යුක්‍රේන අර්බුදය නිසා ලෝක සාම සිතියම ඉරී යයිද?

SHARE

මේ වන විට දිගින්දිගටම එක්සත් ජනපද මාධ්‍ය ප්‍රකාශ කරන ආකාරයට රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කරනු ලැබීමට බොහෝ ආසන්න වී තිබේ. ඒ අනුව මේ වන විටත් රුසියාව ඔවුන්ගේ හමුදාව දෙරටේ දේශසීමාවේ ස්ථානගත කොට ඇත. ඒ අතර, එවැනි ආක්‍රමණයක් සිදු වුවහොත්, රුසියාව ආර්ථික සම්බාධකවලට ලක් විය හැකි බවට එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රකාශකයෙක් රුසියාවට තර්ජනය කරමින් සිටියි. එසේම දිනපතා පැයෙන් පැයට එක්සත් ජනපදයේ රූපවාහිනී නරඹන්නන් වෙත රුසියානු හමුදා යුක්‍රේනයේ දේශසීමා ආසන්නයේ ස්ථානගත වන ආකාරය පෙන්වන චන්දිකා ඡායාරූප පෙන්වමින් රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කිරීමට ඉතාම ආසන්න බවට පෙන්වමින් සිටියි.

කෙසේ වෙතත්, 2014 වසරේ සිට යුක්‍රේනය සහ රුසියාව අතර පැසවමින් පවතින සීතල යුද්ධය හා එය පසුපස ඇති එක්සත් ජනපදය මඟින් උදවු ලබන කුමන්ත්‍රණකාරීත්වය බොහෝ දුරට එක්සත් ජනපදය සහ චීනය අතර ඇති නව සීතල යුද්ධයට වඩා බොහෝ තර්ජනාත්මක වීමේ ඉඩකඩ තිබේ.

එක්සත් ජනපදයේ සහ නේටෝවේ මැදිහත් වීම සහ සීතල යුද්ධය කුපිත කිරීම

මේ ඇති වී තිබෙන කුපිත කිරීමේ තත්ත්වය සහ යුක්‍රේනයට එක්සත් ජනපද – නේටෝ මැදිහත්වීම පසුගිය අවුරුද්ද තුළ පමණක් දෙවතාවක් සිදු කර තිබේ. ඉන් පළමු අවස්ථාවේ දී යුක්‍රේනයට ඩොලර් මිලියන 125ක යුදමය ආධාර දෙන බවට මාර්තු මාසයේ එක්සත් ජනපදය ප්‍රකාශ කළ අතර එම ආධාර තුළ රේඩාර් උපකරණ හා සන්නද්ධ වෙරළාරක්ෂක බෝට්ටු අන්තර්ගත විය.

NATO, US say Russia is still building up troops near Ukraine | Ukraine- Russia crisis News | Al Jazeera

ඊට අමතරව ඩොලර් මිලියන 150ක තවත් යුද ආධාර ලබා දෙන බවට නැවතත් ජුනි මාසයේ ප්‍රකාශ කරනු ලැබී ය. ඊට යුක්‍රේන ගුවන් හමුදාවට අවශ්‍ය රේඩාර් සහ වෙනත් සන්නිවේදන උපකරණ සහ තවත් ඉලෙක්ට්‍රොනික උපකරණ ඇතුළත් විය. එපමණක් නොව මෙම නව පැකේජය තුළ එක්සත් ජනපදයෙන් පුහුණු කරන ලද හමුදා ඛණ්ඩ යුක්‍රේනයේ ගුවන් හමුදා කඳවුරුවලට අනුයුක්ත කිරීමට ද කටයුතු යොදා ඇත. ඊට සමගාමීව තුර්කිය විසින් ද යුක්‍රේනයට සහයෝගය දැක්වීමට කටයුතු කරන බව ප්‍රකාශ වේ. ඒ අනුව 2020දී ආර්මේනියාව සහ අසර්බයිජානය අතර නාගොර්නො-කරබක් (Nagorno-Kabarkh) අර්බුදකාරී ප්‍රදේශයට අදාළව පැවැති යුද්ධයේ දී අසර්බයිජාන් රාජ්‍යයට තුර්කිය සැපයූ ආධාර ප්‍රමාණය එලෙසම යුක්‍රේනයට සපයමින් සිටියි.

