නිෂ්පාදනීය ශ්‍රමය සහ නිෂ්පාදනීය නොවන ශ්‍රමය

SHARE

Share on facebook
Share on google
Share on twitter
Share on linkedin

ශ්‍රමය පොදුවේ ගත් කල ‘මිනිසා තම යැපුම් මාධ්‍යයන් සඳහා සොබාදහම මත බලපා කරනු ලබන සවිඥානික සහ අරමුණුසහගත ක්‍රියාකාරීත්වය’ ලෙස හැඳින්විය හැකිය. ශ්‍රමය එහි අභ්‍යන්තරික ප්‍රතිවිරෝධයන්ගේ කෝණයෙන් බැලූ කල මූර්ත (ජීවමාන) ශ්‍රමය හෝ අමූර්ත (වියුක්ත) ශ්‍රමය ලෙස හෝ හඳුනාගත හැකිය. වැඩ දිනයට සාපේක්ෂව විමසා බලන්නේ නම්, එය අවශ්‍ය ශ්‍රමය හා අතිරික්ත ශ්‍රමය ලෙසද වර්ග කළ හැකිය.

අතිරික්ත වටිනාකම් නිෂ්පාදනයට සාපේක්ෂව එනම් අතිරික්ත වටිනාකම් නිෂ්පාදනය කරන්නේ කවර ශ්‍රමයද යන කෝණයෙන් ඒ දෙස බැලූ විට එය නිෂ්පාදනීය ශ්‍රමය හා නිෂ්පාදනීය නොවන ශ්‍රමය ලෙස වර්ග කළ හැකිය. ධනපති ක්‍රමය තුළදී ධනපතියාට අතිරික්ත වටිනාකම් නිෂ්පාදනය කරන ශ්‍රමය, එනම් නිෂ්පාදනීය ශ්‍රමය හා අතිරික්ත වටිනාකම් නිෂ්පාදනය නොකරන ශ්‍රමය එනම්, නිෂ්පාදනීය නොවන ශ්‍රමය වෙන්කර හඳුනා ගැනීම වැදගත්ය. ධනපතියාගේ ස්ථාවරය අනුව කිසියම් ශ්‍රමයක් වැටුප් ලබා ගනිමින් අතිරික්ත වටිනාකම් නිර්මාණය කරන්නේ නම්, එය නිෂ්පාදනීය වන අතර, එසේ නොවන ශ්‍රමය නිෂ්පාදනීය නොවන ශ්‍රමය වේ.

‘ප්‍රාග්ධනය’ සහ ‘1861-1863 ආර්ථික අත්පිටපත්’ යන කෘතීන්හි ඡේද ගණනාවක් තුළදීම මාක්ස් නිෂ්පාදනීය ශ්‍රමය හා නිෂ්පාදනීය නොවන ශ්‍රමය අතර වෙනස සඳහන් කළේය. ඔහු එය එසේ කළේ එක් වර්ගයක ශ්‍රමයක් අනෙක් වර්ගයක ශ්‍රමයට ඉහළින් තැබීම සඳහා නොවේ. නිෂ්පාදනීය නොවන ශ්‍රමය සමාජයීය වශයෙන් ප්‍රයෝජනවත් නොවන්නේ යැයි ඉන් අදහස් නොකෙරේ.

“‍නිෂ්පාදනීය ශ්‍රමය යනු ධනවාදී නිෂ්පාදන ක්‍රියාවලිය තුළ ශ්‍රම ධාරිතාව පෙනී සිටින සමස්ත සබඳතාව සහ එය පෙනී සිටින ආකාරය සඳහා වන සංක්ෂිප්තයක් පමණකි. කෙසේ වෙතත් මේ ආකාරයේ ශ්‍රමය සහ වෙනත් ආකාරයන්ගේ ශ්‍රමය අතර වෙනස පෙන්වා දීම ඉතාම වැදගත් වේ. මෙම වෙනස සමස්ත ධනවාදී නිෂ්පාදන මාදිලිය සහ ප්‍රාග්ධනය

