නව ලිබරල්වාදයේ ඓතිහාසික ගමන් මග

SHARE

Share on facebook
Share on google
Share on twitter
Share on linkedin

යුරෝපා වැඩවසම් ක්‍රමය තුළින් පැනනැඟුණු ධනවාදය එතෙක් පැවැති පරිභෝජනය මූලික කර ගත් සරල හුවමාරු භාණ්ඩ නිෂ්පාදනය වෙනුවට අලෙවිය අරමුණු කර ගත් වෙළෙඳ භාණ්ඩ නිෂ්පාදනය අරඹනු ලැබීය. එහි මූලික පරමාර්ථය වූයේ ලාභ ලැබීමයි. හස්ත කර්මාන්ත වෙනුවට මහා පරිමාණ කර්මාන්තත්, ප්‍රාදේශීය වෙළෙඳපොළ වෙනුවට ජාත්‍යන්තර වෙළෙඳපොළකුත් නිර්මාණය කරනු ලැබිණි. කාර්මික විප්ලවය, ප්‍රවාහණය, නාවික ගමනාගමනය වැනි ක්‍ෂේත්‍රවල දියුණුව අලුත උපන් ධනවාදයේ වර්ධනය වේගවත් කරනු ලැබීය.

කොමියුනිස්ට් ප්‍රකාශනය තුළ මාක්ස් සහ එංගල්ස් ඒ ගැන මෙසේ සඳහන් කර තිබේ.

“සිය නිෂ්පාදන භාණ්ඩවලට නියත ලෙසම විශාල වෙමින් පවතින වෙළෙඳපොළක් සොයා ගැනීමේ අවශ්‍යතාව විසින් මුළුමහත් ලෝක ගෝලය වටා ධනපති පන්තියට දුවන්නට සිදු වෙයි. එයට හැම තැනකටම රිංගන්නට සිදුවෙයි. හැම තැනකම පදිංචිවීමටද, හැම තැනකම සම්බන්ධකම් ඇති කර ගැනීමටද සිදුවෙයි.”

(කොමියුනිස්ට් ප්‍රකාශනය 37-38 පිටු.)

මේ ආකාරයට බිහිවූ ධනවාදය මුල් අවධියේ දී වර්ධනය වූයේ නිදහස් තරඟය තුළයි. රාජ්‍යය ආර්ථිකයට මැදිහත් නොවීය. එය ‘රාජ්‍ය නිර්බාධිත ධනවාදය’ ලෙස හැඳින්වූ අතර, ‘ලිබරල්වාදය’ ලෙසද හඳුන්වනු ලැබුණේ එයයි. උපරිම ලාභ අරමුණු කර ගනිමින් ක්‍රියාවට නැඟුණු නිදහස් තරගය තුළ නිෂ්පාදනය වැඩිවී අධිනිෂ්පාදන අර්බුදයක් ඇති කරනු ලබයි.

එය විසින් නිෂ්පාදන අරාජිකත්වයක් ද ඇති කරනු ලැබීය. ඒ තුළ භාණ්ඩ මිල පහළ යාමත්, ලාභ අඩුවීමත් නිසා කර්මාන්තවලින් කොටසක් නවතා දැමීමට හෝ වසා දැමීමට හෝ සිදුවිය. විශාල පිරිසකට රැකියා අහිමි විය. ඒ තුළ මිලදී ගැනීමේ හැකියාව අඩුවී තව තවත් කර්මාන්ත වසා දැමීමට හේතු විය.

කොමියුනිස්ට් ප්‍රකාශනය තුළ මේ පිළිබඳව සඳහන් කර තිබෙන්නේ පහත අයුරිනි :

“කලින් කල යළි යළිත් පැමිණෙන, එලෙස පැමිණෙන හැම වාරයකදීම වඩ වඩාත් තර්ජනාත්මක ලෙස මුළුමහත් ධනපති සමාජයේ පැවැත්මට තර්ජනය කරන වාණිජ අර්බුද ගන සඳහන් කිරීම ප්‍රමාණවත්ය. මෙම වාණිජ අර්බුදවලදී නිෂ්පාදනය කර තිබූ භාණ්ඩ තුළින් සෑහෙන කොටසක් පමණක් නොව නිෂ්පාදන බලවේගයන්ගෙන් සෑහෙන කොටසක් පවා සෑම වාරයකදීම විනාශ කර දමනු ලැබේ.”

