කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ සභාපති ගෙනඩි සුගනොව් විසින් ගොර්බචොෆ්ගේ මරණය සම්බන්ධයෙන් සිදු කරන ලද දේශනය

SHARE

Share on facebook
Share on google
Share on twitter
Share on linkedin

“ගොර්බචොෆ්ගේ මරණය සම්බන්ධයෙන් ලෝකයේ විශාලතම රටවල නායකයින් විසින් පළ කරන ලද අදහස් මගේ අතේ තිබෙනවා. එක්සත් ජනපද ජනාධිපති, ප්‍රංශ ජනාධිපති, ඔස්ට්‍රියානු චාන්සලර්, එක්සත් ජාතීන්ගේ මහලේකම් සහ බ්‍රිතාන්‍ය අගමැතිගේ අදහස් දැක්වීම් මෙහි තිබෙනවා. මෙම සමාලෝචනවල සාරාංශගත හරය වන්නේ, ගොර්බචෙව් තමන්ගේ ප්‍රතිපත්තිය සමඟ ලෝකයේ මිනිසුන්ට නිදහස, ස්වාධීනත්වය සහ අභිමානය ගෙන ආවේය කියන්නාවූ කාරණයයි.

මම රුසියානු ඕතඩොක්ස් සංස්කෘතියේ සහ සෝවියට් දේශප්‍රේමයේ සම්ප්‍රදායන් තුළ හැදී වැඩුණු පුද්ගලයෙක්. ඒ නිසා අවසන් ගමන් ගිය කෙනෙකුගේ යහපත ගැන කතා කරනවා මිස, එක්කෝ කිසිවක් නොකියා සිටිය යුතුය යන නියමය මම පිළිපදිනවා. නමුත් මෙය ප්‍රබල දේශපාලකයන් සම්බන්ධයෙන් අදාළ විය නැති අවස්ථාවක්. ලෝකයේ ඉරණම, මිනිසුන්ගේ යහපැවැත්ම, සමස්ත රාජ්‍යයන්ගේ ගෞරවය එක් මොහොතක ඔවුන්ගේ ක්‍රියාකාරකම් මත රඳා පැවතුණා.

ඉහත නම් කළ ලෝක නායකයිගේ ඔහු පිළිබඳව දක්වන ලද අදහස් නැවත කීමට මට අවශ්‍ය නැහැ. ඔබ ඒවා හොඳින් දන්නවා. එපමණක් නොව, ගොර්බචොෆ් යනු අපේ රටේ ජනතාවට පමණක් නොව අපගේ සියලු මිත්‍ර පාක්ෂිකයින්හට සහ මිතුරන්ට, ශෝකය සහ අවාසනාව ගෙන ආ, රුසියාවේ වසර දහස් ගණනක ඉතිහාසය තුළ සිටි පාලකයන්ගෙන් කෙනෙකු බව මම විශ්වාස කරනවා.

මම සෝවියට් සංගමයේ කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ වැඩ කළා. උතුරු කොකේසස් ප්‍රදේශය අධීක්ෂණය කළා. මගේ පත්වීම අත්සන් කරන ලද්දේ අන්ද්‍රොපොව් විසිනුයි. මම බොහෝ වාරයක් ගොර්බචොෆ්ගේ නිජබිම වන ස්ටාව්රොපොල් වෙත ගොස් තිබෙනවා. මම ප්‍රදේශීය නායකයන් හමු වූ විට, ගොර්බචෙව් පිළිබඳ ඔවුන්ගේ නිෂේධාත්මක ඇගයීම් මට ඇසුණා. වරක් ගොර්බචොෆ් එහි පක්ෂ සංවිධානයේ ප්‍රධානියාව සිටි බව ඔබට මතක් කරන්න මට ඉඩදෙන්න. ඒකාබද්ධ වැඩකටයුතු තුළින් ගොර්බචොෆ් හොඳින් හඳුනන අයට අනුව, ඔහුට කිසිවක් කළ නොහැකි වූ අතර, ඔහු බොහෝ විට ප්‍රතිසංවිධානයක් ආරම්භ කර සිදුවෙමින් තිබූ දේද නවත්වා තිබුණා. “අපි සලකන්නේ ඔහු දේශපාලන බලයේ කූටප්‍රාප්තියට පැමිණීම විශාල ඛේදවාචකයක් ලෙසයි” ඔවුන් ඍජුව කියා තිබුණා. වසර කිහිපයකට පසුව මෙම සියලු නිගමන ස්ථීර ලෙසම නිවැරදි බව තහවුරු වුණා.

