අධ්‍යාපනය, ශික්ෂණය හා සමාජවාදය

SHARE

සමාජ ආර්ථික ජීවිතයේ කටයුතු වලදී මිනිසාගේ යහපත අරමුණු කොට පවතින සමාජවාදි ප්‍රතිපත්ති ගණනාවක් පිළිබඳව අපි දැනටමත් කථා කොට ඇත්තෙමු. අද අපි එම සාකච්ඡාව යොමුකරන්නේ අධ්‍යාපනය යන්න වෙතටය. පළමුව අධ්‍යාපනය යන්න හඳුනා ගැනීම වැදගත්ය. දෙවනුව ධනවාදය තුළ අධ්‍යාපනයට හිමිතැන වටහා ගත යුතුය. තෙවනුව අධ්‍යාපනය සම්බන්ධ සමාජවාදි ප්‍රතිපත්තිය වටහා ගත යුතුය.

මිනිසාගේ බිහිවීම යනු පසු ග්‍රාත්‍රා වලට සංචරන කාර්යය පැවරීමට සිදුවීමද, සෘජු ගමනට හැඩගැසීමද, එනිසා දෑත නිදහස්ව හැසිරවීමේ හැකියාව ලැබීමද, ශ්‍රමය වගුරු වන්නෙකු බවට පත්වීමද, අත්දැකීම් බහුල වීමට අනුයාතව මොළය නම් සිතන ඉන්ද්‍රියයේ වර්ධනයද, අදහස් හුවමාරු කරගැනීමේ අවශ්‍යතාවය විසින් භාෂණය නම් සන්නිවේදන මාධ්‍ය වර්ධනයවීමද යන සියල්ල පරිණාමීයව හා සංයුක්තව සිදුවීමයි. එනිසා මිනිසාට නිශ්චිත උපන්දිනයක් නැත. ඇත්තේ ක්‍රමික පිම්මක හා ක්ෂණික පිම්මක ආකාරයෙන් වූ පරිණාමීය පරිච්ඡේදයකි. මෙතැන් සිට මිනිසා යනු නිෂ්පාදන කාර්යය පදනම්ව සාමුහික හැසිරීමකට හැඩගැසුණු සත්වයෙකි. සමාජීය ජීවිතයක් තුළට වන් එකම සත්වයාය. එනිසා මිනිසා ශ්‍රම ක්‍රියාකාරිත්වය පදනම්ව සකස් වූ මානුෂිකත්වය නම් ගූණයෙන් යුත් අන් සියළු සතුන්ගෙන් දැවැන්ත වෙනසක් අත්පත් කරගත් කෙනෙකු විය.
අධ්‍යාපනය යන්න අවශ්‍යතාවයක් වන්නේ මින් පසුවය. අඛණ්ඩව මිනිසා තම ජීවන පැවැත්මෙන් ලබාගන්නා අත්දැකීම් එකිනෙකාට හුවමාරු කරගැනීමේ හා ඉදිරි පරම්පරාවලට ගෙනයාමේ අවශ්‍යතාවයෙන් පෙළෙන්නට විය. මානව සමාජයේ පැවැත්ම උදෙසා එය අත්‍යාවශ්‍ය විය. නමුත් මෙය නිශ්චිත ශ්‍රම කටයුත්තක් ලෙස ආයතන ගත එකක් වූයේ නැත. හේතුව පරම්පරාවෙන් පරම්පරාවට ශ්‍රම කාර්යයේදීම නව පරපුරට එම අත්දැකීම් උරුම කරදෙන වගකීමක් හා උරුම කරගන්නා අවශ්‍යතාවයක් බවට එය පත් වීමය. “අධ්‍යාපනය ” යන්න පුළුල් සංකල්පයක් බවට පත් වන්නට තව බොහෝ කල් ගත විය. අත්දැකීම් පරාසය පුළුල් වෙත්ම එය වෙනම විෂය ධාරාවක් ලෙසද, ඒ සඳහා වැය වන සමාජ ශ්‍රමයක්ද හැඩගැසෙන්නට විය. පංති සමාජය බිහිවීමත් සමඟම විවිධ චින්තකයින් වටා ගුරුකුල ලෙසින් ගොනුවූ පිරිස් විසින් පවත්වාගෙන යනු ලබන අධ්‍යාපන ක්‍රියාකාරිත්වයක් පසුව ඇති විය.

