’80 වර්ජනයේ සිට අද දක්වා කියවීමක්

SHARE

Share on facebook
Share on google
Share on twitter
Share on linkedin

1977 ලාංකේය සමාජයේ හැරවුම් ලක්ෂයක් බව කිසිවෙක් ප්‍රතික්ෂේප නොකරනු ඇත. ලාංකේය ජනතාව විසින් කිසිවිටෙකත් ලබා නොදිය යුතු අසීමිත බලයක් ලබාදෙමින් බලයට ගෙන ආ  ජේ.ආර්. .ජයවර්ධන ප්‍රමුඛ එජාප ආණ්ඩුව බලයෙන් බැස ගියේ ලාංකීය සමාජය විනාශයන් රාශියකට ඇද දමමිනි.  ආර්ථික, දේශපාලන, සමාජ, සංස්කෘතික, සෑම අංශයකම කේශාන්තයන් දක්වා ජේ. ආර්.ජයවර්ධන ප්‍රමුඛ එජාපය තම බල ධාරා නිකුත් කරමින් සිටින මොහොතක 1980 ජූලි වර්ජනය පැන නැගිණි. 1977 බලයට පැමිණි වහාම එජාපය තම දේශපාලන ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාවට ගෙන ආවේය. රජයේ ආයතන ලෙස පැවැති ආයතන රාශියක් පුද්ගලික අංශයට විකුණා දමන ලදී. 1968 බිහි කරන ලද ලංකාවේ විශාලතම පෙහෙකම්හල් වූ තුල්හිරිය හා පූගොඩ පෙහෙකම්හල් පෞද්ගලීකරණය කිරීම 1978 දීම ආරම්භ කරන ලදී. සේවකයින් අට දහසකට වඩා සේවය කළ එම කම්හල් තුළින් පෞද්ගලීකරණයට එරෙහිව නැගී සිටි කම්කරුවන් තුන් දහසක් පමණ  නෙරපා දමමින් එජාපය තම ස්වභාවය පිළිබඳව ආරම්භක සංඥා නිකුත් කරන ලදී. 1980 වන විට ලංකාවේ වෘත්තීය සමිති ව්‍යාපාරය සියවසක පමණ කාලයක් ගත කොට තිබුණ ද පැරණි වමේ ව්‍යාපාරයේ මගපෙන්වීම යටතේ  අවශ්‍ය තරම් පරිපාකයට පත්ව තිබුණේ නැත. දේශපාලන තත්වය පිළිබඳ මනා තක්සේරුවකින් තොරව මෙන්ම මනා පෙර සූදානමකින් තොරව, මනා එකමුතුකමකින් මෙන්ම මතවාදී ඒකාග්‍රතාවයකින් ද තොරව ලාංකීය වැඩකරන ජනතාව අසූවේ ජූලි වර්ජනය වෙත කැඳවාගෙන යන ලද්දේ පැරණි වමේ ව්‍යාපාරයයි.

එජාපය තම මුළු බලය යොදවා අසූවේ ජුලි වර්ජනය පොඩිපට්ටම් කර දමන ලදී. එක් ලක්ෂ දාහතර දහසකට අධික කම්කරුවන් ප්‍රමාණයක් සේවයෙන් ඉවතට ඇද දමන ලද අතර, එම පුරප්පාඩු එජාප පාක්ෂිකයන් විසින් පුරවන ලදී.

එසේ පැමිණි බොහෝ අයට තිබූ එකම වෘත්තීය සුදුසුකම වූයේ එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයන් හෝ හිතවතුන් වීම පමණි. එතැන් සිට දශක ගණනාවක් කම්කරු ව්‍යාපාරයේ හැඩය සහ ගුණය තීරණය වූයේ රාජ්‍ය සේවයට ප්‍රවේශ වූ මේ එජාප පාක්ෂිකයාගේ සහ එජාපයේ නැන ගුණ මහිමයෙනි.

ඉතිහාසයෙන් ඉගෙන ගැනීම පිළිබඳ පාඩම නැවත නැවතත් අමතක කර දමන ලාංකිකයන් වන අපි 1977 සිට අවුරුදු හතළිස් දෙකකට පසු, එනම් 2019 නැවත වරක්, කිසිවිට ලබානොදිය යුතු බලයක් ලබා දෙමින්, ගෝඨාභය රාජපක්ෂ බලයට ගෙනැවිත් වඩාහිඳුවා ඇත. ඉතිහාස අත්දැකීම් විසින් දේශපාලන පරිණතභාවය අත්කර නොගන්නා ජාතියක් වන අපි අවුරුදු හතළිස් දෙකකට පසු නැවත ඒ ඉතිහාසයේ සිදුවීම් වලටම මුහුණලා සිට ගනිමින් සිටිමු. විධායක බලය සරි කරගත් ගෝඨාභය රාජපක්ෂ දැන් රට පාලනය කරන්නේ හදිසි නීතිය ද යොදා ගනිමිනි. ඇමති මණ්ඩලය දන්නේවත් නැතිව වෙනත් රාජ්‍යයන් සමග ගිවිසුම් අත්සන් කරමින් තිබේ. ඉදිරිය කෙසේ වනු ඇත්දැයි තේරුම් ගත යුතු අයෙක් වේ නම්, 1977න් පසු ජේ.ආර්. ජයවර්ධනගේ සහ එම ආණ්ඩුවේ හැසිරීම අධ්‍යයනය කිරීම ඉතා ප්‍රයෝජනවත් වනු ඇත. එහෙත් සමහර විශේෂතා ද ඇත. 1977 ජේ. ආර්. ජයවර්ධන ගේ එජාප ආණ්ඩුව ශුද්ධ දක්ෂිණාංශික එකක් වීය. අතිශය විගඩම්කාරී ලෙස මෙවර ආණ්ඩුව ඇතුළේ වාසුදේව නානායක්කාර, තිස්ස විතාරණ වැනි වාමාංශිකයෝ ද සිටිති.

