වැටුප් ශ්‍රමය: කේවල් කිරීමේ සිට විමුක්ති අරගලය වෙතට…

SHARE

මෙම ලිපිය ලියන මොහොත වන විට ගුරු අරගලයට දින හැත්තෑ පහද ගෙවෙමින් තිබේ . එය වර්තමානයේ ඉතාම ජවසම්පන්නව ඉදිරියට ගිය වෘත්තීය අරගලයකි. පාලකයින්ගේ කෙනෙහිලිකම් හා නොසැලකිල්ල මධ්‍යයේ සටන තව තවත් ඇවිලෙමින් තිබේ. අරගලයට බොහෝ හේතු සාධක තිබුනද ප්‍රධාන වන්නේ වැටුප් අරගලයයි. එය කෙළෙස අවසන්වේ දැයි පැවැසිය නොහැකි නමුත් එක් සත්‍යයක් වේ. එනම් මේ ඔවුනගේ අවසන් වෘත්තීය අරගලය නොවන බවයි. ඕනෑම වෘත්තීය අරගලයක පොදු සත්‍යය එයයි. දිනාගැනීමට හිමිකම් බොහෝ ඇත. එහෙත් එහි අවසානයක් නැත. එබැවින් පොදුවේ වෘත්තීය අරගල අත්හල යුතුද? එසේ නොහැකි නම් කළයුත්තේ කුමක්ද යන ප්‍රශ්නය සමස්ත වැටුප් ශ්‍රමික පංතිය හෙවත් කම්කරු පංතිය මුහුණදෙන ගැටලුවයි. එය දේශපාලන ආර්ථික විද්‍යා අර්ථයෙන්ද, සමාජ දේශපාලන අර්ථයෙන්ද යම් පුළුල් විමසා බැලීමක් සිදුකිරීම අපගේ අරමුණයි.

වැටුප් ශ්‍රමයේ තිඹිරිගෙය

කම්කරු අරගලයන් පැන නඟින්නේද කම්කරු ව්‍යාපාරයන් හා කම්කරු සංවිධානයන් බිහිවන්නේද පවතින ධනේශ්වර සමාජ ආර්ථික ක්‍රමය තුළ පමණි. වහල්, වැඩවසම්, ආසියාතික නිෂ්පාදන රටාවන්ට මෙන්ම මිනිසා පසුකළ පළමු සමාජ ක්‍රමය වන ප්‍රාථමික සාමූහික සමාජයට ඒවා අදාළ නැත. කම්කරු පංතිය බිහිවීමේ ඓතිහාසික හා විෂයමූල වටපිටාව පවතින්නේ ධනවාදයේ බිහිවීමත් සමඟය. එබැවින් අප කාරණයට එළැඹිය යුත්තේ ධනපති සමාජ ආර්ථික ක්‍රමය පතුලෙන්ය. ඕනෑම සමාජ ආර්ථික ක්‍රමයක් මෙන්ම ධනවාදයද අවබෝධ කරගත හැක්කේ එහි බාහිර පෙනුම විනිවිද හරය දැක ගැනීමෙනි. මානව ඉතිහාසය බිහි කළ මහා චින්තකයින් දෙදෙනකු වන මාක්ස් හා එංගල්ස් දෙදෙනා විසින් දේශපාලන ආර්ථික විද්‍යාව තුළ එය මනාව සිදු කර තිබේ. මාක්ස් ලෙනින්වාදි දේශපාලන ආර්ථික විද්‍යා සාහිත්‍ය තුළින් ධනවාදයේ හරය “වැටුප් ශ්‍රමය සූරාකෑම තුළින් අතිරික්ත වටිනාකම් ඒකරාශි කිරීම” බව සක්සුදක් සේ පැහැදිලි කොට තිබේ. ධනවාදි ආර්ථික නියමය එයයි. මුලුමහත් ධනේශ්වර ආර්ථික ක්‍රමය ගොඩනැගී තිබෙන්නේ එම අරමුණ උදෙසාය. ඓතිහාසිකව මිනිස් ශ්‍රමය සූරාකෑමේ විවිධ ආකාරයන් අත්හදා බැලූ පංති සහිත සමාජය එහි අවසාන ආකාරය ලෙස සොයා ගනු ලැබුවේ වැටුප් ශ්‍රමය සූරාකෑමයි. වහල් ශ්‍රමය සූරාකෑම, ප්‍රවේණිදාස ශ්‍රමය සූරාකෑම තරම් පෙනුමෙන් බියකරු නොවන වැටුප් ශ්‍රම සූරාකෑම හරයෙන් අතිශය ක්‍රෑර අසීමාන්තික ක්‍රියාවලියකි. වැඩවසම් සමාජ ආර්ථිකය තුළ ධනවාදී සමාජ දේහයේ කළලය වර්ධනය වන්නේ වෙළඳ භාණ්ඩ හුවමාරුව ලෙසින්ය. එනම් ධනේශ්වර වෙළඳාම විසින් සොයාගන්නා වෙළඳ භාණ්ඩයේ හාස්කම වන්නේ අතිරික්ත වටිනාකම් පැටව් ගැසීමේ හැකියාවයි. නමුත් වෙළඳ ක්‍රියාවලිය තුළින් ප්‍රකාශිත මෙය සැබවින්ම බිහිවන්නේ ශ්‍රම වෙළඳාම ආශ්‍රයෙන් නිෂ්පාදන අවස්ථාවේදී බව සොයාගැනීම මාක්ස්වාදයේ දැවැන්ත ජයග්‍රහණයකි. ධනපතියා විසින් ශ්‍රම ශක්තිය නම් අපූරු වෙළඳ භාණ්ඩය සොයාගැනීම අතිරික්ත වටිනාකම හෙවත් (සරල අසම්පූර්ණ අර්ථයෙන් පවසන) ලාභය පසුපස දිවීමේ උන්මාදයේ උල්පතයි. අන් ඕනෑම හුවමාරු (වෙළඳ) භාණ්ඩයක් එය පරිභෝජනයෙන් (ප්‍රයෝජනයට ගැනීමෙන්) ක්ෂයවී එය අප්‍රයෝජනවත්  වේ. එහෙත් ශ්‍රම ශක්තිය හෙවත් වැඩ කිරීමේ හැකියාව යන්න ධනපති කර්මාන්ත ශාලාව තුළ කෙතෙක් පරිභෝජනය (යෙදවුවද) කළද එය එහි වැඩ කිරීමේ හැකියාවෙන් ක්ෂය වන්නේ මෙතෙක් නොතිබුනු අතිරික්ත වටිනාකම් එහි හිමිකරුට උපයාදෙමින්ය. එමෙන්ම ශ්‍රමිකයාට සාපේක්ෂව ශ්‍රමශක්තිය හෙවත් වැඩකිරීමේ හැකියාව දෛනිකව ක්ෂය වුවද එය යළි පේශි හා ස්නායු සෛල පෝෂණයෙන් හා එහි විවේකයෙන් ප්‍රකෘතිමත් කළ හැකිය. වැටුප් ශ්‍රමය උපදින්නේ මෙම සමස්ත ක්‍රියාවලියෙන්ය. වැටුප් ශ්‍රමය යනු තම ශ්‍රම ශක්තිය ශ්‍රමිකයා විසින් ප්‍රාග්ධන හිමියාට වැටුපකට අලෙවි කිරීමයි. වැටුප් ශ්‍රමයට මුවාවී ධනපතියා මිල නොගෙවූ ශ්‍රමයක් සූරාකනු ලබයි. ධනපති  ප්‍රාග්ධනය හා මානව ශ්‍රමය ලෙස වන සමාජ සම්බන්ධතාවය ගොඩනැගෙන්නේ එලෙසින්ය.

