මානව සමාජයේ ආරම්භයත් සමගම කලාව ඉතාම ප්‍රාථමික කලාවක් ලෙස බිහිවුවද මුල්ම මානව සමාජය වූ ප්‍රාථමික සාමූහික සමාජය තුළ කලාව වර්ධනය වූයේ ඉතා සෙමිනි. මෙහි විශේෂය වූයේ ප්‍රාථමික සාමූහික සමාජය තුළ ‘කලාව උපත ලැබුවද කලාකරුවා බිහි නොවීමය. ‘කලාකරුවා’ උපත ලැබුයේ ප්‍රාථමික සාමූහික සමාජය වෙනස් වී පළමු පංති සමාජය බිහි වීමත් සමඟය. යුරෝපයේදී පළමු පංති සමාජය වහල් ක්‍රමයක් විය. ආසියානු රටවල ඊට වඩා වෙනස් තත්වයන්ද පැවැතිණි. කෙසේ වෙතත් අපට ඉතිහාසය තුළ ‘කලාකරුවා මුණ ගැසෙන්නේ පංති සමාජයේදීය.
‘කලාකරුවා’ බිහි වීම පංති සමාජයේදී සිදු වූයේ ඇයි, මෙය ඉතාම වැදගත් කරුණකි. මිනිසාගේ මුල්ම සමාජය වූ ප්‍රාථමික සාමූහික සමාජයේ නිෂ්පාදන උපකරණ ඉතාම නොදියුණු විය. නිෂ්පාදන උපකරණ නොදියුණු නිසා නිෂ්පාදනයද සීමිත විය. යම් කෙනෙක්ගේ ශ්‍රමයේ ඵලය ලෙස නිපදවා ගන්නා දේ ඔහුගේ පැවැත්මට පවා ප්‍රමාණවත් නොවීය. ඒ නිසා හැම දෙනාම කුමන හෝ ආකාරයකින් නිෂ්පාදනයට (ආහාර නිපදවා ගැනීමට දායක විය යුතුය. මේ නිසාම නිෂ්පාදන ක්‍රියාවලිය සාමුහික වූ අතර එය බෙදා හදාගෙන පරිභෝජනය කිරීමද සාමුහික විය. දඩයම්කර සතෙකු මරා ගැනීම, මාළු අල්ලා ගැනීම, අල හාරා ගැනීම, ගෙඩි වර්ග කඩා ගැනීම. ආදියේ සිට ඒවා ආහාරය බවට සකස් කර ගැනීම දක්වා වූ ක්‍රියාවලියට (නිෂ්පාදනයට) සියලුම දෙනා දායක විය යුතු වූ නිසාත්, කෙනෙකුගේ ශ්‍රමයේ ඵලයෙන් තවත් කෙනෙකුට ජීවත් වීමට තරම් ශ්‍රමය ඵලදායී නොවූ නිසාත් නිෂ්පාදන ක්‍රියාවලියට සම්බන්ධ නොවී අන් අයගේ ශ්‍රමයේ අතිරික්තයෙන් යැපීමට මුල් සමාජය තුළ කිසිවෙකුට නොහැකි විය. කලාව පමණක් තම කාර්යය කරගත් ‘ කලාකරුවා ප්‍රාථමික සමාජයේ බිහි නොවුයේ ඒ නිසාය.
ප්‍රාථමික සාමූහික සමාජය වසර දස දහස් ගණනක් තිස්සේ හිමින් හිමින් වුව වර්ධනය වී ඒ තුළ නිෂ්පාදන උපකරණ දියුණුවී නිෂ්පාදිතයන් වැඩි වීමත් සමඟ එ නම් සත්ව පාලනය, ගෙවතු වගාව, ඇති වීමත් සමග මිනිස් ශ්‍රමය, ශ්‍රමිකයාගේ යැපීමට අවශ්‍ය ප්‍රමාණයට වඩා නිපදවීමට සමත් විය. එනම් අතිරික්ත නිෂ්පාදනය ඇති විය. ශ්‍රමය සුරාක්‍යමේ හැකියාව ඇති විය. අතිරික්ත ධනය බිහි විය. එම අතිරික්ත ධනයෙන් වැඩ නොකරන අයට යැපීමට හැකි විය. සුරාම සහිත පංති සමාජයත් රජයත් බිහි වූයේ මේ සමඟය. වැඩ කරන අයගේ ශ්‍රමයේ අතිරික්තයෙන් යැපීමට පිරිසකට හැකි වීමත් සමඟ එවැනි අය බිහි විය. රජය ඉන් එකකි. එසේම ආගම් බිහි විය. පූජක පැලැන්තිය බිහිවුයේ ද ඒ සමඟය. ඔවුහු අතිරික්ත සමාජ ධනයෙන් ජීවත්වීමට පටන් ගත්තෝය. රජයද සමඟ සම්බන්ධව කලා කරුවා’ බිහි වුයේද මේ තත්වය තුළය.
