දේශප්‍රේමය සහ නව ලිබරල්වාදය

SHARE

Share on facebook
Share on google
Share on twitter
Share on linkedin

පසුගිය කාලය පුරා ලෝකයේ බොහෝ ධනවාදී රටවල, එක්සත් ජනපදය වැනි දියුණු ධනපති රටවල සිට පරිධියේ පිහිටි පසුගාමී ධනපති රටවල, ධනේශ්වර පක්ෂ හා නායකයින් බලය ගැනීම සඳහා දේශප්‍රේමීත්වය හා ජාතිකවාදය පිළිබඳ සටන්පාඨ හා සංකල්ප යොදාගත් හැටි දක්නට ලැබුණි. විශේෂයෙන්ම පසුගාමී ධනපති රටවල නායකයින්ට හෝ ධනපති පක්ෂවලට බලය ගැනීම සඳහා ජනතාව වෙත ලබාදිය හැකි ආර්ථිකමය පොරොන්දු හෝ සිහින නැති බංකොලොත් තත්වයට පත්ව තිබේ. නූතන නව ලිබරල්වාදී ධනවාදය තුළ ආර්ථික වර්ධනයන්ගේ ප්‍රතිලාභ පිළිබඳව හෝ නිෂ්පාදන ක්ෂේත්‍රවල ජයග්‍රහණ පිළිබඳ, ජන ජීවිතය ඉහළ නැංවීම පිළිබඳව කතාකළ නොහැකි තරමට ධනවාදය අර්බුදයට ගොස් තිබේ. මේ නිසා එම රටවල ධනේශ්වර පාලක කල්ලි හා නායකයින් පහසුවෙන් යොදාගත් උපක්‍රමය වූයේ දේශප්‍රේමි වදන් තෙපලීම හා පොදු ජනයාගේ ජාතිවාදී හා ආගම්වාදී හැඟීම් වලට ආමන්ත්‍රණය කිරීමය.

සැබැවින්ම ඔවුන් මැතිවරණවලදී දේශප්‍රේමය ගණිකා වෘත්තියේ යොදවනු දැකිය හැකි විය. අන්ත පටු ජාතිවාදය ජාතිකවාදය ලෙසත්, දේශප්‍රේමය ලෙසත් අර්ථගන්වා පාවිච්චි කළ ඔවුන් ඊට අමතරව ආගම්වාදයද යොදා ගන්නා ලදී. ඒ ධනවාදයේ බංකොලොත්කම ඔවුන්ව තල්ලු කළ තැනය. බංකොලොත් ධනවාදය තුළ අර්බුදයට ගිය ධනවාදී දේශපාලන කල්ලි අවසානයේ පිහිට පැතුවේ දේශප්‍රේමය නැමැති සංකල්පයේය. ඒ, තක්කඩියාගේ අවසන් නවාතැන් පොළ දේශප්‍රේමය බව තහවුරු කරමිනි.

නූතන ධනවාදය හෙවත් නව ලිබරල්වාදී ධනවාදය තුළ ධනේශ්වර දේශපාලන කණ්ඩායම් දේශප්‍රේමය පිරුවටයක් සේ යොදාගත්තද ඔවුන්ට සැබැවින්ම දේශප්‍රේමී විය හැකිද යන ගැටලුව මතුව තිබේ. නූතන තත්වය තුළ තවදුරටත් දේශප්‍රේමය නමැති සංකල්පයට ලෝකය තුළ භූමිකාවක් තිබේද? තිබේ නම් එම භූමිකාව ඉටුකළ හැක්කේ කාටද? ධනේශ්වර පක්ෂවලට නව ලිබරල්වාදය පිළිගනිමින්ම දේශප්‍රේමි විය හැකිද යන මූලික ගැටලු ගණනාවක් අප ඉදිරියේ මතුවේ. එබැවින් නව ලිබරල් ආර්ථික ක්‍රමය තුළ ධනපති පක්ෂවලට දේශප්‍රේමීන් විය හැකිද යන කරුණ සාකච්ඡා කළ යුතුව තිබේ.

නව ලිබරල් වූ ලිබරල්

නව ලිබරල් ධනවාදී ක්‍රමය තුළ දේශප්‍රේමිත්වයේ භූමිකාව තේරුම් ගැනීම සඳහා නව ලිබරල්වාදය ලෙස වර්තමානයේ හඳුන්වන්නේ කුමක්ද යන්න නිවැරදිව තේරුම්ගත යුතුව ඇත. එහෙත් ඒ සඳහා ලිබරල්වාදය යනු කුමක්දැයි පළමුව හඳුනාගත යුතුය. පැරණි වැඩවසම් හෝ පූර්ව ධනේශ්වර සමාජක්‍රම අභාවයට යමින් 15වැනි 16වැනි සියවස්වල කරළියට ආ ධනවාදය මුලින්ම හඳුන්වන ලද්දේ ලිබරල්වාදය ලෙසය. දේශපාලන විචාරකයින් හා චින්තකයින් පවසන ලෙසට ‘ලිබරල්වාදය’ මාක්ස්වාදය වැනි පැහැදිලි දේශපාලන දර්ශනයක් අඩංගුකර ගත් න්‍යායයක් නොවේ. මහාචාර්ය හැරල්ඞ් ලැස්කි පැවසුවේ එය 15වැනි ශතවර්ෂයේ සිට යුරෝපයේ ක්‍රමයෙන් වර්ධනයවූ ධනවාදී ආර්ථිකය තුළින් බිහිකරන ලද අදහස් මාලාවක් බවය.

