ඉතිහාසය කියූ පමණින් අප එකිනෙකාට විවිධ චිත්ත රූප මැවෙන්නට ඉඩ තිබේ. කෙනෙකුට තම ආගමික හා සංස්කෘතික පසුබිමට සාපේක්ෂවත් තවත් අයෙකුට තමන් එදිනෙදා වඩාත් සමීප වන කේෂ්ත්‍ර සමඟත් එසේ වන්නට ඉඩ ඇත.
අප වැනි රටක “ඉතිහාසය” යනු එතරම් බර තබා ඇති විෂයක් නොවේ. එය හැදෑරීම සඳහා උනන්දුවද අඩුය. අනෙක් පැත්තෙන් ඉතිහාසය යනු විද්‍යාවක්ද, කලාවක්ද? යන්න පිළිබදවත් විවාදාත්මක අදහස් රාශියක් තිබේ. මේ සියලු තත්වයන් යටතේ වුවද ඉතිහාසය ඉගෙන ගැනීම අප කා හටත් ඉතා වැදගත් වනු ඇත. ඒ මක් නිසාද යත් වර්තමානයත් අනාගත සමාජයත් පැරණි සමාජ ආර්ථික දේශපාලන සංසිද්ධීන් සමඟ අවියෝජනීය ලෙස බැඳී ඇති බැවිනි.
ඉතිහාසය ගැන අධ්‍යනයේදී පැරණි ග්‍රීකයන් අපට කිසිසේත් අමතක කළ නොහැක. ඉංග්‍රීසි භාෂාවෙන් ඉතිහාසය යන වචනය හදුන්වන යසිඑදරහ යන්න ව්‍යුත්පන්න වී ඇත්තේද යසිඑදරස් යන ග්‍රීක වචනය මුල් කර ගනිමිනි. මෙම ග්‍රීක වචනයෙහි සරල තේරුම වන්නේද පරීක්ෂණ හෝ පර්යේෂණ යන්නයි. “ඉතිහාසයේ පියා” යන නාමයෙන් ප්‍රචලිත හෙරොඩෝටස් සහ තියුසිඩීස් යන ග්‍රීක ඉතිහාසඥයෝ මෙම ඉතිහාසය යන විෂය විද්‍යාත්මක මාවතක් ඔස්සේ වැඩි දියුණු කිරීමට මූලික වූ අය අතරින් ඉදිරිපෙළේ සිටින්නෝ වෙති.
පදයේ අරුත
ඉතිහාසය යන පදය පිළිබදව විවිධ ආකාරයේ නිර්වචන අපට දැකීමට පුළුවන. එම නිර්වචන ඒවා ලබා දෙනු පුද්ගලයන්ගේ විෂය ක්ෂේත්‍ර හෝ රුචිකත්වය මත හෝ ඔවුන් නියෝජනය කරන දේශපාලන බල අධිකාරිය මත පදනම්ව පවතී. එවන් නිර්වචන කිහිපයක් පිළිබදව මදක් අපි අවධානය යොමු කරමු .
සුප්‍රසිද්ධ ඉතිහාසඥයෙකු වූ තෝමස් කලයිල්ට අනුව ඉතිහාසය යනු “ශ්‍රේෂ්ඨ මිනිසුන්ගේ ජීවිත කථාවකි”. එය ප්‍රධාන වශයෙන් “අතීතය සහ වර්තමානය අතර නිමක් නැති දෙබසක්”ලෙස ඊ.එච්. කාර් නැමැති ඉතිහාසඥ විග්‍රහ කොට ඇත. මහාචාර්ය ඊනියාර් සිදු කරන අර්ථ දැක්වීමට අනුව ඉතිහාසය යනු “සමාජ ක්‍රමවල මතක සටහනකි”. ලෝක ප්‍රකට ඉතිහාසඥයෙකු වූ වීල් ඩුරන්ට් පවසන්නේ, “ශිෂ්ට සම්පන්න මිනිසුන් අතීතයේදි කළ කී දෑ සහ සිතූ පැතූ දෑ පිළිබදව වෘතාන්තයක්” බවය. පංති විග්‍රහයකට යටත් කොට “මෙතෙක් පැවති සියලු සමාජවල ඉතිහාසය පංති අරගලවල ඉතිහාසය වේ” යනුවෙන් සඳහන් කරනුයේ කාල් මාක්ස් හා ෆෙඩ්රික් එංගල්ස් විසින් රචිත කොමියුනිස්ට් ප්‍රකාශනයෙනි (මෙම ග්‍රන්ථය රචනා කරන අවධිය වන විට පංති සමාජවලට පෙර පැවති ඉතිහාසයන්හි සමාජීය සංවිධාන ආකෘති පිළිබදව නිසි අධ්‍යනයක් කර නොතිබුණි.)
හැදෑරිය යුත්තේ කෙසේද?
