කහ වෘත්තීය සමිති සහ කම්කරු රදලයෝ

SHARE

Share on facebook
Share on google
Share on twitter
Share on linkedin

ලොව ඇති විශාලතම සමාජ ව්‍යාපාරය (Social Movement) කුමක් දැයි ඇසුවොත්, එයට ඇති පිළිතුර කුමක් ද? ඒ වෘත්තීය සමිති ව්‍යාපාරයයි. වසර 200කට වැඩි ඉතිහාසයක් ඇති ලෝක වෘත්තීය සමිති ව්‍යාපාරය ශ්‍රමිකයන්ගේ අයිතීන් දිනාගැනීමට, ආරක්‍ෂා කිරීමට, ප්‍රජාතන්ත්‍රවාදය පුළුල් කර ගැනීමට මැදිහත් වීමේ සිට කම්කරු පන්තියට රාජ්‍ය බලය ලබා ගැනීම දක්වා ගෙන ගිය අරගල හරහා සමාජවාදී රාජ්‍යයන් ගොඩනැඟීමට පවා දායක වී තිබේ. පසුගිය වසර 200 තුළ ජනතාවගේ අයිතිවාසිකම් දිනාගැනීමට ලබාදෙන ලද දායකත්වය පැත්තෙන් ගතහොත්, අන් ඕනෑ ම සමාජ සංවිධානයකට වඩා වෘත්තීය සමිතිවලින් දිනා දී ඇති අයිතීන් ප්‍රමාණය සුවිශාල වේ.

නමුත්, අප ජීවත් වන පන්ති සමාජය තුළ ප්‍රධාන පන්ති දෙක වන නිර්ධනීන් සහ ධනපතීන් අතර ඇති පන්ති අරගලය ඉතා ම තීව්‍ර එකක් වන බැවින්, නිර්ධන පන්තියේ එක් ප්‍රධාන සංවිධාන ආකාරයක් වන වෘත්තීය සමිති ව්‍යාපාරයට හැකි සෑම ආකාරයකින් ම පහර දීම, දුර්වල කිරීම ධනපති පන්තිය දැනුම්වත්ව කරන කාර්යයකි. වෘත්තීය සමිති අයිතිය තහනම් කිරීම, වෘත්තීය සමිති අහෝසි කිරීම, වෘත්තීය සමිති නායකයන් දඩයම් කිරීම, වෘත්තීය සමිති සාමාජිකයන් රැකියාවලින් නෙරපීම, වෘත්තීය සමිති පිළිබඳ ‘රළු’ චිත්‍රයක් ජනතාවට මවා පෙන්වීම ආදියේ සිට ධනපති පත්තිය සිය පන්තිමය වුවමනාව වෙනුවෙන් වෘත්තීය සමිති ගොඩනැඟීම ද සිදු කරයි. එසේ ධනපති පන්තියේ අනුග්‍රහයෙන්, මැදිහත් වීමෙන්, ආධාරයෙන් ගොඩනඟනු ලබන වෘත්තීය සමිති ‘කහ වෘත්තීය සමිති’ (Yellow Trade Unions) ලෙස හඳුන්වනු ලබයි. අපි දැන් එම කහ වෘත්තීය සමිති ව්‍යාපාරය පිළිබඳව හදාරමු.

කහ වෘත්තීය සමිති සැලකෙන්නේ, ‘සමාගමේ සමිතිය’ (Company Union) යනුවෙනි. මන්ද යත්, එම කහ වෘත්තීය සමිති ආරම්භ කරන්නේ සමාගමක අයිතිකරුවන්ගේ අරමුණු ඉටු කිරීම මූලික තැන තබාගෙන, අයිතිකරුවන්ගේ සෘජු සහ වක්‍ර පරිපාලනමය හා මූල්‍යමය ආධාර මත වන බැවිනි. දැන් අපි මෙම ‘සමාගම් සමිති’, ‘කහ වෘත්තීය සමිති’ වූයේ කෙසේ ද යන්නත්, එවන් සමිති සම්බන්ධයෙන් වන ජාත්‍යන්තර අත්දැකීම් පිළිබඳවත් තොරතුරු දැනගනිමු.

ලොව පළමු කහ වෘත්තීය සමිතිය 1902දී ප්‍රංශයේ කහ ජාතික සම්මේලනය (National Federation of the Yellow of France) නමින් පියරේ බියෙට්‍රි (Pierre Bietry) විසින් ආරම්භ කරන ලදී. එහි දී ඔවුන් විසින් ‘කහ’ යන වචනය හිතාමතාම යොදා ගනු ලැබූ අතර, එහි අරමුණ වූයේ සමාජවාදය හා සම්බන්ධ රතුපාටට ඇති විරුද්ධත්වය පෙන්වීම ය. තව දුරටත් ගතහොත්, (i) රතු වෘත්තීය සමිති මූලස්ථානය වන ‘පොදු කම්කරු සම්මේලනය’ට (General Confederation of Labour – C.G.T.) එරෙහි වීමත්, (ii) පන්ති අරගලයට විරුද්ධ වීමත්, (iii) වැඩ වර්ජනවලට විරුද්ධ වීමත්, (iv) ධනපති පන්තිය සහ කම්කරු පන්තිය අතර සහයෝගීව කටයුතු කිරීමත් මෙම ප්‍රංශ කහ වෘත්තීය සමිති ව්‍යාපාරයේ අරමුණු විය. සමාගම්වල සහාය ලැබුණු පියරේ බියෙට්‍රි මෙම කහ වෘත්තීය සමිති ව්‍යාපාරයට ප්‍රංශ ෆැසිස්ට්වාදයේ ආරම්භක ම සංවිධානයක් වූ  ‘ඇක්ෂන් ෆ්‍රැන්සෙයිස්’ (Action Francaise) හි නායක මොරිස් පියුජෝ (Maurice Pujo) සමඟ ද සෘජු සම්බන්ධකම් තිබිණි. කෙසේ වුවද, මුල් කාලය තුළ මෙම කහ වෘත්තීය සමිතිය වෙතට සැලැකිය යුතු සාමාජිකත්වයක් ඒකරාශී කර ගැනීමට ද හැකි විය.