ලිබරල් යන ඉංග්‍රීසි වචනයෙන් අදහස් කරනු ලැබුයේ ‘නිදහස්කාමී’ යන අර්ථයය. ධනවාදී ආර්ථික ක්‍රමයේ ආරම්භය සමග මෙම සංකල්පය නිර්මාණය වීමට හේතු කිහිපයක් තිබුණි. එක් අතකින් වැඩවසම් ක්‍රමය තුළ රජුගේ තනි දේශපාලන ආධිපත්‍ය වෙනුවට ධනේශ්වර ක්‍රමය තුළ පාර්ලිමේන්තු ක්‍රමය සහිත ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදය නිර්මාණය වූ අතර එය තුළ මිනිස් නිදහස පිළිබඳ සංකල්පද වර්ධනය විය. ඒ සියල්ලටම වඩා ලිබරල්වාදය ආර්ථික සංකල්පයක් ලෙස භාවිතයට නැගෙන්නේ ‘ප්‍රාග්ධනය’ට නිදහසේ වර්ධනය වීමටය.

ප්‍රාග්ධනය සියලු බලපෑම් හා බැමිවලින් නිදහස්කර තැබීමටය. එනිසාම ධනවාදයේ ආරම්භක අවධියේ එය හඳුන්වනු ලැබුයේ නිදහස් ධනවාදය ලෙසය. නැතිනම් රාජ්‍ය නිර්බාධිත ධනවාදය ලෙසය. ඉන් අදහස් වූයේ ධනේශ්වර ප්‍රාග්ධනයට රජයේ බාධාවලින් හා පාලනයෙන් තොරව නිදහසේ වර්ධනය වීමට ඉඩ දීමය. ඒ අනුව ධනවාදයේ යෞවන අවදිය හෙවත් ආරම්භක අවදියේ යුරෝපයේ ධනවාදය (ප්‍රාග්ධනය) නිදහසේ වර්ධනයවූ අතර තනි තනි ප්‍රාග්ධන හිමියන් තමන්ට රිසි පරිදි නිෂ්පාදනයට සම්බන්ධ විය. රජය ඊට මැදිහත් නොවූ අතර ප්‍රාග්ධන හිමියන්ගෙන් හා ජනතාවගෙන් ලබා ගන්නා බදුවලින් රජය පවත්වාගෙන යන ලදී. එහිදී රජයේ වගකීම වූයේ ප්‍රාග්ධන හිමියෙක් ලෙස කටයුතු කිරීම නොව ‘ප්‍රාග්ධනයට’ ආරක්ෂාව ලබාදීමය. එලෙස ලිබරල්වාදය තුළ නිදහසේ වර්ධනය වූ  ප්‍රාග්ධනය පසුව අර්බුදයන්ට මුහුණපෑමත් සමග නව ලිබරල්වාදය බිහිවූ බව පෙනේ.

නව ලිබරල්වාදය හා අධිරාජ්‍යවාදය

ආරම්භයේ නිදහස් තරගය තුළ වර්ධනය වූ ධනවාදී ප්‍රාග්ධනය එම නිදහස්භාවය නිසාම නිෂ්පාදන අරාජිකත්වයකට මුහුණදී අර්බුදයට ගියේය. ලාභය අරමුණු කරගෙන පාලනයකින් තොරව නිපදවීම නිසා වෙළඳපොළ තුළ භාණ්ඩ වැඩි වූ අතර ඒවායේ මිල පහළ වැටීමත් භාණ්ඩ අතිරික්තයත් නිසා නිෂ්පාදනය අරාජික වී අර්බුදයට පත්විය. 19වැනි සියවසේදී ඇතිවූ මෙම අර්බුදයට 20වැනි සියවස ආරම්භ වන විට ධනවාදය සොයාගත් විසඳුම වූයේ ධනේශ්වර ඒකාධිකාරයක් හෙවත් සමාගම් බිහිකිරීමය. ප්‍රාග්ධනය තවදුරටත් තනි තනි පුද්ගලයන් අත පවතින්නට ඉඩදී ඒවා අතර තරගය නිසා අරාජිකත්වයට යනවා වෙනුවට ඒකාධිකාරයක් බිහිකරමින් ප්‍රාග්ධනය සංකේන්ද්‍රණය කිරීමත් වෙළඳපොළ හා නිෂ්පාදනය පාලනය කිරීමත් කරන ලදී. මෙම නව තත්වය ලෙනින් විසින් හඳුනාගත් අතර ඔහු එය හැඳින්වූයේ අධිරාජ්‍යවාදය ලෙසිනි. අධිරාජ්‍යවාදය යනු ඒකාධිකාරී ධනවාදය විය.

