ඉන්දියානු සාගරය තුළ ශ්‍රී ලංකාවේ උපායමාර්ගික වැදගත්කම

SHARE

Share on facebook
Share on google
Share on twitter
Share on linkedin

ඉන්දියානු අර්ධද්වීපයට පහළින්, එයට ආසන්නව, ලෝකයේ නැගෙනහිර සහ බටහිර අතර මුහුදු ගමන් මාර්ගය තුළ ඉන්දියානු සාගරය මධ්‍යයේ පිහිටා තිබීම විසින් ශ්‍රී ලංකාවට ආර්ථික, දේශපාලනික හා විශේෂයෙන් යුදමය වශයෙන් විශාල වැදගත්කමක් අත් කර දී තිබේ.  ඉන්දියන් සාගර කලාපය තුළ බල ආධිපත්‍යය පිළිබඳව සැලකීමේදීත්  ආර්ථික හා වෙළඳ ආධිපත්‍යය පිළිබඳ සැලකීමේදීත්  එයට ඉතිහාසයේ සිටම එකී වැදගත්කම හිමිව තිබිණි.  යටත්විජිතකරණයේ  යෙදුන සියලුම රටවල් ශ්‍රී ලංකාව යටත් කර ගැනීමේ වැදගත්කම අවධාරණය කරනු ලැබුවේත්  ඒ සඳහා උත්සාහ දරනු ලැබුවේත් සහ එලෙස යටත් කර ගනු ලැබුවේත් එබැවිනි. ඉන්දියානු සාගර කලාපය තුළ යටත්විජිත පවත්වාගෙන ගිය  පෘතුගීසි, ප්‍රංශ, ලන්දේසි, ඉංග්‍රීසි සහ ඉන්දියානු  අර්ධද්වීපය යටත් කරගැනීමට  උත්සාහ කළ ජර්මන්-ජපන් ඇතුළු  සියලු ජාතීහු ශ්‍රී ලංකාවේ මෙකී වැදගත්කම අවධාරණය කර ගෙන සිටියහ. 1505 සිට 1948 දක්වා වසර 450කට ආසන්න කාලයක් පෘතුගීසි, ලන්දේසි හා ඉංග්‍රීසීන් විසින් ලංකාව කොටස් වශයෙන් හෝ සම්පූර්ණයෙන් පාලනය කරන ලද්දේ මෙම තත්වය මතය.

ඓතිහාසික සටහන්

පහළොස් වන ශත වර්ෂයේ අග භාගයේදී පෘතුගාලයේ එම්මානුවෙල් රජු විසින් ගෝවේ පෘතුගීසි ප්‍රතිරාජයා වූ ෆ්‍රැන්සිස් කෝද අල්මේදාට එවූ ලිපියක මෙසේ සඳහන් වේ.

