ධනවාදි රෝගයන්ට සමාජවාදි ප්‍රතිකාර

SHARE

Share on facebook
Share on google
Share on twitter
Share on linkedin

සෞඛ්‍ය යන්න ධනේශ්වර සමාජ ආර්ථිකය තුළ නොවිසදෙන අර්බුදයකි. වෛද්‍ය විද්‍යාව ශාරීරිකව මතුවන අර්බුදයන් විසඳාලන්නේ එය ඉවත් කිරීමෙන්ය. නමුත් වත්මන් සමාජ අර්බුදයන්ට පිළියම එය ඉවත් කිරීම ලෙස ධනවාදය සලකන්නේ නැත. එනිසාම සෞඛ්‍ය ප්‍රශ්නයටද එහි ඇත්තේ පැලැස්තර විසඳුම්ය. එහි ප්‍රතිඵලය වන්නේ රටේ සාමාන්‍ය ජනතාව සාතිශය බහුතරයක් රෝගීන් බවට පත්වීමත්, ප්‍රතිකාර ලැබීමේ විවිධ දුෂ්කරතා හේතුවෙන් හා රෝගීන් වෙනුවෙන් මැදිහත් වීමේදී විවිධ දුෂ්කරතාවයන්ට හා පීඩාවන්ට පත්වීමත්ය.
මෙවර අප පැහැදිලි කරගන්නට උත්සාහ ගනු ලබන්නේ සමාජවාදි සෞඛ්‍ය ප්‍රතිපත්තීන් සකස්වන්නේ කෙළෙසින්ද යන්නයි. ඉන් ධනවාදය සෞඛ්‍ය කෙරෙහි දක්වන ආකල්පය කෙසේද, දැනට භාවිතා වන සෞඛ්‍ය සංකල්පයන් සමාජවාදය තුළ භාවිතයට නැගෙන්නේ කෙසේද සහ ජනතාවගේ සෞඛ්‍ය යන්නට සමාජවාදී සමාජය දෙනු ලබන වැදගත්කම කෙතරම්ද යන්නත් වටහාගත හැකිය.

රෝග සුව කිරීමට වඩා එය වැළැක්වීම වැදගත් බව වර්තමානයේදි පවා සෞඛ්‍යය යන මාතෘකාවේදි කියවේ. එහෙත් “වැළැක්වීම’‘ යන්න වසංගත රෝග ආදියට පූර්ව ප්‍රතිශක්තිකරණය මඟින් ඉටු වුවද බෝනොවන රෝග හෝ හදිසි අනතුරු සම්බන්ධයෙන් අසාර්ථකය. ඉන් දෙවනුව “ප්‍රතිකාරය” යන්නද රජයේ අවධානය හා ආකල්ප හේතුවෙන් ඉතා පහළ මට්ටමක පවතියි. එනිසා “වැළැක්වීමද, ප්‍රතිකාරයද’ යන සංකල්පයන් දෙකම අසාධ්‍යවීම වෛද්‍ය විද්‍යාවේ හෝ සෞඛ්‍ය විද්‍යාවේ අර්බුදයක් නොව, ධනවාදයේ අර්බුදයේ ප්‍රතිඵලයකි.

