍රධාන අවධි තුන වන ම්ලේච්ඡත්වය, අශිෂ්ටත්වය හා සභ්‍යත්වය එකිනෙකින් බෙදා වෙන්කළ හැකි තාක්ෂණික සංධිස්ථාන තිබේ. ඉන් එකක් වන්නේ ගින්දර සොයා ගැනීමය. ගින්දර සොයාගැනීම ආදිකාලීන සමාජයේ තාක්‍ෂණයේ යෝධ පියවරක් විය. මන්ද ගින්දර යනු බලශක්තියක් වූ නිසාය. අපට මුළු මානව ඉතිහාසය පුරාම විද්‍යාවේ හා තාක්ෂණයේ ප්‍රධාන සංධිස්ථාන හමුවන්නේ එක් එක් බලශක්ති ප්‍රභවයන් සොයා ගැනීම හා ඒවා නිෂ්පාදන ක්‍රියාවලියට දායක කර ගැනීමට හැකි වීම තුළය. වාෂ්ප බලය සොයා ගැනීම ඊට එක් නිදසුනකි. මිනිසාගේ මුල්ම සමාජය වන ප්‍රාථමික සාමූහික සමාජයේදී විද්‍යාව මෙන්ම තාක්ෂණයද වර්ධනය වූයේ ඉතා සෙමිනි. එය යථාර්ථය විය. මුගුර, ගල් පතුර, පොල්ල, හෙල්ල යන උපකරණවලින් ඇරඹි නිෂ්පාදන උපකරණවල තාක්ෂණය හෙමින් වුවත් වර්ධනය විය. එහි ඉතා වැදගත් අවස්ථාවක් වූයේ ප්‍රාථමික සමාජය තුළම මිනිසා දුන්න හා ඊතලය සොයා ගැනීමය. මෙය එකලට සාපේක්ෂව දියුණු හා සංකීර්ණ උපකරණයක් විය. ඒ සඳහා පොල්ල හා හෙල්ල පාවිච්චි කිරීමෙන් වසර දහස් ගණනක් තිස්සේ ලබා ගත් දැනුම උපකාරී වන්නට ඇත. කෙසේ වෙතත් මෙම සමාජ ක්‍රමය තුළ ගින්දර සොයා ගැනීම තරම්ම වැදගත්කමක් දුන්න හා ඊතලය සොයා ගැනීමටද හිමි වේ. මන්ද ඒ සමඟ නිෂ්පාදනය (දඩයම) වඩාත් කාර්යක්ෂමව කළ හැකි වූ නිසාය. නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා විද්‍යාව භාවිතයට ගැනීම තාක්ෂණය ලෙස සැලකුවද දුන්න හා ඊතලය නැමති තාක්ෂණික උපකරණය මිනිසා නිපදවා ගනු ලැබූයේ එහි ‘විද්‍යාව’ විද්‍යාත්මකව නිරාවරණය කර ගෙන නොව අත්දැකීමේ දැනුම උපයෝගී කර ගෙනය.

පංති සමාජය හා තාක්ෂණය තාක්ෂණය වඩාත් වේගයෙන් වර්ධනය සිදු වන්නේ, මානව සමාජය පංති සමාජයකට පා තැබීමත් සමගය. ප්‍රාථමික සාමූහික සමාජයේදී පරිභෝජනය සඳහා නිපදවූ මිනිසා පංති සාමාජයේදී පළමුව හුවමාරුව සඳහාත් පසුව වෙළඳාම සඳහාත් නිපදවීම ඇරඹීය. මෙහිදී වැඩි නිෂ්පාදනයක් සමාජය විසින් ඉල්ලා සිටි අතර ඒ සඳහා ගෘහස්ථ හස්ථ කර්මාන්තවල සිට සුළු පරිමාණ කර්මාන්ත හා මහා පරිමාණ කර්මාන්ත දක්වා කර්මාන්තයේ වර්ධනයක් අවශ්‍ය විය. එවැනි මහා පරිමාණ නිෂ්පාදනයක් සඳහා නිෂ්පාදන උපකරණ වඩාත් දියුණු ඒවා විය යුතු විය. ඒ සඳහා බලශක්තිය යොදා ගත යුතු විය. ඒ සඳහා විද්‍යාවද, විද්‍යාව භාවිතයට ගැනීම සඳහා තාක්ෂණයද වඩ වඩාත් දියුණු කළ යුතු වූ අතර එලෙස තාක්ෂණය වේගයෙන් වර්ධනය විය. ප්‍රාථමික සමාජය අවසන් කර පළමු පංති සමාජයට (යුරෝපයේ වහල් ක්‍රමය හා සමහර ආසියාතික රටවල ආසියාතික ක්‍රමය) මිනිසා පා තබන විට පැරණි සමාජයේ අවසාන යුගයේ ලෝකඩ සොයා ගැනීමත් සමග ලෝකඩ පොරව හා නගුල නිපදවාගනු  ලැබිණ. පසුව යකඩ සොයා ගැනීමත් සමග යකඩ පොරව, යකඩ නගුල හා යකඩ අසිපත නිර්මාණය කරගන්නා ලදී. මේ පිළිබඳව සිය ‘පවුල පෞද්ගලික දේපළ හා රජය ඇති වූ සැටි’ කෘතියේ 27 වන පිටුවෙහි එංගල්ස් මෙසේ සඳහන් කරයි. “අයෝමය අසිපත අශිෂ්ටත්වයටද, තුවක්කුව ශිෂ්ට සමාජයටද තීරණාත්මක අවි වූවා සේම, දුන්න හා ඊය ම්ලේච්ඡත්වයේ තීරණාත්මක අවිය වූයේය.” ඒ අනුව ම්ලේච්ඡත්වය යනු ප්‍රාථමික සමාජයේ මුල් අවධිය හැඳින්වූ ආකාරය වන අතර අශිෂ්ටත්වය ලෙස සලකනු ලැබූවේ එහි අවසන් අදියර හා පංති සමාජයේ මුල් යුගයයි. වහල් යුගයේ තීරණාත්මක අවිය වූයේ යකඩ අසිපත බව පැහැදිලිය. තාක්‍ෂණයේ ගමන් මඟ තුළ අපට විශේෂ සොයා ගැනීම් කිහිපයක් හමුවේ. ප්‍රාග් ඓතිහාසික යුගය හෙවත් ප්‍රාථමික සාමූහික සමාජය තුළම ගල් උපකරණ, ගින්දර, දුන්න හා ඊතලය සොයා ගත්තා සේ එහි අවසාන අවධියේ හෝ පංති සමාජයේ ආරම්භක අවධියේදී රෝදය සොයා ගැනීමට මිනිසා සමත් විය. ඓතිහාසික අධ්‍යයනයන්ට අනුව රෝදය සොයා ගත් කාලය ලෙස සැලකෙන්නේ, ක්‍රි.පූ. 4000දී පමණය. රෝදය විශේෂ තාක්ෂණික මෙවලමක් විය. ගොඩබිම භාණ්ඩ ප්‍රවාහනයේ හා මිනිස් ගමනාගමනයේ විප්ලවීය වෙනසක් මේ මගින් ඇති විය. අතීතයේ කරත්තය නිර්මාණය කිරීමට හැකි වූයේ රෝදය නිසාය. නවීන මෝටර් රථය පවා රෝදය නොමැතිව ධාවනය කිරීමට තවම හැකිවී නැත. රෝදය අතීතයේ සිට තාක්ෂණිකව වෙනස් වෙමින් අද දක්වා වර්ධනය වී ඇත්තේ එසේය. එසේම තාක්ෂණයේ ඉතිහාසය තුළ අපට තවත් සොයා ගැනීම් නිපදවීම් රැසක් මුණගැසේ. ඉන් ප්‍රධානම දේ මෙසේය. මිනිසා ක්‍රි.පූ. 4000දීම සූර්ය ඔරලෝසුව හෙවත් හිරු එළියේ දිග මැන වෙලාව කීම සොයාගෙන තිබේ. ඊළඟට ක්‍රි.පූ. 3500ත් – 3000 ත් අතර කාලයේදී ලේඛනය ආරම්භ කිරීම, ක්‍රි.පූ. 3000දී තඹ ලෝහය සොයා ගැනීම, ක්‍රි.පූ. 2500දී පමණ ලෝකඩ සොයා ගැනීම, ක්‍රි.පූ. 2000දී පමණ ප්‍රථම රථය නිපදවීම, ක්‍රි.පූ. 1500දී පමණ යකඩ සොයා පාවිච්චියට ගැනීම, ක්‍රි.පූ. 100දී පමණ ජල මෝල නිර්මාණය කිරීම, ක්‍රි.ව. 900දී පමණ වෙඩි බෙහෙත් සොයා ගැනීම, ක්‍රි.ව. 1045දී පමණ මුද්‍රණ යන්ත්‍රය නිපදවීම, ක්‍රි.ව. 1698දී පමණ වාෂ්ප එන්ජිම නිපදවීම හා වාෂ්ප බලශක්තිය යොදා ගැනීම, ක්‍රි.ව. 1823දී පමණ සන්නිවේදනයේ විප්ලවයක් කළ ටෙලිග්‍රාෆ් යන්ත්‍රය නිපදවීම, ක්‍රි.ව. 1850දී පමණ ප්ලාස්ටික් නිපදවීම, ක්‍රි.ව.1905දී පමණ ගුවන් යානය නිපදවීම, 1947දී පමණ ට්‍රාන්සිස්ටරය නිපදවීම ක්‍රි.ව. 1954දී පමණ පරමාණු බලයෙන් විදුලිය නිපදවීම, 1957දී පමණ අභ්‍යවකාශ තාක්‍ෂණය නිපදවීම, 1969දී පමණ අන්තර්ජාලය නිපදවීම, 70 දශකයේදී ජංගම දුරකථන තාක්‍ෂණය බිහිකිරීම, එසේම පරිගණකය නිපදවීම හා ඩිජිටල් තාක්ෂණය නිර්මාණය කිරීම දක්වා තාක්ෂණය පියවරෙන් පියවරට වර්ධනය වී තිබේ.

