ඇස්බැන්දුම් ආර්ථිකය

SHARE

සෞභාග්‍යය කැඳවන්නා

වැනීසිය නම් පෞර රාජ්‍යය ගතකරමින් තිබුණේ අතිශය සමෘද්ධිමත් කාලයකි. මධ්‍යකාලීන හා පුනරුද යුගයේ පෙරදිග සමග වූ වෙළඳාමේ ඒකාධිකාරය එය සතු වූයෙන් යුරෝපයේ ධනවත්ම නගරය එය විය. සුභසාධනවාදී සමූහාණ්ඩුවක් යටතේ වැනීසියානුවෝ සෙසු ඉතාලි වැසියන් කිසිදා අසා නොතිබුණාවූ වරප්‍රසාද රැසක් භුක්ති විඳිමින් සිටියහ. එහෙත් 16වැනි සියවසේ සිට ඔවුන්ගේ ‘වාසනාව’ කණපිට පෙරළිණි. එතෙක් සොයාගෙන නොතිබුණු භූමිභාගයන් දික්විජය කරන්නට පටන්ගත් ස්පාඤ්ඤයට, පෘතුගාලයට සහ පසුව ඕලන්දයටත් බි්‍රතාන්‍යයටත් ආර්ථික බලය මාරු විය. වෙළඳාමේදී තවදුරටත් වැනීසිය තරගකරුවෙකු නොවූ අතර එහි සෞභාග්‍යය කඩාවැටෙන්නට විය.
ධනවත් වෙළඳ පවුල් පිරිහෙන්නට පටන් ගත් අතර බැංකු වැසී යමින් තිබිණි. නගර වැසියන් තුළ වර්ධනය වෙමින් පැවතියේ අපේක්ෂාභංගත්වයයි. ඉසුරුමත්භාවය අතීතයට එක්වූ කතාවක් බවට පත්වෙද්දී වැනීසියානුවන්ට දැනුණේ තමන් නින්දාවට පත්වී ඇති බවකි. ‘වාසනාව’ යම් මොහොතකට තමන්ට සරදම් කරන බවක් දැනුණු ඔවුන් සෑම අයෙකුටම ඉක්මණින්ම පැරණි ශ්‍රී විභූතිය නැවත ළඟාවනු ඇති බවට බලවත් විශ්වාසයක් විය. 1589 වසරේදී බ්‍රැෂියා නගරයේ විසූ බ්‍රැගැඩිනෝ නම් පුද්ගලයෙක් වැනීසියට වාසනාව කැඳවනු ඇති බවට වන දූෂමාන පුවතක් නගරය පුරා පැතිර ගියේය. සියලු දේ රත්තරන් බවට හැරවිය හැකි රහස් සංයෝගයක් ඔහු සතු බවත් ඔහුගේ මාලිගය රත්තරන් බඩු බාහිරාදියෙන් පිරී ඇති බවත් පැවසිණි. බොහෝ වැනීසියානුවන් සිහින දුටුවේ ඔහු වැනීසියට කැඳවා ගැනීම මගින් සෞභාග්‍යය උදාකර ගත හැකි බවටය.
වැනීසියේ සෙනෙට් සභාව බ්‍රැගැඩිනෝට ආරාධනා කිරීමට වාදයකින් තොරවම තිරණය කළේය. ඔහුගේ සුඛෝපභෝගී ජීවිතය වැනීසියේදීත් ආරක්ෂා කර දීම සඳහා අරමුදල් සැපයීමට ඔවුහු බ්‍රැගැඩිනෝට පොරොන්දු වූහ. ගියුඩෙතා දූපතේ අලංකාර මාලිගයක් ඔහුට වෙන් කෙරුණු අතර වටිනා ආහාරපාන, ඇඳුම්පැළදුම් මහජන මුදලින් සැපිරිණි. රත්තරන් නිපදවීමේ රසායන විද්‍යාව වසංගතයක් මෙන් වැනීසිය පුරා පැතිර ගිය අතර බ්‍රැගැඩිනෝ හැරෙන්නට සියලු දෙනා පාහේ අත්භූත රසායනය ප්‍රගුණ කිරීම ඇරඹූහ.
වැනීසියේ ගැලවුම්කරුවා කිසිදු හදිස්සියක් නොපෙන්වූ අතර එය ඔහුගේ ජනප්‍රියතාව තවත් ඉහළ නැංවීය. මාස ගණන් ගෙවී ගිය අතර ප්‍රාතිහාර්යය ප්‍රමාද වීම ගැන පුරවැසියන් තුළ වර්ධනය වූයේ නොඉවසිල්ලකි. දැවැන්ත ආයෝජනයේ ප්‍රතිඵල පෙන්වන ලෙසට සෙනෙට් මණ්ඩලයට පීඩනයක් එල්ල විය. සැක ඉපිදවූවන් හෙළා දුටු බ්‍රැගැඩිනෝ පිළිතුරු දෙමින් රත්තරන් නිර්මාණය කරන අභිරහස් ද්‍රව්‍යය දැනටමත් නගර භාණ්ඩාගාරයේ තැන්පත් කර ඇති බව අනාවරණය කළේය. ඒවා ඉවත් කළහොත් නිපදවෙනුයේ රත්තරන් දෙගුණයක් පමණක් බව කී ඔහු වසර හතක් ඉවසිය හැකිනම් තිස් ගුණයක රත්තරන් ලබාගත හැකි බව පෙන්වා දුන්නේය. සෙනෙට් මණ්ඩලයේ වැඩි දෙනෙක් ඒ අදහසට කැමති වූ නමුදු පුරවැසියෝ මේ මිනිසා තමන්ගේ මුදලින් තවත් කාලයක් රාජකීය සැප විඳීමට එරෙහි වූහ. ඔවුහු ඉක්මණින් රත්තරන් සැලකිය යුතු ප්‍රමාණයක් නිපදවා පෙන්වන ලෙස බ්‍රැගැඩිනෝට අභියෝග කළහ.
නොඉවසිලිමත් වැනීසිය තමන්ට ද්‍රෝහි වී තමන්ගේ සේවය අහිමි කර ගත් බවට චෝදනා කළ බ්‍රැගැඩිනෝ නගරය හැර ගියේය. පළමුව ආසන්න ‘පඩුආ’ නගරයට ගිය ඔහු ඉන්පසු 1590දී බංකොලොත්භාවයේ දොරකඩ සිටි බැවේරියා ආදිපාදවරයාගේ ආරාධනයෙන් මියුනික් නගරයට සේන්දු විය. ඔහුගේ සුවපහසු දිවිය තවත් දිගු කාලයක් ආරක්ෂා වූයේ එලෙසය..