ප්‍රංශය නාසීන්ට යටත් වූ පසු වෘත්තීය සමිති තහනම් කළ අතර, 1940-42 කාලයේ කම්කරු ඇමැති ලෙස කටයුතු කළ රෙනේ බෙලින් (Rene Belin) විසින් දෙවැනි ලෝක යුද්ධය අවසන් වීමෙන් පසුව 1947දී ප්‍රංශයේ ප්‍රගතිශීලී සහ දැවැන්ත වෘත්තීය සමිති මූලස්ථානය වන සී.ජී.ටී. සංවිධානයට විරුද්ධව 1947දී ‘ස්වාධීන කම්කරු සම්මේලනය’ (Confederation du Travail Independent – CTI) ගොඩනැඟූ අතර, 1949දී එහි නම Confederation General des Syndicates Independent – CGSI යනුවෙන් වෙනස් කරන ලදී. සී. ජී. එස්. අයි. සංවිධානය තම ප්‍රකාශිත අරමුණ ලෙස ම සඳහන් කළේ ‘කොමියුනිස්ට්වාදී සී.ජී.ටී.යට එරෙහි මිනිසුන්ගේ එකතුවක්’ ලෙස ය. මුල් කාලයේ දී එය මෝටර් රථ කර්මාන්තය තුළ සැලැකිය යුතු ලෙස ව්‍යාප්ත වූ අතර, පොයිසි (Poissy) හි ‘සිම්කා’ (Simca) කර්මාන්ත ශාලාව එක් උදාහරණයකි.

1954දී සී. ජී. එස්. අයි. සංවිධානය තම නම ‘ප්‍රංශ කම්කරු සම්මේලනය’ (Confederation Francaise du Travail – CFT&) ලෙස වෙනස් කළ අතර, එහි නායකයා වූයේ ජැක්ස් සිමාකිස් ය. 1959 ජනවාරි 07 වැනිදා මෙම සී. එෆ්. ටී. කහ වෘත්තීය සමිතිය ප්‍රධාන පෙළේ වෘත්තීය සමිතියක් ලෙස ප්‍රකාශයට පත්කරන ලදී. කෙසේ වුව ද, ප්‍රංශ කොමියුනිස්ට් පක්‍ෂය හා අනුබද්ධ සී.එෆ්.ටී.සී. වෘත්තීය සමිතිය විසින් ඉහත කහ වෘත්තීය සමිතිය (සී.එෆ්.ටී.ය) එලෙස පිළිගැනීමට විරුද්ධව විශේෂයෙන් ම ඔවුනට සමාගම් මඟින් මුදල් ලබා දෙන්නේ ය යන චෝදනාව මත සී.එෆ්.ටී.යට කම්කරුවන් නියෝජනය කිරීමට දී තිබූ බලය ප්‍රංශ අධිකරණයෙන් අත්හිටුවන ලදී. 1968දී මුළු යුරෝපයට ම බලපෑම් කළ ශිෂ්‍ය, තරුණ නැඟිටීම්වලට සමාන්තරව ප්‍රංශ සී.ජී.ටී.ය විසින් වැඩ වර්ජනයක් කැඳවූ අවස්ථාවේ මෙම කහ වෘත්තීය සමිතිය ‘වැඩ කිරීමට ඇති නිදහස’ ඉල්ලා සිටිමින්, පොදුජන නැඟිටීමට විරුද්ධව පාලකයන් වෙනුවෙන් වෙන ම උද්ඝෝෂණ සංවිධානය කරන ලදී. 1977 ජුනි 04 වැනිදා ප්‍රගතිශීලී සී.ජී.ටී.ය මඟින් සංවිධානය කරන ලද වැඩ වර්ජනයකට මෙම කහ වෘත්තීය සමිතිය විසින් පිහිටුවනු ලැබූ කොමාන්ඩෝ කණ්ඩායමක් විසින් වෙඩි තබන ලද අතර, ඉන් එක් කම්කරුවකු මිය ගොස් තවත් කිහිප දෙනෙක් තුවාල ලැබූහ. අද වන විට මෙම කහ වෘත්තීය සමිතියේ බලය දුර්වල වී පවතින නමුත්, දැනුදු එය ‘ස්වාධීන මෝටර්රථ කම්කරුවන්ගේ වෘත්තීය සමිතිය’ (Independent Automobile Workers’ Union) නමින් මෝටර් රථ නිෂ්පාදන ක්‍ෂේත්‍රයේ පමණක් ක්‍රියාත්මක වේ.

