මානසික සෞඛ්‍ය අර්බුදයට විසඳුමක් ගෙන ආ හැක්කේ, සමාජවාදී සමාජයක් ගොඩනැගීමෙන් පමණය

SHARE

Share on facebook
Share on google
Share on twitter
Share on linkedin

(මෙහි පළවෙන්නේ Socialist Review සඟරාව, 2017 නොවැම්බර් මසදී එළිදැක්වූ Politics of Mind කෘතියේ කර්තෘ හා බ්‍රිතාන්‍ය් ප්‍රකට මාක්ස්වාදී බුද්ධිමතෙකු වන මහාචාර්ය ඉයන් ෆර්ගියුසන් (Iain Ferguson) සමග සිදුකරන ලද සම්මුඛ සාකච්ඡාවක පරිවර්තනයකි.)

ප්‍රශ්නය:- මේ වකවානුව තුළ දොම්නස් බව (Depression) සහ තැවුල් සහිත බව (Anxiety) මිනිසුන් අතර වසංගතයක් මට්ටමින් පැතිරිලා තිබෙනවා. රැකියා නොමැති අය අතර මේ තත්වය වැඩි බවත් සාකච්ඡා වෙනවා. ඔබ සිතන පරිදි මානසික සෞඛ්‍ය ආශ්‍රිත ගැටලු මේ තරම් කරළියට පැමිණීමට හේතු මොනවාද?


පිළිතුර:- මේ තත්වයට වැඩිපුරම බලපාන තනි හේතුව ලෙස සැම කෙනෙක්ම පාහේ මුහුණ දෙන මානසික පීඩනය අති විශාල මට්ටමින් ඉහළ යාමයි. මෙහිදී බොහෝ විට රැකියාවක් නොමැති අයත් එමෙන්ම රැකියා කරනු ලබන නමුත් ඉතා දැඩි සේවා සුදුසුකම් පරීක්ෂාවන්ට ලක්වීම නිසා පීඩනයට ගොදුරු වූ අයත් මේ තත්වයට වැඩිපුර ගොදුරු විය හැකියි. එමෙන්ම යම් පහසුකම් සහිත තත්වයේ සිට සේවය කරන අයත් එම ‘හොඳ රැකියාව’ රැකගැනීම සඳහා ඕනෑම තත්වයක් යටතේ වැඩ කිරීමට පෙළඹී ඇති නිසාත් මෙවැනි මානසික ගැටලුවලට ලක්වෙනවා.
මෙය බ්‍රිතාන්‍යය තුළ පමණක් නෙවෙයි. ග්‍රීසිය තුළ පවා අති විශාල ලෙස මෙම දොම්නස් සහගත තත්වයට හා තැවුල් සහිත බව යන රෝගී තත්වයන්ට ගොදුරු වූ අයගේ ප්‍රමාණය ඉහළ යනවා දකින්න පුළුවන්. එමෙන්ම සියදිවි නසා ගැනීම්ද ඉහළ යමින් තිබෙනවා. මේ තත්වයට අනෙකුත් සමාජ කණ්ඩායම්ද (රැකියා කරන පිරිස් පමණක් නොවේ) ලක්ව තිබෙනවා. උදාහරණයක් ලෙස දැක් වුවොත් මෙම රෝගී තත්වයන්ට තරුණ අය ගොදුරු වීමේ ප්‍රවණතාවය විශේෂයෙන්ම තරුණියන් ගොදුරු වීමේ ප්‍රවණතාවය විශාල ලෙස ඉහළ යමින් තිබෙනවා. එයට සමාජ මාධ්‍ය භාවිත කිරීමේ ප්‍රමාණයත් තරමක් දුරට බලපා තිබෙනවා.
එමෙන්ම රැකියා කරන ජනතාවගෙනුත් – විශේෂයෙන්ම දුප්පත් හා අඩු වැටුප් ලබන කොටස් තුළ මෙම මානසික රෝගී බව වැඩි වෙමිනුයි පවතින්නේ. එයට එක් හේතුවක් ණය බර විය හැකියි. අනෙක් හේතුව රැකියාවේ අනාරක්ෂිතභාවයයි.
මේ තත්වය ලෝකයටම පොදුයි. ඒ පොදු සාධකය පිළිබඳ මා මේ පොතෙත් සාකච්ඡා කර තිබෙනවා. ඒ, පොදු සාධකය තමයි නව ලිබරල් සමාජයක ජීවත් වීමේ පීඩනය. ඒ පීඩනය වැඩ අධික බව නිසා හෝ ණය බර නිසා හෝ රැකියාවේ දැනට ඇති පහසුකම් කැපීම නිසා හෝ ඇති විය හැකියි. ඒ කුමන ආකාරයෙන් ආවත් පැහැදිලි පොදු සාධකය නම් ධනපති සමාජයක ජීවත් වීමේ පීඩනයයි.


ප්‍රශ්නය:- ඔබ මේ පොත, මේ මොහොතේ ලීවේ ඇයි?

