ශ්‍රේෂ්ඨ ඔක්තෝබර් විප්ලවයේ තීරණාත්මක පැය 48

SHARE

Share on facebook
Share on google
Share on twitter
Share on linkedin

1917 ඔක්තෝබර් විප්ලවය වූකලී සමස්ත පෘථිවි තලයම දෙදරවූවකි. මුළු මහත් මානව සංහතිය මුසපත් කෙරුණු එය අවි දැරූ ජනතා නැඟිටීමකි. ඒ ප්‍රචණ්ඩ සංග්‍රාමය අත්දුටුවන් සිටී නම් අද සිටිය හැක්කේ ඉතාමත්ම සුළු ගණනක් පමණක් වුවද ජන සන්තානයෙහි නොමැකී පවත්නා එයට ඇත්තේ ඓතිහාසික අගයකි. ඔක්තෝබර් විප්ලවයේ ශේ‍ර්ෂ්ඨත්වය හා සබැඳි, සඳහන් කළ මනා සුවිශේෂී කරුණු දෙකක් ඇත.

එම විප්ලවයේ නිජබිම වූ රුසියාව, විශාලත්වයෙන් පෘථිවි ගෝලයෙන් හයෙන් පංගුවක් දරා තිබීම පළමු වැන්නයි, මානව ඉතිහාසය විසින් නිෂ්පාදිත නායකයන් අතර අපූරුතම චරිතය වූ ව්ලැඩිමීර් ඉලියිච් ලෙනින්ගේ අයෝමය නායකත්වය දෙවැනි සුවිශේෂී කාරණයයි. “මා මෙම අකුරු පේළි ලියමින් සිටින්නේ 24දා හැන්දෑවේය. තත්ත්වය අන්තිමට බරපතළය. ඇත්ත වශයෙන්ම නැඟිටීම පමා කිරීම මාරාන්තික බව හොඳටම පැහැදිලිය.” ඔක්තෝබර් 24, එනම් මහා නැඟිටීමට පෙර දින වන විටත් ලෙනින් සිටියේ යටි බිම් ගතවය. හේ ස්මෝල්නියට (Smolny) පැමිණීමට අවසර ඉල්ලා මධ්‍යම කමිටුවට ලිපියක් ලිවීය. ඉක්බිති සිය ඓතිහාසික ලිපිය මධ්‍යම කමිටු සාමාජිකත්වයට යැව්වේ වහාම නැඟිටීම අරඹන්නැයි ඉල්ලා සිටිමිනි.

“මගේ සියලු ශක්තියෙන් සගයනට ඇවිටිලි කරන්නේ දැන් සියල්ල නූලක එල්ලී තිබෙන බව අවබෝධ කර ගන්නා ලෙසය. අපට එරෙහිව මුහුණට මුහුණලා තිබෙන ගැටලු, සම්මන්ත්‍රණ හෝ සමුළු (සෝවියට් සමුළු පවා) මඟින් නොවිසඳේ, එහෙත් ජනතාව විසින්, පීඩිත ජන සමූහයා විසින් අවි ගත් ජනයාගේ අරගලය විසින්…. අපි අපගේ සියලු පරිශ්‍රමයන්, මේ සන්ධ්‍යාවේදීම, අද රාත්‍රියේදීම, පළමුව කැඩෙට් නිලධාරීන් නිරායුධ කොට (ඔවුහු විරෝධය පානම්, පරාජය කොට) එලෙස… ආණ්ඩුව අල්ලාගත යුතු වෙමු. අද ජයග්‍රාහී වීමට හැකි වීට, (සහ ඔවුහු නියතයෙන්ම අද ජයග්‍රහණය ලබනු ඇත) පසුවට කල් දමන, හෙට බොහෝ දේ නැති වීමේ අවදානම ඇති විප්ලවවාදීන්ට ඉතිහාසය සමාව නොදෙනු ඇත.!”