රඳාපවතින තීරණාත්මක ශ්‍රම ආකාරය හරියටම පෙන්වා දෙන බැවිනි. එබැවින් නිෂ්පාදනීය ශ්‍රමය යනු – ධනවාදී නිෂ්පාදන ක්‍රමය තුළ – එහි සේවායෝජකයාට අතිරික්ත වටිනාකම් නිෂ්පාදනය කරන හෝ ශ්‍රමයේ විෂයමූලික කොන්දේසි ප්‍රාග්ධනය බවට හරවන සහ ශ්‍රමයේ හිමිකරුවන් ධනපතියන් බවට පත් කරවන, එබැවින් ප්‍රාග්ධනය ලෙස තමාගේම නිෂ්පාදිතයක් නිෂ්පාදනය කරන ශ්‍රමයයි” (මාක්ස් – එංගල්ස්, එකතු කළ කෘති, වෙළුම 34, පිටුව 131.)

ඒ අනුව නිෂ්පාදනීය ශ්‍රමය

  1. සේවායෝජකයාට හෙවත් ධනපතියාට ලබා දෙන්නේ ශ්‍රම සේවාවන් නොව අතිරික්ත වටිනාකම්ය.
  2. එම ශ්‍රමයේ විෂයමූලික කොන්දේසි මඟින් ප්‍රාග්ධන නිෂ්පාදනය සිදු කෙරේ. එනම් එහි දී නිෂ්පාදනය කෙරෙන අතිරික්ත වටිනාකමින් කොටසක් නිෂ්පාදනය පුළුල් කරමින්, නව වැටුප් ශ්‍රමය සූරා කමින් අතිරික්ත වටිනාකම් නිෂ්පාදනයට යෙදැවේ.
  3. ශ්‍රමයේ හිමිකරුවන් එනම්, සේවායෝජකයන් හෝ එකී ශ්‍රමය යොදවා ගනු ලබන්නා ධනපතියකු බවට පත් කරයි.
  4. නිෂ්පාදනීය ශ්‍රමය ප්‍රාග්ධනය ලෙස තමාගේම නිෂ්පාදිතයක් නිෂ්පාදනය කරන අතර
  5. එම හුවමාරු භාණ්ඩවල වටිනාකම මුදල් ආකාරයට හැරවිය හැකි කරවයි. එනම් එහි දී සිදුවන්නේ භාණ්ඩ නිෂ්පාදනයක් මිස සේවා නිෂ්පාදනයක් නොවේ.

මේ අනුව රාජ්‍ය සේවයේ සේවකයන් ධනපතියාගේ දෘෂ්ටිකෝණයෙන් නිෂ්පාදනීය නොවේ. එහි දී ඔවුන් ධනපති සේවායෝජකයකුට අතිරික්ත වටිනාකම් නිෂ්පාදනය නොකරයි.

“රාජ්‍ය පාසලක උගන්වන ගුරුවරයකු නිෂ්පාදනීය නොවන අතර පෞද්ගලික පාසලක උගන්වන ගුරුවරයකු, සොසේජස් ෆැක්ටරියක කම්කරුවකු සිය හිමිකරුට අතිරික්ත වටිනාකම් නිෂ්පාදනය කර සිය හිමිකරුට අතිරික්ත වටිනාකම් උපයා දේ.”‍

(මාක්ස් – එංගල්ස්, එකතු කළ කෘති, වෙළුම 35, පිටුව 510.)

මේ අයුරින් රජයේ සේවයේ යෙදෙන වෛද්‍යවරයකුගේ, ගුරුවරයකුගේ (ආදී වශයෙන්) ශ්‍රමය නිෂ්පාදනීය නොවන නමුත්, ඔවුන් පෞද්ගලික ව්‍යාපාරයක වැටුපට සේවයේ යෙදීමේදී නිෂ්පාදනීය ශ්‍රමය වගුරන්නකු බවට පත්වේ.

කිසියම් ශ්‍රමයක් නිෂ්පාදනීය ශ්‍රමයක් වීමට නම්, එය කායික ශ්‍රමය වීමම අවශ්‍ය නොවේ.

