සදාචාරය, සමාජවාදී ඇසින්

SHARE

Share on facebook
Share on google
Share on twitter
Share on linkedin

සදාචාරය යන්න නිරන්තරයෙන් විවාද සම්පන්න මාතෘකාවක් ලෙස පැන නැඟෙන්නකි. එය මිනිසා විසින් නොවෙනස්ව පරපුරෙන් පරපුරට රැගෙන යන්නක් යැයි එක් විවාදයක් පවතී. එයට එරෙහි මතයක් ලෙස සදාචාරය යනු සමාජ සංවර්ධනයට අනුරූපීව වර්ධනය වන්නක් යැයි පැවසෙයි. සදාචාරය යන්න වටහා ගැනීමට නම් පළමුව එහි නිර්වචනය සළකා බැලිය යුතුය. ඓතිහාසික භෞතිකවාදට අනුව “සදාචාරය යනු යම් නිශ්චිත සමාජ ක්‍රමයකට අදාළව යහපත අයහපත, හොද නරක, සාධාරණය අසාධාරණය ආදිය පිළිබඳව වන සම්මතයන් හෙවත් රීති සමස්තයයි.” මේ අනුව මෙම සම්මතයන් වෙනස් සමාජ ක්‍රමයන් හිදී වෙනස්වීම අනිවාර්ය කොට පවතී. එසේ වන්නේ එක් එක් සමාජ ආර්ථික ක්‍රමයන්ගේ පැවැත්මේ අනිවාර්ය කොන්දේසි වෙනස් වන නිසාය. ඒ අනුව මාක්ස් ලෙනින්වාදය සදාචාරය යනු ස්ථිතික දෙයක් නොව ගතික දෙයක් ලෙසින් සලකයි. වෙනස් නොවන දෙයක් ලෙසින් නොව වෙනස් වන දෙයක් ලෙසින් සලකයි. එහෙත් පංති සමාජය එය එසේ සලකන්නේ නැත.


සදාචාර මට්ටම්වල වෙනස නිර්ණය වන්නේ සමාජ ආර්ථික ක්‍රමයේ දියුණුවේ මට්ටම, පරිසර සාධක හා සමාජ ආර්ථික සාධක මතය. කෙනෙකුගේ ඇඳුම සදාචාරය අනුව දිගු වන්නේ හෝ කෙටි වන්නේ මේ අනුවය. එය සදාචාරාත්මකව බාරගනු ලබන්නේ හෝ නොවන්නේද ඉහත සාධක අනුවය.

සදාචාරය ගෝත්‍රික ලාංඡනයක් නොවේ

නව සමාජයක් බිහිවන ඕනෑම සමාජ පෙරළියකදී සදාචාර සීමාවන්ද යළි ප්‍රශ්න කිරීම ස්වභාවිකය. හේතුව පැරැණි සමාජ මතවාදයන් නියෝජනය කරන්නේ ආචීර්ණ කල්පික සදාචාරයන් නිසාය. පැරැණි සමාජය තුළම එහි අවසාන අවධියේ මෙම ප්‍රශ්න කිරීම් පැන නඟියි. මේවා සදාචාර විනාශයන් ලෙසින් සලකන්නට බිඳවැටීමට නියමිත සමාජය සැම විටම අසාර්ථක උත්සාහයක නිරතවේ. සදාචාර පිරිහීම් යනු සමාජ සංවර්ධනයට අනුරූපීව පැවතිය යුතු සදාචාර වටිනාකම් පිළිබඳ මානයන් කඩාවැටීමයි. මානව සංවර්ධනයේ ඉදිරිය අනුව සදාචාරය පිළිබඳ දැක්ම පුළුල්වීම සදාචාර පිරිහීමක් නොවේ. එම දැක්ම අදාළ තත්වයට වඩා පටුවීම සදාචාර පිරිහීමයි. මරණ දණ්ඩනය, ප්‍රජාතන්ත්‍රවාදය, ජාතිවාදය, ආදරය, ලිංගිකත්වය, විප්ලවය වැනි ඕනැම කාරණයක් සම්බන්ධයෙන් මෙය අදාළ කළ හැකිය. පවතින සමාජ දෘෂ්ටිය තුළ ඉන් ඉදිරියට සිතීමට එරෙහි චින්තන බැරියර් නිසාම සදාචාරය යන්න ගසක බැඳ කෙවිටිලන තත්වයට පත්කොට ඇත. පොදු දේපළ ක්‍රමයක වැඩකිරිම යන්න පිළිබඳව පවතින්නේ අගය කිරීමකි. නමුත් ධනපති ක්‍රමය තුළ වැඩ නොකර අනුන්ගේ ශ්‍රමය සූරාකන්නා අගය කෙරෙයි. පවතින අධ්‍යාපන ක්‍රමයට එරෙහි සිසුවකු පවතින සදාචාරයට පටහැනි හිතුවක්කාරයෙකි. ඒ පවතින සදාචාර සීමාවයි. ලිංගිකත්වය වැනි සංකීර්ණ මාතෘකා සම්බන්ධයෙන් පවතින්නේ ඛේදනීයම තත්වයකි. පුරුෂාධිපත්‍යය සහිත සමාජයක කාන්තාවගේ සදාචාරය මනිනු ලබන්නේද කෙටි මිමි වලින්ය. ඉන් නොනැවත සදාචාරය යන්න පුරාතන පෙට්ටගමක බහා යතුරු ලන්නට තරම් ගතානුගතිකත්වය ආධානග්‍රාහීය. ක්‍රෑරය. ජාතිකත්වය, කුලය, ගම, නගරය සහ අපේකම ආදි මඩ වලවල්වලට බැස එහිම ගිලෙන්න යැයි අපේ කමට බලකරන්නේ සදාචාරය ග්‍රෝතික ලාංචනයක්ව ඇති නිසාය. කෙනෙකු තම සමීපතමයාට පමණක් අතිශය ආදරය කිරීම (පෞද්ගළික භාණ්ඩයකට මෙන්) පෞද්ගළික දේපළ ක්‍රමයක ආදරයයි. ඔවුනට මානව වර්ගයාට ආදරය කිරීමේ දියුණුතම සදාචාරය වැටහෙන්නේ නැත. එය වැඩකට නැති වැඩකි.

