මාක්ස්වාදය සහ ධනේශ්වර මනෝවිද්‍යාව

SHARE

                           වෛද්‍ය සුසාන් රොසැන්තල්

මාක්ස් සහ එංගල්ස් විසින් ප්‍රාග්ධනය එක්තරා ආකාරයක සබඳතාවයක් ලෙසත්, ධනවාදය සබඳතා පද්ධතියක් ලෙසත් විග්‍රහ කළේය. අපගේ සියලුම සබඳතාවල සියලුම ගති ලක්ෂණ තීරණය කරන්නේත්, එමෙන්ම පොදුවේ සමාජයේ ස්වභාවය තීරණය කරන්නේත් ධනවාදය විසින් බව ඔවුන් අදහස් කළේද? එසේනම් සමාජවාදී විප්ලවය විසින් අපගේ මෙම සියලුම සබඳතාවල ස්වරූපය වෙනස් කරන්නේද? අනෙක් අතට මාක්ස්ගේ මේ අදහස අනවශ්‍ය තරම් ප්‍රශ්නය සාමාන්‍ය කරණය කිරීමක්ද? සත්‍ය වශයෙන්ම මිනිසාගේ සමහර අත්දැකීම් හා සබඳතා සමාජයේ බලපෑමෙන් තොරව සිදුවිය නොහැකිද? එමනිසා අපගේ සබඳතා තේරුම් කිරීමට හා තේරුම් ගැනීමට මාක්ස්වාදයට වඩා අමතර දෙයක් අවශ්‍ය නොවන්නේද? එමෙන්ම අපගේ සබඳතා වෙනස් කිරීමට, පරිවර්තනය කිරීමට සමාජවාදී විප්ලවයට වඩා යමක් අවශ්‍ය නොවන්නේද?
වර්තමානයේ මාක්ස්වාදය සහ ප්‍රධාන ධාරාවේ මනෝවිද්‍යාව අතර ඇති මූලික හා අරටුවෙහිම ඇති ගැටුම ඉහත කරුණුය.
මාක්ස්වාදයට අනුව සෑම මනුෂ්‍ය ඇත්දැකීමක්ම සමාජ ආර්ථික පසුබිමක තබා විග්‍රහ කළ හැකිය. එහෙත් මනෝවිද්‍යාව, මනෝචිකිත්සක වාදය, මනෝ විශ්ලේෂණය, මනෝ වෛද්‍ය විද්‍යාව, ජාන විද්‍යාව හා තවත් බොහෝ විද්‍යාවන්ට අනුව පුද්ගලයා (හෝ පුද්ගලයාගේ සමහර ඉන්ද්‍රියයන් හෝ සමහර ක්‍රියාකාරකම්) සමාජ ආර්ථික බලපෑමෙන් තොරය. එනම් මෙහිලා වන මූලික පිළිගැනීම වන්නේ පුද්ගලයා (හෝ ඔහුගේ සමහර අත්දැකීම්) තීරණය වන්නේ ඔහුගේ ජීව විද්‍යාත්මක හෝ මානසික ගුණාංග මත වන අතර, ඒවා තීරණය වන්නේ සමාජය පාලනය වන නියාම හෝ මූලධර්ම මත නොව ඒවාටම අනන්‍යවූ වෙනම නියාම හා මූලධර්ම මතය යන්නය. එමනිසා මෙම ගුණාංග වෙනස් කළ හැක්කේ එක් එක් පුද්ගලයාට සුවිශේෂ වනසේ මිස පොදුවේ නොවේය යන්නය.
එහෙත් සත්‍යය නම් පුද්ගලයා, සමාජයෙන් වෙන් කිරීම, පුද්ගලයා සමාජ බලපෑමෙන් තොරය යන්න අවධාරණය කිරීම, ධනේශ්වර මතවාදී අවශ්‍යතාවයක් විනා එය කිසිදු විද්‍යාවකින් සනාථ වූවක් නොවීමය. ජීවිතය හා ජීවන අත්දැකීම් පිළිබඳ පුද්ගල සාධක ඉස්මතු කිරීම මඟින් සිදුවන්නේ, ඒවාට අදාළව ඇති සමාජයීය සාධකවල බලපෑම අඩු තක්සේරු කිරීම හෝ සමාජයීය සාධක අප ජීවිතයට බලපෑමක් ඇති නොකරන බව පිළිගැනීමය. ඒ අනුව ජීවිතය පිළිබඳ පූර්ණ හෝ වැඩි වගකීම ඇත්තේ තනි තනි පුද්ගලයාට නම්, ජීවිතයට අයහපත් හා අවුල් සිදුවීමේ වගකීම වැඩි වශයෙන් ඔහුගේ පුද්ගලික වැරැද්දක් ලෙසට සැලකිය හැකි අතර, එමඟින්ද සමාජය, පුද්ගලයාට සිදුවන අයහපහපතට වග නොකියන බව පිළිගැනීමට සිදුවෙයි.
නමුත් විද්‍යාව අපට ඔප්පු කර ඇත්තේ කුමක් ද? එනම් සමාජය හා තනි තනි පුද්ගලයා එකිනෙකා අතර අන්තර් ක්‍රියාකරමින් පුද්ගලයා හා සමාජය යන දෙකේම රුව සහ ගුණ තීරණය කරවන බවයි. උදාහරණයක් ලෙස යම් කිසිවෙක්ගේ ශරීරය පමණට වඩා බර නම්, එයට බලපාන්නේ ඔහු පමණක් නොවේ. එයට බලපාන්නේ ධනවාදය විසින් විෂකවා ඇති ඔහු වටා ඇති ද්‍රව්‍යමය සම්පත් හා සමාජ වටපිටාවේ ස්වභාවයත් මිනිසා නමැති ජීවියාගේ පරිණාමීය සාධකත්ය.
ස්වභාවික පරිසරය අතිශය විෂ සහිතවීම පිළිකා ඇති වීමට බලපාන ප්‍රධාන හේතුව වුවත්, නිතරම සිදුවන්නේ පිළිකා රෝගියා විසින් සෞඛ්‍යමය නොවන ආහාර ගැනීමේ වැරැද්ද හෝ “පිළිකා ඇතිකරන ජාන තිබීම” හෝ “පිළිකාවලට පහසුවෙන් ගොදුරු විය හැකි ශරීරයක් තිබීම” වැනි තර්ක මගින් පිළිකාව වැළඳුණු පුද්ගලයා මත වරද පැටවීමටය. මේ අයුරින්ම පරත්වාරෝපණය විසින් මිනිසුන් මානසික රෝගීන් බවට පත්කරයි. එසේ වුවද මානසික රෝගීන් නිතරම දෝෂාරෝපණයට හා හෑල්ලු කිරීම්වලට ලක්වන්නේ “ඔවුන්ගේ වැරදි චින්තනය”, “මොළයේ රසායන සංයුතියේ අඩුපාඩු”, “දුබල ජාන” වැනි හේතු හුවාදක්වමිනි. ඉහත උදාහරණවලදී පුද්ගලයාට වරද පටවමින් සමාජ ක්‍රමය වරදින් නිදහස් කෙරේ. එමගින් තනි තනි පුද්ගලයා කරන කියන දේට අවධානය යොමු කරන අතර තනි තනි පුද්ගලයා, සමාජය තුළ කරන දේ සලකා බැලීම අත්හරවයි.