“අපට ලැබී ඇති ආරංචිවලින් පෙනී යන්නේ නම් පෙරළා එන ගමනේදී දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ලැබුණහොත් යුෂ්මතාට ඉන්දියාවේ වැදගත් රාජ්‍යයක් වන ලංකාවට පැමිණිය හැකි බවය. එය ධනයෙන් ආඪ්‍ය වන්නා සේම එයින් අපට ලද හැකි ලාභ ප්‍රයෝජනද අතිමහත්ය. එහෙයින්  යුෂ්මතා එහි පැමිණ එහි බලකොටුවක් ගොඩනගා එහි ආරක්ෂාවට සෑහෙන තරම් නැව් හා හේවායන් නැවැත්විය යුතුය. අපට පෙනී යන තවත් කරුණක් නම් දිවයිනේ ඉතාම කදිම කුරුඳු සහ නොයෙක් වර්ගයේ මුතුද ඇතුන්ද අගනාවූත් ලාභ ගත හැකි වූද වෙනත් වෙළඳ භාණ්ඩද ලැබෙන හෙයින් හා එය බෙංගාලයේ වරායට හා මලක්කාවටද කයාල් නම් ස්ථානයටද ඉතා ආසන්නව පිහිටා තිබෙන හෙයින්ද  මලක්කා සමුද්‍ර සන්ධිය හා බෙංගාල වරාය හා යන එන නෞකා මාර්ගයේ පිහිටා තිබෙන නිසා කිසිම නැවකට එය නොදැක හෝ ඊට නොදැනුවත්ව යා නොහෙන හෙයින් හා දූපත් දොළොස් දාහේ මුහුදට ඉතා ආසන්න හෙයින්ද එහි ගොඩනගන බලකොටුව ඉන්දියාවට ඉතා ආසන්න හෙයින්ද යුෂ්මතා අපේ නියෝගය පරිදි එහි බලකොටුවක් තැනීමට සියලු පරිශ්‍රම දැරිය යුතු බවය.  එපමණක් නොව යුෂ්මතාගේ ප්‍රධාන වාසස්ථානය එය විය යුතු බවද අපට පෙනේ. ඒ කරණ කොටගෙන යුෂ්මතා සියලු දෙයෙහි මධ්‍යස්ථානය වන්නාක් මෙන්ම එයින් අපේ මෙහෙයත් පෞද්ගලික වශයෙන් යුෂ්මතාත් දැනට වඩා ආනුභාව සම්පන්න වේ. උක්ත  ප්‍රකාර යුෂ්මතාගේ ප්‍රධාන මධ්‍යස්ථානය මෙකී දිවයින කොට ගත් කළ යුෂ්මතා පෙරදිග අප සතු සියලු බලකොටුවලද සියලු දේහිද මධ්‍යස්ථානය වන හෙයින් එතැන් සිට අන් කිසිම තැනක සිටිනවාට වඩා හොඳින් සියලු කාර්යයන් නිසි මඟට යොදවන්නටත් හා ඒවාට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන්නටත් යුෂ්මතාට අවස්ථාව ලැබේ. එහෙයින් අපේ අභිමතය වන්නේද අපේ රාජ නියෝගය වන්නේද යුෂ්මතා මෙය මුදුන් පැමිණවීමට ව්‍යාවෘත විය යුතු බවය.”

උපුටා ගැනීම- දෙමළ ඊළාම් අරගලයට විසඳුම කුමක්ද?- රෝහණ විජේවීර

“ප්‍රංශයේ නාවුක බලය ගොඩනැගීමට ඉතා උනන්දුවක් දැක්වූ කෝල්බර්ට්ගේ අදහස වූයේ ලංකාව යටත් කරගෙන එය මුල් කරගෙන පෙරදිග ප්‍රාන්ත යටත්විජිතය ගොඩනැගීමය. ලංකාවේ වැදගත්කම වටහා ගත් ඔහු 1670 මාර්තු තිස් වැනිදා ප්‍රංශයෙන් පෙරදිගට පිටත් කර එවූ ‘පර්සියානු නාවුක හමුදාව‘ ලෙස ප්‍රකට වූ අද්මිරාල් ජාකොබ් ද ලාහේගේ නායකත්වයෙන් වූ විශාල නාවුක හමුදාවේ පරමාර්ථය වූයේ පෙරදිග ප්‍රංශ බලය සඳහා ස්ථිර මධ්‍යස්ථානය ලංකාවේ පිහිටුවීමයි.”

උපුටා ගැනීම- දෙමළ ඊළාම් අරගලයට විසඳුම කුමක්ද?- රෝහණ විජේවීර

“ලන්දේසි ආණ්ඩුකාර රයික්ලොෆ් වැන් ගොයෙන්ස් ලංකාව අත්පත් කර ගන්නා ලෙස ලන්දේසි පෙරදිග වෙළෙඳ සමාගමට දන්වා යැවීය. පෙරදිග ලන්දේසි බලයේ මධ්‍යස්ථානය බතාවියෙන් ලංකාවට හා දකුණු ඉන්දීය පෙදෙස් වලට මාරු කළ යුතු බවට වැන්ගොයෙන්ස් යෝජනා කළේය. නැගෙනහිර ලෝකයේ ලන්දේසි බලයේ මධ්‍යස්ථානය වශයෙන් බතාවියට වඩා ලංකාව සුදුසු බවට හෙතෙම විශ්වාස කළේය. ලන්දේසි ජනපදයක් පිහිටුවීම සඳහා ලංකාව ජාවා රටට වඩා සුදුසු බව ඔහු කල්පනා කර ඇත.”