ගොර්බචොෆ්ගේ ප්‍රධානම අපරාධය වන්නේ සමාජවාදී සෝවියට් සංගමයට ද්‍රෝහි වීමයි. ලොව සියලු දෙනා එය ලෝක බලවතෙක් ලෙස පිළිගත්තා. සෝවියට් සංගමය විසින් ලෝකයේ නිෂ්පාදනයෙන් 20% ක්, සියලුම ඉලෙක්ට්‍රෝනික උපකරණවලින් තුනෙන් එකක් සහ ලෝකයේ සියලුම ගුවන් යානාවලින් තුනෙන් එකක් නිෂ්පාදනය කළා. ඒ වන විට අපි නොයෙක් ක්ෂේත්‍රවලින් පෙරමුණ ගෙන සිටියා. උදාහරණ ලෙස, ගුවන් සේවා, රොකට් සහ අභ්‍යාවකාශ තාක්ෂණය, ඉලෙක්ට්‍රෝනික උපකරණ, ලේසර් තාක්ෂණය, ගුවන් ආරක්ෂක පද්ධති සහ තවත් බොහෝ අංශ සඳහන් කළ හැකියි. එහෙත්, අවාසනාවන්ත ලෙස, ගොර්බචොෆ්ගේ පැමිණීමත් සමඟ මේ සියල්ල පාවා දෙනු ලැබුවා.

සෝවියට් සංගමයට සියලුම ආරක්ෂක කලාප අයත්ව තිබුණා. මම ජර්මනියේ සෝවියට් හමුදා කණ්ඩායමක සේවය කරන විට, ජර්මානුවන් අපට ගරු කළා. මඟදිගට අපට ආචාර කළා. ඒ, එවකට අපි ලොව මහා බලවතෙක්ව සිටි නිසයි.

සෝවියට් සංගමයේ කොමියුනිස්ට් පක්ෂය යනු හුදු පක්ෂයක් පමණක් නොව, හදිසි අවස්ථාවලට අනුගත වූ සහ එය විසින්ම යුක්තිගත කරන ලද රාජ්‍ය -දේශපාලන පාලන පද්ධතියක් බව ගොර්බචොෆ් මුළුමනින්ම තේරුම් ගෙන තිබුණේ නැහැ. බිඳී ගිය අධිරාජ්‍යය තනි සෝවියට් රාජ්‍යයක් බවට පත් කරන ලද්දේ ලෙනින්වාදී සහ ස්ටාලින්වාදී නවීකරණයන් මගිනුයි.

එකල කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වය යටතේ සෝවියට් ජනතාව, ඒ කාලයේ හොඳම කර්මාන්තශාලා නවදහසකට ආසන්න ප්‍රමාණයක් ගොඩනඟා, ෆැසිස්ට්වාදය පරාජය කර, අභ්‍යාවකාශය තරණය කර, න්‍යෂ්ටික මිසයිල බල තුළනයක් ඇති කළා. මේ ජයග්‍රහණ අපට විශ්වාසවන්ත සහ ගෞරවනීය අනාගතයක් ලබා දුන්නා.

කෙසේ නමුත් පක්ෂය ප්‍රතිසංස්කරණය කරනු වෙනුවට ගොර්බචොෆ් එය විනාශ කර දැමීමට තීරණය කළා. ඔහු උත්තරීතර බලයට පත් වූ දා සිට, කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවෙන් පළමු පෙළ නායකයින් සහ ඇමතිවරුන් සියයකට ආසන්න පිරිසක් නෙරපා හරිනු ලැබුවා. ගොර්බචොෆ් තමන් වටා රැස් කර ගත්තේ මුළුමනින්ම ද්‍රෝහීන් කණ්ඩායමක්. ඔවුන් නම් යකොව්ලෙව්ස්, ෂෙවර්ඩ්නාඩ්සෙ, යෙල්ට්සින් සහ බකාටින් යන අයයි.

ගොර්බචොෆ්ගේ අනෙක් අපරාධය වන්නේ සෝවියට් බලය පාවා දීමයි.