මානසික රෝගීභාවය

යන්න පොදුවේ හඳුන්වන්නේ “පිස්සුව” “ඔල්මාදය” වශයෙනි. 1918දී පැවති මනෝ විද්‍යාඥයන්ගේ මහාසභාව විසින් මිනිසුන්ගේ මානසික ව්‍යාකූලතා කාණ්ඩ 22ක් ඇති බවත්, ඉන් කාණ්ඩ 21ක්ම එක් හෝ තවත් ආකාරයක “පිස්සුව හැදීමක්” ලෙස නිගමනය කරන ලදී. එතැන් සිට මිනිසුන්ගේ වෙනස් හෝ කලහකාරී හෝ චර්යාවන්, තමාගේ සංවේදනයන් වෙනස් ආකාරයකට තේරුම් කර ගන්නා පුද්ගලයන්, තනිකම හෝ පීඩාකාරී තත්වයන්වලට ලක්වූවන් හැඟීම් ප්‍රකාශ කරන ආකාරයෙන්, ඉතා ප්‍රබල, කාවදින සුළු අත්දැකීම්වලට ලක්වූවන්ගේ චර්යාවන් (ඔරමප් තත්වයට ලක්වූවන්) ආදී සියල්ල කිසිදු වගවිභාගයකින් තොරව “පිස්සුව”
යන පොදු වර්ගීකරණයට ඇතුල් කිරීම ආරම්භ විය. ඒ අනුව අරගල කරන පුද්ගලයන්ද, විශාල දුක්වේදනාවලට ලක්වී පීඩා විඳින පුද්ගලයන්ද, කාර්යක්ෂමතාවය තරමක් අඩු පුද්ගලයන්ද, “මානසික රෝගීන්” යන ලේබලය යටතේ රෝගීන් ලෙස සැලකීම ආරම්භ විය. විශේෂයෙන්ම වර්තමානයේදී පුද්ගලයාගේ ගැටලුව ශාරීරික හෝ මානසික වුවත්, අඩු කාර්යක්ෂමතාවයක් හා ප්‍රයෝජනවත් ආකාරයට වැඩකිරීමට අපහසු සියලු දෙනාම සමාජය විසින් බරපතළ ගර්හාවට ලක්කර වැඩකට නැති පුද්ගලයන් ලෙස අතහැර දමනු ලබයි.
ඒ අනුව “මානසික රෝගී” ලේබලය ඇලවුණු සියලු දෙනාම ධනවාදී සමාජය තුළ තවත් පීඩාවට පත්වූ ජන කණ්ඩායමක් බවට පත්වෙති. අනෙකුත් සියලුම පීඩාවට පත් කණ්ඩායම් මෙන්ම මානසික රෝගීන් අතරද සෑම පංතියකටම අයත් මිනිස්සු වෙති. එසේ වුවද අනෙක් පීඩාකාරී තත්වයක් තුළදී මෙන්ම, මානසික රෝගී තත්වයට පත්වූවන් අතරෙන්ද වැඩිම පීඩනයට හා ගැටීම්වලට මුහුණ දෙන්නේ වැඩකරන පංතියයි.
මානසිකව රෝගී වූ පුද්ගලයෝ අධිකරණ කටයුතුවලදීද, වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමේදීද, සමාජයීය කටයුතුවලදීද කොන්වීමට ලක්වෙති. ඔවුහු බොහෝ අවස්ථාවලදී බලහත්කාරයෙන් රෝහල්වල වසා දැමූ කාමරවල සිරකර තැබීමෙන්ද, ඔවුන්ගේ කැමැත්තකින් තොරව ඖෂධ ලබාදීමෙන්ද, ඔවුන්ගේ ජීවිත පිළිබඳ තීන්දු තීරණ ගැනීමට ඔවුනට කිසිම අයුරකින් ඉඩ නොදීමෙන්ද පීඩාවට ලක්වෙති. මානසික රෝගවලින් පෙළෙන අය සැලකිය යුතු ප්‍රතිශතයක් සිරගතවීමට ලක්වී ඇති අතර, ඔවුන්ගෙන් බහුතරයක් රැකියාවක් නොමැති, නිවසක් නොමැති දුප්පත්හු බවට පත්වී සිටිති.
පීඩාකාරී බව යනු ධනවාදයේ අත්‍යවශ්‍ය අංගයකි. සමාජය තුළ විවිධ සමාජ දේශපාලන හේතු මත පීඩිතභාවයට ලක්වූ පීඩිතයන් වෙන්වෙන් කණ්ඩායම් වශයෙන් යටපත්කර පාලනය කිරීම තුළින් ඉහළ පාලක පංතියට වඩා සංඛ්‍යාවෙන් විශාල වූ වැඩකරන පංතිය බෙදා වෙන්කර පාලනයට ඉඩකඩ විවර වෙයි. එයිනුත් මානසික රෝගීන් පීඩාවට පත්කිරීම, නැත්නම් පාලනය කර තබා ගැනීම ඔවුනගේ සිතුම් පැතුම්, හැඟීම් හා චර්යාවන් සීමාකර තබා ගැනීම පිළිබඳ පොදුවේ සමාජය තුළම වැඩි පෙළඹවීමක් තිබේ.
