කම්කරුවා වෘත්තීය සමිති හා කම්කරු පංති දේශපාලනය

SHARE

Share on facebook
Share on google
Share on twitter
Share on linkedin

නිදහස් අධ්‍යාපනය රැකගැනීමත්, සිය වැටුප් විෂමතා ඉවත්කර ගැනීමත් මුල්කරගත් ගුරු-විදුහල්පති අරගලයක් මේ දිනවල ලංකාවේ සිදුවෙමින් තිබේ. මෙම අරගලය මෑත ඉතිහාසයේ වඩාත් වැඩි සමාජ අවධානයක් දිනාගත් හා වඩාත් වැඩි ජනතා සහායක් ලබන අරගලයක් බවට පත්ව තිබේ. ඒ අතර තෙල්, විදුලිය හා වරාය යන ක්‍ෂේත්‍රවලට අයත් වෘත්තීය සමිතිද තම සේවාවන් විකිණීමට එරෙහිව අරගලයක් සඳහා සූදානම් වෙමින් සිටී, ඒ අතර කොවිඞ් වසංගතය නිසා වෙළඳ කලාප සේවක සේවිකාවන් විශාල අර්බුදයන්ට පත්ව සිටී, මේ තත්වය තුළ කම්කරුවන් පිළිබඳව වෘත්තීය සමිති පිළිබඳ, වෘත්තීය අරගල පිළිබඳ සංවාදයක් ද රටේ මතුව තිබේ.

වෘත්තීය සමිති පිළිබඳ, අරගල පිළිබඳ, කම්කරුවා පිළිබඳ වන න්‍යායයික තලයේ සාකච්ඡා අපේ සමාජයේ වරින්වර මතුව තිබේ. එහිදී විිවිධ පාර්ශ්ව තම තමන්ගේ පංති දෘෂ්ටි කෝණයේ සිට, තම තමන්ගේ මතවාදයන් තුළ සිට මේවා පිළිබඳ විග්‍රහයන් ඉදිරිපත් කරනු දැකිය හැක. මේ නිසාම කම්කරුවා පිළිබඳ වෘත්තීය සමිති පිළිබඳව, කම්කරු පංති දේශපාලනය පිළිබඳ වමේ දෘෂ්ටියේ සිට කිසියම් කතාබහක් කර ගැනීම වැදගත් යයි අපි සිතමු.

කම්කරුවා යනු කවුද?

මේ ප්‍රශ්නය මෑත කාලයේ බොහෝ කතාබහට ලක්විය. විවිධ දේශපාලන මත දරන අය මේ පිළිබඳ විවිධ තර්ක ඉදිරිපත් කරනු දැකගත හැකි විය. සමහරුන්ට අනුව තව දුරටත් ‘කම්කරුවා’ යනුවෙන් කෙනෙක් නැතැයි යන අන්තයටම තර්ක ඉදිරිපත් විය. තවත් සමහරු සඳහන් කළේ දැන් කම්කරුවා වෙනස්ව ඇති බවය. මාක්ස් සඳහන් කළ ‘කම්කරුවා’ තවදුරටත් නොපවතින බවද ප්‍රකාශ විය.

හරයෙන් නොව මතුපිටින් හා පෙනුමෙන් ගත්කල සාමාන්‍යයෙන් බොහෝ දෙනාගේ මනසේ ‘කම්කරුවා’ පිළිබිඹු වෙන්නේ කය වෙහෙසා බර වැඩ කරන, දහදිය වගුරන අයෙක් ලෙසය. එය වැරදි නැත. එහෙත් මාක්ස්වාදයට අනුව කම්කරුවා යනු එවැන්නෙක් පමණක් නොවේ. මාක්ස්වාදයට අනුව කම්කරුවා (උදරනැර නැත්නම් ඛ්ඉදමරුර) යනුවෙන් හඳුන්වන්නේ නිශ්චිතවම ගතහොත් වැටුප් ශ්‍රමිකයාටය. ධනවාදී සමාජ ක්‍රමය තුළ යමෙක් ජීවත්වීම සඳහා තම ශ්‍රමය විකුණයි නම්, එනම් වැටුපක් වෙනුවෙන් වැඩ කරයි නම් ඔහු වැටුප් ශ්‍රමිකයෙක් හෙවත් කම්කරුවෙක් වේ. ඔහු කරන වැඩ, බර වැඩද නැද්ද, ඔහුගේ ශ්‍රමය මානසික ශ්‍රමයද, කායික ශ්‍රමයද ඔහු පුහුණු අයෙක්ද නුපුහුණු අයෙක්ද, ඔහුගේ අධ්‍යාපන තත්වය කුමක්ද යන්න මෙහිදී ද්විතීයික වේ. කිසියම් කෙනෙක් ධනවාදය තුළ වැටුප් ලබන කෙනෙක් නම් පුළුල් අර්ථයෙන් ඔහු කම්කරුවෙක් වේ. මන්ද  ඔහු වැටුප් ශ්‍රමිකයෙක් වන නිසාය.

