සමාජවාදි ආර්ථිකයේ මධ්‍ය ලීවරය හා සමබරතාවය

SHARE

Share on facebook
Share on google
Share on twitter
Share on linkedin

සමාජවාදි ආර්ථික යන්ත්‍රය යනු අයාලේ දිව යන්නක් නොවේ. එය නිශ්චිත සැලැස්මක, මධ්‍යගත මෙහෙයුමක් යටතේ දිවයන්නකි. එපමණක් නොවේ, එය තම සමබරතාවය ඉතා සැලකිල්ලෙන් රැකගන්නා ආර්ථික ක්‍රමයකි. එනිසා ආර්ථිකයේ මෙහෙයුම අතින් එය ධනවාදයට හාත්පසින් වෙනස් ක්‍රියාන්විතයකි. එනිසා සමාජවාදි ආර්ථිකයේ අංගයන් හඳුනාගැනීමේ අවශ්‍යතාවයට පෙරාතුව සැලසුම් සහගත, මධ්‍යගත හා සමබර ආර්ථිකයක් යනුවෙන් සමාජවාදය අදහස් කරන්නේ කුමක්දැයි සරලව විමසා බැලිය යුතුය.

ධනවාදි ආර්ථිකය මෙහෙය වෙන්නේ තරගය මතය. වෙළඳපොළ නම් ආර්ථික තරග බිම මත එම ආර්ථිකය තම අරමුණ සපුරා ගනු ලබයි. ධනවාදි ආර්ථිකයේ ඒකායන අරමුණ ලාභයයි. ලාභය පසු පස ආර්ථිකයේ අහඹු ඔස්සේ ලුහුබැඳීම එහි ක්‍රියාන්විතයයි. වෙළඳපොළ තරගය සකසන බිමේ අයාලේ යමින් ලාභ ලුහුබඳින ධනවාදි ආර්ථිකය සැලසුම් කරන්නේ ප්‍රාග්ධන මෙහෙයුම් පමණි. ඒ තුළ පළමුව නිදහස් තරගයද පසුව අධිරාජ්‍යවාදි අවධියේදී ඒකාධිකාරි තරගයද දක්නට හැකි විය. එනිසා සමස්තයක් ලෙස ධනවාදි ආර්ථිකය අරාජිකය. එය එහි ජාති ලක්ෂණයකි.
ප්‍රජාතන්ත්‍රවාදි මධ්‍යගතභාවය යළිත් එයට ප්‍රතිපක්ෂව සමාජවාදය මධ්‍යගත සැලසුමක මෙහෙයැවේ. මෙහි මධ්‍යගත යන්නෙන් අදහස්වන්නේ ප්‍රජාතන්ත්‍රවාදි මධ්‍යගතවාදයමය. සංවිධාන ප්‍රතිපත්තියමය. සමාජවාදයට මධ්‍යගත සැලසුමක් ඇත. එය අත්තනෝමතිකව ආර්ථිකය මත පටවනු ලබන්නක් නොවේ. සමස්ත ආර්ථිකයේ විවිධ කේෂ්ත්‍රයන්ට ඇහුන්කම් දෙමින් සකස්කරනු ලබන පුළුල් සැලැස්මක මධ්‍යගත මෙහෙයුමකි. එම සියලු කේෂ්ත්‍රයන් තම දායකත්වයෙන් සකස් කරන ලද පොදු සැලැස්මට අනුව කටයුතු කිරීමට වගකීමෙන් බැඳී සිටියි. උදාහරණයක් ලෙස පරිභෝජන භාණ්ඩ කේෂ්ත්‍රය විසින් ආර්ථික සැලැස්මට තම සම්පත්ද අවශ්‍යතාවයන්ද එහි පවතින මට්ටමද සලකමින් සැලසුම් ඉදිරිපත් කරයි. ඒ අනුව එයට අදාළ ඇස්තමේන්තු සකස් කරයි. පරිභෝජන භාණ්ඩ කේෂ්ත්‍රයේ අනු ශාඛාවන්ද මෙයට දායකවේ. ඒ අනුව එයට අදාළ ඉදිරි ආර්ථික සැලසුම් සකස් කිරීමේදී ආර්ථිකයේ සියලුම අංශූන් සැලකිල්ලට ලක් වන අතර එහි මහා සැලැස්මට ඒ සියල්ල දායකවේ. මෙම සැලැස්ම මෙහෙය වෙන්නේ උත්තරීතර ආර්ථික මණ්ඩලයකින්ය. එහි අරමුණ වන්නේ ආර්ථික ක්‍රියාවලිය අරාජිකත්වයෙන් හා අන්ධභාවයෙන් ඉවතට ගැනිමයි. නිශ්චිත මෙහෙයුමක් ඔස්සේ ආර්ථිකයේ විවිධ පරිපථයන් පටලවා නොගනිමින් අනවශ්‍ය කාන්දුවීම් හා ලුහුගතවීම් වක්වාලීමයි. ආර්ථිකය නිශ්චිත ඉලක්කය වෙතට නිශ්චිත කාලපරිච්ඡේදයක රැගෙනයාමයි.