පැරණි වම්මුන් වන වාසුදේව නානායක්කාරලා, තිස්ස විතාරණලා වසර හතළිහකින් දේශපාලන පරිණතභාවය අත්පත් කරගන්නවා වෙනුවට වසර 40 කින් මහළු වී ඇත. ජේ .ආර්. ජයවර්ධන තම කැබිනට්ටුවෙන් දින නොමැති ලියුම් ලබාගෙන තම සාක්කුවේ දමාගෙන සිටියේය.  මේ කැබිනට්ටුවෙන් එසේ  ලියුම් ලබා ගැනීමට බැරිකමක් ගෝඨාභය රාජපක්ෂට නොමැත. එහෙත් එවැන්නක්  අවශ්‍ය නොවන බව ගෝඨාභය රාජපක්ෂ දනී.

එදා 1980 ඇතිවූ සමස්ත මහා වැඩ වර්ජනයට පසුබිම් වූ ජනතා පීඩනය අද නැතැයි කියා කිසිවෙක් සිතනවා විය නොහැක. අද ඇත්තේ එය සිය ගුණයකින් වර්ධනය වූ එකකි. ගොවියන්ගේ ද, කම්කරුවන්ගේද, ශිෂ්‍යයන්ගේ ද අධිරාජ්‍ය විරෝධී දේශප්‍රේමීන්ගේ ද, පරිසර හිතකාමීන්ගේද, වංචා දූෂණයන්ට එරෙහි වූවන් ගේ ද, වැඩවසම් පවුල් පාලනයට එරෙහි වූවන් ගේ ද, ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් හඬ නැගූ වන්ගේ ද පස්ස පැත්තට එකවිට පයින් ගැසූ ආණ්ඩුවක් වේනම් ;ඒ වෙනුවෙන් ඉතිහාසගත වන්නේ ගෝඨාභය රාජපක්ෂගේ මේ ආණ්ඩුවයි. අද මේ වන විට අසූවේ වර්ජනය මෙන් සමස්ත මහා වැඩ වර්ජනයක් ආරම්භ වී නොතිබුණ ද ඉතිහාසයේ නොවූ විරූ ප්‍රමාණයේ සමස්ත මහා ගුරු අරගලයක් ආරම්භ වී ඇත.

2021 සැප්තැම්බරය අවසන් වන විට ලංකාවේ ගුරුවරුන්ගේ වැටුප් විෂමතාවයට එරෙහි වෘත්තීය අරගලය මාස තුනක් අල්ලා සිටි ඉතිහාසගත අරගලයක් බවට පත්වෙයි. මේ ලිපිය ලියන මොහොත වන විටත් එහි අවසානය තව  කොතෙක් දුරට ඇදී යනු ඇද්දැයි අපි නොදනිමු . කෙසේ වෙතත් එය සුවිශේෂී අත්දැකීම් රාශියක්, ජයග්‍රහණ රාශියක් මේ වනවිටත්  අත්කරගෙන හමාරය.

ලංකාවේ වැඩි බහුතරයක් ගුරු වෘත්තීය සමිති එකට සිටගෙන මෙම සටනට අවතීර්ණ වීම , මෙම අරගලයෙහි සුවිශේෂීම කාරණය බව නිසැකය. ඕනෑම (වෘත්තීය) අරගලයක් අඩපණ කිරීම සඳහා පාලකයින් භාවිතා කරන ප්‍රධානම උපකරණයක් වන ”අරගල කරන කණ්ඩායම තුළ බෙදීම් ඇති කිරීම” භාවිතා කිරීමට පාලකයෝ මෙහිදී උපරිමයෙන් උත්සාහ කළ ද මේ දක්වා සමත් වී නැත. හැකි උපරිමයෙන් අරගලය තුළ මතවාදී එකාග්‍රතාවය ආරක්ෂා කොටගෙන ඇත.

සමහර වෘත්තීය සමිති වෙනම අරගල කිරීමට උත්සාහ ගනු දක්නට ලැබුණ ද එය ඉතා පරිණත භාවයකින් යුතුව වෙනස් කරගැනීමට මෙම අරගලය තුළ ගුරු වෘත්තීය සමිති සමත්වූ බව දැකගත හැක. ඕනෑම අරගලයක ප්‍රධානතම වැදගත්කමක් ඇති කරුණක් වශයෙන් සටන් කරන පිරිස තුළ එම සටන පිළිබඳ, එහි ඉල්ලීම් සහ සටන්පාඨ පිළිබඳ, එහි සටන් ක්‍රියාමාර්ග හා උපක්‍රම පිළිබඳ මතවාදී ඒකමිථීයක් තිබීම වැදගත් වේ.

