නූතන පවුලේ වැරැද්ද මොකක්ද?

SHARE

Share on facebook
Share on google
Share on twitter
Share on linkedin

මිනිසා බිහිවූ දා සිට ඔහු ජීවත් වන්නේ, සතුන් මෙන් රංචුවක් ලෙස නොව සමාජයක් ලෙසය. රංචුව හා සමාජය අතර විශාල වෙනසක් තිබේ. එම වෙනසෙහි පදනම නිෂ්පාදනයය. මානව සමාජය යනු නිෂ්පාදනය, බෙදාහැරීම, පරිභෝජනය හා ප්‍රතිනිෂ්පාදනය නැමති ක්‍රියාවලිය විසින් එකට බැඳ තබන, එම නිෂ්පාදන ක්‍රියාවලිය විසින්ම බිහිකර ඇති සම්ප්‍රදායත්, රීතීන් හා පසුව නීතීන් විසින්ද එකට බැඳ තබා ඇති මානව සාමූහිකත්වයක් හෙවත් මානව ප්‍රජාවකි. එබැවින් සමාජය තුළ සියල්ල තීරණය කරන්නේ, ඒ ඒ යුගවල පවතින නිෂ්පාදන මාදිලිය හා දේපළ සබඳතා විසිනි. පවුල යනු සමාජයේ කුඩාම තැනුම් ඒකකය වේ. එවිට යම්කිසි සමාජයක පවත්නා තත්වය පවුල තුළින්ද ප්‍රකාශයට පත්වේ. නැතිනම්, අනෙක් අතට තේරුම් ගතහොත් පවුල යනු අදාළ සමාජයේම ප්‍රකාශනයකි. එබැවින් සමාජයක් අර්බුදයට ගියවිට ඊට ලක්නොවී ඉන් මිදී සිටීමට ‘පවුලට’ නොහැක. අර්බුදයට ගොස් පිරිහීමට ලක්වූ සමාජයක් තුළ පවුල් වියුක්තව අර්බුදයෙන් බේරා ගත නොහැක. සත්‍යය එයයි.

පෞද්ගලික දේපළ නිසා…

සමාජය පෞද්ගලික දේපළ මත පංතීන්ට බෙදී එකී පංති අතර ගැටුමක් හටගත් දිනයේ සිට සමාජය ගමන්කරන්නේ එම ගැටුම හෙවත් පංති සටන් තුළය. පංති අතර වන මෙම ගැටුම සහිතව, දේපළ පෞද්ගලිකව ගොඩනැගීමේ වුවමනාව සහිතව, ගමන්කර ඇති සමාජය එම ගමන්මඟ තුළ භෞතික ජයග්‍රහණ රැසක් අත්පත් කරගෙන තිබේ. එහෙත් ඒ අතරම සමාජයක් ලෙස අර්බුදයට ගොස් පිරිහීමටද ලක්ව තිබේ. සමාජය තුළ පවතින භෞතික දියුණුව මෙන්ම පංති ගැටුමේ ප්‍රතිවිරෝධයත් එහි පිරිහීමත් පවුල තුළද විද්‍යාමාන මේ. මිනිසුන් පෞද්ගලික වුවමනා මත, පෞද්ගලිකත්වය මත සිතන, එසේ සිතීමට හා ක්‍රියාකිරීමට බලකර ඇති සමාජයක පවුලේ සබඳතා නිර්මාණය වන්නේද, ඒවා පවතින්නේද ඉහත පෞද්ගලික අරමුණු පදනම් කර ගෙනය. පවුලේ අර්බුදයේ පදනම එයයි. තනි වචනයෙන් කිවහොත් වත්මන් පවුලේ අර්බුදයේ හේතුව වත්මන් සමාජයේ අර්බුදයේ හේතුවමය. එනම් පවුල පෞද්ගලික දේපළ මත පදනම් වීමය.