වත්මන් ප්‍රධාන ධාරාවේ මනෝවිද්‍යාව ධනවාදයට සේවය කරන අතර, එයට අනුව විරෝධය දැක්වීම, යමකට එරෙහිව නැගී සිටීම, මානසික රෝගී තත්වයක් ලෙස සලකයි. විශේෂයෙන්ම 1950 දශකයේදී ප්‍රධාන වශයෙන්ම ගෘහ ජීවිතයේ පීඩාකාරී තත්වය නිසා කලකිරීමට පත්වූ ගෘහණියන් සියලු දෙනාම “හීනමානය” නමැති මානසික රෝගී තත්ත්වයෙන් පෙළෙන්නියන් ලෙස නම් කෙරිණි. එමෙන්ම 1960 දශකයේ එක්සත් ජනපදය තුළ වර්ණභේදවාදයට එරෙහි අරගල ආරම්භ වූ විට ඇමෙරිකානු මනෝවිද්‍යාඥ සංගමය විසින් ඔවුන්ගේDiagnostic and Statistical Manual of Mental Disorders (DSM) යන නම වෘත්තිකයන්ගේ අත්පොතෙහි එතෙක් හීනමානය (Schizophrenia) යන්නට ලබාදී තිබූ නිර්වචනය වෙනස් කළේය. එතෙක් හීනමානය යන්න සාමාන්‍ය පුද්ගලයන් තුළ මතුවන කණස්සල්ල, කලකිරීම වැනි යමක් බවට නිර්මාණය කර තිබූ දෙය “සටන් කිරීම”, “ප්‍රතිවිරෝධය දැක්වීම”, “වර්ණභේදවාදයට එරෙහි අදහස් දැරීම හා ඒවා දැඩිව ප්‍රකාශ කිරීම” පවා ‘හීනමානය’ නමැති මානසික රෝගී තත්වයේ ලක්ෂණයක් බවට සිය අත්පොත වෙනස් කළ අතර, එමඟින් කැරලි ගැසූ නාගරික කළු මිනිසුන් එම රෝගී තත්වයෙන් පෙළෙන්නන් ලෙස සලකන ලදී. අද වන විට සුදු ඇමෙරිකානුවන් මෙන් තුන් ගුණයක් කළු ඇමෙරිකානුවන් හීනමානය නැමැති රෝගයෙන් පෙළෙන්නන් බවට “නිගමනය” (ලේබල්) කර තිබේ.
බොහෝ අවස්ථාවන්වලදී මනෝ චිකිත්සකයන් හා මනෝවෛද්‍යවරුන්, වහලුන්ගේ හා විප්ලවකාරී දේශපාලන අදහස් දරන්නන්ගේ විරෝධතා මර්දනය කිරීමට ඍජුව දායක වී තිබේ. ඔවුන් කැරලිකාරී අදහස් හා ක්‍රියාකාරිත්වයක් සහිත කාන්තාවන්ගේ මොළය ශල්‍යකර්මවලට ලක්කරන අතර, එමඟින් ඔවුන් සමලිංගිකයන් බවට පත්කිරීමට දරන ලද උත්සාහයන් එක්සත් ජනපදයේ විශාල වශයෙන් වාර්තා වී තිබේ. එමෙන්ම ඔවුන්, එවැනි අදහස් දරන පුද්ගලයන් “සමාජ වෛරස්” වලින් විනිර්මුක්ත කිරීම සඳහා ඖෂධ ලබාදීම හා එන්නත් මඟින් සියදිවි තොර කර ගැනීම (Euthanasia) උත්කර්ෂයට නැංවීමට කටයුතු කළෝය. එමෙන්ම දේශපාලන සිරකරුවන් හා විප්ලවවාදීන්ට විවිධ වධ හිංසා පැමිණවීමේදී මනෝවිද්‍යාඥයන් හා මනෝ වෛද්‍යවරු ඒවාට සහාය දෙන ලද අවස්ථා ඕනෑතරම් නාසි ජර්මනිය තුළ මෙන්ම එක්සත් ජනපදය තුළද ඇත. එමෙන්ම යුද්ධවලදී තිරශ්චීන ලෙස මිනිසුන් මරා දැමීමට මනස සූදානම් කර ගැනීමට හැකිවන පරිදි සොල්දාදුවන්ට ඖෂධ ලබාදීම අද ද සිදුවේ. මෙම මනෝවිද්‍යාඥයන් හා මනෝවෛද්‍යවරුන් වයස්ගත පුද්ගලයන් හා සිරකරුවන් නිහඬව තබා ගැනීම පිණිස ඔවුන්ට නොදන්වා ඖෂධ ලබාදෙයි. ඔවුන් දඟකාර ළමුන් නිහඬ කිරීම සඳහාද අනුදැනුමකින් තොරව ඖෂධ ලබාදෙයි.
ආර්ථික අර්බුදය වැඩවීම නිසාම, දෙමාපියන්ට දිවා රාත්‍රී දෙකේම හෝ රැකියා දෙකක් කිරීමට සිදුවීම නිසා හෝ දරුවන්ගේ අධ්‍යාත්මික හා මානසික අවශ්‍යතා සම්පූර්ණ කිරීම සඳහා අවශ්‍ය වන කාලය, ඉස්පාසුව හා මිලමුදල් නැතිවී ගොස් තිබේ. පාසල්වල ඇති දැඩි අධ්‍යාපන තරගය නිසා දරුවන් තම ජීවිතයට කිසිදු අදාළත්වයක් නැති, දත්ත කට පාඩම් කරනුවස් වසා දැමූ කාමර තුළ විශාල කාලයක් තබා පාඩම් කිරීමට කරන බලපෑම් නිසාම දරුවන් තුළ මානසික අවපීඩනය ඇතිවේ. මනෝවිද්‍යා වෘත්තිකයන් විසින් මෙවැනි කටයුතුවලට එරෙහිව ප්‍රතිචාර දක්වන දරුවන් මානසික රෝගවලින් පෙළෙන්නන් ලෙසත් ඔවුනගේ දෙමාපියන් “දුර්වල හා අයහපත්” දෙමාපියන් ලෙසත් වාර්තාකරණය කරනු ලබයි.
මෙම වෘත්තිකයන් විසින් යම් දරුවෙකු මානසික රෝගියෙකු ලෙස නම් කළ විට, ඔවුනට නියම කරන ඖෂධ ලබාදීම දෙමාපියන් විසින් අනිවාර්යයෙන් කළ යුතු අතර,එය කඩකිරීම එක්සත් ජනපදයේ නීතිමය වරදකි. 2013 දී එක්සත් ජනපදය තුළ වයස 17ට අඩු දරුවන් මිලියන 8ක් මානසික රෝගීන් ලෙස නම්කර, ඔවුනට ඖෂධ ලබාදීම අනිවාර්ය කර තිබිණි. මෙම දරුවන් අතරින් දරුවන් මිලියන 01කගේ වයස අවුරුදු 05ට අඩු වූ අතර, දරුවන් 250,000කගේ වයස අවුරුදු 1කට අඩු විය.