 එමෙන්ම පොදුජන එකඟතාවය  දිනා ගැනීම අතිවිශාල වැදගත්කමක් දරයි. (වෘත්තීය) අරගලයකදී යම් පිරිසක් අපහසුවට පත්වීම වැළැක්විය හැකි කරුණක් නොවේ. පාලකයෝ මෙම කරුණ අරගලය කෙරෙහි වන පොදුජන එකඟතාවය බිඳ දමා අදාළ අරගලය බිඳ දැමීමට භාවිත කරයි. පොදු ජනතාව තුළින් මතුවන ප්‍රතිවිරෝධය සටන් කරන අය තුළද අස්ථිර භාවයන් සහ සමහරවිට ප්‍රතිවිරෝධයන් මතුකරයි. මේ මොහොතේ ගුරු අරගලය බිඳ දැමීමටද ඔවුන් මෙම උපක්‍රමය ඉදිරියට දමා ඇත. එම කරුණ ද ගුරු වෘත්තීය අරගලය තුළ බොහෝ දුරට ජයගෙන ඇත. ගුරු වෘත්තියේ ස්වභාවය ද ඊට බොහෝ සෙයින් උපකාර වී ඇත. නමුත් ඒ පිළිබඳ තවදුරටත් සැලකිලිමත් විය යුතුය. ඉතිහාසමය අත්දැකීම් බොහෝ සෙයින් වැදගත් වන්නේ මේ සඳහාය.

අසූවේ ජුලි වර්ජනයෙන් කුඩුපට්ටම් කර දමනු ලැබූ ලාංකීය කම්කරු ව්‍යාපාරය දැඩි නිහඬතාවයක ගිලී ගියේය. වෘත්තීය සමිති නායකයන් මෙන්ම සටන්කාමී කම්කරුවන් රාශියක්ම වැඩ බිම්වලින් ඉවතට ඇද දමා තිබුණි. ඒ තැන්වලට ස්ථානගත වූ එක්සත් ජාතික පාක්ෂිකයින් සහමුලින්ම ආණ්ඩු හිතවාදීන් විය. ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍ර විරෝධී කම්කරු මර්දනයන්ට ඔවුන්ගේ නොමද සහය ලැබුණි.

80න් පසු අරගල

1980 දක්වාම පවතින වෘත්තීය සමිතිවල බලයට පත්වීම සඳහා වෙහෙස වෙමින් සිටි ජනතා විමුක්ති පෙරමුණේ වෘත්තීය සමිති ව්‍යාපාරය, එම උපක්‍රමය වෙනස් කොට තමන්ගේම වෘත්තීය සමිති ව්‍යාපාරයක් ගොඩනැංවීම ආරම්භ කරන ලද්දේ මේ කාලවකවානුව තුළ ය.

නමුත්  එක්සත් ජාතික පක්ෂය 1983 ජූලි 29 වෙනිදා, ”කළු ජුලිය” නිර්මාණය කරමින් රට තුළ පැවති අවම  ප්‍රජාතන්ත්‍රවාදී ඉඩකඩ තවදුරටත් අකුලා දමන ලදී. එහිදී ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු දේශපාලන පක්ෂ කිහිපයක් ම තහනම් කර දමන ලදී.

කෙතරම් ඒකාධිපති මර්දනයක් හමුවේ වුව මිනිසුන් තම යටත්ව සිටීමේ කාලය අනන්තය දක්වා දික් ගසන්නේ නැත. කෙතරම් මර්දනයක් හමුවේ වුව ඔවුන් තම අයිතිවාසිකම් වෙනුවෙන් නැගී සිටින දිනයක් පැමිණේ.

1986 මාර්තු 18 වන දින කම්කරු ව්‍යාපාරය තුළ පැවති නිශ්චලතාවය බිඳ දමමින්, තම ඉල්ලීම් දෙකක් මුල්කරගෙන සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ හෙද වර්ජනයක් ආරම්භ  විය. මෙයට නායකත්වය දෙන ලද්දේ රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයයි.

එජාපය සුපුරුදු පරිදි රාජ්‍ය බලය සහ මැර බලය ද යොදා තර්ජනය කරමින් හෙද වර්ජනය බිඳ දැමීමට උත්සාහ ගන්නා ලදී. අධිකරණය මගින් වෘත්තීය ක්‍රියාමාර්ගය නීති විරෝධී යැයි ප්‍රකාශ කරවා ගත් අතර සටනට නායකත්වය දුන් වෘත්තීය සමිතිය නීතිවිරෝධී සංගමයක් බවට ප්‍රකාශයට පත් කරවන ලදී. හෙද නේවාසිකාගාර වලට මැරයන් යොදා පහර දෙන  ලද අතර, ඒවායේ ජල සැපයුම විසන්ධි කරන ලදී.

මේ මර්දනය හමුවේ පසුබා යෑම වෙනුවට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ බොහෝ වෘත්තීය සමිති වැඩ වර්ජනය සමග ඒකාබද්ධ විය. පසුව ක්‍රමයෙන් සෞඛ්‍යය ක්ෂේත්‍රයෙන් පිට වෘත්තීය සමිති වල සහයද මේ සඳහා ලැබෙන්නට විය. මාසයක කාලයක් ඇදී ගිය හෙද සටන අවසන් වූයේ තම ඉල්ලීම් දිනා ගනිමින් සහ 1986 අප්‍රේල් 19 දින රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ තහනම ද ඉවත් කරවා ගනිමිනි. මෙම අරගලයෙහි ජයග්‍රහණයේ මූලික රහස වූයේ ද වැඩකරන ජනතාව තුළ පුළුල් එකමුතුවක් ගොඩ නැගීමය. එසේ නොවන්නට එහිදීද එජාපයේ මර්දන යන්ත්‍රය ජය ගැනීමට ඉඩ තිබුණි..

කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂය, 1987 දී  ජනතා විමුක්ති පෙරමුණේ වෘත්තීය  අංශය වූ සමස්ත ලංකා වෘත්තීය සමිති සම්මේලනයද තහනම් කර දමමින් ජනතා විමුක්ති පෙරමුණට තිබූ සියලුම ප්‍රජාතන්ත්‍රවාදී අවකාශයන් අහුරා දමන ලදී.