අධ්‍යාපනය යන සංකල්පය වඩාත් පුළුල් වෙමින් සහ විධිමත්ව සමාජගත කිරීමක් වන්නේ ධනේශ්වර ක්‍රමය බිහිවීමත් සමඟය. එහි විධිමත් බව යනු ධනවාදයේ අවශ්‍යතාවය හා පැවැත්ම අරමුණු කොට සකස් වූවකි. ඉගැන්වීමේ අරමුණම ධනේශ්වර ප්‍රාග්ධනය වර්ධනය කරනසේ පුහුණු කරන ලද ශ්‍රමිකයින් සූදානම් කිරීම සහ පවතින රාජ්‍ය පවත්වා ගැනීමට අවශ්‍ය ප්‍රූර්ණ කාලීන සේවක පිරිසක් පුහුණු කරගැනීමය. ඒ අනුව ධනේශ්වර අධ්‍යාපනය පොදු අවශ්‍යතාවයක්සේ පෙනී සිටියද එහි අවශ්‍යතාවයන්ගේ ප්‍රමාණය ධනපති අවශ්‍යතාවයන් සමඟ ඉහළ පහළ යයි. එනිසාම පුහුණු කරන ලද රැකියා වියුක්තික සේවක පිරිසක් නිරන්තරයෙන්ම ධනවාදය තුළ දක්නට හැකිය. ඒ අමතර පිරිස වෘත්තිය කේවල් කිරීම් වලට එරෙහිව ආදේශකයින් වශයෙන් පවත්වා ගනියි. මේ නිසාම අධ්‍යාපනය යන්න රැකියාව පිණිස වන්නක් යැයි ධනේශ්වර මතය වේ. වර්තමානයේ ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරු, අගමැතිවරු, ඇමතිවරු ප්‍රසිද්ධ වේදිකාවේ පවසන්නේ බුද්ධිය සඳහා නොව රැකියා මූලික කොට අධ්‍යාපනය ලැබිය යුතු බවයි.

රැකියා මූලික අධ්‍යාපනය යනු ධනවාදය නිමවා ඇති රැකියා වෙළඳපොළ එනම් ශ්‍රම වෙළඳපොළ තුළ වන ඉල්ලුම හා සැපයුම අනුව අධ්‍යාපන අරමුණද විචලනය වීමට ඉඩ සැළසිමයි. තම දක්ෂතාවය, රුචිකත්වය ආදිය මෙහිදී සැලකෙන්නේ නැත. සීනි බෝල ඉල්ලුම ඉහළ යන විට සීනි බෝල පැක්ටරි වැඩි වන්නා සේ වානිජ්‍යය විෂයට ඉල්ලුම වැඩි නම් ඒ නිශ්චිත මොහොතේ එයට වෙළඳපොළ වටිනාකම වැඩි කරයි. එසේම ශ්‍රම කාර්යයෙහි සමාජ ( භෞතික හා මානසික ) වරප්‍රසාද වැඩිකම මත විෂය ධාරාව තෝරාගනු ලබයි. එනිසා අධ්‍යාපනය යනු ධනේශ්වරය තුළ තවත් වෙළඳ භාණ්ඩයකි.

සමාජවාදි අධ්‍යාපන ප්‍රතිපත්තිය මෙයට මුළු මනින්ම විකල්පයකි. එම අධ්‍යාපන ප්‍රතිපත්තිය විසින් වඩාත් අවධානයට ලක් කරනු ලබන කරුණු කිහිපයක් අප විමසා බලමු.


1. අධ්‍යාපනය සමාජ කාර්යයකි.

