සමාජ ඥානනය වෙනුවෙන් අක්ෂරකරණය

SHARE

Share on facebook
Share on google
Share on twitter
Share on linkedin

වසරක් ගුරුවරයෙකුගේ සමීපයේ ගත කර බල්ලෙක් ලෙස බිරීමට පමණක් උගත් සිටු පුතෙකු පිළිබඳව ග්‍රීම් සොහොයුරන්ගේ සුරංගනා කතාවක දැක්වේ.
එකම පුතෙකු සිටි සිටුවරයෙක් ස්විට්සර්ලන්තයේ විසුවේය. මේ එකම පුතා මෝඩ පුතෙකු බැවින් සිටුවරයා බෙහෙවින් කනස්සල්ලට පත්ව සිටියේය. ඔහු කිසිසේතම ඉගෙනීම කෙරෙහි සපන්කම් දැක්වූවෙකු නොවීය. සිටුවරයා ඒ පිළිබඳව සිටියේ දැඩි කලකිරීමෙනි. දිනක් ඔහු සිය පුත්‍රයා අමතා මෙසේ කීවේය.
“ඔයාට උගන්නන්න මං කොච්චර මහන්සි ගත්තද? ඒත් ඒ කිසිම දේකින් කිසිම ඵලක් ලැබුණේ නෑ. මං හිතන්නේ ඔයා නොගිය කිසිම දක්ෂ ගුරුවරයෙක් මේ පළාතේ නැතිව ඇති. ඒ කිසිම කෙනෙක්, කිසිම දෙයක් ඔයාට දීලා නෑ. දැන් මට තියෙන්නේ එකම විකල්පයයි. ඔයා පිටරට හොඳ ගුරුවරයෙක් ළඟට යවනවා”
සිටුවරයා, සිය පොරොන්දුව පරිදි නොබෝ දිනකින් සිය පුත්‍රයා විදේශීය රටක, සුප්‍රසිද්ධ ගුරුවරයෙකු සමීපයට පිටත් කර යැව්වේය. ඔහු සිය පියාගේ නියම පරිදි ඒ නගරයේ උසස්ම ගුරුවරයාගෙන් ශිල්ප ඉගෙන ගැනීමට පටන් ගත්තේය. පුරා වසරක් ඒ රටේ වාසය කළ සිටු පුත්‍රයා පෙරළා සිය රටට පැමිණියේය. ගත වුණු අවුරුද්දක් තුළ තම පුතා යමක් ඉගෙන ගන්නට ඇතැයි සිතූ සිටුවරයා ඔහුගෙන් මෙසේ ඇසීය, “මොනවද පුතා මේ කාලය තුළ ඉගෙන ගත්තේ?”
“තාත්තේ මම ඉගෙනගත්තා බල්ලො බුරන්නේ කොහොමද කියලා!” පුත්‍රයා පිළිතුරු දුන්නේය.
“පුතා මෙච්චරකල් ඉගෙනගත්තේ බල්ලො බුරන හැටි විතරක් ද?” සිටුවරයා කෝපයෙන් කෑගැසුවේය “මේ විදිහට කරන්න බෑ. මේ මෝඩයා තවත් නගරයක තවත් හොඳ ගුරුවරයෙක් ළඟට පිටත් කරල යවන්න ඕනැ” සිටුවරයා සිතුවේය.
සිටු පුත්‍රයා දෙවන වරටද තවත් විදේශීය රටකට ගියේය. එහිදී ඔහු වාසය කළේ ඒ රටේ සිටි උසස් ගුරුවරයෙකුගේ ඇසුරේය. අවුරුද්දක් ගතව ඔහු ආපසු සිය රට බලා එන්නට අදහස් කළේය. ඔහු සිය මැඳුරට ළඟාවුණු විට ඔහුගේ ඉගෙනීම ගැන විමසන්නට තාත්තා දැඩි විමසිල්ලෙන් බලා සිටියේය.
“පුතා ඔයා මෙහෙන් ගිහිල්ලා අවුරුද්දක් ගත වුණා. මොනවද මේ කාලය ඇතුළේ මගේ පුතා ඉගෙන ගත්තේ?” සිටු තාත්තා ඇසුවේය.