තමන්ට එරෙහිව, බලවේගයන්ට එකතු වීමට තිබෙන ඉඩකඩ සියල්ල අහුරා දැමීමට සිතූ ආණ්ඩුව 1987 මැයි දිනය ද තහනම් කරන ලදී.

එහිදී තහනම නොතකා රට පුරා පැවැත්වූ මැයි දින සමරු පෙළපාළි රාශියකට පොලිසිය විසින් පහර දෙන ලදී. කොළඹ අභයාරාමයේ පැවති මැයි දින සමරුවට පොලිසිය විසින් පහර දුන් අතර, එහිදී සිදු වූ වෙඩි තැබීමෙන් ,ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සේවකයකු වූ ලෙස්ලි ආනන්ද ලාල් සහ ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සිසුවකු වූ කිත්සිරි මෙවන් රණවක ජීවිතක්ෂයට පත්විය.

1989 ජනවාරි 2 රණසිංහ ප්‍රේමදාස ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා බවට පත් වූ අතර එක්සත් ජාතික පක්ෂය විසින් ගෙන යන ලද ජනතා මර්දනය ඉතා ඉහළට නැග තිබුණි.

ඒ වන විට ජනතා විමුක්ති පෙරමුණ සහ එහි වෘත්තීය සමිති ක්ෂේත්‍රය සම්පූර්ණයෙන්ම තහනම් කර දමා තිබුණු අතර  ජාතික කම්කරු සටන් මධ්‍යස්ථානය ගොඩනැගී තිබුණි. ජනතා විමුක්ති පෙරමුණේ කම්කරු ක්ෂේත්‍රය සඳහා වන මැදිහත්වීම සිදුවූයේ ජාතික කම්කරු සටන් මධ්‍යස්ථානය හරහා ය.

බදුල්ල ඩිපෝවෙන් ආරම්භ වූ ලංගම සටන 1989 ජූනි 12 වන විට ලංකාව පුරා පැතිර ගියේය. ලංගම සතුව පැවති බස්රථ 4000ක පමණ ප්‍රමාණයෙන් ධාවනය කරවීමට හැකිවී ඇත්තේ 770 පමණි. එජාපය විසින් තම හෙන්චයියන් ගෙන් පුරවන ලද තැනක් වූ ලංගමය පාලනය කර ගැනීමේ හැකියාව තවදුරටත් එජාපය සතු නොවීය. ජූනි 20 වන දින හදිසි නීතිය ප්‍රකාශයට පත්කළ අතර ( කලින් පණවා තිබූ හදිසි නීතිය මැතිවරණය නිසා  ඉවත්කොට තිබුණි) හමුදාව යොදවා ලංගමය ක්‍රියාත්මක කිරීමට උත්සාහ කළ ද එය සාර්ථක නොවීය. වැඩට නොපැමිණෙන සේවකයන් සේවයෙන් ඉවත් කරන බව පැවසුවද සිදු වූයේ සටන තවත් තීව්‍ර වීමය. 86 හෙද සටන පුනරාවර්තනය වෙමින් අනෙකුත් ක්ෂේත්‍රද ප්‍රවාහන සටන සමඟ ඒකාබද්ධ වන්නට විය. ජාතික සටන් මධ්‍යස්ථානයේ මගපෙන්වීම යටතේ සමස්ත මහා වැඩ වර්ජනයක් කැඳවන බවට ආණ්ඩුවට සිදුකරන ලද අනතුරු ඇඟවීම හමුවේ ජුලි 14 දින ලංගම සටන ජයග්‍රහණයෙන් කෙළවර කිරීමට හැකිවිය. කෙසේ වෙතත් එම ජයග්‍රහණය අත්පත් කර ගැනීමට ජාතික සටන් මධ්‍යස්ථානයේ 150 ක පමණ පිරිසකට තම ජීවිත පූජා කිරීමට සිදුවිය.

එතැනින් පසු පැමිණි යුගය අති භීෂණකාරී යුගයක් විය. හැට දහසකට අධික ජනතාවක් මරා දමමින් සියලු ප්‍රගතිශීලී සටන්කාමී බලවේගයන් සහමුලින් නිෂ්ක්‍රිය කර දමන ලදී.

සියවසේ අවසන් දශකය

එහෙත් මෙම තත්ත්වය බොහෝ කල් පවත්වාගෙන යාමට එජාපයට හැකි වූයේ නැත. එහි අභ්‍යන්තර ප්‍රතිවිරෝධතා මතු වී ආ අතර 1991 සැප්තැම්බරයේදී එජාපයේ ප්‍රබලයන් දෙදෙනෙකු වූ ලලිත් ඇතුලත් මුදලි සහ ගාමිණී දිසානායක යන අය ගේ මූලිකත්වයෙන් ප්‍රේමදාස ජනාධිපතිවරයාට එරෙහි දෝෂාභියෝගයක් ඉදිරිපත් කරන ලදී. එය පාර්ලිමේන්තුව තුළ පරාජයට පත්වුවද, ආණ්ඩුව තුළ පැවති ඒකාධිපති බලය බොහෝ සෙයින් දුර්වල වී ගියේය. රටපුරා ආණ්ඩු විරෝධය තදින් ඇවිලී යමින් පැවතුණි.

අති දැවැන්ත භීෂණය ක ගිල්වා වුවද ලාංකීය වැඩකරන ජනතාව බොහෝ කල් නිහඬකර තැබීමට නොහැකි බව පෙන්වමින් 1992 අගෝස්තු 17 වන දින වරාය කම්කරුවෝ තම ජීවන අංක දීමනාව ලබාදෙන ලෙස ආණ්ඩුවට බල කරමින් වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කළ අතර මාසයක් පුරා ඇදී ගිය මෙම සටන සැප්තැම්බර් මස 15 වන දින ජයග්‍රාහීව අවසන් කරන ලදී.

