ධනේශ්වර ‘නිදහසින්’ නිදහස් වීම සමාජවාදයයි

SHARE

Share on facebook
Share on google
Share on twitter
Share on linkedin

ගෙවුණු සතිය පුරාම “නිදහස” පිළිබඳව විවිධ සංවාද ඇසෙන්නට විය. විශේෂයෙන් ශ්‍රී ලංකාවාසී ජනතාවට පෙබරවාරි හතර ‘නිදහස’ යැයි මොකක්දෝ ලැබූ බව පාලකයන් පුන පුනා පවසයි. පෙබරවාරි 04 ආසන්න වෙත් ම රෙදිපිළි කර්මාන්තකරුවන් ශ්‍රී ලංකා ජාතික කොඩිය රෙදි කැබැලිවල පිටපත් කොට සිල්ලර වෙළෙඳපොළට විකුණනු ලබයි. ජනතාව ද අරමුණකින් තොරව පුරුද්දට මෙන් ඒවා නිවෙස් ඉදිරිපිට එල්ලා එම දිනයෙන් නිදහස් වෙයි. ‘නිදහස’ එපා යැයි පැවසූ සහ නාමික නිදහසින් සැනසෙන්නම් යැයි පැවසූ අධිරාජ්‍ය ගැත්තන් ජාතික වීරයන් සේ සලකන්නට ධනපති පාලකයන් උත්සාහ ගත්ත ද ශ්‍රී ලංකාවේ ‘නිදහස’ වෙනුවෙන් දිවි පරදුවට තබා කළ සටනක් නැත. තම කීකරු දේශීය ධනපති පංතියට තමන් වෙනුවෙන් රට පාලනය කරන්නට ‘නිදහස’ යැයි ‘ජොබ්’ එකක් අධිරාජ්‍යවාදී හාම්පුතුන් විසින් ලබා දී ඇති බව නම් හොඳින් පැහැදිලි ය. එපමණක් නොව මේ දක්වා ම තම හාම්පුතුන් බලාපොරොත්තු වන තරමටත් ඉහළින් එම ‘ජොබ්’ එක ඉටු කරමින් සිටින බවද පැහැදිලි සත්‍යයකි. එබැවින්, සැබෑ නිදහස යන්න කුමක් දැයි අවබෝධ කර ගැනීම වැදගත් යැයි කල්පනා කළෙමු. එසේ ම එය සමාජවාදී ඇසෙන් දැකිය හැක්කේ කෙසේ දැයි යන්න සලකා සාකච්ඡා කරන්නට සිතුවෙමු.

ස්පාර්ටකස්ලාගේ නායකත්වයෙන් වහල්ලු, පාලකයන්ට එරෙහිව දිවි පරදුවට තබා සටන් වැදුණේ වහල් බවින් නිදහස් වීමට ය. එහෙත්, ඔවුන් වහල් බවින් මිදී යළි ඉඩම් හිමියන්ගේ ඉඩමට බැඳුණි. ඒ ප්‍රවේණිදාසයන් ලෙසින් ය. පසුව ඔවුහු ධනපති පංතිය හා එක්ව සටන් වැදුණේ ප්‍රවේණිදාස බවෙන් නිදහස් වීම සඳහා ය. එයින් නිදහස් වුව ද දැන් ඔවුන් ධනපති සමාජයේ වැටුප් වහලුන් ය. ධනපති ක්‍රමය මෙයට ‘නිදහස’ යැයි පවසයි.

ධනපති සමාජයට කලින් පැවැති වැඩවසම් හෝ ආසියාතික සමාජයන් හි දේශපාලන අවිය අත්තනෝමතිකත්වය විය. ධනපති පංතියට බලයට එන්නට හා පවතින්නට එය බාධාවක් විය. ධනපතියාට අවශ්‍ය එම අත්තනෝමතිකත්වයෙන් මිදුණු නිදහස් පුද්ගලයන් ය. එනම්, කිසිදු බැඳීමකින් තොර නිදහස් මිනිසුන් ය. එවන් ස්වාධීන මිනිසුන් ඇති තැන ධනපතියාට කේවල් කොට ලබා ගත හැකි නිදහස් ශ්‍රමයක් පවතියි. අනෙක් අතට මෙම ශ්‍රමය සිතුසේ සූරාකෑම සඳහා පෙර පැවති අත්තනෝමතිකත්වයෙන් ධනපති පංතියට ද නිදහස් වීමට අවශ්‍ය ය. ඇත්ත වශයෙන් ම ධනපති පංතිය මේ ඉල්ලා සිටි නිදහස අන් යමක් නොව, ශ්‍රමය විකිණීමට හා ශ්‍රමය මිල දී ගැනීමට ඇති නිදහසයි. එපමණක් නොව නිෂ්පාදන මාධ්‍යයන් ධනපති දේපළක් සේ පරිහරණය කරමින් ශ්‍රම සූරාකෑම හරහා ලාභය ගොඩ ගැසීමට හැකි වන නිදහසයි.