මෙම සමාගම් සමිතිවල සැබෑ ක්‍රියාකාරීත්වය තේරුම් ගැනීම ඉතා වැදගත් නිසා එය එක් රටක අත්දැකීම්වලින් පමණක් තේරුම් ගැනීම දුෂ්කර ය. අප සමාගම් සමිති පිළිබඳව එක්සත් ජනපද අත්දැකීම් සලකා බලමු:

එක්සත් ජනපදය: රොකපෙලර්ගේ වෘත්තීය සමිති

1914දී එක්සත් ජනපදයේ කොලරාඩෝ ප්‍රාන්තයේ, ලඞ්ලෝ (Ludlow) ගල්අඟුරු බලාගාරයේ ආකර කම්කරුවන්ගේ වැඩ වර්ජනයකට කොලරාඩෝ ජාතික ආරක්‍ෂක බළකාය වෙඩි තබා කම්කරුවන් 16 දෙනකු ඝාතනය කළේ ය. මෙම ඝාතනය එක්සත් ජනපදය පුරා ම සිටි පතල් හිමියන්ගේ නාමයන්ට විශාල කැළලක් වූ බැවින්, ආකර හිමියකු වූ ජෝන් ඩී. රොකෆෙලර් (කනිෂ්ඨ) විසින් ‘කොලරාඩෝ ෆුවල් ඇන්ඞ් අයන්’ නම් වූ තම සමාගමේ ලේ වැකුණු නාමය යළි ගොඩ ගැනීම සඳහා කම්කරු සබඳතා පිළිබඳ විශේෂඥයකු සහ කැනඩාවේ හිටපු කම්කරු අමාත්‍ය විලියම් ලියොන් මැකෙන්සී කිං ගේ සහාය ලබා ගන්නා ලදී. එහිදී ලත් එක් උපදේශයක් වූයේ ‘සේවකයන් නියෝජනය කිරීමේ සැලැස්ම’ යනුවෙන් ක්‍රමයක් හඳුන්වා දීම ය. මෙය පොදුවේ ‘රොකෆෙලර් සැලැස්ම’ (Rockefeller Plan) ලෙස ප්‍රසිද්ධ වු අතර, ඒ යටතේ සමාගම විසින්ම සමාගම තුළ වෘත්තීය සමිතියක් පිහිටුවන ලදී. රොකෆෙලර් සැලැස්ම මුලින් සාර්ථක වූ නිසා විවිධ සමාගම් තුළ සමාගම් වෘත්තීය සමිති අරඹන ලද අතර, විදෙස් රටවලටද මෙය ව්‍යාප්ත විය. 1933දී එක්සත් ආකර කම්කරු සංගමය විසින් මෙම රොකෆෙලර් වෘත්තීය සමිතිය පරදවා ජය ලැබීමත් සමඟ එම සමාගම තුළ කහ වෘත්තීය සමිතිය අභාවයට ගිය ද, පුවෙබ්ලෝ, කොලරාඩෝ, වයියොමින්ග් වැනි ආකර සමාගම් තුළ සමාගම් සමිති දිගටම ක්‍රියාත්මක විය.

1935දී එක්සත් ජනපදයේ සම්මත කරන ලද ‘ස්වාභාවික කම්කරු සබඳතා පනත – වැග්නර් පනත’ මඟින් “සමාගම් හිමියන්ට වෘත්තීය සමිති ගොඩනැඟීම, ඒ සඳහා බලපෑම් කිරීම, ඒවා නියාමනය කිරීම සහ මූල්‍ය හෝ වෙනත් ආධාර සැපයීම නීති විරෝධී” බව සම්මත කරන ලදී. එයත් සමඟ ‘සමාගම් සමිති’ ගොඩනැඟීම දුර්වල වූ නමුත්, සමාගම් හිමියන් විසින් නීතියේ සිදුරු යොදා ගනිමින්, දිගට ම මෙවැනි වෘත්තීය සමිති ගොඩනඟන ලදී. එහෙත්, ඒවායේ ප්‍රමාණාත්මක හා ගුණාත්මක බලපෑම අඩු විය.

නැවත මෙම සමාගම් සමිති ගොඩනැඟීම සඳහා සැලැකිය යුතු තල්ලුවක් ලබා දෙනු ලැබුවේ, 1957දී ‘ෆෙයාර්චයිල්ඞ් සෙමිකන්ඩක්ටර්’ සමාගම සහ 1968දී ‘ඉන්ටෙල්’ සමාගම ගොඩනැඟූ රොබර්ට් නොයිස් විසිනි. ඔවුන් විසින් මෙම නව ඉලෙක්ට්‍රොනික කර්මාන්ත ‘ගෘහස්ථ රැකියා කරන අයගේ කණ්ඩායම්’ ලෙස හඳුන්වා දෙමින්, එම වැඩ කරන අය ද එම ව්‍යාපෘතියේ ම සාමාජිකයන් බව පවසමින් ‘සමාගම් සමිති’ ගොඩනඟන ලද අතර, 1994දී ‘ඇමෙරිකානු ඉලෙක්ට්‍රොනික සංගමය’ ඒ වන විට විශාල සමාගම් බවට පත්ව තිබූ තම සමාගම් මෙම 1935 නීතියෙන් රිංගා යමින් කටයුතු කරමින් සිටියේ ය.

