Nadezhda Krupskaya (1869 – 1939)
ලෝකයා විවිධ දිනයන් සමරති. අද දිනය (පෙබරවාරි 14) ද බොහෝ දෙනාගේ ස්මරණයන්ට නතු වන සුවිශේෂී දිනයකි. එයට මහත් හේතුවක් බවට පත්ව ඇත්තේ වැලන්ටයින් සාමිවරයාගේ අනුස්මරණ දිනය වීම ය. නමුත් මානව ඉතිහාසයේ සුවිශේෂී කාර්යභාරයක් ඉටු කළ සුවිශේෂී කාන්තාවකගේ අනුස්මරණයක් ද අද දිනයට ම යෙදී ඇත. නිදහස් අධ්‍යාපනයේ ප්‍රථම පියවර තැබූ නදේස්දා කෲප්ස්කයා සොයුරියගේ උපන් දිනය ද අදට යෙදී ඇත. 1869 වර්ෂයේ පෙබරවාරි 14 වනදා රුසියාවේ පීටර්ස්බර්ග් නුවර කඩා වැටෙමින් සිටි ඉඩම් හිමියෙකුගේ දියණියකව ඈ උපන්නී ය. කුඩා කළ සිට ම අධ්‍යාපනය කෙරෙහි සුවිශේෂී ළැදියාවක් දැක්වූ ඇය අධ්‍යාපනය නොලැබීම හේතුවෙන් බහුතරයක් ජනතාව විඳිනා අපහසුතාව සහ පත්ව ඇති පීඩනය සියැසින් දුටුවා ය. කෙලෙසක හෝ මේ අඳුරු ආගාධයෙන් ජනතාව ගොඩගනිමැයි ඈ වෙත කුඩා කල සිට ම අධිෂ්ඨානයක් තිබිණි. වයස අවුරුදු 17දී පමණ තම මූලික අධ්‍යාපනය අවසන් කළ ඇය ගුරුවරියක වීම සඳහා ගුරු පුහුණු පාසලකට ඇතුළු වූවා ය. එහි අධ්‍යයන කටයුතු අවසන් කර රජයේ ගුරුවරියක්ව සේවය කිරීම සඳහා අවස්ථාවක් ලැබෙන තුරු බලා සිටිය ද එසේ නොලැබුණු කල්හි ඇය කල්මරනවා වෙනුවට පෞද්ගලික ගුරුවරියක් ලෙස සේවය කළා ය.
යුග ගණනාවක් තුළ නූගත්කමේ ශාපය අත්විඳි රුසියානු ජනතාව වෙත අධ්‍යාපනය ලබා දෙන්නේ කෙසේ දැයි ඇය කල්පනා කළා ය. ගොවි බිම්, දෑකැති, කටු මිටි, දැති රෝද අතර සිර වී සිටි රුසියානුවන් වෙත අධ්‍යාපනය ලබා ගැනීමට කාලයක් හෝ අවකාශයක් නොපැවතිණි. අධ්‍යාපනය, එක් කුලීනයන් අතරකට පමණක් සීමා වී පැවතිණි. ලෝකයේ ප්‍රථම නිදහස් අධ්‍යාපන තක්‍ෂලාව බිහි වූයේ නිව්ස්කෙයාර් සස්නාවා දිස්ත්‍රික්කයේ ය. එහි නිර්මාතෘවරිය ද, එකම ගුරුවරිය ද කෲප්ස්කයා ම වීය. නෑඹුල් තරුණියක් වූ ඇය තමාට වඩා වැඩිමහල් හැඩි දැඩි තරුණ කම්කරුවන්, වැඩුණු ගැහැනුන් වෙනුවෙන් තම පාසලේ අධ්‍යයන කටයුතු කරගෙන ගියා ය. වැඩබිම් තුළ දී තම ශිෂ්‍යයන් විඳි ගැහැට වෙනුවෙන් පිළිතුරු සෙවීම සඳහා ඇය විදේශීය පොත පත පවා පරිශීලනය කළා ය. මාක්ස් හා එංගල්ස්ගේ දේශපාලන කෘතීන් ඈ වෙත වඩාත් සමීප වූයේ මේ අවධියේදී ය. ඇය ඒ පිළිබඳව පවසන්නේ මෙසේය.