පිළිතුර:- සත්‍ය වශයෙන්ම ප්‍රධාන හේතුව වූයේ දැනට මානසික සෞඛ්‍ය ගැටලු සඳහා බහුලව යොදා ගන්නා ‘වෛද්‍ය ප්‍රතිකාර’ ක්‍රමය අභියෝගයට ලක් කිරීමයි. මානසික රෝගී තත්වය කුමන නමකින් හැඳින්වුවත්, දොම්නස් බව (Depression) සහ තැවුල් සහිත බව (Anxiety&) භින්නෝන්මාදය (Schizophrenia) වෙන කුමක් වුවත්, එයට ලබා දෙන ‘වෛද්‍ය ප්‍රතිකාර’ මොඩලය සකස් කර ඇත්තේ ජනතාවගේ ජීවිතවලට සිදු වෙමින් තිබෙන්නේ කුමක්ද, සමාජය තුළ සිදුවෙමින් තිබෙන්නේ කුමක්ද යන්න කිසිසේත්ම අදාළ නැති ලෙසයි. දැනට ලොව පුරාම ස්ථාපිත වී ඇති මානසික රෝග සඳහා වන ප්‍රතිකාර ක්‍රමය විසින් මානසික රෝගී තත්වය පුද්ගල බද්ධ කරුණකට සම්පූර්ණයෙන්ම ලඝු කරනවා. අප මේ කතිකාව මගින් මූලිකවම පෙන්වා දෙන්නේ, දැනට පවතින මානසික ආතති තත්වය, විශේෂයෙන්ම එන්න එන්නම මානසික ආතතියට ගොදුරු වන පුද්ගලයින් ප්‍රමාණය ඉහළ යෑම ධනපති ක්‍රමය විසින් මිනිසුන්ගේ ජීවිත මත ඇති කරන පීඩනය හා ඉතා පැහැදිලිවම සම්බන්ධ බවටයි.
මේ පිළිබඳ වැදගත් වන තවත් මූලික කරුණ දෙකක් තිබෙනවා. ඉන් එකක් තමා මෑතක සිට මානසික ආතතිය හා මානසික සෞඛ්‍ය පිළිබඳ ප්‍රතිඵලදායක වෙනස් මැදිහත් වීමක්, ප්‍රථිකාර ක්‍රමෝපායක් පිළිබඳ ඇතිවී තිබෙන සංවාදය. එය මෑතකදී ලන්ඩනයේදී පැවැත්වූ මාක්ස්වාදය පිළිබඳ ප්‍රදර්ශනයට හෝ ඔබේ Socialist Review සඟරාවට පමණක් සීමා වූවක් නොවේ. මෙම සංවාදය අතර ෆ්‍රොයිඞ්ගේ ක්‍රමවේද පිළිබඳව ස්නායු විද්‍යාව (neuro science) පිළිබඳ වැදගත් සාකච්ඡා රාශියක්ද තිබුණා. මා මෙම කෘතිය මගින් ඒවායින් කිහිපයක් සාකච්ඡාවට ගැනීමට උත්සාහ කර තිබෙනවා.
මානසික සෞඛ්‍ය පිළිබඳ ඊළඟ වැදගත් කරුණ වන්නේ, මෑත අවුරුදු කිහිපය තුළදී මානසික රෝගී තත්වයන් පිළිබඳ ඒවායේ ප්‍රතිකාරවල ගැටලු හා ආණ්ඩුවේ සෞඛ්‍ය සේවයේ ගැටලු පිළිබඳ ඒ වෙනුවෙන් කටයුතු කරන සංවිධානවලින් රට හමුවට ගෙන ඒමයි. විශේෂයෙන්ම ආණ්ඩුවේ සෞඛ්‍ය සේවා කප්පාදුවට එරෙහි ආබාධිත පුද්ගලයින්ගේ සංවිධානය (Disable People Against Cuts – DPAC) ඉන් එකක්. වත්මන් සමාජ හා ආර්ථික අර්බුදයේ එක් සාධනීය ප්‍රතිඵලයක් ලෙස මා දකින්නේ මානසික රෝගී තත්වයන්ට ලක් වූ පුද්ගලයින් හා ඔවුන්ගේ ඥාතීන් එක්වී මානසික රෝගී තත්වයන් නිර්මාණය කරන සමහර සාධකවලට එරෙහිව සටන් කිරීමට සංවිධානය වීමයි.


ප්‍රශ්නය:- ඔබ කලින් පිළිතුරේදී ප්‍රකාශ කළ පරිදි දැනට මානසික රෝග සඳහා ස්ථාපිත වී තිබෙන ප්‍රධාන ප්‍රතිකාර මොඩලය ස්ථාපිත වීමට බලපෑ හේතු මොනවාද? කොපමණ කාලයක සිට එය ක්‍රියාත්මක වෙමින් තිබෙනවාද?


පිළිතුර:- වත්මන් ක්‍රමය දැනට වසර 150ක් පමණ තිස්සේ ස්ථාපිත ප්‍රධාන ප්‍රතිකාර ක්‍රමය බවට පත්වී තිබෙනවා. පළමු කොටම එය එසේ වී ඇත්තේ මතවාදීමය (දේශපාලනික) හේතු නිසා. එහි මූලිකම හරය වන්නේ මානසික රෝගී තත්වය සම්පූර්ණයෙන්ම පාහේ පුද්ගලයාගේ ගැටලුවක් ලෙස විග්‍රහකිරීමයි. එය ඉතා පහසු විග්‍රහයක්. එමඟින් මෙම රෝගී තත්වය අදාළ පුද්ගලයාගේ මොළයේ හෝ ඔහුගේ සදාචාරමය දුර්වලතාවයන් නිසා ඇතිවෙන්නක් බව පදනම් කොට හිතනවා. එම අදහස අදාළ රෝගී තත්වය ඇති පුද්ගලයාට දැන්වූ විගසම ඔහු තුළ ස්වයං ගර්හාවට ලක්වීමක් සිදුවෙනවා. එමගින් එම පුද්ගලයා තුළම ඔහු දුර්වල හෝ ජීව විද්‍යාත්මක දෝෂ සහිත පුද්ගලයෙක් ලෙස හෝ එසේ විය හැකි කෙනෙක් ලෙස අදහසක් ස්ථාපිත වෙනවා. ඒ අනුව මානසික රෝගී තත්වයේ මුළු හේතුවම අදාළ පුද්ගලයාගේ දෝෂයක් බවට ඔහුටත් අනෙක් අයටත් ඒත්තු ගන්වනවා.