සමාජවාදීන් ලෙස අපි ඕනෑම ආකාරයේ පීඩාවකට එරෙහිව නැගී සිටින්නන් වෙමු. කාන්තාවන්ගේ ශරීරය ස්වභාවිකව සකස් වී ඇත්තේ දරුවන් බිහිකිරීමට හැකිවන අයුරින් නිසා, දරුවන් හැදීමේ (රැකබලා ගැනීමේ) වගකීම අනිවාර්යයෙන්ම කාන්තාවගේ වගකීමක් යයි කියන තීරණය අපි නොපිළිගනිමු. කළු මිනිසුන් බහුතරයක් දුප්පතුන් වී ඇත්තේ ඔවුන්ගේ බුද්ධි මට්ටම අඩු නිසාය යන තර්කය අපි ප්‍රතික්ෂේප කරමු. මෙම “ජීව විද්‍යාත්මක” සේ පෙනෙන තර්ක කිසිසේත්ම විද්‍යාව මත පදනම් වූ ඒවා නොව අවිද්‍යාව මත පදනම් වූ ඒවාය. ඒවා ධනපති, ජාතිවාදී ප්‍රචාරණයන්ට විද්‍යාත්මක වෙස්මුහුණු පැළඳවීමක් පමණි. ධනපති ක්‍රමය සැලසුම් සහගතවීම විද්‍යාව වෙනුවට අවිද්‍යාව ජනතාව තුළ තහවුරු කිරීමට උත්සාහ කරන අතර, ඔවුන් විද්‍යාත්මකව හා ප්‍රායෝගිකව සත්‍ය වී ඇති දේ වෙනුවට ඔවුනට “අවශ්‍ය සත්‍යය” සත්‍යය ලෙස ජනතාවට තහවුරු කිරීමට උපරිම මහන්සියක් ගනියි. මින් එක් ප්‍රධාන උදාහරණයක් වන්නේ “මානසික රෝග” වල මූල හේතුව ජීවවිද්‍යාත්මක දුර්වලතා නිසාය යන ව්‍යාජමතය සමාජගත කර තිබීමයි.
මානසික රෝගවල මූල හේතුව ජීවවිද්‍යාත්මක දුර්වලතාව යන මතයේ පදනම වන්නේ මනස නැත්නම් විඥානය යන්න මොළයට ඌනණය කිරීමයි. ඒ අනුව ඕනෑම මානසික රෝගී තත්වයකට පරීක්ෂා කළ යුතු වන්නේ, ප්‍රතිකාර කළ යුතු වන්නේ අදාළ පුද්ගලයාගේ “මොළයටය” යන්නයි. මෙහි ඊළඟ ව්‍යතිරේඛය වන ෆ්‍රොයිඞ්වාදයේ (සිග්මන් ෆ්‍රොයිඞ්ගේ න්‍යායේ හරය වන්නේ සියලුම මානසික රෝගවලට මූල හේතුව පුද්ගලයෙකුගේ ලිංගිකත්වය) යන්නයි. ඔහු මනස යන්න පුද්ගලයෙකුගේ ලිංගේන්ද්‍රයන්ට ඌනනය කරයි. මෙම රළු යාන්ත්‍රික භෞතිකවාදයත්, මානසික රෝග සමාජ ඓතිහාසික පසුබිමක තබා විග්‍රහ කරන මාක්ස්වාදී භෞතිකවාදයත් කිසිසේත්ම එකක් නොවේ.
මානසික රෝග ඇතිවීම පැහැදිව සමාජමය සාධකවල බලපෑමෙන් සිදුවුණු දෙයක් බවට ඔප්පු වී තිබුණද, මානසික රෝගවලට ප්‍රතිකාර කිරීම වත්මනෙහි අති විශාල ව්‍යාපාරයක් වී ඇති නිසා එම ව්‍යාපාරයේ අවශ්‍යතාවයට ගැලපෙන මතවාදය වන්නේ මානසික රෝග පුද්ගලයාගේ ජෛවවිද්‍යාත්මක හෝ පුද්ගලික අඩුවක් නිසා ඇතිවන්නක් බව තහවුරු කිරීමය. ඒ සඳහා නිශ්චිත උදාහරණයක් ලෙස, 1952 දී පළකළ එක්සත් ජනපද මානසික සෞඛ්‍ය පිළිබඳ අත්පොතේ (ෘීඵ) මානසික රෝග සමාජයීය සාධක නිසාත් ජීවත්වන වටපිටාව නිසාත්, ජීවවිද්‍යාත්මක හේතු නිසාත් ඇතිවන්නක් බව පිළිගෙන තිබුණි. නමුත් ඉන්පසුව ඇති කළ සංස්කරණයන් මඟින් මෙම නිර්වචනය ඉවත් කරන ලදී.
මෙම අත්පොත මඟින් මානසික රෝග ඇතිවීමට සමාජයීය සාධකවල බලපෑම ඉවත්කර ඇති නිසා, එමඟින් මානසික රෝග සම්පූර්ණයෙන්ම පාහේ පුද්ගලයාගේ අභ්‍යන්තර හෝ පුද්ගලයාගේ වැරදි චින්තනය, වැරදි චර්යාවන්, මොළයේ රසායනයන්හි ගැටලු, ජානමය ආබාධ ආදිය නිසා ඇතිවන්නක්ය යන පිළිගැනීම ඇති කරයි. එමඟින් මානසික රෝගීන් බිහිකරන සමාජ ආර්ථික වටපිටාව වෙනස් කිරීම නැමති මූල හේතුව වෙනස් කිරීම අතහැර, “බෙහෙත් කිරීම” යන කරුණට මූලික අවධානය යොමු කරයි. මේ නිසා අද මානසික රෝග පිළිබඳ අධිනිශ්චය වී ඇත්තේ ඖෂධ ලබාදීම හා ජාන පර්යේෂණ වන අතර මෙසේ මානසික රෝගවල මූල හේතුව සමාජ වටපිටාව නොව පුද්ගලයාගේ ජීවවිද්‍යාත්මක හෝ පුද්ගල බද්ධ කරුණුය යන පිළිගැනීම මත සිදුකරන දෙයක් බවට පත්වී තිබේ. මෙහිදී සමහරු දරන මතයක් වන්නේ පීඩාකාරී සමාජ වටපිටාවක ජීවත්වීම මඟින් ළමුන් තුළ මානසික අවපීඩනය, හැඟීම් දැනීම් හා ප්‍රතිචාර පළ කිරීමේ ගැටලු, එනම් තැවුල් සහිත බව, මානසික අවපීඩනය, වැනි යනාදිය ඇතිවිය හැකි වුවත්, ඉන්ද්‍රිය සංවේදනා නිසි අයුරින් තෝරා බේරාගෙන ප්‍රතිචාර දැක්වීමට නොහැකිවීම වැනි ගැටලු ඇතිවන්නේ මූලිකවම ජීවවිද්‍යාත්මක ගැටලු හේතුවෙන් බවය. මෙය සාවද්‍ය තර්කයකි.