“කුරුල්ලෝ කතා කරන හැටි, කුරුලු භාෂාව ඉගෙන ගත්තා” යැයි සිටු පුත්‍රයා පිළිතුරු දුන්නේය.
කෝපයට පත් සිටුවරයා අතිශය කනගාටුවෙන් සිය පුත්‍රයාට කතා කළේය
“මදැයි, මම මගේ එකම පුතා පිටරටකට පිටත් කළා උගන්වන්න. මෙහෙමත් මෝඩ ළමයි. හොඳයි තුන්වැනි වරටත් බලමුකෝ!” ඔහු සිය පුත්‍රයා තවත් රටකට පිටත් කර හැරියේය.
තුන්වෙනි වරටද විදේශීය රටකට ගිය ඔහුට එම රටේ උසස්ම ගුරුගෙදරින් ශිල්ප ශාස්ත්‍ර හැදෑරීමට අවස්ථාව සලසා දුන්නේය. ඔහු එහි ගත කළේද එක් අවුරුද්දකි. ඉන් අනතුරුව ඔහු නැවතත් පෙරළා සිය රට බලා ගියේය. මෙවර නම් සිය පුත්‍රයා ඉතා ඉහළ ඉගෙනීමක් ලබාගෙන ඇතැයි සිතූ, සිටු පියා දැඩි බලාපොරොත්තුවෙන් “පුතා ඉගෙන ගෙන ආවේ කුමක්දැ”යි ඔහුගෙන්
ඇසුවේය. “තාත්තේ මම මැඬියන් කතා කරන විදිය ඉගෙන ගත්තා” යැයි පුත්‍රයා පිළිතුරු දුන්නේය. මින් දැඩි සේ කෝපයට පත් පියා මෙසේ කීවේය.
“මෝඩයා උඹ මගේ ධනය විනාශ කළා. උඹෙත්, මගෙත්, ඔබට ඉගැන්වූ ගුරුවරයාගේත් කාලය විනාශ කළා. නමුත් උඹ කිසිම දෙයක් ඉගෙන ගත්තේ නෑ.” සිටු පියා කෝපයෙන් බැණ වැදුනේය.
අනතුරුව සිය හිතවත් සේවකයන් කිහිපදෙනකු අසලට කැඳවූ සිටු පියා දැඩි වේදනාවෙන් මෙසේ අණ කළේය.
“මේ මෝඩයා තවදුරටත් මගේ පුතෙක් විදියට සලකන්නේ නෑ. ඒ නිසාම ඔහු මේ ගෙදර තියාගන්න මම කැමැති නෑ. මේ මෝඩයා කැලේට අරන් ගිල්ලා මරා දාපල්ලා. හැබැයි උඹලා ආපහු එනකොට මිනිහා මරපු බවට ලකුණක් අරගෙන එන්න ඕනැ!”
සිටුවරයාගේ සේවකයෝ ඔහු මරන්නට කැමති නොවූහ. කුඩා කල පටන්ම සිටු මැදුරෙහි සිය සේවක කාරකාදීන්ගේ සුරතලය මැද හැදුණු වැඩුණු මේ කුමාරයා පිළිබඳව ඔවුන් හොඳින් දැන සිටීම ඊට හේතුවයි. එහෙයින් සිටු මැදුරෙන් බොහෝ ඈත වනාන්තරය මැදට සිටු කුමාරයා රැගෙන ගිය සේවකයෝ ඔහු වනාන්තරය මැද අතරමං කර දමා ආපසු ආවෝය. එන අතරමඟ මුවෙකු මරා උගේ ඇස් දෙකත් දිවත් උදුරා ගෙන පෙරළා සිටු මැදුරට ගියහ. මුවාගේ දිව හා ඇස් දුටු සිටුපියා, හඬමින් වැළපෙමින් එහෙත් දැඩි සිතින් එය විඳ දරා ගත්තේය.
පියා විසින් පලවා හරිනු ලැබූ තරුණයා බොහෝ වේලාවක් පයින් ගමන් කොට රෑ බෝ වුණු පසු වෙනත් නගරයක සිටු මැදුරක් අසල නතර වුණේය. අනතුරුව එදා රෑ එහි නවාතැන් ගන්නට අදහස් කොට සිටුවරයාගෙන් මෙසේ විමසීය.