මගේ තාත්තා පක්ෂ සාමාජිකයෙකු වූයේ නැහැ. ඔහු වසර 50 කට ආසන්න කාලයක් ගුරුවරයෙකු ලෙස සේවය කළා. ඔහු සෝවියට් සංගමය වෙනුවෙන් සටන් කළ අතර සෙවාස්ටොපෝල් අසලදී ඔහුගේ පාදය අහිමි වීමෙන් පසු සටන් පෙරමුණින් ඉවත් වුණා. මම පක්ෂ සාමාජිකයෙකු වූ පසු සහ කොම්සොමෝල් වැඩ කරන අතරතුර, මගේ පියා මට පැවසුවේ: “මතක තබා ගන්න, පුතා, මේ ජීවිතයේ සෝවියට් බලයට වඩා හොඳ දෙයක් නැහැ” යන්නයි. ඔව්; වැරදි, දුෂ්කරතා සහ ගැටලු තිබුණා. නමුත් සෝවියට් රජය සෑම විටම සාමාන්‍ය මිනිසා ගැන සිතුවා. ඇය මාතෘ නිවාඩුවේ පටන් වරප්‍රසාද 21ක් කාන්තාවන්ට ලබා දුන්නා. ඇය සෑම සෝවියට් පුරවැසියෙකුටම අධ්‍යාපනය සහ වෛද්‍ය පහසුකම් ලබා දුන්නා. ඇය අපව ජයග්‍රහණයේ හිණිපෙත්තටම ඔසවා තැබුවා.

ගොර්බචොෆ් විසින් ඉතාමත් නරුම ලෙස පාවා දෙනු ලැබුවේ මේ සෝවියට් බලයයි, මේ ජනතා බලයයි.

සෝවියට් සමාජවාදී සමූහාණ්ඩු සංගමයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව, සෝවියට් පුරවැසියන්ට ජනමත විචාරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය තිබූ බව ඔබට මතක් කරන්නට මට ඉඩ දෙන්න. සෝවියට් සමාජවාදී සමූහාණ්ඩුවේ පුරවැසියන්ගෙන් 77% ක් පමණ තනි සමාජවාදී සමූහාණ්ඩු සංගමයක ජීවත් වීමට කැමැත්ත ප්‍රකාශ කර තිබුණා. නමුත් සෝවියට් ජනතාවගේ මෙම ඓතිහාසික තීරණය ගොර්බචොෆ්, යෙල්ට්සින් ඇතුළු මේ පාලක කල්ලිය විසින් පාවා දෙනු ලැබුවා. මෙය නීතියේ අසීමාන්තික අපරාධයක්. එසේම අපිට මෙය හොඳින් තේරුම් යනවා.

ගොර්බචොෆ්ගේ තවත් අපරාධයක් නම්, පසුගිය වසර 100 තුළ තමන් දිනාගත් සියල්ල සෝවියට් ජනතාවට අහිමි කරවීමයි. ඔව් සියල්ලම; හොඳ රැකියාවක අයිතිය, හොඳ සෞඛ්‍ය සේවාවක් සඳහා ඇති අයිතිය, අවශ්‍ය අධ්‍යාපනයට ඇති අයිතිය අහිමි කරනු ලැබුවා. වැදගත් විශ්‍රාම වැටුප් ඇතුළු බොහෝ සමාජ ප්‍රතිලාභයන් ජනතාවට අහිමි කෙරුණා. පුරවැසියන්ගේ ඉතිරිකිරීම් අවප්‍රමාණය වුණා. මහලු කාන්තාවන් හදිසි අවස්ථාවන් වෙනුවෙන් ඉතිරි කර තිබු මුදල් පවා හිස් කඩදාසි බවට පත් වුණා.

ඔහුගේ තවත් අපරාධයක් දැනගත් විට මම කම්පාවට පත් වුණා. ඔහු තම සියලු මිතුරන් සහ මිත්‍ර පාක්ෂිකයින් පාවා දුන්නා. නිදසුනක් වශයෙන්, නැගෙනහිර ජර්මනියේ හිටපු නායක එරික් හොනෙකර් රුසියාවෙන් නෙරපා හරින තරමට පාවා දෙනු ලැබුවා. හිට්ලර් යටතේ අතීතයේ එරික් හොනෙකර්ව සිරගත කරනු ලැබ තිබූ සිරගෙදරම සහ එම සිර මැදිරියේම ඔහුව සිර කරනු ලැබුවා.