කලාකරුවාට නිෂ්පාදන ක්‍රියාවලියට දායක නොවී කලාව වර්ධනය කිරීමට හා කලාවට පමණක් තම කාලය වැය කිරීමට හැකි වූයේ අතිරික්ත නිෂ්පාදනයෙන් දිවි ගෙවීමට ඔහුට හැකි වීම නිසාය. මුල්ම සමාජයේ අතිරික්ත ධනය අයිති වූයේ පාලක පංතියට. රජයට්ය. ඒ නිසාම ආරම්භක කලාකරුවෝ රජය හා සම්බන්ධ වුවෝ වූහ. රජු වෙනුවෙන් හෝ ප්‍රභූන් වෙනුවෙන් වී නම් අතිරික්ත ධනය අත්පත් කරගත් අය වෙනුවෙන් කලා නිර්මාණය කළ අය වූහ. වී එසේ වූයේ කලාකරුවාට ගෙවීම සඳහා අතිරික්ත ධනය තිබුයේ එවැනි අය ළඟ පමණක් වීම නිසාය. මේ නිසාම අප දකින ප්‍රසිද්ධ කලාකරුවන්ගේ මුල් නිර්මාණ පාලක පංතිය වෙනුවෙන්, ප්‍රභූන් වෙනුවෙන් ආගම වෙනුවෙන් නිර්මාණය වූ ඒවා විය. පුරාණ ග්‍රීසියේ චිත්‍ර, ප්‍රතිමා, නාට්‍ය, හෝමර්ගේ ඉලියඩ්, ඔඩේසි වැනි මහා කාව්‍ය ඊට නිදසුන්ය. ආසියාවේද මූර්ති, ප්‍රතිමා, වේද ග්‍රන්ථ, මහා භාරතය වැනි මහා කාව්‍ය මීට නිදසුන් වේ. එහෙත් එය දිගටම මෙසේ පැවතියේ නැත.
පංති සමාජය බිහිවීමත් සමාජයේ නිෂ්පාදන උපකරණවල හා සමාජ ධනයේ අයිතිය පාලක පංතිය අත්කර ගැනීමත් සමඟ කලාව මතද ඔවුහු සිය ආධිපත්‍ය පැතිර වූහ. එහෙත් ඒ සමඟම සමාජයේ පැවති පීඩිත පංතිය තුළින්ද කලාවන් බිහිවන්නට විය. ඒවාට අයිතිකරුවන් සිටියේ නැත. එවැනි පීඩිත පංති කලාවක්ද වර්ධනය විය. අප බොහෝ විට ජනශ්‍රැතිය ලෙස හඳුනා ගන්නේද මේවාය. එහෙත් ආරම්භක කලාවේ මහා කලාව රජය සමග, ආගම සමග දැඩිව සම්බන්ධව පැවතිණි. ඒ කලින්ද සඳහන් කළ පරිදි සමාජයේ බලය මෙන්ම දේපල වල අයිතිය පැවතියේ පාලක පංතිය සතුව නිසාය. මෙහිදී විෂයන් ලෙස කලාවේ විවිධ ක්‍ෂේත්‍රයන් වේගයෙන් වර්ධනය වූයේ නිෂ්පාදන උපකරණ වේගයෙන් වර්ධනය වූ බටහිර ලෝකයේය. එනම් යුරෝපය ආශ්‍රිතවය. යුරෝපයේ දී කලාව විශාල ලෙස වර්ධනය වූ ස්ථානය වුයේ ග්‍රීසියයි. නාට්‍යකරුවෝ, කවියෝ, චිත්‍ර ශිල්පීන් හා මුර්ති ශිල්පීන් හමුවන්නේද ග්‍රීසියෙනි. ආසියාවේදී නම් ඉන්දියාවෙන් හා චීනයෙනි.