මෙම ප්‍රතිකාර ක්‍රමයේ ඇති අනෙක් වැරැද්ද නම් “ලෙඩක් ඇත්නම් එයට ප්‍රතිකාර ද ඇත. පෙත්තකින් හෝ වෙනත් යමකින් එය සුවකළ හැක.” යන අදහස මනසේ ස්ථාපිත කිරීමයි. මේ මතය නිසාම ලොව දෙවන විශාලතම ලාභ ලබන ව්‍යාපාරය ඖෂධ වෙළඳාම බවට පත්වීම පුදුමයක් නොවෙයි. නමුත් ඉහත මතය එලෙස තිබුණත් මෙම ප්‍රතිකාර ක්‍රමය අසාර්ථක වූ අවස්ථා රාශියක් තිබෙනවා. ඒ සඳහා සාක්ෂි ලොව පුරා අතිවිශාල ප්‍රමාණයක් තිබෙනවා.
ප්‍රශ්නය:- එසේ නම් ධනපති ක්‍රමයට කලින් මිනිස්සු මානසික රෝග පිළිබඳ කතා කළාද? මෙම ප්‍රතිකාර මොඩලයට කලින් මානසික රෝග ගැන වෙනත් ප්‍රතිකාර ක්‍රම තිබුණාද?
පිළිතුර:- ධනපති ක්‍රමයට හෝ මෙම ප්‍රතිකාර ක්‍රමයට පෙර තිබූ ස්ථාපිත ක්‍රමය වූයේ ආගමික ක්‍රමවේදයයි. එනම් මානසික රෝග ඇතිවන්නේ දෙවියන් විසින් දෙන ලද දඬුවමක් ලෙස හා එය යක්ෂයන් විසින් ක්‍රියාවට නංවන දෙයක් ලෙසයි. නමුත් මෙම ආගමික ක්‍රමවේදවලට සමාන්තරවම ඒ කාලය තුළත් මානසික රෝග සඳහා භෞතිකවාදී පැහැදිලි කිරීමක් හා ප්‍රතිකාර ක්‍රමත් හරිහරියටම තිබුණා. මෙම භෞතිකවාදී පැහැදිලි කිරීම් තුළින් මෙම මානසික රෝගි තත්වය ශරීරය තුළ ඇති ගැටලුවක් ලෙස විග්‍රහ කළා. උදාහරණයක් ලෙස මෙසේ තිබූ සමහර භෞතිකවාදී පැහැදිලි කිරීම් අද හාස්‍යජනක දේ ලෙස කෙනෙක්ට දැනෙන්න පුළුවන්. ඉන් එක් විග්‍රහයක් වූයේ මානසික රෝග ඇතිවන්නේ ශරීරය තුළ ඇති විවිධ තරලයන්ගේ සමතුලිත බව බිඳීයෑම නිසා බවයි. මෙම ක්‍රමවේදය 19වැනි සියවස වන තෙක්ම ප්‍රබල බලපෑමක් තිබූ ක්‍රමවේදයක් බවට පත්වී තිබුණා. මම මේ කෘතියේ සඳහන් කර ඇති The Madness of King George – (ජෝර්ජ් රජතුමාගේ උමතුව) චිත්‍රපටයේ මෙම ප්‍රතිකාර ක්‍රමය ගැන හොඳින් පැහැදිලි කෙරෙනවා.
නමුත් විශේෂයෙන්ම ඉතා ප්‍රබල සමාජ වෙනස්කම්වලදී සිදුවන කාලසීමාවන්වලදී උදාහරණයක් ලෙස වැඩවසම් ක්‍රමයේ සිට ධනවාදයට සමාජය පරිවර්තනය වූ කාල සීමාව තුළදී, ප්‍රංශ විප්ලවය අවධියේදී වැනි ඉහත, සඳහන් කළ හේතු දැක්වීම හා ප්‍රතිකාර ක්‍රමවලට වඩා ප්‍රගතිශීලී හා වර්ධිත අදහස් හා ප්‍රතිකාර ක්‍රම බිහිවුණා. විශේෂයෙන්ම ඒවා මගින් මිනිසුන්ගේ මානසික පීඩනයේ ප්‍රමාණය ඔවුන් මුහුණ දෙන ජීවිත අවදානම් මත තීරණය වන බව මෙම වර්ධිත අදහස් වලින් ප්‍රකාශ වුණා.


ප්‍රශ්නය:- මෙවැනි සංකීර්ණ විෂයයක් අරඹයා මාක්ස්වාදී ප්‍රවේශය කුමක් විය යුතුද? ඔබට එය කෙටියෙන් සාරාංශ කර දක්වන්න පුළුවන්ද?