(කොමියුනිස්ට් ප්‍රකාශනය, 40 පිටුව.)
  • 1837දී ඇමෙරිකා එක්සත් ජනපදයේ ඇතිවූ මහා ආර්ථික අවපාතය 1843 දක්වා පැවැතිණි.
  • — 1857 ඔහියෝ රක්‍ෂණ සමාගම අර්බුදයට පත්වීම.
  • — 1873 මැයිවලදී වියානා කොටස් වෙළෙඳපොළ බිඳවැටීම.

මේ සඳහා නිදසුන් කිහිපයකි.

ධනපති ක්‍රමය මෙම අර්බුදයට විසැඳුම ලෙස යොදා ගන්නේ ඒකාධිකාරයක් බිහි කර ගැනීමයි. කාටල, සංගත, සම්මේල සහ සමාගම් හරහා ඒකාධිකාරයක් බිහිකර ගැනිණි. මේ සමඟම ධනවාදය ඒකාධිකාරී අවධිය හෙවත් අධිරාජ්‍යවාදී අවධියට පාතැබීය. ලෙනින් විසින් එය විග්‍රහ කරනු ලැබුවේ ‘ධනවාදයේ ඉහළම අවධිය’ ලෙසයි. මෙය අර්බුදයට තාවකාලික විසැඳුමක් විය.

ධනවාදයේ නිසග අර්බුදය සනාථ කරමින්, අධිරාජ්‍යවාදයද අර්බුදයට පත්විය. අන්තර් අධිරාජ්‍ය ප්‍රතිවිරෝධය ලෝක යුද්ධ දෙකකට මඟපාදනු ලැබීය. පළමු ලෝක යුද්ධය (1914-1918) අවසන් වන විට සමාජවාදී සෝවියට් දේශය බිහිවූ අතර, දෙවැනි ලෝක යුද්ධය (1939-1945) අවසන් වූයේ සමාජවාදී කඳවුරක් සහ අධිරාජ්‍යවාදයෙන් මිදීමට අරගල කරන පරිධියේ රටවල් රැසක ජාතික විමුක්ති ව්‍යාපාරද නිර්මාණය කරමිනි.නිර්මාණයවූ ලෝක දේශපාලනයේ නව බලතුලනය තුළ අධිරාජ්‍යවාදීන්ට බල කරනු ලැබුවේ, සමාජවාදී කඳවුරට මුහුණ දීමට තම ආර්ථික උපායමාර්ග වෙනස් කර ගැනීමටය.

රාජ්‍ය සුභසාධනවාදය හෙවත් කෙන්සියානු ඉගැන්වීම්වලට අනුරූපී ආර්ථිකයකට මඟපාදනු ලැබුවේ ඒ අනුවය. 1945 සමයේ ඇතිවූ රාජ්‍ය සුභසාධනවාදය 1975 පමණ වන විට අර්බුදයට පත්වෙමින් තිබිණි. ආර්ථික අර්බුද ගණනාවක් පැනනැඟිණි.උග්‍රවූ අර්බුදය විසින් ධනවාදයේ පදනම් සොලවනු ලැබීය. විසැඳුම ලෙස විවෘතව පැවැතියේ සමාජවාදී මාවතයි. නමුත්, සමාජවාදී කඳවුර තුළින් ලෝක විප්ලවයට මඟපෙන්වීමක් නොවීය. එයද අර්බුද රාශියක ගිලී දුර්වලවී තිබිණි. නව ලිබරල්වාදය (භැද[1]කසඉැර්කසිප) කරළියට පැමිණෙන්නේ මෙම තත්ත්වය තුළය.

ලෝක බැංකුවේ හිටපු සභාපතිවරයකුවූ රොබට් මැක්නමාරා විසින් 1973 සැප්තැම්බර් මස 24 වැනි දින සිය සුප්‍රසිද්ධ නයිරෝබි දේශනයේ දී ප්‍රාග්ධනයේ ප්‍රසාරණය සඳහා නිදහස ලබා දීම පිළිබඳ සංකල්පය ඉදිරිපත් කරනු ලැබීය.පසුව එක්සත් ජනපදයේ බලයට පැමිණි රොනල්ඞ් රේගන් මෙන්ම බි්‍රතාන්‍ය අගමැතිනි මාග්‍රට් තැචර්ද මේ සංකල්පය ඉදිරිපත් කළේය.

ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක වෙළෙඳ සංවිධානය, එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙන්ම නේටෝව වැනි යුද හවුල් ද උපයෝගී කර ගනිමින්, ආර්ථික බලපෑම්, සම්බාධක, ණය කොන්දේසි, බියවැද්දීම්, කුමන්ත්‍රණකාරී ආණ්ඩු පෙරළි, ආක්‍රමණ හරහා ද නව ලිබරල්වාදය ලොව පුරා ක්‍රියාවට නඟනු ලැබීය. 1990දී සමාජවාදී කඳවුර බිඳවැටීමේ වාසිය විසින් තමන්ට අහිමිව තිබූ භූමිභාග තුළටද අධිරාජ්‍යවාදී ප්‍රාග්ධනයට ඇතුළුවීමේ නිදහස ලැබීම තුළින් ද මෙම ආර්ථික උපායමාර්ගය වේගයෙන් ලොව අස්සක් මුල්ලක් නෑර ගමන් කරනු ලැබීය.

  1. වෙළෙඳපොළ විවෘතකරණය (සෘජු විදේශ ආයෝජනයට හා වෙළෙඳාමට මඟ සැලැසීම සහ මිල පාලනයෙන් ඉවත්වීම).
  2. සුභසාධනය සඳහා රජයේ වියදම් කපාහැරීම (අධ්‍යාපනය, සෞඛ්‍යය, ප්‍රවාහණය).
  3. ව්‍යාපාර නොවන ක්‍ෂේත්‍ර (පරිසරය, සදාචාරය වැනි) සඳහා රාජ්‍යයේ මැදිහත්වීම අවම කිරීම.
  4. නෛතික ප්‍රතිසංස්කරණ (පෞද්ගලික අයිතිය සුරැකීම සහ නිදහස් වෙළෙඳාමට බාධාකාරී නීති ඉවත් කරන ප්‍රතිසංස්කරණ).

ආදිය නව ලිබරල්වාදයේ මූලික ලක්‍ෂණ වන අතර, මෙලෙස අධිරාජ්‍යවාදී ඒකාධිකාරී ප්‍රාග්ධනය ලෝකය පුරා ගමන් කිරීමට ඉඩ සලසා දීම ගෝලීයකරණය (Globalization) ලෙසින් ද හඳුන්වනු ලබයි.

නව ලිබරල්වාදය සහ ශ්‍රී ලංකාව

1948 ඊනියා නිදහසින් පසු නව යටත්විජිත ප්‍රතිපත්තිය තුළ ගමන් ගත් ශ්‍රී ලංකාව තුළ රාජ්‍ය ඒකාධිකාරී ධනවාදය ක්‍රියාවට නැඟිණි. 1956 බණ්ඩාරනායක පාලනය තුළ ජනසතු ව්‍යාපාරය ආරම්භ කළ අතර, 1970දී බලයට පැමිණි සමඟි පෙරමුණු ආණ්ඩුව රාජ්‍ය ඒකාධිකාරී ධනවාදය දැඩි ලෙස තහවුරු කරනු ලැබීය. ඒ සඳහා සමාජවාදී කඳවුරේ උදවු ද ලැබිණි. 1975 පමණ වන විට ලංකාවටද තව දුරටත් රාජ්‍ය ඒකාධිකාරී ධනවාදය තුළ ගමන් කිරීමට නොහැකි අර්බුදයක ගිලී ගිය අතර, අධිරාජ්‍යවාදීන් විසින් වෙළෙඳපොළ ආර්ථිකය හඳුන්වා දෙන විටම එය පිළිගැනීමට ලංකාවද සූදානම් විය. එන්.එම්. පෙරේරා මුදල් ඇමැති ධුරයෙන් ඉල්ලා අස්වූ පසු මුදල් ඇමැති ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක විසින් විවෘත ආර්ථිකය පිළිබඳ යෝජනාව ඉදිරිපත් කරනු ලැබීය. සංචාරක ව්‍යාපාරය සඳහා පදනම දැමීමට කටයුතු කළේත්, ආර්ථික සීමා ඉවත් කිරීමට යෝජනා කළේත් ඔහුය. නමුත්, 1977 මැතිවරණයෙන් සමඟි පෙරමුණ පරාජය වීමත් සමඟ එය ක්‍රියාවට නැඟීමට ඔවුන්ට නොහැකි විය.

