බලවතුන්ගේ ආක්‍රමණ හා එහි අනිටු ප්‍රතිවිපාක

SHARE

Share on facebook
Share on google
Share on twitter
Share on linkedin

ලෝකය පුරා මිනිසුන් ජීවත් වුවද ඔවුන් සියලු දෙනාම අප්‍රිකානු භූමිය තුළ සම්භවය වී ලෝකය පුරා පැතිර ගිය බව අද පවතින වඩාත් පොදු පිළිගැනීමයි.

ඒ පිළිබඳ, එහි දින වකවානු පිළිබඳ විවිධ වාද ඇත. කෙසේ වෙතත් ආදිම මානවයින් වන හෝමෝ ඉරෙක්ටස් මීට වසර මිලියන 2-1.8 අතර කාලයක අප්‍රිකාවේ සිට ඉයුරේසියාව පුරා සංක්‍රමණය වූ බවත්, නූතන මානවයා ලොව විවිධ ප්‍රදේශවලදී වර්ධනය වූ බවටත් මතයක් ඇත. එමෙන්ම නූතන මානව වර්ගයාගේ එනම් හෝමෝසේපියන්වරුන්ගේ විශාල කණ්ඩායමක් මීට වසර 70,000කට පමණ පෙර අප්‍රිකාවෙන් පිටත්ව ආසියාව හරහා ලොව පුරා ව්‍යාප්තව ගොස් තිබේ.

කෙසේ වෙතත් අප්‍රිකාව තුළ බිහිවූ මානව වර්ගයා ගහනය වැඩිවීම, ආහාර ඉඩකඩ ආදිය ප්‍රමාණවත් නොවීම ජීවත්වීමට වඩා සුදුසු දේශගුණික භූගෝලීය ප්‍රදේශ හඳුනා ගැනීම ආදිය හේතු කොට ගනිමින් ලොව විවිධ ප්‍රදේශවලට සංක්‍රමණය වූහ. නැවත නැවතත් ව්‍යාප්තවෙමින් සහ සම්මිශ්‍රණය වෙමින් ඔවුහු ලොව පුරා ව්‍යාප්තව ගියහ.

ලංකාවේ ජනාවාසකරණය සිදුව ඇත්තේද මේ ආකාරයෙන් බව ප්‍රකට පුරා විද්‍යා මහාචාර්යවරයෙකු වන රාජ් සෝමදේව මහතා පවසයි.

“ශ්‍රී ලංකාවේ ජනාවාසකරණය වුයේ මීට අවුරුදු එක්ලක්ෂ විසිපන්දහසකට ඉහත කාලවකවානුවකදීය. ඉන්දීය සාගරය හරහා පැමිණි හෝමෝසේපියන්වරු එලෙස මෙරට ජනාවාස කළහ”

රාජ් සෝමදේව, ඉපැරැණි ලෝක ශිෂ්ටාචාර-427 පිටුව

දින වකවානු සහ සිදු වූ ආකාරය පිළිබඳ විවිධ පරස්පරතා පැවැතියත් සිදුව ඇති සංසිද්ධිය මෙවැන්නක් බව අද පොදුවේ පිළිගැනෙයි. මිනිසුන් සම්බන්ධයෙන් පමණක් නොව ශාක හා සතුන් සම්බන්ධයෙන්ද මෙහි වෙනසක් නැත. අප බහුලව භාවිතා කරන මිරිස්, වට්ටක්කා, බඩඉරිඟු වැනි බෝග වර්ග රතු ඉන්දියානුවන් විසින් ගෘහස්ථකරණය කරන ලද එම කලාපයේ බිහිවූ ශාක වර්ග වේ. අද ඒවා ලොව පුරා ව්‍යාප්තව ඇත. අප නොදන්නවා වුවත් අප අවට ඇති බොහෝ ශාක මෙන්ම සතුන්ද මේ භූමියේම සම්භවය ලබා නැත. බොහෝ ඈත දේශවල සම්භවය ලබා දැන් අප අතරට පැමිණ ඇත . මේ ආකාරයෙන් මේ මොහොතේද ලොව පුරා විවිධ ආකාරයෙන් මිනිසුන් ,සතුන් සහ ශාක ආදිය ව්‍යාප්ත වෙමින් පැවතියද ඒවා ආක්‍රමණයන් වශයෙන් නොසැලකේ. ලෝකය පුරා ජීවය ව්‍යාප්තව ගියේද අදද ව්‍යාප්තව යමින් පවතින්නේද මෙසේය.

ආක්‍රමණය කිරීම මිනිස් ස්වභාවයක්ද?

කෙසේ වෙතත් සතුන් තුළ මෙන්ම මිනිසුන් තුළද තම සීමා මායිම් වෙන් කර ගැනීමේ හැසිරීමක් (territorial behaviour) පවතී. මේ පිළිබඳ අධ්‍යයනය කළ සත්ව විද්‍යාඥයින් විසින් ඉතා ආකර්ෂණීය නිදර්ශක රාශියක් ඉදිරිපත් කොට ඇත. එකම විශේෂයේ සතුන් අතර සහ මිනිසුන් අතරද ආහාර මූලාශ්‍ර, ජල මූලාශ්‍ර ආරක්ෂා කර ගැනීම, වාසස්ථාන හා වෙනත් සම්පත් ආරක්ෂා කර ගැනීම සඳහා සහ අභිජනනයට වඩාත් සුදුසු ස්ථාන ආරක්ෂා කර ගැනීම සඳහා විවිධාකාරයෙන් තම ප්‍රදේශ සලකුණු කර ආරක්ෂා කර ගනු ලැබීමක් පවතී. මානව සමාජයේද මුල් අවධියේ පැවැති ගෝත්‍රික සමාජයන් තුළ පවා මේ ආකාරයේ තම බල සීමා ලකුණු කිරීම් සහ ඒවා ආරක්ෂා කිරීම් පැවතියේය. මෙසේ එකින් එක ගෝත්‍ර තම ගොදුරු බිම් ආරක්ෂා කර ගැනීමේ හැසිරීමක් පවතින නිසා ඒ පිළිබඳ අවබෝධයෙන් ඒවා ආරක්ෂා කිරීමේ සහ ඒවාට ගරු කිරීමේ සම්ප්‍රදායක් ගෝත්‍රික සමාජයේ සිටම ක්‍රියාත්මක විය.