“ශ්‍රමය නිෂ්පාදනීය වීමට ඔබ තවදුරටත් ඔබ විසින්ම කායික ශ්‍රමය වැය කිරීම අවශ්‍ය නොවේ. ඔබ සාමුහික ශ්‍රමයක කොටස්කරුවකු වීම පමණක් සහ ඊට අයත් කාර්යයන් ඉටු කිරීම පමණක් ප්‍රමාණවත්ය.”‍

(මාක්ස් – එංගල්ස්, එකතු කළ කෘති, වෙළුම 35, පිටුව 510.)

එනම්, අතිරික්ත වටිනාකම් නිර්මාණය කිරීමට උදවු කරන කර්මාන්තශාලා නුපුහුණු කම්කරුවකු, වැඩ පරීක්ෂකවරයකු සහ ඉංජිනේරුවරයකු යන සියලු දෙනාම සාමුහික ශ්‍රමයක අවයව ලෙස මාක්ස් සැලැකීය. ඒ අනුව කර්මාන්ත ශාලාවක වැඩ සුපරීක්ෂකවරු, එහි නඩත්තු අංශය, ප්‍රවාහණ අංශය ආදියෙහි කම්කරුවෝ ද නිෂ්පාදනීය ශ්‍රමය වගුරන්නෝ වෙති.

හුවමාරු භාණ්ඩවල අඩංගු අතිරික්ත වටිනාකම ආරක්ෂා කරන සහ ඒවා වෙළෙඳපොළේ දී විකිණීමට හැකියාව ඇති

කරන හුවමාරු භාණ්ඩ ගබඩාකරණයේ දී සහ ඒවා වෙළෙඳපොළේ දී විකිණීමට හැකියාව ඇති කරන හුවමාරු භාණ්ඩ ගබඩාකරණයේ දී සහ ප්‍රවාහණයේ දී යොදාගනු ලබන ශ්‍රමය කුමන ආකාරයක් ගනී ද?

මාක්ස්ට අනුව එමඟින් හුවමාරු භාණ්ඩය වඩා වාසිදායක තත්ත්වයකට සහ පහසු ස්ථානයක් වෙත ගෙන දීමෙන් අවසන් පාරිභෝගිකයාට හුවමාරු භාණ්ඩයේ භාවිත වටිනාකමට යමක් එකතු කරන බවය. එබැවින්, එය හුවමාරු භාණ්ඩයේ හුවමාරු වටිනාකමෙහි විශාලත්වයට සෘජු බලපෑමක් කරන බැවින් එය නිෂ්පාදනීය වේ.

ධනපතියාගේ දෘෂ්ටිකෝණයෙන් ලිපිකරු හා ගණන් තැබීමේ වැඩ ප්‍රචාරක හා සිල්ලර වෙළෙඳාමේදී වැයවන ශ්‍රමය නිෂ්පාදනීය නොවන ශ්‍රමය වේ. එසේ වුවත්, ධනපතියා එවැනි ශ්‍රමයක් අවශ්‍ය යැයි සිතන අතර, ඒ සඳහා ගෙවීමටද සූදානම්ය. එහෙත්, කාර්මික ධනපතියා එකී ශ්‍රමය මිලදී ගන්නේ ලාභ ලබා ගැනීමේ අදහසින්, අතිරික්ත වටිනාකම් ලබා ගැනීමේ අදහසින් නොවේ. ශ්‍රම සේවාවක් ලබා ගැනීමේ අදහසින් පමණි. මේ ආකාරයේ ශ්‍රම සේවාවක් කම්කරුවෝ ද ලබා ගනිති. තම නිවසේ ජල නළ අලු‍ත්වැඩියාවකදී ජල නළ කාර්මිකයකු යොදා ගැනීමෙන් කම්කරුවා ජල නළ කාර්මිකයාගේ ශ්‍රම සේවාව ලබා ගන්නා අතර, එහි දී අතිරික්ත වටිනාකම් නිෂ්පාදනයක් සිදු නොවේ. ශ්‍රම සේවාව ලබාගැනීමේදී කම්කරුවාත්, ධනපතියාත් එහි භාවිත වටිනාකම පරිභෝජනය කරයි. ධනපතියා වෙළෙඳ සේවකයාගේ ශ්‍රමයේ භාවිත වටිනාකම ලබා ගැනීමේදී එනම්, ශ්‍රම සේවාව ලබා ගැනීමේදී එකී ශ්‍රමය හුවමාරු භාණ්ඩයේ හුවමාරු වටිනාකම තුළට නොයයි. මක්නිසා දයත්, අවසන් පාරිභෝගිකයාට

එහි භාවිත වටිනාකමක් නොමැති බැවිනි.