1993 මැයි පළමුවෙනිදා ප්‍රේමදාස ජනාධිපතිවරයා ඝාතනයට ලක්වූ අතර රටේ දේශපාලනය වෙනස්ම තත්ත්වයකට පත් වුණි. භීෂණය හමුවේ යටපත් ව තිබූ තම වැටුප් වැඩිකර ගැනීම පිළිබඳ අවශ්‍යතාවය වැඩ කරන ජනතාවට තදින් දැනෙමින් ඇතිවෙමින් තිබූ තත්වය හමුවේ 1993 දී 30% ක වැටුප් වැඩි කිරීමක් ලබාදීමට එජාප ආණ්ඩුවට සිදුවිය.

1994 චන්ද්‍රිකා බණ්ඩාරනායක ගේ නායකත්වයෙන් නව රජයක් බිහි විය. 80 වර්ජනයට නායකත්වය දුන් නායකයින් බොහොමයක් මෙන්ම තවත් වෘත්තීය සමිති නායකයින් සහ වමේ දේශපාලන පක්ෂ නායකයින් මෙම රජයේ මැති ඇමතිවරු වූහ. ආණ්ඩුවේ මෙම සංයුතිය සහ, විවෘත ආර්ථිකයට මානුෂික මුහුණුවරක් දෙන බව පවසමින් පැමිණීම නිසා එය වැඩ කරන ජනතාවන්ට හිතකර ආණ්ඩුවක් වනු ඇතැයි පොදු ජනයා තදින් විශ්වාස කරන ලදී. එහෙත් ඒ කිසිදු බලාපොරොත්තුවක් ඉටු නොවුණු අතර පොදු පෙරමුණු ආණ්ඩුව ද සුපුරුදු ආකාරයෙන් ජනතාව මත ආර්ථිකයේ බර පටවමින්, එයට එරෙහි වන්නන්ට මර්දනය කැඳවමින් ඉදිරියට යන්නට විය.

94 වසර තුළම පෞද්ගලික අංශයේ ආයතන ගණනාවකටම තම ඉල්ලීම් දිනා ගැනීම සඳහා සටන් ක්‍රියාමාර්ග වලට එළඹීමට සිදුවිය. ඇන්සල් ලංකා සටන මෙයින් ප්‍රධාන එකක් වූ අතර , ඇන්සල් ලංකා සේවකයින්ගේ සාමකාමී පෙළපාළියකට පොලීසිය වෙඩි තබන ලදී. මෙහිදී එක් සේවකයෙකු මියගිය අතර විශාල පිරිසක් තුවාල ලබන ලදී. පොදු ජනයාගේ ආණ්ඩුවක් යැයි කිවූ පොදු පෙරමුණු ආණ්ඩුවේ මර්දනය ආරම්භ වූයේ එලෙසය.

ආණ්ඩුව 1995 මැයි 10 දින බී. සී. පෙරේරා වැටුප් කොමිසම පත්කිරීම සිදුකළ අතර අනෙකුත් ක්ෂේත්‍රයන් හි වැටුප් වැඩි කිරීම් සිදුකළද ගුරු විදුහල්පති සේවාවන් සඳහා පසුව නිර්දේශ ඉදිරිපත් කිරීමට කල් තබන ලදී. අද දක්වාම නොවිසඳී ඇත්තේ මේ කල් තබන ලද ගැටලුවයි.

එජාපයේ ආර්ථික ප්‍රතිපත්තියට නොවෙනස්ව පෞද්ගලීකරණ ප්‍රතිපත්තිය ඉදිරියට දමමින් ගමන් කරමින් තිබූ  පොදු ජන පෙරමුණ සමග පොදුජන ගැටුම ඉදිරියට එමින් සටන් කිහිපයක්ම ඇවිලී ගියේය.

1996 මැයි මස 29 වන දින විදුලිබල මණ්ඩලය විකුණා දැමීමට එරෙහි අරගලයක් විදුලි සේවකයන් තුළින් පැන නැගුණි. ඉතා ප්‍රබල වෘත්තීය අරගලයක් වූ එය ට ඇහුම්කන් දීම වෙනුවට රජය තෝරා ගත්තේ ”ඔපරේෂන් ෂොක්” නමින් මර්දන මෙහෙයුමක් දියත් කිරීමය. කම්කරු නායකයන් මෙන්ම ඔවුන්ගේ බිරින්දෑවරුන් පවා අත්අඩංගුවට ගනිමින් මෙම මර්දන මෙහෙයුම දියත් කරන ලදී.

විදුලි බලය පරිභෝජනය කරන පොදුජනයා තුළ වෘත්තීය සමිති කෙරෙහි ප්‍රතිවිරෝධයක් නිර්මාණය කිරීමට ද ආණ්ඩුවට හැකි වූ අතර  එය පොදු අරගලයක් බවට පත් කිරීමට වෘත්තීය සමිති ද අසමත් වූ අතර අරගලය අවසන් වූයේ  පසුබැසීමක් සහිතවය.

1996 එලිසබත් රැජින පාලම පෞද්ගලීකරණයට එරෙහිව වරාය සේවකයන් ගෙන ගිය සටන ද අවසන් වූයේ පරාජයෙනි. වරාය සේවකයන් බෙදා වෙන් කිරීමට පොදු පෙරමුණු ආණ්ඩුව සමත් විය. ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය ඓතිහාසික පාවාදීමක් සිදුකරමින් රැජින පාලම පෞද්ගලීකරණයට පක්ෂව රෙජී රණතුංග සහ සී.වී. ගුණරත්න යන ඇමැතිවරුන් සමග කොළඹ කොටුවේ පෙළපාළි යන ලදී.