“වනම්‍යවේසි ගෝත්‍රයේ නීග්‍රෝවරු තමන්ගේ සතුරු ගෝත්‍රයක් වාසය කරන ගමක් පසුකොට යාමේදී ඔවුන් තුළ ප්‍රකෝපකරණය ඇතිවීම වැළැක්වීම සඳහා ආයුධ ගෙන යන්නේ නෑ. එහෙත් තමන්ගේ ගමේ ඉන්න කොට උන් අඩු ගණනේ ගැට සහිත පොල්ලකින් වත් නිරන්තරයෙන් සන්නද්ධ වෙලයි ඉන්නෙ…. සන්නද්ධ වීම ඉතාමත්ම අනිවාර්ය සේ පෙනෙන අවස්ථාවන්හි ආයුධ ඉවත ලන වනම්‍යවේසි නීග්‍රෝවරයා එනයින් තම සතුරාට මෙහෙම අඟවනවා.”මම කිසිසේත්ම ආරක්ෂාව ගැන කල්පනා කරන්නෙ නෑ. මම ඔබගේ මහත්මා ගතිය ගැන සම්පූර්ණ විශ්වාසය තබනවා.”

ඓතිහාසික භෞතිකවාදය හා කලාව, සුචරිත ගම්ලත් – 44 පිටුව

අදාළ කෘතිය තුළ මිනිසාගේ සෞන්දර්ය විඥානයේ විකාශනය පිළිබඳ පැහැදිලි කිරීම සඳහා මේ උපුටා ගැනීම සිදු කෙරුණත් ඒ තුළින් අපට මිනිසුන්ගේ සීමා ලකුණු කිරීම පිළිබඳ සාක්ෂි ලැබෙනවා. ගෝත්‍රයන් අතර භූමි සීමා වෙන් කරගෙන පැවති බවත්, ඔවුන් විසින් ඒවා ආරක්ෂා කළ බවත්, ඒවා පදනම් කරගනිමින් ඔවුන් අතර ගැටුම් හට ගත්තා මෙන්ම, එවැනි ගැටුම් පාලනය කර ගැනීමට අවශ්‍ය සිරිත් විරිත් රීති සම්ප්‍රදායන් එම මිනිසුන් විසින්ම ගොඩ නැගූ බවත් ඉහත උදාහරණයෙන් පැහැදිලි වේ.

මානව සමාජ සංවර්ධනයේ දිශානතිය වූයේ, වෙනත් සතුන්ට සොබාදහම විසින් උරුම කොට දුන් සීමාවන් මෙන් කුඩා සීමාවක් තුළ රැඳී සිටීම නොව, වඩාත් පුළුල් වන මානව සමාජ සංවිධානයක් කරා ගමන් කිරීමය. සත්තකින්ම මිනිසාගේ සවිඥානික සමාජ නිෂ්පාදන ක්‍රියාවලිය තුළ මිනිස් සමාජ සංවිධානයට අපරිමිත ලෙස වැඩීමේ හැකියාවක් ඇත. මුළු මිනිස් සමාජයම ඇත්තේ එවැනි දිශාවකට ගමන් කරමින් සෑම අතකින්ම ස්වීකරණය (assimilation) වෙමිනි. එය භාෂාව සංස්කෘතිය පැත්තෙන්ද, සමාජ සංවිධානය පැත්තෙන්ද පමණක් නොව මානව පරිණාමය පැත්තෙන්ද සිදුවෙමින් පවතී. එය එසේ වන්නේ අනෙකුත් සතුන්ට නැති මිනිසාට ඇති නිෂ්පාදන හැකියාව නිසාය. නිෂ්පාදනය යන්නෙන් අප මෙතැනදී අදහස් කරන්නේ මිනිස් අවශ්‍යතා සපුරා ගැනීම සඳහා සොබාදහමේ පවතින දේ වෙනස් කරගැනීමට අරමුණු සහගතව මිනිසා විසින් සවිඥානිකව සිදු කරනු ලබන ක්‍රියාය. එනම් මිනිසාගේ ශ්‍රම ක්‍රියාකාරිත්වයයි; හැකියාවයි.

කීර්තිමත් සත්ව විද්‍යාඥයකු සහ ලේඛකයකු වන ඩෙස්මන්ඞ් මොරිස් මෙසේ පවසනවා.

“මනුෂ්‍යයන් පෘථිවිය හරහා ඔවුන්ගේ පරාසය තව තවත් පුළුල් ලෙස ව්‍යාප්ත කරගත් පළමු අවධියකදී එම ක්‍රියාදාමය පැහැදිලි ලෙසම ගම්‍යතාවය අත්පත් කරගන්නට පටන් ගත්තේය. නිවර්තන මනුෂ්‍යයන්, කාන්තාර මනුෂ්‍යයන්, සමශීතෝෂ්ණ මනුෂ්‍යයන්, ධ්‍රැවක මනුෂ්‍යයන් ආදී වශයෙන් වඩාත් සම්බන්ධ විශේෂයක අලුත් කණ්ඩායමක් ලෙස පරිණාමය වීමේ මාර්ගයේ සිටි බව ගැන සැකයක් නැති තරම්ය…

එහෙත් එයට බොහෝ දුර යාමට හැකි වීමට මත්තෙන් මනුෂ්‍ය වෘතාන්තය අනපේක්ෂිත අලුත් හැරීමකට අවතීර්ණ විය. අපගේ මේරූ බුද්ධිය මගින් අපි ඇදහිය නොහැකි ලෙස සංචල බවට පත් වීමු. අපි බෝට්ටු සහ නැව් නිපදවීමු. අපි රෝදය සාදා ගැල් සෑදු වෙමු. අපි කෝච්චි, මෝටර් රථ, දුම්රිය පාරවල් මහා මාර්ග සහ අවසානයේදී අහස් යාත්‍රාද සෑදුවෙමු. වර්ධනය වීමට පටන් ගත් වාර්ගික වෙනස්කම් තවමත් ඉතා ප්‍රාථමික අවධියක තිබුණි.”