වැන්ගොයෙන්ස්ගෙන් අධ්‍යක්ෂවරුන්ට -1670 ජනවාරි

“ප්‍රංශ විප්ලවයට විරුද්ධව ප්‍රතිවිප්ලවකාරී පියවරක් වශයෙන් ලන්දේසි ප්‍රදේශ අත්පත් කරගත් ඉංග්‍රීසීන් 1802 ඒමියන්ස් ගිවිසුම මගින් එසේ ලොව පුරා අල්ලා ගත් ප්‍රදේශ ආපසු  ලන්දේසීන්ට දුන් නමුත් ලංකාවත් ටි්‍රනිඩෑඩයත් එහි ආරක්ෂක කටයුතු අතින් ඇති වැදගත්කම හේතු කොට ගෙන ආපසු භාර දුන්නේ නැත.”

වැන්ගොයෙන්ස්ගෙන් අධ්‍යක්ෂවරුන්ට -1670 ජනවාරි

ජර්මනියේ ග්‍රෑන්ඞ් අද්මිරාල් රීඩර් 1942 පෙබරවාරි 13 වන දින හිට්ලර්ට යැවූ වාර්තාවක මෙසේ ලියා තිබුණි.

‘ජපන් යුද නැව්, ගුවන් යානා, ප්‍රවාහන නැව්, සබ්මැරීන් සහ ජපන් ගුවන් හමුදාව ශ්‍රී ලංකාව පදනම් කරගත් විට  බි්‍රතාන්‍යයන්ට ඉන්දියාව සහ ඊට සමීප රටවල් සමඟ ඔවුන් අපේක්ෂා කරන සබඳතාවන් පවත්වා ගැනීමේදී දැඩි ලෙස ආරක්ෂාව තර කරන ලද යාත්‍රා යොදා ගැනීමට බල කෙරෙනු ඇත. ඉන්දියානු සාගරයේ බටහිර පෙදෙසට පහරදී ශ්‍රී ලංකාව යටත් කර ගැනීමට ජපාන ඒකාබද්ධ බළ ඇණිය සැලසුම් සකස් කර තිබේ.”

මේ ආකාරයට පූර්ව ධනේශ්වර යුගයේදීත්, අධිරාජ්‍යවාදයේ මුල් අවධියේදීත් පමණක් නොව අධිරාජ්‍යවාදී කඳවුර හා සමාජවාදී කඳවුර අතර සීතල යුද්ධයක් පැවති සමයේදීත් ලංකාවේ පිහිටීමේ උපායමාර්ගික වැදගත්කම එකසේ රඳා පැවැතුණි. ලෝක දේශපාලනයේ ප්‍රධාන ප්‍රතිවිරෝධය සමාජවාදී කඳවුර සහ අධිරාජ්‍යවාදී කඳවුර අතර පැවති, ඉන්දියාවද සමාජවාදී කඳවුර සමග එකට පෙළ ගැසී සිටි මොහොතේදීත් එක්සත් ජනපදයේ සැලසුම වූයේ ඉන්දියාව කැබලි කර දුර්වල කිරීමයි. ඒ මොහොතේදී ඉන්දියාව සහ එක්සත් ජනපදය අතර වූයේ සතුරුභාවයකි. ජේ.ආර්. ජයවර්ධන පාලන කාලයේදී ශ්‍රී ලංකාව මුළුමනින්ම එක්සත් ජනපද වුවමනාවන් අනුව හැසිරෙන රටක් බවට පත්වී තිබුණි. ඊශ්‍රායලයේ මොසාඞ් ඔත්තු සේවයට ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වීමට ඉඩ ලබාදී තිබූ අතර, ඉරණවිල ‘ඇමෙරිකානු හඬ’ ගුවන් විදුලි සම්ප්‍රේක්ෂණාගාරය ඉදිකිරීමට ඉඩදී තිබුණි. ලෝකයේ අනර්ඝතම ස්වභාවික වරායයන්ගෙන් එකක් වන හා යුදමය වශයෙන් ඉතා වැදගත් ත්‍රීකුණාමල වරායේ තෙල් ටැංකි සිංගප්පූරුව හරහා එක්සත් ජනපද සමාගමකට බදුදී තිබුණි.