‘කම්කරුවා’ ධනවාදයේ ඓතිහාසික ගමන් මග තුළ වෙනස්කම්වලට ලක්ව තිබෙන බව ඇත්තය. එහෙත් පෙනුමින් කුමන වෙනස්කම්වලට ලක් වුවත්, මානසිකත්වයෙන් චින්තනයෙන් කුමන වෙනස්කම්වලට ලක් වුවත් කම්කරුවා බිහිවන විට හඳුනාගත් ප්‍රධානතම සාධකය වන “තම කායික හෝ මානසික ශ්‍රමය වැටුපක් වෙනුවෙන් වැය කරන්නේය යන සාධකය පවතින්නේ නම්” හේ කම්කරුවෙක් වේ.

මාක්ස්ගේ කම්කරුවා

මාක්ස්වාදයට අනුව කම්කරුවා හා කම්කරු පංතිය බිහිවූයේ ප්‍රාග්ධනය බිහිවීම හා ධනවාදයේ බිහිවීමත් සමගය. මෙහිදී ධනවාදය විසින් ප්‍රාග්ධනය බිහිකළා නොව

ප්‍රාග්ධනය විසින් ධනවාදය නිර්මාණය කරනු ලැබීය. ධනවාදය නමැති සමාජ ආර්ථීක ක්‍රමයට පෙරද මිනිස්සු වැඩ කළෝය. වැඩවසම් සමාජය තුළ, වහල්හිමි සමාජය තුළ හා ප්‍රාථමික සාමූහික ක්‍රමය (මිනිසාගේ ආදි සමාජය) තුළ පවා මිනිස්සු වැඩ කළහ. එහෙත් ඔවුන් වැඩ කළ නිසාම කම්කරුවා ලෙස හැඳින්වූයේ නැත. වහල් ක්‍රමය තුළ වැඩ කළ අය හැඳින්වූයේ වහලුන් ලෙස මිස කම්කරුවන් ලෙස නොවේ. එසේම වැඩවසම් ක්‍රමය තුළ වැඩ කළ අය එක්කෝ ප්‍රවේණිදාසයන් විය. නැත්නම් හස්ත කර්මාන්තවල වැඩ කළ අය විය. ඔවුන් කම්කරුවන් ලෙස හැඳින්වූයේ නැත.

ලොව භාණ්ඩ හා සේවා නිෂ්පාදනය තුළ වැඩකරන අය කම්කරුවන් ලෙස හැඳින්වීම ආරම්භ කළේ ශ්‍රමය සූරාකෑමේ මාධ්‍යයක් ලෙස ප්‍රාග්ධනය බිහිවී වැඩකරන අය

ප්‍රාග්ධනය විසින් වැටුප් ගෙවන ශ්‍රමිකයන් බවට පත්කර ගැනීමත් සමගය. එය නීතිගත කරන ලද හා ඒ මත පවතින සමාජය බවට ධනවාදය පත්විය.

කම්කරුවාගේ විශේෂය වන්නේ ඔහුට තම ශ්‍රමය නිදහසේ විකිණීමට හැකිවීමය. එයට තහංචි හෝ සීමා නොවීය. එහෙත් ඊට පෙර සමාජවල ‘මානව ශ්‍රමය’ නිදහසේ විකිණීමට හැකියාව තිබුණේ නැත. වහල් සමාජයේ වහල් හිමියන් වහලුන්ගේ ශ්‍රමයට වැටුප් ගෙව්වේ නැත. වහල්ලු ආහාර ටිකක් පමණක් ලැබ වැඩ කළෝය. ඔවුන් මිනිසුන් ලෙස සැලකුවේද නැත. එසේම වැඩවසම් සමාජය තුළද ශ්‍රමය නිදහස් නොවීය. ඉඩම් හිමියන් හෝ රදලයන්ගේ යටතේ ජීවත් වූ මිනිස්සුන් ඉඩම් හිමියන් වෙනුවෙන් හෝ රජු වෙනුවෙන් වැඩකළ යුතු විය. ඔවුන්ගේ නිෂ්පාදනයේ විශාල කොටස ඉඩම් හිමියා විසින් ලබාගන්නා ලදී. නැතිනම් රදලයන් විසින් රජු වෙනුවෙන් ගන්නා ලදී. ඔහුට ඉතිරිවූයේ ජීවත්වීමටවත් නොතරම් කුඩා ප්‍රමාණයකි. ධනවාදයට පෙර සියලුම සමාජවල මානව ශ්‍රමය ‘නිදහස් නොවීය. ඒවා හිමිකරුවන්ට යටත්කර තිබුණි. ශ්‍රමයට සීමා පනවා තිබුණි. මිනිස්සුන් කුල ක්‍රමයට බෙදා තිබුණි. තමන් කැමති කර්මාන්තයක් කිරීමට හෝ තම ශ්‍රමය නිදහසේ විකිණීමට එකී සමාජවල නොහැකි විය. හස්ත කර්මාන්තයද පරපුරෙන් පරපුරට පැවත එන ඒවා විය. වළං හදන්නාගේ ශ්‍රමය වෙනත් කර්මාන්තයකට යෙදවීමට ඉඩක් තිබුණේ නැත. එහෙත් ඉඩමට, හස්ත කර්මාන්ත ශ්‍රේණිවලට ගැටගසා තිබූ මිනිස් ශ්‍රමය, ඉන් මුදා නිදහසේ විකිණිය හැකි තවත් එක් වෙළඳ භාණ්ඩයක් බවට පත්කළේ ධනවාදය හා ප්‍රාග්ධනය විසිනි. ඒ අනුව කම්කරු පංතිය බිහිවූයේ ධනවාදයේ බිහිවීමත් සමගය. මුල්ම කම්කරුවන් අප හඳුනාගන්නේ ධනේශ්වර පංතියේ මහා පරිමාණ කර්මාන්ත ශාලා තුළය.