මන්දයත් මානව සංජානනය සමාජ ගොඩනැංවීමකි. සමාජයක ප්‍රබලව තහවුරුවී ඇති අදහස් අනුව මිනිසුන් සිතන්නේ කුමක්ද? මිනිසුන්ට අවශ්‍ය වන්නේ මොනවාද? මිනිසුන් විශ්වාස කරන්නේ කවුද, ඔවුන් බිය වන්නේ කාටද, ඔවුන් විවේචනය කරන්නේ කවුද? ඔවුන් පිළිගනු ලබන්නේ කුමක්ද? හා ඔවුන් නොපිළිගන්නේ කුමක්ද? යන්න තීරණය වේ. වැරදි සංජානනය ද සමාජමය ගොඩනැංවීමක් මිස අන් යමක් නොවේ. ධනේශ්වර මනෝවිද්‍යාඥයන්ද, ප්‍රචාරණ උපදේශයන්ද, කළමනාකරණ විශේෂඥයන්ද දහස් ගණනක් වත්මන් ක්‍රමය විසින් සේවයේ යොදවා ඇත්තේ මේ ලාභ හා වාසි සඳහා බොරුව හා රැවටීම මත පදනම් වූ මෙම ක්‍රමය ජනතාවට “විකිණීම” සඳහාය. බොරුව ඇත්ත ලෙස ඔවුන් ප්‍රකාශ කරන එක අවස්ථාවක් වන්නේ “ඒක නිදහස් රටක්” ලෙස පුනපුනා කීමය. ප්‍රතිවිරුද්ධ දේ සාධාරණීකරණය කරන අවස්ථාවක් ලෙස මානුෂීය මැදිහත්වීම් සඳහා යුද්ධ කිරීම යන හැඳින්වීම සහිතව කරන ආක්‍රමණ හැඳින්විය හැක. සැබෑ ජීවිත අත්දැකීම් එක් දෙයක් පවසද්දී එයට හාත්පසින්ම විරුද්ධ බොරුවක් ඇත්ත ලෙස කීම. (මහන්සි වී වැඩකිරීමෙන් සැමවිටම ප්‍රතිලාභ ලැබේ යන්න එවැන්නකි) අනෙක තර්ජනයකි. (වැඩ කරනු ! නැතිනම් බඩගින්නේ සිටිනු!) බොහෝ මිනිසුන් තමාට පිළිගත නොහැකි දේ පිළිගෙන සිටියද, ඔවුන් සැබවින්ම එයට කැමති නැත. මෙවැනි තත්වයකදී සමහරු එළිපිට මෙයට විරුද්ධව නැගී සිටියි. තවත් සමහරු, භෞතිකව හෝ මානසික ලක්ෂණ මඟින් එයට විරුද්ධ වෙයි. ඇබ්බැහිවීම්වලට හෝ සියදිවි නසා ගැනීම්වලට යොමු වේ. තවත් සමහරු සැබෑ යථාර්ථයෙන් මිදී (සිහිනමය) වෙනත් යථාර්ථයකට පලා යයි.
සංජානනය පදනම් වූ මානසික රෝගී තත්ත්වයන් සාමාන්‍යයෙන් පුද්ගලයෙකු තුළ වර්ධනය වන්නේ නව යොවුන් වියේ සිට වැඩිහිටිවියට පත්වන කාලසීමාව තුළදීය. එම කාලය තුළදී ලෝකයේ සැබෑ ස්වරූපයත්, ලෝකය සැබෑ ලෙස තිබිය යුතු ආකාරයත් පිළිබඳ මානසික ගැටුමක් මේ කාලය තුළ නිරන්තර වර්ධනය වේ. මෙම ප්‍රතිවිරෝධය හොඳින් තේරුම් ගැනීමට නොහැකිවීම නිසා සමහර අය ඉතා තද අසහනයට ගොදුරුවන අතර, සෑම දෙයක්ම තදින් අවිශ්වාස කිරීමට, සැකකිරීමට පෙළඹෙයි. මන්දයත් තමා අවට ලෝකය එය විය යුතු ආකාරයට නොවී අසංවේදී ලෙස ඔහේ පවතින බැවින්, ඔවුන් එම තමන් අකමැති යථාර්ථයෙන්ම කැඩී වෙන්වී වචනයෙන් ප්‍රකාශ කළ නොහැකි “සිහින රාජධානියක මවාගත් යථාර්ථයක් සමග ගනුදෙනු කිරීම” අරඹයි. අපි සැවොම තමන් සමග කථා කරමු. එහෙත් මෙම සංජානනය ආශ්‍රිත මානසික රෝගවල ලක්ෂණය වන්නේ තමා තමා සමග කරන ගනුදෙනුවට බාධා පමුණුවා, තමා මේ සමග කරගන්නා ස්වයං සාකච්ඡාව පිටතින් එන හඬක් ලෙස වැරදි ලෙස හඳුනාගෙන එම හඬට ප්‍රතිචාර දැක්වීමට යාමයි. දෘෂ්‍යමය සංජානනයේදී එම ස්ථානයේ සැබෑවට නැතිදේ ද්‍රව්‍ය හෝ මිනිසුන් ලෙස තිබෙන බව වැරදි ලෙස තේරුම් ගැනීමයි.
ධනේශ්වර මනෝවිද්‍යාඥයන් හා ජීවවිද්‍යාඥයන් මෙම සංජානනය ආශ්‍රීතව ඇතිවන මානසික රෝගවලට බලපාන සමාජයීය හේතූන් අත්හරින අතර ඔවුන්ට මෙම මානසික රෝගී තත්ත්වය සහිත පුද්ගලයා යනු “නිවැරදි කළ යුතු දෝෂ ලැයිස්තුවකි.” අදාළ පුද්ගලයාගේ ජීවන අත්දැකීම, ඔහුගේ දෘෂ්ටිය හා ඔහුගේ සමාජ අවශ්‍යතා මෙම වෘත්තිකයන් විසින් නොසලකා හරිනු ලබයි. ඔවුන් අදාළ මානසික රෝගී පුද්ගලයා විසින් ඔහුගේ කතා තුළින් හෝ හැඟීම් ප්‍රකාශනය තුළින් හෝ හැසිරීම් තුළින් හෝ ශරීර භාෂාව විසින් හෝ කියන්න උත්සාහ කරන්නේ කුමක්ද යන්න පිළිබඳ අවධානයට යොමු නොකරයි. අවධානය යොමු කරනු ලබන්නේ කරුණු 3ක් කෙරෙහි පමණි.

  • මොළයේ රසායන සංයුතිය පිළිබඳ,
  • දුර්වල ජාන නිවැරදි කිරීම,
  • චර්යාවන් පාලනය කිරීම. ඒ තුනයි.