ඉන් ධනවාදය මුහුණදුන් අර්බුදයන් නිම නොවූ අතර අලුත් අර්බුද පැන නැගිණි. කලින් තනි තනි ප්‍රාග්ධන හිමියන් අතර වූ තරගය වෙනුවට දැන් ඒකාධිකාරී සමාගම් හා ප්‍රබල ධනේශ්වර රටවල් අතර තරගය ඇතිවිය. එහි ප්‍රතිඵලය වූයේ ලෝක යුද්ධ නිර්මාණය වීමය. ඒකාධිකාරී ප්‍රාග්ධන හිමිකාරිත්වය ඇති ප්‍රබල ධනපති රටවල් වෙළඳපොළ බෙදා ගැනීම (ලෝකය බෙදාගැනීම) සඳහාත් සම්පත් සූරාකෑම සඳහාත් රටවල් යටත්කර ගැනීමේ යුද්ධ දක්වා තල්ලු වූ අතර 1914 ඇරඹි පළමුවැනි ලෝක යුද්ධය එහි ප්‍රතිඵලයක් විය.

ලෝක යුද්ධයද අර්බුදයට ගිය ධනවාදයට (අධිරාජ්‍යවාදයට) හොඳ විසඳුමක් වූයේ නැත. 01වැනි ලෝක යුද්ධය නිමාවූයේ 1917දී රුසියාවේ සමාජවාදී විප්ලවය සිදුවී ධනවාදයට එරෙහිව ප්‍රබල සමාජවාදී රාජ්‍යයක් නිර්මාණය කරමිනි. ඒ සමග ලොවපුරා සමාජවාදය සඳහා වන සටන් රැල්ලක් හමාගිය අතර ලෝක සමාජවාදී විප්ලවය සඳහා ලෙනින් විසින් 1919 දී 03වැනි ජාත්‍යන්තරයද ගොඩනගන ලදී. ධනවාදයට අභියෝග කරමින් සමාජවාදය ජයග්‍රහණය කිරීමත්, සමාජවාදය තුළ ජනතාවට බොහෝ අයිතීන් ලැබීමත්, ජනතා සුභසාධනය වර්ධනයවීමත් නිසා අධිරාජ්‍යවාදයට පැරණි ආකාරයෙන් පැවතීමට නොහැකි විය. ඒ අනුව ඔවුහු ඒකාධිකාරි ප්‍රාග්ධනය මගින් සූරාකෑම කරන අතරම ධනේශ්වර රාජ්‍යයන්ගේ මූලිකත්වයෙන් සුභසාධනවාදයටද ගමන් කළහ. මෙය රාජ්‍ය සුභසාධනවාදය ලෙස හැඳින් වූ අතර මෙම තත්වය නව ලිබරල්වාදය ලෙසද එකල (20වැනි සියවස මුලදී) හඳුන්වන ලදී.

එබැවින් ධනවාදී දේශපාලන ඉතිහාසය තුළ නව ලිබරල්වාදය ලෙස මුලින්ම අපට හමුවන්නේ නූතන අර්ථයෙන් ක්‍රියාත්මක නව ලිබරල්වාදය නොවේ. ලිබරල්වාදය අසාර්ථකවී ඒ වෙනුවට කරළියට ආ ඒකාධිකාරී ධනවාදයත් අභියෝගයට ලක්වූවිට, සමාජවාදී විප්ලවයන් ඇවිළීයාමේ අන්තරාය මතුවූ විට එය සමනය කරගැනීමේ උපක්‍රමයක් ලෙස ක්‍රියාවට නැගූ සුභසාධන ධනවාදය මුලදී නව ලිබරල්වාදය ලෙස හඳුන්වන ලදී. මෙම ධනේශ්වර සුභසාධනවාදය සඳහා ආර්ථිකමය න්‍යාය සැපයූ එක් ප්‍රධාන ධනේශ්වර ආර්ථික විද්‍යාඥයෙක් වූයේ කේන්ස්ය. කෙසේ වෙතත් එම රාජ්‍ය සුභසාධනවාදයද අර්බුදයට යාම තුළ අධිරාජ්‍යවාදය පැරණි ලිබරල්වාදය නව තත්වයන් තුළ නව ක්‍රමයකට ස්ථාපිත කිරීමට උත්සාහ කළ අතර නූතන ‘නව ලිබරල්වාදය’ කරළියට එන්නේ ඒ අනුවය.