පසුකාලීනව ධනපති සමාජය කල් ඉකුත් වන විට එනම් යල්පැන යන විට ඔවුනට ද අත්තනෝමතිකත්වය අවශ්‍ය විය. ව්‍යවස්ථානුකූල ඒකාධිපතිත්වයක් අවශ්‍ය විය. විවිධ අණ පනත් මඟින් ජනතාවගේ නිදහස පාලනය කරන්නට අවශ්‍ය විය. මෙහිදී වැදගත්ම කාරණය වන්නේ සත්වයාගෙන් මිනිසා දැවැන්ත වෙනසකට ලක් කරනු ලබන ශ්‍රමයේ හිමිකම උදුරා ගැනීමයි. මනුෂ්‍යත්වය උපදින්නේ ශ්‍රමයෙනි. නිෂ්පාදනය මත පදනම් වූ මිනිස් සමාජය බිහිවන්නේද ශ්‍රම සාමුහිකත්වය පදනම් කොටගෙන ය. ශ්‍රමයෙන් ඔහු වියුක්ත කිරීම යනු මිනිස් පෙනුමැති එහෙත් වෙනත් සත්වයකු බවට මිනිසා පත් කිරීමයි. මෙලෙස මිනිසාගෙන් ශ්‍රමයෙහි හිමිකම උදුරා ගැනීම මනුෂ්‍යත්වය උදුරා ගැනීමයි. එය මාක්ස් හඳුන්වා දෙන්නේ පරත්වාරෝපණය යන නමින් ය. ධනපති පංතිය ජීවමාන හා මනුෂ්‍යත්වය පදනම් කර ගත් මිනිසා වෙනුවට ආරෝපණය කළ මිනිසකු නිර්මාණය කරයි. දැන් ඔහු වැටුප් වහලෙකි. ධනපති ක්‍රමයේ පදයට නටන කීකරු සේවකයෙකි. කිසිදු මනුෂ්‍ය සංවේදිතාවයන් නොමැති නරුමයෙකි. ධනපතියා විසින් හසුරුවන හුදු යන්ත්‍රයකි.

මේ අනුව පැහැදිලි වන්නේ මිනිසා නිදහස් විය යුත්තේ මෙම තත්ත්වය ඇති කරනු ලබන ධනපති ප්‍රාග්ධනයෙන් බවයි. ධනපති ප්‍රාග්ධනය විසින් මුළු මහත් පෘථිවි තලයේ සමස්තය ලාභය ඉලක්ක කොට හසුරුවයි. ඉන් එහා විශ්වය ම හැසිරවීමට උත්සාහ ගනියි. මෙයට විකල්පය සමාජවාදී ශ්‍රමයයි. සැබවින් ම ඉන් ඔබ්බට ගොස් කොමියුනිස්ට්වාදී ශ්‍රමයයි. සමාජවාදය ශ්‍රමය වෙළෙඳ භාණ්ඩ මුදවා ගන්නවා යනු අන් යමක් නොව ප්‍රාග්ධන ආධිපත්‍යයෙන් මුදවා ගැනීමයි. ශ්‍රමය මෙලෙස නිදහස් කළ පසු එය සමාජමය ශ්‍රමයක් වීමෙන් පසු යළි අහිමි කළ මානුෂිකත්වය ලැබේ. ශ්‍රමය වැගිරවීම පුරුද්දක් බවට පත් වන කොමියුනිස්ට් සමාජයේදී මානුෂිකත්වය ඉහළින් ඔසවා තබයි. එහි කාන්තා පුරුෂ, වැඩිහිටි ළමා, එපමණක් නොව, පුහුණු හා නුපුහුණු යන භේදයන් නොපවතියි. ප්‍රතිලාභ බලාපොරොත්තු නොවෙයි. වෙනත් වචනයකින් පවසන්නේ නම් ශ්‍රමය විමුක්තිය ලබයි.

කොමියුනිස්ට් සමාජයේ නිදහසට පවතින්නට ඉඩක් තිබේදැයි යන්නද ගැටලුවකි. නිදහස අවශ්‍ය වන්නේ නිදහස අහිමි කළ සමාජයකටයි. කොමියුනිස්ට් සමාජය යනු ශ්‍රමයේ සියලු පංතිමය බලහත්කාරී බැඳීම් මුදාහළ සමාජ ක්‍රමයයි. එම සමාජයේ සමාජ කාර්යයක් වන ශ්‍රමය සාමුහිකත්වය සහිතව යෙදවෙන බැවින් එයට බලහත්කාරී බැඳීම් නැත. යුතුකම් හා වගකීම් මත වන බැඳීම් ඇත. මිනිසුන් ශ්‍රමය අවැසි තැනට එය යොදවයි. ඒ තම හැකියාවට අනුවය. නමුත් සමාජ දේපළක් වන එහි ඵලදාව අවශ්‍යතාවය අනුව බෙදා හැරෙයි. මෙහි බලහත්කාරයන් නොපවතින බැවින් ශ්‍රමය හා එහි හිමිකරුවන් නිදහස් ය. එනිසා කොමියුනිස්ට් සමාජයේ දී නිදහස යන්න අතීත සමාජ භාවිතාවක මතකයක් පමණක් වනු ඇත.

ඩී.එච්.වික්‍රමසිංහ

ධනේශ්වර ‘නිදහසින්’ නිදහස් වීම සමාජවාදයයි