“මට පුළුවන්ද අද රෑ මෙහෙ නැවතිලා යන්න!”
ඇත්තටම ඔයාට නවතින්න පුළුවන් තැනක් තියෙනවා. නමුත් ඒ තැන හරිම භයානකයි. මේ නගරයේ තැනක එක්ටැම් ගෙයක් තියෙනවා. එතැන සුව පහසුව ඉන්න පුළුවන් කාමරයක් තියෙනවා. ඒත් එතන අසීලාචාර හා භයානක බල්ලන් රෑනක් විසින් ග්‍රහණයට
අරගෙනයි තියෙන්නේ!”
“ඒ හොඳටෝම ඇති. මට පුළුවන් එක රැයක් ඒකේ ජීවත් වෙන්න”.
“එකේ වටේ ඉන්න භයානක මුරබල්ලෝ දැක්කනං ඔයා ඔහොම කියන්නේ නෑ. උන් මදුරුවෙකුට වත් ඒක ඇතුළට එන්න දෙන්නේ නෑ. එක බල්ලෙකුට එක මොහොතකින් පුළුවන් ඕනෑම මිනිහෙක් කාලා, ඉවරයක් කරලා දාන්න. මේ බල්ලො ටික ගමට සාපයක් වෙලයි තියෙන්නේ. කිසිම මිනිහෙකුට නිදා ගන්න දෙන්නේ නෑ. කාටවත් ඒ පැත්තෙන් යන්න දෙන්නෙත් නෑ. ඔය ඇහෙන්නේ ඒ මූසල හඬ.” සිටුවරයා ඔහුට තවදුරටත් පැහැදිලි කළේය.
“ඇත්තටම මට පුළුවන් ඒ බල්ලෝ හීලෑ කරන්න.” සිටු කුමාරයා කීවේය. “කරුණාකරලා මට උන්ට කන්න මොනවා හරි දෙන්න”
අනතුරුව සිටුවරයා විසින් බල්ලන්ට කෑමට දුන් යමක්ද රැගෙන මේ තරුණයා එක්ටැම් ගෙය වෙත ගියේය. සිටුවරයා ගෙන් ලැබුණු බලු ආහාර පාර්සලය හා සිය බලු භාෂාව හැසිරවීමේ හැකියාව සම්මිශ්‍රණයෙන් බල්ලන්ට කතා කළ තරුණයා උන් තමා වෙත නම්මා ගැනීමට සමත් විය. බල්ලෝ සිය හිස් පහත් කරමින්, වලිගය වනමින් ඔහු ඉදිරියට පැමිණියෝය. ඔහුද බල්ලන් සමග සාකච්ඡා කර, තමා ගෙනගිය කෑම ස්වල්පය බැගින් බෙදා, එක එකාට වෙන වෙනම කන්නටදී, කාමරයට පිවිස ඒ රැයෙහි සුවසේ නිදා ගත්තේය.
නගරයේ සෑම මිනිසෙකුම බලාපොරොත්තු වූයේ උදෑසන වන විට තරුණයාගේ ඇටකටු පමණක් ඉතිරි වනු ඇති බවයි. එහෙත් උදයේ එක්ටැම් ගෙදරින් බැස යළි සිටුවරයා වෙත පැමිණි තරුණයා දුටු කවුරුත් ඉමහත් පුදුමයට පත්වූහ. ඔහු වීරයෙකු ලෙස
පිළිගනු ලැබුණා පමණක් නොව සිටුවරයා ඇමතූ තරුණයා ගතවුණු රැයේ සුනඛයන්ගෙන් දැනගත් රහසක්ද හෙළි කළේය.
“ඇත්තම කියනවනම් මේ බල්ලෝ දන්නවා මේ එක්ටැම් ගේ එක්තරා තැනක හංගලා තියන අති විශාල ධනස්කන්ධයක් ගැන. ඔය බල්ලෝ එක්ටැම්ගෙට වෙලා ඉන්නේ ඒ ධනය පරිස්සම් කරගන්න.”