නව ලිබරල්වාදය කරළියට

වර්තමානයේ අප කවුරුත් කතාකරන නව ලිබරල්වාදය (භසද – ඛසඉැර්කසිප) පැන නගින්නේ අධිරාජ්‍යවාදය සුභසාධන ක්‍රමය තුළද බරපතළ ලෙස අර්බුදයට යාමේ ප්‍රතිඵලයක් ලෙසය. ‘වෙළඳපොළ ආර්ථිකය’ ‘ගෝලීයකරණය’ වැනි නම්වලින්ද හැඳින්වූ මෙම ආර්ථික උපායමාර්ගය පිළිබඳ මුල්වරට අදහස් පළවන්නේ 1975දී පමණය. ඒ, එවකට ලෝක බැංකුවේ සභාපතිවරයාව සිටි රොබට් මැක්නමරා විසින් කරන ලද ප්‍රකාශයක් මගිනි. ඉන්පසු 80 දශකයේ මෙම සංකල්පය ආර්ථික උපායක් ලෙස වර්ධනය කිරීම ‘චැතර් වාදය’ හා ‘රේගන් වාදය’ මගින් සිදුකරන ලදී. 1979-1990 දක්වා බි්‍රතාන්‍යයේ අගමැති ධුරය දැරූ මාග්‍රට් චැතර් මහත්මියත්, 1981-1989 දක්වා ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ධුරය දැරූ රොනල්ඞ් රේගන් මහතාත් මෙම ආර්ථික ක්‍රමය සහ මූලිකත්වය ගත් රාජ්‍ය නායකයන් දෙදෙනෙක් ලෙස සැලකේ.

ධනේශ්වර ප්‍රාග්ධනයේ නිසග ලක්ෂණයක් තිබේ. ඒ, එය හැමවිටම ලාභ ලැබිය යුතුය. වෙනත් වචනයෙන් කියනවා නම් ප්‍රාග්ධනය අතිරික්ත ශ්‍රමය එකතුකර ගනිමින් ප්‍රසාරණය විය යුතුය. මාක්ස් කොමියුනිස්ට් ප්‍රකාශනයේදී කී පරිදි එය ඒ සඳහා සෑම තැනකටම රිංගිය යුතුය. සෑම තැනකම පදිංචිවිය යුතුය. ධනේශ්වර ප්‍රාග්ධනයට දිගුකලක් සීමා මායිම් තුළ ජීවත්වීමට නොහැක. එය හැම විටම සීමා අභිබවා යායුතුය. ඒ සඳහා එයට ‘නිදහස’ අවශ්‍යය. ඒ, සූරාකෑමේ හා ලාභ එකතුකර ගැනීමේ නිදහසය. එයට වෙළඳපොළ ‘නිදහස්’ විය යුතුය. ශ්‍රමය නිදහසේ මිලට ගතහැකි විය යුතුය. නව ලිබරල්වාදය මගින් සිදුකරන ලද්දේ එම අසීමිත නිදහස අධිරාජ්‍යවාදී ප්‍රාග්ධනයට ලබාදීම සඳහා වූ ක්‍රමවේදයක් හා මතයක් සැකසීමය. ඒ සඳහා මේ වනවිට විද්‍යාවේ හා තාක්ෂණයේ සිදුව තිබූ දියුණුවද උපයෝගීකර ගන්නා ලදී.

නව ලිබරල්වාදයේ ස්වභාවය කෙබඳුදැයි තේරුම් ගැනීමට ඒ පිළිබඳව විකිපීඩියා ශබ්ද කෝෂය විසින් දී තිබෙන නිර්වචනය වුව ප්‍රමාණවත්ය. එයට අනුව “නව ලිබරල්වාදය වර්තමානයේ අර්ථ ගැන්වෙන්නේ වෙළඳපොළ මූලික කරගත් ආර්ථික ප්‍රතිපත්තියක්, එනම් මිල පාලනය අහෝසි කිරීම, ප්‍රාග්ධන වෙළඳපොළ (මූල්‍ය වෙළඳ පොළ) රෙගුලාසි අඩුකිරීම, වෙළඳ බාධක අඩුකිරීම, විශේෂයෙන් පෞද්ගලීකරණය මගින් ආර්ථිකයේ රාජ්‍ය මැදිහත්වීම අවමකිරීම පදනම්කරගත් ආර්ථික ක්‍රමයකි” මෙය කෙටියෙන් හඳුන්වන්නේ නිදහස් වෙළඳපොළ ධනවාදය ලෙසය.

නව ලිබරල්වාදය ආරක්ෂණවාදයට එරෙහිව

ලෝක ධනවාදය තුළ පසුගාමි හා පරිධියේ පිහිටි ධනපති රටවල් එක්තරා යුගයකදී එනම් රාජ්‍ය සුභසාධන ක්‍රියාත්මක වූ කාලයේදී අනුගමනය කරන ලද්දේ එක්තරා ආකාරයක ආරක්ෂණ වාදයකි. ඒ අනුව තමන්ගේ රට තුළට විදේශ ප්‍රාග්ධනය ගලාඒම, ඒ මගින් ලාභ විදේශ වෙත රැගෙනයාම ආදිය මූල්‍ය ක්ෂේත්‍රයේදී පාලනය කොට තිබූ අතර විවිධ බදු හා තහංචි මගින් දේශීය වෙළඳපොළ ආරක්ෂාකරන ලදී. දේශීය ව්‍යාපාරවලට අවස්ථා දෙන ලදී. එවිට එම රටවල ධනේශ්වර පාලනය කිසියම් ආකාරයක ජාතිකවාදී චින්තනයක් සහිත සේ පෙනිණි. එහෙත් නව ලිබරල්වාදය විසින් එම රටවලට පසුගිය දශක 04ක් තිස්සේ බලකරනු ලැබුවේ එම සීමා ඉවත් කිරීමටය. ලෝක බැංකුව, මූල්‍ය අරමුදල, ලෝක වෙළඳ සංවිධානය වැනි ජාත්‍යන්තර සංවිධාන මගින් කළ බලපෑම් මගින්ද විවිධ දේශපාලන බලපෑම් හා ගිවිසුම් (ආර්ථික, දේශපාලන හා යුදමය) මගින්ද පරිධියේ රටවල ධනේශ්වර ආර්ථිකයේ සීමා හා බැඳීම් ක්‍රමානුකූලව ඉවත්කර ගනිමින් එම රටවල් තුළ අධිරාජ්‍යවාදී ප්‍රාග්ධනයට හා වෙළඳ භාණ්ඩවලට, නිදහසේ සැරිසැරීමට හැකි තත්වයක් නිර්මාණය කර ගන්නා ලදී.