වර්තමානයේ අපගේ වැනි රටවල සෞඛ්‍ය ප්‍රශ්නයට බලපානු ලබන මූලික සමාජ සාධක වන්නේ දුප්පත්කම හා නූගත්කමය. මෙහිදී නූගත්කම සැලකෙන්නේ සෞඛ්‍ය යන විෂයට සාපේක්ෂවය. සමාජයේ බහුතරයක් සෞඛ්‍ය පුරුදු හඳුනන්නේ නැත. තවද පසුගාමි ධනවාදි පුරුදු පුහුණු හා ආකල්පද මෙයට උත්තේජන සපයයි. එසේම ජීවිතයේ අරාජිකත්වය හා නොසැලකිල්ලද මෙහි තවත් හවුල් කරුවන්ය. එබැවින් සමාජවාදය සෞඛ්‍ය ප්‍රශ්නය විසඳීම ආරම්භ කරනුයේ අධ්‍යාපනය යන විෂය තුළමය. සෞඛ්‍යමත් ජිවිතයක් පිළිබඳව අවබෝධය හා පුහුණුව ඇති කිරිම එහි අරමුණයි. සෞඛ්‍ය අධ්‍යාපනය අංශයක් මේ වන විටද රටේ පවතියි. එය එම නිලධාරීන්ගේ උනන්දුව , උවමනාව මතම පවතින්නකි. සමාජවාදය තුළ එසේ නොව ළමා අවධියේ සිටම ක්‍රමානුකූලව සෞඛ්‍ය අධ්‍යාපනය වැටිහිටි අවධිය දක්වාම දෙනු ලබයි. එසේම මිථ්‍යාව හා පසුගාමී ආකල්ප විසින් ලිංගික අධ්‍යාපනය වැනි කාරණා සම්බන්ධයෙන් වන පටු චින්තනයට එරෙහිව දැවැන්ත අධ්‍යාපනික අරගලයක් හරහා ජනතාවගේ දැනුවත් බව ඔසවා තැබීම කරයි..
සමාජයෙහි සෞඛ්‍ය පිළිබඳව වන දැනුම පුළුල් කිරීම පමණකින් රෝග වැළැක්විය නොහැකිය. කාසියේ අනෙක් පැත්ත මෙන් වන ආර්ථිකය වර්ධනය කිරීම හරහා සෞඛ්‍යමත් ජීවිතයක් පවත්වා ගත හැකි පරිසරයක් ජනතාවට සලසා දිය යුතුය. සෞඛ්‍ය සම්පන්න ආහාර සපයා ගැනීම, සෞඛ්‍ය සම්පන්න ආහාර පුරුදු ඇති කිරීම, සෙඛ්‍ය සම්පන්න නිවසක ජීවත්වීම, සෞඛ්‍ය සම්පන්න පරිසරයක වෘත්තියෙහි නියැලීමට සැලසීම, සමාජ කටයුතුවලදී සෞඛ්‍ය සම්පන්න මානසික තත්වයක් පවත්වා ගැනීමට පරිසරය හා අන්‍යෝන්‍ය අවබෝධය සලසාදීම අත්‍යාවශ්‍යය. වර්තමානයේ ජනතාව මහමඟ විවිධ පීඩාවන්ට ලක්වීම හා ගෘහමය අර්බුද විසින් මානසික රෝගාබාධ තත්වයට පත්ව සිටිති. රැකියාව, ප්‍රවාහනය, විවේකය ආදි වෙනත් කාරණා හා මේවා බැඳී පවතියි. එනිසා සමස්තයක් ලෙසින් සමාජවාදය ජන ජීවිතය යහපත් කිරීම සඳහා ආර්ථික ක්‍රමයේම කරනු ලබන වෙනස මඟින් රෝග වැළකෙන හා වළක්වාගත හැකි ආර්ථික පරිසරයක් සකසා දෙනු ලබයි.