ආණ්ඩුවේ පෞද්ගලීකරණ ප්‍රතිපත්තිය යටතේ තැපැල් දෙපාර්තමේන්තුව ද පෞද්ගලීකරණය සඳහා සූදානම් කරමින් පැවතිනි. තැපැල් දෙපාර්තමේන්තුව සංස්ථාවක් කිරීමේ තීරණය ආණ්ඩුව විසින් ගෙන තිබිණි. ඒ පෞද්ගලිකරණය සඳහා වන පළමු පියවරක් විය. මීට එරෙහිව 1998 තැපැල් දෙපාර්තමේන්තුව තුළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ විය. තැපැල් සේවකයින් තැපැල් සේවකයින් 21,000 ක් පමණ සම්බන්ධ වූ මෙම අරගලය මර්දනය කිරීම සඳහා  ආණ්ඩුව විවිධ ක්‍රියාමාර්ග ගනු ලැබීය. නායකයින් අත්අඩංගුවට ගැනීම, ඔවුන් වැඩ බිම් වලින් ඉවත් කිරීම සඳහා උසාවි නියෝග ලබා ගැනීම, සේවයෙන් පහ කරන බවට තර්ජනය කිරීම, වෘත්තීය සමිති තුළ භේදභින්න  ඇති කිරීම  ආදී බොහෝ දේ කළද සටන ජයග්‍රහණය කිරීමට තැපැල් සේවකයින් සමත්විය. මේ සඳහා බාහිර වෘත්තීය සමිති වල සහයෝගය ලැබුණි.

1998 වසරේම සෞඛ්‍ය සේවා පරිපාලන කටයුතුවල නියැලෙන වෛද්‍යවරුන් පත් කිරීම සඳහා සකස් කර ඇති ජාතික ප්‍රතිපත්තියට එරෙහිව එවකට වයඹ මහ ඇමති වරයාව සිටි එස්. බී. නාවින්න මහතා යොමුව තිබූ අධිකරණ ක්‍රියාමාර්ගයකට එරෙහිව වෛද්‍ය වැඩවර්ජනයක් ආරම්භ විය. දින 18ක් පැවති මෙම වර්ජනය ජයග්‍රහණයෙන් කෙළවර විය. අත්‍යවශ්‍ය සේවා නියෝග පනවමින් , වර්ජනයට එරෙහි වාරණ නියෝග ලබා ගනිමින් සහ වෛද්‍යවරුන්ගේ නිවෙස් වලට මැර ප්‍රහාර එල්ල කරමින් මෙම අරගලය පරාජය කිරීම සඳහා ආණ්ඩුව  උත්සාහය ගන්නා ලදී.

මේ ආකාරයෙන් ආයතන මට්ටමින් වැඩ කරන ජනයා මුහුණ දෙන විවිධ ගැටලු අරභයා ඇති වූ අරගල ද රාශියක් වේ. 1993 වැටුප් අරගලයෙන් පසු 2000 වසරේ දී නැවත වැටුප් අරගලයක් ඇතිවිය. වැඩ කරන ජනයා රුපියල් 5000_-ක වැටුප් වැඩිවීමක් ඉල්ලා සිටින ලදී. මැතිවරණයක් අබිමුව සිටි ආණ්ඩුව රාජ්‍ය සේවකයන්ට රුපියල් 1000/-ක වැටුප් වැඩිවීමක් ලබාදෙන ලද අතර පෞද්ගලික අංශයට රුපියල් 400/- ක වැටුප් වැඩිවීමක් නිර්දේශ කරන ලදී. නමුත් පෞද්ගලික අංශයට එය ක්‍රියාත්මක නොවීය.

නව සහස්‍රකයේ අරගල

2001 මැයි මාසයේදී දුම්රිය කම්කරුවන් එම මස වැටුප පෝයට කලින්  ගෙවන ලෙස ඉල්ලා සිටියේය . එම වැටුප් ඉල්ලීම පදනම් කරගනිමින් ඇතිවූ පරිපාලනමය ගැටලුවක් සේවකයින් 131 දෙනෙක් අත්අඩංගුවට ගැනීම දක්වා දුර දිග ගියේය. මෙය දුම්රිය සේවකයින් 131 දෙනාගේ සටන ලෙස ප්‍රකටය.

එම වසරේම වරායේ ජය බහලු පර්යන්තයේ අලුතින් ඇති කරන ලද තෙමුර සේවා ක්‍රමයට එරෙහි ව සටනක් පැන නැගිණි. මෙමඟින් සේවකයින්ට හිමිව තිබූ නිවාඩු දින පවා අහිමිව යාමේ තත්ත්වයක් මතුව තිබුණි. සේවකයින්ගේ ප්‍රබල විරෝධය හමුවේ නව ක්‍රමය හඳුන්වා දෙමින් නිකුත් කළ චක්‍රලේඛය නැවත හකුලා ගැනීමට සිදුවිය.

2001 දෙසැම්බර් 5 වන දින මහ මැතිවරණයක් පැවැත්වූ අතර එයින් එජාපය බලයට පත්විය.

මෙතැන් සිට නැවතත් අපි වෘත්තීය සටන් පිළිබඳ සටහන් තැබුවහොත් මතුපිටින් වෙනස්කම් ඇතත් හරයෙන් වෙනස් නොවන සටන් පෙළක්ම හමුවේ.