රටක් ලෙස ගතහොත් ඉන්දියාවේ ආරක්ෂාවට ශ්‍රී ලංකාවේ පිහිටීම අතිශය වැදගත් සාධකයකි. මේ නිසා ශ්‍රී ලංකාව තුළ සිදුවන භූ දේශපාලනික වෙනස්කම් කෙරෙහි ඉන්දියාවට උදාසීනව සිටිය නොහැකිය. ශ්‍රී ලංකාවේ භූමිය, එහි වරායන්, එහි මුහුදු ප්‍රදේශ හෝ එහි ගුවන් සීමාවන් ඉන්දියාවට සතුරු රාජ්‍යයකට යොදා ගැනීමට ඉඩදිය නොහැකිය. තමන්ට සතුරු රාජ්‍යයකට ශ්‍රී ලංකාවේ වරායන්, භූමිය හා අනෙකුත් සම්පත් යොදා ගැනීමට ඉඩදී තිබීම ඉන්දියාවේ ජාතික ආරක්ෂාවට බරපතළ තර්ජනයක් සේ සැලකූ ඉන්දියානු රාජ්‍යය එක්සත් ජනපද ගැති ජේ.ආර්. ජයවර්ධන පාලනය තමන්ට හීලෑ කර ගැනීම සඳහා ලංකාවේ ජාතික ගැටලුව යොදාගත් ආකාරයත් එක් මොහොතකදී ඉන්දියානු හමුදා ශ්‍රී ලංකාවට ගොඩබැස්වීමටත් කටයුතු කළ ආකාරය අපි අත්දැක ඇත්තෙමු. (M.I. Ali. The Implications of China’s String of Peals Strategy on relations with Indian Ocean Nations – 2013) අද වන විට සමස්ත ලෝක වෙළඳාමෙන් 30%ක් ඉන්දියානු සාගරය හරහා සිදු කෙරෙන අතර සමස්ත ලෝක බහාලුම් ප්‍රවාහනයෙන් 50%ක් ඉන්දියානු සාගර වරායයන්වලදී සිදුවේ. මීට අමතරව ජපානයට අවශ්‍ය ඛනිජ තෙල්වලින් 90%ක් චීනයට අවශ්‍ය ඛනිජ තෙල්වලින් 75%ක් හා ඉන්දියාවට අවශ්‍ය ඛනිජ තෙල්වලින් 85%ක් ඉන්දියන් සාගරය හරහා ප්‍රවාහනය කෙරේ. (ඉන්දියාවේ මුළු බලශක්ති අවශ්‍යතාවෙන් 33%ක් ඛනිජ තෙල්වලින් සැපයේ) එක්සත් ජනපදයට අවශ්‍ය කාර්මික අමුද්‍රව්‍ය 57න් 40ක් ඉන්දියන් සාගරය හරහා යැවේ.

මුතු දාමය තුළ

ශ්‍රී ලංකාව පිහිටා ඇත්තේ ලෝකයේ නාවුක වෙළඳ මාර්ග අතුරින් වඩාත්ම වැදගත් මාර්ගය බවට පත්වෙමින් තිබෙන මුහුදු මාර්ගය ආසන්නයේය. එහි නාවුක වෙළඳ මාර්ගයට ශ්‍රී ලංකාවේ හම්බන්තොට වරායේ සිට ඇත්තේ නාවුක සැතපුම් 10ක දුර ප්‍රමාණයක් පමණි. කිසියම් රටක මුහුදු සන්නිවේදන මාර්ග ආරක්ෂාවේදී ශ්‍රී ලංකාවේ වැදගත්කම අති විශාලය. මෙකී වෙළඳ නාවුක මාර්ගය පිළිබඳ තොරතුරු විමර්ශනයේදී ද ශ්‍රී ලංකාව ඉතාම හොඳ පිහිටීමක් දරයි. අනෙක් අතට 2025 වසර වන විට ශ්‍රී ලංකාවට හිමිවීමට නියමිත විශේෂිත ආර්ථික කලාපයට ශ්‍රී ලංකාවේ භූමි ප්‍රමාණය මෙන් විසිහතර ගුණයක් විශාල එනම් වර්ග කි.මී. 75,000 මුහුදු ප්‍රදේශයක් ලැබීමට නියමිතය. මීට අමතරව අතීතයේදී නොපැවති හම්බන්තොට වරාය විසින් වඩාත් වැඩි වැදගත්කමක් ශ්‍රී ලංකාවට හිමිකරදී තිබේ. මීට පෙර පැවති කොළඹ වරායත්, ත්‍රීකුණාමල වරායත් අප රටේ උපායමාර්ගික වැදගත්කම ඉහළ දැමූ අතර හම්බන්තොට වරාය විසින් එය තවදුරටත් ඉහළ දමනු ලැබ තිබේ.