මෙය ඇසූ සිටුවරයා තුළ එම ධනය හිමි කර ගැනීමේ දැඩි ආශාවක් හටගත්තේය. තරුණයා අමතා මෙසේ කීවේය.
“හොඳයි ඔබට පුළුවන් නම් ඒ ධනය මට අරගෙන දෙන්න, මම ඔබව මගේ පුතා හැටියට
තියාගන්නවා!”
කුමාරයා නැවතත් කුළුණ වෙත ගොස්, බල්ලන් හමු වී සාකච්ඡා කර එහි තැන්පත් කොට තිබුණු විශාල පෙට්ටියක් රැගෙන අවුත් ඒ සිටුවරයාට දුන්නේය. එතැන් පටන් එම එක්ටැම් ගෙය අසල බල්ලන්ගේ උඩුබුරුලෑමද නතර විය. බල්ලෝද එතනින් ඉවත්ව ගියහ. මුළු පළාතටම එය සහනයක් විය. තරුණයාද සිටුවරයාගේ පුතෙකු මෙන්, බොහෝ දෙනාගේ ගෞරවයට පාත්‍ර වෙමින් දිගු කාලයක් එහි වාසය කළේය.
මෙසේ කාලය ගතවෙද්දී ඔහුට රෝමය බලා යන්නට සිතක් පහළ විය. සිය කැපකරු
පියාගෙන් සමුගෙන ගමන ඇරඹු සිටු කුමාරයා එක්තරා හෙළක් පසුකර ගමන් කරන්නට විය. එහිදී ඔහුට මැඬියෙකුගේ කටහඬක් ඇසුණේය. ඒ හඬ මතු වූ පණිවිඩය තේරුම් ගත් කෙණෙහි ම ඔහු තුළ හට ගත්තේ දැඩි ශෝකයකි. එහෙයින්, සිදුවන්නේ කුමක්දැයි කුතුහළයක් ඇති කර ගත් කුමාරයා තමා යන ඒ ගමන නතර නොකළේය. මැඬි බස යළි යළිත් සිහි කරමින් කෙළින්ම රෝමයට ගියේය.
සිටු තරුණයා රෝමයට ළඟා වූයේ එවකට සිටි පාප්තුමා මිය ගොස් අලුත් පාප්තුමෙකු තෝරාගැනීමට රෝමයේ පූජකවරුන් දේවස්ථානයට රැස්ව සිටි අවස්ථාවේය.
“පාප්තුමා මැරේවි” යන මැඩියාගේ වචන දැන් අප තරුණයාට පැහැදිලිය. ඔහුට අවශ්‍ය වූයේ “මේ තරුණයා ඊළඟ පාප්තුමා වේවි” යන ගෙම්බාගේ වචනය ඇත්තක්ද යන්න දැන ගැනීමයි.
තරුණයා දේවස්ථානයේ රැස්වීම් ශාලාවේ ප්‍රධාන දොරටුවෙන් පිවිසුණේය. හදිසියෙන්ම සුදු පරවි ජෝඩුවක් පියාසර කර ගෙන ආවෝය. තරුණයා ඔවුන් දැක සතුටට පත්ව කුරුළු භාෂාවෙන් අමතා උන්ට තමා වෙත එන ලෙස කීවේය. උන් පියඹා අවුත් තරුණයාගේ උරහිසේ වැසුවෝය. විශ්මයකි! ඒ පරවියෙන් යනු අන් කවරෙක්වත් නොව, පාප්තුමා ලෙස පත් කිරීමට සුදුසු, සාමකාමීම මිනිසා සෙවීමට පල්ලියේ පූජකයින් විසින් යෙදවූ මායාමය පරෙවියන් දෙදෙනෙකි. ඔවුන් සෙවූ විශේෂ පුද්ගලයා දේවගැතිවරුන්ට හමුවිය. මැඬියාගේ වදන සැබෑ කරමින් සිටු කුමාරයා පාප්තුමා බවට පත් විය. සුරංගනා කතාවේ තවදුරටත්, ලතින් භාෂාව නොදත් මේ තරුණයාට ලතින් භාෂාවෙන් පිරිස ඇමතීමට මේ පරෙවි ජෝඩුව උදව් උපකාර කළ බවත් දැක්වේ.