නිරුවත් ගැහැනිය, ඩෙස්මන්ඞ් මොරිස් – 22 පිටුව

ඉහත ඡේදයෙන් ඩෙස්මන් මොරිස් පවසන්නේ ලෝකය පුරා ව්‍යාප්ත වීමේදී මානව වර්ගයා වෙන වෙනම පරිණාමය වන්නට පටන් ගැන්මක් තිබුණද නිෂ්පාදන බලවේගයන්ගේ වර්ධනය විසින් ඔවුන් එකිනෙකා අතර දුරස්භාවය අහෝසි කරමින් පරිණාමීය වෙනස්කම් ඇති කිරීමද අහෝසි කළ බවයි. මිනිස් සමාජ සංවර්ධනයේ දිශානතිය එය වුවද යම් බාධකයක් විසින් මිනිසුන් එසේ එක්වීම අවහිර කරන ලදී.

මූලිකවම තම මූලික අවශ්‍යතා පූර්ණය කරගැනීමේදී මතු වන බාධාවකට ප්‍රතික්‍රියාවක් වශයෙන් පැවැති සීමා සලකුණු කිරීමේ ස්වභාවය, නිෂ්පාදන බලවේගයන්ගේ වර්ධනය විසින් මිනිසාගේ හැසිරීමෙන් ඉවත් කර දමමින් තිබුණද, පෞද්ගලික දේපළ බිහිවීම විසින් එය පෙරළා නව ගුණයක් සහිත සමාජ ස්වභාවයක් බවට පත් කරන ලදී.

පෞද්ගලික දේපළ හිමිකාරිත්වය ඇතිවූ පසු ඒවා ආරක්ෂා කර ගැනීමේ අවශ්‍යතාවය මෙන්ම අසීමිත ලෙස වර්ධනය කර ගැනීමේ මනෝභාවයද පැනනගී. රාජ්‍ය මට්ටමේදී එය අනෙකුත් රාජ්‍යයන් හා සම්පත් දේපළ කොල්ලකෑමේ ස්වරූපයක් ගනී. රාජ්‍යය මගින් ප්‍රකාශයට පත් වන්නේ ධනය හිමි අධිපති පන්තියේ මූලික වුවමනාවය. වරෙක රාජ්‍යය, පෞද්ගලික දේපළ ආරක්ෂකයා ලෙස කටයුතු කරන අතර තවත් වරෙක කොල්ලකරුවෙකු ලෙස දේපළ පැහැර ගන්නකු ලෙස ක්‍රියා කරයි. ආරම්භයේදී නිෂ්පාදන උපකරණ, අවි ආයුධ, දැනුම හා තාක්ෂණය මගින් මෙන්ම පිරිස් බලයෙන්ද වැඩි, වඩා දියුණු ගෝත්‍ර විසින් නොදියුණු දුර්වල ගෝත්‍ර ආක්‍රමණය කර යටපත් කරන ලදී. ස්වභාවයේ වෙනස්කම් සහිත වුවද නූතනයේද වඩා ශක්තිමත් රාජ්‍යයන් විසින් දුර්වල රාජ්‍යයන් හා ජන ප්‍රජාවන් ආක්‍රමණය කරමින් යටත් කරගනිමින් සිටී.

සෑම විටම මෙම ආක්‍රමණික අවශ්‍යතාවයන්ගේ මූලය ආර්ථික එකකි. මුල්ම යුගයේ ආහාර, වාසස්ථාන පිළිබඳ ප්‍රශ්නයක් වූ එය වර්තමානයේ වෙනත් බොහෝ සම්පත් ඉලක්ක කරගත් එකක් වී ඇත. ඉඩම්, ඛනිජ ඇතුළු ස්වභාවික සම්පත් මෙන්ම මිනිස් ශ්‍රමය සහ වෙළෙඳපොළද දැන් එහි ඉලක්ක වේ. ඊට අමතරව ආරක්ෂාව පිළිබඳ කාරණාද ප්‍රබල හේතුවක් වී ඇත. ආගමික මතවාද ව්‍යාප්තියද වෙනම කාරණයක් සේ පෙනුණත් එහි මූලයද ආර්ථිකයෙන් ගැලවෙන්නේ නැත. සමාජ සංවර්ධනයේ ඉතිහාසය තුළ එක් එක් සමාජයන් අතර මෙන්ම පසුව එක් එක් රාජ්‍යයන් අතරද ඇති වූ ගැටුම් සහ ආක්‍රමණ පිළිබඳව ඇත්තේ දිගු ඉතිහාසයකි. ඉතිහාසය මෙවැනි ගැටුම් සහ ආක්‍රමණවලින් පිරී ඇති බව අපි දනිමු. එම ගැටුම්, ආක්‍රමණ ආශ්‍රිත බල අරගල පිළිබඳව වෙනත් තැනක සාකච්ඡා වේ. එහෙයින් මෙම ලිපිය තුළ උත්සාහ කරන්නේ නූතන ලෝකයේ මෙම ගැටුම්, ආක්‍රමණ වර්ධනය වූ ආකාරයත් පොදුවේ එහි අහිතකරභාවය සහ ලංකාවට එය බලපෑ ආකාරය සාකච්ඡා කිරීමටය.

නූතන ලෝකයේ ආරම්භය සහ ආක්‍රමණ

නූතන ලෝකයේ ආරම්භය 15වැනි සියවසේ මධ්‍යතන යුගය බිඳ වැටීමෙන් ආරම්භ වේ. එක මත එක වැටුණු ඓතිහාසික සංසිද්ධීන් රාශියක් මෙය සමඟ බැඳී පවතින අතර වඩාත් ප්‍රමුඛ සිදුවීම් ගණනාවක් ඒ අතර වේ.

ධනවාදයේ වත්මන් අවධිය අධිරාජ්‍යවාදී අවධිය වශයෙන් හැඳින්වෙන අතර ඉන් අදහස් වන්නේ කේන්ද්‍රීය දියුණු ධනපති රටවල් විසින් පරිධියේ වූ රටවල් ආර්ථික දේශපාලනික හා සමාජ සංස්කෘතික සෑම ආකාරයකින්ම පරාධීන කිරීම හා අවශ්‍ය නම් ආක්‍රමණය කිරීමකි. පැරණි ලෝකයේ පැවති ක්‍රමය වූයේ අවි ආයුධ සහ හමුදා සමඟ පැමිණ රටවල් යටත් කොට ගැනීමය. ඒ වෙනුවට ප්‍රධාන වශයෙන්

ප්‍රාග්ධනය මගින් රටවල් යටත් කර ගැනීම නූතන යටත්විජිතකරණ ක්‍රමයේ ස්වභාවය වේ. එසේ වුවත් මෙහිදී යුදමය ආධිපත්‍යය විසින්ද තීරණාත්මක වැඩ කොටසක් කරනු ලබයි. අධිරාජ්‍යවාදය දක්වා වර්ධනය වූ ධනවාදයේ නැගීම 16 සහ 17වැනි සියවස්වල සිදු වුවත් ඒ සඳහා ලෝකය මූලික වශයෙන් හැඩගැසීම පහළොස්වැනි සියවසේම ආරම්භ වී තිබිණි.