සමාජවාදය තුළ වන අධ්‍යාපනයේ දී ගුණාත්මකව වර්ධනය වන්නේ සමාජ ශ්‍රමයයි. විවිධ ශ්‍රම විභජනයන් හා විෂමතාවයන් තුළ සංකීර්ණ හා විවිධත්වයකට පත් පුද්ගල ශ්‍රමය ක්‍රමයෙන් ශ්‍රම විභජනයේ වෙනස්කම් අඩුකරලමින් හා එහි වන විෂමතාවයන් අඩුකරලමින් සාමාන්‍ය මානුෂීය ක්‍රියාකාරිත්වයක් බවට එසවීම සමාජවාදයේ අරමුණයි. එවන් ගුණාත්මක පුද්ගල ශ්‍රමයන් සමස්තය එක්ව සමාජ ශ්‍රමය සමන්විත කරනු ලබන අතර එම සාමුහික සමාජ ශ්‍රමය විසින් සමාජ ධනය නිමවමින් සමාජ ජීවිතය වඩාත් පහසු සහ දියුණු තත්වයට පත් කරනු ලබයි. අවසානයේ කොමියුනිස්ට් ශ්‍රමය යනු නිශ්චිත වර්ගයක නොවන, ඕනෑම ශ්‍රම කාර්යයකට හුරුකළ ශ්‍රමයක් බවට පත් කරයි. එනම් ධනවාදය තුළ වෛද්‍යවරයාද, ඉංජිනේරුවාද, කාර්මිකයාද, විද්‍යාඥයාද ආදි වශයෙන් වන ශ්‍රමය එකක් බවට පත්වේ. එනම් වෛද්‍ය කර්මයද, ඉංජිනේරු ශිල්පයද, කාර්මික ශිල්පයද, විද්‍යාත්මක පර්යේෂණ කාර්යයද පොදු පුද්ගල හැකියාවන් බවට පත්වීමයි. ශ්‍රමය සැපයිම සමාජ අවශ්‍යතාවය තිබෙන ස්ථානය හා අවස්ථාව අනුව ස්වෙච්ඡාවෙන් සපයන තත්වයට පත්වීමයි. මේ සඳහා ක්‍රමයෙන් පුද්ගලයාගේ අධ්‍යාපනය පෞද්ගලිකත්වයෙන් මුදවාලිය යුතුය. මෙහිදි සමාජ සංස්කෘතියේ හා සදාචාරයේද, සමාජ විඥානයේද මහත් පරිවර්තනයක් කළ යුතුය. ඒ සඳහා වන විෂය නිර්දේශයන් පවා සකස් කළ යුතුවේ. ඊට අනුයාතව ආර්ථිකයේ වර්ධනය ඔස්සේ සාමූහික පැවැත්ම තහවුරු කළ යුතුය. ආර්ථික ජීවිතය හා අධ්‍යාත්මික ජීවිතය සමාජවාදය තුළ එකිනෙක පෝෂණය කරමින් හා පොළඹවමින් දයලෙක්තිකව වර්ධනයවේ.

2. අධ්‍යාපනය වෙළඳ භාණ්ඩයක තත්වයෙන් මුදවා ගැනීම

ධනවාදය තුළ අධ්‍යාපනය වෙළඳ භාණ්ඩයක් බැවින් එයට හිමි නිශ්චිත මූල්‍ය අගයක් හෙවත් මිලක්ද ඇත. එය විසින් මෙය පුද්ගල පරිභෝජන භාණ්ඩයක් බවට පත් කරනු ලබයි. පුද්ගල ප්‍රතිලාභ නොමැත්තේ නම් ශ්‍රමය සමාජ කාර්යයෙහි නොයොදවයි. එසේම අධ්‍යාපනය ලබාදීමද මිලක් ලබාගනිමින් කරනු ලබන පෞද්ගලික කටයුත්තක් බවට පත් කරයි. එහි අවසාන ප්‍රතිපලය හුදු වැටුපක් සඳහා රැකියාවක් ඉලක්ක කොටගත් අධ්‍යාපනය හා විභාග මූලික අධ්‍යාපනයයි. අවසානයේ ඉන් නිම වන අසීමිත තරඟය හමුවේ බුද්ධිමය ක්‍රියාකාරිත්වයට ඉඩ අහුරමින්, ලකුණු ඉලක්ක කොට පිළිතුරු එකතු කරන සිල්ලර මිලදී ගන්නෙකු බවට ශිෂ්‍යයා පත්කරයි. ලකුණු සඳහාම පිළිතුරු විකුණන්නෙකු බවට ගුරුවරයා පත්වේ. මෙම වෙළඳපොලළ ක්‍රියාකාරිත්වය අධ්‍යාපනය යනුවෙන් හඳුන්වයි. අවසානයේ ධනවාදය තුළ නිදහස් යයි සම්මත අධ්‍යාපන ආයතන පද්ධතියක් ඇතත් අධ්‍යාපනයට මිලක් මිස නිදහසක් නැත. සමාජවාදය අධ්‍යාපනයේ මෙම තත්වය වෙනස් කොට හැකියාව, කෘතිම හා බලහත්කාරි නොවන කැමැත්ත ආදිය මත අධ්‍යාපනය, සැබෑ අධ්‍යනයක් හා පුහුණුවක් බවට පත් කරයි. එවිට අධ්‍යාපනය නිශ්චිත සමාජ කාර්යයකට පුහුණු කරන ලද එනම් ශික්ෂණය කරන ලද එකක් බවට පත්වේ.