පිළිතුර:- මාක්ස්වාදී ප්‍රවේශයේදී අදාළ වන මූලික සාධක තුනක් තිබෙනවා. පළමු වැන්න නම් ගැටලුවට භෞතිකවාදී පැහැදිලි කිරීමක් කිරීම. පළමුවෙන්ම ගත්තොත් අද අප ජීවත්වන සමාජය පදනම් වී තිබෙන්නේ එහි මූලිකවී තිබෙන්නේ මිනිසුන්ගේ භෞතික අවශ්‍යතා හෝ මානසික අවශ්‍යතා සම්පූර්ණ කිරීම මුල්කරගෙන නෙමෙයි. එහි මූලික වී තිබෙන්නේ ලාභය ගොඩගසා ගැනීමයි. මේ නිසා මිනිසුන්ගේ අවශ්‍යතා එනම් ඒවා භෞතික වූවත් අභ්‍යන්තරික අධ්‍යාත්මික වුවත් ලිංගිකමය වුවත් ඒවා පාගාදමන, විකෘති කරන හා පරත්වාරෝපණයට ලක්කරන සමාජයකයි අපි ජීවත්වෙන්නෙ. මේ තත්වය තමයි මානසික සෞඛ්‍ය ගැටලු තේරුම් ගැනීමේ මූලික ලක්ෂණය වන්නේ.
දෙවැනි සාධකය වන්නේ ඓතිහාසිකව ප්‍රශ්නයට ප්‍රවේශ වීමයි. මෙම ප්‍රවේශය මගින් ඒ ඒ කාල සීමාවන්වලදී මානසික සෞඛ්‍යය පිළිබඳ යම්යම් මත හා ප්‍රතිකාර මොඩලයන් ස්ථාපිත වූයේ ඇයිද යන්නත්, මිනිසුන්ගේ ජීවිත තුළත් ජීව විද්‍යාත්මකව ඒ ඒ කාලයන් තුළදී යම් යම් මානසික තත්වයන් ඇතිවූයේ ඇයිද යන්නත් අවබෝධ කර ගැනීමට හැකියාව ලැබෙනවා.
කෙනෙක් ළඟදී කියල තිබුණා අපි කෙනෙක් මුණගැහුණම ඇත්තටම අහන්න ඕන ප්‍රශ්නය “ඔයාට කොහොමද?” (How are you? කියලා නෙවෙයි. “ඔයාට මොකක්ද වුණේ” (What happend to you?) කියලා. මේකෙ තේරුම නම් ඔබේ ජීවිතය සකස්වන්නේ එය ගොඩනැගෙන්නේ ඔබ මුහුණ දෙන අවස්ථා විසින්, ඔබේ අත්දැකීම්වලින් මිසක් (100%ක්ම එසේ නොවේ) වෙන දේවල්වලින් නොවේ කියන එකයි.
තුන්වන සාධකය වන්නේ දයලෙක්තික ප්‍රවේශයයි. මෙහි ප්‍රධාන පැති දෙකක් තිබෙනවා. එය සරලව පැහැදිලි කළොත් සමහර පුද්ගලයන් සිටිනවා ඔවුනට විවිධ ශබ්ද ඇසෙන, (මෙය හීනෝනමාදයේ සුලභම ලක්ෂණයක්) හා ඒවාට තමා විසින් ප්‍රතිචාර දැක්වීම. සමහර අය එම ශබ්දවලට බියෙනුත්, තවත් අය යම් ප්‍රමාණයකට ඒවා කළමනාකරණය කරමිනුත් හෝ කුමන ආකාරයකින් හෝ ප්‍රතිචාර දැක්වීම. නිතරම මේ ආකාරයට ප්‍රතිචාර දැක්වීමේ රෝග ලක්ෂණය සලකනු ලබන්නේ එය එම පුද්ගලයා තුළම වන රෝගී තත්වයක් ලෙසයි.
එම නිසා පළමු කරුණ මගින් මිනිසුන් තමන්ගේ හැඟීම් හා සිතැඟි පිළිබඳ ප්‍රායෝගිකවම සිතීමට හා විඳීමට පෙළඹීමයි. මෙම පොතේ මා සඳහන් කර ඇති ප්‍රධානම තර්කයක් වන්නේ මෙයයි. එනම් අපගේ (ජනතාවගේ) පොදු මානසික සෞඛ්‍ය මට්ටම සෑහෙන දුරට පංති අරගලයේ මට්ටම අනුව බවයි.
උදාහරණයක් ලෙස මිනිසුන් සමූහයක් ලෙස යම් අයහපත් දෙයකට විරුද්ධව ප්‍රතිචාර නොදක්වන අවස්ථාවන්හිදී, ඔවුන් තම වේදනාවන් හා පීඩනයක් තමන් තුළටම ඇතුල් කර ගන්නා බවයි. එමෙන්ම මිනිසුන් සාමූහිකව ක්‍රමයට විරුද්ධ අරගල කරන, පෙරළා සටන් කරන අවස්ථාවන්හිදී ඔවුන්ගේ මානසික සෞඛ්‍ය මට්ටමේ යහපත් වර්ධනයට හේතු වන බව ලොව පුරා ඕනෑතරම් උදාහරණවලින් ඔප්පු වී තිබෙන බවයි.


ප්‍රශ්නය:- ඔබේ කෘතියේ එක් සුවිශේෂී වගන්තියක් තිබෙනවා. එය නම්, “From picket lines to worry lines!” (උද්ඝෝෂණ පෝලිමේ සිට දුක්වේදනා පෝලිමට!) යන්නයි.


පිළිතුර:- ඔව්. මම හිතනව එය හොඳ වැකියක් කියලා. එම වගන්තිය මඟින් අපි දැන් සැබෑවටම සිටින තැන හොඳින් පෙන්වා දෙනවා. අපි සියලු දෙනාටම අපගේ මානසික සෞඛ්‍යය දියුණු කර ගැනීමට කළ හැකි තනි වැදගත්ම දේ සාමූහිකව මේ ක්‍රමයට හා එහි අසාධාරණයට විරුද්ධව සටන් කිරීමයි. එය ඍජුවම පරත්වාරෝපණ තත්වය වෙනස් කරන්න උදව් වෙනවා. මා මේ කෘතිය තුළත් සඳහන් කර ඇත්තේ බොහෝ දෙනෙක්ට මානසික ආතතිය හා ගැටලු ඇතිවන්නේ තමා අසරණ බවට වන, තමාට බලයක් නොමැති කෙනෙක් ලෙසට වන හැඟීමයි. නමුත් මිනිසුන්ට තමාට පිරිසක් සිටින බවත්, තමාට යම් ශක්තියක් හා බලයක් තිබෙන බවත් දැනෙන විට ඔවුන්ගේ මානසික සෞඛ්‍යය මට්ටම ඉතා හොඳින් ඉහළ යනවා.


ප්‍රශ්නය:- මම හිතනවා ඔබ ඉහත ප්‍රකාශ කරන ලද දේ, වර්තමානයේ වෛද්‍යවරයෙක් මුණගැසීමට යන මානසික රෝගී තත්ත්වයට ලක්වී ඇති කෙනෙක්ට ලැබෙන ප්‍රතිකර්මවලට වඩා මූලධාර්මිකවම වෙනස්. මෙම වෛද්‍යවරුන් රෝගීන්ට ඖෂධ ලබා නොදුන්නත්, බොහෝ දුරට ඔවුන්ට මනෝ චිකිත්සක ප්‍රතිකාරවලට, බොහෝ විට (CBT – Cognitive Behavioural Therapy) යොමු කරනවා. එමගින් බොහෝ දුරට සිදුකරන්නේ ඉතා පුද්ගලික වනසේ තම චර්යාවන් වෙනස් කර ගැනීමටත්, තමා ප්‍රතිචාර දක්වන ආකාරය වෙනස් කර ගැනීමටත් උදව් කිරීම පමණයි. නමුත් එය සම්පූර්ණයෙන්ම ඔබ මුලින් කියූ “රෝගයට හේතුව පුද්ගලයාගේ වරදක්ය” යන පදනමේ සිට කරනු ලබන ප්‍රතිකාර ක්‍රමයක් නේද?