මේ උත්තේජන මැද 2021 අප්‍රේල් මාසයේ දී යුක්‍රේන රජය විසින් ඩොනෙට්ස්ක් (Donetsk)වල හා ලුහාන්ස්ක් (Luhansk)වල නැඟෙනහිර ප්‍රදේශයේ ඇති රුසියානු භාෂාව කතා කරන ජනතාව වෙසෙන ප්‍රදේශ වෙත ප්‍රහාරාත්මක තර්ජනයක් සිදු කරනු ලැබී ය. එසේම එම වසරේම නේටෝව විසින් රුසියාව මත විශාල යුදමය පීඩාකාරී තත්ත්වයක් ගොඩනැඟීම ඇරඹී ය.

එහි ප්‍රතිඵලයක් ලෙස 2021 ගිම්හාන කාලයේ දී දකින්නට ලැබුණේ එක්සත් ජනපදය විසින් නායකත්වය දුන් අතිවිශාල යුදමය අභ්‍යාස ප්‍රමාණයක් බෝල්ටික් ප්‍රදේශයේ සිට කළු මුහුද දක්වා සිදු කෙරෙන ආකාරයයි. ඒ සඳහා 30,000ක පමණ හමුදාවක් ‘ඔපරේෂන් ඩිෆෙන්ඩර් යුරෝප්’ (Operatiobn Defender Europe) නම් වැඩසටහන සඳහා යොදා ගැනිණි. ඒ අතර පසුගිය මාසයේ දී රුසියානු සීමාවේ සිට ගුවන් සැතපුම් 12ක දුර සීමාව තුළ සාමාකරණ බෝම්බ හෙළීම ද සිදු කෙරිණි. නේටෝව පවසන ආකාරයටම 2021දී ඔවුන්ගේ යුද ගුවන් යානා 290 වාරයක් රුසියානු ගුවන් යානාවලට ප්‍රතිමුඛ වී ඇත. මේ බොහෝ සිදුවීම් සිදුව ඇත්තේ රුසියාවේ බටහිර සීමාවේ දී ය. එහි තේරුම නේටෝව සිදු කළ යුද මෙහෙයුම් 370කින් සියයට අසූවක් රුසියානු ගුවන් හමුදාව සමඟ සිදු වූ ගැටුම් බව ය.

වික්ටෝරියා නූලන්ඩ්ගේ සාක්ෂිය

2021 දෙසැම්බර් 07 වන දින එක්සත් ජනපද ආණ්ඩුවේ දේශපාලන කටයුතු පිළිබඳ උපලේකම් වික්ටෝරියා නූලන්ඩ් ජාත්‍යන්තර සබඳතා කමිටුව ඉදිරියේ සාක්ෂි දුන්නා ය. එහි දී එක්සත් ජනපද රජය මඟින් යුක්‍රේනයට ඩොලර් බිලියන 2.4ක මුදල්, ආරක්ෂක සහයෝගයක් ලෙස ලබා දුන් බව හා ඉන් ඩොලර් මිලියන 450ක් 2021 අවුරුද්ද තුළ පමණක් දී ඇති බව ද පැවසුවා ය. ඒ අතර එක්සත් ජනපදය හා නේටෝව තව දුරටත් 2014-2015 ‘මින්ස්ක් ගිවිසුම’ (Minsk Accord) ආරක්ෂා කිරීමට කැප වී ඇති බව මොස්කව් වෙත සහතික කිරීමට ද ඇය උත්සාහ දැරුවා ය. 2014-2015 Minsk Accords යනු ගිවිසුමක් වන අතර ඒ ගිවිසුම අනුව යුක්‍රේනයේ ඩොනෙට්ස්වල සහ ලුහාන්ස්ට්වල ප්‍රහාරාත්මක යුදමය මෙහෙයුම් සඳහා තහනමක් සහ ඒ ප්‍රදේශවල විශාල ස්වාධීනත්වයක් සඳහා පොරොන්දුවක් අන්තර්ගත ය.