3. අධ්‍යාපනය වගකීමක් හා අයිතිවාසිකමකි.

සමාජවාදය තුළ ඕනෑම පුරවැසියෙකුට ලිංග භේදයකින්, වයස් සීමාවකින්, රෝගී හෝ නිරෝගි වැනි කුමන හෝ වෙනස් කමකින් තොරව ඕනෑම රටේ පවතින භාෂා මාධ්‍යයකින් හා පොදු ජාත්‍යන්තර මාධ්‍යයකින් අධ්‍යාපනය, අධ්‍යයනය හා පර්යේෂණයේ අවස්ථාව අයිතියක් ලෙස සැලකේ. එසේම ඕනැම පුරවැසියකු තමන් විසින් සමාජයට ඉටු කළ යුතු සමාජ වගකීම හෙවත් ශ්‍රම දායකත්වය වෙනුවෙන් තම ශ්‍රමය ගුණාත්මකව වර්ධනය කරනු වස් අධ්‍යාපනයේ නියලීම පුරවැසි වගකීමක්වේ. කාන්තාවන් වැඩි දුර ඉගෙන ගන්නේ කුමකටද ආදි ධනේශ්වර පසුගාමි ආකල්ප අධ්‍යාපනය සම්බන්ධයෙන් සමාජවාදය තුළ නොපවතින්නකි. අධ්‍යාපනය සඳහා සියල්ලන් සතු අයිතිය මෙන්ම නිදහසද තහවුරු කරනු ලබන බැවින් සැබවින්ම අධ්‍යාපනයේ නිදහස් බව පවතින්නේ සමාජවාදය තුළය.

4. අධ්‍යාපන අවශ්‍යතාවයන්ගේ විෂමතාවය දුරලීම

සමාජවාදය ආරම්භ වන්නේම සමාජවිද්‍යාව, දේශපාලන ආර්ථික විද්‍යාව, දර්ශනවාදය ආදි විෂයන් පිළිබඳ ධනේශ්වර අධිනිශ්චය කිරීම් පරාජය කරන අරගලයක් සමගය. ඒ බලය ගැනීමට පෙර සිටම නිර්ධන පංති පක්ෂය මැදිහත්ව කරනු ලබන මතවාදි අරගලය තුළින්ය. එනම් සමාජ සංවර්ධනය පිළිබඳ සමාජ විඥානය පුළුල් කරමින්ය. සමාජවාදි රාජ්‍ය දැනුවත් භාවයෙන්ම සමාජයේ වන විෂමතාවයන් දුරලීමේ පොදු මධ්‍යගත සැලැස්ම තුළට අධ්‍යාපනයද ඇතුලත් කරයි. ගම සහ නගරය අතර වෙනස, ජාතිකත්වයන් අතර වන වෙනස්කම්, ලිංගය අනුව වන වෙනස්කම්, ආර්ථික හැකියාව අතර වන වෙනස්කම් අහෝසි කිරීම සමාජවාදයේ පළමු කටයුත්තයි. එහිදී සමාජ නිෂ්පාදනය පුළුල් කිරීමට අනුලෝමව අධ්‍යාපනයේ විෂමතා දුරලීම සඳහා ආර්ථික, සමාජයීය හා අධ්‍යාත්මික උපකාරයන් කොන්දේසි විරහිතව සමාජවාදි රාජ්‍ය මගින් වගකීමක් ලෙස ඉටු කරනු ලබයි. එහි ආරම්භක පියවරක් ලෙසින් ධනවාදයේ විෂමතාවයන් නිසා අසාධාරණයට ලක්වූ සහ සමාජවාදය ගොඩනැගීමේදී තම දායකත්වය සැපයීමට එය බාධාවක් වන සමාජ පිරිස් වලට මඟ හැරුණු හෝ නොලැබුණු අවම අධ්‍යාපනයෙන් ආරම්භ කොට ඔවුන්ගේ අධ්‍යාපනය ඉහළට ඔසවා තැබීම කරයි. වැඩිහිටි අධ්‍යාපනය ආදිය මෙහිදි නිදර්ශනයට ගත හැකිය. පංති කාමරය, එළිමහන් ස්ථාන, ප්‍රජාශාලාව, දේශන ශාලාව ආදි ඕනෑම ස්ථානයක් මෙන්ම ගුරුවරයා ඉගෙන ගන්නා පුද්ගලයා ඉදිරියට ගොස් ඉගැන්වීමේ සිට ලිඛිත මාධ්‍ය, විද්‍යුත් නාළිකා, සංයුක්ත තැටි, අන්තර්ජාලය වැනි සියලු මාධ්‍යයන් මේ සඳහා යොදා ගැනේ.