සැලසුම් සහගත ආර්ථිකය

සැලසුම් සහගත ආර්ථිකයක මූළික සැලැස්ම ප්‍රධාන අංශ දෙකක් ඔස්සේ විහිද යයි. ඒ නිෂ්පාදන මාධ්‍ය නිෂ්පාදනය හා පරිභෝජන භාණ්ඩ නිෂ්පාදනය යනුවෙන්ය. නිෂ්පාදන මාධ්‍ය නිෂ්පාදනය යනු ආර්ථිකයේ වේගවත් වර්ධනය උදෙසා වන අත්‍යවශ්‍ය සාධකයකි. රටක ආර්ථික වර්ධනය වේගවත් කිරිම සඳහා විද්‍යුත්කරණය වැනි යටිතල පහසුකම් වර්ධනය අත්‍යාවශ්‍යය. අමු ද්‍රව්‍ය වර්ධනය කරගත යුතුය. තවද නිෂ්පාදන ක්‍රියාවලියට අවශ්‍ය යන්ත්‍ර නිපදවිය යුතුය. මේ සඳහා විදුලි බලාගාර, මහා යන්ත්‍ර නිෂ්පාදනාගාර අවශ්‍යය. ඒ ඔස්සේ නව නිපයුම් කර්මාන්ත (නිමි භාණ්ඩ කර්මාන්ත) පුළුල් කළ යුතුය. මෙහිදී තාක්ෂණික දැනුම වර්ධනය උදෙසා විවිධ පර්යේෂණයන් මෙන්ම තාක්ෂණය ආනයනයද අවශ්‍යය. දේශීය ශිල්පීන් විදේශ පුහුණුවීම් හා අධ්‍යයනයන්ට යැවීමත්, විදේශීය පුහුණු තාක්ෂණය කොන්දේසි සහිතව ගෙන්වා ගැනීමත් අවශ්‍යය. සැබවින්ම මේ සියල්ල බැර කර්මාන්ත කේෂ්ත්‍රයට අයත්ය. ආර්ථික සැලැස්ම තුළ රටේ ද්‍රව්‍යමය සම්පත් හා ශ්‍රම සම්පත් පිළිබඳව ඇගයීමක් අවශ්‍යය. එසේම නිෂ්චිත කාලයකට අදාළව නිෂ්පාදන අවශ්‍යතා සැලකිල්ලට ලක් කළ යුතුය.දෙවනුව මෙම සැලසුම් සහගත ආර්ථික සැලැස්ම පරිභෝජන භාණ්ඩ නිෂ්පාදනය නම් ආර්ථික ශාඛාවද සැලසුම් කරයි. එය සමාජවාදි ශ්‍රම සම්පතෙහි වර්ධනය උදෙසාය. සමාජවාදි ජන ජීවිතය යහපත් කිරීම උදෙසාය. ආරම්භයේදී මෙය සුළු නිෂ්පාදනයේ සිට මහා කර්මාන්ත ශාලාවන් හි නිෂ්පාදනය දක්වා පුළුල් හා සංකීර්ණ කේෂ්ත්‍රයක දිව යයි. එහි අවසාන ඉලක්කය මහා යන්ත්‍ර හරහා එම ඉලක්කයන් සපුරාලීමයි. ආහාර නිෂ්පාදනයද අයත් වන්නේ මෙයටය. කෘෂිකර්මාන්තයේ දිසාව විය යුත්තේද යාන්ත්‍රිකකරණය හෙවත් මහා යන්ත්‍ර සූත්‍ර භාවිතයයි. ගමනාගමනය, සෞඛ්‍යය, වැනි කේෂ්ත්‍රයන්ද අයත් වන්නේ සැලැස්මේ මෙම කොටසටය.
ආර්ථිකය වර්ධනය හා ශක්තිමත්වීම ඉදිරියට ගෙන යනු ලබන අනෙක් ප්‍රධාන සාධකයක් වන්නේ ජනතාවගේ දැනුවත් භාවයයි. ඒ සඳහා ධනවාදි මතවාදයෙන් ජනතාව තුළ තහවුරු කොට ඇති පුරුදු පුහුණුවීම් වෙනස් කළ යුතුය. මෙය කල් ගන්නා සහ අසීරුතම කාර්යයකි. එහෙත් එය ජයගත හැකිය. මේ සඳහා සංස්කෘතිකමය පරිවර්තනයක්ද අවශ්‍යය. ජනතාවගේ සාක්ෂරතාවය ඉහළ නැංවිය යුතුය. එය පරිගණක සාක්ෂරතාවය දක්වා එසවිය යුතුය. කෘතිම හෝ බලහත්කාරී සංස්කෘතික පෙරළි ඇති කරනු වෙනුවට සමාජවාදි ආර්ථික දේහය වර්ධනයට අනුරූපීව සංස්කෘතිය ශක්තිමත් කළ යුතුය. එහි හදිසි කාර්යයක් ලෙස පැරැණි ධනවාදි මත පැරැදවීමේ මෙහෙයුමක් අවශ්‍යය. මහා ආර්ථික සැලැස්ම තුළ එම කාර්යයද අඩංගු විය යුතුය.