මේ සඳහා එක් අතකින් පසුගාමී ධනපති රටවල පසුගාමිත්වයත් ආර්ථික අර්බුදයත්, පාලක පංතීන්ගේ පරාධීනත්වයත් උපයෝගී කර ගත් අතර තම ආර්ථික උපායමාර්ගය එම රටවල ක්‍රියාවට නැංවීමට හැකි, තමන්ට ගැති වූ පාලකයන් බිහිකර ගැනීමටද කටයුතු කරන ලදී. ලංකාවේ 1977 ජේ.ආර්. ජයවර්ධන පාලනය බිහිකර ගැනීම ඊට නිදසුනකි. එසේම මේ සඳහා රටවල් කැබලි කිරීමේ, ආක්‍රමණය කිරීමේ හා බියවැද්දීමේ ක්‍රියාමාර්ගද අනුගමනය කරන ලදී.

එසේම 1990 දශකයේ සමාජවාදී කඳවුර බිඳවැටීමේ වාසියද නව ලිබරල්වාදය විසින් ඉතා හොඳින් උපයෝගී කර ගන්නා ලදී.

මේ වනවිට විවිධ වෙනස්කම් හා සීමාකම් සහිතව වුවත් මුළු ධනේශ්වර ලෝකයම තම උපායමාර්ගය යටතට ගැනීමට නව ලිබරල්වාදය සමත්ව සිටී. නව ලිබරල්වාදී ආර්ථික හා දේශපාලන රටාවෙන් මිදී වෙනම සිටීමට සමත් රටවල් හෝ පාලකයන් දැන් ධනවාදී ලෝකය තුළ නැති තරම්ය. හැම රටක්ම ලොව ප්‍රබල රටවලට හෝ මූල්‍ය සමාගම්වලට ණයවී සිටී. සෑම රටකම වෙළඳපොළ බහුජාතික හා අධිරාජ්‍යවාදී සමාගම් විසින් ආක්‍රමණය කරනු ලැබ තිබේ. අධිරාජ්‍යවාදී ප්‍රාග්ධනය හැම රටකටම පැමිණ ඇත. ඒ, බොහෝ විට කර්මාන්ත සඳහා කාර්මික ප්‍රාග්ධනය ලෙස නොව මූල්‍ය ප්‍රාග්ධනය ලෙසය. මෙවැනි තත්වයක් තුළ ධනවාදයේ පරිධියේ පසුගාමී රටවල් තුළද නව ලිබරල්වාදය තුළින් යැපෙන කොමිස්කාර, ජාවාරම්කාර, දීන පාලක පංතියක්ද බිහිවී තිබේ. වර්තමානයේ ලොව බොහෝ රටවල පවතින යථාර්ථය එයයි.

දේශප්‍රේමිත්වය යනු

ආර්ථික උපායමාර්ගයක් ලෙස නව ලිබරල්වාදය වැළඳගත්, ඒ මත පවතින රටවල ධනපති පාලක කණ්ඩායම්වලට හෝ ධනපති නායකයන්ට දේශප්‍රේමීන් විය හැකිද? අප ඉදිරියේ පවතින වැදගත් ප්‍රශ්නය එයයි. විදේශ ණය මත යැපෙන තම රටේ ආර්ථිකය හැසිරවීම හා ආර්ථික මර්මස්ථාන විදේශ සමාගම්වලට පවරාදී ඉන් ලබා ගන්නා කොමිස් මුදල්වලින් මඩි තරකර ගන්නා, විදෙස් රටවලට තම රටේ සම්පත් විකුණා දමන, විදෙස් බලවතුනට යටවී විවිධ පරාධීන හා අවාසි ගිවිසුම්වලට එළඹෙන, ධනපති නායකයන්ට ඒ සමගම දේශප්‍රේමී විය නොහැක. මන්ද දේශප්‍රේමය යනු ඊට ප්‍රතිවිරුද්ධ සංකල්පයක් වන නිසාය. ඒ නිසාම දේශප්‍රේමය යනු කුමක්ද යන්නද නිවැරදිවම තේරුම් ගත යුතුව ඇත.