චීනය ‘මුතු දාමය’ නමැති සිය භූ දේශපාලනය ගොඩනගනු ලබන්නේ ඉන්දියානු සාගර කලාපය තුළ ඔවුන්ගේ මුහුදු සම්ප්‍රේෂණ මාර්ගයන්ගේ ආරක්ෂාව වෙනුවෙනි. චීනයේ සිට සුඩාන වරාය දක්වා විහිදුන චීන යුදමය හා වෙළඳ පහසුකම් ජාලයක් වන එය මෑන්ඩෙබ් සමුද්‍ර සන්ධිය, මලක්කා සමුද්‍ර සන්ධිය, ගෝමුස් සමුද්‍ර සන්ධිය, ලොම්බොක් සමුද්‍ර සන්ධිය වැනි නාවුක වැදගත්කමක් ඇති සමුද්‍ර සන්ධි හරහා සහ පකිස්ථානය, ශ්‍රී ලංකාව, බංගලාදේශය, මාලදිවයින සහ සෝමාලියාව යන රටවල වරායයන් සම්බන්ධ කරගනිමින් විහිදී තිබේ. හම්බන්තොට වරායද චීනයේ ‘මුතු දාමය’ සැලැස්මේ කොටසක් වී තිබෙන්නේ ශ්‍රී ලංකාවේ උපායමාර්ගික පිහිටීමේ වැදගත්කම නිසාවෙනි. මීට අමතරව ශ්‍රී ලංකාව තුළ චීනයට අයත් වරාය නගරයක්, කොළඹ වරායේ චීන ජැටියත්, චීනය විසින්  ඉදිකරන ලද නෙළුම් කුළුණත් චීන උවමනාවන් වෙනුවෙන් ශ්‍රී ලංකාව තුළ ගොඩනඟන ලද හා ඒ වෙනුවෙන් භාවිතා කරමින් සිටින ස්ථාන ලෙස සැලකේ.

ලෝක දේශපාලනයේ මතුවී ඇති නව තත්වයන් තුළ එක්සත් ජනපදයේ වුවමනාවන් රුසියාව, චීනය, ඉරානය, සිරියාව, තුර්කිය ආදී රටවල වුවමනාවන් සමග ගැටුමකට පිවිසී තිබේ. මේ වන විට චීනය හා එක්සත් ජනපදය අතර දැවැන්ත වෙළඳ යුද්ධයක් ආරම්භ වී තිබේ. එහිදී චීනයේ ආර්ථික සංවර්ධනයට බාධා පැමිණවීම එක්සත් ජනපද සැලසුම වී තිබෙන අතර සිය වෙළඳ ප්‍රවාහන මාර්ග ආරක්ෂා කර ගැනීමට චීනය සැලසුම් සකස් කර ක්‍රියාත්මක කර තිබේ. මීට අමතරව කලාපීය වශයෙන් මේ වන විට චීන වුවමනාවන් සහ ඉන්දියානු වුවමනාවන් අතරද බරපතළ ගැටුමක් වර්ධනය වී තිබේ. එක්සත් ජනපදය, චීනය සමග ඇති තම ප්‍රතිවිරෝධය ඉන්දු පැසිෆික් කලාපය තුළ තම වුවමනාවන් ඉටුකර ගැනීම සඳහා යොදා ගැනීමට ඉන්දියාව කටයුතු කරමින් සිටී. එසේම ඉන්දියාව ආසියානු කලාපය තුළ චීනය සමග ඇති තම ගැටුමේදී චීනයට එරෙහිව එක්සත් ජනපදයේ උපකාර ලබාගනිමින් සිටින බවද පෙනේ. එවන් තත්වයක් තුළදී, මේ නිශ්චිත මොහොතේදී ශ්‍රී ලංකාවේ පිහිටීමේ උපායමාර්ගික වැදගත්කම චීන වුවමනාවන් වෙනුවෙන් යොදා ගැනීම ඉන්දියාව සිය ජාතික ආරක්ෂාවට තර්ජනයක් ලෙස දැකීම තර්කානුකූලය.

