ඉදිරිපස අසුන ඇයට වෙන්කර තිබේ!

SHARE

Share on facebook
Share on google
Share on twitter
Share on linkedin

ඇය කිලීව්ලන්ඞ් මාවතේ, බස් නැවතුමෙන් බසයට ගොඩවුවාය. ජෙනරල් මෝටර්ස් සමාගම විසින් නිෂ්පාදිත මොන්ටෝගෝමරි නගර ප්‍රවාහන සමාගමට අයත් වූ බස් රථයට ඇය නගින විට සවස 6.00ට පමණි. එය 1955 දෙසැම්බරයේ සීතල බ්‍රහස්පතින්දාවකි. දවසම වැඩකිරීමෙන් පසු මොන්ටිගෝමරි සිට නිවසට යාමට පැමිණි ඇය, ප්‍රවේශ පත්‍රයට අදාළ ගාස්තුව ගෙවාදමා කළු මිනිසුන්ට වෙන්කර ඇති පසු පස අසුන් පේලියේ එවිට හිස්ව තිබූ අසුනක ඉඳගත්තාය.

බසය ගමන් ආරම්භ කර මද දුරක් යනවිට සුදු අය සඳහා පමණක් වෙන්කර තිබූ අසුන් පිරී ගියේය. බස් රථය එම්පයර් නගර ශාලාව ඉදිරිපිට ඇති 3වැනි බස් නැවතුමේ නතර කළ විට තවත් සුදු මගීන් ගණනාවක් බසයට ගොඩවු අතර ඔවුනට ඉඳගැනීමට අසුනක් නොමැතිව හිටගෙන යන බව රියදුරු බ්ලේක්ට පෙනිණි. බස් රථය නතර කළ රියදුරු බ්ලේක් පැමිණ සුදු සහ කළු වශයෙන් අසුන් වෙන්කිරීමට ඔවුන් යොදා ගන්නා “ක්‍දකදරුා” යනුවෙන් සටහන් කරන ලද පුවරුව ගලවා එය ඇය සහ වෙනත් කළු අය වාඩිවී සිටි අසුන් පේලියට පිටුපසින් රැඳෙව්වේය. එසේ පුවරුවේ ස්ථානය වෙනස් කළ ඔහු, ඇය ඇතුළු එම අසුන් පේලියේ අසුන්ගෙන සිටි කළු ජාතිකයන් සිව්දෙනාට එතැනින් නැගිට සුදු අයට එම ආසන ලබාදෙන මෙන් දැනුම් දුන්නේය. ඇය අසල සිටි අනිකුත් කළු මිනිසුන් තිදෙනා මුලින් එයට එතරම් කැමති නොවූවද රියදුරාගේ තද බලපෑම හමුවේ සිය අසුන්වලින් නැගිට ඉවත් වූහ. ඇයද තම අසුනේ සිට කවුළුව අයිනේ තිබූ අලුතින් හිස්වු අසුනට තල්ලු වූ නමුත් රියදුරා විසින් ඉල්ලු පරිදි නැගිට ඉවත්ව නොගියාය.

රියදුරා ඇය වෙත කඩා පැන්නේය. “තමුන් නැගිටින්නේ නැත්තේ මොකද?” ඔහු සැඩපරුෂ ලෙස විමසුවේය. “නැහැ, මං හිතන්නේ නැහැ. මං නැගිටින්න ඕනැ කියලා” ඇගේ ඍජු පිළිතුර විය. ඔහු නැවත ඇය වෙත කඩා පැන්නේය. “තමුන් නැගිටින්නේ නැද්ද?” එවිට ඔහුගේ හඬ තවත් කෝපාන්විතය. “නැහැ” ඇගේ පිළිතුර විය. “තමුන් නැගිටින්නේ නැති නම් මට පොලිසියට කියන්න වෙනවා තමුන්ව අත්අඩංගුවට ගන්න කියලා”

“හොඳයි. ඔයා කැමති දෙයක් කරන්න” ඇය කීවාය.

පොලීසියෙන් පැමිණ ඇය අත්අඩංගුවට ගත්තේය. මොන්ටිගෝමරි නගර නීති මාලාවේ 6වැනි පරිච්ඡේදයේ 11 වැනි කොටසේ ඇති වර්ණභේදවාදී නීති කඩකිරීමට විරුද්ධව ඇය රිමාන්ඞ් බන්ධනාගාර ගත කරනු ලැබුවාය.