1989 දෙසැම්බරයේදී මෝල්ටාදී ගොර්බචොෆ් එවකට එක්සත් ජනපද ජනාධිපති බුෂ් (ජ්‍යෙෂ්ඨ) සහ පසුව එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ජේම්ස් බේකර් හමුවුණා. ස්වභාවධර්මය පවා මෙම රැස්වීමට එරෙහිව කැරලි ගැසුවා. මුහුදේ විශාල කුණාටුවක් ඇති වුණා. ඇමරිකානු නැව දෙපැත්තට විසි වුණා. එහෙත් අපගේ “මැක්සිම් ගෝර්කි” දැවැන්ත නෞකාව ස්ථාවරව මුහුදේ නැගී සිටියා. ඔවුන් සාකච්ඡා පැවැත්වූයේ එහිදීයි.

ඔවුන් සාකච්ඡා මේසයේ වාඩි වූ විට, පැහැදිලි හේතුවක් නොමැතිව ගොර්බචොෆ්, බුෂ්ට “අපි වෝර්සෝ ගිවිසුම අවසන් කිරීමටත් නැගෙනහිර යුරෝපයෙන් ඉවත් වීමටත් තීරණය කළා” යැයි පැවසුවා. ගොර්බචොෆ්ගේ ප්‍රකාශයෙන් පසු ඇමරිකානු නියෝජිත පිරිසට දහඩිය දැමීමට පවා පටන් ගත් බව බේකර් පසුව සිහිපත් කළා. රුසියානුවන් දැන් ප්‍රති ඉල්ලීම් ඉදිරිපත් කරනු ඇතැයි ඇමෙරිකානුවන් උපකල්පනය කළා. නිදසුනක් වශයෙන්, ඔහු නේටෝව විසුරුවා හැරීමට එක්සත් ජනපදයට බල කරනු ඇතැයි ඔවුන් සිතා තිබුණා. නමුත් ගොර්බචොෆ් නැවතත් ඇමරිකානු පාර්ශවය පුදුමයට පත් කරමින් මෙසේ කියා තිබුණා: “නැහැ. අපි දැන් හිතන්නේ අලුත් විදිහකට. ඒ නිසා අපි වෝර්සෝ ගිවිසුම විසුරුවා හරිනවා. ඔබ ඔබට කැමති දෙයක් කරන්න.” මෙසේ අපේ මාතෘ භූමියේ හොඳම දූ පුතුන් මිලියන 2කගේ ජීවිත මතින් ආරක්ෂා කරගත් සමස්ත ආරක්ෂක පද්ධතියම පාවා දෙනු ලැබුවා. ඒ මහා දේශප්‍රේමී යුද්ධයේදී සෑම සෝවියට් පවුලකම පාහේ තුවාල ලැබූවෙක් සිට තිබුණා.

අපි එවකට ගොර්බචොෆ් සහ ඔහුගේ සමස්ත පාලක කල්ලිය කරන්නේ කුමක්දැයි අපි දැන සිටියා. අපි එය දැක්කා. එබැවින්, අපි රුසියානු සෝවියට් සමාජවාදී සමූහාණ්ඩු (Russian Soviet Federative Socialist Republic) කොමියුනිස්ට් පක්ෂ නිර්මාණය කළා. නමුත් අපට එය වර්ධනය කරගැනීමට නොහැකි වුණා. ඔවුන් අපට ගිණුමක්වත් විවෘත කිරීමට ඉඩ දුන්නේ නැහැ. ක්‍රෙම්ලිනයෙන් සහ ස්ටාරයා චතුරශ්‍රයෙන් මෙම “පාලකයන්” නෙරපා හැරීම සඳහා සමස්ත ප්‍රබල දේශප්‍රේමී බලවේග එක්සත් කිරීමට අපට එක් වසරක් පමණක් ප්‍රමාණවත් වුණේ නැහැ.

“ජනතාවට වචනයක්” සහ “නටඹුන් අසල ගෘහ නිර්මාණ ශිල්පියා” යන ලිපියෙන් මම ජනතාව ඇමතුවා. මාව දිගු කලක් දේශපාලන මණ්ඩලයෙන්ද අයින් කර තැබුණා. ඔවුන් වසර 10 ක් තිස්සේ අපරාධ නඩුවක් ගෙතුවා. නමුත් එවකට ලේඛක යූරි බොන්ඩරෙව්, අධ්‍යක්ෂ ස්ටැනිස්ලාව් ගොවොරුකින්, ගායක අයියෝසිෆ් කොබ්සන්, රංගන ශිල්පි මිහායිල් නොෂ්කින් සහ මාධ්‍යවේදීන් වන ඇලෙක්සැන්ඩර් ප්‍රකානොව් සහ වැලන්ටින් චිකින් මා වෙනුවෙන් පෙනී සිටියා. සැබෑ දේශප්‍රේමීන් කැරලි ගැසුවේ මෙය අසාධාරණ චෝදනාවක් බව හොඳින්ම දැනගෙනයි. නමුත් එය දඬුවම පිළිබඳ කාරණයක් නෙමෙයි.