රටක ජීවත්වන ඕනෑම සාමාන්‍ය පුරවැසියෙක් පුද්ගලයෙක් තම රටට ආදරය කිරීම ස්වාභාවිකය. දේශප්‍රේමය පැනනගින පදනම වන්නේ එයයි. එහෙත් ‘දේශප්‍රේමය’ නැමැති සමාජ මනෝභාවය ඉහත තරම්ම සරල නොවේ. එය දේශපාලනික සංකල්පයකි. කිසියම් රටක් හෝ ජනතාවක් වෙනත් රටක් විසින් කුමන හෝ ආකාරයකින් යටත් කරනු ලැබ ඇති විට, පරාධීනත්වයට පත්කරනු ලැබ ඇති විට, නිදහස හා ස්වාධීනත්වය අහෝසි කරනු ලැබ ඇති විට, තම රටේ ස්වාධීනත්වය ස්වෛරීත්වය හා නිදහස වෙනුවෙන් සමාජයක් ලෙස නැගී සිටීම, ප්‍රතිචාර දැක්වීම හා සටන් වැදීම සිදුවේ. දේශප්‍රේමය දේශපාලනික මතවාදයක් ලෙස, සංකල්පයක් ලෙස, සමාජ මනෝභාවයක් ලෙස අපට හඳුනාගත හැක්කේ එවැනි අවස්ථාවල එවැනි ජනතාවක් තුළය.

ලෝකය තුළ බලගතු රටවල් විසින් දුබල හෝ කුඩා රටවල් ඍජු ආක්‍රමණ මගින් හෝ වක්‍රාකාර ගිවිසුම් හා බලපෑම් මගින් යටත්කර ගන්නා විට ඊට එරෙහිව එනම් යටත් විජිතවාදීන්ට හා අධිරාජ්‍යවාදීන්ට එරෙහිව ජනතාව අරගල කළ අතර එහිදී ඒ සඳහා ජනතාව පොළඹවනු ලැබූ සමාජ මනෝභාවය දේශප්‍රේමය විය. ලෝකයේ ධනවාදය බිහි වූ ආරම්භක අවදියේ එක් එක් රටවල ජාතික ධනපති පංතිය, ධනේශ්වර ජාතික රාජ්‍ය බිහිකර ගැනීම සඳහා යටත්විජිතවාදීන්ට එරෙහිව සටන්කරන විට, ඒවා හඳුන්වන ලද්දේ ජාතික විමුක්ති අරගල ලෙසය. ඒවා එකල ප්‍රගතිශීලී විය. ඒ තුළද දේශප්‍රේමය තිබුණි.

දෙවැනි ලෝක යුද්ධයේදි නාසිවාදයට එරෙහිව සටන් වැදුනු සෝවියට් රතු හමුදාව එම සටන හැඳින්වූයේ දේශප්‍රේමී යුද්ධය ලෙසිනි. ඒ, එය ආක්‍රමණිකයාගෙන් තම රට බේරාගැනීමේ යුද්ධයක් වූ නිසාය. එසේම දෙවන ලෝක යුද සමයේම නාසිවාදී ආක්‍රමණිකයන්ට එරෙහිව කොරියාවේ, චීනයේ, ඉන්දු චීනයේ ඇතිවූ සටන්ද දේශප්‍රේමී හා ජාතික විමුක්ති සටන් විය. මේ කාලයේ සමහර රටවල ධනපති පාලකයින්ද දේශප්‍රේමී සටන් තුළ සිටිනු දක්නට ලැබිණි. ඉන්දීය නිදහස් ව්‍යාපාරය ඊට නිදසුනකි. අප්‍රිකාවේ හා ලතින් ඇමරිකාවේ රටවලද වෙනස්කම් සහිත වුව එය දැකිය හැකිවිය.

එබැවින් දේශප්‍රේමය ඍජු ලෙසම යටත්විජිතවාදයට එරෙහිව හා අධිරාජ්‍යවාදයට එරෙහිව පවතින දෙයක් වේ. විශේෂයෙන් අධිරාජ්‍යවාදය විසින් ලොව සියලු රටවල් තම ප්‍රාග්ධනය මගින් යටත් කරමින් තිබෙන මේ යුගයේ දේශප්‍රේමිත්වය යනු අධිරාජ්‍ය විරෝධය වේ. අධිරාජ්‍යවාදයට එහි නූතන ආර්ථික උපායමාර්ගයට අවනත වෙමින් පක්ෂවෙමින් එහි ගොදුරු බවට රටත් ජනතාවත් පත්කරමින් සිටින කිසිදු පාලක කල්ලියකට මේ යුගයේ දේශප්‍රේමීන් විය නොහැක. අඩු ගණනේ ජාතිකවාදීන් වීමට පවා නොහැක. වර්තමානයේ ධනවාදයේ පරිධියේ පවතින අප වැනි නොදියුණු රටවල් සේම ඉන්දියාව වැනි ප්‍රබල එහෙත් පසුගාමී ධනපති රටවලද පාලනයක් පවතින්නේ අධිරාජ්‍යවාදය සමග අතිනතගෙනය. විශේෂයෙන් පසුගාමී දිළිඳු රටවල ආර්ථිකය නංවාලීමට කිසිදු හැකියාවක් නැති, දැක්මක්, දැනීමක් නැති පාලක කල්ලි එම රටවල බලයට යටත්වන්නේ හා බලය පවත්වාගෙන යන්නේ අධිරාජ්‍යවාදීන්ගේ අනුග්‍රහයෙනි. ඒ සඳහා ඔවුහු තම රටේ ස්වාධීනත්වය මෙන්ම ආර්ථිකයද බලවත් රටවලට පාවාදෙති. මෙම රටවල කොල්ලකාරී විවෘත ආර්ථිකය තුළ ධනවතුන් බවට පත්වන කොමිස් හා කොන්ත්‍රාත්වලින් උපයන, කළු සල්ලි උපයන පාදඩ ධනපති කණ්ඩායම් පවතින්නේද ජාත්‍යන්තර ප්‍රාග්ධනයට තම රටවල් සූරාකෑමට ඉඩදෙමින් ඉන් ලබන ප්‍රතිලාභ තුළය. එවිට ඔවුන් දේශප්‍රේමීන් වන්නේ කෙසේද?