එතැන් සිට ධනවාදය තුළ වහලකු මෙන් යදමින් නොබැඳි, ප්‍රවේණිදාසයා මෙන් ඉඩමෙන් බැඳගත් ශ්‍රමිකයා වෙනුවට ධනපතියාගෙන් පවා නිදහස් මිනිසකු බිහිවේ. ප්‍රශ්නය පැන නගින්නේ සියලු නිෂ්පාදන මාධ්‍යයන් අහිමි කළ නිදහස් මිනිසා තම පැවැත්ම උදෙසා ධනපතියාට තමන් සතු එකම හුවමාරු වටිනාකම වන ශ්‍රම ශක්තිය අළෙවි කළ යුතු වීම තුළය. එහි හිලව්වට වැටුපක් ගත යුතු වීමය. මේ අදෘෂ්‍යමාන බන්ධනය වහලා, ප්‍රවේණිදාසයා අත්දුටු බියකරු යථාර්ථයට වඩා බියකරුය. ශ්‍රමය පමණක් හිමිතැනැත්තාට එය විකිණීම අනිවාර්යයකි. එසේ නොවන්නේ නම් ඔහු කුසගින්නෙන් මිය යනු ඇති. ශ්‍රමය මිලදී ගන්නා ධනපතියා වන ප්‍රාග්ධන හිමියාට අසීමාන්තිකව අවශ්‍ය වන්නේ ශ්‍රම මෙහෙයුමයි. (ප්‍රාග්ධනය බිහිවන්නේ අතිරික්ත වටිනාකම් ඒකරාශි වීමෙනි. ආරම්භයේදී ඔවුහු මේ මහා ප්‍රාග්ධන බලය අත්පත් කොට ගන්නේ ධනවාදයේ මහා කොල්ලයන් හරහාය.) මෙයට එරෙහිව ශ්‍රමිකයාට අවශ්‍ය වන්නේ ශ්‍රමයේ වටිනාකම ඉහළ දමාගැනීම සහ ශ්‍රම සූරාකෑමේ පීඩනය සහ දුෂ්කරතාවය අවම කරගැනීමයි. ධනපති ක්‍රමය හා වැටුප් ශ්‍රමිකයින් අතර කේවල් කිරීම ඇතිවන්නේ එතනින්ය. භාණ්ඩ නිෂ්පාදනයේදී වේවා සේවා සැපයීමේදී වේවා ධනපති පංතිය සහ ශ්‍රමිකයා අතර මෙම කේවල් කිරීම පවතී.