ධනවාදි ආර්ථික ලීවර සමාජවාදි අර්ථයෙන්

වැටුප්, අතිරික්ත වටිනාකම, ඉතිරිකිරීම්, මුදල්, වෙළඳපොළ වැනි ධනේශ්වර ආර්ථිකය හසුරුවන ලීවර සමාජවාදය තුළද භාවිතාවේ. එනිසා සමාජවාදයට එරෙහි මත හසුරුවන්නන් මෙය හුවා දක්වමින් පවසන්නේ සමාජවාදි ආර්ථිකය හා ධනවාදි ආර්ථිකය අතර වෙනසක් නොමැති බවය. නමුත් ඉහත වචනයන්හි ප්‍රකාශිත අර්ථයෙන් ඒවා ධනවාදී වචන හා සමාන නමුදු භාවිත අර්ථයෙන් සමාජවාදය තුළ මෙම ලීවරයන්ගේ කාර්ය භාරය ඉතා වෙනස්ය. ඒවා එකිනෙක කෙටියෙන් වටහා ගැනීම පහසුවක් වනු ඇත.

I. වැටුප්

වැටුප් යන්න සමාජවාදයේ සාධාරණ බෙදාහැරීමේ මාධ්‍යයක් වශයෙන් ධනවාදයට වෙනස්ව හැසිරෙන්නේ කෙසේදැයි අප මෙයට පෙර ලිපි වලින් විස්තර කොට ඇත්තෙමු. ඒ අනුව ධනවාදයේ සූරාකෑම වසන් කරන මාධ්‍යයක් ලෙස පැවැති වැටුප් සමාජවාදයේදී එය සාධාරණ ලෙස බෙදාහැරිමේ මාධ්‍යයක් ලෙසින් හැසිරවේ.


II. අතිරික්ත වටිනාකම

සමාජවාදි ආර්ථිකයේ අතිරික්ත වටිනාකම් බිහිකරයි. එහෙත් එය සමාජවාදි අතිරික්තයය. ධනවාදයේ මෙන් එය පෞද්ගලිකව ධනපතියකු විසින් හිමිකරගන්නේ නැත. සූරාකෑමක් නැත. එය සමාජවාදි සාමූහික ධනයකි. එය නැවත බෙදි යන්නේ නැවත නිෂ්පාදනයට, ආපදා වලට සහ වැටුප් සඳහාය. ඉන් සමාජවාදි ජීවිතය වඩාත් යහපත්වේ.


III. ඉතිරි කිරීම්

මින් අදහස් වන්නේ බැංකු තුළ කරනු ලබන ඉතිරි කිරීම්ය. සමාජවාදි රාජ්‍යය බැංකු පවරා ගනු ලබයි. ඒ මහා පරිමාන ධනපති ධනය සමාජ සන්තක කිරීම සඳහාය. තවද බැංකු හරහා සිදුවන මූල්‍ය මෙහෙයුම් සමාජවාදි ආර්ථික යන්ත්‍රයට අනුගත කරනු සඳහාය. සාමාන්‍ය ජනතාව තැන්පත් කර ඇති මුදල් එසේම පවතිනු ඇත. නමුත් සමාජවාදය තුළ බැංකු ගනුදෙනු විවෘත භාවයෙන් යුතු වනු ඇත. එනිසා සමාජවාදය තුළ සමාජවාදි බැංකු පවතිනු ඇත.


IV. මුදල්

එය තවදුරටත් ශ්‍රමය සූරාකෑමේ මාධ්‍යයක් නොවේ. ශ්‍රම ශක්තියට මිල නියම කරන්නක් නොවේ. සමස්ත ශ්‍රමයේ වටිනාකම මූල්‍යමය වශයෙන් ප්‍රකාශ කරන්නකි. මුදල් යනු සමාජවාදි ගනුදෙනු වල පහසුව සලසන හුවමාරු මාධ්‍යයකි. එය කිසි විටෙක අතිරික්ත වටිනාකම් ධනපතියන් අතර බෙදාගන්නා මාධ්‍යයක් නොවේ.