කෙසේ වුවද යහපත් සෞඛ්‍යයක් සඳහා සමාජවාදි රාජ්‍යයන් කරනු ලබන කටයුතුවලදී රෝහල, සෞඛ්‍ය මධ්‍යස්ථානය හා මහජන සෞඛ්‍ය සේවාවන් පමණක් නොව පාසල, රැකියා ස්ථානයද වෙනත් ජනතාව හමුවන පොදු ස්ථානද මේ සඳහා යොදවා ගනු ලබයි. රෝග වැළැක්වීම ඉතා සැලැස්මානුකූලව හා පැතුරුනු ස්වභාවයෙන් සමස්ත සමාජය තුළ තහවුරු කිරිමෙන් පසුව සැබවින්ම ප්‍රතිකාර ගන්නන් සංඛ්‍යාත්මකව අඩුවේ. ඉන් රෝගීන් තදබදවීම වැළකේ. ජාතික ධනයද ඉතිරිවේ. තවද වෘත්තියෙහි නියැලෙන ස්ථානයේදීම නිශ්චිත කාල වකවානුවකට වරක් පුද්ගලයන් පරීක්ෂා කිරීමෙන් ඔවුන්ගේ සෞඛ්‍ය තත්වය අධීක්ෂණය වීමක් සිදුවේ. සැබවින්ම මෙයින් අදහස් වන්නේ සමාජවාදි රජය ජනතාව රැකබලා ගැනීමට බැදී සිටිමයි. ධනවාදය තුළ එසේ නොවේ. අඩුම වශයෙන් රෝහල තුළ ප්‍රධාන අවධානය යොමු විය යුත්තේ රෝගියාටය යන්න පවා නොසැලකේ. අඩුම අවධානය රෝගියා කෙරෙහිය. අඩුම අයිතිවාසිකම් ඇත්තේද රෝගියාටය.

හදිසි අනතුරු වැළැක්වීම වැනි කරුණුවලදී එය ප්‍රවාහනය අර්බුදය විසඳීම, ජනතාවගේ විනය හා ආකල්ප සැකසීම, සමාජයේ පෞද්ගලික තරඟය ඉවත් කිරීම වැනි කරුණු හා ඒකාබද්ධවේ. ලිංගික ප්‍රශ්න, ලිංගික රෝග ආදිය වැළැක්වීමේදී ඒ පිළිබඳ අවබෝධය, ආකල්ප වෙනස් කිරීම, සමාජ හා පවුල් අර්බුද වැළැක්වීම, පුද්ගල පෞරුෂයන්ගේ ශක්තිමත් භාවය, යහපත් මානසික තත්වය ආදිය වැදගත්වේ. එනිසා සෞඛ්‍ය ප්‍රශ්නය තවත් බොහෝ පාර්ශවයන් හා බැඳී පවතින බව හා සෞඛ්‍යයට සමාජයේ අනෙකුත් ගැටලු අදාළ වන්නේය යන මූලධර්මය මත සමාජවාදි සැලසුම් සකස්වේ.

සියල්ල සංයුක්තව සළකා බලන විට සමාජවාදය තුළ සෞඛ්‍යය යන්න හුදකලා මාතෘකාවක් නොවේ සමස්ත ජන ජිවිතය හා බැඳුනු සමාජ ආර්ථික හා අධ්‍යාත්මක කාර්යයකි. මරණයට සහ වේදනාවට ඇති බිය විසින් සේවාවක් ලෙස උපකාරයක් සෞඛ්‍ය තුළ නොමැති විට අසරණ වන ජනතාව හිඟාකා උපයාගෙන හෝ සෞඛ්‍ය සේවා මිලට ගන්නට පෙළඹේ. එනිසා යහපත් සෞඛ්‍ය තත්වයක් ඇති කිරිම තුළ සෞඛය යන්න වෙළඳ භාණ්ඩයක තත්වයෙන් මුදවාගත යුතුය. සෞඛ්‍ය සේවය රෝග වැළැක්වීමේ හා ප්‍රතිකාරයේදී ජනතා සේවාවක්ම වන්නට නම් සෞඛ්‍ය සේවකයින්ගේ ජීවිතයද යහපත් විය යුතුය. එය යළි වැටුප්, වෘත්තීය පහසුකම් ආදිය මත බැඳේ. සමාජවාදය තුළ සෞඛ්‍ය ප්‍රශ්නය විසඳන්නේ අනෙකුත් සමස්ත සමාජ ආර්ථික ගැටලු සමඟ එකට ගෙනය. ඒ එකිනෙක අන්‍යොන්‍යව සලකමින්ය. සමස්ත සමාජ අර්බුදයේ විසඳීම තුළමය.

ඩී. එච්. වික්‍රමසිංහ

ධනවාදි රෝගයන්ට සමාජවාදි ප්‍රතිකාර