මායාවේ බලය

මේ ඉතිහාසයේ ජීවත් වූ දක්ෂතම වංචනිකයින්ගෙන් කෙනෙකු වූ බ්‍රැගැඩිනෝගේ කතාවය. ඔහුගේ සැබෑ නම සයිප්‍රියොට් මමුග්නාය. කලක් වැනීසියේ ජීවත්ව සිටි ඔහු වැනීසියේ මිනිසුන්ගේ අපේක්ෂාව දැන සිටියේය. විදෙස් ගතවී තමාගේ රසායනික ඇස් බැන්දුම්වලින් මුදල් ප්‍රමාණයක් සොයාගත් ඔහු නැවත ඉතාලියට පැමිණ බ්‍රෂියාහි කාර්යාලයක් පිහිටුවා ගත්තේම තම කීර්තිනාමය වැනීසිය වෙත පැතිරෙනු ඇති බව දැනගෙනය. ඔහු පළමුව මිනිසුන් ඇදගැනීම සඳහා සුපුරුදු විජ්ජා යොදා ගත්තේ නැත. ඔහුගේ සුඛෝපභෝගී මන්දිරය, සමෘද්ධිමත් ඇඳුම් ආයිත්තම්, අතෙහි රත්තරන්වලින් නැගෙන කිංකිණි හඬ කිසිවෙකුට ඔහුගේ ශ්‍රේෂ්ඨත්වය ප්‍රශ්න කිරීමට ඉඩ සැලසුවේ නැත. පැහැදිලිව පෙනුණු ඔහුගේ ධනය රසායනඥයෙකු ලෙස ඔහුගේ කීර්තිය ශක්තිමත් කළේය. ඔහුගේ අනුග්‍රාහක ධනවතුන් ඔහු වෙත තැන්පත් කළ ධනය පෙරළා වර්ධනය කරවූයේ ඔහුගේ කීර්තියයි. කීර්තිනාමය තහවුරු වන විට ආදිපාදවරුන්, සෙනෙට්වරුන් ඔහු වෙනුවෙන් සටන් වැදීමට සූදානම් මොහොත වන විට හාස්කම් විදහා පෑමේ අවශ්‍යතාවය නොවැදගත් කරුණක් වී තිබිණි. මහජනතාව රැවටීමට ඉතා පහසු තත්වයක සිටියහ. ඔවුනට ඔහුව විශ්වාස කිරීමට අවශ්‍යව තිබිණි. ඔහු රත්තරන් දෙගුණ කරනු බලා සිටි වැනීසියානු සෙනෙට්වරු කෙතරම් නරක ලෙස ඔහුව විශ්වාස කළෝදයත් ඔහුගේ කමිස අතෙහි රැඳවූ වීදුරු නලයකින් ඇඟිලි තුඩු අගට රත්තරන් කුඩු හළනු නිරීක්ෂනය කිරීමට අපොහොසත් වූහ. රැස්
වළල්ලක් නිර්මාණය කරගත් මොහොතේ පටන් ඔහුගේ සරල ඇස්බැන්දුම් කිසිවෙකුගේ අවධානයට ලක්වූයේ නැත.
අප තුළ මුල් බැස ගෙන ඇති මායාව පිළිබඳ විශ්වාසයේ අප ගිලී යන්නේ අප දුබල වන හා ආර්ථික පරිහානි සමයන්හිදීය. ගැටලු පැන නැගී ඇත්තේ තමන්ගේ වැරදි හෝ මෝඩකම් නිසා බව මිනිසුන් සිතන්නේ කලාතුරකිනි. චෝදනා කිරීම සඳහා යමක්, සතුරෙක් අවශ්‍යය. අනෙක් අතට ගැලවීම බාහිරින් හෝ දෙවියන්ගෙන් එනු ඇතැයි ඔවුහු අපේක්ෂා කරති. නගරයේ ආර්ථික කඩාවැටීමට බලපෑ හේතු විශ්ලේෂණයක් සහිතව බ්‍රැගැඩිනෝ වැනීසියට පැමිණ තමන්ට වැනීසිය යථා තත්වයට පෙරළිය හැකි යැයි කීවේනම් ඔහු හාස්‍යයට ලක්කෙරෙනු නිසැකය. යථාර්ථය අප්‍රසන්න වන්නටත් විසඳුම වේදනාකාරී වන්නටත් ඉඩ තිබිණි. මුතුන්මිත්තන් විසින් ඉතා වෙහෙස ගෙන වෙළඳ අධිරාජ්‍යය ගොඩනගනු ලැබ තිබීම කටුක යථාර්ථයක් වූ අතර රසායනඥයාගේ මැවීම වටහා ගැනීමට පහසු රසවත් විශ්වාසයක් විය.
මේ ඓතිහාසික පුවතෙහි දීර්ඝභාවය නොසලකා මෙම ලිපියේ ආරම්භක කියවීම ලෙස එය යොදා ගනු ලැබුවේ කරුණු ද්විත්වයක් හේතුවෙනි. පළමුවැන්න මෙහි විස්තර කෙරෙන මධ්‍යකාලීන වැනීසියේ සමාජය සහ වර්තමාන ලාංකේය සමාජය අතර වන ආකල්පමය සමානත්වයයි. දෙවැන්න කුටුම්භ ආර්ථික අර්බුදයන්ට විසඳුම් ඇති බව කියන නූතන බ්‍රැගැඩිනෝලා බොහෝ දෙනෙකු විවිධ ප්‍රයෝගකාරී ඇස්බැන්දුම් සමග ප්‍රාතූර්භූත වෙමින් සිටීමයි. එසේම තවදුරටත් මෙම මාතෘකාව සංකල්පීය තත්වයක් පමණක් නොවේ. ලංකාවේ සැලකිය යුතු ජනතාවක් අද වන විට මෙම ආර්ථික ඇස්බැන්දුම් හේතුවෙන් පීඩා විඳිමින් සිටිති. ඔවුන් බොහෝ දෙනෙකුට තමන් ජීවිත කාලයක් පුරා අතිශය අපහසුවෙන් උපයා ගන්නා ලද මුදල් ඇස් ඉදිරිපිට විනාශ වී යාම දකින්නට සිදුව තිබේ. ‘ගෝල්ඩන් කී’ තැන්පත්කරුවෝ ගණනාවක් තම තැන්පතු ආපසු ගැනීමට නොහැකිව දිවිනසා ගත් අතර තවත් පිරිසක් ප්‍රතිකාර ලබාගැනීමට මුදල් අහිමිව මරු දුටහ. සී/ස නැගෙනහිර හේවාගම් කෝරළ සමුපකාරයේ ග්‍රාමීය බැංකුවේ ගනුදෙනුකරුවෝ දස දහස් ගණනක් තමන්ගේ කෝටි 50කට වැඩි තැන්පතු ආපසු ගැනීමට නොහැකිව උද්ඝෝෂණ කරමින් සිටිති. සීඅයිඑෆ්එල් තැන්පත්කරුවන් හාරදහස් ගණනක් තම තැන්පතු ‘ගල්වීම’ පිළිබඳව සිටින්නේ කෝපයෙනි. තැන්පතු වෙනුවට තමන්ට පවරන ලද රු. 07 කොටස්වලට ශත 50 බැගින් ගෙවීමට එරෙහිව යූබී ෆිනෑන්ස් තැන්පත්කරුවන් උද්ඝෝෂණයේය. රු. කෝටි 3500ක තැන්පතු ආපසු ගැනීමට නොහැකිව ඊටීඅයි ෆිනෑන්ස් තැන්පතුකරුවෝ වීදි බැස සිටිති. මහරගම වත්තේගෙදර සණස සමිතියේ කෝටි 75ක තමන්ගේ තැන්පතු අහිමි වීම පිළිබඳව තැන්පත්කරුවෝ දුක කියති. මේ අප දකිමින් සිටින මතුපිටයි. එහෙත් ඒ හා බැඳුණු බරපතළ අභ්‍යන්තර ක්‍රියාවලිය පිළිබඳව ප්‍රමාණවත් සාකච්ඡාවක් සිදුවනු පෙනෙන්ට නැත.