“මාක්ස්වාදය මාගේ ජීව වායුව වුණා. මා වැඩ කළ පන්තියට සත්තකින් ම මාව ඇද බැඳ තබා ගන්නට පාසලේ ගෙවූ ඒ පස් වසර සමත් වුණා.”
ඇගේ පාසලේ පස් වසර තුළ වසර කිහිපයක් ඉක්ම යද්දී සටන්කාමීන්ගේ සංගමයට නායකත්වය දුන් තරුණ ලෙනින් ඇයට මුණ ගැසුණා. 1894 වසරේ දී ඇය ලෙනින්ගේ සටන්කාමී සංගමය සමග තදින් බැඳී කටයුතු කළා. දුප්පතුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් තනිව සටනට නායකත්වය දුන් කෲප්ස්කයාට හොඳ සහෘදයන් පිරිසක් මුණ ගැසුණා. ඔවුන් සංවිධානය තුළ දිගැති සිහින් මාළුවෙකුගේ නමක් වන ‘මිනෝගා’ යැයි ඇය ආමන්ත්‍රණය කළා. මේ අතර 1897 කම්කරුවන් සංවිධානය කිරීමේ වරදට ලෙනින්ව සයිබීරියාවට පිටුවහල් කළා. තමා අත වූ වගකීම් සියදහස් ගුණයකින් වැඩි වූවා යැයි තරයේ අදිටන් කර ගත් කෲප්ස්කයා ලෙනින්ගේ කාර්යභාරය නොපිරිහෙලා ඉටු කිරීමට වෙහෙස ගත්තා. මේ අතර මාක්ස්වාදී කවයක්ද පිහිට වූ ඇය කම්කරුවන් අධ්‍යාපනය වෙත නැඹුරු කිරීමට කටයුතු කළා. කම්හලක් කම්හලක් පාසා ගොස් සහෝදර ජනතාව එකතු කරමින් දීපව්‍යාප්ත වැඩ වර්ජන සංවිධානය කළා. වැඩිකල් නොගොස්ම කෲප්ස්කයා පිළිබඳව ද රජය දැන ගැනීමෙන් පසු 1898 මැයි 7 වනදා ඇයව ද සයිබීරියාවට පිටුවහල් කළා. ඉතා දැඩි දඬුවමක් ලෙස පිළිගැනෙන සයිබීරියාවට පිටුවහල් කිරීම එකල රුසියාවේ වූ දැඩි නීතියකි. ජීවත් වීම ඉතාම දුෂ්කර වූ අතර, බොහෝ දෙනා නැවත ජීවග්‍රහයෙන් රුසියාවට පැමිණියේ ද නැත. සයිබීරියාවේදී ලෙනින් හා එක්ව විශාල ගවේෂණාත්මක දේශපාලන කෘති ප්‍රමාණයක් අධ්‍යයනය කළ ඇය එහි දී ලෙනින්ගේ පොත් 30කට පමණ සහයෝගය ලබා දුන් අතර ඇය විසින් ද ස්වාධීනව පොත් රාශියක් ලියන ලදී. පිටුවහල් කාලයේදී ලෙනින් හා විවාහ ගිවිස ගත්තාය.