1977 මහා මැතිවරණයෙන් හයෙන් පහක බලයක් සහිතව බලයට පත්වූ ජේ.ආර්. ජයවර්ධන පාලනය විසින් විවෘත ආර්ථිකය ලංකාවට හඳුන්වා දෙනු ලැබීය. ආර්ථිකයේ සිදු කරනු ලබන නව වෙනස්කම් සඳහා ඔහුට ර්ලිමේන්තුවේ තිබූ හයෙන් පහක අසීමිත බලයත්, පසුව නිර්මාණය කර ගත් විධායක ජනාධිපති බලතලත් උපයෝගී විය. මහා මැතිවරණ කල් දමා ප්‍රජාතන්ත්‍රවාදය හැකිළීම, විවිධ ව්‍යවස්ථා සංශෝධන හරහා නව ලිබරල් ආර්ථිකයට අවශ්‍ය නෛතික ආරක්‍ෂාවද විටින් විට ගොඩනඟා ගනු ලැබීය. — මහ කොළඹ ආර්ථික කොමිසම පිහිටුවා ඒ තුළ නිදහස් වෙළෙඳ කලාප මෙන්ම පසුව ලංකා ආයෝජන මණ්ඩලය පිහිටුවීම.

  • ඒවා තුළ සාමාන්‍ය කම්කරු නීති බලරහිත කරනු ලැබීම.
  • ණය ගැනීම.
  • ආනයන සිමා අහෝසි කිරීම.
  • මූල්‍ය රෙගුලාසි ලිහිල් කිරීම.
  • පෞද්ගලිකකරණය.
  • පෞද්ගලික ඉඩම් අයිතිය අක්කර 50 සිට 100 දක්වා වැඩිකිරීම.
  • ‘කඩිනම් මහැවලිය’ ව්‍යාපෘති මඟින් විදුලිබලය උත්පාදනය කිරීම සහ මාර්ග ඉදිකර යටිතල පහසුකම් සැපයීම.
  • අධ්‍යාපන ප්‍රතිසංස්කරණ (විරෝධය හමුවේ ධවල පත්‍රිකාව හකුළා ගැනීමට සිදුවිය).
  • සාහිත්‍යය, ඉතිහාසය වැනි විෂයයන් අනවශ්‍ය බවටවූ මතය.

ආදිය ජයවර්ධන පාලනය තුළ විවෘත ආර්ථිකයේ පළමු ඉනිමේ මූලික ක්‍රියාමාර්ග විය.

ඉන්පසු බලයට පැමිණි එජාප හෝ එජාප – ශ්‍රීලනිප මෙන්ම විවිධ හවුල් ආණ්ඩු විසින් අනුගමනය කරනු ලැබුවේත්, වත්මන් පාලනය විසින් අනුගමනය කරනු ලබන්නේත් නව ලිබරල් උපායමාර්ගයයි.

වඩාත් නිවැරැදිව තේරුම් ගන්නේ නම්, මේ අසාර්ථකව ඇත්තේ, අර්බුදයට ගොස් ඇත්තේ නව ලිබරල්වාදී වෙළෙඳපොළ ආර්ථිකයේ දුර්වලකම නොවන බව කිව යුතුය. මතුපිට පෙනුමින් එසේ පෙනුණද, සත්‍යය එය නොවේ. පසුගිය දශක හතරකට ආසන්න කාලයක් තුළ මෙම ප්‍රතිපත්තිය අනුගමනය කිරීමට සහ එය සෙසු රටවල් මත බලහත්කාරයෙන් පැටවීමට අධිරාජ්‍යවාදී බලවතුන්ට සිදුවූයේ ඔවුන් ඊට පෙර මුහුණදී සිටි අර්බුදවලට විකල්පයක් ලෙසය. සැබෑ ලෙසම අර්බුදයට ගොස් ඇත්තේ, සමාජ ක්‍රමයක් ලෙස ධනවාදයයි. නැතහොත්, වර්තමාන අධිරාජ්‍යවාදයයි. විවෘත ආර්ථිකයේ (නව ලිබරල් ධනවාදයේ) අසාර්ථකත්වය තුළින් ප්‍රකාශ වන්නේ එයයි

නව ලිබරල්වාදයේ ඓතිහාසික ගමන් මග