“ඔහුත් මුදල් හිමියාත් වෙළඳපොළෙහි දී හමු වෙත්. සම අයිතීන් පදනම් කොට එකිනෙකා සමඟ ගනුදෙනු කරත්. ඇත්තේ එක් වෙනසක් පමණකි. එනම්, එකෙකු ගැනුම් කරුවකු වන අතර අනෙකා අලෙවිකරුවකු වීමය. එබැවින් දෙදෙනාම නීතිය ඉදිරියේ සමානය. ශ්‍රම ශක්තියේ හිමිකරු එය නිශ්චිත කාල පරිච්ඡේදයකට පමණක් අලෙවි කළ යුතු යැයි මෙම සම්බන්ධතාවයෙහි සන්තතිය මගින් ඉල්ලා සිටිනු ලැබේ. මන්ද යත් ඔහු එය ගෙඩිය පිටින් සදහටම අලෙවි කළේ නම් ඔහු තමාම අලෙවි කොට නිදහස් මිනිසකු සේ සිට වහලෙකු බවට, හුවමාරු භාණ්ඩ හිමිකරුවෙකුගේ සිට හුවමාරු භාණ්ඩයක් බවට තමා විලෝමනය කර ගනු ඇති බැවිනි. ඔහු නියතව තමන්ගේම දේපොළ ලෙස, තමන්ගේම හුවමාරු භාණ්ඩය ලෙස තම ශ්‍රම ශක්තිය දෙස බැලිය යුතුය. ඔහුට මෙය කළ හැකි වන්නේ තාවකාලිකව, නිශ්චිත කාල පරිච්ඡේදයක් සඳහා ගැනුම්කරුගේ අභිමතය පරිදි එය වැය කිරීමට ඉඩ දීමෙනි. එහි හිමිකමට තමන් සතු අයිතිය අත්හැරීම ඔහුට මඟ හැරිය හැකි වන්නේ මෙම මාර්ගයෙන් පමණකි.”

මාක්ස් – ප්‍රාග්ධනය 1 වෙළුම 5 පරිච්ඡේදය

සමාජ ඓතිහාසික ඉදිකිරීමක් ලෙස වෘත්තීය සමිති

17 වන සියවසේ පටන්ම ධනවාදී නිෂ්පාදනයත් වැටුප් ශ්‍රමිකයාත් අතර විවිධාකාර ගැටුම් නිර්මාණය විය. එහිදී ධනපති ක්‍රමයේ සීමාව තුළ සොයාගත් වැටුප් කේවල් කිරීමේ උපකරණය වෘත්තීය සමිතියයි. එය හුදකලා සමාජ නිමවුමක් නොව ඓතිහාසික වර්ධනයක ප්‍රතිඵලයයි. එය සුවිශේෂි සමාජ ස්වරූපයකි. වෘත්තීය සමිති උපත ලත් භූමිය ලෙස සැලකෙන්නේ එංගලන්තයයි. පෙඞ්රික් එංගල්ස්ගේ

“එංගලන්තයේ කම්කරු පංතියේ තත්වය” කෘතිය මඟින් සහ එහි සංස්කරණයන් හා හැඳින්වීම තුළින්ද එහි බිහිවීම පෙන්වාදී තිබේ. ධනවාදයට එරෙහි පීඩිත පංතියේ විරෝධය මුලින්ම ප්‍රකාශයට පත්වූයේ පුද්ගල අපරාධයන් ලෙසය. එහිදී ධනපති දේපළ වලට එරෙහිව විරෝධය සාමාන්‍ය සමාජයේ මිනීමැරුම්, සොරකම් කිරීම් දෙසට යොමු විය. එහෙත් එය ආවේගයන් ප්‍රකාශ කිරීමක් මිස අරගලයක් නොවේ. සමාජයෙන්ම එයට එල්ල වූයේ දැඩි විරෝධයකි. 1832 පමණ කම්කරු පංතියේ මහා විප්ලවීය දේශපාලන ව්‍යාපාරය ලෙස චාටිස්ට්වාදි ව්‍යාපාරය ආරම්භ විය. එංගලන්තයේ චාටිස්ට්වාදි ව්‍යාපාර යනු ප්‍රංශ විප්ලවයෙන් පසු කම්කරුවන් තුළ ජනිත කළ බුද්ධිමය, දේශපාලනික මුහුකුරායෑම ප්‍රකාශවීමකි. සැබවින්ම චාටිස්ට්වාදය එවකට එය ව්‍යවස්ථානු කූල සංශෝධනයන් හා නිදහස් වෙළඳාමේ උවමනාව වෙනුවෙන් පෙනී සිටින්නට විය. කම්කරු පංතිය එහි බලවේගය බවට පත්කර ගත්තද එය එංගලන්ත කම්කරු පංතිය ලිබරල් ධනපති පක්ෂයක එල්ලන ලදී. 1848 කම්කරු ව්‍යාපාරයන් බිහිවීමත් සමඟ චාටිස්ට්වාදි ව්‍යාපාරය අහෝසි වෙමින් පැවතුනි.

වෘත්තීය සමිතිවාදය බිහිවන්නේද එංගලන්තයේය. එහි වර්ධනීයම කාල පරිච්ඡේදය සටහන් කළේ 1880 – 1890 බර්න්ටයින් එහි පදිංචිව සිටි සමයේය. ඔහු වෘත්තීය සමිති තුළ ආර්ථික අරගලයන් හරහා සමාජය ක්‍රමික පරිවර්තනයකට ගෙන ගිය හැකි විභවයක් සහිත බව ප්‍රකාශ කළේය. 1848, 1849  වකවානුව වන විට චාටිස්ට්වාදි ව්‍යාපාරය දුබල වන්නට විය. වෘත්තීය සමිති බිහිවීමත් සමඟ නව කම්කරු නායකයින් පිරිසක් බිහිවිය. ඔවුන් මධ්‍යම පන්තික, පංතිසහයෝගීතාවය පිළිගත් පිරිසක් විය. මෙම වෘත්තීය සමිති නායකත්වය පසුව ප්‍රභූතන්ත්‍රයක් බවට පත්විය. මෙම වෘත්තීය සමිතිවාදය ඇමරිකාව, ජර්මනිය ආදි වශයෙන් ප්‍රධාන ධනපති රටවල ව්‍යාප්ත විය.