තාක්ෂණයේ ගමන් මඟ සමාජ සංවර්ධනයට අනුරූපව තාක්ෂණය වර්ධනය වූයේ හුදෙකලාව හෝ අහම්බීය ලෙස නොවේ. තාක්ෂණය වර්ධනය වීමේ ප්‍රධාන පදනම නිෂ්පාදනයේ වුවමනාවන් මත පවතී. කලාව, ක්‍රීඩාව, අධ්‍යාපනය ආදී සෑම ක්ෂේත්‍රයක් තුළම තාක්ෂණය පවතී. තාක්ෂණය සමග එම ක්ෂේත්‍ර වර්ධනය වෙමින් තිබෙන අතර තාක්ෂණයේ ප්‍රධාන වර්ධන ක්ෂේත්‍රය වන්නේ, නිෂ්පාදන ක්‍ෂේත්‍රයේ උපකරණ සමග වන වර්ධනයයි. එබැවින් නිෂ්පාදනය වර්ධනය කර ගැනීමේ වුවමනාව විසින් නිෂ්පාදන උපකරණ සඳහා තාක්ෂණය වර්ධනය කර ගන්නා අතර තාක්ෂණයේ වර්ධනය විසින් නිෂ්පාදන උපකරණවල වර්ධනය සිදු වේ. මෙයට විද්‍යාවද සම්බන්ධය. කෙසේ වෙතත් තාක්ෂණයේ වර්ධනය හා නිෂ්පාදන බලවේගයන්ගේ වර්ධනය එකිනෙකට අන්තර් සම්බන්ධිතව පවතින අතර එකිනෙකාට සේවය කරමින් වර්ධනය වේ. එහෙත් මෙම වර්ධනය හැම විටම ඒකාකාරීව සිදු වී නැත. ප්‍රාථමික සාමූහික සමාජයේ ඉතාම හෙමින් වුවත් වර්ධනය වූ තාක්ෂණය පළමු පංති සමාජයත් සමග තරමක් සීඝ්‍ර වර්ධනයකට ලක් විය. ලොව විවිධ ස්ථානවල ශිෂ්ටාචාර බිහි වූ අතර (උදා: නයිල් නිම්නය, ඉන්දු නිම්නය, චීනයේ හොවැංහෝ, ඉරාකයේ දෙගම්මැදි) ඒවා තුළ තාක්ෂණය වේගයෙන් වර්ධනය විය. පංති සමාජය තුළ බටහිරදී ආරම්භයේ ග්‍රීිසිය හා පසුව රෝමය තුළ මෙම වර්ධනය දැකිය හැකි විය. එහෙත් යුරෝපයේදී සමාජය, වැඩවසම් යුගය හෙවත් මධ්‍යතන යුගයට පා තැබීමත් සමග, රෝම අධිරාජ්‍යය ක්‍රිස්තියානියේ බලපෑමට නතු වීමත් සමග ගෙවුණු වසර 1000ක පමණ කාලය තුළ තාක්ෂණය වර්ධනය වූයේ නැත. ක්‍රි.ව. 400 සිට 1,400 දක්වා වූ මේ කාලය හැඳින්වෙන්නේ ‘අඳුරු යුගය’ ලෙසය. ලොව විද්‍යාව ආදී හැම විෂයක්ම කතෝලික පල්ලියේ බලයට යට වීම නිසා මේ මුළු කාලය පුරාම තාක්ෂණය වර්ධනය නොවූ අතර සමහර තාක්ෂණික දැනුම පවා යට ගියේය. මෙය සමාජ ක්‍රමයක් ලෙස ධනවාදයේ බිහිවීම දක්වා පැවතුණි.