ප්‍රාග්ධනය මුලින්ම බිහිවීමට පටන් ගත්තේ වෙළඳාම සමග බව ඉතා පැහැදිලිය. වැඩවසම් ක්‍රමය තුළ නිර්මාණය වූ වෙළඳ කණ්ඩායම් ක්‍රමානුකූලව එක් අතකින් පුළුල් වෙළඳපොළක් නිර්මාණය කළේය. අනෙක් අතට එකී වෙළඳපොළේ වුවමනාවන් සැපිරීමට ඒ වනවිට පැවති හස්ත කර්මාන්ත ප්‍රමාණවත් නොවූ නිසා වෙළඳුන් විසින්ම සුළුපරිමාණ කර්මාන්ත ආරම්භ කළේය. ඒ වෙළෙන්දන් මේ සඳහා පොළඹවනු ලැබූයේ වෙළඳාමේදී ඔවුන් ලබන ‘ලාභය’ විසිනි. ලාභ ලැබෙන විට තව තවත් ලාබ ලැබීමේ වුවමනාව වෙළඳුන් තුළ ඇතිවූ අතර ඔවුන් වෙළඳපොළ පුළුල් කරමින් ඒ සඳහා වන නිෂ්පාදනයන්ද බිහිකළේය. එනම් එතෙක් පැවති හුවමාරු භාණ්ඩ නිෂ්පාදනය වෙනුවට වෙළඳ භාණ්ඩ නිෂ්පාදනය ඇරඹීය. පුළුල්වන වෙළඳපොළ සඳහා මහා පරිමාණ නිෂ්පාදනයක් අවශ්‍ය වූ නිසා ඔවුන් ප්‍රාග්ධනය යොදා කර්මාන්තද මහා පරිමාණ බිම්වල වාණිජ බෝග වගාවද ඇරඹීය. ඒ සඳහා ශ්‍රමිකයන් අවශ්‍ය වූ අතර මිනිසුන්ට තම ශ්‍රමය නිදහසේ විකිණීමට බාධාකරමින් හා ප්‍රාග්ධනයේ පැතිරීමට බාධා කරමින් තිබූ පැරණි වැඩවසම් රාජ්‍යයත් එකී සබඳතාත් බිඳදැමූ නව ධනපති පංතිය තමන් වෙත රාජ්‍ය බලයද ගත්තේය. ඒ සමගම ධනේශ්වර ප්‍රාග්ධනයත් ප්‍රාග්ධනය යොදවා සිදුකරන කර්මාන්ත හා වගාවනුත් බිහි විය. ඒවායේ සේවය කිරීමට වැටුප් ගෙවා මිනිස්සුන් යොදාගන්නා ලදී, ඔවුන් එනම් වැටුප් සඳහා ශ්‍රමය විකිණූ පුද්ගලයින් වැටුප් ශ්‍රමිකයන් හෙවත් කම්කරුවන්  විය. ධනවාදී ෆැක්ටරි තුළ කම්කරුවන් බිහිවන විට සමහර ධනවාදී රටවල මහා පරිමාණ කෘෂිකර්මාන්තය තුළ කෘෂිකාර්මික කම්කරුවන්ද බිහිවිය. කම්කරු පංතිය බිහිවූයේ එසේය. එබැවින් කම්කරු පංතිය යනු ධනවාදී ප්‍රාග්ධනයේ නිෂ්පාදනයකි. ධනවාදයත් ධනවාදී ප්‍රාග්ධනයත් ප්‍රාග්ධනයට ලාභ ලැබීමේ වුවමනාවත් පවතින තුරු කම්කරුවා හා කම්කරු පංතියද පවතින බව පැහැදිලිය. ඒ නිසා නූතන ධනවාදය තුළ කම්කරුවා අහෝසි වී ඇතැයි යන්න නිවැරදි නොවේ. වර්තමානයේ නූතන තාක්‍ෂණික ක්‍ෂේත්‍රවල වැඩකරන පරිගණක මෘදුකාංග සමාගම්වල වැඩකරන අය පවා වැඩ කරන්නේ වැටුපක් සඳහා නම් ඔවුන් සූරාකෑමට ලක්වන අතර ඔවුන් හරයෙන් වැටුප් ශ්‍රමිකයෙක් හෙවත් කම්කරුවන් වේ.