වෘත්තීය සමිතිවාදයේ නැඟීම අවධියේ මාක්ස්, එංගල්ස් දෙදෙනාම පිටුවහලුන් ලෙසින් එංගලන්තයේ ජීවත් විය. වැටුප් පහළ දැමීමට ප්‍රතිචාරයක් ලෙස වෘත්තීය සමිති වල විෂය මූලික අදාළත්වය එංගලන්තයට පැමිණීමට පෙර සිටම ඔවුන් දෙදෙනා අවබෝධ කොට ගෙන තිබුණි. 1866 මාක්ස් සංවිධානය වීමේ මධ්‍යථානයක් ලෙස වෘත්තීය සමිති කම්කරු පන්තිය උදෙසා ඉටු කළේ මධ්‍යකාලීන නාගරිකයින් “කොමියුන” තුළ ඉටුකළ සංවිධානයවීමේ කාර්යය බව දුටුවේය. එබැවින් වෘත්තීය සමිති තුළ සමාජවාදී නැඹුරුවක් ඇති කිරීමට උත්සාහ කළේය. 1870 ගණන් වන විට මාක්ස් වෘත්තීය සමිති කෙරෙහි විවේචනාත්මකව දකින්නට විය. වැටුප් වහලුන් තෘප්තිමත් වැටුප් වහලුන් බවට පත්කිරීම වෘත්තීය සමිති කාර්යභාරය වී තිබෙන බව මාක්ස් එංගල්ස් දෙදෙන දුටුහ. නිර්ධන පංති ව්‍යාපාරයක් තවදුරටත් තේරුම් ගත යුතු වෘත්තීය සමිතිවාදයේ අනතුරක්වේ. එනම් ස්වයං සිද්ධ අරගලයන් එහි උත්සන්න වීමත් සමඟ එය විප්ලවීය තත්වයක ප්‍රකාශනයක් නොවන තත්වයකදී නිර්ධන පංතිය එහි ගැලවිය නොහැකි සේ අත්බැඳුනු තත්වයට පත්වීම විසින් පංති අරගලය වෘත්තීය සමිති බැරියරයක සිරවිය හැකිබවය.

ශ්‍රමශක්තිය කේවල් කිරීමේ පරිධිය

වැටුප් ශ්‍රමය හා බැඳුනු වෘත්තීය ඉල්ලීම් සියල්ල අවසන් වන්නේ ධනපතියාගේ කැමැත්තේ සීමාවෙනි. කේවල් කිරීමක් යනු දෙපසටම සාධාරණ සීමා තබාගනිමින් නීතිය තුළ කරනු ලබන මිල ඉහළ දමාගැනීමක් හෝ පහල දමාගැනීමක් පිණිස කරනු ලබන ඉල්ලීම් හා ප්‍රතික්ෂේප කිරීම්ය. ධනපතියාට නම් තම ලාභ පංගුව රැක ගනිමින් අවම ලෙස වැටුප් වැඩි කිරීම එහි අසීරුම නිර්ණායකය වේ. ඔහුට වැටුප් ශ්‍රමය අවශ්‍ය බැවින් යම්තාක් දුරකට නම්‍යශීලි බවක් දක්වයි. එහෙත් ඔහු තම ලාභ පංගුව අහිමි කරගනිමින් ශ්‍රමිකයා වෙනුවෙන් අසීමාන්තිකව කාරුණික වන්නේ නැත. කම්කරුවා හෙවත් වැටුපට ශ්‍රම ශක්තිය විකුණන්නා තම වැටුප් වැඩිකිරීමේ සීමාව තම මුලු මහත් ශ්‍රමයේ අයිතිය දක්වා ඉල්ලා නොසිටී. එසේ ඉල්ලන්නේ නම් ධනපතියාට තම කර්මාන්තශාලා, වැඩබිම්, ගබඩා, යන්ත්‍රෝපකරණ හැර ලාභය යැයි කිසිවක් ඉතිරි නොවනු ඇත. එනිසා කම්කරුවා පුරුද්දෙන්ම තම ජීවන වියදම නැමති ධනපති ක්‍රමය විසින් සීමාකළ වැටුප් මිල කේන්ද්‍රය වටේ කැරකවීමට සිදුවේ. ඔහුට තම ශ්‍රමය විකුණන කර්මාන්තශාලාව හෝ ව්‍යවසාය මුලුමනින් වසා ගත නොහැකිය. ඔහු තවදුරටත් ශ්‍රමය විකුණන්නකු ලෙස ධනපතියා වෙත යායුතුය. කම්කරු නීති, අණ පනත් සකස් වන්නේ මේ දෙපාර්ශ්වයම

බේරාගනිමින්ය. එනිසා වැටුප් අරගලය වෘත්තීය සමිති සීමාව තුළ ධනපතියා හා කම්කරුවා සමඟ වන ගිවිසුම් රැකීම සහ ඒවා නවීකරණය කරගන්නා අරගලයකි. මෑත කාලීන වතු කම්කරුවන්ගේ රුපියල් දාහේ දෛනික වැටුප් වැඩිවීමක් ඉල්ලා කළ අරගලය හොඳම උදාහරණයකි. මෙය ගිවිසුම් අලුත් වැඩියා කිරීමේ කේවල් කිරීමක් මිස ඉතා දුෂ්කර කොන්දේසි යටතේ වන වතු කම්කරුවාගේ ජීවිතයේ සැබෑ පංති පීඩනය මුදවාලන්නක් නොවේ. වෘත්තීය අරගලයේ ස්වභාවය ධනපති රාජ්‍යයේ මර්දනයේ ස්වභාවය විසින් ප්‍රචණ්ඩකාරි ලෙස උත්සන්න වුවද එය වෙනත් තත්වයන් තුළ සාමකාමී විරෝධයන් වුවද අරගලයේ ඉල්ලීම් හා උත්සන්න වීම ධනේශ්වර සීමාවේ පරිධිය තුළම කොටුවේ.

