වත්මන් ධනවාදය තුළ පවුල මුහුණදී සිටින අර්බුදය හා ඛේදවාචකය අප මෙම ලිපි මාලාව තුළ වරින්වර කථා කළෙමු. දිනපතා එයට නව උදාහරණ එක්වෙමින් එම අදහස තහවුරු කරමින් සිටී. පසුගියදා කොස්ගොඩ ප්‍රදේශයේදී පුරුෂයෙක් තම බිරිඳ හා දරුවා ගල් කුළක් මත සිට මුහුදට තල්ලුකර තිබූ අතර බිරිඳ දිවි බේරා ගත්තද දරුවා මියගිය බව වාර්තා විය. එම පුරුෂයා එලෙස කර තිබුණේ දුරකථනයෙන් හඳුනාගත් වෙනත් කාන්තාවක් හා විවාහ වීම සඳහා බව ඔහු විසින්ම පාපෝච්චාරණය කර තිබුණි. දිනෙන් දින මෙවැනි සිදුවීම් වර්ධනය වීමෙන් පෙන්වන්නේ ධනවාදය තුළ පවුලේ පැවැත්ම අනතුරුදායක මට්ටමට අර්බුදයට ගොස් ඇති බවය. ඒ නිසා ඊට විසඳුමක් අවශ්‍යය. ඒ සඳහා සැබෑ විසඳුම ලැබෙන්නේ සමාජවාදය තුළදීය.
මානව වර්ගයාගේ බිහිවීමත්, ආදිකල්පික මානවයා ලිංගික සබඳතා පැවැත්වූ ආකාරයත් ඔහු ජීවත් වූ ප්‍රාථමික සාමූහික සමාජය තුළ ලිංගික සබඳතා පවත්වන ස්ත්‍රී පුරුෂ කවය කුඩා වෙමින් යුගලන පවුල දක්වා වර්ධනය වෙමින් ලිංගික පෞද්ගලික ආලයේ මූලික හැඟීම් මතුවෙමින් තිබූ සැටිත් අපි කථා කළෙමු. සමාජ සංවර්ධනයේ එක් අවස්ථාවක ප්‍රාථමික සාමූහික සමාජය බිඳවැටී පෞද්ගලික දේපළ මත පදනම්වූ පංති සමාජය ආරම්භ වූ අයුරුත් ඒ තුළ දේපළ අවශ්‍යතාවය වත්මන් පවුල පවුල් ආකෘතියක් ලෙස නිර්මාණය වූ බවත් අපි දනිමු.
එතැන් සිට පෞද්ගලික දේපළ මත පදනම්වූ සමාජ ක්‍රමවල තිබූ පංති ප්‍රතිවිරෝධයන් හා දුර්ගුණයන් පවුල තුළ ප්‍රකාශයට පත්වන්නට විය. ධනවාදයට එනවිට එය වඩාත් බරපතළ විය. පංති සමාජය තුළ පවුල මුහුණදී සිටින මෙම ඛේදජනක තත්වයෙන් පවුල නිදහස් වන්නේ සමාජවාදය තුළදීය. සමාජවාදය තුළදී නිර්මාණය වන පවුල කෙසේ සකස් වන්නේද යන්න මීට පෙර ලිපියෙන් අප කථා කළෙමු.
දැන් අවසාන වශයෙන් තවත් දෙයක් ගැන අප අවධානය යොමු කළ යුතුය. සමාජවාදය යන වචනයට පවා බියක් දක්වන ධනේශ්වර පංතිය විසින් සමාජවාදය තුළ නිර්මාණය වන පවුල පිළිබඳ විවිධ වැරදි හා අසත්‍ය ප්‍රචාර සිදුකර තිබේ. දැනුදු සිදුකරමින් තිබේ. ඉන් එක් කාරණයක් වන්නේ සමාජවාදය තුළදී ළමයින් පවුලෙන් වෙන්කර ආණ්ඩුවට ගන්නේය යන්නයි. දරුවන් දෙමාපියන්ට බරක් වීමට නොතබා ඔවුනට සමාජමය රැකවරණය සලසන බවත් සමාජවාදය තුළ දරුවන් රැකබලා ගැනීම සමාජමය කාර්යයක් බවත් පවසන විට ධනේශ්වර පංතිය එය අර්ථකථනය කරනු ලබන්නේ, දරුවන් රජයට පවරා ගැනීමක් ලෙසය. ඒ, ඔවුනට පෞද්ගලිකත්වයෙන් එහා සිතීමට නොහැකි නිසාය.