මෙහි ආරම්භක ලක්ෂය ලෙස 1453දී කොන්ස්තන්තිනෝපලය තුර්කි ඔටෝමාන්වරුන් අතට පත්වීම සැලකිල්ලට ගැනේ. පැරණි ලෝකයේ වෙළඳ ජාලය සකස්වී තිබුනේ සේද මාවත ඔස්සේය. එමඟින් යුරෝපය හා ආසියාව යා කෙරිණි. මෙහිදී ආසියාව හා යුරෝපය මුණ ගස්වන ප්‍රධාන වෙළෙඳ මධ්‍යස්ථානය වූයේ කොන්ස්තන්තිනෝපලයයි. එම නගරය තුර්කි ඔටෝමාන්වරු අතට පත්වීමේ ප්‍රතිඵලය වූයේ එහි වෙළෙඳ ආධිපත්‍යය මුස්ලිම්වරුන් අතට පත්වීමය. වෙළෙඳ භාණ්ඩවල මිල ගණන් ඉතා විශාල වශයෙන් ඉහළ දමමින් අධික ලාභයක් උපයා ගැනීමට ඔවුන් කටයුතු කළ අතර තීරු බදු වැඩි කිරීමද සිදුවිය. එමෙන්ම යුරෝපයේ වෙළඳුන්ට වෙනත් බාධාවන්ද සිදු විය. එබැවින් යුරෝපා ජාතිකයන්ට කොන්ස්තන්තිනෝපලය හරහා ආසියාවේ භාණ්ඩ ලබා ගැනීම දුෂ්කර විණි. යුරෝපය කාලයක් තිස්සේ මෙම භාණ්ඩ පරිභෝජනයට හුරු වී සිටි නිසා ඇති වූ අපහසුතාවය අති මහත් විය. එමෙන්ම සියවස් පහළොවකට අධික කාලයක් යුරෝපයේ ආධිපත්‍යය දැරූ ක්‍රිස්තියානි සංවිධානය දුර්වල වීමට හේතුව මුස්ලිම්වරුන් විසින් ආසියාවේ වෙළඳ භාණ්ඩ හරහා අති මහත් ධනස්කන්ධය අත්පත් කරගැනීම බවද යුරෝපීයෝ විශ්වාස කළහ. මේ නිසා සේද මාවතට පිටින් ආසියාවට පැමිණීමට අලුත් මුහුදු මාර්ගයක් සොයා ගැනීම මගින් ආසියාවේ වෙළඳ කටයුතු පිළිබඳ ආධිපත්‍යය තම අතට ගැනීමට යුරෝපීය රාජ්‍යයන් ගණනාවක් සැලසුම් කරන්නට විය. ඔවුන්ගේ ප්‍රකාශිත අරමුණ වූයේ ඉස්ලාම් ධර්මය වෙනුවට ආසියාව තුළ කිතු දහම පැතිරවීමය. ආසියාව කරා නව මුහුදු මාර්ගයක් සොයා ගැනීම සඳහා යුරෝපීය ජාතීන්ගේ අවශ්‍යතාවය මතු වෙන මොහොත වන විට, ඊට පිටුබල දෙන ඓතිහාසික වර්ධනයන් ගණනාවක්ම සිදුව පැවතුණි.

“මෙසේ අලුත් මුහුදු මාර්ගයක් සෙවීමේ අවශ්‍යතාවය මතු වෙද්දී එයට රුකුල් දෙන පරිසරයක් යුරෝපයේ විවිධ ක්ෂේත්‍රවල වර්ධනය වී තිබුණි. ටොලමිගේ සිතියම ඇතුළු පැරණි සිතියම් මගින් පෘථිවිය පිළිබඳ නිවැරදි අවබෝධයක් ලබාදීමද නාවික ගමන්වල සුරක්ෂිතව යෙදීමට ඉඩ සැලසූ මාලිමා යන්ත්‍රය, උතුරු තරු මාපකය යන උපකරණ නිපදවීමද මගින් පුනරුද ඥානය ලැබිණි. එමගින් ආරක්ෂා සහිතව මුහුදු ගමන්වල යෙදීමට සුදුසු පසුබිම සැකසිණි. එහෙත් සමුද්‍ර තරණය කොට ගවේෂණ කටයුතුවල යෙදීම වැනි ඉතා අවදානම් සහිත වූද, ලාභ ලැබීම අවිනිශ්චිත වූද ව්‍යාපාරවල විශාල වශයෙන් මුදල් ආයෝජනය කිරීම පෞද්ගලික ව්‍යාපාරිකයින්ට කළ නොහැකි දෙයකි. රාජ්‍ය අංශයේ මැදිහත්වීම අවශ්‍ය එවැනි අවදානම් තත්වයන්ට මුහුණ දිය හැකි ජාතික රාජ්‍ය කිහිපයක්ම එකල යුරෝපයේ ගොඩනැගෙමින් පැවතුණි. කීර්තිය වෙනුවෙන් තරගකාරීව එවන් කාර්යන්හි නිරත වීමට රාජ්‍යවල රජවරු සූදානම්ව සිටියහ”