“‍වෙළෙඳ ප්‍රාග්ධනය සරලව ගතහොත්, සංසරණ ක්‍ෂේත්‍රයේ ක්‍රියාකාරී වන ප්‍රාග්ධනයයි.

සංසරණ ක්‍රියාවලිය ප්‍රතිනිෂ්පාදනය නමැති සමස්ත ක්‍රියාවලියේ අවධියකි. සංසරණ ක්‍රියාවලියේ දී වටිනාකමක් නිෂ්පාදනය නොවේ. එම නිසා අතිරික්ත වටිනාකමක් ද නිෂ්පාදනය නොවේ. එකම වටිනාකම් ස්කන්ධයේ ආකාරයන්ගේ වෙනසක් පමණක් සිදුවේ.”‍

(මාක්ස් – එංගල්ස්, එකතු කළ කෘති, වෙළුම 37, පිටුව 278-279.)

( එහි අදහස වන්නේ ලිපිකාර, ගණන් තැබීමේ සේවකයන්, ප්‍රචාරක හා සිල්ලර වෙළඳාමේ යෙදෙන සේවකයන් සූරාකෑමට ලක් නොවන බවද?

සූරාකෑම යනු නිෂ්පාදන මාධ්‍යයන් හිමි පන්තිය විසින් සෘජු නිෂ්පාදකයාගේ අතිරික්ත ශ්‍රමයෙන් සහ ඇතැම් විටෙක අවශ්‍ය ශ්‍රමයෙන් කොටසක් ද නොගෙවා අත්පත් කර ගැනීමයි. එසේ නම්, මෙහි දී සිදුවන්නේ කුමක් ද? ලිපිකාර, වෙළෙඳ ආදී සේවකයන්ගේ ශ්‍රම සේවාව ලබා ගනු ලබන වෙළෙඳ ධනපතියාට කාර්මික කම්කරුවන් විසින් නිර්මාණය කරනු ලබන අතිරික්ත වටිනාකමින් කොටසක් අත්පත් කර ගැනීමට අවස්ථාව සැලැසේ. මෙය වෙළෙඳ සේවකයාගේ ශ්‍රමය යොදා ගනු ලබන වෙළෙඳ ධනපතියාට ලැබෙන භාවිත වටිනාකමයි.

“මෙම ලිපිකරුවන්ගේ නොගෙවන ලද ශ්‍රමය අතිරික්ත වටිනාකම් නිර්මාණය නොකරන අතර ඔහුට එනම්, (වෙළෙඳ ධනපතියාට – සංස්කාරක) අතිරික්ත වටිනාකම් අත්පත් කර ගැනීමට හැකියාව ඇති කරයි. එබැවින් එය ඔහුට ලාභයේ උල්පතකි.”‍ ( මාක්ස් – එංගල්ස්, එකතු කළ කෘති, වෙළුම 37, පිටුව 292.)