මිනිසාගේ බිහිවීමත් සමග ප්‍රාථමික සමාජයේදී ආරම්භව පළමු පංති සමාජය තුළ විෂයයන් ලෙස වර්ධනය වෙමින් ඉදිරියට ආ කලාවේ ගමන් මඟ මටසිළුටු එකක් වූයේ නැත. පංති සමාජය තුළ කලාවද පාතීන්ට බෙදුණි. අධිපති පංතියේ කලාවක් සමග පීඩිත පංති කලාවක්ද වර්ධනය විය. අනෙක් අතට ඉතිහාසයේ ගමන්මග තුළ විශේෂයෙන් යුරෝපයේදී විද්‍යාව මුහුණ දුන් අභියෝගයට කලාවද මුහුණ දුන්නේය. කලාවද යුරෝපයේ ‘ අඳුරු යුගයේ බලපෑමට හසුවිය. ඒ, යුරෝපය තුළ ග්‍රීසිය බිඳවැටී රෝමය බලවත් වීමත් රෝම අධිරාජ්‍යය ගොඩ නැගීමත් රෝම අධිරාජ්‍ය පසු කලෙක ක්‍රිස්තියානි ආගමේ බලපෑමට ලක්ව ශුද්ධ වූ රෝම අධිරාජ්‍යය බවට පත්වීමත් සමගය.
ක්‍රි.ව. 400 සිට 1400 දක්වා වූ යුගය යුරෝපයේ ඉතිහාසය හඳුනාගන්නේ මධ්‍යතන යුගය හෙවත් අඳුරු යුගය ලෙසය. මේ යුගය පුරා එනම් වහල් ක්‍රමය බිඳ වැටී බිහි වූ වැඩවසම් ක්‍රමයේ සිට එය බිඳ වැටී ධනවාදය බිහිවීම දක්වා වූ කාලය පුරා, යුරෝපා වැඩවසම් සමාජය පුරා විද්‍යාව මුහුණ දුන් ඛේදජනක ඉරණමට කලාවද මුහුණ දුන්නේය. පුරා වසර 1000ක් පමණ වූ මෙම අඳුරු යුගය තුළ යුරෝපයේදී කලාව මුළුමනින්ම ආගමේ බලපෑමට ලක්විය. චිත්‍රකලාව පල්ලියේ චිත්‍ර ඇඳීමටත් මූර්ති ශිල්පය ආගමික මූර්ති නිර්මාණය කිරීමටත් ලේඛන කලාව ආගම ගැන ලිවීමටත් පමණක් සීමා කරන ලදී. ඒ නිසා ග්‍රීසියෙන් ආරම්භ වූ නාට්‍ය කලාව, චිත්‍ර හා මූර්ති කලාව බිඳවැටිණි. මිනිස් ජීවිතය පිළිබඳව, සෞන්දර්ය පිළිබඳ, ප්‍රේමය පිළිබඳ කලාවන් ආගමික මතයන්ට යටකරන ලදී. ඒ අනුව මධ්‍යතන යුගය තුළ යුරෝපයේ කලාව පැවතියේ පල්ලියේ ආධිපත්‍යය තුළය. ආසියාවේ මෙය මෙලෙස නොවුණද එහිදී ද කලාවට ආගමික ආයතන කළ බලපෑම දැකිය හැකිය.
කෙසේ වෙතත් මධ්‍යතන යුගය තුළ ආගමික මතවාදයන්ට යට කර තිබූ කලාව ඉන් මිදී නව පණක් ලබන්නේ යුරෝපයේ ධනවාදයේ ආරම්භයත් සමඟය. මෙය පුනරුද සමය ‘ නම් විය.