ධනවාදයේ සහ තාක්ෂණයේ පිබිදීම තාක්ෂණයේ ගමන් මඟ දෙස බලන විට අනෙකුත් විෂයන් මෙන්ම තාක්ෂණයද පිබිදීමක් හා වේගවත් වර්ධනයකට ලක් වූයේ ධනවාදය බිහි වීමත් සමගය. ධනවාදය බිහිවූයේ වෙළඳ භාණ්ඩ නිෂ්පාදනයත් ලාභයත් පදනම් කරගෙනය. ඒ නිසා පැවැති වැඩවසම් සමාජයට වෙනස්ව ඒ තුළ විශාල නිෂ්පාදනයක් ඉල්ලා සිටින ලදී. පුළුල් වන වෙළඳපොළවල ඉල්ලීම සැපිරීමට මෙන්ම නිෂ්පාදකයාට විශාල ලෙස ලාභ අත්කර ගැනීමට හා මිනිස් ශ්‍රමය වැඩි වැඩියෙන් සූරාකෑමට හැකි ආකාරයේ භාණ්ඩ නිෂ්පාදනයක් අවශ්‍ය වූ අතර එය සැපිරිය හැකි වූයේ මහා පරිමාණ කර්මාන්ත මගින් හා ඒ සඳහා යන්ත්‍ර සූත්‍ර හා තාක්ෂණය උපරිමයෙන් භාවිතා කිරීම මගිනි. මේ නිසා ධනවාදය තුළ පසුව ධනවාදයටම පාලනය කර ගත නොහැකි අන්දමින්ම තාක්ෂණය වේගයෙන් වර්ධනය විය. අභ්‍යාවකාශ තාක්ෂණය, යුද තාක්‍ෂණය, තොරතුරු තාක්‍ෂණය, ජාන තාක්‍ෂණය වේගයෙන් වර්ධනය වීම අප දකින්නේ මේ තත්වය තුළය. එය තවදුරටත් ප්‍රාග්ධන හිමියන්ට ලාභ ලබාදෙන හා ශ්‍රමය වඩාත් වැඩියෙන් සූරාකෑමට හැකි ක්‍ෂේත්‍රවල ඒ අරමුණින් වර්ධනය කරනු ලැබේ. මේ අනුව බලන විට පැහැදිලි වන්නේ, ආදි කාලීන යුගයේ මිනිසාගේ උපතත් සමග නිෂ්පාදනයේ  වුවමනාවන් සඳහා නිෂ්පාදන උපකරණ හා සම්බන්ධව බිහිවූ තාක්‍ෂණය සමාජ ක්‍රමයෙන් සමාජ ක්‍රමයට වරෙක මන්දගාමීවත් වරෙක වේගයෙනුත් නිෂ්පාදන උපකරණවල දියුණුව සමඟම විද්‍යාවද සමඟ අත්වැල් බැඳගෙන වර්ධනය වූ බවය. මේ අනුව තාක්‍ෂණයේ වර්ධනය යනු ඓතිහාසික ගමන් මඟක් තුළ මානව අත්දැකීම්වලින් පෝෂණය වෙමින් සමාජ නිෂ්පාදනය හා පදනම් වෙමින් වර්ධනය වූවක් වේ. මුළු තාක්‍ෂණයේ ඉතිහාසයම අපට උගන්වන්නේ, තාක්‍ෂණය යනු නිෂ්පාදනය කරන, ඒ සඳහා වැඩකරන, ශ්‍රමය වගුරුවන ජනතාවගේ ක්‍රියාකාරිත්වය මත බිහිවූ එකක් බවය. එහි සැබෑ හිමිකරුවන් විය යුත්තේ ඔවුන්ය. කෙසේ වෙතත් ධනවාදය තුළ තාක්ෂණය වේගයෙන් වර්ධනය වූවද එම වර්ධනයම එක් අතකින් ධනවාදයට අර්බුද කැඳවා තිබෙන්නේ, මාක්ස් – එංගල්ස් සිය කොමියුනිස්ට් ප්‍රකාශනයේදී සඳහන් කර ඇති පරිදි “සිය මන්ත්‍ර බලයෙන් ගෙන්වාගත් භූත ලෝකයේ භූත බලවේග මෙල්ල කර ගැනීමට අසමත් වූ මන්ත්‍රකරුවෙක්” මුහුණපාන අර්බුදයට මුහුණපාමිනි. ධනවාදයේ වත්මන් නිෂ්පාදන සම්බන්ධතා නිෂ්පාදන බලවේගයන්ට බාධා කිරීමට පටන්ගෙන තිබෙන බැවින් දැන් ධනවාදී සබඳතා තාක්ෂණයේ පොදු දියුණුවට බාධාවක්වීද තිබේ. මේ බාධාව අවසන් කර ගනිමින් තාක්ෂණය සිය සංවර්ධනයේ ගමන ඉදිරියට යනු ඇත්තේ ධනවාදය පරදා ගොඩනැගෙන සමාජවාදී සමාජ ක්‍රමයක් තුළය.

සුනිල් ගමගේ

තාක්ෂණයේ ගමන් මඟ