ලිංගිකත්වය හා වෙළඳපොළ

ධනවාදයේ අප ජීවත්වන කාර්තුව තුළ එනම් ගෝලීයකරණ තත්වය තුළ පවුලේ හා මිනිස් සබඳතාවල තත්වය වඩාත් බරපතළ වී තිබේ. ඒ ධනේශ්වර වෙළඳපොලේ ලිංගික වෙළඳාම මහා පරිමාණ ව්‍යාපාරයක් වී තිබීමත් සමඟය. දැන් ලිංගික වෙළඳාම තුළ මාංශ වෙළඳාම පමණක් නොව විවිධ ලිංගික උපකරණද නිරුවත් ඡායාරූපද, ලිංගික දර්ශනවලින් පිරි නිල් චිත්‍රපටද, ව්‍යාජ ලිංගික උපදෙස්ද, විවිධ ඖෂධ වර්ගද, බොරු වෙදකම්ද, යන සියල්ල පිරී තිබේ. එය ලොව විශාලතම ජාවාරමක් වී තිබෙන අතර ඉන් පවුලට හා සමාජයට සිදුකර ඇති විනාශකාරී බලපෑමද අති මහත්ය.
මිනිසා උපතින්ම ලිංගික සත්වයෙකි. එය වර්ගයා බෝ කිරීම සඳහා සොබාදහම විසින් කළ නිර්මාණයකි. ඔහු ආරම්භයේදී මෙම ලිංගික වුවමනා ඉටුකරගනු ලැබුවේ තමා ජීවත් වූ ගණය හා ගෝත්‍රය තුළ නිදහසේ ගැහැනුන් හා පිරිමින් ලිංගිකව එක්වීමෙනි. අප ආරම්භක ලිපිවලින් සාකච්ඡා කළ පරිදි සමාජීය වුවමනාවන් වෙනුවෙන්, ලිංගික සබඳතා පවත්වන පිරිස්වල යම් සීමා ඇති කළද ස්වභාවික මිනිස් අවශ්‍යතාවයක් වූ එය ස්වාභාවික ලෙස ඉටුකර ගැනීමට අතීත සමාජය තුළ ඉඩකඩ තිබිණි. එහෙත් සමාජය දේපළ මත පංතීන්ට බෙදී පියාගේ දේපළ තම දරුවන්ට උරුමකර දීම සඳහා ඒකභාර්යා වෘතය සහිත පවුල බිහිකළ විට මිනිසාගේ ලිංගික වුවමනා ඉටුකර ගැනීම එම පවුල තුළට සීමා කරන ලදී. ඒ සඳහා විවාහය යන සදාචාරමය හා නෛතික බැඳීමද ඇතිකරන ලදී. එහෙත් අතීතය පුරාම ඊට පිටින් ලිංගික සබඳතා පැවැත්වීමේ ක්‍රම තිබූ බව අප කලින්ද කථා කළෙමු.

වහල්, වැඩවසම් හෝ ආසියාතික වැනි සමාජ තුළ ලිංගික සබඳතා පැවැත්වීමේ සදාචාරමය ක්‍රමය විවාහයක් මගින් පවුල තුළින් සොයා ගත යුතු වුවද එය ඊට සීමා නොවීය. එහෙත් එය විශාල වෙළඳාමක් වූයේ නැත. නමුත් ධනවාදය සමාජ ක්‍රමයක් ලෙස කරළිගත වූ සැණින් සියල්ල ලාභ ලැබීමේ අරමුණින් කරන වෙළඳාමක් බවට හැරවීය. එවිට පවුලට පිටින් සිදුවෙමින් තිබූ සරල ගණිකා වෘත්තීය මහා පරිමාණ ලාභ ලබන ව්‍යාපාරයක් බවට හරවන ලදී. ධනවාදය තුළ ස්ත්‍රිය වෙළඳ භාණ්ඩයක් බවට පත්කළ අතර ලිංගික ආශ්වාදය සේවාවක් බවටද පත්කරන ලදී. ලිංගික වහල් වෙළඳාම බිහිවිය. මෙම වෙළඳපොළ ස්ත්‍රියගේ ශරීර විකිණීමට සීමා නොවීය. විවිධ ලිංගික උපකරණ, ඒ සඳහා වන ඖෂධ වර්ග (මින් බොහොමයක් අහිතකර දේවල්ය)
ලිංගික දර්ශන, පින්තූර හා ඊනියා උපදෙස් දක්වාම වර්ධනය විය. නූතන ධනවාදය ඕනෑම භාණ්ඩයක් විකිණීමේදී එම භාණ්ඩය මිලදී ගැනීමට පාරිභෝගිකයා තුළ කැමැත්ත ඇතිකරනු ලැබේ. වෙළඳ ප්‍රචාර යොදා ගන්නේ ඒ සඳහාය. ලිංගික වෙළඳාම සඳහාද ධනපති පංතිය එකී වෙළඳ ප්‍රචාර සිදුකළේය. එමගින් ලිංගික සබඳතා තුළ ඇති, සැබෑවට නොපවතින, අපූරු අත්දැකීම් ඇති බව පෙන්වීය. ස්ත්‍රින්ගේ හා පුරුෂයන්ගේ අඟ පසඟ සඳහාද විවිධ වටිනාකම් ආරෝපණය කළේය. එහි ප්‍රතිඵලය වූයේ, කිසිවෙකු නොලබන එහෙත් ලැබිය හැකි යයි සිතන මිරිඟුවක් පසුපස මිනිසුන් දිව යාමත්, ඒ සඳහා වන තරගයත් විසින් මානව සමාජයේ පැවැත්ම අනතුරට ලක්වන තරමටම මිනිස් සබඳතා මානුෂීයත්වයෙන් දුරස්වීමය. ධනපති ක්‍රමයේ ලිංගික වෙළඳපොළ හසුරුවන්නන් ලිංගිකත්වය පිළිබඳ මිනිසුන් තුළ ඇතිකළ දුර්මත පවුලට පිටින් සිදුවන ලිංගික කටයුතුවලට පමණක් නොව පවුල තුළ ස්ත්‍රී පුරුෂ සබඳතාවලටද අහිතකර ලෙස බල පෑවේය. ගැහැනුන් මිනිසුන්ගේ ගොදුරු බවට, සතුට ගෙනෙන උපකරණ බවට පත් වූයේ මේ නිසාය. ගැහැනුද සිය සිරුර වැඩිම ‘මිලකට’ විකිණීම සඳහා එහි වටිනාකම් වැඩිකර ගැනීම සඳහා කටයුතු කළෝය. ඒවාට ඒ සඳහා තවත් ජාවාරම්කාරී සේවා බිහිවිය.