නමුත්, පසුගිය ඔක්තෝබර් මාසයේ දී එක්සත් ජනපද ආරක්ෂක ලේකම් ලායිඞ් ඔස්ටින් හා යුක්‍රේන ජනපති සෙලන්සිකි අතර කිව් හි දී සිදු වූ හමු වීමක දී නේටෝවල අනාගත සාමාජිකත්වය යුක්‍රේනයට ලබා ගැනීමට සහ දැනට ලබා දෙන යුද ආධාර තව දුරටත් ලබා දීමට එක්සත් ජනපදය සහාය වන බව තහවුරු කරනු ලැබී ය. එසේම යුක්‍රේනයේ යුද්ධයක් පවත්වාගෙන යෑම පිළිබඳව එක්සත් ජනපදය විසින් රුසියාවට දොස් නඟනු ලැබී ය. මෙමඟින් මීට පෙර වික්ටෝරියා නූලන්ඩ්ගේ ප්‍රකාශ එක්සත් ජනපදයේ ඇත්ත වුවමනාව වසන් කරමින් කරන ලද සුදුහුණු ගෑමක් බව මැනැවින් පසක් කළේ ය.

රුසියානු යෝජනා

යුක්‍රේනය සම්බන්ධ වත්මන් එක්සත් ජනපද – නේටෝ ප්‍රතිපත්තිය මඟින් රුසියාවේ රතු ඉර ඉක්මවන තත්ත්වයක් දක්වා කටයුතු කරමින් සිටින අතරම එවැනි තත්ත්වයක් තුළ වුව ද, ඔවුන්ගේ ප්‍රතිපත්ති ජාත්‍යන්තරව  ධාරණීයකරණය කිරීමක් ද ඔවුන් විසින් රාජ්‍ය තාන්ත්‍රිකව සිදුකරනු ලබමින් සිටියි.

කෙසේ වෙතත්, පසුගිය අවුරුදු තිහක් තුළම රුසියානු දේශසීමාවලින් නේටෝව ඈත් කර තැබීමට එක්සත් ජනපදය හා නේටෝව කරන ලද හැම පොරොන්දුවක්ම කඩ කර තිබේ. 1990 සිට නේටෝ විරුද්ධවාදියකු වීම නිසාම වර්සෝ සම්මුතියෙන් පිට පැනීමට නේටෝව විසින් කටයුතු කරන ලද්දේ 1990 දශකයේ මුල සිටමය. එතැන් සිට ඔවුන් සිය බලය නැඟෙනහිර යුරෝපයෙන් නැඟෙනහිර දෙසට පතුරුවන්නට විය.

1990දී මුළු ජර්මනියම නේටෝවේ කොටසක් බවට පත් වූ අතර 1999දී චෙක් රාජ්‍යය, හංගේරියාව, බල්ගේරියාව සහ පෝලන්තය ද නේටෝවලට එක් විය. ඉන් පසු 2004 පමණ වන විට සියලුම පැරැණි සෝවියට් රාජ්‍යයන් නේටෝව සමඟ එක් කර ගනු ලැබී ය. එනම් 2004දී එස්ටෝනියා, ලැට්වියා, ලිතුවේනියා, බල්ගේරියා, රුමේනියා, ස්ලෝවේනියා සහ ස්ලෝවැකියා යන රාජ්‍යයන් සමඟ එක් වීම සිදු විය. එවැනි තත්ත්වයක් තුළ යුක්‍රේනය  ටෝව තුළට ඇතුළත් වීම විසින් නේටෝ අවි සහ හමුදා තව දුරටත් රුසියානු ආරක්ෂක මර්මස්ථාන වෙත ළං කරනු ලබයි.

පුටින්ගේ අවධාරණය

දෙසැම්බර් 23 වැනිදා ඔහුගේ වසර අවසාන මාධ්‍ය සාකච්ඡාවේ දී පුටින් විසින් නේටෝව තව දුරටත් නැඟෙනහිර දෙසට පිවිසීම පිළිගත නොහැකි බව තරයේ අවධාරණය කරනු ලැබී ය. එසේම දෙසැම්බර් මැද භාගයේ දී රුසියාව මෙම ගැටලුවට රාජ්‍ය තාන්ත්‍රික මූලාරම්භයක් වශයෙන් එක්සත් ජනපදයට ආරක්ෂක යෝජනා ලැයිස්තුවක් ද ඉදිරිපත් කරනු ලැබී ය.

රුසියාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් ප්‍රසිද්ධ කරන ලද එම යෝජනා අතර එකිනෙකාගේ ආරක්ෂාවට බලපාන්නා වූ ක්‍රියාකාරකම්වලින් වැළැකී සිටීම, නේටෝවට යුක්‍රේනය ඇතුළත් කර ගනිමින් නැඟෙනහිර දෙසට නේටෝ බලය පැතිරවීම නතර කිරීම, මුළු නැඟෙනහිර යුරෝපය තුළ සහ ට්‍රාන්ස් කොකේසියාව ඇතුළු මධ්‍යම ආසියාව තුළ නේටෝ හි සියලුම යුදමය ක්‍රියා අත්හැරීම වැනි යෝජනා ඇතුළත් ය.

එසේම දෙපාර්ශ්වයම එකඟ වුවහොත් මිස නැඟෙනහිර කලාපයේ රටවල් 1997 මැයිවල සන්ධානයට එකතු වීමට පෙර අවි සහ හමුදා ස්ථානගත කළා වූ රටවලින් පිටත අමතර නේටෝ හමුදා හා අවි යෙදවීම සිදු නොකළ යුතු බව, අතරමැදි හා කෙටිදුර මිසයිල අනෙක් පාර්ශ්වයේ භූමියට පහර දිය හැකි තැන්වල භාවිත නොකළ යුතු බව, තවත් භූමියක හමුදා ප්‍රහාරයක් සිදු කිරීම සඳහා වෙනත් රටක භූමියක් භාවිත නොකළ යුතු බව, යුද අභ්‍යාස පිළිබඳ තොරතුරු නිතරම රටවල් දෙක අතර හුවමාරු කර ගන්නා බවට ගිවිසුමක් ඇති කර ගත යුතු බව, එකඟතාවයට ලක් වූ කලාපය තුළ එක් සේනාංකයකට වඩා යොදාගෙන යුදමය අභ්‍යාස හෝ වෙනත් ක්‍රියාකාරකම් කිරීමෙන් වැළැකී සිටීම වැනි යෝජනා ද ඒ තුළ අන්තර්ගත ය.

කඩවුණු පොරොන්දු සහ එකඟතා

එක්සත් ජනපද සාම මණ්ඩලය පවසන පරිදි මතු වී තිබෙන තත්ත්වය සමනය කර ගැනීමට අදාළ සාකච්ඡා ඇරඹීම සඳහා නව රුසියානු යෝජනා යථාර්ථවාදී යෝජනා වේ. එහෙත්, එක්සත් ජනපදය ඇතුළු එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයෙන් ඒකමතිකව සම්මත කළා වූ ප්‍රංශය, ජර්මනිය, රුසියාව හා යුක්‍රේනය එකඟ වූ 2015 ‘මින්ස්ක් II (Minsk II) හි අන්තර්ගතයට දැන් එකඟ ද යන්න දැන් ප්‍රශ්නාර්ථයක් බව එක්සත් ජනපද සාම මණ්ඩලයම පවසයි. 2015 ‘මින්ස්ක් II’ එකඟතා මඟින් නැඟෙනහිර යුක්‍රේනය යුදහරණය කිරීම, නැඟෙනහිර කලාපය තුළ යුක්‍රේනියානු ස්වෛරීත්වය නැවත ස්ථාපනය කිරීම, ඩොන්බාස් ප්‍රදේශයට සම්පූර්ණ ස්වාධීනත්වය ලබා දීම ආදිය ඇතුළත් ය. මේවා සම්බන්ධව වරින්වර සිදු කෙරුණු ඊනියා මැදිහත් වීම් හැරෙන්නට ඉහත කරුණු විශාල වශයෙන් එක්සත් ජනපදය සහ නේටෝව මඟින් මඟහරිනු ලැබ තිබේ.