තමන් කම්කරුවන් ලෙස හඳුනා ගැනීමට අකැමැති පිරිස් සමාජයේ සිටී. සමහර සේවාවල නිරත වන්නන් කලාකරුවන්, වෛද්‍යවරුන්, නිර්මාණ ශිල්පීන් ඒ අතර වේ. සාමාන්‍ය කම්කරුවාට වඩා මේ අය පෙනුමෙන් හා මානසිකත්වයෙන් වෙනස් බව ඇත්තය. ඔවුන් කිසියම් කාර්යයක නිපුන පුහුණු අය බවද ඇත්තය. ඔවුන් සමාජය තුළ ලබන සමාජ තත්වයන් වෙනස් බවද ඇත්තය. එහෙත් ඔවුන් වැටුපක් වෙනුවෙන් සේවය කරන්නේ නම් වැටුප් ශ්‍රමිකයින් වේ.

මේ පිළිබඳව මාක්ස්-එංගල්ස් සිය ඓතිහාසික කොමියුනිස්ට් ප්‍රකාශනයේ 37වන පිටුවේ මෙසේ සඳහන් කරයි.

“මෙතෙක් ගරුත්වයට භාජනය වූ ගෞරවපූර්වක විශ්මයකින් යුතුව සැලකූ හැම වෘත්තියකම තිබූ ප්‍රභා මණ්ඩලය ධනපති පංතිය විසින් ඉවත් කැරිනි. එය වෛද්‍යවරයා, නීතිවේදියා, පූජකයා, කවියා, විද්‍යා කටයුතුවල නිරත වන්නා ආදී හැම කෙනෙක්ම වැටුප් ලබන ශ්‍රමිකයින් බවට පත් කළේය”

කොමියුනිස්ට් ප්‍රකාශනයේ 37වන පිටුව

මෙහි යම් වෙනස්කමක් නැතුවා නොවේ. මේ  සමහර වෘත්තීන්හි නියැලෙන අය තමන්ගේම වෘත්තියක් පවත්වාගෙන යන්නේ නම් එවිට ඔහු වැටුප් ශ්‍රමිකයෙක් නොවේ. මන්ද ඔහු ප්‍රාග්ධනය යටතේ හෝ රජය යටතේ වැටුපට වැඩ කරන්නෙකු නොවන බැවිනි. උදාහරණ ලෙස යම් වෛද්‍යවරයෙක් තමන්ගේම වෛද්‍ය සායනයක් පවත්වාගෙන යන්නේ නම්, කලාකරුවෙක් තමාගේම නිර්මාණය තමාම විකුණා ගන්නේ නම් එවිට වැටුප් ශ්‍රමිකයෙක් වන්නේ නැත. එහෙත් වෛද්‍යවරයා රෝහලක වැටුපට සේවය කරන්නේ නම්, කලාකරුවා ප්‍රාග්ධන හිමියෙකුගේ අවශ්‍යතාවයට අනුව යම් ගෙවීමක් යටතේ කටයුතු කරන්නේ නම් එවිට ඔහු වැටුප් ශ්‍රමිකයෙකුගේ තත්වයට පත්වේ. වර්තමානයේ මෙගා ටෙලිනාට්‍යවල නළු නිළියන් ඇතුළු ශිල්පීන් මේ තත්වයට වැටී තිබේ.

කෙසේ වුවත් මේ සියල්ල මගින් අප තේරුම් ගත යුත්තේ කම්කරුවා යන හැඳින්වීමට ධනවාදය තුළ පුළුල් හා ගැඹුරු අර්ථයක් ඇති බවත් ඒ අර්ථය අනුව වැටුප් ශ්‍රමිකයන් කම්කරුවන් ලෙස සැලකෙන බවත්ය. වර්තමානයේ බොහෝ වැටුප් ශ්‍රමිකයන් තුළ නිර්මාණය කර ඇති මනෝභාවයත්, ඇඳුම්, පැළඳුම් ඔවුනට ලැබෙන සමහර වරප්‍රසාද ආදිය නිසා තමන් කම්කරු පංතියට අයත් නැති ලෙස සිතන තත්වයක් තිබෙන අතර එයද ධනපති පංතිය විසින්ම තම වාසිය සඳහා එනම් පහසුවෙන් සූරාකෑම සඳහා නිර්මාණය කරන ලද සමාජමය මතයක් බවද වටහා ගත යුතුව තිබේ.