ලිංගික සේවා හා රූපලාවන්‍යය

ලිංගික අවශ්‍යතාවයන් උත්කර්ෂයට නංවා, ඊට නැති වටිනාකමක් ලබා දුන් ධනපති ක්‍රමය එම මනෝභාවයන්ට ගොදුරු කරගත් ගැහැනුන් හා පිරිමින් සූරාකෑම සඳහා අවශ්‍ය අතුරු සේවාවන්ද ඇති කළේය. විවිධ වෛද්‍ය සේවා හා රූපලාවණ්‍ය ක්‍රම ඉන් ප්‍රධාන විය. මිනිසුන් පොදුවේ ලස්සනට හා ප්‍රිය මනාපව සිටීමට කැමතිය. එය ස්වභාවිකය. ඈත අතීතයේ සිටම මානව වර්ගයා විවිධ ආභරණ පැලඳීමටත් සම වර්ණ ගැන්වීමටත් කටයුතු කළේය. ඒවා ගැටලු නොවේ. එහෙත් ධනවාදය ඒවා අතිශයෝක්තියට නංවා තම වෙළඳ වුවමනා සඳහා යොදා ගත්තේය. සිලිකන් යොදා පියයුරු හැඩකරවීමේ හා අඟපසඟ වෙනස් කරලීමේ ශල්‍යකර්ම මහා පරිමාණ ව්‍යාපාරයක් බවට පත්වූයේ ධනවාදය තුළය. හමේ වර්ණය සුදු කරන ක්‍රීම්වර්ගවලට කාන්තාවන් හා පුරුෂයන් මෙතරම් රැවටුණු යුගයක් තවත් නැත. ධනවාදය තුළ ස්ත්‍රී රූපයට, ස්ත්‍රී සිරුරට පමණක් නොව කන්‍යාභාවයටද මිල නියමකර තිබේ. අවසානයේ ධනවාදය දැවැන්ත ලිංගික වෙළඳපොළක් හා ඊට අනුබද්ධ සේවා සැපයීමේ කර්මාන්තයක් නිර්මාණය කර තිබේ. එහි ඇති සෑම දෙයක්ම ලිපියක ලිවීමට නොහැකි තරම් දේවල් බව පමණක් අවධාරණය කිරීම ප්‍රමාණවත්ය. නූතන පවුලේ පැවැත්ම ඛේදවාචකයක් බවට පත්වීමට මෙම තත්වයන්ද බලපා තිබේ.