දියුණුතම සදාචාරය හමු වන්නේ කොමියුනිස්ට් ක්‍රමයක දී ය

ධනවාදයට සාපේක්ෂව සමාජවාදය තුළ සදාචාරය අතිශය ඉදිරිගාමීය. සමාජවාදී සංක්‍රමණීය අවධියට සාපේක්ෂව කොමියුනිස්ට් ක්‍රමයේ ඉහළ අවධියේ සදාචාරය වඩාත් ඉදිරිගාමීය. එහෙත්, අපට එම දියුණු මානව සමාජයේ සදාචාරය කුමන අයුරින් පෝෂණයවේදැයි කිව නොහැක. එංගල්ස් විසින් පැවසූ ලෙසින්ම අපට පැවසිය හැක්කේ පවතින සදාචාරයෙන් ඒ වන විට වෙනස් වන සදාචාර අංගයන් පිළිබඳව පමණි. එය අප පැවසුවද නැතිවද, කෙනෙකු පිළිගත්තද නැතිවද අනිවාර්යයෙන්ම අනාගත සමාජයේ සිදුවන්නකි. නිදර්ශනයක් ලෙසින් පුරුෂාධිපත්‍යයට යටත් කරන ලද ඒක භාර්යා වෘතය (එක බිරිඳක් හා ස්වාමියකු ලෙස පවතින විවාහ ක්‍රමය) උත්තරීතරම විවාහ ක්‍රමය යැයි සලකන සදාචාරය ගන්න. සමාවන්න, සදාචාර මූලධර්මවාදියකු මෙම වැකියෙන්ම උමතුභාවයට පත් විය හැකිය. කාන්තාවක් කැමැත්ත නම් යම් ආර්ථික, සදාචාරමය හෝ සමාජමය පෙළඹවීම මත යම් පුද්ගලයෙකු හා නිල වශයෙන් විවාහයට පත් කිරීම මෙහි ආරම්භයයි. ඉන් පසු අදහස් ගැලපුනද, නැතිවුවද, කෙතරම් පීඩාවට පත් වුවද, ඇයට එම විවාහ බන්ධනය සම්බන්ධයෙන් ස්වාධීනව සිතිය නොහැකිය. එපමණක් නොව තමන් නිරන්තරව ආර්ථික වශයෙන්, සමාජයීය වශයෙන්, මානසික වශයෙන් මෙම විවාහය හරහා පීඩාවට පත් වුවද විවිධ සදාචාර සීමාවන් බලකොට සිටින්නේ මරණය දක්වා එම සිපිරිගෙය තුළ වසන ලෙසය. කෙසේ හෝ ඉන් මිදුණද මෙම සමාජය තුළ ඇයට හව්හරණක් නැතිකොට අසරණ භාවයට පත් කොට තබයි. මෙම විවාහ ක්‍රමය අනාගත සමාජයේදී වඩා විවෘත, මානුෂික හා ආත්මාර්තයෙන් තොර එකක් වනු ඇත. විවාහය සම්බන්ධ සදාචාර මිමි වෙනස් වන විට ඒ හා බැඳුණු සංස්කෘතික අංගයන්ද වෙනස් වනු ඇත. ලිංගිකත්වය පිළිබඳ අවබෝධයන්ද වෙනස් වනු ඇත. එහෙත් ඒ කිසිවක් යම් චිරාගත සම්ප්‍රදායන් තුළ සිරගත කරනු වෙනුවට පුළුල් සදාචාර විශ්වයක් කරා පැතිර යනු ඇත. එයට අනුව මාතෘත්වය, පීතෘත්වය, දරුකම, පවුල ආදිය වෙනස් වනු ඇත. ඒවා ආත්මාර්ථයෙන් මිඳුණු සමාජයේ පොදු හැඟීම් හා තත්වයන් බවට පත් වනු ඇත. පවුල පොදු මිනිස් පවුල දක්වා පුළුල් වනු ඇත. පවුලෙන් යම් රැකවරණයක් වීනම් එය සමස්ත සමාජයෙන් පිරිමැසෙනු ඇත. කෙනෙකුට යම් අගතියක් වේ නම් එය සමාජයේ ස්වේච්ඡා ඉදිරිපත් වීමකින් වළකාලනු ඇත.


මේ අනුව අපට පැවසිය හැක්කේ සදාචාරය යනු කෝදුවක් හෝ කෙවිටක් නොවන බවය. එය සමාජය හා ඉදිරියට යන සමාජ පැවැත්මේ එකඟතාවයන් සමූහයක්ය. එය හරි හෝ වැරැදි යන්න තීරණය වන්නේ අපගේ කැමැත්ත හෝ පුරුද්ද මත නොවේ. අපගෙන් පරිබාහිර සමාජ ආර්ථික හා පරිසර හේතු මතය. එබැවින් සදාචාරය යන්න නිවැරැදිව විග්‍රහ කළ හැක්කේ පුළුල් හා අනාගත සමාජය දකින මනසකට පමණි.

ඩී.එච්. වික්‍රමසිංහ

සදාචාරය, සමාජවාදී ඇසින්