බැලූ බැල්මට අපට ඉතිහාසය පෙනී යනුයේ සිද්ධි මාලාවක් ලෙසයි. අප ලබන අධ්‍යපනයේදීද මෙම සිද්ධීන් එකිනෙකට කිසිදු සම්බන්ධයක් නොමැති දේවල් ලෙස පෙනී යයි. එනිසාම ඉතිහාස සිදුවීම් පිළිබදව අධ්‍යනය කිරීමේදී විද්‍යාත්මක පදනමකින් එයට අවතීර්ණ විය යුතුය. ඉතිහාසයේ සිදු වූ යමක් වර්තමානයේ සිට විශ්ලේෂණය කිරීමේදී එම සිද්ධිය එය වූ කාල පරිච්චේදයේ තබා එම සිදුවීමට විෂය වන කාරණාත් ඒහා බැදුණු සිද්ධීනුත් සංයුක්ත ලෙස ගෙන විමසා බැලිය යුතුය. එය එසේ නොවුණහොත් වන්නේ කුමක්දැයි මදක් විමසා බලමු.
අයිසෙක් නිව්ටන් නම් විද්‍යාඥයා ඇපල් ගසක් මුල වාඩි වී සිටින අවස්ථාවක ඇපල් ගෙඩියක් හිස මතට වැටීම හේතුවෙන් ගුරුත්වාකර්ෂණය පිළිබද අදහස ඔහු තුළ ඇතිවූ බව කුඩා කළ අප කියවා ඇත. අයිසෙක් නිව්ටන්ගේ හිස මතට ඇපල් ගෙඩියක් නොවැටුණානම් ගුරුත්වාකර්ෂණය යන සංකල්පය අද අප හමුවේ නොමැතිද? එසේ නම් මෙය තේරුම් ගන්නේ කෙසේද ?
අයිසෙක් නිව්ටන් ජීවත් වූ වකවානුව, ඔහු හා සමාන්තරව විද්‍යාත්මක පරීක්ෂණයන්හි නිරත වූ පිරිස්, ඔවුන්ගේ පරීක්ෂණවල ස්වභාවය, ඒ මොහොත වන විට විද්‍යාව අත්පත් කර ගෙන තිබූ සංවර්ධනයේ මට්ටම, ඒ මොහොතේ සමාජයේ වුවමනාව ආදි කරුණු සැලකූ විට ගුරුත්වාකර්ෂණය පිළිබද සංකල්පය ඉදිරිපත් කිරීම වෙනුවෙන් නිව්ටන් සැලකිය යුතු කාර්ය භාරයක් ඉටු කළද එය හුදු ඔහු විසින්ම සිදුකළ දෙයක් නොව බව අප තේරුම් ගත යුතුය.
නාවිකයෙකු වූ ක්‍රිස්ටෝපර් කොළොම්බස් විසින් ඇමරිකා මහද්වීපය සොයාගත් බව ලෝක ඉතිහාසය පිළිබද අධ්‍යනය කිරීමේ ඇතැම් පත පොතෙහි සඳහන් වේ. කොළොම්බස්ගේ වුවමනාවට ඇමරිකාව සොයා ගත් බව මෙයින් අපට ගම්‍යවේද? පෙනුම හරය වේ නම් විද්‍යාවක් අවශ්‍ය නොවන්නා සේ පෙනුම කොළොම්බස් ඇමරිකාව සොයා ගැනීම වුවත් හරය එය නොවේ. ඒ අවධිය යනු ධනේශ්වර ක්‍රමයේ ස්වර්ණමය අවධියයි. වැඩවසම් පාලන බිද දමමින් නව දේශපාලන ආධිපත්‍යයක් ලබා ගත් ධනපති පංතිය නව වෙළදපොළවල් සොයා ලෝකය පීරීමට පටන් ගත් එම අවධියේ ලෝකයේ බොහෝ රටවල් ප්‍රමාණයක් තම වෙළදපොළවල් බවට පත් කර ගැනීම මූලික අරමුණ විය. මේ තත්වයන්ට යටත්ව කොළොම්බස් ඇමරිකාවට ගොඩබැසීම ගත් විට එය කොළොම්බස් විසින් සිදුකල හුදෙකලා කාර්යයක් නොව ඒ මොහොතේ සමාජ වුවමනාවේ ප්‍රතිඵලයක් බව පෙනී යයි.
දැනට ගණන් බලා ඇති පරිදි පළමු වන ලෝක මහ යුද්ධය හේතුවෙන් දළ වශයෙන් මිනිස් ජීවිත මිලියන 10ක් පමණ විනාශ වී ඇති අතර මිලියන 20ක් පමණ තුවාල ලබා ඇත. සිවිල් ජනතාවගේ දේපොළ විශාල වශයෙන් විනාශ වී තිබේ.