විවාහ වීමද අර්බුදයක් වූ කල

පූර්ව ධනවාදී සමාජය තුළ පීඩිත පංතීන් ජීවත් වූ සරල ජීවිතය තුළ ඔවුහු සිය පරිසරය තුළින්ම ස්ත්‍රීන් හා පුරුෂයන් සොයාගෙන විවාහ වූහ. එබැවින් ලිංගික පූර්ණත්වයට පත්වන විටම තරුණයන් හා තරුණියන් හා විවාහ වීම සාමාන්‍ය දෙයක් විය. එහෙත් ධනවාදයේ අප ජීවත්වන කාර්තුව ඊට වඩා වෙනස් වී තිබේ. දෙදෙනෙක් පවුලක් ලෙස විවාහ වීමට ඔවුන් ආර්ථික වශයෙන් යමක් උපයාගත යුතු වීම දැන් පූර්ව කොන්දේසියක් වී තිබේ. එක්කෝ රැකියාවක් තිබිය යුතුය. නැතිනම් ආදායම් මාර්ගයක් තිබිය යුතුය. ගෙයක් කුලියට හෝ ගෙන දෙදෙනෙකුට ජීවත් වීමට තරම් ආදායම් මාර්ගයක් නොමැතිව විවාහ වීමට නුපුලුවන. රැකියාවක් සඳහා ඉගෙන ගැනීමටද එනම් අධ්‍යාපනයටද කාලය වෙන්කළ යුතුය. එහි ප්‍රතිඵලය වන්නේ කුමක්ද? ඉගෙන ගෙන
රැකියාවක් සොයා ගන්නා තුරු, ආදායම් මාර්ගයක් සකස් කරගන්නා තුරු විවාහය කල් යාමය. දැන් බෝ විට පිරිමින් විවාහ වන්නේ අවුරුදු 30-35 සීමාවේ වන අතර ගැහැණුන් අවුරුදු 25-30 සීමාවේය. මෙය ඉක්මවන අවස්ථාද තිබේ. මෙහිදී තවත් අර්බුදයක් මතුවේ. තරුණ තරුණියන් ලිංගිකව පූර්ණත්වයට පත්ව ලිංගික වශයෙන් සක්‍රිය හා ජීව විද්‍යාත්මකව ලිංගික හැසිරීම් අවශ්‍යවන කාලයේ එය ඉටුකරගැනීම සඳහා විවාහ වීමට ඔවුන්ට බාධා තිබේ. ඒ ආර්ථික තත්වයන්ය. එවිට විවාහ වීමට පෙර ගතකරන ජීවිතය තුළ ලිංගික පීඩනයක් ඇතිවේ. ධනපති ව්‍යාපාරිකයන්, වෙළෙන්දන් ප්‍රයෝජනයට ගන්නේ මෙම ත්තවයය. මාංශ වෙළඳාම, නිරුවත් ඡායාරූප, නිරුවත් දර්ශන සහිත වීඩියෝ පට, සඳහා වෙළඳපොළ සැකසෙන්නේ මෙවැනි අයටය. තරුණ වයසේ ප්‍රේම සබඳතා ඇතිවී එහෙත් විවාහය කල්යන විට විවාහයට පිටින් ලිංගිකව
හැසිරෙන අවශ්‍යතා හා අවස්ථා නිර්මාණය වේ. සමාජ සදාචාරයට අනුව එය සදාචාර විරෝධී වුවත් ඒවා වර්ධනය වේ. එවැනි අයට පහසුකම් දීමේ ඊනියා සේවාවන් ‘තාවකාලික ලැගුම් හල්’ හෙවත් ‘ගෙස්ට්’ මගින් මෙය ඉටුකර දෙයි. ඒ සමගම නීති විරෝධී ගබ්සා මධ්‍යස්ථානද කාර්යබහුල වේ. පෞද්ගලික දේපළ විසින් ඇතිවූ ධනවාදයේ අර්බුදය පවුලත් මානව සමාජයත් අර්බුදයට ලක්කර ඇත්තේ එසේය.
දේපළ හිමි පංතියට මෙහිදී මුදල් වියදම් කර තම අවශ්‍යතා ඉටුකර ගැනීමට හැකි වුවත් පීඩිත පංතීන්ට එසේ කළ නොහැක. එහෙත් මානව අවශ්‍යතාවයන් කාටත් පොදුය. එම තත්වය තුළත් නොදැනුවත්කමත්, පසුගාමිත්වයත් ධනවාදී වෙළඳපොළ සංකල්ප හා ආකල්ප විසින් කරන අහිතකර බලපෑමත් නිසා කණගාටුදායක අත්දැකීම්වලට මුහුණ දෙන්නේත්, පියවරු නැති දරුවන් බිහිකරන්නේත් නීති විරෝධී ගබ්සා නිසා මිය යන්නේ හෝ රෝගී වන්නේත් සමාජ රෝගවලට ලක්වන්නේත් සමාජයට මුහුණ දීමට නොහැකිව දිවි නසා ගන්නේත් පීඩිත හා සාමාන්‍ය තරුණයන් හා තරුණියන්ය.
මේ සියල්ලෙන් පෙනී යන්නේ, ධනවාදය තුළ පවුලත් ලිංගික සබඳතාත් මානව සබඳතාත් විසඳිය නොහැකි අර්බුදයකට ලක්ව ඇති බවය. විශාල පිරිහීමකට ලක්ව සමාජ ඛේදවාචකයක් වෙත ගමන් කරන බවය. පවුලත් මානව සමාජයත් තරුණ පරපුරත් මේ ඛේදවාචකයෙන් මුදාගත යුතුව තිබේ. ඊට ඇති මඟ කුමක්ද?

නූතන පවුලේ වැරැද්ද මොකක්ද?