ග්‍රීම් සොහොයුරන් විසින් කරන ලද සාහිත්‍යමය කාර්යය වන්නේ ලෝකයේ විවිධ ජනකොටස් අතර ප්‍රචලිතව පැවති ජන කතා එක්රැස් කිරීමයි. මේ කතාවද ලෝකයේ කිසියම් ජන කණ්ඩායමක් අතර ප්‍රචලිතව පැවැති එවැනි කතාවකි. එමඟින් මේ කතාව කියූ ජනකතාකරුවා විසින් මතු කිරීමට උත්සාහ කරන්නේ දැනුම හා අධ්‍යාපනය සම්බන්ධයෙන් ප්‍රචලිතව පැවැති වැදගත් මතයකි. එනම්, දැනුම හෝ අධ්‍යාපනය කුමක් අරභයා ලැබූවද, එය අපතේ නොයන බවයි. එමෙන්ම, අධ්‍යාපනයට කැපවූ මිනිසා, ධනය, බලය වැනි සාම්ප්‍රදායික සංකල්ප පසු පස ලුහුබැඳ නොයන බවයි. එමෙන්ම, ඔහුගේ ගමන නොනවතින්නකි. කිසියම් අධ්‍යාපනික හික්මීමක් සහිත තෝතැන්නක සිය ජීවිතය ගත කිරීමට කැමැති ඔහු ඒ ක්ෂේම භූමිය හමුවන තෙක් අඛණ්ඩව සිය සංචාරයේ යෙදෙයි.
ලෝක සාහිත්‍යයේ අතීතයේ පටන් වර්තමානය තෙක් සලකා බැලීමේ දී මෙම සංකල්පය ප්‍රවර්ධනය කරනු වස් නිර්මාණය කරන ලද නිර්මාණ රැසක් හමුවේ. එය ජනකතා, ජනකවි, ජනනාට්‍ය, කැටයම්, චිත්‍ර හා මූර්ති ඈ ක්ෂේත්‍ර රැසක විහිද පවතී. ඒ සියල්ල, පුළුල් වශයෙන් අධ්‍යනය කිරීමට මෙය අවස්ථාවක් නොවූවද කැපී පෙනෙන නිර්මාණ කිහිපයක් කෙරෙහි අවධානය යොමු කිරීමට අදහස් කරමි.
ඛලීල් ජිබ්රාන් සිය “මුණිවරයා” නම් කෘතියේ දැනුම සම්බන්ධයෙන් අදහස් දක්වා ඇත.
“දහවල් හා රාත්‍රී කාලයන්ගේ රහස් අපගේ හදවත් නිහඬවම අවබෝධ කර ගනී” ඔහු පවසයි. එහෙත්, ඔබේ සවන හදවතේ දැනුම මැන බැලීමේ පිපාසාවෙන් පසුවේ. ඔබ සිතන්නේ කුමක්දැයි වටහා ගත හැක්කේ එම සිතිවිලි වදන්වලට පෙරළන්නේ නම් පමණි. ඔබගේ සිහිනයේ නිරුවත් ශරීරය, ඔබගේ ඇඟිලි තුඩගින් ස්පර්ශ කළ හැකිවන්නේ දැනුම ඔස්සේ පමණකැයි ඔහු තවදුරටත් පවසයි.