දියාගෝ ගාර්ෂියාවට පසු

ඉන්දියානු සාගර කලාපය තුළ තම ආරක්ෂාව වෙනුවෙන් බි්‍රතාන්‍යය ඉතිරි කර ගත් ස්ථානයන්ගෙන් එකකි. දියාගෝ ගාර්ෂියා දූපත්, බි්‍රතාන්‍ය අධිරාජ්‍යවාදීන් 1968 වසරේදී මුරුසි රාජ්‍යයට ඊනියා නිදහස ලබාදීමේදී මුරුසි දිවයින්වල කොටසක් වූ දියාගෝ ගාර්ෂියා දූපත්වලට එකී නිදහස ලබාදුන්නේ නැත. එය තවදුරටත් තමන් යටතේ ඔවුන් තබාගනු ලැබුවේ එක්සත් රාජධානියේ ඉන්දියානු සාගර ප්‍රදේශයක් ලෙස නම් කරමිනි. 1967 – 1973 කාල පරිච්ඡේදයේදී එක්සත් රාජධානිය එය එක්සත් ජනපද යුද කඳවුරකට ලබාදුන්නේ එහි පදිංචිව සිටි ජනතාව ඉන් එළවා දමමිනි. මේ වන විට එහි එක්සත් ජනපද ගුවන් හා නාවුක මධ්‍යස්ථානයක් පිහිටුවා ඇත. මීට අමතරව එය එක්සත් ජනපද රහස් ඔත්තු සේවාවේ රහසිගත කටයුතු සඳහාත්, ඉතාම වැදගත් සිරකරුවන් රඳවා තබන සහ ඔවුන්ට වධහිංසා පමුණුවන ස්ථානයක් ලෙසත් භාවිතා කරමින් සිටින බව හෙළිදරව් වී තිබේ. එහි ඇති එක්සත් ජනපද යුද කඳවුරු සංකීර්ණය ඉන්දියානු සාගරය තුළ සිය බල ආධිපත්‍යයේදී එක්සත් ජනපදයට ඉතාම වැදගත්ය. දියාගෝ ගාර්ෂියා දූපත්වල අයිතිය ඇත්තේ මුරුසි රාජ්‍යයට බව ප්‍රකාශ කළ විටෙක එක්සත් රාජධානිය ප්‍රකාශ කර සිටියේ එම දූපත්වල නිදහස තමන් පිළිගන්නා නමුත් එය යළිත් මුරුසි රාජ්‍යයට ලබාදිය හැක්කේ එහි ඇති ආරක්ෂක වැදගත්කම නැතිවූදාක කියාය. ඒ අනුව ආරක්ෂක අර්ථයෙන් එහි ඇති වැදගත්කම තේරුම් ගත හැකිය.

ජාත්‍යන්තර අධිකරණය විසින් එක්සත් රාජධානියේ ඉන්දියානු සාගර ප්‍රදේශය ලෙස සැලකූ හා එක්සත් ජනපද යුද කඳවුරු සංකීරණයක් ලෙස භාවිතා කරන මෙකී දිවයින්වල නිදහස පිළිගනිමින් එය යළිත් මුරුසි රාජ්‍යයට පැවරිය යුතු යැයි ලබාදුන් තීන්දුව 2017 ජූනි මාසයේදී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින්ද අනුමත කරන ලදී. එකී යෝජනා සම්මතය අනුව නියමිත දිනවලදී එය යළිත් මුරුසි රාජ්‍යයට නොපැවරුවද ඉදිරියේදී ජාත්‍යන්තර විරෝධය මතු වුවහොත් ඇතැම් විට එය පවරාදීමට සිදුවීමට ඉඩ තිබේ. එවන් මොහොතකදී විකල්ප ස්ථානයක් ලෙස ශ්‍රී ලංකාවේ වැදගත්කම එක්සත් ජනපදයේ අවධානයට ලක්නොවී තිබිය නොහැකිය.

මේ සියලු කරුණු සලකා බැලීමේදී ශ්‍රී ලංකාවේ උපායමාර්ගික පිහිටීම එක් අතකින් ඉන්දියාවේ ජාතික ආරක්ෂාවටත්, ලෝක ආධිපත්‍යය පවත්වාගෙන යාම සහ රැකගැනීම සඳහා උත්සාහ කරන එක්සත් ජනපදය වැනි රටවලටත් ලෝක ආර්ථික හා වෙළඳ ආධිපත්‍යය සඳහා තරග වැදී සිටින චීනය වැනි රටවලටත් ඉතා වැදගත් වන බව තවදුරටත් රහසක් නොවේ.

වෛද්‍ය එච්. පී. ධම්මික

ලෙෆ්ට් සඟරාවේ පළවූ ලිපියකි

ඉන්දියානු සාගරය තුළ ශ්‍රී ලංකාවේ උපායමාර්ගික වැදගත්කම