ඒ අනුව මාක්ස්වාදී විග්‍රහය තුළ වෘත්තීය සමිතිවාදය සුවිශේෂි සමාජ ස්වරූපයක් ලෙස එහි පහත  ලක්ෂණයන් අඩංගු කොට පවතින බව දැකිය හැකිය.

1. වෘත්තීය සමිතිවාදයේ මූලයන් ධනේශ්වර ආර්ථික දේහය තුළ පවතී.

2. පංති අරගලය සහ වෘත්තීය සමිතිවාදය අතර පැහැදිලි වෙනස්කම් තිබේ.

3. ප්‍රාග්ධන හිමියන් හා වැටුප් ශ්‍රමිකයින් අතර වන ද්‍රව්‍යමය අවශ්‍යතාවයන්ගේ වෙනසක් හා ගැටුමක් වන බැවින් වෘත්තීය සමිති කම්කරු පංති හැඩයක් ගනී.

4. ඉතිහාසය තුළ වෘත්තීය සමිතිවාදය සිදු කොට තිබෙන්නේ පංති අරගලය වෘත්තීය අරගලවලින් යටපත් කිරීමය.

3. ඒ අනුව වෘත්තීය සමිති භාවිතාව හා එහි වර්ධනයන් සමාජවාදය දෙසට ප්‍රතිපක්ෂව සිදුවේ.

මාක්ස්වාදී දැක්මට අනුව වෘත්තීය සමිති වල ප්‍රායෝගික භාවිතය පහත ලක්ෂණ අත්පත් කොට ගෙන තිබේ.

1. වෘත්තීය අරගල එහි හැකියාව අතිශෝක්තියට නංවයි.

2. එහි අරගලය, අර්බුදයේ හේතුවට එරෙහිව නොව ඵලයට එරෙහිව පමණි.

3. එය විසින් ධනේශ්වර අර්බුදයේ ප්‍රකාශවීම අවම කරමින් සිටී. එයින් ධනවාදයේ කඩා වැටීම වසන් කරයි.

4. සැබවින්ම වැටුප් ශ්‍රමය මුහුණ දෙන සැබෑ අර්බුදයට නිසි පිළිතුර වෙනුවට තාවකාලික පැලැස්තර දමමින් සිටී. (ප්‍රතිකාර වෙනුවට වේදනා නාශක සපයයි.)

වෘත්තීය සමිති තුළ පවතින්නේ නිශ්චිත නිෂ්පාදන සබඳතා තුළ (ශ්‍රමය මිල දී ගන්නා සහ විකුණන්නා අතර) මුල් බැසගත් සහ පංති තුළ සංවිධිත කම්කරුවන් අතර ඓතිහාසිකව විකාශනය වූ සම්බන්ධතාවයකි. වෘත්තීය සමිති වල කම්කරු පෙනුම එහි හරයේ ප්‍රකාශනයක් මිස මුලු මහත් හරය ප්‍රකාශවීමක් නොවේ. එනිසා සදාකාලිකවම කම්කරු පංතිය සූරාකෑම ආරක්ෂා කරමින්,

පිළිගනිමින් වැටුප් වැඩිවීම්, දීමනා සහ පහසුකම් වෙනුවෙන් පමණක් වන අරගලයකට කොටුවීම හැර වෘත්තීය සමිති වල බිහිවීමේ හා භාවිතයේ ඓතිහාසික හා විෂයමූල තත්වයන් විසින් වෙන යායුතු දිසානතියක් පෙන්නුම් නොකරයි. වැටුප් ශ්‍රමයේ හිමිකම උදෙසා අරගලයේ සීමාවන්ගේ පරිධිය බිඳ දැමිය හැක්කේ වෘත්ත්ීය සමිති අර්ථයෙන් එම සංවිධානයන්ගේ භාවිතය වෙනස් කිරීමෙන්ය. අරමුණ වෙනස් කිරීමෙන්ය. එයට සාපේක්ෂව සංවිධාන ගුණයන් වෙනස් කිරීමෙන්ය. මේවා පැරිස් කොමියුනයේ දිශාවට හෝ සෝවියට් සභා ආකාරයට පත් කළ නොහැකි ගතිකත්වය හිමිකරගත් සංවිධානයන්ය. පෝලන්තයේ සොලිඩරිටි සංවිධානය (දැවැන්ත වෘත්තීය සමිතියකි.) එහි අවසන් භාවිතය සමාජවාදය ආරක්ෂා කිරීම නොව එය බිඳ දැමීම බවට පත්වූයේ අහඹු ලෙස නොව වෘත්තීය සමිතිවාදී ගුණය එලෙසම එහි පැවැති බැවිනි.