1995දී නව ලිබරල්වාදී තත්වය යටතේ ‘කම්කරුවන්’ ‘කණ්ඩායම් සාමාජිකයන්’ ලෙස හඳුන්වා දෙමින් එතෙක් පැවැති කම්කරු නීති රාශියක් දුර්වල කරන ‘1995 සේවක කළමනාකරුවන් සඳහා කණ්ඩායම් වැඩ පනත’ (Teamwork for Employees Managers Act of 1995) යනුවෙන් පනතක් ඉදිරිපත් කරන ලදී. කෙසේ වුව ද, මතු වූ බරපතළ විරෝධතා නිසා ඇමෙරිකානු ජනාධිපති විසින් පනත තහනම් කරනු ලැබීය. මේ වන විට ද එක්සත් ජනපදය තුළ කහ වෘත්තීය සමිති යම් මට්ටමකින් ක්‍රියාත්මක වන අතර, විශේෂයෙන් ම සිලිකන් මිටියාවතේ  ඉලෙක්ට්‍රොනික සමාගම් වන ‘ගූගල්’  ‘ෆේස් බුක්’ වැනි ආයතනවල වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලට විශාල බාධා පමුණුවා තිබේ.

මීට අමතරව ජපානය, මෙක්සිකෝව ආදී රටවල ද මෙම කහ වෘත්තීය සමිති ව්‍යාපාර ක්‍රියාත්මක වේ. මෙම කහ වෘත්තීය සමිති පිළිබඳ විරෝධය යුරෝපයේ හෝ එක්සත් ජනපදයේ හෝ තරම් මෙම රටවල දී ප්‍රබල නොමැත. කෙසේ වුව ද, ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ, 1949 අංක 98 දරන ‘සංවිධානය වීමේ සහ සාමුහිකව කේවෙල් කිරීමේ අයිතිය පිළිබඳ සම්මුතිය’  අනුව සමාගම් සමිති, කහ වෘත්තීය සමිති ගොඩනැඟීම තහනම් කර තිබේ. එහි දෙවැනි ව්‍යවස්ථාවේ මෙසේ සඳහන් වේ:

1. “කම්කරුවන්ගේ සහ හාම්පුතුන්ගේ සංවිධානවලට, ඒවායේ සාමාජිකත්වයට, ක්‍රියාකාරීත්වයට එක් සංවිධානයකින් අනෙක් සංවිධානයට කරනු ලබන සියලු ම ආකාරයේ මැදිහත් වීම්වලට, අත පෙවීම්වලට ලක්නොවීමේ අයිතිය තිබිය යුතු ය.”

ජාත්‍යන්තර සම්මුති සහ ඒ ඒ රටවල කම්කරු නීති මඟින් මෙම කහ වෘත්තීය සමිති තහනම් කරගෙන ඇත්තේ ද, වෘත්තීය සමිති ව්‍යාපාරයේ විශාල මැදිහත් වීම්වල සහ අරගලවල බලපෑමත්, ශ්‍රේෂ්ඨ ඔක්තෝබර් විප්ලවයේ සහ සමාජවාදී කඳවුරේ බලපෑමත් නිසා ය. කෙසේ වුව ද, මේ වන විට ලොව පුරා කම්කරුවන්, වෘත්තීය සමිති සමඟ සංවිධානය වීමේ අඩුවක් ගෝලීය වශයෙන් දක්නට ලැබේ. එම නිසා කහ වෘත්තීය සමිති ගොඩනැංවීමේ ප්‍රායෝගික දේශපාලන වුවමනාව ද හාම්පුතුන්ට අඩු වී ඇති නමුත්, 2008-2021 කාලය තුළ  ඇති වූ ලෝක ආර්ථික අර්බුදය නිසා නැවත සුළු වශයෙන් වෘත්තීය සමිති සාමාජිකත්වය වර්ධනය වීම සිදුවෙමින් වෙමින් පවතී. එබැවින්, පන්ති අරගලය වර්ධනය වන මට්ටමටම ‘හාම්පුතුන්ගේ වෘත්තීය සමිති’ ගොඩනැඟීමට දරනු ලබන උත්සාහය ද වැඩි වනු ඇත.

අධිරාජ්‍යවාදය ධනේශ්වර ක්‍රමයේ ඉහළ ම අවධියයි’ යන තම විශිෂ්ට රචනාවේ දී ලෙනින් මෙසේ ලිවී ය:

“මෙසේ ලබාගන්නා දැවැන්ත සුපිරි ලාභ නිසා (මෙම ලාභ ලබා ගන්නේ ධනපතීන් ‘තමන්ගේම’ රටේ කම්කරුවන් මිරිකා ලබාගන්නා ලාභවලට අමතරව හෙයින් යටත්විජිත තුළින්) එයින් කම්කරු නායකයන්ට හා ශ්‍රමකරු රදල පැලැන්තියේ ඉහළ ස්ථරයට අල්ලස් දීමට හැකි බව පැහැදිලි ය. තවද, ‘දියුණු’ රටවල ධනපතියන් දැන් ඇත්ත වශයෙන් ම කරන්නේ ද එයයි. ඔවුහු එකිනෙකට වෙනස් දහසක් මාර්ග අනුව සෘජු ලෙස හා වක්‍ර ලෙසත්, විවෘත ලෙස හා ආවෘත ලෙසත් ඔවුනට අල්ලස් දෙති.”