උදාහරණයක් ලෙස 1977න් පසු ලංකාවේ බිහිවූ හැම ආණ්ඩුවක්ම අධිරාජ්‍යවාදීන්ගේ උගුලේ පැටලුන අතර විවෘත ආර්ථිකය තම ආර්ථික උපාය මාර්ගය බවට පත්කර ගනිමින් අධිරාජ්‍යවාදීන්ගේ උපදෙස් හා ණය මත රට පාලනය කරන ලදී. දැන් ඔවුහු අධිරාජ්‍යවාදීන්ගේත්, චීනයේත්, ඉන්දියාවේත් බලපෑමට යටවී රට පාලනය කරති. මොවුන් විසින් ලංකාව ණය සාගරයක ගිල්වනු ලැබ තිබේ. රටට අවාසිකර ආර්ථික හා යුද ගිවිසුම් රැසක් අත්සන් කරනු ලැබ තිබේ. (්ක්‍ී්ල ීධත්‍් වැනි) තව ගිවිසුම් අත්සන් කිරීමටද සූදානම් වෙති. ඊට අමතරව රටේ සියලුම ආයතන පෞද්ගලීකරණය කරනු ලැබ ඇති අතර වෙළඳපොළ ලිහිල් කරනු ලැබ තිබේ. එසේම රටේ වටිනා සම්පත් එනම් වරාය, තෙල් බෙදාහැරීම, ඉඩම්, විදේශ සමාගම්වලට විකුණන ලැබ හෝ බදු දෙනු ලැබ තිබේ. ගුවන් තොටුපොළ, තෙල් ටැංකි විකිණීමට සූදානම් කර තිබේ. ලංකාවේ ස්වභාවික පරිසරයට වන හානිය ගැන රටට වන හානිය ගැන කිසිදු තැකීමක් නොමැතිව රක්ෂිත කැලෑ කපන, පාරිසරික සංවේදී ඉඩම් බහු ජාතික සමාගම්වලට විකුණන පාලකයින්, දේශප්‍රේමීන් ලෙස වෙස් වළා සිටීම හා ජනතාව ඔවුනට රැවටීම ඉතාම ඛේදජනකය. මේ වනවිට ලංකාව රු.ට්‍රිලියන 15ක පමණ ණය බරක ගිලී සිටී. ලබන වසරේ තවත් රු. ට්‍රිලියන 3ක් ගැනීමට සූදානම් වේ. ණය ගෙවා ගැනීමට නොහැකිව චීනයට, ඉන්දියාවට, රටේ සම්පත් ලබාදෙමින් සිටී. එලෙස හැසිරෙන පාලක කණ්ඩායම්වලට සැබෑ ලෙසම අධිරාජ්‍ය විරෝධී විය හැකිද? කිසිසේත්ම නැත. ලංකාවේ රනිල් වික්‍රමසිංහලාට හෝ රාජපක්ෂවරුන්ට දේශප්‍රේමීන් විය හැකිද? කිසිසේත්ම නැත. වර්තමානයේ නව ලිබරල්වාදය පිළිගත් ඊට අවනත වූ කිසිදු රටක කිසිදු පාලක කණ්ඩායමකට දේශප්‍රේමීන් විය හැකි නොවේ. නව ලිබරල්වාදයට යටවී බලය පවත්වාගෙන යාමත් දේශප්‍රේමිත්වයත් අහසට පොළොව මෙන් පරස්පර ක්‍රියාමාර්ග දෙකකි. නවලිබරල් වාදය සමග දේශප්‍රේමිත්වයට එකට පැවතිය නොහැක. සත්‍යය එයයි.