මානව ශ්‍රම විමුක්තියේ මාවත

පවතින සමාජය තුළ වන වැටුප් ශ්‍රමිකයාගේ අර්බුදය නිමාකළ හැක්කේ වැටුප් ශ්‍රමය අහෝසි කිරීමෙන් පමණි. එය සමාජ සංවර්ධනයේ තීරණාත්මක ලක්ෂ්‍යය වේ. එය ශ්‍රම විමුක්තියෙන් අවසන්වේ. ධනවාදි ප්‍රාග්ධන ආධිපත්‍ය අහෝසි වන්නේද එහි ප්‍රතිපක්ෂය ලෙසය. එවිට මානව ශ්‍රමය නිදහස් එකකි. ශ්‍රමය නිදහස් කිරීම සඳහා ධනවාදී නිෂ්පාදනයේ සිට කොමියුනිස්ට්වාදී නිෂ්පාදනය දක්වා සංක්‍රමණීය මාවතක් තිබීම ස්වභාවිකය. ධනවාදය බිඳදැමීමෙන් පසු එළැඹෙන සමාජවාදී සමාජ ආර්ථිකය සංක්‍රමණීය එකකි. එනම් ක්‍රමික පරිවර්තනයකි. එහිදී ධනවාදී වැටුප් ශ්‍රමය සමාජවාදී ස්වරූපය ආරෝපනය කරගනී. එවිට ඔහු වැඩ කරන්නේ ධනපති

ප්‍රාග්ධනයේ වර්ධනය උදෙසා නොව සමාජ අතිරික්තයේ වර්ධනය උදෙසාය. එය සමාජ සන්තකවීම හරහා තම ශ්‍රමයේ ඵලදාව තමන් අයත් සමාජය සන්තක වේ. දැන් ඔහුගේ පාලකයා තමන්ම මිස ප්‍රාග්ධන හිමියකු නොවේ. නිෂ්පාදකයින් විසින්ම සාමූහික ශ්‍රම සංවිධානය, සැලසුම් කිරීම හා සාමූහික මෙහෙයුම් හරහා සමාජ ධනය නිපදවයි. මෙම සමාජ ආර්ථික ක්‍රියාවලිය තුළ ඔහු වැටුප් ශ්‍රමිකයෙකු නොව සමාජ අතිරික්තයේ හවුල් කරුවෙකි. ඔහුට ජීවත් වීම උදෙසා හිමිවන්නේ සමාජ අතිරික්තයේ ඔහුට හිමි සමානාත්මතා පදනම මත වන සමාජමය පංගුවයි. එනිසා ධනපති ක්‍රමය තුළ වැටුප් ශ්‍රමිකයා ලෙස ඔහුට අහිමිවූ සමස්ත ශ්‍රමයේ වටිනාකම සමාජයක් ලෙස පරිහරණය කිරීමට අයිතිය ලැබේ. දැන් කේවල් කරන්නේ නම් කේවල් කළ හැක්කේ තමන් සමඟම පමණි. එසේ වන්නේ ඔහු සමාජ නිෂ්පාදන මාධ්‍ය වල සමහිමිකරුවා මෙන්ම සමාජ අතිරික්තයේද සමහිමිකරුවා බැවිනි. ඔහුගේ ජීවන තත්වය සීමාකරණ අධිපතියකු නැත. එබැවින් තම ශ්‍රමය සම්බන්ධයෙන් සමාජ නිෂ්පාදනයට වගකියන්නකු මිස ඔහු ශ්‍රමය සම්බන්ධයෙන් නිදහස් මිනිසෙකි. සමාජවාදී සංක්‍රමණීය අවධියේ තාක්ෂණික උවමනාව මත යම් රට තුළ සිදුවන විදේශ ආයෝජනයකදී වුවද වැටුප් ශ්‍රමිකයාට අරගලයක් අවශ්‍ය නොවේ. ඔහු වෙනුවෙන් එම අරගලය කරන්නේ සමාජවාදී රාජ්‍ය මගින් වීමයි. එවැනි ආයෝජනයන්හිදී එයට අදාළ කොන්දේසි වලට එකඟ වන්නේ සමාජවාදී රාජ්‍යයයි. එහි කළමනාකරණයේදීද සමාජවාදි කම්කරුවන්ගේ නියෝජනයක් ගිවිසුම් මඟින්ම සම්බන්ධ කළ හැකිය. මානව සමාජය අවසානයේ එළැඹෙන්නේ කොමියුනිස්ට් සමාජයේ දී මුලු මනින්ම නිදහස් ශ්‍රමය වෙතට යාමයි. දැන් ප්‍රශ්නය වන්නේ වෘත්තීය සමිති සමාජවාදයට එරෙහිව තත්වයෙන් පංති අහෝසි කිරීම දෙසට යොදවා ගත හැකිද නැද්ද යන්නය.

නිර්ධන පංතිය, ධනපති පංතියට එරෙහිව කරනු ලබන අරගලයේ ආකාර තුනකි. ඒ මතවාදි, ආර්ථික හා දේශපාලන වශයෙන්ය. වෘත්තීය අරගලයන්ද ආර්ථික අරගලයේ ප්‍රකාශවීමකි. දේශපාලන අරගලයේදී හුදු වෘත්තීය අරගලය පමණක් ඉලක්ක කළ වෘත්තීය සමිති කාර්ය භාරය අවසන්වේ. එබැවින් වෘත්තීය සමිති කම්කරු පංති දේශපාලන ව්‍යාපාරයක නායකත්වය යටතට පත් කළ යුතුය. එවිට එය දේශපාලන අරගලයටද දායක වනු ඇත.