ඒ සඳහා ඔබ කළ යුත්තේ හදවතේ දිය උල්පත සාගරයේ මුමුනුව ඔස්සේ ලුහු බඳිමින් ගමන් කරවීමයි. නො එසේ නම්, කුඩා තැනකින් අරඹා අතිවිශාල දැනුම් සම්බාරයක් කරා ඔබගේ ආත්මය මෙහෙය විය යුතු බව ජිබ්රාන් අවධාරණය කරයි. එහිදී, ඔබ අභියසට පැමිණෙන මහා නිධානය ඔබගේ දෑස් අන්ධ කිරීමට සමත් වෙනු ඇත. යමක් දැක බලා ගැනීමට ‘දෑස් ප්‍රමාණවත් නැතැ’යි යෙදුමක් ජන ව්‍යවහාරයේ පවතී. ජිබ්රාන් මෙහිදී සඳහන් කරන්නේ තමා සතු කුඩා ඥානයෙන් අරඹා මහා සාගරය තරමට උපයා ගත හැකි දැනුම ලබා ගැනීමෙන් අත්පත් කර ගත හැකි ආධ්‍යාත්මික සතුට කොපමණ විශාලද යන්නයි. එහෙත්, එහි දී ද ඔබ නෙතු හමුවේ දකින ධන නිධානයට ඔබගේ ගමනාන්තය තීරණය කිරීමට ඉඩ නොදිය යුතු බව ජිබ්රාන් නැවතත් අවධාරණය කරයි. මුහුද කරා පැමිණීමෙන් ඔබ සර්ව සම්පූර්ණ නොවේ. මන්ද සාගරය යනු සීමා නොමැති, මැනිය නොහැකි අති විශාල ප්‍රපංචයක් වන බැවිනි. දැනුමද එසේම වේ.
“මම සත්‍යය සොයා ගත්තා යැයි නොපවසන්න. ඒ වෙනුවට මම එක්තරා සත්‍යයක් සොයා ගත්තා යැයි පවසන්න. මම ආත්මය කරා යන මාර්ගය සොයා ගත්තා යැයි නොපවසන්න. ඒ වෙනුවට, මා යන මාර්ගයේ දී මට ආත්මයක් හමු වූ බව පවසන්න. එවැනි තවත් බොහෝ ආත්මයන් සොයා ගැනීමට නම්, ඔබ තවත් බොහෝ මාර්ග ඔස්සේ ගමන් කළ යුතුව ඇත. ආත්මය කිසි දිනක තනි ඉරක් දිගේ ගමන් කරන්නේ නැත. එසේම එය පතුරු ගසමින් වැඩෙන්නේ ද නැත. එහෙත් එය අනන්තයක් පෙති විහිදා පිබිදෙන රෝස මලක් මෙන් නැවත නැවතත් පිබිදෙන්නේය”
ජිබ්රාන් දැනුම් ගවේශනය, දාර්ශනික පසුබිමක තබා විස්තර කරන්නේ එපරිද්දෙනි.
රෝල් ඩාල් 1917 වසරේ ඉපිද, 1990 වසරේ මෙලොවින් සමුගත් ජනප්‍රිය ළමා ලේඛකයෙකි. ඔහුගේ කෘති විශේෂයෙන්ම ළමුන් අතර අතිශය ජනප්‍රිය විය. ‘හරි පුදුමයි’, ‘චාලි සහ චොකලට් කම්හල’, ‘චාලි සහ අරුම පුදුම විදුලි සෝපානය’ ඔහු විසින් රචනා කරන ලද කෘති කීපයකි. ඔහු විසින් රචනා කරන ලද ‘මැටිල්ඩා’ යනු මුළුමනින්ම පාහේ දැනුම ලබා ගැනීම විශ්මයජනක ප්‍රතිඵල දරුවන් තුළ කුළු ගන්වන නිර්මාණයකි.
මැටිල්ඩා යනු නපුරු දෙමාපිය යුවලක් විසින් දරුකමට හදා වඩා ගන්නා දැරියකි. ඇගේ පියා වාහන ජාවාරමක නිරත වන්නෙකි. මව, අසීමිත කුරිරුකම් සිය සැමියා හා දරුවා මත මුදා හරිමින් ශෝබන ජීවිතයක් ගත කරන්නියකි. මැටිල්ඩාට වඩා වැඩිමහල් දරුවෙක් මේ යුවලට සිටී. මේ සොහොයුරා දෙමාපියන් දෙදෙනාගේම කුරිරුකමේ කදිම සංකලනයකි. කුඩා මැටිල්ඩා කටුක ජීවිතයක් ගත කරයි.