බෝල්ෂෙවික් මධ්‍යම කමිටුවට ලෙනින් ලිව්වේය. එම ලිපිය ෆොෆානෝවා (Fofanova) අත වයිබෝග් (Vyborg) දිස්ත්‍රික් පක්‍ෂ කමිටුවට යැවීය. එදිනම සන්ධ්‍යාවෙහි වහාම විප්ලවයේ මූලස්ථානය ස්මෝල්නියට (Smolny) යෑමට හෙතෙම තනි තීරණයත් ගත්තේය. පණිවුඩකරුවකු ලෙස ලෙනින්ට සේවය ලබා දුන් එයිනෝ රාහ්ජාගේ (Eino Rahja) උදව්වෙන් පරණ පිට කබායක් (Overcoat) සහ කැප් තොප්පියක් සොයා ඇඳ, කම්මුල් වටා ලේන්සුවක් බැඳ ගත්තේය. නිසි පරිදි වෙස්වළා ගත් ලෙනින් පිටත් විය. ෆොෆානෝවාට තබා ගිය සටහනෙහි මෙසේ විය.

“පිටත් වූයේ ඔබ යන්නට එපා කියන තැනටය. නැවත හමුවන තුරු – ඉලියිච්” එය කිසිසේත්ම අනාරක්‍ෂිත නොවන ගමනක් නොවිණි. කැඩෙට් නිලධාරීන් විසින් අතරමඟදී ලෙනින් සහ රාහ්ජා නවතනු ලැබුවේ වරක් දෙවරක් නොවේ. ලෙනින් පහසුවෙන්ම අත්අඩංගුවට පත්වනු ලැබිය හැකිව තිබිණි. අනතුරුදායක අවස්ථාවන්හිදී ඔහු පෑ නිර්භීතභාවය අතිවිශිෂ්ට විය. එමෙන්ම අවදානමකට මුහුණ දීමේදී දිරිමත් කඩිසර බවක් ලෙනින් වෙත විය. එසේ ස්මෝල්නියට අවතීර්ණ වීමේදී ගමනෙහි පැවැති සියලු අනතුරු සාර්ථක ලෙස ජය ගන්නා ලදී. ශේ‍ර්ෂ්ඨ ඔක්තෝබර් විප්ලවයේ උදාවත් අසහාය නායකයාගේ යටිබිම්ගත කාල පරිච්ඡේදයේ නිමාවත් සිදුවූයේ එකටය. ඔහුගේ ජීවිතයෙහි සහ කාර්යයන්හි එය අසාමාන්‍ය දුෂ්කර වකවානුවකි.

ලෙනින් රැක ගැනීමට පක්‍ෂයේ සාමාජික සමූහයා දිවි පරදුවට තැබූහ. ඔවුහු සිය නායකයාට සියලුම ආරක්‍ෂාව සහ අවධානය ලබාදී තිබිණි. අවසානයේ ලෙනින් සිටියේ ස්මෝල්නියේ නොහොත් විප්ලවයේ මහ ගෙදරය. අවි ගත් නැඟිටීමේ කාර්යභාරයෙහි පාලනය ස්ථිරවම පක්‍ෂයේ නායකයාට ලබාදී තිබිණි. “ස්මෝල්නිය” ඒ ඓතිහාසික රාත්‍රියෙහි මනස්කාන්ත දර්ශනයක් විණි. දීප්තිමත්ව සැරසී එතුළින් කඩිසර කාර්යධරයන්ගේ ගුම් නද පැතිරෙමින් තිබිණි. රතු මුර භටයෝද, කම්හල් සහ රෙජිමේන්තු නියෝජිතයෝද සෑම පෙදෙසකින්ම පැමිණියහ. දෙවැනි තට්ටුවෙහි විප්ලවීය මිලිටරි කමිටුව නිරතුරුවම රැස්විණි. ද්වාර සහ ගේට්ටුවල වරින් වර මුර භටයෝ අලුතෙන් ස්ථානගත කරන ලදහ.