මානසික රෝග සඳහා වන සාර්ථකම, හොඳම ප්‍රතිකාරය වන්නේ සමාජයෙන් ලැබෙන සහනයයි. ඉතා විශාල රෝගීන් ප්‍රමාණයක් යොදාගෙන එක්සත් ජනපදයේ සිදුකරන ලද පර්යේෂණයකින් ඔප්පු වූයේ අඩුවෙන් ඖෂධ හා ඒ ආශ්‍රීත ප්‍රතිකාර ක්‍රම ලබන, වැඩිපුර පුද්ගලික හා පවුලේ සහාය ලබන මානසික රෝගීන් සුවවීම, සාමාන්‍යයෙන් සිදුකරන ඖෂධ හා ප්‍රතිකාර කේන්ද්‍රීය කරගත් ප්‍රතිකාර පමණක් ලබන රෝගීන්ට වඩා වැඩි බවය. මෙම සමාජ සහාය තුළින් මානසික රෝග විසඳීමේ ක්‍රමවේදය ඔස්ටේ්‍රලියාවේත්, ස්කැන්ඩිනේවියා රටවලත් තවත් රටවල් තුළත් සාර්ථකව යොදාගනිමින් සිටියි. ඉන් සනාථ වන්නේ කුමක්ද? සමාජයෙන් ලැබෙන අවධානය සහ සහාය මත යම් සංජානනය ආශ්‍රීත මානසික රෝගියෙකු සුවපත් වන්නේ නම් එහි තේරුම මානසික රෝගවලට, බලපාන්නේ බාහිර සමාජයීය සාධකය යන්නය.
සමාජ මට්ටමේදී මානසික රෝග ඇති අයට සමාජය මඟින් සහන සේවා ලබාදීම ඉතා කාර්යක්ෂම හා ප්‍රතිඵලදායක වී තිබේ. කැනඩාවේ තද මානසික රෝගී තත්ත්වයන්ට ගොදුරුවී සිටි නිවාස අහිමි පුද්ගලයන් 2000කට ස්ථිර නිවාස ලබාදීම මඟින් ඔවුනගේ මානසික රෝගී තත්ත්වයන් ඉතා ඉක්මනින් සුවපත් විය. එක්සත් ජනපදයේ වසර 8ක් තිස්සේ කරන ලද පර්යේෂණයකින් ඔප්පු වූයේ කිසිදා දුප්පත් නැති ළමයෙකු මානසික රෝගියෙකු වීමට වඩා 4 ගුණයක ඉඩක් දුප්පත් දරුවෝ මානසික රෝගීන්
බවට පත්වීමට ඉඩ ඇති බවයි. තවත් එවැනි අධ්‍යයනයකින් ඔප්පුවූයේ අලුතින් ආරම්භ කරන ලද කැසිනෝ ශාලාවක් මඟින් බෝනස් ලබාදීම හරහා ප්‍රදේශයේ පවුල් 14%ක් දුප්පත්කමින් ඉහළට පැමිණි අතර, ඔවුන් තුළ තිබූ මානසික රෝග ද බොහෝදුරට අඩුවූ බවයි. එමෙන්ම එම පර්යේෂණයට අනුව දුප්පතුන්ව සිට ඉන් මිදුනු තත්වයට පත්වූ ළමුන් අතර මානසික රෝග ප්‍රතිශතය, කිසිදා දුප්පත් නොවූ දරුවන් අතර මානසික රෝග ප්‍රතිශතයට සමාන විය. නමුත් එහි අනෙක් පැත්ත නම් දිගටම දුප්පත්කමේ සිටින දරුවන් අතර මානසික රෝග මටිටම ඉතාම ඉහළ අගයක් ගන්නා බවයි. දෙමාපියන්ගේ ආදායම් වැඩිවීම තුළින් දරුවන්ගේ අවශ්‍යතා වැඩි ප්‍රමාණයක් ඉටුකර දීමට හැකිවීම මඟින් එවැනි දරුවන් අතර මානසික රෝග ඇතිවීමේ ප්‍රවණතාවය අඩු විය.
ධනවාදය විසින් වැඩි ජනතාවක් අර්බුදය කරා මෙහෙයවයි. කැලිෆෝනියාවේ පොදුවේ මහජන සේවාවන් හා මානසික රෝග සේවාවන් සඳහා වූ මුදල් කප්පාදුවට එරෙහිව ජනතා උද්ඝෝෂණ පැන නැඟිණි. මීට වසර දෙක තුනකට පෙර ජාතික සෞඛ්‍ය සේවකයන්ගේ වෘත්තීය සමිතියේ සාමාජිකයන් 3300ක් පමණ එක්සත් ජනපදයේ ඇති විශාලතම වෛද්‍ය හා හෙද සේවා සපයන සමාගම වන Kaiser Permanente හි කාර්යාලයට කඩා වැදුණේය. සමාගම ඉමහත් ලාභ ලැබුවද වෛද්‍ය හා හෙද සේවා සැපයීමට අත්‍යවශ්‍ය වන කාර්යමණ්ඩල හෝ සේවයේ නොයෙදීම මෙයට හේතුවයි. මේ නිසා එක්සත් ජනපදයේ එදා මෙදාතුර මානසික සෞඛ්‍ය සේවා සපයන වෘත්තකයන් විසින් එනම් මනෝ විද්‍යාඥයන්, මනෝචිකිත්සකයන්, ප්‍රජා මනෝවිද්‍යා සේවකයන්, මනෝ විද්‍යා හෙදියන් සියලු දෙනා එක්ව සිදුකරන ලද දැවැන්තම වැඩවර්ජන ව්‍යාපාරය සිදුකරන ලදී. එහිදී නගර 35ක පිකටිං ව්‍යාපාර 65ක් සිදුකරන ලදී.
සතියක් පුරා පැවැත්වුණු මෙම උද්ඝෝෂණය තුළදී “Kaiser සියදිවි නසා ගැනීම් නතර කරනු” යනුවෙන් දැවැන්ත පෙත්සමක්ද අත්සන් කරන ලදී. එමඟින් බලපෑම් කරනු ලැබුයේ සමාගම අයකරන මුදලට සරිලන හා රෝගියාට අවශ්‍ය කරන වෛද්‍ය හා හෙද සේවා ලබානොදීම නිසා (ලාභය අරමුණු කරගෙන) මානසික රෝගීන් සැලකිය යුතු ප්‍රමාණයක් සියදිවි නසාගැනීම්වලට ලක්වන බවයි. අවසානයේ අඛණ්ඩ වැඩ වර්ජනයකට සේවකයන් පෙළඹීමෙන් පසු Kaiser සමාගම වෘත්තීය සමිති ඉල්ලීම් ලබාදීමට එකඟ විය. ඒවා නම්

  • රෝගියාගේ අයිතීන් හා අවශ්‍යතා වෙනුවෙන් පෙනීසිටීමට සෞඛ්‍ය සේවකයන්ට ඇති අයිතිය පිළිගැනීම,
  • සේවකයන්ගේ වැටුප් හා විශ්‍රාම වැටුප් අයිතීන් ආරක්ෂා කිරීම,
  • රෝගී පරීක්ෂාව නිතර හා අඛණ්ඩව සිදුකළ හැකි පරිදි සේවා සැපයීමේ ක්‍රමවේදය වෙනස් කිරීම
  • සේවා සැපිරීමට අවශ්‍ය නව කාර්ය මණ්ඩල බඳවා ගැනීම.