ඇයට ආදරය කරන කිසිවෙක් නිවසේ නැති බැවින් ඇය පොතපතට ආදරය කරයි. ඇය යාන්තම් අවුරුදු පහක දැරියක වන විට නගරයේ පුස්තකාලයේ සියලු විෂය සාහිත්‍ය පොත් කියවා හමාර කර සිටියාය. මේ පොත්වල අකුරු ඇගේ මනසේ සංචිතව ඇය අරුම පුදුම මායා බලයකට හිමිකම් කියන්නියක බවට පත්වේ. එමඟින් ළමා ලෝකයට එරෙහිව නැගෙන සියලු දුෂ්ට බලවේගලට එරෙහිව සටන් කිරීමට ඇය සමත් වේ. නිවසේ හුදකලා දැරියක වූ ඇය, ළමා ලෝකයේ වීරවරියක් බවට පත් වෙන්නේ ඇය සතු දැනුම හේතුවෙනි. රෝල් ඩාල් මේ කෘතියෙන් අධ්‍යාපනය ලැබීමේ වටිනාකම දරුවන් තුළ මුද්‍රා තබයි.
ලෝක සාහිත්‍යයේ උදාහරණ කිහිපයක් සාකච්ඡා කිරීමෙන් අනතුරුව සිංහල සාහිත්‍යයේ දැනුමේ අගය පිළිබඳව සාකච්ඡා කරන සාහිත්‍ය නිර්මාණ කිහිපයක් පිළිබඳව අවධානය යොමු කිරීමට කැමැත්තෙමි. මෙහිදී, බොහෝ කෘති හමු වුවද ඉතා සීමිත කෘති කිහිපයක් පමණක් කෙරෙහි අවධානය යොමු කෙරේ.
කෝට්ටේ යුගයේ රචනා වූ බවට සැලකෙන ලෝකෝපකාරය (එය රනස්සල්ලේ හිමියන්ගේ කෘතියකැයි එක් මතයක් පවතින අතර වෙනත් මතයකින් කියවෙන්නේ එය වීදාගම මෛත්‍රී හිමියන්ගේ කෘතියක් බවයි) කෘතියේ එක් පද්‍යයක මෙසේ දැක්වේ.
දෙගුරුන් විසින් තම – දරුවන්ට දෙන නොමද ධන නම් වියතුන් සභා මැද – ඉන්ට ඉදිරිව ශිල්ප දෙනුමැයි දෙමාපියන් විසින් සිය දරුවන්ට දිය යුතු, මිල කළ නොහැකි ධනය නම් අන් කවරක්වත් නොව, වියතුන්ගේ සභා මධ්‍යයේ නොබියව සැරි සැරීමට හැකියාව ලැබෙන අධ්‍යාපනය නමැති ධනයම බව මේ කවියේ අර්ථයයි. ලෝකෝපකාරය යනු ගිහි මිනිසාට සිය ජීවිතය හැඩ ගස්වා ගැනීම සඳහා දැනුම ලබා දීමට රචනා කළ කෘතියකි. එනයින් බලන කළ මේ කවියෙන් අවධාරණය කර ඇත්තේ දැනුම ලබා ගැනීමේ උතුම් වටිනාකමයි.
පැරැණි විද්‍යායතනවල මූලික පෙළ පොත් වශයෙන් භාවිත කළ කෘති රැසක ඉගෙනීම හා අධ්‍යාපනයේ වැදගත්කම ඉහළින් දක්වා ඇත. එමෙන්ම, ජනකතා, ජනකවි, ජනනැටුම්, ගැමි නාටක වැනි ජන සාහිත්‍ය කෘති තුළ මෙන්ම ජාතක පොත වැනි සම්භාව්‍ය සාහිත්‍ය කෘති තුළද දැනුම හා ප්‍රඥාව උත්කර්ෂයට නංවා ඇති ආකාරයක් දක්නට ඇත. මතු දැක්වෙන්නේ වදන්කවි පොතේ එන එවැනි නිර්මාණයකි.