“ආර්ථික අරගලය යනු, කම්කරුවන් ඔවුන්ගේ ශ්‍රම ශක්තිය අළෙවි කිරීමේදී, වඩාත් හොඳ මිලක් ලබා ගැනීමටත්,වඩාත් හොඳ ජීවන සහ සේවා තත්වයන් ලබා ගැනීමටත්, ස්වාමිවරුන්ට එරෙහිව කරන සාමූහික අරගලයයි. මෙය අවශ්‍යයෙන්ම වෘත්තීය සමිති අරගලයකි.”

ලෙනින්, තෝරාගත් කෘති සිංහල “කළ යුත්තේ කුමක්ද” පිටුව 177

වෘත්තීය සමිතිවාදී ව්‍යාපාර සහ කම්කරු පංතික ව්‍යාපාර

ඉහත කාරණයේදී වෘත්තීය සමිති ඉක්මවන පංති අර්ථයෙන් වන කම්කරු ව්‍යාපාරයක් කම්කරුවන්ට අවශ්‍යයි. මාක්ස් එංගල්ස් දෙදෙනා මුලදී වෘත්තීය සමිති කම්කරුවන්, සංවිධානය කරන ආයතන බවට පත්කරගන්නට විශ්වාස කළද පසුව එහි සීමාව වටහා ගත්තේය. එනිසා ඔවුනට වෘත්තීය සමිති සම්බන්ධ විවේචනයක් වූ අතර පසුව උත්සාහගත්තේ ඒවා කම්කරු ව්‍යාපාරයේ උපාංගයන් බවට පත්කරගැනීමටය. පළමුව කම්කරුවා

එක්රැස්වන ධනපති සීමාවේ ආයතනයක් වුවද එහි වැදගත්කම වටහා ගත යුතුය.  ධනපතියා විසින්ම මහා කර්මාන්තය තුළ කැටිකොට දෙන කම්කරු පංතිය දැවැන්ත කම්කරු පංති ව්‍යාපාරයක් වෙතට කැඳවන පාලමක් බවට වෘත්තීය සමිති පත්කොට ගත හැකිද? යම් එවන් හැකියාවක් හෝ ගිලිහී යා නොදී එක්රැස් කරතබා ගැනීමේ හැකියාවක් වේ නම් එය පංති අර්ථයෙන් ගන්නේ කෙසේද? එය අතිශෝක්තියෙන් ගෙන දෑස් නිලංකාර කරගැනීමෙන් විය හැකි මංමුළාව කුමක්ද? මේවා සැලකීම කම්කරු ව්‍යාපාරයේ කාර්යභාරයකි. කෙසේ වුවද වෘත්තීය සමිති වෘත්තීය අරගල සීමාවෙන් කම්කරු සටන් පෙරමුණු දිසාවට විස්ථාපනය කළ යුතුය යන්න අවිවාදිතය. එහි වෘත්තීය සමිති ආකෘතිය බිඳ කම්කරු අරගල ආකෘතියකට ප්‍රවේශ විය යුතුය. වෘත්තීය අරගලයේ අරමුණු කම්කරු පංතියේ අරමුණු දක්වා දිගු කළ යුතුය. ඓතිහාසික වශයෙන් බිහිවු මෙම ධනපති සංවිධානය එලෙසින්ම පංති අරමුණට භාවිතා කළ නොහැකිය. වැටුප් අරගලයන්, සුභසාධනයන් එහි පැවැත්මේ සාධක නමුදු පංති විඥානය හරහා කම්කරු නායකයින් ක්‍රියාධරයින් හුරුපුරුදු කරන සහ පංතියේ පෙරමුණු බලඇණිය ලෙස එය සංවිධානය කරන කම්කරු ව්‍යාපාරයකට එය සම්බන්ධ කළයුතුය. වෘත්තීය සමිති එහි කේවල් කිරීමේ කාර්යයෙන් ඔබ්බට විමුක්ති ව්‍යාපාරයක කොටසක් බවට පත් කළ යුතුය. ඒ ඒවා තවමත් කම්කරුවන්

එක්රැස් කරන සංවිධානයන් නිසාවෙන්ය. මානව සමාජයේ විමුක්තිය උදෙසා නියමු කාර්යය භාරය ඉටු කරනු ලබන දේශපාලන සංවිධානයක මඟපෙන්වීමකින් තොරව කම්කරු ව්‍යාපාරයකට තනිව තම දෘෂ්ටිය සකස්කර ගැනීමට නොහැක. එපමණක් නොව කම්කරු පංතියට තම විමුක්ති අරගලයේදී ගොවි ජනතාව ඇතුළු පීඩිත බලවේගයන් මිතුරු ලෙස සමීප කරගන්නටද පක්ෂයක අවශ්‍යතාවය වැදගත්ය. තත්වයන් අවබෝධ කරගනිමින් එළැඹෙන අරගලයන් පංති අරගලය උරගා බලන බිම් බවට පත්කොට ගන්නටත් ඒ සඳහා වන ධෛර්යය සකස් කරගන්නටත් කම්කරු පංතියට තනිව නොහැක. එමෙන්ම බලය සඳහා කාර්යයේදී තත්වයන් වටහා ගන්නටත්, එම තත්වයන් තුළ බලය සඳහා වන තම උපායන් සහ උපක්‍රමයන් සාමාන්‍යකරණය කරගන්නටත් නිර්ධන පංතික දේශපාලන සංවිධානයක මඟපෙන්වීම අවැසිය. ඉන් නොනැවතී අවසන වැටුප් ශ්‍රමය ප්‍රාග්ධන බලයෙන් මුදවා ගනිමින් නව සමාජ ආර්ථික රටාව ගොඩනඟන්නට මඟපෙන්වීම සඳහා පක්ෂයක් අවශ්‍යය. කම්කරු ව්‍යාපාරයක් කේවල් කිරීමේ සීමාවෙන් ඔබ්බට යමින් එහෙත් ජාතික සම්පත්