මෙහිදී සේවක අයිතීන් හා රෝගීන්ගේ අවශ්‍යතා යන දෙකම මනාව සම්බන්ධ කරගත් වැඩවර්ජනයක්වීම නිසා එය ඉහළ ජයග්‍රහණයක් ලැබීය. එසේ වුවද අපට අවශ්‍ය වන්නේ මානසික සෞඛ්‍ය සේවා ලබාගැනීමට ඇති අයිතිය තහවුරු කර ගැනීම පමණක් නොවේ. අපට අවශ්‍ය වන්නේ අප රෝගී නොකරන ලෝකයකි.
ධනපති ක්‍රමය විසින් මුළු මහත් ලෝකය ප්‍රාග්ධනය නිපදවන කම්හලක් බවට පරිවර්තනය කර තිබේ. එම ප්‍රාග්ධන වුවමනාවට එදිරිවන ඕනෑම මනුෂ්‍යය අවශ්‍යතාවයක් බාධාවක් ලෙස සලකා ඉවත් කිරීමට ධනපති ක්‍රමය කටයුතු කරයි. ධනපති නිෂ්පාදනයේ සූරාකෑම තීව්‍රකරන, ලාභ වැඩිකරන තවත් මොඩලයක් වන “ඛැ්බ ඡරදාමජඑසදබ” (අපද්‍රව්‍ය අවම නිෂ්පාදනය) මගින් ඒවායේ වැඩ කරන සේවක සේවිකාවන් සිය භෞතික හා මානසික දරා ගැනීම්වල උපරිම සීමාවට තල්ලු කරයි. එසේ වැඩකිරීම නිසා අබල දුබල වන අය සේවයෙන් පහකර, තවත් කෙනෙකු ඒ සඳහා පත්කරනු ලබයි.
ධනවාදය තුළදී යහපත් මානසික සෞඛ්‍යයක් අත්පත් කර ගැනීම කළ නොහැකි දෙයකි. ජන ජීවිතවල සිදුවන දෛනික කඩා වැටීම හා දුෂ්කරතා, නිමක් නැති යුද්ධ, හා පාරිසරික විනාශයන් මඟින් තවත් වැඩිකරයි. ඔබ ධනපති වනචාරිත්වයට ගොදුරු වුවහොත් ඔබ මානසිකව දැඩි බිඳවැටීමකට ලක්වෙයි. ඔබ ධනපති නරුමත්වය නොදැක්කා සේ සිටීමට උත්සාහ කළහොත් ඔබට ඔබේ මනුෂ්‍යත්වය අහිමිවෙයි.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තා අනුව ගෝලීය සියදිවි නසා ගැනීමේ ප්‍රමාණය ගතවූ වසර 45 තුළ 60%කින් වැඩිවී තිබේ. ලොව සියලුම පිරිමින්ට සිදුවන ප්‍රචණ්ඩකාරී මරණවලින් සියදිවි නසා ගැනීම් හරි අඩක් (50%) වන අතර ලොව කාන්තාවන්ට සිදුවන ප්‍රචණ්ඩකාරී මරණවලින් 71%ක් සියදිවිනසා ගැනීම්ය. වයස 15 – 19 වයස් කණ්ඩයේ නව යොවුන් වියේ තරුණ තරුණියෝ අතර ප්‍රධාන මරණ හේතුව සියදිවි නසා ගැනීම්ය. එක්සත් ජනපදයේ වයස 5-11ත් අතර කළු පිරිමින් අතර සියදිවි නසා ගැනීම් ප්‍රමාණය 1990 සිට 2016 වන විට දෙගුණ වි තිබිණි.
උසස් පාසල් ඩිප්ලෝමාධාරී ගෘහ මූලිකයෙකු සහිත (එක්සත් ජනපදයේ පුහුණු ශ්‍රමිකයන් අතර පහළම කාණ්ඩය උසස් පාසල් ඩිප්ලෝමාධාරීන්ය) නිවසක ආදායම පසුගිය වසර 15 තුළදී (උද්ධමනය ගැලපූ විට) 19%කින් පහළ බැස තිබේ. මෙම ආදායම් කඩා වැටීම වැඩිදුර අධ්‍යාපනයක් නැති මැදිවියේ සුදු ඇමෙරිකානුවන් අතර අධික බීමත්කම, මත්ද්‍රව්‍ය ඇබ්බැහිය හා සියදිවි නසා ගැනීම් නිසා සිදුවන මරණ ප්‍රමාණය 22%කින් වැඩි කිරීමට හේතු පාදක වී තිබේ. මෙම වයස් කාණ්ඩයේ මරණ අනුපාතය වැඩිවීමට පෙර තිබූ මරණ අනුපාතයට පැවතුනේ නම් ජීවිත 96,000ක් මරණයෙන් ගැලවීමට ඉඩ තිබිණි. එමෙන්ම මරණ අනුපාතය වැඩිවීම ආරම්භ වීමට පෙර තිබූ පරිදි මරණ අනුපාතය අඩුවීමේ ප්‍රවණතාව දිගින් දිගටම 2016 දක්වාම අඩු වූයේ නම් ජීවිත ලක්ෂ 05ක් ඉතිරිවීමට ඉඩ තිබිණි.
