අධිරාජ්‍යවාදය යනු කුමක්ද?

SHARE

දහනව වැනි සියවස අවසානයේ දී සහ විසිවැනි සියවස ආරම්භයේ දී ධනවාදී සමාජයේ ආර්ථික ව්‍යුහය තුළ විශේෂ වෙනස්කම් සිදුවිය. විද්‍යාත්මක හා තාක්‍ෂණික ක්‍ෂේත්‍රයේ අත්කර ගත් ජයග්‍රහණවල බලපෑම මත මෙම කාලසීමාව තුළදී කාර්මික ක්‍ෂේත්‍රයේ අංශ තුළ විශාල වර්ධනයක් පෙන්වනු ලැබීය. විශේෂයෙන් ලෝහ කර්මාන්තය තුළ මෙන්ම, අලුත් වර්ගයේ එන්ජින්, විදුලි මෝටරය වැනි දෑ තුළ සිදුවූ දියුණුව, ඉන්ධන නිෂ්පාදනය හා රසායනික ක්‍ෂේත්‍රය තුළද, විදුලි ඉංජිනේරු අංශය තුළද කැපීපෙනෙන වෙනස්කම් සිදුවිය. ප්‍රවාහණය හා සන්නිවේදන මාධ්‍යවලද විශේෂ වර්ධනයක් ඇතිවිය.
මේ සියල්ල මහා පරිමාණ ව්‍යාපාරවල විශාල වර්ධනයක් ඇතිකිරීමට හේතු විය. බැර කර්මාන්තයෙහි විවිධවූ අංශ තුළ ජාලගත වර්ධනයක් පෙන්නුම් කළ අතර, එය විශේෂ තත්ත්වයක් විය. 1870 සිට 1900 කාලසීමාවේදී ලෝක ලෝහ නිෂ්පාදනය 56 ගුණයකින් වර්ධනය විය. ඉන්ධන නිෂ්පාදනය 25 ගුණයකින් වර්ධනයවූ අතර, ගල්අඟුරු නිෂ්පාදනය 3-5ත් අතර ගුණයකින් වර්ධනය විය. නිෂ්පාදනය කේන්ද්‍රගතවිම ශීඝ්‍රයෙන් සිදුවන්නට විය. ඒකාබද්ධ කොටස් හිමි සමාගම්ද බහුල විය. මේ සමඟම එතෙක් පැවැති ධනේශ්වර ක්‍රමය, එනම් තනි තනි ධනපතීන් අතර වන නිදහස් තරඟය ප්‍රධාන ලක්‍ෂණයවූ ධනපති ආර්ථික ක්‍රමය වෙනුවට ඒකාධිකාර බිහිවිය. මෙම විශේෂ වෙනස්කම් සිදුවූ කාලපරිච්ඡේදය විස්තර කිරීම සඳහා ‘අධිරාජ්‍යවාදය’ යන වචනය භාවිත කරනු ලැබීය. ඉංග්‍රීසි ජාතික ආර්ථික විද්‍යාඥයකුවූ ජේ.ඒ. හොබ්සන් විසින් ලියන ලද ‘අධිරාජ්‍යවාදය’ නමැති පොත 1902දී ලන්ඩන්හි හා නිව්යෝක්හි පළ විය.
ධනවාදය තුළ සිදුවූ මෙම විශේෂ වෙනස්කම් හා ඒ පිළිබඳවූ අර්ථනිරූපණ පිළිබඳ ගැඹුරු අධ්‍යයනයකින් පසු ‘අධිරාජ්‍යවාදය ධනපති ක්‍රමයේ ඉහළම අවධිය’ නමැති කෘතිය ලෙනින් විසින් 1916දී ලියනු ලැබීය. ඒ තුළින් ‘අධිරාජ්‍යවාදය’ ධනවාදයේ මුල් අවධියෙන් (නිදහස් ධනවාදයෙන්) වෙන් කර හඳුනාගත හැකි මූලික ලක්‍ෂණ 5ක් පෙන්වා දෙමින්, ‘අධිරාජ්‍යවාදය’ පිළිබඳ නිවැරැදි ආර්ථික හා දේශපාලන විවරණයක් ඉදිරිපත් කරනු ලැබිණි.


ලෙනින් ඉදිරිපත් කළ අධිරාජ්‍යවාදයේ මූලික ලක්‍ෂණ:

  1. නිෂ්පාදනය සංකේන්ද්‍රණයවීම සහ ඒකාධිකාර.
  2. කාර්මික ප්‍රාග්ධනය හා බැංකු ප්‍රාග්ධනය සංයෝගවී මූල්‍ය ප්‍රාග්ධනය බිහිවීම හා මූල්‍ය කතිපයාධිපතිත්වයක් ඇතිවීම.
  3. භාණ්ඩ අපනයනය වෙනුවට ප්‍රාග්ධන අපනයනය කිරීම වැදගත් ලක්‍ෂණයක් ලෙස ඇතිවීම.
  4. ජාත්‍යන්තර ඒකාධිකාරී ධනපති හවුල් සමාගම් පිහිටුවීම හා ලෝකය ඔවුන් අතර බෙදා ගැනීම.