ආර්ථිකයේ පසුගාමිත්වය

තුළ ප්‍රයෝගකාරිත්වය මතුපිටට පැමිණ තිබුණද එය පවත්නා ධනවාදයෙන් මුළුමනින්ම වියුක්ත කරුණක්ද නොවේ. සැබැවින්ම රැවටීම,
වංචාව ධනවාදය හා අත්‍යන්තයෙන්ම බැඳුණ කරුණකි. ධනවාදය ක්‍රියාත්මක වනුයේම කාල් මාක්ස් ප්‍රාග්ධනය කෘතියෙන් නිවැරදිව අනාවරණය කළ පරිදි ශ්‍රමය සූරාකෑම මගින් ඒකරාශි කරගන්නා අතිරික්ත වටිනාකම් මගිනි. එහෙත් ධනවාදය කිසිදා එය හෙළිකිරීමට සූදානම් නැත. එය ශ්‍රමයට ගෙවන බව පෙන්වමින් ශ්‍රම ශක්තියට (කම්කරුවාගේ දෛනික යැපීම සඳහා) වැටුප් ගෙවා ශ්‍රම සූරාකෑම සඟවාලයි. මුළු මහත් ධනවාදී ආර්ථික විද්‍යාවම එම යථාර්ථය සැඟවීමේ උත්සාහයකි. මෙම ලිපියේ අරමුණ සම්භාව්‍ය ධනවාදී ආර්ථික විද්‍යා විෂය ක්ෂේත්‍රයටද ‘වංචා කරමින්’ ක්‍රියාත්මක වන ආර්ථික ඇස්බැන්දුම් පිළිබඳ කතිකාවකටය.
නව ලිබරල් ධනවාදයේ අසාර්ථකත්වය සමග එක තැන පල්වෙන පසුගාමී ආර්ථිකයක් තුළ මෙවැනි ඇස්බැන්දුම් ආර්ථික විසඳුම් ලෙස ඉදිරිපත්වීම අලුත් තත්වයක් නොවේ. කෙසේ වුවද වාණිජ ධනවාදයේ ආරම්භක අවස්ථාවේදීම එය තුළ වන ප්‍රයෝගකාරී ලක්ෂණ විදහා දක්වන අවස්ථා හමුවනුයේ වරක් දෙවරක් නොවේ. නිදසුනක් ලෙස මුළුමනින්ම වාණිජ ධනවාදයට පෙරළුණු පළමු රට වන නෙදර්ලන්තය (ඕලන්දය), පූර්ණකාලීනව ක්‍රියාත්මක වූ කොටස් වෙළඳපොළ, රක්ෂණය හා විශ්‍රාම වැටුප් අරමුදල් ආදී ආර්ථික ක්‍රමවේදයන්ට මුල් බිම වූ අතරම තමන් සතු කොටස් විශාල ලෙස වෙළඳපොළට දමා කොටස් මිල කෘත්‍රිමව අඩු කිරීමට සලස්වා නැවත එම කොටස් ඉතාම අඩු මුදලකට මිලට ගත් ලොව පළමු මූල්‍ය වෙළඳපොළ ජාවාරම්කරුගේ (ඉසාක් ලෙ මයිරෙ) නිජ බිමද විය. එසේම අතත්‍ය ප්‍රාග්ධනය, වත්කම් බුබුළ ආදී ‘මැවීම්වලට’ අදාළ ආර්ථික ක්‍රමවේදයේද ආරම්භක ස්ථානය එය විය.