ධනපති ක්‍රමය යටතේ මානසික රෝග ඇතිවීමට බලපාන සමාජයීය හේතු ඉවත් කිරීම බලාපොරොත්තු විය හැකි දෙයක් නොවේ. මන්දයත් ධනවාදය සකස් වී ඇත්තේ ලාභය අරමුණු කරගෙන බැවින් හා එම ලාභය රැස්කිරීමට බාධාකාරී වන කිසිවකට එය ඉඩ නොදෙන නිසාවෙනි. ඒ වෙනුවට ධනපති ක්‍රමය සිදුකරන්නේ ඇදහිය නොහැකි තරම් ක්‍රෑර හා පීඩාකාරී වටපිටාවකත් ජීවත්වීමට මිනිසා පුරුදු කරන පැත්තට මිනිසා තල්ලු කිරීමයි. එහිදී ධනපති ක්‍රමය විද්‍යාවත්, පර්යේෂණත්, යොදාගනු ලබන්නේ තනි තනි පුද්ගලයා ඉහත ක්‍රෑර හා පීඩාකාරී තත්වයන් යටතේ කටයුතු කිරීම නිසා ඇතිවන මානසික රෝගවලට ප්‍රතිකාර කරන්නේ කෙසේද යන්න ගැනයි. මෙය මානසික රෝග සඳහා පමණක් නොව පිළිකා හෝ වෙන ඕනෑම රෝගයක් සඳහාද සත්‍ය වේ.
යම් ආකාරවල මානසික රෝග ඇතිවීම (සමහර පිළිකා වර්ග පවා) කෙරෙහි ජීවවිද්‍යාත්මක හේතු මුල් විය හැකි වුවද ජීවිතය සහ ජීවය එහි පරමාණුක මට්ටම දක්වාම විසකවා ඇති ධනවාදී ක්‍රමය තුළ ඒවාට පවා බලපාන හේතු ජීව විද්‍යාත්මක දැයි සැකහැර කිව නොහැක. ධනවාදය අහෝසි කිරීමෙන් පසු හා මහජන සෞඛ්‍යය නගා සිටවන පාලනයක් ස්ථාපිත කළ පසු පමණක් මානසික රෝග සඳහා බලපාන ජීව විද්‍යාත්මක හේතු මොනවාද යන්න අපට සොයා ගත හැකිවනු ඇත. එවැනි සමාජයක් ඇති කරගන්නා තෙක් සමාජවාදීන් විසින් කළ යුත්තේ මානසික රෝග සඳහා පමණක් නොව පොදුවේ සමාජයීය ප්‍රශ්න සඳහා පොදු ප්‍රජාවට ලැබෙන විසඳුම් පිළිබඳ අවධානය යොමු කිරීමයි. එසේ නොමැතිව විද්‍යාඥයන් සහ විශේෂඥයන් මගින් තනි තනි පුද්ගල මට්ටමින් මානසික රෝග විසඳිය හැකිය යන මනෝරාජික අදහස වැරදි බව අවධාරණය කිරීමයි.
මාක්ස්වාදය හා මනෝවිද්‍යාව (දැනට ප්‍රධාන ධාරාවේ) අතර ඇති ගැටුම සැබැවින්ම මනෝවිද්‍යාව ගැන හෝ මානසික රෝග පිළිබඳ ඇතිවී තිබෙන්නක් නොවේ. මාක්ස්වාදයට අනුව ධනපති ක්‍රමය යනු සමාජ සම්බන්ධතා සියල්ල එකට වෙලුණු පද්ධතියත් වන අතර සමාජය වෙනස්කම්වලට භාජනය වෙද්දී පුද්ගලික අත්දැකීම්ද එයට අනුව වෙනස්වන බවය.
කෙසේවුවද දශක ගණනාවක් තිස්සේ කම්කරු පංතිය ලබා ඇති පසුබැසීම් විසින් “සාමූහික විසඳුම්” පිළිබඳ විශ්වාසය බිඳවැටී තිබේ. සමහර සමාජවාදීන් මෙම පසුබැසීම්වලට ඔරොත්තු දීමට අසමත් වී තිබේ. එමෙන්ම ‘පුද්ගලිකත්වය’ පිළිබඳ හැඟීම ඉහවහා ගිය සමාජයක් තුළ පංතිමය විසඳුම මතු කිරීම හා යෝජනා කිරීම ඉතා දුෂ්කරය. ඊටත් වඩා මෙම කාර්යය දුර්වල වී ඇත්තේ ප්‍රතිසංස්කරණවාදීන්ගේ “ඇත්ත, ඒත්…” (Yes, But) ප්‍රතිපත්තිය නිසාය. ඔවුහු “ඇත්ත තමයි. ඒත්…” යනුවෙන් ප්‍රකාශ කරමින් සමාජ ප්‍රශ්නවලට පුද්ගලික විසඳුම් යෝජනා කරති. ඒ සඳහා ඔවුන් විසින් මේ අතරමැදි කාලයට (In the Meantime) නමින් විවිධ විසඳුම් ඉදිරිපත් කරනු ලබයි. සැබැවින්ම “අතරමැදි කාලයක්” නැත. මිනිස් වර්ගයාගේ පැවැත්ම තීරණය වන්නේ සමාජවාදී ප්‍රතිපත්ති හා සම්ප්‍රදාය සමග කම්කරු පංතිය යළි දැන් දැන්ම සම්බන්ධ කිරීමෙනි.
මර්දනය හා පීඩා කිරීම ධනපති ක්‍රමයේ අනිවාර්ය අභ්‍යන්තර කොටසක් වන අතරම එයට විරුද්ධව අරගල කිරීම සමාජවාදය සඳහා කරන අරගලයේ අනිවාර්ය අභ්‍යන්තර කොටසකි. අපි කම්කරුවන්ට වඩා හොඳ රැකියා තත්වයන් හා ජීවන තත්වයක් උදාකර ගැනීමට කරන අරගලයම ඔවුන්ගේ මානසික සෞඛ්‍යමට්ටම ගොඩ නැගීමටද ඉවහල් වේ. අප මානසික සෞඛ්‍ය යහපත් වටපිටාවක් ගොඩනගන්නේ වැඩකරන පංතියේ මිනිසුන් අතර සහයෝගීතාවය ගොඩනගමින් හා සියලු දෙනාගේ හැකියාවට අනුව වැඩකරන හා සියලු දෙනාගේ අවශ්‍යතාවයට අනුව නිෂ්පාදනයේ ඵල ලැබෙන සමාජවාදී සමාජයක් සඳහා අවශ්‍යවන අඩිතාලම සකස් කරමිනි.

කතුවරිය ගැන:
මෙම ලිපියේ කතුවරියSusan Rosenthal කැනඩාවේ වෛද්‍යවරියක් මෙන්ම සමාජවාදිනියකි. ඇගේ නමින් මාක්ස්වාදය හා ධනේශ්වර මනෝවිද්‍යාවත් පොදුවේ සෞඛ්‍ය විද්‍යාවත් පිළිබඳ ලිපි අඩංගු www.susanrosenthal.com නමින් වෙබ් අඩවියක්ද වේ.

www.susanrosenthal.com/articles/health-and-medicine/marxism-and-psychology ලිපියේ පරිවර්තනයකි.

මාක්ස්වාදය සහ ධනේශ්වර මනෝවිද්‍යාව