විශාල ධනපති බලවතුන් අතර ලෝකය භෞතිකව බෙදා ගැනීම. නිදහස් තරඟය යටතේ පැවැති ධනවාදී න්‍යායයන් අබියෝගයට ලක් කෙරෙන නව තත්ත්වය අධිරාජ්‍යවාදය යටතේ
නිදහස්කරණයේ වෙළෙඳපොළ ස්වරූපය යටපත් කරමින් වෙළෙඳපොළ පුළුල් වන අතරම ඉන් එක් ධනපති පිරිසක් ආර්ථිකයේ ඉහළම ප්‍රතිලාභ භුක්තිවිඳින අතර, තවත් ධනපති කොටසකට වෙළෙඳපොළෙන් ඉවත්වීමට සිදුවේ. මෙම නව තත්ත්වය ඇතිවනුයේ, වෙළෙඳපොළ මිල ක්‍රියාකාරීත්වය නිදහස් තරගය යටපත් කරමින් ක්‍රියාත්මකවීම හේතුවෙනි.
පිරිසකගේ නිෂ්පාදනය කඩාවැටෙන අතර තවත් පිරිසකට ඒ වෙළෙඳපොළ කොටසද හිමි වෙමින් නිෂ්පාදනය පුළුල් කිරීමේ අවස්ථාවක් මේ නිසා උදාවීමෙන් නිෂ්පාදන සංකේන්ද්‍රණය සිදුවේ. ඒකාධිකාර යනු මහා පරිමාණයේ ව්‍යාපාරයක් හෝ ව්‍යාපාර සමූහයක එකතුවකි. ඒකාධිකාර තරගය අහෝසි කිරීම හෝ සීමා කිරීම හෝ මඟින් තමන්ගේ නිෂ්පාදනය සඳහා
ඉහළ මිල තීරණය කිරීමෙන් ඒකාධිකාරී ලාභ ඉපැයීමේ හැකියාව ලබා ගනී.

1860 – 1870 අතර කාල පරාසය තුළ ඒකාධිකාර කළල අවස්ථාවෙන් ආරම්භවී 1873 ආර්ථික අර්බුදයෙන් පසු එයට විසැඳුමක් ලෙස කාටල (Cartels) ද, පසුව සංගත (Syndicates) හා භාරය (Trust) ලෙසද, අවසානයේ සම්මේලය (Cencern) ලෙස ඉහළ මට්ටමට වර්ධනයවූ ඒකාධිකාර ආයතන ව්‍යුහයක් දක්වා වර්ධනය විය. කෙටි නිර්වචනයකින් හඳුන්වන්නේ
නම්, ‘අධිරාජ්‍යවාදය’ යනු ‘ඒකාධිකාරී ධනවාදයයි’. ඉහත 2 වැනි කරුණේ මූල්‍ය කතිපයාධිපතිත්වයක් (අධිකතර මූල්‍ය බලයක් සහිත ඒ නිසාම දේශපාලනමය ලෙස බලවත්වූ ධනපතියන්ගේ කුඩා කණ්ඩායමක්) ගොඩනැඟීම හා 5 වැනි කරුණ මඟින් අධිරාජ්‍යවාදයේ දේශපාලන ස්වභාවය පෙන්නුම් කරනු ලබන අතර. අනෙකුත් කරුණු මඟින් එහි ආර්ථිකමය
පැත්ත පිළිබිඹු වෙයි. 5 වැනි කරුණ වෙත වැඩි අවධානයක් යොමු කළහොත්, ඉන් කියැවෙන්නේ විශාල ධනපති බලවතුන් අතර ලෝකය භෞතිකව බෙදා වෙන් කරගෙන ඇති අතර, ධනපතීන් අතර තරගයේ දී එය නැවත නැවතත් අලුත්වෙමින් පැවැතීමයි. තවදුරටත් ඒ තුලින් කියැවෙන්නේ, ප්‍රබල හා ධනවත් ජාතීන් විසින් දුබල ජාතීන් යටත් කර ගැනීම හා නැවත නැවතත්
යටත් කර ගැනීමයි. ලෝක යුද්ධ මෙන්ම, අධිරාජ්‍යවාදී බලපෑමට යටත්වූ ගැති රාජ්‍යවල සමාජවාදය සඳහා වන නිර්ධන පන්ති ව්‍යාපාරවල උපායමාර්ගය අධිරාජ්‍ය විරෝධය සහ ජාතික විමුක්ති අරගලය සමඟ බැඳී පැවැතීම යථාර්ථයක් වන්නේ ද අධිරාජ්‍යවාදයේ මෙම ලක්‍ෂණය නිසාවෙනි.

අධිරාජ්‍යවාදය යනු කුමක්ද?