මේ අතර එළැඹෙන ජිනීවා සාකච්ඡාවල දී යෝජිත නව රුසියානු යෝජනා පිළිබඳ සාකච්ඡා කිරීමට එක්සත් ජනපදය එකඟ වී ඇත. එසේම පසුගිය දෙසැම්බර් 30 වැනිදා ඇමෙරිකානු සහ රුසියානු ජනාධිපතිවරුන් අතර පැවැති දුරකථන සංවාදයක දී ද මේ පිළිබඳව සාකච්ඡා වී තිබේ. නමුත්, රුසියානු ආරක්ෂක ඉල්ලීම් කිහිපයක් දැනටමත් එක්සත් ජනපදය විසින් ප්‍රතික්ෂේප කර අවසන් ය. ‘න්‍යෂ්ටික අවි රටවල් දෙකෙන් පිටස්තර තැන්වල ස්ථානගත නොකිරීමට දෙරටම වගබලා ගත යුතු ය’ යන යෝජනාව ද එසේ ප්‍රතික්ෂේප වූ යෝජනා අතර වේ. ඒ නිසා එක්සත් ජනපදය විසින් සිය යෝජනා පිළිබඳ සාකච්ඡා කිරීමට එකඟ වීම පවා සැකසහිත බව රුසියාව පවසයි.

යුද අවි වෙළෙඳාමේ අභිලාෂ

මේ පවතින තත්ත්වය සමහන් කිරීමට විවිධ ආයතනික සහ රාජ්‍ය තාන්ත්‍රික උත්සාහයන් තිබිය දී තවත් පැත්තකින්Lockheed-Martin, Boeing, Raytheon Technologies, General Dynamics, Northrop Grumman වැනි යුද උපකරණ නිපදවන ආයතන උත්සාහ කරන්නේ සිය වෙළෙඳපොළ පුළුල් කර ගැනීම සඳහා අලුත් අවස්ථා සොයා ගැනීමට ය. ඒ අනුව මේ මතු වී තිබෙන තත්ත්වය යුද්ධයක් දක්වා වර්ධනය වීම ඔවුන්ගේ ලාභදායී යුදමය උපකරණ අලෙවි කර ගැනීම සඳහා හොඳ වෙළෙඳපොළක් නිර්මාණය වීමකි. ඒ නිසා රුසියාව සමඟ යුද්ධයක් ඇති කර ගැනීමට එක්සත් ජනපදය දරන උත්සාහය පසුපස ඔවුන් ද සිටින බව රහසක් නොවේ.

How a Russian invasion of Ukraine would affect the UK | World | News |  Express.co.uk

මේ නිසා මුළු ලෝකයම මේ වන විට හදිසි තත්ත්වයකට මුහුණ දී ඇත. රුසියානු දේශසීමාවට නේටෝ හමුදා ඇතුළු කිරීම එක්සත් ජනපදය විසින් අවධාරණය කර තිබිය දී, යුදමය ගැටුමක භයානකත්වය ගෙවෙන හැම දිනයකම උත්සන්න වෙමින් පවතියි. වැඩියෙන්ම න්‍යෂ්ටික අවි පවතින රටවල් දෙක එක්සත් ජනපදය සහ රුසියාව බවට පත් වී ඇති තත්ත්වයක් තුළ මෙය සාම්ප්‍රදායික යුද්ධයක් වෙනුවට න්‍යෂ්ටික යුද්ධයක් බවට ඉතා පහසුවෙන් පත් විය හැකිය.

ඒ නිසා රුසියාව කෙරෙහි සටන්කාමී ප්‍රතිපත්තියක් අනුගමනය කරන බයිඩන් පාලනයට උපරිම පීඩනයක් ඇති කිරීමට එක්සත් ජනපදයේ සියලුම යුද විරෝධී පෙරමුණු එකට එක්ව කටයුතු කළ යුතු තත්ත්වයක් ඇති වී තිබෙන බව එක්සත් ජනපද සාම මණ්ඩලය විසින් ම ප්‍රකාශ කර තිබේ. ඒ සඳහා තවත් ප්‍රමාද විය යුතු නැති බව ද ඔවුහු අවධාරණය කොට ඇත.

– චතුර දිසානායක (ලංකා)

යුක්‍රේන අර්බුදය නිසා ලෝක සාම සිතියම ඉරී යයිද?