යුරෝපයේ මධ්‍යතන යුගයෙන් නූතන යුගයට අවතීර්ණවීම, මහාචාර්ය මාලනී ඇඳගම

“පෘතුගීසීන් අප්‍රිකාව වටා ආසියාවට පැමිණීමේ මාර්ගයක් සොයා ගැනීමේ කටයුතුවල නිරත වෙද්දී ස්පාඤ්ඤයේ නාවිකයෝද අත්ලාන්තික් සාගරය හරහා බටහිර දෙසට පැමිණ ආසියාවට පැමිණීමට ගවේෂණ කටයුතුවල යෙදුනහ. ඒ වන විට විද්‍යා පුනරුදයේ දැනුම අනුව ලෝකය ගෝලාකාර බව ප්‍රචලිත වීමත් සමග යුරෝපයේ කිසියම් මධ්‍යස්ථානයක සිට නැගෙනහිර දෙසට ගියත්, බටහිර දෙසට ගියත් ආසියාවට පැමිණිය හැකි යැයි විශ්වාසයක් ඇතිවී තිබිණි. පැරණි ග්‍රීක විද්‍යාඥයින්ගේ සිතියම් අනුව අත්ලාන්තික් සාගරයේ තැනින් තැන නතර විය හැකි දූපත් ඇති බව දැන සිටියද ඒ දෙසින් යුරෝපය හා ආසියාව අතර මුහුදු ගමන්වලට බාධා කාරී වූ ගොඩබිමක් (ඇමරිකානු මහද්වීපය) පැවති බව ඔවුහු දැන නොසිටියහ”

යුරෝපය මධ්‍යතන යුගයෙන් නූතන යුගයට අවතීර්ණ වීම, මහාචාර්ය මාලනී ඇඳගම

කෙසේ වෙතත් කොළොම්බස් ඇමරිකාව සොයා ගැනීමත් සමගම ඩස වන ඇලෙක්සැන්ඩර් පාප්තුමා ලෝකය ස්පාඤ්ඤය හා පෘතුගාලය අතර දෙකට බෙදා එම රටවල් දෙකට අලුතින් සොයාගත් භූමි යටත්විජිත බවට පත්කර ගැනීමටත් ස්වදේශික ජනයා යටත් කොට ගැනීමටත් අවසර ලබාදී ඇති අතර එමගින්ම අප්‍රිකානු වහල් වෙළඳාම  යුක්ති සහගත බවට පත්කර ඇති බව ඉතිහාසයේ සඳහන් වේ.

නව මුහුදු මාර්ග හරහා නව ලොවට ප්‍රවේශ වීමෙන් ලැබුණු කුළුබඩු, මුතු, මැණික්, ඇත්දළ සහ රත්තරන් මෙන්ම වහලුන්ද මගින් ස්පාඤ්ඤය සහ පෘතුගාලය අතිවිශාල සශ්‍රීකත්වයක් අත්පත් කරගත් අතර මේ තත්වය තුළ අනෙකුත් යුරෝපීය රටවල් වන නෙදර්ලන්තය, ඩෙන්මාර්කය, එංගලන්තය, ප්‍රංශය ආදී රටවල්ද තම නාවික ශක්තිය දියුණු කරගනිමින් මෙම වෙළඳාමට අවතීරණ වූහ. එමෙන්ම එතැන් පටන් ආසියාව අප්‍රිකාව සහ ඇමරිකා මහද්වීපය ඇතුළු ලොව සෑම පෙදෙසකම ඔවුහු තම යටත්විජිත පිහිටුවා ගත්හ.

මෙම සෘජු යටත් විජිත ක්‍රියාදාමයේම දෙවන අදියර වශයෙන් නව යටත්විජිතකරණ ක්‍රියාදාමය ඇරඹි අතර එහිදී සෘජුවම රටවල් යටත් කර ගැනීම වෙනුවට කේන්ද්‍රීය රටවල් විසින් තමන්ට රිසි සේ පරිධියේ එනම් තම යටත්විජිතවල ආර්ථිකයන් හසුරුවමින් පෙරසේම හෝ ඊටත් වැඩියෙන් එම ප්‍රදේශවල සම්පත් කොල්ලකෑමද ශ්‍රමය සූරාකෑමද සිදුකරගෙන යනු ලබයි.

යුරෝපීය ආක්‍රමණ ශ්‍රී ලංකාවට බලපෑ ආකාරය

පෘතුගීසීන්ට මුහුදු මාර්ගයෙන් ආසියාවට පැමිණීමේ අවශ්‍යතාවය අප්‍රිකාව වටා ගමන් කරන නව මුහුදු මාර්ගය සොයාගැනීමෙන් සම්පූර්ණ වූ අතර එහි අනිවාර්ය ප්‍රතිඵලයක් වශයෙන් ඔවුහු ලංකාවටද ගොඩබටහ.

ලෝකයේ සොයාගත හැකි ඉතාම හොඳ කුරුඳු ඇතුළු කුළු බඩු වර්ගද මුතු හා මැණික්ද ඇත් දළද ඇතුළු වටිනා වෙළඳ භාණ්ඩ රාශියකින් සමන්විත වීම මෙන්ම ඉතා හොඳ නාවික මධ්‍යස්ථානයක්ද

පෘතුගීසීන් විසින් සොයා ගන්නා ලදී. මෙසේ ආරම්භ වූ ඉතිහාසය අවසන් වන්නේ ශ්‍රී ලංකාව ජාතීන් තුනක සෘජු යටත්විජිතයක් ලෙස වසර 443 ගත කිරීමෙනි. ක්‍රිස්තු වර්ෂ 1505 සිට 1658 දක්වා වසර 153ක් පෘතුගාලය යටතේද, ක්‍රිස්තු වර්ෂ 1658 සිට 1796 දක්වා වසර 138ක කාලයක් නෙදර්ලන්තය යටතේද, ක්‍රිස්තු වර්ෂ 1796 වසරේ සිට 1948 වසර දක්වා අවුරුදු 152ක කාලයක් බ්‍රිතාන්‍ය යටතේද වශයෙන් එම කාලය ගත කොට ඇත. ක්‍රිස්තු වර්ෂ 1796 වසරේ මාස කිහිපයක් ත්‍රිකුණාමල වරාය ප්‍රංශ පාලනය යටතේ පැවති ඇත.

ආක්‍රමණිකයෙක්ට ඕනෑම භූමියකදී එම භූමියේ වාසය කරන මිනිසුන්ගේ ප්‍රතිවිරෝධයට මුහුණ දීමට සිදුවේ. තමන් නිදහසේ භුක්ති විඳිමින් සිටි සම්පත් කොල්ලකෑම ඉවසීමට කිසිදු ජනතාවක් කැමති වන්නේ නැත. තම ජීවන රටාවන් අවුල් වී යාම කිසිවකු ඉවසන්නේ නැත. යටත්වැසියාගේ ප්‍රතිවිරෝධය, සෑම විටම ක්‍රෑර ලෙස මර්දනය කිරීම ආක්‍රමණිකයාගේ ස්වභාවයයි. මෙවැනි ක්‍රෑර ලෙස මර්දනය කිරීමේ සිදුවීම්වලින් ඉතිහාසය පිරී ඇත.