දඬුවම් කාලයෙන් පසු නැවත රුසියාව බලා පැමිණියේ මහත් වැඩ කන්දරාවක් හිස තබාගෙන ය. කම්කරු ගොවි කාන්තාවන් අතර දේශන පවත්වමින්, ඔවුන් සංවිධානය කරමින් ඇය තම තරුණ ජීවිතය සහෝදර නිර්ධන පාන්තික ජනතාව වෙනුවෙන් කැප කරනු ලැබුවා. ‘ඉස්ක්‍රා’, ‘පිරියොද්’, ‘ප්‍රොලිතාර්’, ‘සෝෂල් ඩිමොක්‍රොටික්’ වැනි වාමාංශික පුවත්පත් ගණනාවක කර්තෘ මණ්ඩලයේ ලේකම්වරිය ලෙෂ ද ඇය කටයුතු කළා. 1911 වසරේ ප්‍රංශය අසල ලොන්ජිමියේව් කුඩා ගමෙහි ආරම්භ කළ ඒ පක්‍ෂ පාසලෙහි මූලිකත්වය ගෙන කටයුතු කළේ ද කෲප්ස්කයාමය. විප්ලවයේ ජයග්‍රහණය පමණක් නොව සෝවියට් දේශයේ මුළුමහත් ජනතාව වෙතම අධ්‍යාපනය රැගෙන යෑමේ මූලාරම්භය මේ පක්‍ෂ පාසල විය. විප්ලවයෙන් පසු නියෝජ්‍ය අධ්‍යාපන අමාත්‍ය ධූරය දැරූ ඇය විසින් මහත් වැඩකොටසක් ඉටු කරන ලදී. 1928 වන විට විවිධ ප්‍රාදේශීය භාෂාවන් 70කට පමණ පාසල් පෙළ පොත් පරිවර්තනය කෙරුණු අතර, 1934 වෙද්දී එය භාෂා 104කට පරිවර්තනය කරන ලදී. අධ්‍යාපනය ලබා දීමේ දී ගුරුවරුන් පුහුණු කිරීම වෙනුවෙන් මහත් උනන්දුවකින් කටයුතු කළ ඇය ගුරුවරුන්ගේ ජීවිත වඩාත් පරිණත හා පරිපූර්ණ කිරීම සඳහා වෙහෙස ගත්තා ය. ලෙනින් රෝගාතුර වීමෙන් පසුව ලෙනින්ගේ ලේකම්වරිය ලෙස පක්‍ෂය හා ලෙනින් අතර සම්බන්ධීකරණය පවත්වාගෙන ගියේ ද ඇයයි. කාලය ගලාගෙන යත් ම ඇය වඩා පරිණත වැඩිහිටි කාන්තාවක් බවට පත්ව සිටියා ය. කාලයාගේ ඇවෑමෙන් වයස ඈ වෙත බාධා තබමින් සිටිය ද ඇයගේ ගමන තව තවත් වේගවත් වූවා. 1924 ජනවාරි 26 වන දා ලෙනින්ගේ මරණයත් සමග ඇය තව තවත් උත්සුක වෙමින් තම දැනුම හා අවබෝධය සෝවියට් ජනතාව වෙත ළඟා කරලීමට වෙහෙස ගත්තා ය. ඇගේ ජීවිත කාලය තුළ ඇය විසින් ලියන ලද ලිපි සහ නිබන්ධන ප්‍රමාණය 3,000 කටත් වැඩි ය. ලෝකය ගැන තව තවත් අධ්‍යයනය කළ ඇය සෝවියට් ජනතාව වෙනුවෙන් ඒ සියල්ල නැවත ප්‍රතිස්ථාපනය කිරීම වෙනුවෙන් මහත් වෙහෙසක් ගත්තා ය. 1929 රතු සම්මානයත්, 1933 ලෙනින් සම්මානයත්, 1936 සමාජ විද්‍යාව පිළිබඳ ගෞරව ආචාර උපාධියත් සෝවියට් ජනතාව වෙතින් ඇය ලද දායාද වේ. මිලියන 60කට වැඩි දුක් විඳි සමස්ත රුසියානුවන් වෙනුවෙන් ඇය තැබූ ප්‍රථම පියවරය සදා නොමැකෙන සටහනක් විය. සෝවියට් දේශය බිහි වීමෙන් පසු මුළු මහත් සෝවියට් දේශය පුරාවට ම සියලු ජනතාව අධ්‍යාපනයෙන් මුවහත් කළ අතර, මුළු ලෝකය වෙත ද ඒ නිදහස් අධ්‍යාපනයේ පහන් සිල ද දල්වාලන්නට ඇය කටයුතු කළා ය.