ඉතිහාසයේ උගන්වන පරිදි ඔස්ටි්‍රයාවේ ඔටුන්න හිමි කුමාරයා වූ ෆර්ඩිනන්ඩ් ආදිපාදවරයා සහ ඔහුගේ බිරිඳ බොස්නියාවේ අගනුවර වූ සරාජිවෝහි මහා මාර්ගයක ගමන් නොකළේ නම් ඉහත සඳහන් ආකාරයේ විනාශයක් සිදු නොවන්නට ඉඩ තිබුණි. මන්ද පත පොතෙහි සඳහන් වන්නේ ඔටුන්න හිමි කුමාරයා ඔහුගේ බිරිද සමග සරාජිවෝහි මාර්ගයක ගමන් කරමින් සිටියදී ඝාතනය වීමේ සිද්ධිය පළමු වන ලෝක මහා යුද්ධය ඇති වීමට තුඩු දුන් ප්‍රධාන හේතුවක් බවයි. එහෙත් වෙළදපොළ බෙදා ගැනීම සඳහා අධිරාජ්‍යයන් අතර හට ගත් ප්‍රතිවිරෝධතාවයන්ගේ ප්‍රතිඵලයක් ලෙස පළමු ලෝක යුද්ධය ඇති වූ බව ඉතිහාසය පොත්වල සඳහන් වන්නේ නැති තරම්ය.
ඉහත සඳහන් කරුණු සැලකූවිට පෙනී යන්නේ, ඉතිහාස ගත කරුණු විද්‍යාත්මක ක්‍රමවේදයකට හැදෑරුවේ නැතිනම් ඒවා නිවැරදිව තේරුම් ගැනීමට නොහැකි වන බවය.
මානව ඉතිහාසය දෙසට
මානව සමාජයේ ආරම්භය දෙසට ගමන් කිරීමේදී අපට පෙනී යන්නේ ගණ, ගෝත්‍ර ආකාරයට එය සංවිධානය වී තිබු බවයි. එසේම ඔවුන් සතු සරලම උපකරණ පවා පොදු අයිතියක පැවතුණු අතර ඔවුන්ගේ ක්‍රියාකාරීත්වය සාමුහික විය. එසේ වූයේ ආරම්භක මානවයන් කරුණාව, දයාව, මෛත්‍රිය පෙරදැරි කරගත් ආශාවන් දුරු කර ගත් පුද්ගලයන් නිසා නොව ඔවුන්ගේ පැවැත්ම සඳහා සාමූහික බව අනිවාර්යය විය. උපකරණයන්හි ප්‍රාථමික බවත් දඩයම් කිරීම තනිව සිදු කළ නොහැකි වීමත් එසේම තවෙකුගේ ගොදුරක් වීම වළක්වාගැනීමත් සාමූහික වීමට බලපාන්නට ඇත. එහෙත් ක්‍රමයෙන් සිදුවූ උපකරණවල සංවර්ධනය හේතුවෙන් තමන් මෙතෙක් සමූහයක් වශයෙන් සිදු කළ ආහාර සොයා ගැනීමේ කාර්යය තනි තනිව හෝ කුඩා කණ්ඩායමක් එක්ව සිදු කළ හැකි වීමත් උපකරණයන්හි දියුණුව හේතුවෙන් පරිභෝජනයට වඩා වැඩි ප්‍රමාණයක් රැස්කර ගැනීමට හැකි වීම තුළින් මෙතෙක් පැවති සාමුහික බව අහෝසි වී යන්නට විය. ඒ වෙනුවට සමාජයේ විෂමතාවයක් නිර්මාණය වන්නට විය අද දක්වාම පවතින්නේ ඒ අසමාන තාවයයි.
යුග පෙරළි
අද අප ජීවත් වන සමාජ වට පිටාවද විෂමතාව උපරිමයට ගොස් ඇත. මූලික මිනිස් අයිතිවාසිකම් හෝ නොමැති ව සමාජයේ බොහෝ කොටසක් ජීවත්වේ. ඇතැමුන්ට මෙම සමාජ ආර්ථික රටාව කිසිදා වෙනස් කළ නොහැකි දෙයක් බවට පත්ව තිබේ. මෙය වෙනස් කිරීමට උත්සහ කිරීම පවා කළු ගලක හිස ගසා ගැනීමක් වැනි බව ඇතැමුන්ගේ අදහස වේ. එය එසේද? නැත. මානව සමාජයේ ඉතිහාසය දෙස බැලීමේදි එය නිසොල්මනේ ගලා එන්නක් නොව යුග පෙරළි සිදු කරමින් එන්නක් බව අපට පෙනී යනු ඇත.
එවන් ඉතිහාසයේ යුග වෙනස් කළ අරගලයන් සම්බන්ධයෙන් ඔබ හා සංවාදයක් ආරම්භ කිරීම මෙම ලිපි පෙළේ අරමුණ වේ. එබැවින් එවන් යුග වෙනස් කළ අරගලයන් සම්බන්ධයෙන් ලබන කලාපයෙන් අප මුණ ගැසෙමු.