ටියුලිප් උන්මාදය

කෘත්‍රිම ලෙස ඉහළ නංවන ලද වටිනාකම් සහිත ටියුලිප් මල් අලෙවි ජාවාරමක් 1636-37 කාලයේ ඕලන්දයේ ක්‍රියාත්මක විය. ටියුලිප් මිලට ගැනීම සහ ලාභ ඇතිව නැවත අලෙවිය මගින් ධනය ඉපයිය හැකි බව මෙම කාලයේ ඕලන්ද වැසියන්ට පෙනෙන්නට තිබිණි. සියලු දෙනා සිතුවේ ටියුලිප් සඳහා වන ඉල්ලුම සදාකාලිකව තිබෙනු ඇති බවය. ලොව සියලුම ධනවතුන් ඇමස්ටඩෑමයට පැමිණ පවසන ඕනෑම මිලක් යටතේ ටියුලිප් මිලට ගනු ඇතැයි ඔවුහු සිතූහ. මෙය කෙතරම් උන්මාදයක් වීද යත් දුම්කවුළු පිරිසිදු කරන්නාගේ සිට වංශාධිපතීන් දක්වා එම උමතුවේ කොටස්කරුවන් වූ අතර එහි උපරිම අවස්ථාවේදී ටියුලිප් මලක මිල පුහුණු කම්කරුවෙකුගේ වාර්ෂික ආදායම මෙන් දසගුණයක් විය. කෙසේ වුවද බ්‍රෝකර්කරුවන්ට 1637 පෙබරවාරියේදී ඉහළ නංවන ලද මිලට ටියුලිප් අලෙවි කිරීම සඳහා තවදුරටත් නව ගැනුම්කරුවන් සොයා ගැනීමට නොහැකි විය. මේ පුවත සමග ටියුලිප් සඳහා ඉල්ලුමක් නොමැති වූ අතර මිල කඩා වැටුණි. සමපේක්ෂණ බුබුල බිඳී ගියේය. එක් පසෙක දස ගුණයක මිල යටතේ ටියුලිප් මිලට ගන්නා බවට වූ පොරොන්දු පත්‍ර හිමියන්ද තවත් පසෙක තමන් මිලට ගත් අගයෙන් දහයෙන් එකක වටිනාකමක් සහිත ටියුලිප් මල් ඇතැතිව සිටියවුන්ද ඉතිරි විය. අවසානයේ ඉතිරිවූයේ අපේක්ෂාභංගත්වයට පත්වූද එකිනෙකාට චෝදනා කර ගන්නාවූද විශාල පිරිසකි. පොරොන්දු පත්‍ර හිමියන් අදාළ මුදල් ලබාගැනීම සඳහා නීතියේ පිළිසරණ පැතුවද ඕලන්ද අධිකරණය එම ඉල්ලීම් ප්‍රතික්ෂේප කළේ එම ණය පොරොන්දු පත්‍ර සූදුවෙන් දිනා ගන්නා ලද ඒවා ලෙස සලකමිනි.
ආකර්ෂණීය පොලී කිරීම් පැරණි මූල්‍ය ජාවාරම්වල අත්දැකීම් ඇතිව පසුකාලීනවද නව ජාවාරම්කරුවෝ විටින් විට කළඑළි බසිමින් සිටිති. ජනප්‍රියම ජාවාරම් ස්වරූපයක් වන්නේ ඉහළ පොලී අනුපාත ලබා දෙන බව කියමින් මුදල් රැස්කිරීමය. එක්සත් ජනපදයේ සාරා හොවේ 1826-1892) නම් කලක් පේනකාරියකව සිටි කාන්තාව 1870-80 ගණන්වලදී මෙබඳු මූල්‍ය ජාවාරම් ක්‍රම කිහිපයක්ම ක්‍රියාත්මක කළාය. ඉන් ප්‍රධානතම ක්‍රමය වූයේ 1879දී බොස්ටන් නගරයේදී කාන්තා තැන්පතු සමාගමක් අරඹා අවිවාහක කාන්තාවන්ගෙන් තැන්පතු ලබාගැනීමය. තමන්ගේ සමාගම කාන්තාවන්ට පිහිටවන පුණ්‍යායතනයක් සමග කටයුතු කරන බව කී ඇය තැන්පතු සඳහා ආරම්භයේදී සතියට සියයට 02% වශයෙන්ද පසුව මාසයකට 08%ක් වශයෙන්ද ගෙවීමට කටයුතු කළාය. සැබැවින්ම එවැනි පුණ්‍යායතනයක් නොවූ අතර ඇය පැරණි තැන්පතු වෙනුවෙන් පොලී ගෙවුවේ නව තැන්පතු මගිනි. ඇය එම ආයතනය වෙනුවෙන් දැන්වීම් පළ නොකළ නමුදු කටකතා කෙතරම් ප්‍රචාරයක් ලබා දුන්නේද යත් චිකාගෝ, වොෂින්ටන් වැනි දුරබැහැර නගරද ඇතුළත්ව රට පුරා කාන්තාවන් 1200කගේ ඩොලර් 500,000ක තැන්පතු ආකර්ෂණය කර ගැනීමට ඇයට හැකි විය. 1880 සැප්තැම්බරයේදී බොස්ටන්හි පුවත්පත්, කාන්තා තැන්පතු සමාගම ප්‍රෝඩාවක් බව හෙළිකිරීමත් සමග ඔක්තෝබරය වන විට සමාගම බංකොලොත් වූයෙන් වංචාව පිළිබඳ බහුවිධ චෝදනා යටතේ වසර තුනක සිරදඬුවම් ඇයට හිමි විය.
කෙසේ වුවද මෙම ජාවාරම වඩාත් සංවිධිත ස්වරූපයකට පමුණුවා 20වැනි සියවසට ගෙන එන ලද්දේ බොස්ටන් නගරයේ ව්‍යාපාරිකයෙකු ලෙසින් මතු වූ ඉතාලි ජාතික චාර්ල්ස් පොන්සි (1882-1949) විසිනි. මෙබඳු ස්වරූපයේ ජාවාරම්, පොන්සි ජාවාරම් ක්‍රම ලෙස අදටද හැඳින්වෙන්නේ ඒ නිසාය. මෙහි මූලික තර්කණය පෙර පරිදිම නව ආයෝජකයින්ගෙන් ලබා ගන්නා මුදල්වලින් මුල් ආයෝජකයින්ට ලාභාංශ ගෙවීමය. එය එකෙකුට ගෙවීමට අනෙකාගෙන් සොරකම් කිරීමකි. එහෙත් ආයෝජකයින් සිතන්නේ භාණ්ඩ අලෙවියෙන් හෝ වෙනත් ක්‍රමයකින් ලාභ උපදින බවය. ආයෝජකයින් වැඩි දෙනෙක් තමන්ගේ මුළු මුදල ආපසු නොඉල්ලන තෙක් මෙබඳු පොලී කිරීමේ ජාවාරමක් සුමට ලෙස ක්‍රියාත්මක වේ. ඔවුහු තමන් අයත් යැයි සිතන, සැබැවින්ම යථාර්ථයේ නොපවතින දේපළක හිමිකරුවන්ය යන විශ්වාසයේ පසුවෙති. නව ආයෝජකයෝ ජාවාරමට නව අරමුදල් රැගෙන එති.
මෙබඳු ක්ෂණික මුදල් ඉපයීම් බොහෝ විට මතු වන අයුරින්ම පොන්සි විසින්ද එය ආරම්භ කළේ ලොව පුරා ආර්ථික අර්බුදයක් නිර්මාණය වෙමින් තිබූ 1920 ගණන්වලදීය. ඔහුගේ ‘මුදල් මැවීම’ වූයේ අඩු මිලට විදේශයන්හි තැපැල් කූපන් පත් මිලට ගැනීම හා විකිණීම මතුපිටට පෙන්වමින් ආයෝජකයින්ගෙන් මුදල් එකතු කර ගැනීමය. ගනුදෙනුකරුවෙකුට දින 45ක් තුළ 50%ක් හෝ දින 90ක් තුළ 100%ක ලාභයක් ඔහු පොරොන්දු විය. වසරක් පුරා ක්‍රියාත්මක වූ ඔහුගේ මූල්‍ය ජාවාරම බංකොලොත් වීමෙන් හමාර වූයේ ආයෝජකයින්ට ඩොලර් මිලියන 20ක් අහිමි කරමිනි. ඔහු විසින් ණය ලබා ගනු ලැබ තිබූ බැංකු හයක්ද මේ සමග කඩා වැටිණි.