පිටුව 35, සිංහල මුද්‍රණය.

එමෙන් ම 1881 අගෝස්තු 11 වැනි දින ෆ්‍රෙඞ්රික් එංගල්ස් මාක්ස්ට යැවූ ලිපියක, “මධ්‍යම පන්තියට විකුණුණු නැතහොත්, යටත්පිරිසෙයින් මධ්‍යම පන්තියෙන් ගෙවීම් හෝ ලබන මිනිසුන්ට තම නායකත්වය ගැනීමට ඉඩ දෙන නරක ම ඉංග්‍රීසි වෘත්තීය සමිති” ගැන සඳහන් කර ඇත.

එමෙන් ම එම කරුණ එංගල්ස්ගේ ප්‍රකට ලියැවිල්ලක් වන 1844දී රචනා කරන ලද ‘එංගලන්ත වැඩ කරන පන්තියේ තත්වය’ යන රචනාවේ දී ප්‍රථම වරට ඔහු විසින් ‘කම්කරු පන්තිය තුළ සිටින රදලයන්’ පිළිබඳව සඳහන් කර තිබේ.

මේ ශ්‍රමකරු රදලයන් යනු කවුරුන් ද?

වර්තමානයේ පවතින වෘත්තීය සමිතිවල ක්‍රියාකාරිත්වය තේරුම් ගැනීමේ දී ‘කහ වෘත්තීය සමිතිවල’ මෙන් ම ‘ශ්‍රමකරු රදල’ (Labour Aristocracy) වෘත්තීය සමිතිවල පැනනැඟීම හා ක්‍රියාකාරීත්වය ද තේරුම් ගැනීම ඉතා වැදගත් ය. කම්කරු පන්තිය තුළ ‘ශ්‍රමකරු රදල’ ස්ථරයක් පිළිබඳව මුල් ම හැඳින්වීම 1820 ගණන්වල දී පමණ බ්‍රිතාන්‍ය ධනේශ්වර ආර්ථික විද්‍යාඥයන් විසින් ම සාකච්ඡා කරන ලද අතර, 1844දී එංගල්ස් තම ලේඛනයට යොදා ගත්තේ එම ව්‍යවහාරයේ තිබූ ‘ශ්‍රමකරු රදල’ යන වචනයයි. පසුව එංගල්ස් විසින්ද, මිහායිල් බකුනින් (1870දී පමණ) විසින් ද, 1901දී පමණ කාර්ල් කෞට්ස්කි විසින්ද මෙම ‘ශ්‍රමකරු රදල’ කණ්ඩායම් පිළිබඳව සඳහන් කරන අතර. පසුව ලෙනින් විසින් තම ඉමහත් අවධානයට ලක් වූ සහ මාක්ස්වාදයට එක් කරනු ලැබූ විශේෂ න්‍යායික කොටසක් ද වන ‘අධිරාජ්‍යවාදය ධනවාදයේ ඉහළ ම අවධියයි’ යන 1914-15 කාලයේ ලියැවුණු කෘතියේ අවස්ථා ගණනාවක මේ පිළිබඳව සඳහන් කර ඇත.

‘ශ්‍රමකරු රදල’ ස්ථරයක් කම්කරු පන්තිය තුළ ඇති වීමේ හේතු මොනවා ද?

එංගලන්තයේ කම්කරු පන්තියේ සංවර්ධනය සැලැකිය යුතු තරම් ගැඹුරකින් ලෙනින් අධ්‍යයනය කළේ ය. ඔහු සයිබීරියාවට පිටුවහල් කර සිටිය දී 19 වැනි සියවසේ බි්‍රතාන්‍ය කාර්මික කම්කරු පන්තිය පිළිබඳව ලියැවි ඇති සිඞ්නි සහ බියට්‍රිස් වෙබ් (Sidney and Beatrice Webb) විසින් රචනා කරන ලද ‘කාර්මික ප්‍රජාතන්ත්‍රවාදය’ (Industrial Democracy) යන කෘතිය පරතෙරටම අධ්‍යයනය කළ අතර, 1902-11 අතර ඔහු හය වතාවක් එංගලන්තයේ සංචාරය කොට එහි කම්කරු පන්ති ව්‍යාපාරය පිළිබඳව, දේශපාලනය සහ ආර්ථිකය පිළිබඳව සැලැකිය යුතු දැනුමක් ඇතිව සිටියේය.

