“Bloody sunday” සංහාරයට වසර 50ක් පිරේ !

SHARE

Share on facebook
Share on google
Share on twitter
Share on linkedin

ලෝක ප්‍රකට සුප්‍රසිද්ධ U2 පොප් සංගීත කණ්ඩායම විසින් ගයනු ලබන “bloody sunday” නම් ගීතයේ පසුබිමේ කතාව ගෙතී ඇත්තේ 1972 ජනවාරි 30 වැනිදා උතුරු අයර්ලන්තයේ landonderry නගරයේ දී බ්‍රිතාන්‍ය හමුදාව විසින් සාමකාමිව උද්ඝෝෂණයකට වෙඩි තබා අයර්ලන්ත ජාතිකයින් 13 දෙනකු මරා දැමීම සිහි ගන්වමිනි. මෙම රතු ඉරිදාවට වසර 50ක් පිරුණු පසුගිය 30 වැනිදා එම සංහාරය සිදුවූ ස්ථානයේදී අයර්ලන්ත අගමැති MICHEL MARTINගේ සහභාගිත්වයෙන් සැමරුම් උත්සවයක් පවත්වා ඇත.

“එම සංහාරය සිදු වූ දිනයේ සිට මේ දක්වා අප විශාල කැපකිරීම් අපගේ නිදහස වෙනුවෙන් සිදු කලා ” යනුවෙන් රැස්ව සිටි පිරිස අමතමින් අගමැතිවරයා එසේ පවසා සිටියේ ඔහුගේ එක කුස උපන් සහෝදරයා ද මෙම සංහාරයේදී මරා දැමු බව සඳහන් කරමිනි. රැස්ව සිටි පිරිස සටන් පාඨ සහිත පුවරු ප්‍රදර්ශනය කරමින් මෙම සංහාරයට වගකිව යුත්තන් තවමත් නිදැල්ලේ සිටින බැවින් එම අළුගෝසුවන්ට දඩුවම් කරන ලෙස බල කර කියා සිටියාය.

ඉතිහාසයේ වසර දහසක කාලයක සිට අද දක්වා ඇවිලී ගිය කතෝලික හා ප්‍රෝටෙස්තන්ත්‍ර යුද්ධයේ ප්‍රථිපලයක් වන උතුරු අයර්ලන්ත ජාතික ප්‍රශ්නය තවමත් විසඳි නැත. අයර්ලන්තය කතෝලික වීම හේතුවෙන් තම රටේ ආරක්‍ෂාවට තර්ජනයක් යයි සලකමින් මහා බ්‍රිතාන්‍යය අයර්ලන්තය ආක්‍රමණය කරනු ලබනුයේ අයර්ලන්ත ඉඩම් දහස් ගණනින් බ්‍රිතාන්‍ය ධන කුවේරයන්ට බෙදා දෙමින්ය. මෙම ආක්‍රමණයට එරෙහිව පළමුවන ලෝක මහා යුධ සමයේ එනම් 1919 දී දැවැන්ත ජනතා නැගිටීමක් “පාස්කු නැගිටීම ” ලෙස හඳුන්වා ගනිමින් අයර්ලන්තයේ නිදහස පතා ඇතිවිණි. මෙම නැගිටීම දරුණු ලෙස බ්‍රිතාන්‍ය හමුදා විසින් මර්දනය කරනු ලැබුවේය.

1921 දී අත්සන් කරනු ලබන සාම ගිවිසුමක් මගින් උතුරු අයර්ලන්තය මහා බ්‍රිතාන්‍යයට හිමි වන අතර දකුණු අයර්ලන්තය නිදහස් රටක් ලෙස ප්‍රකාශයට පත් වේ. නමුත් උතුරු අයර්ලන්තයේ කතෝලික ජනතාව දකුණ සමග එක්කර ඒකීය රටක් බිහිකිරීම සඳහා මහා බ්‍රිතාන්‍යයට, රූකඩ ප්‍රෝටෙස්තන්ත්‍ර රජයටත් ඒ හා බද්ධ වූ රාජ්‍ය ත්‍රස්ත්‍රවාදී කණ්ඩායම්වලටත් එරෙහිව සාමකාමි ක්‍රියා මාර්ග ඔස්සේ දිගු කලක් අරගල පවත්වා ගෙනයනු ලැබිණි.