ඇමරිකානු මහද්වීපය යුරෝපීය ආක්‍රමණිකයන් විසින් ජනාවාස කරන ලද්දේ ඒ වන විටත් එහි ජීවත් වූ ස්වදේශීය ජනයා දස දහස් ගණනින් සමූල ඝාතනය කරමින් සහ ඔවුන් ජීවත්වූ භූමිවලින් පලවා හරිමින්ය. එය ස්පාඤ්ඤය, ප්‍රංශය, බ්‍රිතාන්‍යය ඇතුළු තමන් ශිෂ්ට සම්පන්න යැයි කියා ගත් සියලුම ජාතීන් විසින් එක ලෙස සිදු කරන ලදී. එපමණක් නොව යුරෝපීයන් ගෙන ගිය ලෙඩ රෝග මගින්ද ඔවුන් විශාල ප්‍රමාණයක් විනාශ වී ගියේය. ඕස්ටේ්‍රලියාව, නවසීලන්තය යන ප්‍රදේශයන්හිදීද බ්‍රිතාන්‍යයන් මෙයම සිදු කරන ලදී. නාවික ගවේෂණයන්හිදී පදිංචියට සුදුසු වෙනත් භූමි හමු වූ විට ඒවා වෙනත් කිසිවෙකුටත් අයත් නැති, තමන් විසින් සොයාගත්, තමන්ට අයත් භූමි වශයෙන් නම් කරන ලදී. ‘ශිෂ්ට’ යුරෝපීය ආක්‍රමණිකයින්ගේ පැත්තෙන් ස්වදේශීය ජනයා සැමවිටම නොදියුණු, අශිෂ්ට ම්ලේච්ඡයින් ලෙස සැලකිණි.

වර්ෂ 1788 දී ලක්ෂ පහකට අධිකව සිටි ඕස්ටේ්‍රලියානු ස්වදේශිකයින් ප්‍රමාණය 1900 වසර වන විට 50,000කටත් වඩා අඩු විය. බ්‍රිතාන්‍යයන් විසින් ඔවුන්ව සැලකුවේ පළිබෝධකයන් ලෙසය. එම හැඟීමෙන් මෙන්ම විනෝදයටද ස්වදේශිකයන් මරා දමන ලදී. ලංකාවේදී සහ ඉන්දියාවේදීද තත්වය මීට වෙනස් නොවුණි. දිගින් දිගටම ස්වදේශීය ජනයා හා ආක්‍රමණිකයින් අතර ගැටුම් ඇති විය. එහිදී අතිමහත් ක්‍රෑරත්වයකින් යුතුව එම ගැටුම් මර්දනය කිරීමට ආක්‍රමණිකයෝ කටයුතු කළහ.

1818දී ඌව වෙල්ලස්ස පදනම් කරගෙන ඇතිවූ ස්වදේශීය ජනයාගේ නැගිටීම මේ සඳහා ඉතා පැහැදිලි උදාහරණයකි. ඌව වෙල්ලස්ස ප්‍රදේශයේ සිටි අවුරුදු 18ට වැඩි සියලුම පිරිමි අය මරා දැමීමට නියම විය. අරගලයට සම්බන්ධ යැයි සිතූ සියලු දෙනාගේ සියලුම දේපළ රාජසන්තක කරන ලද අතර ගවයෝ සහ අනෙකුත් සත්තුද මරා දමන ලදහ. වගා බිම් සහ වාරිමාර්ගයන්ද විනාශ කර දමන ලදී. 1848දී ද නැවතත් මෙවැනි නැගිටීමක් සිදු වූ අතර එයද සුපුරුදු ආකාරයෙන් මර්දනයට ලක් කරන ලදී. මෙම අරගල හේතුවෙන් තම වාසභූමිවල රැඳී සිටීමට නොහැකිව පලා ගිය ජනයාගෙන් කොටසක් තම පරම්පරාගත මතකයන් සමඟ ඈත දුෂ්කර ප්‍රදේශවල මේ දක්වාත් ජීවත් වෙති. ශතවර්ෂ දෙකකට පසුවත් ඔවුන්ගේ බිඳ වැටුණු ජීවිත එලෙසමය.

ශතවර්ෂ පහක් තරම් දිගු කාලයක් යම් ජනතාවක් වෙනත් ජාතියකට යටත්ව සිටීම තුළ කෙබඳු ආර්ථික දේශපාලන හා සමාජීය බලපෑමක් එම සමාජයට ඇතිවිය හැකිද?

තමන්ව යටත් කරන ලද ජාතියේ සංස්කෘතිය, සාරධර්ම තමාගේ සංස්කෘතිය හා සාරධර්ම ඇතුළු සියල්ලටම වඩා ඉහළින් ඇතැයි යන මනෝභාවයක්, ශාරීරික ජෛව විද්‍යාත්මක ස්වභාවයෙන් පවා තමන් තම යටත්විජිත පාලක ජාතියට වඩා පහත් යැයි යන පරාධීන හැඟීමක් මෙවැනි ජනතාවන් තුළ රෝපණය වන අතර එය සමාජ මනෝභාවයක් ලෙස, එම සමාජය පාලනය වන මතවාදයක් ලෙස ක්‍රියා කරයි. මෙය යටත්විජිත මානසිකත්වය (ජදකදබස්ක පැබඒකසඑහ) ලෙස හඳුන්වයි. අන්ධ ඇදහීම, අන්ධානුකරණය සහ යටත්වීම වැනි ලක්ෂණයන්ගෙන් හෙබි යටත්විජිත මානසිකත්වය ආක්‍රමණිකයා ශ්‍රේෂ්ඨත්වයෙන් පිළිගන්නා අතර තමා පහත්කොට සලකා ගන්නා බැවින් එය යම් රටකට ජාතියකට, ජන සමාජයකට වර්ධනය වී ඉදිරියට යාමට අතිශය බාධාකාරී වේ.