 කම්කරු අයිතිවාසිකම් රැක ගැනීම, වැටුප් වැඩි කර ගැනීම, පෞද්ගලීකරණය ඇතුළු ආණ්ඩුවේ නව ලිබරල් ආර්ථික ප්‍රතිපත්ති පරාජය කිරීම හරයෙන් ගත්විට මෙම වෘත්තීය අරගලයන්හි අඛණ්ඩව දක්නට ලැබෙන ස්වභාවයයි. එබැවින් මින් ඉදිරියට දේශපාලන වැදගත්කම සලකා බලමින් වෘත්තීය අරගල කීපයක් තෝරා ගැනීමට අපි සැලකිලිමත් වෙමු.

2002 වසරේ දී ද රුපියල් 5000/-ක වැටුප් වැඩිවීමක් ඉල්ලා පොදු වෘත්තීය අරගලයක් දියත් විය. මෙහි විශේෂත්වය වන්නේ 1980 ජූලි වර්ජනයෙන් පසු 2002 ඔක්තෝබර් 21 පළමුවරට දීප ව්‍යාප්ත  සංකේත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක වීමය. මේ වන විට විපක්ෂනායකවරයා වූ මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ කඳවුරත්, ඊනියා වම්මුන්ගේ කඳවුරත් මෙම සටන මගහැර යන ලදී. මෙය අසාර්ථක කිරීමට කටයුතු කරන ලෙස මහින්ද රාජපක්ෂ ඔහුගේ වෘත්තීය සමිති නායකයින්ට උපදෙස් ලබාදී තිබුණි. සමස්ත ලංකා වෘත්තීය සමිති සම්මේලනය මෙයට නායකත්වය ලබාදෙන ලදී.

2008 ජූලි 10 වැටුප් වැඩිවීමක් ඉල්ලා නැවත ද සංකේත වැඩ වර්ජනයක් දියත් කළ අතර එය ඉතා විවාද සම්පන්න එකක් විය. 2002 වර්ජනය අසාර්ථක කිරීමට කටයුතු කළ එවක විපක්ෂ කණ්ඩායමේ සිටි මහින්ද රාජපක්ෂ සහ ඊනියා  වම්මුන් 2005 දී රාජ්‍ය බලය අත්පත් කර ගත් අතර 2008 වන විට  ආණ්ඩුව ඇතුළේ  සිට වෘත්තීය සමිති ව්‍යාපාරයට පහර දුන්නේ එය දේශප්‍රේමි යුද්ධයට එරෙහි දේශද්‍රෝහී මෙහෙයුමක් බව ප්‍රකාශ කරමිනි.

2012 වසරේ ජූලි 4 දින ආරම්භ කරන ලද විශ්වවිද්‍යාල කථිකාචාර්යවරුන්ගේ වැඩ වර්ජනය ද මේ වෘත්තීය සටන් ඉතිහාසය පිළිබඳ සිහි කිරීම තුළ විශේෂයෙන් සඳහන් කළ යුතුය. සටන් නොකරන බලවේගයක් වශයෙන් නම් වී සිටි විශ්වවිද්‍යාල කථිකාචාර්යවරුන් වැඩවර්ජන ,පා ගමන් සහ ජනතා රැලි ඇතුළු විවිධ ක්‍රියාමාර්ග සහිතව ඉතා සටන්කාමී අරගලයක් ගෙන යන ලදී. මාතර සිට කොළඹ දක්වා ඉතා දීර්ඝ පාගමනක් මගින් රජයට දැඩි බලපෑමක් එල්ල කරන ලදී. ජාතික ආදායමෙන්  6% අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කිරීමට බල කරන ලද අතර , එම සටන් පාඨය හැර අනෙකුත් ඉල්ලීම් ජයග්‍රහණය කිරීමෙන් දින 99ක් තිස්සේ ඇදී ගිය වෘත්තීය අරගලය නිමාවට පත්විය.

 රාජපක්ෂ ආණ්ඩුව විසින් වැඩි කරන ලද විදුලි බිලට සහනයක් ලබාදෙන ලෙස ඉල්ලා 2013 මැයි 21 දින වැඩ වර්ජනයක් පවත්වන ලදී. යුද්ධය අවසන් වීමෙන් ලබාගත් දේශපාලන වාසිය රාජපක්ෂ ආණ්ඩුව පැත්තේ විය. එනිසාම ආණ්ඩුව සමඟ කේවල් කිරීම සඳහා වෘත්තීය සමිති ව්‍යාපාරයට අවශ්‍ය බලය ලබා ගැනීමට නම් වඩාත් පුළුල් සමගියක් අත්‍යවශ්‍ය විය. ඒ අනුව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ මැදිහත්වීමෙන් වඩාත් පුළුල් කම්කරු එකතුවක් වශයෙන් වෘත්තීය සමිති සම්බන්ධීකරණ කමිටුව ගොඩනගන ලදී. මැයි 21 වැඩ වර්ජනයට නායකත්වය දෙන ලද්දේ මෙම වෘත්තීය සමිති සම්බන්ධීකරණ කමිටුවයි. යම්තාක් දුරකට එම අරගලය සාර්ථක වුවද එය හොඳම සාර්ථකත්වයක් ලෙස හැඳින්විය නොහැක.

විවිධ කරුණු මත කට්ටිවාදී ලෙස වෙන් වී සිටින වෘත්තීය සමිති නායකයින් ගණනාවක් තම කට්ටිවාදී උවමනාවන් වෙනුවෙන් මෙම සටන ද මගහැර යන ලදී.

2015 වසරේ බලයට පැමිණි යහපාලන ආණ්ඩුව යටතේද රාජ්‍ය පෞද්ගලික සහ වතු, කම්කරු සටන් රාශියක් පැන නැගුණි.

 ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ඉන්දියාවට විකිණීමටත්, හම්බන්තොට වරායේ තෙල් ටැංකි චීනයට විකිණීමටත්  යහපාලන ආණ්ඩුව සැලසුම් කරන ලදී. මෙම විකුණා දැමීමට එරෙහිව සහ සපුගස්කන්දේ පිහිටි ප්‍රධාන තෙල් පිරිපහදුව අලුත්වැඩියාව ඉක්මන් කරන ලෙසත් ඉල්ලමින් තෙල් සංස්ථා සේවකයින් විසින් 2017 ජූලි 24 වර්ජන ක්‍රියාමාර්ගයක් දියත් කරන ලදී. හමුදා යොදා ගනිමින් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය මත දැඩි මර්දනයක් මුදා හරින ලදී.

හම්බන්තොට වරාය චීනයට විකිණීමට එරෙහි ව උද්ඝෝෂණ පැන නැගුණු නමුත් යහපාලන ආණ්ඩුව තම ක්‍රියාමාර්ගය අතහැරියේ නැත. හම්බන්තොට වරාය සේවකයෝ තම රැකියා ස්ථිර කරන ලෙස බල කරමින් 2017 සැප්තැම්බර් 27 දින සංකේත වර්ජනයක නිරතවූහ. විරෝධතා උද්ඝෝෂණයට කම්කරුවන් 500 ක පමණ පිරිසක් සහභාගී වුහ.

වරාය කම්කරුවන්ට එරෙහිව යෙදවීම පිණිස ආණ්ඩුව නාවික හමුදාව සූදානම් කර තිබුන අතර කම්කරුවන් බිය ගැන්වීම සඳහා නාවික හමුදාවට අයත් බල්ලන් ද යොදා  ඔවුන් ව පරීක්ෂාවට ලක් කරන ලදි.

තම රැකියා ස්ථීර කරන ලෙස ඉල්ලා 2016 දෙසැම්බර් මාසයේ ද මෙම කම්කරුවන් දින අටක අඛණ්ඩ වර්ජනයක යෙදී තිබුනි. ඔවුන් මෙම අරගලයට පිවිසුනේ චීනයේ මර්චන්ට් පොර්ට් හෝල්ඩින්ග් සමාගමට  හම්බන්තොට වරාය විකිණීමේ ආණ්ඩුවේ සැලැස්ම තුළ රැකියා අහිමිවීමේ තර්ජනය නිසාය.

නාවික හමුදාව යොදවා පහරදීම හා උසාවි නියෝග පැනවීම ඇතුළු  රාජ්‍ය මර්දනයක් මගින් ආණ්ඩුව විසින් මෙම සටන මර්දනය කරන ලදී.

විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති තිස්තුනක් ඒකාබද්ධව එහි පැවති වැටුප් විෂමතා ඉවත් කිරීම ඇතුළු කරුණු ගණනාවක් මුල් කර ගනිමින් වෘත්තීය අරගලයක් දියත් කරන ලදී. 2017 සැප්තැම්බර් 13 ආරම්භ වූ මෙම අරගලයට රට පුරා කම්කරුවන් ඉතා විශාල ප්‍රමාණයක් තම දායකත්වය සපයන ලදී.

 යහපාලන ආණ්ඩු කාලය පුරාම  වර්ජන, පිකටිං, පෙළපාළි ඇතුළු සටන් ක්‍රියාමාර්ගවල යෙදෙමින් වතු කම්කරුවෝ තම දෛනික වැටුප රුපියල් 1000/-ක් කරන ලෙස ඉල්ලා අරගල කළහ. 2018 දෙසැම්බර් මාසයේ ලක්ෂයක් පමණ කම්කරුවන් අඛණ්ඩ වර්ජනයක් ඇරඹා දින නවයකට පසු වැටුප් ප්‍රශ්නය විසඳන බවට ජනාධිපති පොරොන්දු විය. නමුත් අද වනතුරුද වතු කම්කරු වැටුප් ප්‍රශ්නය විසඳා නැත.

දැන් අපි 2021 වසරේ අවසාන කාර්තුව ගතකරමින් සිටිමු.  වැඩකරන ජනතාවගේ නොවිසඳුණු  ප්‍රශ්න රාශියක් ගොඩ ගැසී ඇත. මේ ආණ්ඩු ජනතාවගේ පැත්තේ සිට ම ප්‍රශ්න දෙස බලා පිළිතුරු සොයන්නේ නැති බව ඉතිහාසය විසින් අපට හොඳින් පෙන්වා දී ඇත. එබැවින් මේ සියලු ප්‍රශ්න  ඉදිරියේදී සටන් ක්‍රියාමාර්ග බවට පත්වෙමින් ඉතිහාසය ගොඩ නගනු ඇත.

මේ ඉතිහාසය වෙනස්කර ගැනීම සියලුම  වැඩ කරන ජනතාවගේ අපේක්ෂාව බව නිසැකය. එහෙත් හුදු අපේක්ෂා සහ ප්‍රාර්ථනා මගින් ඉතිහාසය වෙනස් වන්නේ නැත. ඒ සඳහා අප කුමක් කළ යුතුද යන්න ගැඹුරින් සිතා බැලීමට අපට බල කරන්නේ අපගේ ඉතිහාසයමය.

– චන්ද්‍රික අධිකාරි (ලෙෆ්ට් 2021 සැප්/ දෙසැම්බර් කලාපයේ පළවූ ලිපියකි)

’80 වර්ජනයේ සිට අද දක්වා කියවීමක්