V. වෙළඳපොළ

සමාජවාදි වෙළඳපොළ යනු ජනතාවගේ පරිභෝජන අවශ්‍යතා ප්‍රකාශකරනු ලබන තොරතුරු මධ්‍යස්ථානයකි. එම අවශ්‍යතා සපුරාගනු ලබන මධ්‍යස්ථානයකි. ලාභය වෙනුවට අවශ්‍යතාවය ප්‍රමුඛවු ස්ථානයකි. එය තරගයට, අහඹු වලට සහ අරාජිකත්වයට දොර විවර කරනවා වෙනුවට සැලසුම් කරන ලද සහ මධ්‍යගත මෙහෙයුමට යටත් එකකි.


තුලනය තුළින් සාධාරණත්වය

සමාජවාදය පංති ආරක්ෂා කරන්නේ නැත. පංති අහෝසි කිරීමෙහි යෙදෙයි. එනිසා සියළුම සමාජ විෂමතාවයන් ක්‍රමයෙන් අහෝසි කරන හා යළි විෂමතාවය ඇතිවිම වැළැක්වෙන ක්‍රියාමාර්ගයන් හරහා ආර්ථිකය තුලනාත්මකව පවත්වා ගනු ලබයි. එහිදී ආර්ථිකයේ වැඩි අවධානම ඇත්තේ කොතනද, වැඩි අවධානය යොමුකළ යුත්තේ කොතනටද, වැඩි මෙහෙයුම යෙදවිය යුත්තේ කොතනටද යන්න සලකා බැලෙයි. මෙහිදි ආර්ථික කලනය යන සංකල්පයක් භාවිතාවේ. සමාජවාදයේ ආර්ථික කලනය යනු සැලසුම් සහගත ආර්ථිකයේ ඉලක්ක සපුරා ගැනීමේදී අදාළ ව්‍යවසායේ ද්‍රව්‍යමය සම්පත්, මූල්‍ය සම්පත් හා ශ්‍රම සම්පත් වඩාත් බුද්ධිමත්ව යොදාගැනීමත්, පලදායි ලෙස පවත්වා ගැනීම සඳහා වන සමාජවාදි කළමනාකරණයයි. විවිධ සමාජවාදි රටවල ආර්ථික කලනයේ ප්‍රතිපත්ති වෙනස් විය හැකිය. එහෙත් ඒවායේ පහත සඳහන් සමානකම් දැකිය හැකිය.

  • එම නිශ්චිත ව්‍යවසාය ආර්ථිකය තුළ තම ස්වාධීනත්වය රැකගැනීම.
  • එම ව්‍යවසාය පිරිවැය ආදිය සලකමින් ලාභ සහිත එකක් බවට පත්කිරීම.
  • සෑම ශ්‍රම සමූහයකටම හා වැඩකරන පුද්ගලයන්ට කරනු ලබන ද්‍රව්‍යමය දිරිගැන්වීම්.
  • ශ්‍රම සමූහය හෝ තනි ශ්‍රමිකයාගේ වගකීම.

මේ ප්‍රතිපත්ති සපුරා ගැනීම උදෙසා අරමුදල් තුනක් භාවිතාවේ.

  1. නිෂ්පාදන සංවර්ධන අරමුදල
  2. ද්‍රව්‍යමය දිරිගැන්වීම් අරමුදල
  3. සමාජ සංස්කෘතික අරමුදල

අවසාන වශයෙන් මෙම සැලසුම් සහගත හා තුලනාත්මක ආර්ථිකයේදී එම ව්‍යවසායන් තම වියදම් දරාගනිමින් ශ්‍රම සමූහයම වෙනුවෙන් නිශ්චිත සමාජවාදි සමුච්චයක් සඳහා අතිරික්තයක් නිපදවිය යුතුය. එසේම සමස්ත සමාජවාදි අතිරික්තය ආර්ථික හා සමාජ කටයුතු සඳහා මනා සමාලෝචනයකින් භාවිතා විය යුතුය.
සමාජවාදි ආර්ථික දේහය නිරෝගිමත්ව පවත්වාගනු ලබන්නේ සහ ජවයෙන් වර්ධනය කරනුයේ මෙම සැලසුම් සහගත හා තුලනාත්මක ආර්ථිකයයි. එම ආර්ථිකයේ වර්ධනයේ දිශාව හා පැතිරිය යුතු ප්‍රදේශයන් තීරණය වන්නේද ඒ අනුවය. ඉන් සමාජවාදි ආර්ථිකයේදී ධනවාදි පෞද්ගලික තරගය ඉවත් කරයි. සාමුහික තරග ආදේශ කරයි. අරාජිකත්වය මුළු මනින්ම තුරන් කරයි.

ඩී. එච්. වික්‍රමසිංහ

සමාජවාදි ආර්ථිකයේ මධ්‍ය ලීවරය හා සමබරතාවය