මෙහි එක් අවස්ථාවකදී එනම් 1972 ජනවාරි 30 වැනිදා පැවැත් වූ සාමකාමී උද්ඝෝෂණයට බ්‍රිතාන්‍ය හමුදාව වෙඩි තබා 14 දෙනෙකු මරා දැමීමට පිළිතුරු ලෙස IRA ගරිල්ලා සංවිධානය බිහි වන අතර එතැන් සිට මේ දක්වා අයර්ලන්තය තුලට පමණක් සංකේන්ද්‍රණය වී තිබුණු සන්නද්ධ අරගලය ලන්ඩනය දක්වා පැතිරී යන ලදී. එහි ප්‍රතිඵලයක් ලෙස 1984 දී බ්‍රිතාන්‍ය අගමැතිනිය වූ මාග්‍රට් තැචර් ඉලක්ක කරමින්ද බෝම්බ ප්‍රහාරයක් එල්ල විණි.

1998 අප්‍රියෙල් 10 වැනිදා අත්සන් කරන ලද සාම ගිවිසුමක් මගින් කතෝලික ප්‍රජාව හා ප්‍රෝටෙස්තන්ත්‍ර ප්‍රජාව අතර බලය විමධ්‍යගත කිරීම වෙනුවෙන් එකඟතාවයකට පැමිණෙන අතර යුධ සිරකරුවන් නිදහස් කර ගැනීම හා IRA සංවිධානය නිරායුධ කිරීම වැනි කාරණා එහි අඩංගු විය. එසේම උතුර හා දකුණ එක්කිරීම පසුවට කල් තැබීමටද දෙපාර්ශවය ගිවිස ගන්නා ලදී. මෙම නව “සිකුරාදා ගිවිසුම” පසුව 70%ක අයර්ලන්ත ජනතාව විසින් ජනමත විචාරණයක් මගින් අනුමත කරන ලදී. මෙම ගැටුම් හේතුවෙන් පුද්ගලයින් 3500ක් මිය ගිය අතර තවත් 50,000කට පමණ තුවාල සිදු වී තිබිණි.

පසුව මහා බ්‍රිතාන්‍යය හා අයර්ලන්තය යුරෝපා සංගමයට එක් වුවද මෙම ප්‍රශ්නය අවසාන නොවූ අතර අදටත් අයර්ලන්ත අගනුවර වන බෙල්පාස්ට් හි කතෝලික හා ප්‍රෝටෙස්තන්ත්‍ර ප්‍රජාවන් තාප්ප වලින් බෙදී පවතී. ඒ අතර මහා බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වීමත් සමග මෙම ප්‍රශ්ණය නැවතත් කරලියට පැමිණ ඇත. පසුගියදා බ්‍රිතාන්‍ය අගමැති බොරිස්‌ ජොන්සන් එරට පාර්ලිමේන්තුවේදී පැවසුවේ 1972 “ලේ වැකුණු ඉරිදා ප්‍රහාරය” බ්‍රිතාන්‍ය ඉතිහාසයේ කළු පැල්ලමක් බවයි. නමුත් අද වන තුරුත් මෙම සංහාරයේ වගකිව යුත්තන්ට දඩුවම් පැනවීමක් සිදු වී නොමැති අතර අයර්ලන්ත සිවිල් යුද්ධයෙන් පසුව සංහාරවලට සම්බන්ධ වූ හමුදා අළුගෝසුවන්ට පසුව සම්මත කල නීතියක් මගින් එහි වගකීමෙන්ද නිදහස් කරන ලදී.

මේ අතර මෙම 50 වැනි සැමරුම වෙනුවෙන් මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් IRA සංවිධානයේ දේශපාලන අංශය වන සින්පෙන් සංවිධානය පවසා සිටියේ තවත් වසර 5ක් ඇතුලතදී අයර්ලන්තයට උතුර හා දකුණ ඒකාබද්ධ කල පුර්ණ නිදහස් රටක් බවට පත්වීම සඳහා අවශ්‍ය ජනමත විචාරණයක් පැවැත්වීමට තමන් අපේක්‍ෂා කරනු ලබන බවත්ය

“Bloody sunday” සංහාරයට වසර 50ක් පිරේ !