පිළිතුර:- සහතික වශයෙන්ම මෙම මනෝචිකිත්සක ප්‍රතිකාරයෙන් ඔබට යහපතක් වුණොත් හොඳයි. නමුත් මම ක්‍ඊඔ චිකිත්සක ක්‍රමය මානසික ආතතිය වැඩිකරන පවතින වටාපිටාව වෙනස් කිරීමට කල්පනා කිරීම හා ක්‍රියා කිරීම වෙනුවට ඊට විරුද්ධව ඔබ සමාජය හා අවට දේ දකින විදිය වෙනස්කිරීම ඉලක්ක කොට ගත්තක්. නව ලිබරල් ධනවාදී මතවාදයේ ඇති එක් ලක්ෂණයක් තමයි ඉතා ප්‍රගතිශීලී අදහස් පිළිගෙන, එය නව ලිබරල් ධනවාදී අන්තයකට ගැලෙපෙන ලෙස වෙනස් කිරීම. උදාහරණයක් ලෙස “මානසික රෝහලේ සුවකළ හැකිය” යන මතය සමාජය තුළ ප්‍රබල බලපෑමක් කර තිබෙනවා. එහි ධනාත්මක පැත්ත තමයි මානසික සෞඛ්‍ය ගැටලු ඇති අප ජීවිතය පුරාම එසේ සිටිය යුතු නැතය යන අදහස සමාජගතවී තිබීම. නමුත් එහි නරක, ප්‍රතිගාමී පැත්ත තමයි එම මානසික රෝගී තත්වයෙන් සුවවීමේ වගකීම අදාළ පුද්ගලයා මත සහමුලින්ම පැටවීමයි.


ප්‍රශ්නය:- ඔබ ඔබගේ කෘතිය තුළින් මානසික සෞඛ්‍යය පිළිබඳ දැනට ස්ථාපිතවී ඇති ප්‍රධාන මොඩලයන්ට අභියෝග කරන අතරම, එම මොඩලයන් විසින් මෙම මානසික සෞඛ්‍ය පිළිබඳ ක්ෂේත්‍රයට කරන ලද බලපෑමත් විශ්ලේෂණය කර තිබෙනවා. විශේෂයෙන්ම මානසික සෞඛ්‍ය පිළිබඳ ලොව ප්‍රබලම බලපෑම කළ පුද්ගලයා වන ෆ්‍රොයිඞ් පිළිබඳවත්, ඔහුගේ සොයාගැනීම්, ඒවායේ ඇති සාධනීය ලක්ෂණ මෙන්ම නිෂේධනාත්මක ලක්ෂණ ගැනත් ඔබ සඳහන් කර තිබෙනවා.

පිළිතුර:- ෆ්‍රොයිඞ් කිසිවිටෙක විප්ලවාදියෙක් වූයේ නැතත් ඔහුගේ චින්තනය තුළ එක් ප්‍රබල රැඩිකල් අදහසක් ස්ථාපිතවී තිබුණා. එය නම් සමාජය විසින් පුද්ගලයෙකුගේ ලිංගිකත්වය පාගාදමා, වියවුල් තත්වයට පත්කරනවාට අමතරව අනෙකුත් මූලික අවශ්‍යතාද පාගාදමන වියවුල් තත්වයට පත්කරන බවයි. ඔහු එය හැඳින්වූයේ නියුරෝසිස් නිපදවීම මගින් සිදුවන තත්වයක් බවයි.
ඔහුගේ මනෝ විශ්ලේෂණ ක්‍රමවේදයේ බොහෝ පැති ඉතා සාම්ප්‍රදායික වූ අතරම මානසික සෞඛ්‍ය ගැටලු ඔහුට පෙර තිබූ ක්‍රමවේදය පරිද්දෙන්ම ඔහුත් පුද්ගලානුබද්ධ දෙයක් ලෙස විග්‍රහ කළා. එසේ වුවත් මාක්ස්වාදීන් අතර යම් ධාරාවක් ෆ්‍රොයිඞ්ගේ චින්තනය තුළ විප්ලවකාරී සාරයන් ඇති බවට විශ්වාස කළා.


ප්‍රශ්නය:- ඔව්, ඔබ කියූ පරිදිම ෆ්‍රොයිඞ්ගේ යුගයේ සිටි ප්‍රබල මාක්ස්වාදීන් ඔහු සමඟ නිරන්තර ගනුදෙනු කළා නේද? එය නිවැරදිද?