18වන, 19වන සියවස වනවිට ලොව පුරා ධනවාදය තහවුරු වෙමින් ඉදිරියට යන ලදී. එහිදී කාර්මික විප්ලවය හරහා නිර්මාණය වූ විද්‍යාවේ හා තාක්‍ෂණයේ ජයග්‍රහණද සමග මහා පරිමාණ කර්මාන්ත බිහිවිය. මෙම කර්මාන්තවල වැඩ කිරීමට සිදුවූ වැටුප් ශ්‍රමිකයන්ගේ තත්වය මුල් කාලයේ ඉතාම ඛේදනීය විය. ඉතාම සුළු වැටුපකට දිනකට පැය 12-14ක් තිස්සේ කිසිදු පහසුකමක් නැතිව වැඩ කිරීමට කම්කරුවන්ට බල කරන ලදී. ඔවුනට කිසිදු අයිතිවාසිකමක් නොවීය. නිරන්තරයෙන් දඩ ගැසීම්වලට ලක්වීමට සිදුවිය. නිෂ්පාදන ඉලක්ක සැපිරීම නොහැකි වූ විට, විනාඩි කිහිපයක් ප්‍රමාද වූ විට දඩ ගසන ලදී. නිවාඩු දින හෝ වෙනත් පහසුකම් නොවීය. මේ පීඩනය දිගටම දරාගත නොහැකි වූ විට කර්මාන්තශාලාවල අරගල පැන නැගිනි. එහෙත් ඒවා අසංවිධානාත්මක වූයෙන් පාලකයින් විසින් මර්දනය කරන ලදී. කම්කරුවන් මුහුණ දුන් මෙම තත්වයට මුහුණදීම සඳහා දැරූ උත්සාහයේදී බිහිවූ සංවිධාන ආකෘතිය වූයේ වෘත්තීය සමිතිය. වෘත්තීය සමිති එක රැයින් බිහිවූවක් නොවේ. එය සරල එකතුවක සිට පරිණාමය වී සකස් වූවක් විය. මුලදී මේවාට නෛතික පිළිගැනීමක් තිබුණේද නැත. එහෙත් කම්කරුවෝ තමන්ගේ සමිතියක් තුළ සංවිධානය වූ අතර එය තම වෘත්තීය ඉල්ලීම් දිනාගැනීමේ සටනට වාසිදාකයද විය. වෘත්තීය සමිති බිහිවූයේ එසේය. පසුව විවිධ අරගල තුළින් හා විශේෂයෙන් මාක්ස්වාදය හා වමේ ව්‍යාපාරයේ බලපෑමෙන් මෙම වෘත්තීය සමිතිවලට පසුකාලයේ නෛතික පිළිගැනීමක් ලබා ගැනීමටද හැකිවිය. එයද වැඩකරන ජනයා ලැබූ ජයග්‍රහණයක් විය.

මේ පිළිබඳව ලෙනින් මෙසේ පවසා තිබුණි.

“ධනපති ක්‍රමයේ සංවර්ධනයේ මුල් කාලයේදී වෘත්තීය සමිතිවලින් නියෝජනය වූයේ, කම්කරුවන්ගේ අසමගියේ සහ අසරණභාවයේ සිට පංති සංවිධානයේ බීජාංකුර දක්වා පරිවර්තනය වීමක් හෙයින් එය කම්කරු පංතිය තැබූ දැවැන්ත ඉදිරි පියවරක් විය. ”

(ලෙනින් තෝ. කෘ. 10වෙළුම, 164 පිටුව)

වෘත්තීය සමිති කම්කරු පංතියේ සමගිය හා ශක්තිය පෙන්වන සංවිධානයක් වූ බව පැහැදිලිය. පැය 8ක වැඩ දිනයද ඇතුළු බොහෝ වෘත්තීය අයිතිවාසිකම් ලබා ගැනීමටත් සමහර අයිතීන් නීතිගත කර ගැනීමටත් කම්කරු පංතියට හැකිවූයේ වෘත්තීය සමිති තුළ සංවිධානය වී අරගල කළ නිසාය. ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදය තුළ වෘත්තීය සමිති පිහිටුවා ගැනීමේ අයිතිය දීමට අකමැත්තෙන් වුවත් ධනපති පාලනයන්ට සිදුවිය. එහිදී විශේෂයෙන් 1917 ඔක්තෝබර් විප්ලවය ජයගැනීමෙන් පසු සමාජවාදී රාජ්‍ය පද්ධතියේ බලපෑම හා ලෝක වමේ ව්‍යාපාරයේ බලපෑමද ධනවාදය තුළ වෘත්තීය සමිති නීතිගත කර ගැනීමට මෙන්ම සමහර කම්කරු අයිතීන් දිනා ගැනීමටද හේතු වූ බව අමතක කළ යුතු නැත.

පොදුවේ ගත්විට වෘත්තීය සමිති කම්කරු පංතියේ අසංවිධානාත්මකභාවයේ සිට සංවිධානාත්මකභාවයට ආ ගමනේ ඉතා වැදගත් සංධිස්ථානයක්, සංවිධාන ආකෘතියක් විය.

වෘත්තීය සමිතිවාදයෙන් එහා….