දැන් ගොර්බචොෆ් ජීවිතයෙන් සමුගැනීම විශාල උත්කර්ෂයක් ලෙස ඔසවා තැබෙනු ඇති. එය ඔවුන්ගේ කටයුත්තක්. නමුත් ඒ ද්‍රෝහී දඩයම් සිදුවූ 90 ගණන්වලින් අවංකවම වෙන් වීමට අපට අවශ්‍යයි. එසේ නොවුවහොත්, යථාවත්වීමක් සිදුකර ගැනීමට හෝ නාසිවාදයට සහ ෆැසිස්ට්වාදයට එරෙහිව ජයග්‍රහණයක් ලැබීමට නොහැකි වනු ඇති. මෙය අපගේ ප්‍රතිපත්තිමය ස්ථාවරයයි. මේ සම්බන්ධ අවංක තක්සේරුව අනුව එය රඳා පවතින්නේ අපේ රට මුහුණ දී ඇති අභියෝගයන් ජයගැනීමට අප සමත් වන්නේද යන්න මතයි.

ජනතාව ගොර්බචොෆ්වාදය පිළිබඳ ඔවුන්ගේ අදහස දිගු කලක් තිස්සේ දැඩි චෝදනාත්මක ස්වරූපයෙන් ප්‍රකාශ කරමින් සිටිනවා. ගොර්බචොෆ් සහ ඔහුගේ කණ්ඩායම 1996දී මැතිවරණ කමිටුවක් නිර්මාණය කළා. ගොර්බචොෆ් එම වසරේ ජනාධිපතිවරණයට සහභාගී වීමට තීරණය කළා. නමුත් ගොර්බචෙව්ගේ උපන් ගම වන ස්ටැව්රොපොල්හි මිනිසුන් පවා පැවසුවේ කිසිවෙකු ඔහුට ඡන්දය නොදෙන බවයි. ඒ, ඔහු සියල්ලන්ම විකුණා පාවා දී තිබූ බැවිනුයි. ගොර්බචොෆ් දියත් කළේ සොරුන්ගේ පෞද්ගලීකරණයයි. එහි ප්‍රතිඵලයක් ලෙස 1996 ජනාධිපතිවරණයේදී ඡන්දදායකයින්ගෙන් 0.5%ක් පමණක් ගොර්බචෙව්ට ඡන්දය දුන්නා. මෙය ඔහුගේ සියලු සාපරාධී ද්‍රෝහී ප්‍රතිපත්තිය වෙනුවෙන් ජනතාව විසින් ලබාදුන් තීන්දුවයි.

අපි පසුව යෙල්ට්සින්ට විරුද්ධව ගෙනෙන ලද දෝෂාභියෝගයද ඇතුළුව විවෘත වෝහාරික විමර්ශනයක් පැවැත්වූවා. මෙම විමර්ශනය පිළිබඳ අමතර වෙළුම් 20 ක් ඩූමාවේ තබා තිබෙනවා. සමාජවාදී සෝවියට් සංගමය විසුරුවා හැරීමේ ගිවිසුම (Belovezhye) සහ නැගෙනහිර යුරෝපයේදී අපේ හමුදාව පාවාදීමේ සිට මෙම ද්‍රෝහී පාලක කල්ලියේ සියලුම අපරාධ ඔප්පු වී තිබෙනවා.