එසේම ඔවුන් අතීතයේ පැවසූ තවත් අසත්‍ය කරුණක් වූයේ, සමාජවාදය තුළ පවුල අහෝසි කර ගැහැනුන් පොදුවේ පරිභෝජනය කිරීමට යන බවය. පවුලේ ධනවාදී ස්වරූපය අහෝසි කරන බව පවසන විට ඔවුන් සිතන්නේ, සමාජවාදය තුළ පවුල අහෝසි කරන්නේය යනුවෙනි. ඒ, ඔවුනට ඉන් එහා යමක් සිතාගැනීමට නොහැකි නිසාත් සමාජවාදයට එරෙහිව ජනතාව තුළ වැරදි මත තහවරු කළ යුතු නිසාත්ය.
ධනපති පංතිය සමාජවාදට එරහිව ඉදිරිපත් කළ එම කුහක තර්කවලට මාක්ස් හා එංගල්ස් සිය කොමියුනිස්ට් ප්‍රකාශනයෙන් පිළිතුරු දී තිබුණේ මෙසේය.
“පවුල විනාශකර දැමීම! අති රැඩිකල්වාදී පුද්ගලයා පවා මෙම ඉතා අපකීර්තිමත් අභිප්‍රාය නිසා කෝපාවිෂ්ඨ වෙයි.
සමකාලීන, ධනවාදී පවුල පදනම් වී තිබෙන්නේ කුමන අත්තිවාරමක් මතද?
ප්‍රාග්ධනය මතය; පෞද්ගලික ලාභය මතය. සම්පූර්ණ ලෙස වර්ධනය වූ ස්වරූපයකින් මෙම පවුල පවතින්නේ, ධනපති පංතිය සඳහා පමණකි. එහෙත් මේ තත්වයෙහි අනුපූරකය වී ඇත්තේ නිර්ධනීන් අතර නියම පවුල් ජීවිතයක් නොමැති වීමත් ප්‍රසිද්ධ ගණිකා වෘත්තියක් තිබීමත්ය. මේ අනුපූරකය අතුරුදහන් වනවිට, ධනවාදී පවුලද ස්වභාවයෙන්ම අතුරුදහන් වෙයි. ප්‍රාග්ධනය අතුරුදහන් වීමත් සමඟ මේ දෙකම අතුරුදහන් වන්නේය”
මේ පිළිබඳව මාක්ස් එංගල්ස් තවදුරටත් මෙසේ සඳහන් කරයි.
“සමකාලීන මහා පරිමාණ කර්මාන්තයේ සංවර්ධනය මගින් නිර්ධනීන් අතර ඇති සියලු පවුල් සබඳතාවයන් ඉරා දමන තරමට නිර්ධනීන්ගේ දූ දරුවන් සරල වෙළඳ භාණ්ඩ බවට හා ශ්‍රම උපකරණ බවට පරිවර්තනය කරන තරමට පවුල හා අධ්‍යාපනය ගැනත් දෙමාපියන් හා දූදරුවන් අතර මෘදු සබඳකම් ගැනත් වූ ධනවාදී පංතියේ රැවටිලි සහගත හිස් ප්‍රලාප තවදුරටත් පිළිකුල් සහගත වෙයි. එහෙත් කොමියුනිස්ට්වාදීන් නුඹලා ස්ත්‍රීන් පොදුවේ පරිභෝජනය කිරීමකට ඉදිරිපත්වී ඇතැයි ධනපතිහු එක හඩින් බෙරිහන් දෙති.