සේවයෙහි යොදවනු ලබන්නේ කාර්මික ධනපතියන් ද, වෙළඳ ධනපතියන් ද යන්න නොසලකා නිෂ්පාදනීය නොවන ශ්‍රම සේවාවක් ලබාදෙන වෙළෙඳ කම්කරුවා නිෂ්පාදනීය කම්කරුවාසේම එකම සූරාකෑමේ පීඩනයට මුහුණ දෙයි. ධනවාදී සේවායෝජකයා නිෂ්පාදනීය නොවන ශ්‍රම ශක්තියේ වැටුප් වියදම් අවම කරමින් ඔහුගෙන් මිරිකා ගනු ලබන භාවිත වටිනාකම උපරිම කිරීමට බලාපොරොත්තු වේ. නිෂ්පාදනීය කම්කරුවකු වැඩ දිනයකදී නිෂ්පාදනය කරනු ලබන වටිනාකමට වඩා අඩු වැටුපක් ලබන ආකාරයට නිෂ්පාදනීය නොවන කම්කරුවා ද ලබන්නේ, ඔහු ධනපතියාට දිනකදී අත්පත් කර දෙන අතිරික්ත වටිනාකමට වඩා අඩු වැටුපකි. බර වැඩ කරන කම්කරුවකු හෝ සැහැල්ලු‍ වැඩ කරන කම්කරුවකු ද, පුහුණු කම්කරුවකු හෝ නුපුහුණු කම්කරුවකු ද නිෂ්පාදනීය කම්කරුවකු හෝ නිෂ්පාදනීය නොවන කම්කරුවකු ද යන්න නොසලකා ධනවාදය යටතේ සියලු‍ කම්කරුවෝ අතිරික්ත ශ්‍රමයක් වැය කරති. එබැවින්, ඒ සියලු‍ දෙනාටම ධනවාදී නිෂ්පාදන මාදිලිය පෙරළා දමා සූරාකෑමෙන් අත්මිදීමේ එකම පන්ති වුවමනාවක් මතුවේ.

(ලේඛකයකු ගායකයකු ආදී වශයෙන් ගත් කල කලාකරුවකුගේ ශ්‍රමය ධනපති ක්‍රමය තුළදී කුමන ආකාරයක් ගනී ද?

 ලේඛකයකු, ගායකයකු ආදී වශයෙන් කලාකරුවකු විසින් සිය කලා කෘති නිර්මාණය කරනු ලබන්නේ කිසියම් පුද්ගලයකුගේ හුදු රසාස්වාදනය සඳහා පමණක් නම්, එකී ශ්‍රමය අයත් වන්නේ නිෂ්පාදනීය නොවන ශ්‍රමයටයි. එහෙත්, ඔහුගේ කෘති ධනපතියකු විසින් මිලදී ගෙන පොත් මුද්‍රණය කර සංගීත තැටි මුද්‍රණය කර චිත්‍රපට නිෂ්පාදනය කර හෝ වෙනත් ආකාරයකට හෝ අතිරික්ත වටිනාකම් නිර්මාණය කරමින් ලාභ උපයා ගනු ලබන්නේ නම්, එවිට කලාකරුවාගේ ශ්‍රමයද නිෂ්පාදනීය ශ්‍රමයක් බවට පත්වේ.

(ධනපති ක්‍රමය තුළ දී කාන්තා ශ්‍රමය අයත් වන්නේ මින් කුමන වර්ගයේ ශ්‍රමයට ද?

ධනපතියාගේ දෘෂ්ටිකෝණය අනුව කර්මාන්ත ශාලාවක වැඩකරන, පෞද්ගලික වතුයායක වැඩ කරන, පෞද්ගලික රෝහලක වැඩ කරන කාන්තා ශ්‍රමය අතිරික්ත වටිනාකම් නිර්මාණය කරන බැවින්, නිෂ්පාදනීය වන නමුත්, ගෘහණියකගේ ශ්‍රමය නිෂ්පාදනීය නොවන ශ්‍රමය වේ. මක්නිසා ද යත්, ඉන් භාවිත වටිනාකම් නිපදවන නමුත්, අතිරික්ත වටිනාකම් නිපදවන්නේ නැති බැවිනි. එහෙත්, ඉන් අදහස් කරන්නේ ගෘහණියකගේ ශ්‍රමය ප්‍රයෝජනවත් නොවන්නේය යන්න නොවේ.

ධනේශ්වර සමාජය තුළ පූර්ව ධනපති සබඳතා මත කටයුතු කරන හස්ත කර්මාන්තකරුවාගේ හෝ ගොවියාගේ හෝ නිෂ්පාදනය නිෂ්පාදනීය හෝ නිෂ්පාදනීය නොවන ලෙස තේරුම් ගන්නවා වෙනුවට භාණ්ඩ නිෂ්පාදකයකු ලෙස හඳුනා ගැනීම ප්‍රමාණවත්ය ඔහු භාණ්ඩ විකුණන්නකු මිස ශ්‍රම ශක්තිය විකුණන්නකු නොවේ.

නිෂ්පාදනීය ශ්‍රමය සහ නිෂ්පාදනීය නොවන ශ්‍රමය