පිළිතුර:- ඔව්. නිශ්චිතවම රුසියානු විප්ලව අවධියේදී, 1920 ගණන්වලදී. මෙම කෘතිය ලිවීමට පර්යේෂණ කරද්දී දැනගත් එක් වැදගත් කරුණක් තමයි ෆ්‍රොයිඞ්ගේ මනෝ විශ්ලේෂණාත්මක ක්‍රමවේදයට සෝවියට් ආණ්ඩුවේ නිල අනුමැතියට කිට්ටු තරම් පිළිගැනීමක් ලැබී තිබුණු බව, විශේෂයෙන්ම 1920 ගණන්වලදී ෆ්‍රොයිඞ්ගේ පොත් මුද්‍රණය කරන ලද්දේ සෝවියට් ආණ්ඩුවේ මුද්‍රණ ආයතනය මගිනුයි. ෆ්‍රොයිඞ්ට, ට්‍රොට්ස්කි, රදික් (ඍ්ාැන) විගොට්ස්කි (ඪහටදඑිනහ) වැනි අයගේ විවේචනාත්මක සහාය ලැබුණා.
ජර්මනිය තුළත් මේ කාලවකවානුව තුළම විශාල පිරිසක් මනෝ විද්‍යාත්මක අධ්‍යාපනයන්හි නිරත වුණා. ඒ අතර කැපීපෙනෙන මට්ටමේ කාන්තා මනෝවිද්‍යාඥවරියන්ද සැලකිය යුතු පිරිසක් සිටියා. ඔවුන්ද ෆ්‍රොයිඞ්ගේ මෙම අදහස්වලින් විශාල ආකර්ෂණයකටත්, බලපෑමකටත් ලක්වුණා. ඔවුන් අතරින් ප්‍රබල රැඩිකල් විභවතාවයන් සහිත චින්තනයක් සහිත අයත් සිටියා. මෙම මනෝ විද්‍යාඥයන්ගෙන් පිරිසක් සහ එම ක්‍රමවේදයන් 1930 දශකයේදී හා 1940 දශකයේදී එක්සත් ජනපදයට ආනයනය කරනු ලැබුවා. ඉන්පසු එය ලොව පුරාම නිල “මනෝ විශ්ලේෂණ ක්‍රමවේද” බවට පත්වුණා පමණක් නොවෙයි, එහි තිබූ රැඩිකල් යථාර්ථවාදී ගතිලක්ෂණ සහමුලින්ම පාහේ ඉවත්වුණා.


ප්‍රශ්නය:- ඔබ මෙහි සාකච්ඡා කරන ඊළඟ යුගය 1960 දශකයයි. එයත් අතිවිශාල සමාජ දේශපාලන අරගල සහිත කාල පරිච්ඡේදයක්. මෙම යුගයේ ප්‍රබල චරිතයක් වූයේ (මානසික සෞඛ්‍ය ක්ෂේත්‍රයේ) R.D.Laing. ඔහු නැවත වතාවක් මෑතකදී තරමක් ප්‍රසිද්ධියට පත්වූයේ ඔහුගේ ජීවන චරිතය මත පදනම් වී ඬේවිඞ් ටෙනන්ට් විසින් අධ්‍යක්ෂණය කරන ලද චිත්‍රපටිය නිසයි. ඍගෘගඛ්සබටගේ දායකත්වය ඔබ අගය කරන්නේ කෙසේද?


පිළිතුර:- මා දකින විදියට ලෙයිංග් ඉතා ආකර්ෂණීය, ප්‍රතිවිරෝධී ලක්ෂණ සහිත පුද්ගලයෙක්. මානසික සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඔහුගේ පළමු මැදිහත් වීම වූයේ එවකට ප්‍රචලිතව හා ස්ථාපිත වී තිබූ වනචාරි මට්ටමේ ක්‍රමවේදයක් වන මානසික රෝග සුවකිරීම සඳහා ප්‍රතිකාර ක්‍රමයක් ලෙස මොළය කැපීමටත් (Lobotomy), අධි විදුලි සැර ඇල්ලීමටත් විරුද්ධව කරන ලද මැදිහත්වීමයි.
මා ලෙයිංග්ව සලකන්නේ පීඩාවට පත්වූවන්ගේ නායකයෙක් ලෙසයි. හිනෝන්මාදය හෝ එවැනි රෝගී තත්වයට ලක්වූවන් යයි ලේබල් කර ඇති මිනිසුන්ට ප්‍රතිකාර කිරීමට පෙර ඔවුනට ඇහුම්කන් දිය යුතු යැයි ප්‍රබල ලෙස මතයක් ඇති කළේ ඔහුයි. මෙම මිනිසුන්ගේ හැසිරීම්වලට හා සිතුම් පැතුම්වලට බලපා ඇත්තේ හුදු ඔවුනගේ ශරීරයේ හෝ මොළයේ සිදුවන රසායනික ප්‍රතික්‍රියා පමණක් නොවන බවත් ඒවාට හේතු වන සැබෑ ජීවන අත්දැකීම්වල බලපෑම් නිසාත් ඔවුන් තුළ මෙවැනි හැසිරීම් සිතුම් පැතුම් ඇතිවන බවටත් ඔහු තර්ක කළා.
ලෙයිංග්ව පසුකාලීනව විවේචනයට ලක්වුණා හිනෝන්මාදය හැදුණු අයගේ පවුල් සහ දෙමාපියන් විවේචනය කිරීම නිසා. ඔහුගේ ව්වේචනය වූයේ දරුවාට හෝ පවුලේ කෙනෙක්ට හිනෝන්මාදය වැළඳීමට හේතුව පවුලේ අනිත් අය සහ දෙමාපියන් බවයි. මා සිතන්නේත් එය තරමක් දුරට අසාධාරණ විවේචනයක් බවයි. නමුත් ඔහු එය එසේ බවට විශ්වාස කළා. ඉන්පසු ඔහු නව වාමාංශික ව්‍යාපාර සමග තදින් සම්බන්ධ වූ අතරම 1960 දශකයේ අගභාගයේදී ලන්ඩනය තුළ විශාල සම්මන්ත්‍රණයක් පවා සංවිධානය කළා. එසේ වුවත් 1970 දශකය වන විට මෙම ක්ෂේත්‍රයට ඔහුගේ බුද්ධිමය දායකත්වය අඩුවූ අතරම, ඔහු පුද්ගලිකවත් තදින් මත්පැන්වලට ඇබ්බැහි වුණා. එහෙත් 1960 දශකයේදී ලෙයිංගේ ප්‍රධාන මතය වූ, මානසික අවපීඩනයට හේතුවක් ඇති බවත්, එය හඳුනා ගැනීමට මිනිසුන්ට ඇහුම්කන් දිය යුතු බවටත් ඉදිරිපත් කළ මතය ඉතා වැදගත්. එහෙත් මේ විද්‍යාත්මක පරීක්ෂණ දියුණු වී නොතිබුණු කාලයක ලෙයින්ගේ විසින් ඉදිරිපත් කරන ලද මෙම මතය මේ වන විට පරීක්ෂණ රාශියක් මඟින් ඉතා ප්‍රබල ලෙස තහවුරු වී තිබෙන්නක්. එනම් මිනිසුන්ගේ මානසික සෞඛ්‍ය ගැටලු හා ඔවුන්ගේ ජීවන අත්දැකීම් සමඟ, ඔවුනට සිදුවන අපයෝජනද සමඟ ඉතා තදින් සම්බන්ධ බවයි.