(i) එනිසා ලෙනින් ඉහත උපුටා ගැනීම තුළ විග්‍රහ කරන්නේ, යටත්විජිත සූරාගෙන කෑම හරහා බ්‍රිතාන්‍යය ධනපතීන් ගෙනෙන අමතර ධනය, (බ්‍රිතාන්‍ය කම්කරුවන්ගෙන් උරා ගන්නා අතිරේක වටිනාකමට අමතරව) බ්‍රිතාන්‍ය කම්කරු පන්තියේ කොටස්වලට වැඩි වැටුප් හා දීමනා ලබා දීමට හැකි වී ඇති බවයි. එමඟින් වඩා වරප්‍රසාදිත කම්කරු පන්ති ස්ථරයක් බ්‍රිතාන්‍යය තුළ ගොඩනැඟෙන බවයි. එමෙන්ම ලෙනින් පවසන්නේ, බ්‍රිතාන්‍යය අත්පත් කරගෙන සිටින මට්ටමේ අතිශය විශාල යටත්විජිතකරණයක් ඉදිරියේ දී අන් කිසිදු රටකට අත්පත් කර ගත නොහැකි වුවද, ඉදිරියේදීද අධිරාජ්‍යවාදී ක්‍රමය මඟින් තෙවැනි ලොව රටවල් සූරාකෑම හරහා තම රටවල කම්කරු පන්තියට ‘පොඞ්ඩක් වැඩි දෙයක්’ දීමට හැකි වනු ඇති බවත්, එමඟින් එක්තරා ආකාරයක ‘ශ්‍රමකරු රදල පැලැන්තියක්’ විශේෂයෙන්ම බ්‍රිතාන්‍යය ඇතුළු ධනපති රටවල කම්කරු පන්තියේ ඉහළ කොටස් තුළ (සමුපකාර නායකයන්, ඉංජිනේරුවන්, ක්‍රීඩා සමිති නියෝජිතයන්, කළමනාකරුවන්, ආගමික නිකායවල වැටුපට වැඩ කරන අය ආදීන්) නිර්මාණය වන බවයි. ධනවාදයේ අසමාන සංවර්ධනය නිසා හට ගන්නා මෙම තත්වය පිළිබඳ ලෙනින්ගේ මෙම විශ්ලේෂණය අදට ද නිවැරැදි වන අතර, කේන්ද්‍රයේ රටවල ඉහළ වැටුප් ලබන ශ්‍රමික ස්ථරයක් නිර්මාණය කර ඇති එක් ප්‍රධාන ආකාරයක් වන්නේ අධිරාජ්‍යවාදී ක්‍රමය මඟිනි. එමෙන් ම එම කේන්ද්‍රයේ රටවල ඉහළ වැටුප් හා දීමනා ලබන සේවකයන් අද බොහෝ විට පරිධියේ රටවල සමාගම්වල ඉහළ ම කළමනාකරණ තනතුරුවල යෙදැවීම තුළින්ද මෙම ‘ශ්‍රමකරු රදල’ ස්ථරය ප්‍රතිනිෂ්පාදනය වේ. මෙම ‘ශ්‍රමකරු රදල’ ස්ථරය තම රටේදී සෘජුව ම හාම්පුතුන් වෙනුවෙන් කටයුතු කරන අතර, පරිධියේ රටවලදී හාම්පුතාගේ නියෝජිතයා ලෙස පරිධියේ රටවලදී කටයුතු කරයි.

(ii) ‘ශ්‍රමකරු රදල’ පැලැන්තියක් බිහි වීමේ අනෙක් ඓතිහාසික හේතුව වන්නේ එංගල්ස් සහ ලෙනින් දෙදෙනා විසින් ම ද විශ්ලේෂණය කරන ලද ‘ශිල්ප ශ්‍රේණිධාරීන්ගේ’ භාවිතාවයි.

ධනපති ක්‍රමය, නවීන කර්මාන්ත ශාලා තුළ, විශාල යන්ත්‍රසූත්‍ර මඟින් සිදු කෙරෙන මහා පරිමාණ නිෂ්පාදනයක් වීමට පෙර ප්‍රධාන වශයෙන්ම කාර්මික නිෂ්පාදනය තිබුණේ, ශිල්පීන් අත ය. ඔවුන් පරම්පරානුගතව ලබා ගත් වාත්තු ශිල්පය, වඩු කාර්මික ශිල්පය, ස්වර්ණාභරණ නිෂ්පාදනය, ඉදි කිරීම් ශිල්පය, මුද්‍රණ ශිල්පය ආදී ක්‍ෂේත්‍ර රාශියක පුහුණු ශිල්පීන් මඟින් නිෂ්පාදනය සිදු කෙරිණි. එම ශිල්පීන්ගේ වැඩපළවල් තුළ (ධනේශ්වර නිෂ්පාදන සංවිධානය නොවේ.) ආධුනික ශිල්පීන් ගුරු-ගෝල ක්‍රමයට පුහුණු කරන ලද අතර, එහෙයින් ම නිෂ්පාදනයේ ඒකාධිකාරය ද, හැකියාවන්ගේ ඒකාධිකාරය ද ශිල්ප ශ්‍රේණි තුළ ගොනු විය. යන්ත්‍රසූත්‍ර නොමැති වීමත්, පොදුජන අධ්‍යාපන ක්‍රමයක් නොමැති වීමත් විසින් නිෂ්පාදනය සඳහා අවශ්‍ය නව ශ්‍රමිකයන් පුහුණු කිරීම දුර්වල විය. යන්ත්‍ර සූත්‍ර හඳුන්වා දීම මඟින් ළමයින් හා ගැහැනුන් වැනි නුපුහුණු අයට ද නිෂ්පාදනයට සම්බන්ධ වීමට 1830-80 කාලය තුළ දී ලැබීම නිසා ශිල්පීන්ගේ අධිකාරය තරමක් අඩු වුව ද, පොදු අධ්‍යාපනය සහ කාර්මික අධ්‍යාපනය නොමැති වීම විසින් 20 වැනි සියවසේ මුල් දශක කිහිපය වන තෙක් ම ශිල්පීන්ට නිෂ්පාදනයේ විශාල බලයක් හිමි විය.