ජර්මනියේ පමණක් අපේ භටයින් 500,000 ක් පමණ සිටියා. එය ශක්තිමත්ම හමුදාව වුණා. අපි ජර්මනියෙන් හමුදාව ඉවත් කර ගන්නා නිසා අඩු තරමේ එක් කොන්දේසියක් හෝ ගිවිසුමේ ලිවිය යුතුව තිබුණා. එනම් ඉදිරි ශතවර්ෂවලදී ජර්මනිය නැවත කිසි දිනෙක නේටෝව හා සම්බන්ධ නොවිය යුතු බවටයි. මෙම මූලධර්මය නැගෙනහිර යුරෝපයටද අදාළයි. ඇත්තෙන්ම, ඒ කාලයේ අපේ හමුදා කණ්ඩායම් පෝලන්තයේ, චෙකොස්ලොවැකියාවේ සහ හංගේරියාවේ ස්ථානගත කර තිබුණා. මෙය බෝල්ටික් රටවලටද අදාළයි. නාසීන් අද එහි පෙළපාලි ගොස් සෝවියට් ස්මාරක කඩා දමනවා. සෑම අවජාතකයෙක්ම රුසියානු ජනතාවට සමච්චල් කරනවා.

අපගේ වර්තමාන ගැටලු සියල්ල ආරම්භ වන්නේ, විකාශනය වන්නේ හා ඒවායේ දුගඳ වහනය වන්නේ එතැන් සිටයි. දැන් ඔවුන්ගේ අදහස් දැක්වීම් බලන්න. රට නින්දාවට සහ විනාශයට පත් කළා වූද මේ අපරාධයෙන් තමන්ගේ සාක්කු පුරවාගෙන ධනවත් වූද සියල්ලන්ම දැන් ගොර්බචොෆ්ගේ මරණය ගැන ගොත ගසමින් හෝ පැටලෙමින් කතා කරනවා. ඔවුන් නිශ්ශබ්දව සිටියා නම් වඩා හොඳයි.

ලෝකයේ, යුරෝපයේ සහ රුසියානු සමූහාණ්ඩුවේ වත්මන් වැඩකට නැති ආරක්ෂක පද්ධතිය ගොර්බචෙව්ගේ ක්‍රියාකාරකම්වල ප්‍රතිඵලයක්. අපේ රටේ දේශසීමාව දෙස බලන්න. ඔබට පෙනෙනු ඇත්තේ මේ පාවාදීමේ ප්‍රතිවිපාකයි. නැඟෙනහිර යුරෝපය දැන් යුක්රේනයට ආයුධ රැගෙන යමින් සිටිනවා. සෑම දෙයක් පිළිබඳවම තීරණ ගත්තේ බෝල්ටික් රාජ්‍යයන්හි ෆැසිස්ට්වාදීන් සහ නාසීන් විසිනුයි. එම රටවල කර්මාන්ත ශාලා ගොඩනැගූවන්ගේ හා අලුත් වරායන් විවෘත කළවුන්ගේ කටවල් වසන ලද්දේ ඔවුනුයි.

යුක්රේනයේ ස්වදේශික ජනගහනයෙන් 82% ක් රුසියානු භාෂාව තමන්ගේ මව් භාෂාව ලෙස සලකනවා. නමුත් අද ඔවුන්ට තමන්ගේ මව් භාෂාව කතා කිරීමට නොහැකියි. යුක්රේනයේ සහ ඩොන්බාස්හි ෆැසිස්ට්වාදය විනාශ කිරීම වෙනුවෙන් නැවතත් අපගේ හොඳම පුතුන්ගේ ජීවිතවලින් වන්දි ගෙවීමට දැන් අපට බල කරනු ලැබ තිබෙනවා.

අද අපි සාමාන්‍ය ප්‍රතිසංස්කරණ සිදු කළේ නම්, ශක්තිමත් රාජ්‍යයක්, විධිමත් මධ්‍යගත බලයක්, සාමූහික හැඟීමක් සහ දේශප්‍රේමයක් නොමැතිව අපගේ රාජ්‍යයට කිසිදු ආකාරයකින් පැවතිය නොහැකි බව සෑම කෙනෙකුටම වැටහෙනු ඇති. නමුත් මේ සියල්ල ගොර්බචොෆ් විසින් පාවා දෙනු ලැබ විකුණා දැමුවේ ඉතාමත් අසමත් සහ නින්දිත ආකාරයටයි.