කෙසේ වුවද මෙබඳු ජාවාරම්වල ඔහු ආරම්භකයා නොවූවාසේම අවසානයාද නොවීය. 2008 අර්ථික අර්බුද සමයේ වංචාව හෙළිවීම නිසා කඩා වැටුණු බර්නාඞ් මැඩොෆ් නම් කොටස් වෙළඳපොළ තැරැව් කරුවාගේ පොලී කිරීමේ ජාවාරම විසින් 4800ක් වූ ගනුදෙනුකරුවන්ට අහිමි කළ මුදල ඩොලර් බිලියන 18කි. එය පොන්සිගේ වංචාව මෙන් පනස්තුන් ගුණයක් වන අතර ලෝක ඉතිහාසයේ විශාලතම මුල්‍ය ජාවාරම වේ. කොටස් වෙළඳපොළේ සභාපතිවරයෙකුව සිටි බර්නාඞ්, 2008 දෙසැම්බර් 11වැනි දින අත්අඩංගුවට ගනු ලබන තෙක්ම වෝල් ස්ටී්‍රට්හි ඔහුගේ නමින් ආරම්භ කළ ආයෝජන සුරැකුම්පත් සමාගමේ සභාපතිවරයාද විය. සමාගමේ දේපළ කළමනාකරණ අංශය ලෙස ඔහු ක්‍රියාත්මක කළේ ආකර්ෂණීය ප්‍රතිලාභ ලබා දෙන පොලී කිරීමේ දැවැන්ත ජාවාරමකි. නීතී අංශ විසින් සොයාගනු ලැබූ ගනුදෙනුකරුවන්ට පොරොන්දු වූ ලාභයද ඇතුළත් සමස්ත මූල්‍ය වංචාව ඩො.මි. 65ක් වූ අතර 2009දී ඔහුට වසර 150ක සිරදඬුවම් හිමි විය.
ශ්‍රී ලංකාවේ සක්විති රණසිංහ මේ වර්ගයේ ජාවාරමක ප්‍රකට පුද්ගලයා විය. වැනීසියේ මමුග්නා
මෙන් ඔහුද තමන්ගේ සැබෑ නම වූ චන්දන වීරකුමාර වෙනුවට අලුත් නමකින් පෙනී සිටියේය. සාර්ථක පෞද්ගලික ඉංග්‍රීසි ගුරුවරයෙකු ලෙස ලබාගත් කීර්තිය සහ මුදල් යොදාගනිමින් 2003දී මූල්‍ය ආයෝජන සමාගමක් ආරම්භ කළ ඔහු එහි මුදල් තැන්පත් කළ ගනුදෙනුකරුවන්ට ආකර්ෂණීය ලාභාංශ ගෙවීය. එය ඔහු කෙරෙහි තව තවත් ආයෝජන ආකර්ෂණය කරවූ අතර පසුව ඔහු 2006දී දේපළ වෙළඳාම් සමාගමක්ද ඇරඹීය. 2008 වන විට වංචනික ඔප්පු මත ඉඩම් විකුණා ඇති බවට පැමිණිලි ලැබෙන්නට වූ අතර මූල්‍ය පැමිණිලි පිළිබඳව මහ බැංකුව පරීක්ෂණ ආරම්භ කිරීමත් සමඟ සක්විති රණසිංහ ඉන්දියාවට පලා ගියේය. පසුව අනාවරණය වූයේ තැන්පත්කරුවන් 2135 දෙනෙකුට අයත් රුපියල් මිලියන 1628ක (ඩො.මි. 15ක පමණ) මුදලක් ඔහු සමග අතුරුදහන් වී ඇති බවය. පසුව බංකොලොත් වූ ඔහු නැවත ලංකාවට පැමිණ සිටියෙදී 2010දී අත්අඩංගුවට පත්විය.
කෙසේ වුවද ලංකාවේ මෙබඳු ජාවාරම්කරුවන් සිටියේ සක්විති පමණක් නොවේ. හම්බන්තොට දඬුවම් මුදලාලි (පියදාස රත්නායක) ළඟ මිනිසුන් පොරකෑවේ ඔහු ලබා දෙන ඉහළ පොලියට මුදල් තැන්පත් කරන්නටය. එහෙත් සක්විතිගේ කඩා වැටීම මොළයට පාඩමක් කරගත් තැන්පත්කරුවන් මීළඟට ඔහු ළඟ පොරකෑවේ තමන්ගේ මුදල් ආපසු ලබා ගැනීමටය. විය හැකි ලෙසම ඔහු ළඟ දීමට මුදල් තිබුණේ නැත. ඒ වන විට ඔහු සතු දේපොළින් තමන්ට අත්පත් කර ගත හැකි නොසරිලන දෙයක් පැහැර ගෙන යාම හැරෙන්නට ඔවුනට වෙනත් කළ හැකි යමක් වූයේ නැත. තැන්පත්කරුවන්ගේ රුපියල් මිලියන 80ක් අතුරුදහන් කිරීම පිළිබඳව නඩු විභාග කෙරෙමින් තිබූ 2009දී දඬුවම් මුදලාලි වෙඩි වැදීමකින් මියගියේය.
මේ ජාවාරම සක්විතිගේ සිරගතවීමෙන් හෝ දඬුවම් මුදලාලිගේ මරණයෙන් අවසන් වූ බවක් අදහස් නොවේ. ඔහුගේ අනුගාමිකයින් ගණනාවක් විවිධ ප්‍රදේශවල අදටද මෙම ජාවාරමේ නිරත වෙමින් සැඟවෙමින් වෙනත් තැනකින් මතුවෙමින් තම ගනුදෙනුකරුවනට පාඩම් කියාදෙමින් යති. ඒ පමණක් නොවේ. ලියාපදිංචි ආයතන ලෙස පෙනී සිටිමින් ඉහළ පොලී අනුපාත ලබා දෙන බව කියූ ආයතන ගණනාවක්ද ලක්ෂයකට ආසන්න ගනුදෙනුකරුවෝ අතරමං කර දමනු ලැබ සිටිති. 2002 වසරේදී ප්‍රමුඛ ඉතිරිකිරීම් සහ සංවර්ධන බැංකුවද 2009 වසරේදී ගෝල්ඩන් කී ආයතනයෙන් ආරම්භ වී රුපියල් බිලියන 25කට වැඩි තැන්පතු තිබූ සෙලින්කෝ සමූහ ව්‍යාපාරයද 4000කට වැඩි ගනුදෙනුකරුවන්ගේ බිලියන 04ක තැන්පතු සමග ‘ෆිනෑන්ස් ඇන්ඞ් ගැරන්ටි’ මූල්‍ය සමාගමද (වත්මන් යූබී ෆිනෑන්ස්) තැන්පත්කරුවන් 11,876කගේ රු. බිලියන 16.5ක තැන්පතු සමගද 2008-2009 කාලයේ ස්ටෑන්ඩර්ඞ් ක්‍රෙඩිට් ෆිනෑන්ස්, සිටි ෆිනෑන්ස් කෝපරේෂන්, සෙන්ට්‍රල් ඉන්වෙස්ට්මන්ට් ඇන්ඞ් ෆිනෑන්ස් සහ 2016 ජනවාරියේ එන්ට්‍රස්ට් සිකියුරිටීස් යන මූල්‍ය ආයතන හතරද ගනුදෙනුකරුවන් 4159ක් සහිතව 2013 වසරේදී සී.අයි.එෆ්.එල්. බැංකුවද කඩා වැටී තිබේ. මේ වන විට ඉහළ පොලී පොරොන්දු වූ ඊ.ටී.අයි. ෆිනෑන්ස් සහ ස්වර්ණමහල් ෆිනෑන්ෂියල් සර්විසස් සමාගම බංකොලොත්භාවයේ මුව විටට පැමිණ ඇත්තේ, තැන්පත්කරුවන් 35,300කගේ රුපියල් බිලියන 36ක මුදල තබා වාර්ෂික පොලී මුදල්ද ගෙවීමට නොහැකිවය.
මේ ආයතනවල තැන්පත්කරුවන් අතර අයථා ලෙස උපයාගත් මුදල් තැන්පත් කළ අය පමණක් නොව ජීවිතයේ සැඳෑ සමය සතුටින් ගතකිරීම පිළිබඳ බලාපොරොත්තු තබා ගනිමින් මුදල් තැන්පත් කර මාස්පතා ලැබෙන පොලී මුදලින් වෛද්‍ය ප්‍රතිකාර ගත් අය, ශල්‍යකර්ම කිරීමට බලාපොරොත්තුවෙන් සිටි අය සහ දෛනික ජීවිතයේ මූලික අවශ්‍යතා ඉටුකරගැනීමට සිටි අයද සිටීම මෙහි ඛේදජනක පාර්ශ්වය වේ. මානසික පීඩනය හේතුවෙන් රෝගී වූවන්ද දිවි නසා ගත්තවුන්ද වයෝවෘද්ධභාවය හේතුවෙන් දුක්ඛිත ලෙස මියයෑමට සිදුවූවන්ද එම තත්වයේම තවත් දිගුවකි.