සැබෑ දේශප්‍රේමිත්වයේ දිශානතිය

දේශප්‍රේමය යනු විදේශවලින් එන හැම දේටම විරුද්ධ වන, බටහිරින් එන සියල්ල ප්‍රතික්ෂේප කරන ‘ළිංමැඬි’ ගෝත්‍රික සංකල්පයක්ද නොවේ. ලෝකයේ රටවලට ප්‍රගතිය වෙත යා හැක්කේ එකිනෙකාගෙන් උගෙන ගනිමින් එකිනෙකා සමග එක්ව සමාන ප්‍රතිලාභ මත නිෂ්පාදනය කරමින් ඒවා සාධාරණව බෙදා ගනිමින් යන ගමන් මඟක් තුළය. ඒ නිසා ලොව දියුණු තාක්ෂණය ලබාගැනීම, විද්‍යාවේ දැනුම ලබාගැනීම, සාධාරණ කොන්දේසි මත විදේශ ආයෝජන ගෙන්වා ගැනීම, තම රටේ නිෂ්පාදනය කළ නොහැකි භාණ්ඩ ආනයනය කිරීම කළ යුතු දේ වන අතර ඒවා දේශප්‍රේමීත්වය සමග වැරදි ලෙස පටලවාගත යුතු නොවේ. රටක ස්වෛරී පැවැත්මට, එම රටේ ආර්ථික හා දේශපාලන නිදහසට, එම රටේ නිෂ්පාදනයන්ට, එම රටේ පාරිසරික යහපැවැත්මට, එම රටේ ජාතික ආරක්ෂාවට බරපතළ හානි ගෙන දෙමින් විදේශ බලවේග හමුවේ අවනතව තම පංති පාලනයේ පැවැත්ම වෙනුවෙන් යම් රටක පාලක පංතිය කටයුතු කරන විට ඊට එරෙහිව රට වෙනුවෙන් කරන අරගලය දේශප්‍රේමය වේ. දේශප්‍රේමය ප්‍රගතිශීලී විය යුතු අතර එය රටක් පසුගාමිත්වයට ඇද නොදමන ඉදිරිගාමී විය යුතුය. ව්‍යාජ දේශප්‍රේමීන්ට කළ හැක්කේ රටවල් ලෝක බලවතුන්ට යටත් කිරීමත් අනෙක් අතට ඒවා පසුගාමිත්වයට, අවිද්‍යාවට, ගෝත්‍රිකභාවයට ඇද දැමීමත්ය. සැබෑ දේශප්‍රේමය මේ අන්ත දෙකටම විරුද්ධ මතවාදයක් වේ.    

නව ලිබරල්වාදයේ සරණ ගොස් ජාත්‍යන්තර කොල්ලකරුවන්ගේ දේශීය ඒජන්තතයන්, දේශීය හවුල්කරුවන් බවට පත්ව සිටින ධනේශ්වර ලුම්පන් පාලක කල්ලි දේශප්‍රේමය හා ජාතිකවාදය ගැන නිතර දොඩවන්නේ ජනතාව රැවටීමේ තක්කඩි අරමුණකින්මය. සත්‍ය ලෙස නොවේ. විපක්ෂයේ සිටිනවිට දේශප්‍රේමී වීරයින් ලෙස හැසිරෙන මේ සමහර අය බලයට ආවිට අධිරාජ්‍යවාදයේ හා බලවත් රටවල රූකඩ බවට, සුවච කීකරු අතවැසියන් බවට පත්වීමෙන්ම මෙම සත්‍ය වටහා ගත හැක.

මේ තත්වය තුළ දැන් මේ රටවල දේශප්‍රේමී අරගලයක් නොමැතිදැයි යම් කෙනෙකු විමසනු ඇත. අධිරාජ්‍යවාදී ප්‍රාග්ධනයට, ඔවුන්ගේ දේශපාලනයට යටවූ නව යටත්විජිත ලෙස පවතින රටවලට නිදහස් අරගලයක් තිබේ. දේශප්‍රේමි අරගලයක් තිබේ. එම දේශප්‍රේමී අරගලය මේ මොහොතේ අධිරාජ්‍ය විරෝධී අරගලයක් වේ. එය හරයෙන්ම අධිරාජ්‍ය විරෝධී විය යුතු අරගලයකි. ඒ නිසාම මේ මොහොතේ එකී අරගලයට නායකත්වය දීමට නොව සම්බන්ධවීමට පවා අධිරාජ්‍ය ගැති ධනපති දේශපාලන කල්ලිවලට නොහැක. එය කළ හැක්කේ සමාජවාදය වෙනුවෙන් සටන්කරන වමේ ව්‍යාපාරයකට පමණි. ඒ නිසා මේ මොහොතේ අධිරාජ්‍ය විරෝධී අරගලයට නායකත්වය දීම වමේ ව්‍යාපාරයන් මත පැවරුණු කාර්යයක් වන අතර ඒ නිසාම දේශප්‍රේමීන් විය හැක්කේද වමේ ප්‍රගතිශීලී බලවේගවලට පමණි. තනි වචනයෙන් කිව හොත් වර්තමානයේ දේශප්‍රේමීත්වයට ගමන්කළ හැක්කේ සමාජවාදය සඳහා කරන අරගලය සමග අත්වැල් බැඳගැනීමෙන් පමණි.

නිහාල් වීරසූරිය

ලෙෆ්ට් සඟරාවේ පළවූ ලිපියකි

දේශප්‍රේමය සහ නව ලිබරල්වාදය