ප්‍රශ්නය:- ඔබේ කෘතියේ අවසානයේදී ඔබ සඳහන් කරනවා පසුගිය වසර කිහිපය තුළ පැනනැගුණු මහජන ව්‍යාපාරයන්ගේ ක්‍රියාකාරිත්වය පිළිබඳවය. එනම් මානසික සෞඛ්‍යය සේවා ලබාගන්නන් වගේම ඔබ වැනි රැඩිකල් සමාජ සේවා කටයුතු කරන අය, මානසික සෞඛ්‍යය පිළිබඳ වෘත්තිකයන් හා විද්වතුන්ගේ මැදිහත්වීමෙන් ගොඩනැගුණු මහජන සංවිධාන පිළිබඳව. මෙම නව මහජන ව්‍යාපාර සකස් වීමට අතීතයේ තිබූ මහජන ව්‍යාපාරවල බලපෑම මොන වගේද? මෙම නව සංවිධානවල ප්‍රවේශය සැබෑ ලෙස කෙතරම් අලුත්ද?


පිළිතුර:- අප ජීවත්වන මේ යුගයේ ඉතා සිත් ගන්නා සුළු අවධියක්, නව මහජන ව්‍යාපාරවල (මානසික සෞඛ්‍ය පිළිබඳ) පදනම වී ඇත්තේ මානසික සෞඛ්‍ය ගැටලු ඇති පුද්ගලයන් දැන් වැඩි වැඩියෙන් රෝහල් ගත නොවීමත් ඔවුන් තම ප්‍රජාව, වටපිටාව තුළ ජීවත් වන ගමන් රෝගය සුව කර ගැනීමට අවශ්‍ය විවිධ උපකාර ලබා ගැනීමේ ප්‍රවණතාවයයි.
මානසික සෞඛ්‍ය ගැටලු ඇති අය වැඩි වැඩියෙන් මානසික රෝහල්වල නැතිව සමාජයේම ජීවත්වීම නිසා ඔවුන්ට සංවිධානය වීම කලින්ට වඩා පහසු වී තිබෙනවා. මානසික රෝගියෙක් යන වර්ගීකරණයට වැටීමෙන් අපකීර්මත් තත්වයට අභියෝග කරන්න යාමෙන් පටන්ගත්තම එය මේ තත්වයට පත්වී සිටින විශාල පිරිසකගේ වුවමනාව සම්පූර්ණ කිරීමක්ද වෙනවා. මානසික රෝගී තත්වයට ලක්වූ අය සෑම තැනම විසිරී පැතිරී සිටින නිසා ඔවුන් පෙරට වඩා සංවිධානය කිරීම පහසු වී තිබෙනවා.
මේ සඳහා බලපාන ලද තවත් කරුණක් වූයේ ආණ්ඩුව විසින් සෞඛ්‍ය සඳහා වන රාජ්‍ය වියදම් කප්පාදු කිරීම නිසා මානසික සෞඛ්‍ය පිළිබඳ ජනතා සංවිධාන පුළුල් වුවා සේම ඒවා වඩා සටන්කාමීද වූවා. විශේෂයෙන්ම මානසික සෞඛ්‍ය සේවා ලබන්නන්ගේ ක්‍රියාකාරිත්වයDPAC (Disable People Against Cuts) වැනි සංවිධාන තුළ ඉතා ඉහළ මට්ටමකට පත්වී තිබෙනවා.
ඔබ ඇසූ පරිදි මෙම මහජන ව්‍යාපාර තුළ සම්පූර්ණයෙන්ම අලුත් ලක්ෂණ තිබෙනවා, වගේම ඔවුන් ඔවුන්ගේ පැරණි සංවිධානවල පොදු ගුණයන්ද අත්පත් කරගනිමින් සිටිනවා. මේ යුගයේ ප්‍රචලිත වී ඇති “MAD Studies” (උමතු බව අධ්‍යයනය කිරීම)හි එක් ධනාත්මක පැතිකඩක් වී ඇත්තේ මොවුන් විසින් අතීතයේ මානසික සෞඛ්‍ය පිළිබඳ කරන අරගල අධ්‍යයනය කිරීමයි. ඒ අතර 1960 වකවානුවත්, ඊට පෙර ජනතාවගේ ක්‍රියාකාරිත්වය පිළිබඳවත් ඔවුන් අධ්‍යයනය කරනවා. විශේෂයෙන්ම ලෙයිංග් වැනි අයගේ අදහස් හා ක්‍රියාමාර්ග අදට ගලපා ගන්නේ කෙසේදැයි ඔවුන් අධ්‍යයනය කරනවා.
ඒ සමගම මෙම මානසික සෞඛ්‍ය පිළිබඳ මහජන ව්‍යාපාර ඉදිරියට ගෙන යායුත්තේ පොදු අරගලය හා සම්බන්ධවීම තුළින්ද, එසේ නැතිනම් “අනන්‍යතා දේශපාලනය” තුළින්ද (එනම් මානසික සෞඛ්‍ය ගැටලු ඇති අය පමණක්ගෙන් සමන්විත) පිළිබඳ විශාල සංවාදයක් මෙම ව්‍යාපාර තුළ පැනනැගී තිබෙනවා. කෙසේ වුවත් මා සිතන පරිදි අද සෑම තැනකම ප්‍රබල ලෙස මානසික රෝගී තත්වයන්ට ලක්වූ අය සිටින නිසා මීට පෙර පැවති මානසික රෝගීන් ගර්හාවට ලක් කිරීමේ තත්වය වෙනස් වී තිබෙනවා. එම නිසා මානසික සෞඛ්‍ය ගැටලු සහිත අයට පමණක් වෙන්වූ ව්‍යාපාරයක් වෙනුවට පොදුවේ මේ ක්‍රමයෙන් පීඩාවට පත්වූ සියලු දෙනා සම්බන්ධ කරගත් පුළුල් බහුජන ව්‍යාපාරයක් ගොඩනැගීමට විශාල ඉඩකඩක් දැන් විවෘතවී තිබෙනවා.
විශේෂයෙන්ම පසුගිය කාලය තුළදී ප්‍රජා මූලික මානසික සෞඛ්‍ය සේවා කප්පාදුවට හා එම සේවා සපයන මධ්‍යස්ථාන වසාදැමීමට විරුද්ධව රටපුරාම අති විශාල උද්ඝෝෂණ ප්‍රමාණයක් මානසික සෞඛ්‍ය සේවා ලබාගන්නන්, වෘත්තීය සමිති ක්‍රියාධරයන් හා විවිධ සමාජ ක්‍රියාධරයන් සියලු දෙනාම එක්වී සංවිධානය කළා.
එලෙසමSocial Work Action Net work (සමාජ සේවා ක්‍රියාකාරී ජාලය) හා Psychologists Against Austerity (කප්පාදුවට එරෙහි මනෝ විද්‍යාඥයෝ) වැනි සංවිධාන මගිනුත් මානසික සෞඛ්‍ය සේවා ලබාගන්නන්, සමාජ ක්‍රියාකාරීන්, මනෝවිද්‍යඥයන් සහ අනිකුත් අය එකට එක්වී ආණ්ඩුවේ සෞඛ්‍ය සේවා ඇතුළු විවිධ ජනතා සහන කප්පාදුවට එරෙහිව එක්ව කටයුතු කිරීම අරඹා තිබෙනවා.