පිරමීඩ

පිරමීඩ ක්ෂුද්‍ර මූල්‍ය ක්ෂේත්‍රයේ බහුල වශයෙන් දැකිය හැකි වූද ජනතාව අතර ව්‍යාප්ත වූද ජාවාරම වේ. වත්මන් ක්‍රමවේද භාවිත නොවුණද පිරමීඩ ස්වභාවයේ අලෙවිකරණ ප්‍රෝඩාවන්ට දිගු ඉතිහාසයක් ඇත. සෝවියට් ලේඛක වයි. පෙරෙල්මාන් විසින් රචනා කරන ලද ‘ගණිත විනෝදය’ නමින් සිංහලයට පරිවර්තනය කරන ලද කෘතියේ පූර්ව විප්ලවීය යුගයේ රුසියාවේ වෙළෙන්දන් විසින් බාල භාණ්ඩ අලෙවි කර ගැනීම සඳහා යොදන ලද පිරමීඩ ජාවාරමක් පිළිබඳ විස්තර වේ. ඊට අනුව රූබල් 50ක් වටිනා පාපැදියක් රූබල් 10කට ලබා දෙන බවට දැන්වීම් පළ කර ඇති ඔවුහු ඉල්ලුම් කරන ගනුදෙනුකරුට රූබල් 10කට තවත් ටිකට් 04ක් ලබා දෙති. ඒවා ලබාගන්නා විසින් කළ යුත්තේ මිතුරන් සිව්දෙනෙකුට රූබල් 10 බැගින් එම ටිකට් විකුණා සමාගමට මුදල් යැවීමය. එවිට ඔහුට පාපැදියක් ලැබේ. ටිකට් ඇතැති සෙසු අයද තවත් සිව් දෙනෙකුට ටිකට් විකුණා පාපැදි ලබා ගත යුතුය. මෙම ප්‍රයෝගකාරී වෙළඳාම තුළ කපටි වෙළෙන්දන් පහසුවෙන් තමන්ගේ පාපැදි විකුණා ගනිද්දී නගරයේ ජනගහනයෙන් 1/5ක් ලබා ගන්නා පාපැදි වෙනුවෙන් 4/5කට ගෙවීම් කිරීමට සිදුවී ඇත. අවසානයේ ඔවුන් අත ඉතිරි වනුයේ විකුණා ගැනීමට නොහැකි ටිකට්පත් පමණි.පිරමීඩද ‘පොන්සි’ පන්නයේ පොලී කිරීම් හා න්‍යායාත්මකව සමාන වනුයේ සැබෑවටම නොපවතින මූල්‍ය වත්කමක් පිළිබඳ විශ්වාසය මත සහ අතිශයින්ම ඉහළ ප්‍රතිලාභ ලැබෙනු ඇත යන බලාපොරොත්තුව මත ක්‍රියාත්මක වීමෙනි. එහෙත් මෙය ප්‍රධාන කරුණු 03ක් හේතුවෙන් ක්‍රියාත්මක වීමේදී එයින් වෙනස් වෙයි.
■ පොලී කිරීම සඳහා තැන්පතු භාරගැනීමේදී එක් පුද්ගලයෙක් හෝ ආයතනයක් ‘කේන්ද්‍රය’ ලෙස ක්‍රියා කරයි. එම කේන්ද්‍රය ඍජුව සියලු දෙනා සමග අන්තර් සබඳතා පවත්වයි. එහෙත් පිරමීඩ ක්‍රමයේදී කෙනෙකු ඍජුව සම්බන්ධ වනුයේ ජාලයේ තමන්ට ඉහළ පියවරේ සිටින තැනැත්තාටය. ඍජුව ප්‍රතිලාභ ලැබෙන්නේද තවත් කෙනෙකු සම්බන්ධ කරන්නාටය. නව සාමාජිකයන් තමන් යටතට එකතු කිරීමට අසමත්වීම යනු ඔහුගේ ආයෝජනයේ ප්‍රතිලාභ නතර වීමය. මේ හේතුවෙන් පිරමීඩ ජාවාරම් හිතවතුන්, ඥාතීන්, මිතුරන් අතර ව්‍යාප්ත වීම සීඝ්‍රයෙන් සිදුවේ.
■ පොලී කිරීමේ ක්‍රමය තුළ බොහෝ විට රහසිගත ආයෝජන සැලැස්මක් ඇති බව අඟවනු ලැබේ. ධනවත් ආයෝජකයින් ආකර්ෂණය කරගැනීමට උත්සුකය. නමුත් පිරමීඩ ජාවාරම සාපේක්ෂ අඩු වත්කම් ඇති සහ ඉක්මණින් පොහොසත් වීමේ වුවමනාව ඇති පිරිස් අතර ව්‍යාප්ත වේ. මුල් ආයෝජන සඳහා ප්‍රතිලාභ ලැබෙන්නේ නව සම්බන්ධතා මගින් බව සඟවනු ලබන්නේ නැත.
■ පිරමීඩ ජාවාරම් ඉක්මණින් බිඳවැටීමේ අවදාමක් ඇත. මන්ද එය පිරමීඩය විශාලවත්ම නඩත්තු වීම සඳහා සීග්‍රයෙන් නව ගනුදෙනුකරුවන් පිරිසක් එකතු කර ගැනීමට අවශ්‍ය වීමය. එහෙත් පොලී කිරීමේ ජාවාරමකට වැඩි තැන්තුකරුවන් පිරිසක් පොලී ඉවතට නොගෙන නැවත නැවත ආයෝජනය කිරීමට පෙළඹවීමෙන් සහ සාපේක්ෂව නව ගනුදෙනුකරුවන් අඩු ප්‍රමාණයක් එකතු කර ගැනීමෙන් වුවද පැවතිය හැකිය.
සංවිධානාත්මක පිරමීඩ ජාවාරම පිළිබඳ ශ්‍රී ලංකාවේ පළමු අත්දැකීම වන්නේ 2005 වසර වන විට ගෝල්ඞ්ක්වෙස්ට් නමින් ක්‍රියාත්මක වූ ජාවාරමය. ග්ලෝබල් ලයිෆ්ස්ටයිල් ලංකා සමාගම මෙහි ලංකා නියෝජිතයා වූ අතර මව් සමාගම හොංකොං පදනම් කරගත් ක්වෙස්ට්නෙට් සමාගම විය. රන් ආලේපිත කාසියක් අලෙවි භාණ්ඩය ලෙස පවත්වා ගනිමින් ගනුදෙනුකරුවන් තවත් අය පිරමීඩයක ආකාරයෙන් සමබරව එකතු කරගනීම අපේක්ෂාව විය. දේශපාලන සබඳතාද විශාල වශයෙන් පාවිච්චි කරමින් මෙම ජාවාරම වේගයෙන් වැඩුණේ මේ සම්බන්ධ නීති පවා නොමැති තත්වයක් තුළය. පිරමීඩයේ අවසාන අදියරේදී අතරමංවූ ගනුදෙනුකරුවන් විශාල පිරිසකගෙන් ලැබුණු පැමිණිලි හේතුවෙන් 2006දී නව නීති යටතේ මහ බැංකුව විසින් තහනම් කරනු ලැබිණි. ඉන් පසුව ටියෑන්ස්, ග්ලෝබල් ඇඞ් ක්ලික්, ලංකා ඇඞ් ක්ලික් ආදී පිරමීඩ සමාගම් ගණනාවක් විවිධ කාලවල ඇතිවී ගනුදෙනුකරුවන් විශාල පිරිසකගේ මුදල් උරාගනිමින් අතුරුදහන් විය.
කෙසේ වුවද පනවනු ලැබූ නීතිමය තත්වයන් මඟහරිමින් දැනුදු පිරමීඩ ස්වරූපයේ ජාවාරම් ක්‍රියාත්මකය. දැන් නූතන බ්‍රැගැඩිනෝලා ජාලගත අලෙවිකරණය යන නාමකරණයට සැඟවී යම් පාරිභෝගික භාණ්ඩයක් අලෙවි කිරීමේ මුවාවෙන් ගනුදෙනුකරුවන් සම්බන්ධ කරගනිමින් සිටිති. එහෙත් බොහෝ දෙනෙක් තමන් රැවටීමට ලක්වූ බව ඉක්මණින් හෝ පසුව දැනගත්තද ඊට එරෙහිව ක්‍රියාත්මක වීමට අසමත් වන්නේ තමන්ගේ සමීපතමයෙකු මගින් පිරමීඩ ජාලවලට සම්බන්ධ වී සිටීම නිසාය.