රතු හමුදාවෙන් සහ විප්ලවීය රෙජිමේන්තුවලින් දහස් සංඛ්‍යාත පණිවුඩකරුවෝ නොකඩවා එමින් යමින් සිටියහ. ප්‍රධාන රැස්වීම් ශාලාවෙහි දෙවැනි සමස්ත රුසියානු සෝවියට් සමුළුවේ නියෝජිතයන් වන කම්කරු ජනතාව සහ ගොවීහුද, සොල්දාදුවෝ සහ නැවියෝද රැස්ව සිටියහ. ආමඩ් කාර්, ලොරි සහ යතුරු පැදි ස්මෝල්නි ආයතනය ඉදිරිපිට චතුරස්‍රය හරහා මොර දෙමින් ඇදුණි. ගේට්ටුවල කාලතුවක්කු සහ මැෂින් තුවක්කු ස්ථාන ගත කැරිණි. රැකවල්කරුවන් විසින් සමස්ත ගොඩනැඟිල්ලම රැකවල් ලන ලදී. වැඩ කරන ජනතා කොම්පඥ්ඥ, තරුණයෝ සහ මහලු අය කල් බලා ඇදී දිගින් දිගටම විප්ලවවාදී මිලිටරි කමිටුවට වාර්තා කළහ. චතුරස්‍රයෙහි වූ ගිනි මැළය වෙතින් අහසට නැඟුණු ගිනි දලු සමස්ත දර්ශනයට අපූරු දීප්තියක් ලබාදුනි.

ස්මෝල්නියට ලෙනින්ගේ ළඟාවීම වූ විගස පණිවුඩකරුවෝ ෆැක්ටරි, දිස්ත්‍රික්ක සහ මිලිටරි ඒකක වෙත නැඟිටීම ඇරැඹීමේ නියෝගය රැගෙන ඉගිලුණහ. කම්කරු රතු හමුදා විහිදුම් බළකාය, නැවියෝ සහ පෙට්රොගාඩ් රෙජිමේන්තු ක්‍රියාන්විතයට ඇඳණ. පුරවරයෙහි මධ්‍යයට වැටෙන වීදි සියල්ල වසා දැමිණි. මර්මස්ථාන සහ රජයේ කාර්යාල අල්ලා ගැනීමට වූ සැලැස්ම ක්‍රියාවට නැඟුණේ විදුලි වේගයෙනි. පසුදින අරුණෝදයට ප්‍රථම ඔක්තෝබර් 25 වැනිදා (නොවැ. 07) නීවා (Neva) හරහා වූ සියලුම පාලම්, මධ්‍යම දුරකථන හුවමාරු මධ්‍යස්ථාන, ගුවන් විදුලි ස්ථානය, දුම්රිය හා බල විදුලි පොළවල්, රාජ්‍ය බැංකු සහ සෙසු වැදගත් ගොඩනැඟිලි රතු සෙබළුන්, නැවියන් සහ සොල්දාදුවන් විසින් අත්පත් කරගනු ලැබිණි.

තාවකාලික ආණ්ඩුව ආරක්‍ෂිත කඳවුරක් ලෙස පත් කර ගෙන තිබූ වින්ටර් මාලිගය, පෙට්‍රොගාඩ් මිලිටරි ප්‍රාදේශීය මූලස්ථානය හැරෙන්නට සමස්ත පුරවරයම සන්නද්ධ නිර්ධන පන්තිය සහ විප්ලවකාරී කණ්ඩායම අතට පත්විණ. රතු මුර භටයෝ, නැවියෝ සහ සොල්දාදුවෝ වින්ටර් මාලිගය අත්පත් කර ගැනීම ලෙනින්ගේ බලවත් අභිප්‍රාය විය. ඒ වනවිටත් විප්ලවීය නැඟිටීම විජයග්‍රහණය කර තිබිණි. ‘රුසියානු පුරවැසියන් වෙතට’ ලෙනින් විසින් ලියැවුණු ආයාචනය ඔක්තෝබර් 25 වැනිදා උදෑසන විප්ලවීය මිලිටරි කමිටුව වෙනුවෙන් ප්‍රසිද්ධ කැරිණි.

“තාවකාලික ආණ්ඩුව බලයෙන් පහ කරනු ලැබ ඇත. රාජ්‍ය බලය කම්කරු සහ සොල්දාදු නියෝජිතයන්ගේ පෙට්‍රොගාඩ් සෝවියට් සභාවට, පෙට්‍රොගාඩ් නිර්ධන පන්තියේ සහ ආරක්‍ෂක බළඇනියේ ප්‍රධානත්වය දරන විප්ලවීය මිලිටරි කමිටුව අතට මාරු කරනු ලැබ ඇත.” මෙම ප්‍රකාශය බෝල්ෂෙවික් පුවත්පතෙහි (කම්කරුවා සහ සොල්දාදුවා) එම උදෑසනම පළ විය. පෙට්‍රොගාඩ්හි විජයග්‍රහණය පිළිබඳ විදුලි පුවත් මුළු මහත් රුසියාව පුරා සහ පෙරමුණු වෙත යැවිණ. එදින ප.ව. 02.35ට පෙට්‍රොගාඩ් සෝවියට් සභාවේ සුවිශේෂී රැස්වීමක් ස්මෝල්නියේ ප්‍රධාන රැස්වීම් ශාලාවෙහි ආරම්භ කැරිණි.