කම්කරු පංතියේ ඓතිහාසික ජයග්‍රහණයක් වූ වෘත්තීය සමිතිම මේ වනවිට කම්කරු පංතියේ සමගියට හා අවසන් ජයග්‍රහණයට බාධා කරන්නක් බවටද පත්වෙමින් තිබේ. ධනේශ්වර පංතිය බොහෝ විට උපායක් ලෙසම කම්කරු පංතිය බෙදා දුර්වල කිරීමටද මෙම වෘත්තීය සමිති යොදාගනිමින් තිබෙන බව පෙනේ. වෘත්තීය සමිති හැදීමට මෙන්ම ඒවා ලියාපදිංචි කර ගැනීමට නීතිමය පිළිගැනීමක් ලැබීම වෘත්තීය සමිති ව්‍යාපාරය ලැබූ ජයග්‍රහණයක් වුවද මේ තුළට ධනපති පංතියද ඇතුල්විය. බොහෝ රටවල ඔවුන්ද දේශපාලන පක්‍ෂවලට අනුව වෘත්තීය සමිති ගොඩනගන ලදී. එසේම විවිධ වෘත්තීන්ට, විවිධ වෘත්තීය ශ්‍රේණීන්ට  සමිති හැදීමට ලැබුණු ඉඩකඩ තුළ විවිධ මතවාද තුළ සිටි, විවිධ වෘත්තීය භේද සැලකූ අයද සමිති හදන ලදී. එහි ප්‍රතිඵලය වී තිබෙන්නේ කුමක්ද? දැන් කම්කරු පංතියට සමිති විශාල ප්‍රමාණයක් ලැබී තිබීමද? නැත කම්කරු පංතිය විශාල සමිති ප්‍රමාණයක් තුළ බෙදී යාමය. ඒ නිසාම මෙය වෘත්තීය සමිතිවාදයක් බවට පත්ව තිබේ.

වෘත්තීය සමිතිවාදය තුළ හඳුනාගත හැකි කම්කරු පංතියට අවාසි හා ධනපති ක්‍රමයට වාසි ගැටලු ගණනාවක් තිබේ. ඉන් ප්‍රධාන ගැටලුව වන්නේ එකම වෘත්තීය තුළ වැඩ කරන අය සමිති රැසකට බෙදී තිබීමය. එය විවිධ පක්‍ෂවලට, පුද්ගල වුවමනාවන්ට අනුව මෙන්ම විවිධ වෘත්තීය ශ්‍රේණීන්ට අනුවද බෙදී තිබේ. ලංකාවේ මේ සඳහා හොඳම උදාහරණය වන්නේ සෞඛ්‍ය සේවයයි. එහි දැඩි ශ්‍රේණි භේදයක් පවතින අතර වෘත්තීය සමිති ඒ අනුව ගොඩනැගී තිබේ. එනම් වෛද්‍යවරුන්ට, හෙදියන්ට, සාමාන්‍ය සේවකයන්ට ආදී ලෙසය. පොදු සෞඛ්‍ය වෘත්තීය සමිතියකට බැඳී එකට කටයුතු කිරීමට වෛද්‍යවරු, හා හෙදියන් සූදානම් නැත. මෙය පොදු තත්වයයි. විවිධ වෘත්තීන් තුළ ශ්‍රේණි භේද බිහිවීමේදී සුළු ධනේශ්වර මනෝභාවයන් ඊට හේතුවී ඇති බව පෙනේ. සුළු ධනේශ්වර මානසිකත්වය ධනපති ක්‍රමයේම නිර්මාණයකි. ඊට අමතරව එකම කාර්යය සඳහාද සමිති කිහිපයක් ඇත. උදාහරණයක් ලෙස හෙද සංගම් කිහිපයක් තිබීම ගත හැක. පෞද්ගලික අංශයේද සමිති රැසක් තිබේ. වරාය, විදුලිය වැනි රාජ්‍ය සේවාවලද මේ තත්වය පවතී. දැන් අප දන්නා ගුරු අරගලය තුළ සියලු ගුරු විදුහල්පතිවරු එක්ව සටන් කළද ඔවුන් සමිති කිහිපයකට අයත් අය වේ. වත්මන් ආණ්ඩුවට සම්බන්ධ ගුරු වෘත්තීය සමිතියක් තිබෙන අතර එය සටනට එරෙහිව ආණ්ඩුවේ පැත්තේ සිටී. එලෙස සමිති රැසක් තුළ කම්කරු පංතිය බෙදී යාම ගැටලුවක්ව තිබේ.