ආර්ථික බුබුළු

එක්සත් ජනපදයේදී 2006 වසර වන විට නිවාස ක්ෂේත්‍රයේ සමපේක්ෂණ ස්වභාවයේ ආයෝජන ඉතා ඉහළ ගියේය. එමගින් ඇතිවූයේද ආර්ථික බුබුළකි. 2006 මැද භාගය වන විට නිවාස මිල ගණන් පහළ යාමෙන් අර්බුදය ඇරඹි අතර හිමිකරුවනට ඉහළ පොලී අනුපාත යටතේ වූ නිවාස ණය ගෙවීමට නොහැකි විය. ණය නොලැබීම නිසා මූල්‍ය සමාගම් බංකොලොත් වූ අතර මුළු මහත් ආර්ථිකයේ කඩා වැටීමට එය බලපෑවේ 2008 හා 2009 දෙවසර තුළ එක්සත් ජනපදය තුළ පමණක් ශ්‍රම බලකායෙන් 6%කට එනම් මිලියන 09කට රැකියා අහිමි කරමිනි. ටියුලිප් බුබුළ පුපුරායාමේ ප්‍රතිඵල හුදු පුද්ගලයන්ට සීමා වුවද නිවාස බුබුළ බිඳීයාම ඇතිකරවූයේ අති මහත් විනාශයකි.ආර්ථික බුබුළුද යම් ආකාරයට පොලී කිරීමේ හා පිරමීඩ ජාවාරම් හා සමාන වේ. ඒ, එයට සම්බන්ධ වූවනටද ගෙවීම් කරනු ලබන්නේ පසුව සම්බන්ධ වන ගනුදෙනුකරුවන් නිසා බැවිනි. විවෘත වෙළඳපොළ තුළ බුබුළක් නිර්මාණය වන්නේ මුල්ම යුගයේ ටියුලිප් මල්වලට ඇති වූ පරිද්දෙන්ම කොටස් වෙළඳපොළ, නිවාස වෙළඳපොළ, ගුප්ත මුදල් ඒකකයක් වැනි අංශයක් වෙත ව්‍යාජ හා නොමඟ යවනසුළු සුභවාදී තොරතුරු මවමින් කෘත්‍රිම ඉල්ලුමක් ඇති කිරීමෙනි. ගැනුම්කරුවන්ගේ ඉල්ලුම ඉහළයාම නිසා ඒවායේ මිල ඉහළ යයි. ඒවායේ මිල ඉහළ යන නිසාම ගැනුම්කරුවෝ වඩ වඩාත් ඉල්ලුම් කරති. මල්වට්ටි වෙන්දේසියක පරිද්දෙනි. මෙය ‘මහා මෝඩකමේ න්‍යාය’ ලෙස හැඳින්වේ. ඒ, එම ඒකකයට ආවේණිකව තිබිය යුතු අගය ඉක්මවා විශාල ලෙස මිල ඉහළ යන බැවිනි.


වර්තමානයේ බිට්කොයින් මෙම බුබුළක් නිර්මාණය කිරීමේ සමත් ගුප්ත මුදලක් ලෙස සැලකේ. ඩිජිටල් ඉලෙක්ට්‍රෝනික මුදල් ඒකකයක් ලෙස පවතින එය මහ බැංකුවක් හෝ පාලනය කරන්නෙක් නොමැතිව පවතියි. අන්තර්ජාලය ඔස්සේ අතරමැදියෙකුගෙන් තොරව ඍජුවම තවත් අයෙකුට යැවිය හැකිය. සටෝෂි නිකමොටෝ නාමය පාවිච්චි කරන නාඳුනන පුද්ගලයෙකු හෝ පුද්ගල කණ්ඩායමක් විසින් විවෘත මෘදුකාංගයක් ලෙස බිට්කොයින් හඳුන්වා දෙනු ලැබුවේ 2009 වසරේදීය. පතල් හෑරීම යන අරුත් දෙන නම් සංකීර්ණ පරිගණක ක්‍රියාවලියකට දෙනු ලබන ත්‍යාගයක් ලෙස බිට්කොයින් නිර්මාණය කෙරේ. දැනට වෙනත් මුදල්, භාණ්ඩ හා සේවා වෙනුවෙන් මාරු කළ හැකි බිට්කොයින් අන්තර්ජාලයේ ගුප්ත මුදල් ඒකක අතරින් වඩාත්ම ජනප්‍රිය මුදල වේ. දැනට බිට්කොයින් වෙත ඇති ඉහළ යන ඉල්ලුම හමුවේ එහි වටිනාකම ඉහළ යමින් ඇති නමුදු එය බුබුළක් වීමේත් අවසන පුපුරා අගය කඩා වැටීමේත් අවදානමක පවතී. ඕලන්ද මහ බැංකුවේ හිටපු සභාපති නොට් වෙලින්ක් 2013දී පැවසුවේ බිට්කොයින්, ටියුලිප් උන්මාදයටත් වඩා නරක තත්වයක් බවය. “එහිදී අවම වශයෙන් කෙනෙකුට ටියුලිප් මලක් හෝ ලැබිණි. දැන් ඔහුට ලැබෙන්නට කිසිවක් නැත.” ඔහු කියා තිබිණි.
ආර්ථික බුබුළු සාමාන්‍යයෙන් නීති විරෝධී දේ ලෙස නොසැලකේ. නමුත් යමෙක් යම් කොටසක හෝ ඒකකයක අගය කෘත්‍රිම ලෙස ඉහළ නැංවීමට දැනුවත්ව හා හිතාමතාම වැරදි අර්ථකථන සපයමින් බුබුළ පවත්වා ගැනීමට කටයුතු කිරීම වරදක් ලෙස සැලකේ. එහෙත් මෙම අපරාධ වරද ඔප්පු කිරීම අසීරු කරුණක් වන නිසාම බුබුළ පුපුරා යෑමෙන් පසු අවම අගයක් සහිත කොටස් හිමි දහස් සංඛ්‍යාත පිරිසක් අසරණ වුවද සුදු කරපටි සොරු නිදැල්ලේ පසුවෙති. කෘත්‍රිම ලෙස මිල ඉහළ නැංවීම හා විකිණීම මගින් ඔවුන් විසින් අත්පත් කරගත් අති මහත් ධනය ඔවුනට අහිමි කෙරෙන්නේ නැත. කුප්‍රකට අග්නිදිග ආසියානු රටවල කොටස් වෙළඳපොළ බිඳවැට්ටවීමේ පළමු වගඋත්තරකරුවෙකු වන ජෝර්ජ් සොරෝස් අදටත් මූල්‍ය ව්‍යාපාරිකයෙකු පමණක් වන්නේ මේ තත්වය තුළය.

ලොතරැයි

ලොතරැයි පැවැත්වීම බොහෝ රටවල මෙන්ම ලංකාවේද නීතිගත කර ඇති බැවින් සහ
ලොතරැයියක් දිනනුයේ එක් අයෙක් පමණක් වන බවට පොදු හැඟීමක් ඇති නිසාත් එය තුළ රැවටීමක් සිදු නොවන බවට කෙනෙකුට සිතිය හැකිය. එහෙත් තමන්ට කවදා හෝ ලොතරැයියක් ඇදෙනු ඇති බවට කෙනෙකු තුළ අඛණ්ඩ බලාපොරොත්තු දැල්වීමත් ධනවාදී සමාජය තුළ පොදු ජනතාවට සැබෑ කරගත නොහැකි සිහින මෙමගින් ලබා ගත හැකිය යන විශ්වාසය තුළ ඔවුන් රැඳවීමත් අතිශය සූක්ෂ්ම ලෙස ස්ථාපිත කෙරේ. ජයග්‍රහණයක් ලැබීමේ සම්භාවිතාව කෙතරම් කුඩාද යන්න නොදැන අති විශාල ජනතාවක් දෛනිකව ලොතරැයි අලෙවි කූඩු වටා රොක්වෙති.
මූලික වශයෙන්ම ලොතරැයි යනු ත්‍යාගයක් වෙනුවෙන් දිනුම් ඇදීම සඳහා අංක භාවිත කෙරෙන සූදු විශේෂයකි. ඇතැම් රටක ලොතරැයි පැවැත්වීම තහනම් කරනු ලැබ තිබුණද තවත් තැනක එය ජාතික හෝ රාජ්‍ය මට්ටමින් ආයතන ගත කරනු ලැබ ඇත. අලෙවි කරනු ලබන ටිකට් පත් වෙනුවෙන් දෛනිකව හෝ මුදල් ගෙවීමෙන් ලබා ගන්නා අංකවලට අන්තර් ජාලය ඔස්සේ දිනුම් ඇදීම යන ආකාරවලින් බොහෝ ලොතරැයි ක්‍රියාත්මක වේ. ලොතරැයි ත්‍යාගය යම් නිශ්චිත මුදලක් හෝ භාණ්ඩයක් විය හැකිය. එය ප්‍රමාණවත් ලොතරැයි සංඛ්‍යාවක් අලෙවි නොවුණහොත් යම් ආකාරයකට එය සංවිධානය කරනු ලබන්නා අවදානමකට හෙළන බවක් පෙනී ගියද යථාර්ථයේදී අති විශාල ටිකට් පත් ප්‍රමාණයක් අලෙවි කෙරෙන හෙයින් එය එසේ නොවේ.