ධනපතියා සිය බිරිඳ සලකන්නේද හුදෙක් නිෂ්පාදන උපකරණයක් ලෙසටය. සියලු නිෂ්පාදන උපකරණ පොදුවේ පාවිච්චි කිරීමට යන බවක් ඔහුට ඇසෙයි. ඒ අනුව ස්වභාවයෙන්ම පොදු පරිභෝජනයේ ඉරණම එලෙසම ස්ත්‍රීන්ටද බලපාතියි යන අදහස හැර වෙනත් දෙයක් සිතා ගැනීමට හේ අපොහොසත් වෙයි. ස්ත්‍රීන් හුදෙක් නිෂ්පාදන උපකරණ පමණක් හැටියට සිතීමේ තත්වයෙන් ඔවුන් මුදාලීම අපේ අරමුණ යැයි අනුමාන වශයෙන් කල්පනා කිරීමට තරම්වත් ඔහුට ශක්තියක් නැත”.
(කො.ප. ප්‍රකාශනය-54-55 පිටු)
පවුල සමාජයේ ඒකකය ලෙස පවතිද්දීම එහි ධනේශ්වර දුර්ගුණයන් ඉවත්කළ හැක්කේ, ධනවාදය පැරදවීමෙන් පසු සමාජවාදය තුළය. ධනවාදය වෙනස්වනවාට ධනපති පංතිය කැමති නැත. ඔවුන් පවුල පිළිබඳ හා සමාජවාදය පිළිබඳ මුසාවන් පතුරුවන්නේ ඒ නිසාය. ධනවාදය පවත්වාගෙන යමින්ම පවුලේ අර්බුදය මුළුමනින්ම විසඳිය නොහැක. සත්‍යය එයයි.
ස්ත්‍රීය ගැන මෙන්ම පුරුෂයා ගැනද, ස්ත්‍රී පුරුෂ සබඳතා ගැනද වර්තමානයට වඩා වෙනස්ව සිතන සමාජයක් නැතිව, විවාහය පිළිබඳව මෙන්ම වෙන්වීම පිළිබඳවද අදට වඩා වෙනස්ව සිතන සමාජයක් නිර්මාණය කිරීමෙන් තොරව, පුරුෂයන් මෙන්ම ස්ත්‍රීන්ද සමාජයේ සැබෑ ලෙසම සමාන අයිතීන් දරන අය බවට පත්කළ හැකි සමාජයකින් තොරව පවුලේ වත්මන් ඛේදවාචකයට විසඳුම් ලැබෙන්නේ නැත.
ලොව පවතින සියලු දේ වෙනස්වන බව මාක්ස්වාදයේ මූලික ඉගැන්වීම වේ. මිනිස් සමාජයද එසේය. එයට එක තැන ඝනීභූතව පැවතිය නොහැක. එය වෙනස්විය යුතුය. එවිට ඒ තුළ ඊට සාපේක්‍ෂව පවුලද වෙනස් වේ. ධනවාදී පවුල ශුද්ධවූ පවුලක් නොවේ. එය නූතන අඩංගුව සහිතව බිහිවූයේ පෞද්ගලික දේපළ නිසා නම් පෞද්ගලික දේපළ අහෝසිවන සමාජයකදී පවුලේ මෙම නූතන දුර්ගුණ අහෝසිවීම අනිවාර්යය.
සමාජය මෙන්ම පවුලද ඉතිහාසය එක්තරා අවස්ථාවක පැනනැගී විවිධ සමාජක්‍රම හා ආකෘති හරහා පරිණාමය වෙමින් පැමිණ තිබේ. ඒ අනුව සමාජය මෙන්ම පවුලද තවදුරටත් වර්ධනය වේ. එය නතර කළ නොහැක. ධනවාදය බිඳවැටී සමාජවාදය බිහිවීම අනිවාර්යයක් වන බැවින් ඊට අනුරූපීව පවුලද වෙනස්වීම අනිවාර්යයක් වේ. වර්තමානයේ පවුල තුළ පවතින දේපළ හා බැඳුණු විවිධ බැඳීම් වෙනුවට පවුලේ ප්‍රධාන බැඳීම ආදරය බවට පත්වන සමජයකදී පවුල එහි සැබෑ ආකාරයෙන් පවතිනු ඇත.