සුරැකීම, ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීම, අයිතීන් දිනීම ආදි ජාතික සීමාවේ සටන් කරයි. එයට එවන් හැකියාවක් අත්පත් වන්නේ වෘත්තීය සමිති බිහිවන්නේම ධනවාදය බිහිවූ ජාතික රාජ්‍ය යන්න සීමා කොට ගෙන බැවිනි. නමුත් මේ සියල්ල මෙහෙය වන නිර්ධන පංති ව්‍යාපාරය යනු ප්‍රාග්ධනයේ ජාත්‍යන්තර සීමාව දක්වාම තම අරගලය දිගු කළ සැබෑ නියමුවාය. පංති අහෝසි කිරීමේ නියමුවාය.

“වෘත්තීය සමිති මුලින්ම පැන නැගුනේ අවම වශයෙන් වහලුන්ගේ තත්වයට වඩා ඉහළ නැංවිය හැකි කොන්ත්‍රාත් කොන්දේසි ජය ගැනීම සඳහා එම තරගය ඉවත් කිරීමට හෝ අවම වශයෙන් පරික්ෂා කිරීමට වැඩකරුවන්ගේ ස්වයංසිද්ධ උත්සාහය-න්ගෙනි. එබැවින් වෘත්තීය සමිති වල ක්ෂණික කාරණය වූයේ එදිනෙදා අවශ්‍යතාවයන්ට සීමා නොවී, ප්‍රාග්ධනයේ නොනවතින ආක්‍රමණයන්ට බාධා කිරීම සඳහා වූ එක වචනයකින් පවසන්නේ නම් වැටුප් සහ ශ්‍රමය පිළිබඳ ප්‍රශ්නවලට සීමාවීමය. වෘත්තීය සමිති වල මෙම ක්‍රියාකාරිත්වය නීති්‍යානුකූල අවශ්‍යතාවයක් පමණකි.”

“ප්‍රාග්ධනය සමඟ ජාතික සහ ක්ෂණික අරගලයන්ට පමණක් සීමා නොවී, වැටුප් වහල් ක්‍රමයට එරෙහිව ක්‍රියා කිරීමේ බලය වෘත්තීය සමිති විසින් තවමත් සම්පූර්ණයෙන් අවබෝධ කරගෙන නැත. එබැවින් ඔවුන් බොහෝ සමාජ හා දේශපාලන ව්‍යාපාර වලින් බොහෝ දුරස්ව සිටියහ. කෙසේ වෙතත්, පමාවී හෝ පෙනෙන පරිදි ඔවුන්ගේ මහා ඓතිහාසික මෙහෙවර පිළිබඳ යම් හැඟීමක් අවදිවූ බවක් දක්නට තිබේ. ”

“ඔවුන්ගේ මූලික අරමුණු හැර, විමුක්තියේ පුළුල් උවමනාව මත කම්කරු පංතියේ සංවිධාන මධ්‍යස්ථානය ලෙස සවිඤ්ඤාණිකව ක්‍රියාකිරීමට ඔවුන් දැන් ඉගෙන ගත යුතුය. ඒ දිශාවට යොමුවන සෑම සමාජ සහ දේශපාලන ව්‍යාපාරයකටම සහය දැක්විය යුතුය.”

ඉහත උපුටා ගැනීම් තුන – මාක්ස් 1866

“ජාත්‍යන්තර කම්කරු සංගමයේ”“තාවකාලික මහ සභාවේ නියෝජිතයින් සඳහා උපදෙස්”යනුවෙන් ඉදිරිපත් කළ ලියවිල්ලේ “වෘත්තීය සමිති; ඔවුන්ගේ අතීතය, වර්තමානය සහ අනාගතය” යන ශීර්ෂ යටතේ ගන්නා ලදී.

විප්ලවය කරන්නේ ජනතාවය. එය මෙහෙය වන්නේ, දිශාව පෙන්වන්නේ නිර්ධන පංති පක්ෂයය. විප්ලවීය රළ වේගයකදී මෙයින් ව්‍යුක්ත සියලු බඩගෝස්තරවාදී අන්තවාදී හුදකලා වෘත්තීය සමිති සැඩ පහරේ වැදී සුනු විසුනුව යනු ඇත. එහි මූලද්‍රව්‍ය වන කම්කරු පංතිය විප්ලවීය නැඟීම් අතරට එක්වනු ඇත. එවිට කම්කරුවාට ඉතිරි වන්නේ විමුක්තිය උදෙසා දිවිපරදුවට තබා කරන නොනවතින අරගලයයි. එනිසා වෘත්තීය සමිති දේශපාලනයෙන් ඒවා කම්කරු පංතියේ විමුක්ති අරගලයේ  උපාංග බවට පත්කළ හැක්කේ එහි ධනේශ්වර පිටකටුව බිඳ දැමීමෙන් පමණි. ඒ සඳහා දැවැන්ත දෘෂ්ටිමය කුළුගෙඩි පහරවල් අවශ්‍යය.

ධනුෂ්ක හර්ෂණ

ලෙෆ්ට් සඟරාවේ පළ වූ ලිපියකි

වැටුප් ශ්‍රමය: කේවල් කිරීමේ සිට විමුක්ති අරගලය වෙතට…