සිදුවීම ලැව් ගින්නක්සේ මොන්ටිගෝමරිය හරහා පැතිර ගියේය. ජනගහනයෙන් 70% ක්ම කළු මිනිසුන් වන මොන්ටිගෝමරියේ මිනිසුන්ගේ වසර ගණනාවක් තිස්සේ සඟවාගෙන සිටි, දරාගෙන සිටි පීඩාවේ, කඳුලේ, වෛරයේ වාන් දොරටු ගලවාගෙන යන්නට පටන් ගත්තේය. ඇගේ නඩු දිනය යෙදී තිබූ 1955 දෙසැම්බර් 5දා සියලු දෙනා බස්රථ වර්ජනය කළ යුතු යයි තීරණය කළෝය. නඩු දිනයදා වර්ගවාදී බස්රථ වර්ජන ව්‍යාපාරය අතිසාර්ථක විය. ඇයව වැරදිකරු කළ උසාවිය ඩොලර් 14ක දඩයක්ද නියම කළේය. වර්ගවාදී ප්‍රවාහන ප්‍රතිපත්තියට එරෙහිව ඇරඹුණු බස්රථ වර්ජන ව්‍යාපාරය දිගටම පැවතිණි. දින 381 කට පසු එක්සත් ජනපද ශ්‍රේෂ්ඨාධිකරණය මොන්ටිගෝමරි නගර සභාවේ වර්ගවාදී ප්‍රවාහන ප්‍රතිපත්තිය නීති විරෝධී බව කියමින් එම නීති අවලංගු කළේය. ඇගේ සටන ජයග්‍රහණය ලැබීය. එහෙත් ඇයගෙන් පලිගත් පාලනය ඇයට ඇගේ රක්ෂාව අහිමි කරන ලදී. ඇයට සුදු වර්ගවාදීන්ගේන් මරණීය තර්ජන එල්ල විය. ඇය මොන්ටිගෝමරිය අතහැර වෙන ඬේටි්‍රයට්හි පදිංචියට ගියාය. නමුත් ඇය සමාන අයිතීන් උදෙසා වන සටන අත්නොහැරියාය. ඒ වෙනුවෙන් ඇගේ අවසන් හුස්ම පොද දක්වා සටන් කළාය.

ඇය 2005 ඔක්තෝබර් 24 දා වයස 92දී මිය ගියාය. බස් රථයේ අසුන අහිමි වූ ඇය එක්සත් ජනපදයේ අති විශේෂ පුද්ගලයන් පමණක් භූමදානය කරන වොෂින්ටන් අගනුවර, රොටුන්ඩාහි භූමදාන කළ පළමු කාන්තාවද, දෙවන කළු ජාතිකයාද වෙමින් තැන්පත් කරනු ලැබ ඇත. ඇය මියගියදා  එක්සත් ජනපද ජාතික ධජය රට තුළත්, පිටතත් එක්සත් ජනපද ආයතන සියල්ල තුළ අඩකුඹු කරන ලද්දේය. ඇයට එක්සත් ජනපද පාර්ලිමේන්තුව විසින් පිරිනැමූ ඕනෑම පුද්ගලයෙකුට ලබාදෙන ඉහළම සම්මානය වන රන් සම්මානයේ මුහුණතේ කවාකාරව මෙසේ ලියා ඇත.

“නූතන සිවිල් අයිතිවාසිකම් සුරැකීමේ ව්‍යාපාරයේ මාතාව”

ඉවත්වීම වෙනුවට අල්ලාගෙන සිටීම පිළිබඳවත් අත්හැරීම වෙනුවට සටන් කිරීම පිළිබඳවත් ඇගේ ක්‍රියාව එදා කුඩා සිදුවීමක් පමණක් විය. එහෙත් එම කුඩා සිදුවීම දැවැන්ත මර්දනකාරී, ජන පීඩක ප්‍රතිපත්තියකට එරෙහිව නැගීසිටීමක් විය. ක්‍රියාව කෙතරම් කුඩා ලෙස පෙනිය හැකි වුවද, එක් සාධාරණ ප්‍රතිපත්තියක් රාජ්‍යයක හමුදාවල බලයට වඩා, රාජ්‍යයක බලයට වඩා බලවත් බව ඇය ඔප්පු කළාය. අද ද ඇය වෙනුවෙන් මොන්ටිගෝමරියේ බස් රථවල ඉදිරි අසුන වෙන්කර තිබේ. ඇය කුඩා වැඩකරන පංතියේ ගැහැනියකි. අද ජගත් පොදු ප්‍රවාහනයේ අනභිභවනීය සංකේතයයි.

ඇය රෝසා පාර්ක්ය.

“ඔබ නිවැරදි දේ සිදුකරන විට කිසිවිට ඒ ගැන බිය නොවන්න”

  රෝසා පාර්ක්
  • ලෙෆ්ට් සඟරාවේ පළ වූ ලිපියකි

–                               

ඉදිරිපස අසුන ඇයට වෙන්කර තිබේ!