වත්මන් සමාජය අනිවාර්යයෙන් වෙනස්වන බවද ඒ තුළ පවුලද වෙනස්වන්නක් බවද මාක්ස්වාදියෙක් නොවූ ලෙවිස් මෝර්ගන් පවා ප්‍රකාශ කළේය. මෝර්ගන්ගේ එම ප්‍රකාශය එංගල්ස් සිය කෘතියේ උපුටා දැක්වීය. උපුටන ලද මෝගන්ගේ එම ප්‍රකාශයෙන් මෙම ලිපිය අවසන් කරමු.
“සභ්‍යත්වය ඇතිවීමෙන් පසු දේපොළ වර්ධනය වීම කෙතරම් විශාලවීද යත්, එහි රූප කොතරම් විවිධාකාරීද යත්, එහි ස්වාමිවරුන්ගේ වුවමනාව සඳහා කෙතරම් බුද්ධිමත් ලෙස ඒවා පාලනය කිරීම සහ එය කෙතරම් ප්‍රාසාරණයන් පාවිච්චි කරන්නේද යත්, ජනතාව අනුව බලන විට එය පාලනය කළ නොහැකි බලයක් බවට පත්වී ඇත. තම නිර්මාණය ඉදිරියේ මිනිස් බුද්ධිය වික්‍ෂිප්ත වී සිටී. කෙසේ වුවද දේපළ මැඩ පාලනය කිරීමට සහ ආරක්‍ෂා කරනු ලබන දේපොළ කෙරෙහි රජය දක්වන සබඳකම් සහ එමෙන්ම දේපොළ හිමියන්ගේ අයිතිවාසිකම්වල සීමාවන් හා යුතුකම් විග්‍රහ කිරීමටත්, මිනිස් බුද්ධිය නැගී සිටින කාලයක් ඇතිවනු ඇත. සමාජයේ වුවමනාවන් පෞද්ගලික වුවමනාවන්ට වඩා ශ්‍රේෂ්ඨය. මේ දෙකම සාධාරණ ලෙස හා අවිරෝධී ලෙස එකමුතු කළ යුතුය. අතීතයේදී මෙන්ම අනාගතයේදීද මිනිස් ප්‍රගතිය නීතිය වීමට නම්, මිනිස් වර්ගයාගේ අවසාන පරමාර්ථය හුදු දේපළ අයිතියට පමණක් සීමා නොවිය යුතුය. සභ්‍යත්වය පටන්ගත් පසු ගෙවීගිය කාලය මිනිස් දිවියේ එක් අංශු මාත්‍රයක් පමණි. එය අනාගත කාලය අනුව බලන විටද එමෙන්ම අංශු මාත්‍රයකි. දේපළ අයිතිය අවසානය හා පරමාර්ථය කරගත් ව්‍යාපාරයක් නැතිකර දැමීමට සමාජය ඉදිරිපත් වෙයි. මන්දයත් එවැනි ව්‍යාපාරයක් තුළ ස්වයං විනාශකාරී මූලිකාංග හා ගැබ්වී ඇති බැවිනි. ආණ්ඩුව තුළ ප්‍රජාතන්ත්‍රවාදය, විශ්ව සර්වජන අධ්‍යාපනය, මේවා මීළඟ උසස් සමාජයේ පූර්ව ලකුණුය. මේවාට අත්දැකීම, බුද්ධිය හා දැනුම නොසැලී එක්වෙමින් පවතී. එය ඉපැරණි වංශවල නිදහසට, සමානත්වයට හා සහෝදරත්වයට, උසස් ක්‍රමයකින් නව පණක් දීම වන්නේය.”