ප්‍රශ්නය:- අවසාන වශයෙන්, ඔබ සිතන පරිදි මාක්ස්ගේ පරත්වාරෝපණය පිළිබඳ සංකල්පය මානසික සෞඛ්‍ය ගැටලු සුවකිරීමේදී ඉතා ගැඹුරු අරුතකින් අදාළ වන්නේ ඇයි කියා ඔබට පැහැදිලි කරන්න පුළුවන්ද?

පිළිතුර:- මා මේ කෘතිය තුළින් මතුකරන ප්‍රධානම කරුණ වන්නේ මානසික ආතතියට අදාළ මූල හේතුන් ඇත්තේ, මේ මතවාදයේ හෝ අර මතවාදයේ නොවන බවත් මානසික ආතතියේ මූල හේතුව ඇත්තේ මෙම සමාජය – එනම් ධනපති ක්‍රමය තුළ බවත් කියන එක. මෙම ධනපති සමාජය විසින් අපට අපේ ජීවිත පාලනය කිරීමට ඒවා අපට අවශ්‍ය පරිදි හැඩගස්වා ගැනීමට අපට ඇති අයිතිය අපෙන් පැහැර ගන්නවා මෙන්ම එය අපට අවශ්‍ය පරිදි වටපිටාව නිර්මාණය කරගැනීමට අවශ්‍ය පරිදි හැඩගස්වා ගැනීමට අවශ්‍ය දේත් අපෙන් උදුරා ගන්නවා.
එනිසා අප කුමන පැත්තෙන් බැලුවත්, එය රැකියා කරන පුද්ගලයෙක්ට වැඩ අධිකතාවය නිසා ඇතිවන මානසික ආතතිය වුවත්, පාසල් සිසුන් දිගින් දිගටම මුහුණ දෙන ඉහළ යන තරගකාරීත්වය නිසා ඇතිවන මානසික ආතතිය වුවත්, වයස් ගතවූ කෙනෙක්ට එන්න එන්නම පරමාණුකරණය වන සමාජයකදී පත්වන තනිකම නිසා ඇතිවන මානසික ආතතිය වුවත්, අපි නැවතත් විවිධ පැතිවලින් එළඹෙන්නේ එකම මූල හේතුවටයි. එනම් අප ජීවත්වන සමාජයේ ප්‍රධාන අරමුණ “අප” නොව, මිනිසුන්ගේ සමාජමය හා අධ්‍යාත්මික අවශ්‍යතා නොව, ධනය ගොඩගැසීම වීම පිළිබඳ ගැටලුවයි.
එනිසා දැනට ලොවම මුහුණ දී ඇති මානසික සෞඛ්‍ය අර්බුදයට සැබෑම විසඳුමක් ගෙන ආ හැක්කේ, ලාභය ගොඩගසන, ධනය ගොඩගසන සමාජයක් වෙනුවට මානව අවශ්‍යතා සම්පූර්ණ කිරීම පදනම් කරගත් සමාජයක් ගොඩනැගීමෙන් පමණයි.

ඔහු විසින් රචිත පොත්.

  1. Reclaiming Social Work: Challenging Neoliberalism and Promoting Social Justice 2008
  2. Radical Social work – 2009
    මහාචාර්ය ඉයන් ෆර්ගියුසන් බි්‍රතාන්‍යයේ බටහිර ස්කොට්ලන්ත විශ්වවිද්‍යාලයේ සමාජ සේවා සහ සමාජ ප්‍රතිපත්ති පිළිබඳ මහාචාර්යවරයා ලෙස සේවය කරයි. 1990 මුල් භාගයේදී කථිකාචාර්යවරයෙක් ලෙස සරසවියට බැඳීමට පෙර ඔහු වසර 15ක් පමණ ප්‍රජා මූල නිලධාරියෙක් හා සමාජ ක්‍රියාකාරිකයෙක් ලෙස ස්කොට්ලන්තයේ කටයුතු කළේය. එම කාලය තුළම ඔහු මානසික සෞඛ්‍යය පිළිබඳ නිලධාරියෙකු ලෙසද සේවය කළේය.

මානසික සෞඛ්‍ය අර්බුදයට විසඳුමක් ගෙන ආ හැක්කේ, සමාජවාදී සමාජයක් ගොඩනැගීමෙන් පමණය