අල්ලට සිඟාවත් රස නැති කැවිලි කකා
වල්කොළ බිම අතුට නිඳි නොලැබ දුක් තකා
කල්ගිය රෙදි වැරැලි හැඳ දැලි කුණෙන් වකා
ඇල්මෙන් අකුරු උගනිව් ඉදිරි වැඩ තකා


වදන් කවි පොත යනු මේ සියවස ආරම්භයේ පිරිවෙන් හා පාසල් අතිරේක කියවීම් පොතක් වශයෙන් භාවිත කළ කෘතියකි. මෙරට පාසල් අධ්‍යාපනය ආරම්භය අතිශය දුෂ්කර වූවා පමණක් නොව, එකී විද්‍යායතනයන්ගේ අධ්‍යාපනයද අතිශය දුෂ්කර විය. එම රළු හා කටුක අද්දැකීම දරා ගැනීමේ හැකියාව සිසුන් තුළ ජනනය කරනු වස් මෙවැනි උපදේශ කවි යොදා ගත් බව නිරීක්ෂණය කළ හැකිය. වදන් කවි පොත මඟින් දැක්වෙන්නේ කොතරම් දුෂ්කරතා මධ්‍යයේ වුවද අධ්‍යාපනය කෙරෙහි තත්පරව යෙදිය යුතු බවට වන සංවාදයයි. අධ්‍යාපනයේ රළු පරළු බව හා මුසුව දැඩි හිතැති ගුරුවරුන් විසින් දඬුවම් පමුණුවමින් කරනු ලබන හික්මවීමේ ප්‍රයත්නය විඳ දරා ගැනීමටද ශිෂ්‍යයාගේ මනස සූදානම් කිරීමට මෙම කවිපොතේ වැකි උපකාරී වේ.
දැනුම හා ඉගෙනුම යන්න ජනප්‍රිය සංස්කෘතියේ අංගයක්ව ඇතැයි සිතෙන තරමට එය ලංකාවේ ප්‍රචලිතව ඇත. විශේෂයෙන්ම ජනප්‍රිය රැල්ලේ නවකතා සියල්ලේම මුඛ්‍ය චරිතය, දිළිඳු එහෙත් ඉගනීමෙහි සමත් අයෙකු වෙනු දැකිය හැක. මෙමගින් හුවා දක්වන ලබන්නේ වත්මන් සමාජයේ ජනප්‍රියතාව කෙරෙහි අධ්‍යාපනය බලපාන බව මෙන්ම, වරප්‍රසාද නොලත් මිනිසුන්ට සිය ජීවිතය ජය ගැනීමට ඇති එකම මාර්ගය අධ්‍යාපනය ලබා ගැනීම වැනි සංකල්පයකි.
අධ්‍යාපනය සම්බන්ධයෙන් මේ මතය එක්තරා ආකාරයකට මෙරට සංවර්ධනයේ ප්‍රතිරෝධකයක්ව ක්‍රියා කරයි. අධ්‍යාපනය විසින් කුසලතා වර්ධනය නොකරන වටපිටාවක, උත්කර්ෂයට නැගෙන්නේ හුදු දැනුම් සම්භාරයක් සහිත බුද්ධිමතා පමණක් නම්, කුසලතා පූර්ණ මිනිසුන් නිසැකවම දෙවෙනි තැන්හි ලා සැලකේ. විශේෂයෙන්ම බටහිර රටවල වීරයා යනු බුද්ධිතා වෙනුවට කුසලතා පිරුණු මිනිසෙකි. මේ සමාජ තුළ පැලපදියම් වූ මතය වෙනස් කිරීමට රජයක් සවිඥානිකව ක්‍රියා නොකරයි නම් දැනුම පසු පස හඹා යන මිනිසුන් සහිත සමාජයක් බිහි වෙනු ඇති නමුදු රටක් සංවර්ධනය කිරීමේ විභවතාව සහිත කුසලතා පූර්ණ, නිර්මාණශීලී මිනිසුන් බිහි නොවේ.
අපේ සාහිත්‍යයේ දැනුම උත්කර්ෂයට නැඟීම පමණක් සිදු නොකර කුසලතා පූර්ණ මිනිසාද උත්කර්ෂයට නැංවිය යුතුය. එය හුදු පුරුදු අකුරු යොදා ගෙන නුහුරු කතාවක් කීමක් නොව, සමාජය ඥානනය කිරීම අරමුණු කරගත් සතතාභ්‍යාසයක් විය යුතුය.


– කේ. බණ්ඩාර (ලෙෆ්ට් සඟරාවේ පළවූ ලිපියකි)

සමාජ ඥානනය වෙනුවෙන් අක්ෂරකරණය