මේ දිනවල ගොර්බචොෆ් සහ II වැනි නිකලස් අතර සමානත්වයන් පිළිබඳ සැසඳීම් සිදු කෙරෙනවා. ඇත්ත වශයෙන්ම, II වැනි නිකලස් මහා අධිරාජ්‍යය පුපුරුවා හැරියා. මේ මහා සෝවියට් රාජ්‍යයටත් සිදු වූයේ එයමයි. ලන්ඩන්, පැරිස් සහ නිව්යෝර්ක් බැංකුකරුවන්ගේ මුදල් වෙනුවෙන් II වැනි නිකලස් පළමු ලෝක යුද්ධයට අවතීර්ණ වුණා. කෙසේ නමුත් ඔහු එය අනිවාර්යෙන් කළ යුතු දෙයක් වුණේ නැහැ. මහා අධිරාජ්‍යයක් පවත්වාගෙන යාමට ඔහුට නොහැකි වුණා. ඔහුගේ පියා ඔහු ගැන මෙසේ කියා තිබුණා: “නිකොලස්කා රාජධානිය පවත්වා ගෙන යාමට සූදානම් නැත. දෙවියන් වහන්සේ ඔහුට එවැනි බුද්ධියක් හෝ අධිෂ්ඨානයක් දී නැත.” එය විෂය මූලික තක්සේරුවක්.

ඉදින් ගොර්බචොෆ්ට බලයක් ලැබුණේ දැවැන්ත හමුදාවක්, බලවත් නිෂ්පාදනයක්, විශිෂ්ට විද්‍යාවක් සහ වඩා හොඳ සමාජ ක්‍රමයක් සමඟිනුයි. ඔහු මේ සියල්ල අතහැරියේ හුදු තැචර් ඔහු දෙස බලා සිනාසීම සහ බුෂ් මිත්‍රශීලී ලෙස ඔහුගේ උරහිසට තට්ටු කිරීම වෙනුවෙනුයි. නායකයෙකුට සහ දේශපාලකයෙකුට අදාළ විශාලතම අවමන් සහගත හැසිරීම මෙයයි!

දාන්තේ අල්ගියරි ලියූ දිව්‍යමය ප්‍රහසනය (The Divine Comedy) කියවීමට මම නිර්දේශ කරනවා. මහා දාන්තේ අපායේ කව කිහිපයක් පින්තාරු කළා. ඔහුගේ පොතට අනුව, අවසාන, නවවන කවය ඇත්තේ තම මව්බිම, දරුවන්, රට, මිතුරන් සහ නෑදෑයන් පාවා දුන් පාදඩයන් සඳහායි.

අපේ අවුරුදු දහස් ගණනක ඉතිහාසය තුළ අපේ මව්බිම ගොර්බචෙව්ට වඩා වැඩි ද්‍රෝහියෙකු නොහඳුනන බව මම විශ්වාස කරනවා. ඇතැම්විට දෙවියන් වහන්සේද එය දන්නවා ඇති. නාසිවාදයට, ෆැසිස්ට්වාදයට සහ බන්ඩෙරාට (යුක්රේනයේ අන්ත දක්ෂිණාංශික හමුදා නායකයෙකි) එරෙහි විමුක්ති මෙහෙයුම ආරම්භ කිරීමෙන් පසු, ඔහු විසින්, ක්‍රව්චුක් (මිය ගියේ: 2022 මැයි10), ෂුෂ්කෙවිච් (මිය ගියේ: 2022 මැයි 03) සහ ගොර්බචොෆ් (මිය ගියේ: 2022 අගෝස්තු 30) ස්වභාවිකවම පෘථිවියෙන් ඉවත් කරනු ලැබුවා. අපේ මව්බිම දේශද්‍රෝහීන්ගෙන් හා නාසීන්ගෙන් බේරා ගැනීම සඳහා සර්වබලධාරි දෙවියන් සහ ස්වභාවධර්මය විසින් පෘථිවිය පිරිසිදු කරන්නේ එලෙස යැයි මම සිතනවා. එසේම අපි අපට හැකි සෑම දෙයක්ම කරන්නේ ලෝකය තුළ සහ රුසියාව තුළ මිත්‍රත්වය සහ යුක්තිය ජය ගැනීම සහතික කිරීම වෙනුවෙනුයි.

– ගෙනඩි සුගනොව් (කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ සභාපති, රුසියානු සමූහාණ්ඩුවේ ෆෙඩරල් සභාවේ රාජ්‍ය ඩූමාවේ කොමියුනිස්ට් පක්ෂ කණ්ඩායමේ ප්‍රධානී)

කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ සභාපති ගෙනඩි සුගනොව් විසින් ගොර්බචොෆ්ගේ මරණය සම්බන්ධයෙන් සිදු කරන ලද දේශනය