එබැවින්, මෙම ශිල්පීන්ගේ වෘත්තීය සමිති සතු කේවෙල් කිරීමේ හැකියාව ඉහළ විය. එමෙන් ම ඔවුහු නුපුහුණු අයට තම වෘත්තීය සමිතිවල සාමාජිකත්වය ලබා නොදුන්හ.

එමඟින් ශිල්පීන් තමා නිෂ්පාදන ක්‍රියාවලිය තුළ දරන සුවිශේෂී ස්ථානය භාවිත කර වැඩි වැටුප්, දීමනා ලබා ගත් අතර ම සෑම විටක ම අනෙකුත් නුපුහුණු හා වෙනත් වෘත්තීය කණ්ඩායම් තමා සමඟ මිත්‍ර වීම, ඔවුන් සමඟ සහෝදරත්වයෙන්, එකට කටයුතු කිරීම මෙම ශිල්පීහු ප්‍රතික්‍ෂේප කළහ.

උදාහරණ ලෙස 1871 පැරිස් කොමියුනයේ ප්‍රධාන ම බලවේගයක් වූයේ ශිල්පීන්ගේ වෘත්තීය සමිති සංවිධානයයි. එහි ප්‍රධානියා වූයේ පෲදොන් ය. පෲදොන් කාන්තාවන්ට තම වෘත්තීය සමිතිය තුළ අවස්ථා ලබා නොදුන්නා පමණක් නොව පැරිස් කොමියුනයේ ද කිසිදු තනතුරකට කාන්තාවන් පත් කිරීමට විරුද්ධ විය. එයට හේතු වූයේ පුහුණු ශිල්පීන්ගේ වෘත්තීය සමිතියක් වූ පෲදොන්ගේ සංගමයට කාන්තාවන් වැනි නුපුහුණු අය එක් වීම මඟින් එම ශිල්පීන්ගේ ආදායම අඩු වනු ඇතැයි යන පදනමය. මෙම තත්ත්වය ක්‍රමානුකූලව ශිල්පී ක්‍රමය අඩු වී යාමෙන් පසුව (i) නිෂ්පාදන ක්‍රියාවලියේ තමා දරන සුවිශේෂී ස්ථානය නිසා දිගුකාලීන පුහුණුවක් අවශ්‍ය වීම (උදාහරණ: වෛද්‍යවරුන්, ගුවන් නියමුවන් වැනි). (ii) නිෂ්පාදන ක්‍රියාවලියේ තීරණාත්මක ස්ථානයක සේවය කරන විදුලි ඉංජිනේරුවන්, දුම්රිය සේවකයන්. (iii) නිෂ්පාදන හෝ සේවා ක්‍රියාවලියේ ඇති සුවිශේෂතා වෘත්තීය නළු නිළියන්ගේ සමිති, වෘත්තීය ක්‍රීඩකයන්ගේ සමිති. (iv) එම නිශ්චිත වර්ගයේ ශ්‍රමිකයන්ගේ හිඟය, ආකර කර්මාන්තය, විශේෂ මෘදුකාංග තාක්‍ෂණවේදීන් (v) පිරිස් බලයේ හැකියාවන්ගෙන් වැඩි වරප්‍රසාද අත් කර ගන්නන්. (vi) සංවිධිත සමාගම් මඟින් ලබා ගැනීමට නොහැකි සේවාවන් හි බිහි වී ඇති ස්වයං රැකියාවල නිරත වන්නන්ගේ සමිති ආදී ගණනාවක් හැඳින්විය හැකිය.

ඉහත විශේෂ තත්ත්වයන් නිසා කම්කරු පන්තියේ ඉහත ආකාරයේ කොටස්වල ද, 19 වැනි සියවසේ ‘ශිල්පීන්’ විසින් පවත්වාගෙන ගිය සුළු ධනේශ්වර, කට්ටිවාදී අනෙකුත් වෘත්තීන් හා ඒවලින් වෙන් වී සිටීම මඟින් තම වරප්‍රසාද දිනාගත හැකිය යන අත්දැකීම් හා විශ්වාසය මත කටයුතු කරන වෘත්තීය සමිති රාශියක් බිහි වී තිබේ. උදාහරණ ලෙස 1. ගුවන් නියමු සංගමය, අන්තර්ජාතික චිත්‍රපට නළු, නිළි සංසදය ආදිය හැඳින්විය හැකිය.