ලෙනින් එය අමතන බව සභාපතිවරයා නිවේදනය කළේය. ශාලාවෙහි ලෙනින් දර්ශනය වත්ම නියෝජිතයන්ගෙන් නැඟුණු ප්‍රීති ඝෝෂාව සහ අනුමැතිය ප්‍රකාශ කැරෙන අත්පොළසන් නාදය නතරවීමට බොහෝ වේලාවක් ගත විය. “කම්කරුවන්ගේ සහ ගොවීන්ගේ විප්ලවය”, ලෙනින් කීවේය. “බෝල්ෂෙවික්වරු සෑම විටකම කතා කළ අවශ්‍යතාව මුදුන් පත්ව තිබේ!” “මෙතැන් පටන් රුසියානු ඉතිහාසයෙහි නව අදියරක් ඇරැඹෙනු ඇත. මෙය තුන් වැනි රුසියානු විප්ලවය, සමාජවාදයේ විජයග්‍රහණය සනිටුහන් කරයි.” ජය ඝෝෂාකාරී අනුමැතිය මධ්‍යයේ ලෙනින් ප්‍රකාශයට පත් කළේය.

“ලෝක සමාජවාදී විප්ලවය දිගු කල් දිනේවා!”

ඔක්තෝබර් 25 සන්ධ්‍යාවෙහි ‘අවුරෝරා’ (Aurora) විප්ලවීය යුද නෞකාවෙන් ඓතිහාසික ප්‍රහාරය එල්ල කොට වින්ටර් මාලිගයට පහර දීම ඇරැඹිණි. පැය කිහිපයකට පසුව ප්‍රහාරක කම්කරු සෙබළ හා නැවියන්ගේ ජයග්‍රහණයෙන් එය අවසන් විය. ඔක්තෝබර් අවි ගත් නැඟිටීම සංවිධානයෙහි සහ ක්‍රියාවට නැඟීමේ මාහැඟි කාර්යභාරය ලෙනින් ඉටු කළේය. විප්ලවීය මිලිටරි කමිටුවේ සාමාජික කේ. ඒ. මොකොනොෂින් (K. A. Mekhonoshin) ඔහුගේ ස්වරයෙන් එය මෙසේ විස්තර කරයි. “ඔක්තෝබර් අවි ගත් නැඟිටීමේ දිනවලදී සෑම මොහොතකම අරගලයේ ක්‍රියාවලිය පිළිබඳ මුළුමනින්ම ඉහළම නිරවද්‍යතාවකින් යුතු අදහස ලෙනින් සතු විය. පැවැති තත්ත්වයන්ගේ සියලුම වාර්තා ඔහුට යැවිණ.

මධ්‍යස්ථානය ලෙස ඔහු හැම විටම ඉතාමත් වටිනා උපදෙස් හරි වෙලාවට යම් තැනෙක පවත්නා අනතුර දුර දක්නා නුවණින් බලා නිසි වෙලාවට ලබාදීමට වග බලා ගත්තේය. සහෝදර ලෙනින් ඔක්තෝබර් විප්ලවයේ සියලු හමුදාවන්හි සැබෑ ප්‍රධාන අණ දෙන්නා විය. ඔහුගේ නායකත්වය යටතේ විප්ලවීය මූලස්ථානය ක්‍රියාත්මක වූයේ එවන් අණ දෙන්නකු කිසි කලෙකත් සිට නැති පරිදිය…. ලෙනින් අපගේ ප්‍රථම රතු මාර්ෂල්වරයා වශයෙන් නිර්භයව අමතනු ලැබිය හැකිය.”

– වීරේ පල්ලියගුරු (මව්බිම / නින්නාද)

ශ්‍රේෂ්ඨ ඔක්තෝබර් විප්ලවයේ තීරණාත්මක පැය 48