ඇමරිකාව සමග ආරක්ෂක ගිවිසුමකට එරෙහිව ස්ලොවේකියානු ජනතාව පාරට බසී !

SHARE

Share on facebook
Share on google
Share on twitter
Share on linkedin

මේ වනවිට යුක්රේන අර්බුදය උග්‍රවෙමින් පවතින අතර ඇමරිකානු ජනාධිපතිවරයා මාධ්‍ය වෙත ප්‍රකාශ කර සිටියේ ලෝක ඔලිම්පික් තරඟාවලියට සමගාමිව රුසියාව යුක්රේනයට පහර දීමට ඉඩ ඇති බවයි. ඒ අතර ඇමරිකාව ඇතුළු නේටෝ සාමාජික නැගෙනහිර යුරෝපයේ රටවලට හා රුසියාව සමග පොදු දේශසීමා ඇති රටවලට තොග ගණනින් ආයුධ විකුණමින් හා එම රටවල හමුදා රඳවමින් සිටි. ඒ අනුව පසුගිය පෙබරවාරි 08 වැනිදා ස්ලෝවැකියානු රජය සමග අත්සන් කරනු ලැබූ එවැනි ආරක්ෂක ගිවිසුමකට විරෝධය පා එරට ජනතාව දැවැන්ත උද්ඝෝෂණ රට පුරා පවත්වන ලදී.

1989 දී සමාජවාදී කඳවුර බිඳ වැටීමේදී කිසිදු යුධමය ගැටුමකට අවතීර්ණ නොවී සාමකාමිව වෙන් වූ රටවල් දෙකක් වන චෙක් ජනරජය හා ස්ලොවේකියාව පසුව යුරෝපා සංගමයට හා නේටෝ සංවිධානයේ සාමාජිකයින් බවට පත් විනි. එහි ප්‍රථිපලයක් ලෙස යුක්රේන අර්බුදය හුවා දක්වමින් මිලියන 05ක ජනතාවක් වෙසෙන ස්ලොවේකියාව තුළ ඇමරිකානු හමුදා රැඳවීම සඳහා ගිවිසුමකට එක්වීමට Zuzana Caputovaගේ ලිබරල් රජයට බලකරනුයේ එරට පාර්ලිමේන්තුව තුළින් හා ජනතාවගේ දැවැන්ත විරෝධය මධ්‍යයේය.

පසුගිය පෙබරවාරි 08 වැනිදා, ඇමරිකානු හමුදා කඳවුරු ස්ථාපිත කරලීම සඳහාත්, ස්ලොවේකියානු ගුවන් සීමාවන් පරිහරණය පහසු කරගැනීම සඳහාත්, එරට ගුවන් තොටුපලවල් දෙකක් (Malacky-Kuchyna සහ Sliac) ඒ වෙනුවෙන් වෙන්කර ගැනීම අරමුණු කරගනිමින් අදාළ ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ අවස්ථාවේ පාලක ලිබරල් පක්ෂ මන්ත්‍රීවරුන් හා ජාතිකවාදීන් අතර උණුසුම් තත්වයක් ඇතිවූ බව එරට පලවන වමේ පුවත්පතක් වන ප්‍රව්දා පුවත්පත වාර්තා කර සිටි.

ගිවිසුමට විරෝධය පාමින් ජාතිකවාදී මන්ත්‍රීවරුන් පාලක පක්‍ෂය ඩොලර් මිලියන 100කට රටේ ස්වාධීනත්වය හා භෞමික අඛණ්ඩතාවය පාවා දී ඇති බව පවසමින් පාර්ලිමේන්තුව තුළ ඝෝෂා නගා ඇත. කෙසේවෙතත් අදාළ ගිවිසුමට සම්බන්ධ පනත පාලක පක්ෂය ජයග්‍රහණය කර තිබුනේ 79/60ක් ලෙස සරල බහුතරයකිනි. තමන්ට රුසියාව සමග ඇති එයතිහාසික සම්බන්ධතාවය තුලින් ඇත්තේ ආර්ථික හා දේශපාලන වශයෙන් වාසිදායක තත්වයක් විනා ආරක්ෂාව හෝ ස්වාධීනත්වය නැතිවීමේ ගැටළුවක් නොවන බව එරට ජනතාව ගෙන් බහුතරයක් ප්‍රකාශ කරන බව තවත් වමේ පුවත්පතක් වන Deník Nද තම කතුවැකිය මගින් පෙන්වා දී තිබේ.

මෙම ගිවිසුමට විරෝධය පා ස්ලෝවේකියාවේ අගනුවර වන Bratislavaහි පාර්ලිමේන්තු සංකීර්ණය ඉදිරියට පැමිණි දහස් සංඛ්‍යාත වැසියන් අදාළ ගිවිසුම ඉරා දමමින් උද්ඝෝෂණ පවත්වන ලදී. ඒ අතර රටේ වෙනත් නගරවලත් ඇමරිකන් විරෝධී පෙළපාලි සංවිධාන කර තිබුණු බව රුසියානු මාධ්‍ය වාර්තා කර තිබිණි.

මෙම විරෝධය හමුවේ ඇමරිකානු රාජ්‍ය ලේකම් Anthony Blinken හදිසි ප්‍රකාශයක් කරමින් අදාළ ගිවිසුම මගින් කිසිදු ආකාරයකින් ස්ලෝවේකියාවේ ස්වාධීනත්වයට බලපෑමක් සිදු නොකරන බවත්, ගිවිසුම බල පවත්වනුයේ වසර 10කට පමණක් යයි අවධාරණය කරමින් තත්වය සමනය කිරීමට උත්සහ කර තිබිණි.

එහෙත් එය පිළිගැනීමට ස්ලොවේකියානු ජනතාව සුදානම් නොමැති අතර ඔවුන් පවසා සිටිනුයේ මෙවැනි හමුදා රැඳවීම් හි අවසානය වනුයේ තම රට ඇමරිකාවේ න්‍යෂ්ටික අවි ස්ථාපිත කරන උපක්‍රමික මරමස්ථානයක් බවට නිරතුරුවම පත්වීම බවත්, එමගින් රුසියාවේ ඍජු ඉලක්කයක් බවට තම රට පත්වීමෙන් ජනතාවගේ ආරක්ෂාව අතිෂයින් භයානක තත්වයකට පත්වීම වැළැක්විය නොහැකි වනු ඇති බවත්ය.

මේ වනවිට නේටෝ හමුදාවන් නැගෙනහිර යුරෝපයේ රටවල් 23ක් සමග මෙවැනිම ගිවිසුම් ඔස්සේ ස්ථාපිත කිරීමට ඇමරිකාව ඇතුළු බටහිර රටවල් යුහුසුළු වෙමින් පවතින අතර ඇමරිකානු හමුදාව තම රට තුළට වද්දා ගැනීම ජාතිකවාදී හංගේරියානු රජයේ අගමැති Viktor Orbán විසින්ද ප්‍රතික්‍ෂේප කර ඇත.
– ලංකා ටෘත්

ඇමරිකාව සමග ආරක්ෂක ගිවිසුමකට එරෙහිව ස්ලොවේකියානු ජනතාව පාරට බසී !