ලංකාවේ ද රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය, විදුලි ඉංජිනේරුවන්ගේ සංගමය, දුම්රිය රියැදුරන්ගේ සංගමය වැනි ඒවා ද බොහෝ අවස්ථාවන් හි දී අනෙකුත් වෘත්තීය සමිති සමඟ ඒකාබද්ධ නොවන, අනෙකුත් වෘත්තීය අරගලවලට සහාය නොදෙන හා සමහර අවස්ථාවල ඒවාට බාධා කරමින්, පාලකයන්ගේ වුවමනා ඉටු කරන වෘත්තීය සමිතිවලට උදාහරණ වේ.

මෙයින් ඉහළ වැටුප් ලබන අනෙකුත් බහුතර ශ්‍රමිකයන්ට වඩා වැඩි පහසුකම් සහිත ජීවිතයක් ගත කරන මෙම ශ්‍රමිකයෝ බොහෝ අවස්ථාවල දී ‘ශ්‍රමකරු රදලයන්ගේ’ භූමිකාව නියෝජනය කරති. එමෙන් ම ඔවුහු කම්කරු පන්ති ස්ථරය තුළ භේද හැකි තරම් උත්සන්න කරන අතර, හාම්පුතුන්ට බෙදා වෙන් කර පාලනය කර ගැනීම සඳහා විශාල ලෙස සහාය වෙති.

(iii) ශ්‍රමකරු රදල වෘත්තීය සමිති නිර්මාණය වීමේ අනෙක් පදනම වන්නේ නිෂ්පාදන ක්‍රියාවලියේ ද්‍රව්‍යමය පදනම නිසා මෙම බලය හොබවන ධනපති පන්තියේ ඇති විශේෂතා මත (ධනපති පන්තිය ද සමජාතීය නැත. මූල්‍ය ධනපති, නිෂ්පාදන ධනපති, කාර්මික ධනපති, කෘෂිකාර්මික ධනපති ආදී වශයෙන් විවිධාකාර ය.) ඒ ඒ කර්මාන්තවලට හෝ සේවාවලට කෙටිකාලීනව දේශපාලන වශයෙන් ලබා ගත හැකි වරප්‍රසාද මඟින් ‘ශ්‍රමකරු රදල’ කම්කරු ස්ථර හා කහ වෘත්තීය සමිති නිර්මාණය කරවීමයි. බලය හොබවන ධනපති පන්තියේ කොටස්වලට තම දේශපාලන බලය ලබා ගැනීමට සුවිශේෂීව දායක වූ කර්මාන්ත හෝ සේවා ක්‍ෂේත්‍රවලට බදු සහන ලබා දීම, බදු කැපීම, විශේෂ ණය පහසුකම් ලබා දීම ආදිය මඟින් (ආණ්ඩුවේ භෞතික සහ මූල්‍ය උපකරණ මඟින්) විශේෂ වරප්‍රසාදිත ශ්‍රමික කණ්ඩායම් නිර්මාණය වේ.

උදාහරණයක් ලෙස මූල්‍ය සමාගම්වලට අධික නිදහසක් ලබා දීම සහ රෙගුලාසිවලින් තොරව කටයුතු කිරීමට ඉඩහැරීම නිසා එක්සත් ජනපදය තුළ අධික වැටුප් ලබන මූල්‍ය කළමනාකරුවන්ගේ ස්ථරයක් නිර්මාණය වීම දැක්විය හැකි ය. මේ ආකාරයට ම මෘදුකාංග සමාගම්වලට වෘත්තීය සමිති අයිතිවාසිකම් රහිතව වැඩ කිරීමටත්, විශේෂ බදු සහන ලබා දීමත් මඟින් මෘදුකාංග සමාගම්වල අධික සූරාකෑමකට ලක්වන වෘත්තීය සමිති අයිතිවාසිකම් අහිමි විශාල කම්කරු ස්ථාරයක්ද (දත්ත ඇතුළු කරන්නන්), අධික වැටුප් ලබන ඉහළ කම්කරු ස්ථරයක්ද ගොඩනඟනු ලැබ තිබේ. මේවා එම වෘත්තියේ ඇති ශ්‍රම හිඟය හෝ දිගු පුහුණු කාලයක් අවශ්‍ය වීම, තීරණාත්මක ස්ථානයක කටයුතු කිරීම, පිරිස් බලයේ විශාලත්වය වැනි සාධක මත ලබා ගත් තත්වයකට වඩා ඒවා ආණ්ඩුවේ දේශපාලන ප්‍රමුඛතා මත, (තම ඡන්ද පදනම, තම ප්‍රාන්තය, විරුද්ධවාදී පක්‍ෂවලට නැඹුරු ප්‍රාන්තවල ස්ථාපිත කර්මාන්ත බිඳවැට්ටවීම,  යම් ජාතික, ආගමික කණ්ඩායමක මත වැඩිපුර පදනම් වී ඇති කර්මාන්ත දිරිගැන්වීම හෝ බිඳවැට්ටවීම), ඇති කරන තාවකාලික ප්‍රවණතා වේ. නමුත්, එමඟින් ද ‘ශ්‍රමකරු රදල’ වෘත්තීය සමිති ව්‍යාපාරවලට සහ මතවාදවලට පදනම සැපැයේ.

– බිමල් රත්නායක

(ලෙෆ්ට් 2021 සැප්/දෙසැම්බර් කලාපයේ වූ ලිපියකි)

කහ වෘත්තීය සමිති සහ කම්කරු රදලයෝ