ලංකාවේ නිදහස් ව්‍යාපාරය තුළද මෙම මානසිකත්වය පැවති අතර බලයට පත්වූ පාලකයින් තුළද එය දැකගත හැකි විය. පූර්ණ නිදහස ලබා ගැනීමට ඔවුහු බිය වූහ. සුදු පාලකයන් නොමැතිව තමන්ට තමන් පාලනය කරගත නොහැකි යැයි හැඟීමක් ඔවුන් අතර විය. ලාංකේය ස්වදේශීය නායකයින් පූර්ණ ඡන්ද අයිතිය ලබා ගැනීමටද අකමැති වූ අතර පසුකාලීනව නිදහස් අධ්‍යාපනය ප්‍රතික්ෂේප කිරීමටද මෙම මනෝභාවය ඉවහල් වන්නට ඇත.

යටත්විජිත මානසිකත්වයේ, ප්‍රති මානසිකත්වය නැතිනම් අනෙක් අන්තය ප්‍රකාශයට පත්වන්නේ අන්ත ජාතිකවාදය හෝ ඊනියා දේශප්‍රේමය ලෙසිනි. තාර්කික පදනමකින් තොරව තමන් සහ තම ජාතිය අති ශ්‍රේෂ්ඨ තත්වයකට ඔසවා තැබීම මෙහි මානසික ස්වභාවයයි. එයද සමාජයක වර්ධනයට බාධාකාරී මනෝභාවයක් වශයෙන් කටයුතු කරයි. වෙනත් ජාතීන් සමග ගනුදෙනු කිරීම සහ ඔවුන්ගේ යහපත් දේ පවා අත්කර ගැනීමට මේ මනෝභාවය බාධා කරයි. වත්මන් ලාංකේය සමාජ මනෝභාවය ඉහත විස්තර කරන ලද මනෝභාවයන් දෙක අතර දෝලනය වන්නක් ලෙස දැකගත හැක. මෙය නව යටත් විජිතවාදය සමගද සම්බන්ධව පවතී.

පෘතුගීසීන් සහ ලන්දේසීන් වෙරළබඩ ප්‍රදේශ පමණක් යටත් කරගනු ලැබුවද ඔවුන්ගේ බලපෑම රටෙහි අභ්‍යන්තරයටම සිදු විය. නමුත් බ්‍රිතාන්‍ය බලපෑම වඩාත් වැඩි එකක් විය. මිෂනාරි අධ්‍යාපනය, ආගමික කටයුතු සහ සිවිල් සේවය, ආර්ථික සහ ව්‍යාපාරික කටයුතු ආදිය ලාංකිකයන් තුළ යටත්විජිත මනෝභාවය තදින් තහවුරු කිරීමට හේතු විය. මෙමගින් ලාංකේය අධ්‍යාත්මය තුළටම එම මනෝභාවයන් කා වැදුණි. මෙම මනෝභාවයන් ස්වදේශිකයා තුළ වර්ධනය කිරීම ආක්‍රමණිකයින් විසින් සිතාමතාම සිදු කරන ලදී. මර්දනය කොට පාලනය කිරීමට වඩා අවනත කර ගැනීම අඩු වියදම් හා වඩා පහසු ක්‍රමයක් විය.

යුරෝපීයන් ලංකාවට එන විටත් ලංකාවේ සිංහල, දෙමළ සහ මුස්ලිම් යන ජාතිකත්වයන් කිහිපයම මෙහි වාසය කළේය. ස්වදේශිකයන් තමන්ට අවනත කර ගැනීමේ ක්‍රියාවලියේදී ඔවුන් වෙන් වෙන්ව තැබීම පහසු උපක්‍රමයක් විය. කොල්ලකාරී ආක්‍රමණිකයාගේ පැත්තෙන් එය ඔහුට වාසි සහගත වුවද ජාතියක සංවර්ධනය පැත්තෙන් එය අතිශයින් හානිදායක විය. ඒ ඒ ජාතිකත්වයන්ට අයත් ඉහළ මධ්‍යම පාංතිකයා පාලකයන් සමග වෙන වෙනම ගනුදෙනු කරමින් තම වරප්‍රසාද දිනාගත් අතර යටත්විජිත පාලකයාද එම වරප්‍රසාද පිරිනැමීමේ ක්‍රියාවලිය මගින් ඔවුන් එකිනෙකා හා එක්වීමේ ඉඩකඩ වසා දමන ලදී. ලංකාවේ ප්‍රබල ජාතික ව්‍යාපාරයක් ගොඩනැගීම

වැළැක්වීමට මෙය බෙහෙවින් ඉවහල් වූ බව පැවසේ. මෙසේ ඇති කරන ලද විරසකභාවයන් විසඳාගැනීමට මේ දක්වාත් නොහැකි වී තිබීමෙන් එය කෙතරම් ප්‍රබලද යන්න පැහැදිලි වේ.

යම් බලවත් ජාතියක් විසින් අඩු දියුණු හෝ දුබල ජාතියක් ආක්‍රමණය කිරීම හේතුවෙන් සිදුවන තවත් බැරෑරුම් ගැටලුවක් වන්නේ එම ජාතිය ගමන් කරමින් සිටින ඓතිහාසික ගමන් මඟ ඛණ්ඩනය වීමය. යම් රටක ,ජාතියක, සමාජයක ඉදිරි ගමන එහි භූගෝලීය ස්වභාවය හා එහි ඇති සම්පත්, දේශගුණික කාලගුණික ස්වභාවයන් සමග ගැළපෙමින් සිදුවන්නේ නම්ද සමාජය තුළින් හටගන්නා අභ්‍යන්තරික ගතිකතාවයන් තුළින් එම සමාජය ඉදිරියට තල්ලු කරන්නේ නම්ද එහි වර්ධනය වඩා තිරසර එකක් වනු ඇත. නමුත් බාහිර බලවේග කඩා වැදීමෙන් ඇති වන වෙනස්කම් සහ වර්ධනයන් වෙනත් ගැටලු ඇති කිරීමට හේතු වේ.

අපට මේ සඳහා ඇති තරම් නිදර්ශන ලංකාවෙන් මෙන්ම ලෝකයෙන්ද ලබාගත හැක. අපි ලංකාවේ උදාහරණයක් ගෙන බලමු.