5. නවීන හා අධ්‍යාපන මනෝ විද්‍යානුකූලව දෙනු ලබන අධ්‍යාපනය.

සරල තත්වයන්ගේ සිට ඉතා නවීන අධ්‍යාපන ක්‍රමයන් හා උපාංගයන් ඇසුරින් අධ්‍යාපනය දියුණු කළ හැකිය. එය මේ වන විටත් වෙනත් විකෘතීන් සඳහා යෙදවෙන අන්තර්ජාලය, සමාජ ජාල වෙබ් අඩවි හා තවදුරටත් දියුණු කරන සයිබර් උපාංග මඟින් මෙන්ම ඒවා යටත් කොට සිටින බහුජාතික සමාගම් ආදිපත්‍යයට විකල්පයන් ඉදිරිපත් කරමින් අධ්‍යාපනයේදී දායක කාර්යය හා සේවා ලාභි කාර්ය යන දෙකම සමස්ත ජනතාව තුළින් ඉටුවන සංවාදශීලි අධ්‍යයනයකට හුරු කිරීම අධ්‍යාපනයේ අවසන් ඉලක්කයයි. මෙය ස්වයං අධ්‍යයනය දක්වා ඉහළ දැමීම තුළ අධ්‍යයනය යන්න ජීවන පැවැත්මක් බවට පත්වේ. අධ්‍යයන කාර්යයන් අගයන යල් පැන ගිය විභාග ක්‍රමයන් වෙනුවට දියුණු අධ්‍යාපන මනෝවිද්‍යාත්මක විධි ක්‍රමයන් මඟින් එම ඇගයීම් කිරීමද මෙයට අයත්ය. මෙතෙක් මිනිසා ලබා සිටින සියලු අධ්‍යාපන හා තාක්ෂණ ජයග්‍රහනයන් සමාජ සතු කිරීම සමාජවාදයේ පරම අභිලාෂයයි.
මෙලෙසින් අධ්‍යාපනය පිළිබඳව ප්‍රතිපත්තීන් මුළු මනින්ම ධනවාදයට විකල්පයන් ලෙස ක්‍රියාවට නන්වමින් අධ්‍යාපනය හා අධ්‍යයනය යන්න සමාජයේ සාමාන්‍යකරණයක් කිරීම තුළින් එහි විෂමතාවයද එය එක් නිල පැළැන්තියක් සතුවීමද වලක්වමින් පළමුව නිශ්චිත සමාජවාදි රාජය තුළද දෙවනුව සමස්ත මානව වර්ගයා තුළද එය තහවුරු කරයි.

ඩී. එච්. වික්‍රමසිංහ

අධ්‍යාපනය, ශික්ෂණය හා සමාජවාදය