ස්වාධීන සමිති සඳහා මතවාදය

කම්කරු පංතිය සිය විමුක්තිය සඳහා කටයුතු කළ යුත්තේ කම්කරු පංති දේශපාලනය තුළ වුවත් වර්තමාන ධනවාදය තුළ වැඩිපුර පවතින්නේ වෘත්තීය සමිති දේශපාලනය වේ. වෘත්තීය සමිති මානසිකත්වය විසින් නිර්මාණය කළ මෙයද වැරදි මතයකි. එහිදී වෘත්තීය සමිතිවාදය තුළ ඇති තවත් වැරදි මතයක් වන්නේ වෘත්තීය සමිති ස්වාධීන විය යුතු බව පැවසීමය. ඔවුන්ට අනුව වෘත්තීය සමිති දේශපාලන පක්‍ෂ සමග සම්බන්ධ නොවිය යුතුය. ඒවා ස්වාධීන විය යුතුය. මන්ද ඒවායේ අරමුණ තම වෘත්තීය ඉල්ලීම් දිනාගැනීම පමණක් වන නිසාය. එහෙත් මෙය වැරදි ප්‍රතිගාමී මතයකි. වෘත්තීය ඉල්ලීම් දිනාගැනීමේ සටනට පමණක් කම්කරු පංතිය ‘කොටුකිරීම’ ධනපති පංති දේශපාලනය වේ. ඒ වෙනුවට සිදුවිය යුත්තේ කම්කරුවන් කම්කරු පංති දේශපාලනයට අවතීර්ණ වීමය. ප්‍රාග්ධනයේ බලය පරදා කම්කරුවන් ප්‍රාග්ධන වියගසෙන් නිදහස් වීමට නම් ඔවුන් ධනවාදය පරදා පාලන බලය තමන් වෙතට දිනාගත යුතුය. තමන් පාලනය කරන පංතිය බවට පත් විය යුතුය. කම්කරු පංති පාලනයක් සඳහා සටන් කිරීම මේ යුගයේ කම්කරු පංතියේ පංති අවශ්‍යතාවය වේ. මින් අදහස් කරන්නේ වෘත්තීය සමිති ප්‍රතික්‍ෂේප කිරීමක් නොව ඒවා වෘත්තීය අරගලයේ සීමාවෙන් එහාට ගොස් කම්කරු පංති දේශපාලනය දක්වා වර්ධනය විය යුතු බවය.

වෘත්තීය සමිති බිහිවීම කම්කරු පංතිය තැබූ දැවැන්ත ඉදිරි පියවරක් ලෙස විස්තර කළ ලෙනින් ඒ සමගම මෙසේද පවසා තිබේ.

 “නිර්ධන පංතියේ පංති සංවිධානයේ උසස්තම ආකෘතිය වන නිර්ධන පංතියේ විප්ලවවාදී පක්‍ෂය (නායකයින් මුලු මහත් පංතියම හා පොදු ජනතාවම සමග නොබිඳිය හැකි සමස්තයක් සේ එකට පෑස්සීමට උගෙන ගන්නා තෙක් පක්‍ෂය එම නම ලැබීමට සුදුසු නෙවේ) හැඩ ගැසී ඒමට පටන්ගත් පසු වෘත්තීය සමිති යම් යම් ප්‍රතිගාමී අංග ලක්‍ෂණ, එනම් කිසියම් ශිල්පීය පටු ආකල්පයක්, දේශපාලනයෙන් බැහැරව සිටීමේ කිසියම් ප්‍රවණතාවයක්, එක්තරා අකර්මන්‍ය ස්වභාවයක්, යනාදිය පෙන්නුම් කරන්නට පටන් ගත්තේය. එසේ වුවද වෘත්තීය සමිති මගින් හැර වෘත්තීය සමිති හා කම්කරු පංතියේ පක්‍ෂය අතර අන්‍යෝන්‍ය ක්‍රියාකාරිත්වයෙන් තොරව, ලෝකයේ කිසිම තැනක නිර්ධන පංතිය සංවර්ධනය නොවීය.”

ලෙනින් තෝ.කෘ. 10 වෙළුම, 164 පිටුව

මෙයින් අදහස් වන්නේ කුමක්ද? කම්කරු පංතිය වෘත්තීය සමිති තුළ සංවිධානය වීම ඓතිහාසික වශයෙන් දැවැන්ත ඉදිරි පියවරක් වුවද එතුළට කොටුවී, ශ්‍රේණිවලට, වෘත්තීන්ට බෙදී, කම්කරු පංති දේශපාලනයෙන් වියෝ වී සිටීම වැරදි බවයි. එය ධනපති පංතියට ධනපති පාලනයට වාසිදායක බවයි. එබැවින් කම්කරු පංතිය වෘත්තීය සමිති දේශපාලනයේ සිට කම්කරු පංති දේශපාලනය දක්වාද ඉදිරි පියවරක් තැබිය යුතුය.