බ්‍රිතාන්‍යයන් පැමිණෙන විටත් ලංකාවේ මධ්‍ය කඳුකරය ජනාවාස සඳහා හෝ වගා කටයුතු සඳහා භාවිතයට ගෙන නොතිබිණි. භූගෝලීය ස්වභාවය අනුව ලංකාවේ මධ්‍ය කඳුකරය මහා ජල පෝෂක භූමියක් වූ අතර එයින් හටගන්නා ගංගා අරීය ලෙස රට පුරා ගලායමින් පහළ තැනිතලාව කරා ජලය ගෙන ආවේය. එසේ ගලා ආ ජලය තැනිබිමේදී හරස්කොට තවදුරටත් කෘෂි භූමි කරා ගෙන යාමට සමත් දියුණු වාරි තාක්ෂණයක් ලාංකේයන්  විසින් ගොඩනගා තිබුණි. එමෙන්ම මෝසම් වර්ෂාව මගින් ඇද හැළෙන වැසි දිය රැස් කරගැනීමටද ඔවුන් ක්‍රමසම්පාදනය කරගන්නා ලද අතර පහත රට වියළි කලාපයේ එල්ලංගා පද්ධති ලෙස එකට බඳින ලද වැව් සමූහයක් මගින් එහි ජල හිඟය සහ වියළි බව පලවා හැර ජල අවශ්‍යතාවයන් සපුරා ගන්නා ලදී.

එහෙත් බ්‍රිතාන්‍යයින් තම වතු වගාව ව්‍යාප්ත කිරීම සඳහා මධ්‍ය කඳුකරයට කඩා වැදුණු අතර සොබාදහම සමග මනා සංයෝගයකින් යුතුව ක්‍රියාත්මක වෙමින් තිබූ ආර්ථිකය ඛණ්ඩනය කරන ලදී. පසුකාලීනව විදෙස් ආධාර යොදා ගනිමින් ගොඩනංවන ලද යෝධ සංවර්ධන ව්‍යාපෘති වශයෙන් හැඳින්වූ කඩිනම් මහවැලිය වැනි සංවර්ධන යෝජනා ක්‍රමද බ්‍රිතාන්‍යයන් විසින් අරඹන ලද සංවර්ධන මඟේම ඉදිරියට යෑම් ලෙස පෙන්වා දිය හැක.

අද අප මෙහි අනිටු ප්‍රතිවිපාක රාශියක් අත්විඳිමින් සිටින අතර තවත් ගැටලු රාශියක් ඉදිරියේදී මතු වීමට නියමිතය. කඳුකර වන වැස්ම විනාශ වීම නිසා පස සෝදා ගෙන යාමට පටන් ගෙන ඇති අතර එනිසාම උල්පත් සිඳී යාමද සිදු වේ. නායා යෑම් සහ භූ චලනයන්ද ඇතිවීමට පටන් ගෙන ඇති අතර ගංගා දිගේ පහළට ගෙන එන ජල ප්‍රමාණය බෙහෙවින් පහත වැටී ඇත. කඳුකර පෙදෙස්වල ඉදිකරන ලද විශාල ජලාශ මගින් අපේක්ෂිත කාර්යයන් ඉටු නොවන තත්වයක් ඇතිවී තිබේ. කලක ලංකාවේ අලි ඇතුන්ගේ වාසභූමි වූයේ කඳුකර කැලෑය. ඒවා අහිමි වීම නිසා පහළ භූමිය අලි ඇතුන්ගේ වාස භූමි බවට පත්ව ඇත. වත්මනෙහි විශාල ප්‍රශ්නයක්ව ඇති අලි මිනිස් ගැටුමේ ප්‍රධාන හේතුව වන්නේ එයය.

වාණිජ වගාවන් සඳහා වනාන්තර එළිකිරීමෙන්ද ඛනිජ සම්පත් උකහා ගැනීම සඳහා පතල් කැණීම මගින්ද අති විශාල විනාශයක් මේ මොහොතේද සිදුවෙමින් පවතී. කෙසේ වෙතත් ආක්‍රමණිකයෙකුගේ අභිප්‍රාය වන්නේ, තමන් ආක්‍රමණය කරන භූමියේ ඇති සම්පත් සහ සාරය හැකි උපරිමයෙන් උරා ගැනීම බැවින් අධිරාජ්‍යවාදී ආක්‍රමණිකයෙක්, කොල්ලකරුවෙක් සමග තිරසාර සංවර්ධනය පිළිබඳ සැලසුම් සකස් කළ නොහැකිය. අධිරාජ්‍යවාදී ආක්‍රමණිකයින් විසින් ලෝකය පුරාම ඉතිරි කර ඇත්තේ මෙවැනි අත්දැකීම් රාශියකි.

ලෝකයේ යටත්විජිතකරණයට ලක් වූ බොහෝ රටවල් තවමත් පවතින්නේ බිඳවැටුණු ආර්ථිකයන් සහිත පරාධීන තත්වයේය. ඊට හේතු වී ඇත්තේ නව යටත්විජිතවාදය හරහා මේ මොහොතේත් කේන්ද්‍රීය ධනපති රටවල් මෙම පසුගාමී රටවල්හි සම්පත් උදුරා ගන්නා සහ ශ්‍රමය සූරාකන ලෝක සංදර්භය එලෙසම පවත්වාගෙන යාම නිසාය.

වර්තමානයේ බොහෝ විට සාකච්ඡාවට ගැනෙන්නේ යටත්විජිතකරණය නිසා සිදු වූ සමාජ ප්‍රගමනයන් පිළිබඳවය. මහාමාර්ග බිහිවීම, දුම්රිය මාර්ග බිහිවීම, සන්නිවේදන තාක්ෂණය සහ විදුලිය ලැබීම, වැඩවසම් සමාජ සංස්ථාවන් බිඳවැටීම ආදිය උත්කර්ෂයෙන් යුතුව සාකච්ඡාවට ගැනෙන නමුත් එහි තවත් පාර්ශ්වයක්ද ඇති බව අමතක නොකළ යුතුව තිබේ.

චන්ද්‍රික අධිකාරී

ලෙෆ්ට් සඟාවේ පළවූ ලිපියකි

බලවතුන්ගේ ආක්‍රමණ හා එහි අනිටු ප්‍රතිවිපාක