“ලොතරැයිය පැවැත්වූ තැනැත්තා සහ දිනාගත් තැනැත්තා කිසිදු වැඩක් නොකර වාසි අත්කර ගනී. ඔවුන් වාසි අත්කර ගන්නේ තමන්ගේ මුදල අහිමි වූ සියලු දෙනාට පාඩුවක් සිදු කරමිනි. ඒ අනුව බලන කල ලොතරැයි පැවැත්වීම ජනතාවට වාසියකියි කියන අය කරන්නේ හුදෙක් ජනතාව රැවටීම පමණකි.” .

වී.අයි. ලෙනින් (කම්කරු පංතිය හා ගොවි ජනතාව අතර සන්ධානය, පිටුව 55)


ලොතරැයියක මිල එයින් අපේක්ෂිත දිනුමට සාපේක්ෂව අවම අගයක් ගන්නා බැවින් මෙහිදී වංචා කෙරෙන මුදල අවම බවත් ඊට සාපේක්ෂව කවුරුන් හෝ ටිකට්පත් හිමියෙක් ජය ගැනීමේ ‘ඉඩක්’ පවතින බවත් අවධාරණය කරන්නට නිතර උත්සාහ කෙරේ. ඒ අනුව මහත් ප්‍රචාරයක් ගෙන අලෙවි කෙරෙන අති විශාල ටිකට් සංඛ්‍යාවක් මගින් මුදල් රැස්කෙරෙන්නේ මිලියන සංඛ්‍යාත ගනුදෙනුකරුවන්ගේ ඇස් වසමිනි. එහෙත් මේ කියනු ලබන ‘ඉඩ’ (සම්භාවිතාව) කෙතරම් අවම අගයක් ගන්නේද යන්න මගින් රැවටීමේ ප්‍රමාණය කෙතරම්ද යන්න ගණිත කර්ම මගින් පැහැදිලි කර ගත හැකිය.
නිදසුනක් ලෙස ලොතරැයි පතක දිනුම් අංක තේරීම් හයක්ද එසේ තේරිය යුතු අංක 1 සිට 49 දක්වාද පවතින්නේයැයි සිතමු.

ජයග්‍රහණය කිරීමේ සම්භාවිතාව


අදාළ කිසිදු අංකයක් නොලැබීමේ සම්භාවිතාව 1/2.3කි. කවර හෝ පිළිවෙළකට එක් අංකයක් ලැබීමේ සම්භාවිතාව 1/49කි. අංක දෙකක් ලැබීමේ සම්භාවිතාව 1/1176කි. අංක තුනක් 1/18,424කි. අංක හතරක් 1/2,11,876කි. අංක පහක් 1/19,06,884කි. අංක හයම ලැබීමේ සම්භාවිතාව 1,39,83,816කි. (එක් කෝටි තිස්නවලක්ෂ අසූතුන්දහස් අටසියදාසයකි) මෙහිදී ජයග්‍රහණය සඳහා තවත් බෝනස් අංක හෝ සලකුණු සමග සමපාත වීමක් අවශ්‍ය වේනම් සම්භාවිතාව තවත් අවම වන බව අමුතුවෙන් කිව යුතු කරුණක් නොවේ. කෙසේ වුවද ලොතරැයි සමාගම් වැඩි වශයෙන් සමපාත වන ටිකට්පත්වලට සුළු තාග්‍යද වැඩි අංක ගණනක් සමපාත වන ප්‍රමාණයෙන් අඩු ටිකට්පත්වලට ක්‍රමයෙන් සාපේක්ෂ වැඩි ත්‍යාගද පිරිනමමින් ගනුදෙනුකරුවා බලාපොරොත්තුව තුළ රඳවාලොතරැයි ක්‍රමය තුළ වන වංචාව සඟවාලයි. එහෙත් ඒ කිසිවක් ගැනුම්කරුවන්ගේ ආකර්ෂණය වන අවසන් ත්‍යාගය සඳහා වන සම්භාවිතාව ඉහළ නංවන්නේ නැත.


බොහෝ දෙනෙක් ඇස්බැන්දුම් ආර්ථිකයේ ගොදුරු බවට පත්වන්නේ, ආර්ථිකයක නියාමයන් පිළිබඳ නිසි අවබෝධයකින් තොරවය. රටක වත්කම් උපදින්නේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනයෙනි. නිෂ්පාදනයෙන් තොරව වත්කම් නිර්මාණය කළ හැකි අත්භූත රසායනයක් හෝ මැජික් යෂ්ටියක් කිසිවෙකු සතුව ඇත්තේ නැත. එහෙත් මේ විද්‍යාව නොදන්නාකම නිසා තවත් කෙනෙකු සතුව ඇති මුදලක් කවරාකාරයේ හෝ විජ්ජාවක් මගින් තමන්ගේ සාක්කුවට දමා ගැනීමෙන් වත්කම් උපදවා ගත හැකි යැයි ඇතැම්හු සිතති. එහෙත් එය ‘පික්පොකට්’ චින්තනයෙන් ඔබ්බට නොයන අතර පැවැත්ම කෙටි කාලයකටය.
අප ගත කරන වත්මන් මොහොතේ දිනෙන් දින කඩා වැටෙන ධනවාදී ආර්ථිකය තුළ අර්බුදයට පත් බොහෝ දෙනෙක් තවදුරටත් මේ ක්‍රමය තුළම තමන්ගේ ප්‍රශ්න විසඳා ගත හැකි වනු ඇතැයි විශ්වාස කරන්නේ මේ නිසාය. සැබැවින්ම ඇස්බැන්දුම් ආර්ථිකයේ ඉලක්කය ඔවුන්ය. මෙවැනි ප්‍රයෝගවලින් ඇස් නිලංකාර කරගන්නා ඔවුහු මේ එක් හෝ තවත් උගුලක මාරුවෙන් මාරුවට වැටෙමින් තමන්ගේ ජීවිතයේ තවත් සැලකිය යුතු කාලයක් ගෙවා දමති. ඔවුහු දිනෙන් දින තමන් ගොදුරු කර ගන්නා අර්ථික අර්බුදය මැද අහම්බෙන් ‘ගොඩ ගිය’ කෙනෙකු දකිමින්, ජනමාධ්‍ය තුළ ‘සාර්ථක ව්‍යාපාරිකයන්’ ගැන කියවමින්, ‘ධනාත්මකව’ සිතමින්, තමන් තුළ සිටිනවා යැයි වැඩමුළුවලදී කියනු ලබන ‘ව්‍යාපාරිකයා’ අවදි කිරීමට රෑ නොනිදා පහන් කරමින් වෙර ගනිති.
එහෙත් මෙය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඇස්බැන්දුමක් වන බව තේරුම් ගැනීමට බොහෝ දෙනෙක් තවමත් අසමත්ය; නැතහොත් තේරුම් ගන්නේ බොහෝ ප්‍රමාදවීය. මේ සටහන, පෙර මඟ ලකුණු දැන වෙනස් මඟකට හැරෙන මිනිසුන් වෙනුවෙනි.

– ප්‍රසන්න පෙරේරා (ලෙෆ්ට් සඟරාවේ පළවූ ලිපියකි)

ඇස්බැන්දුම් ආර්ථිකය