කම්කරු පංතියේ දැක්ම

වෘත්තීය සමිති යනු වැඩකරන ජනයා ධනවාදය තුළ සංවිධානය වූ සංවිධාන ආකෘතිය වේ. පංතිය සංවිධානය කරන වමේ ව්‍යාපාරවලට වෘත්තීය සමිති මගහැර කම්කරු පංතිය සංවිධානය කළ නොහැක. මන්ද කම්කරුවන් ඒකරාශි වී සිටින ස්ථානය වෘත්තීය සමිති නිසාය. එහෙත් ධනවාදය තම පංති මතවාදය ඉතා සියුම් ලෙස වෘත්තීය සමිති තුළට කා වද්දා තිබේ. ඒ කම්කරු පංතිය බලය සඳහා සටන් කරන පංතියක් බවට පත්නොවී ධනවාදය තුළම තම ඉල්ලීම් සඳහා පමණක් සටන් කරන කණ්ඩායමක් ලෙස සිතීමට ඉඩ සැලැසීමෙනි. ඒ අනුව වෘත්තීය සමිති තුළට සුළු ධනේශ්වර හා ධනේශ්වර මතයන් රිංගා තිබේ. කම්කරු පංති දේශපාලනයේදී වමේ ව්‍යාපාරය මුහුණ දෙන ප්‍රධාන අර්බුදය මෙය වේ. ධනපති පංතිය සිය දේශපාලන මතය කම්කරුවන් තුළ කොපමණ ප්‍රමාණයකින් තහවුරු කර තිබේද යන්නට ඇති හොඳම උදාහරණය වන්නේ ලංකාව වැනි රටවල වමේ වෘත්තීය සමිති තුළ සිටින. වමේ අරගල මගින් තම ඉල්ලීම් ලබාගන්නා සමහර අය මැතිවරණවලදී ධනපති පක්‍ෂවලට ඡන්දය දීමට පෙළඹීමය. ඉන් පෙනෙන්නේ වැඩකරන ජනතාව තුළ වෘත්තීය ඉල්ලීම් හා දේශපාලනය බෙදා වෙන්කොට ඇති බවය. කම්කරු පංතිය වෘත්තීය සමිතිවාදයෙන් මුදා පංති දේශපාලනය වෙත රැගෙන ඒම මේ මොහොතේ අභියෝගයක්ව පවතී. අවසන් වශයෙන් ගත්කල වැඩකරන ජනතාව එනම් කම්කරුවන් (වැටුප් ශ්‍රමිකයන්) වෘත්තීය සමිති තුළ සංවිධානය විය යුතුය. ඒ පවතින ක්‍රමය තුළ තම ජීවන තත්වය ඉහළ දමා ගැනීම සඳහා වෘත්තීය ඉල්ලීම් වෙනුවෙන් අරගල කිරීමේදී වෘත්තීය සමිති වැදගත් වන නිසාය. මේ සඳහා කම්කරු පංතිය යා යුතු ඉලක්කයක්ද තිබේ. ඒ වෘත්තීය සමිති මගින් ධනපති පංතියේ වුවමනාවන්ට වාසි වන ලෙස බේද බින්නකර ඇති පංතියේ සමගිය වෙනුවෙන් සටන් කිරීමය. එහිදී නිවැරදි වමේ සටන් පාඨය වන්නේ “වෘත්තීයට සමිතියක්! කම්කරු පංතියට මූලස්ථානයක්” යන්නය. එවිට කම්කරු පංතිය ලබන ශක්තිය ධනපති පංතියේ ඕනෑම බලකොටුවක් බිඳහෙළීමට තරම් ප්‍රමාණවත්ය.

අනෙක් අතට කම්කරු පංතිය තම දෙනික ඉල්ලීම්වලට සීමා නොවී තමන්ගේ පාලනයක් ගොඩනැගීම සඳහා වූ තම පංතියේ දේශපාලනයද තෝරාගත යුතුය. මන්ද වෘත්තීය අරගලවලින් කම්කරු පංතියේ විමුක්තිය නොලැබෙන බැවිනි. කම්කරු පංතිය අරගල කොට දිනාගන්නා බොහෝ වෘත්තීය අයිතිවාසිකම් අර්බුදයට ගිය ධනපති පාලනයන් විසින් නැවත නැවත උදුරාගනී. කම්කරුවන් සටන් කොට ආර්ථික ඉල්ලීම් දිනාගත්තද බඩුමිල වැඩිකිරීම මගින් බදුබර වැඩිකිරීම මගින් ධනපති ආණ්ඩු ඒවා යළි උදුරා ගනී. ඒ නිසා වෘත්තීය අරගලවලින් දිනාගත හැකි ජයග්‍රහණවල සීමාවක් තිබේ. නිතර නිතර වෘත්තීය ඉල්ලීම් ඉල්ලා සටන් කිරීමට කම්කරු පංතියට සිදුව තිබෙන්නේද මේ නිසාය. එනම් තමන් සටන් කොට ලබාගන්නා ජයග්‍රහණ නැවත ධනපති පාලනය තමන්ගෙන් උදුරාගන්නා නිසාය. මෙයදිගට සිදුවන විට විෂම චක්‍රයක් බවට පත්වේ. කම්කරු පංතිය වෘත්තීය සමිතිවාදයට සීමානොවී තමන්ගේ පාලනයක් වෙනුවෙන් සටන් කරන කම්කරු පංති දේශපාලනයට වහාම ප්‍රවේශ විය යුත්තේත්, වෘත්තීය සමිතිවාදය හා කම්කරු පංති දේශපාලනය පිළිබඳවත් වැඩ කරන ජනයාගේ වගකීම පිළිබඳවත් වමේ පුළුල් සංවාදයක් අවශ්‍ය වන්නෙත් මේ නිසාය.

– නිහාල් වීරසූරිය (ලෙෆ්ට් සඟරාවේ 2021 සැප් / දෙසැ කලාපයේ පළවූ ලිපියකි)

කම්කරුවා වෘත්තීය සමිති හා කම්කරු පංති දේශපාලනය