ඉඩම් හිමි රදලයා සහ “ඉඩමක්” හිමි වහලා

SHARE

Share on facebook
Share on google
Share on twitter
Share on linkedin

ඉඩමේ බිහිවීම

ඉහතින් අප සාකච්ඡා කළ වහල් හිමි සමාජයේ නිෂ්පාදන සම්බන්ධතාව තීරණය වූයේ, වහලුන් සහ වහල් හිමියන් අතරය. මෙහි සූරාකෑමේ මාධ්‍ය වහලා ලෙස හඳුන්වනු ලැබූ අතර එම සමාජය තුළදීම ඇතැම් ප්‍රභූවරුන්, බලවත් පුද්ගලයින් තමන් යටතේ සිටින සේවකයන් ඉඩම්වල සේවයට යොදවා ඉඩම සූරාකෑමේ මාධ්‍ය බවට පත්වන සමාජයට මූලාරම්භයක් සැපයූ බව ඉතිහාසයේ සඳහන් වේ. එනම් වහල් හිමි සමාජය තුළදීම මීළඟට බිහිවන නව සමාජයේ කළල බීජ හට ගනිමින් තිබූ බව අපට පෙනී යයි. මෙය එක දිනකින් හෝ දින කිහිපයකින් සිදු වූවක් නොවන අතර වහල් හිමි සමාජයේ සිටි දේපළ සහිත කොටස් සැලසුම් සහගතව නව සමාජ ආර්ථික ව්‍යුහයක් ඇති කළාද නොවේ. පීඩනයට එරෙහි වහලුන්ගේ අරගලත්, නිෂ්පාදන උපකරණයන්හි වර්ධනයත් මූලික වශයෙන් නව නිෂ්පාදන සම්බන්ධතාවයක් සඳහා සමාජය තල්ලු කළ බව පෙනේ.

නව පංති බෙදීමක්

ඉඩම් හිමියන් සහ ප්‍රවේණි දාසයන් වශයෙන් මුලික පංති බෙදීම සිදු වුවත් එය ක්‍රියාත්මක වීමේදී එහි පෙනුම විවිධ රටවල විවිධ ආකාරයෙන් ක්‍රියාත්මක වී තිබේ. එනිසා ඉතිහාසඥයන් වැඩවසම් ක්‍රමය සඳහා විවිධ අර්ථකථන දී ඇත. ස්ටබ්ස් නැමැති ඉතිහාසඥයාට අනුව වැඩවසම් ක්‍රමය යනු රජුගේ සිට ප්‍රවේණි දාසයන් දක්වා සියලු දෙනාම ඉඩම් භුක්තිය වෙනුවෙන් ඉටු කරන වගකීම් සමුදාය සමඟ බැදී තිබෙන සමාජ සංවිධානයකි.
සරලව වැඩවසම් ක්‍රමය තුළ නිෂ්පාදනය පදනම් කර ගනිමින් සමාජය සංවිධානය වී තිබූ ආකාරය මෙසේ තේරුම් ගත හැක. රජු රාජ්‍යයේ ප්‍රධානියා වූ අතර සියලු ඉඩම්වල හිමිකාරිත්වය ඔහුට පැවරුණි. රාජ්‍යය තුළ තිබෙන සියලු ඉඩම් කොටස්වලට බෙදූ පසු එයින් ප්‍රධාන කොටස් කිහිපයක් රජු විසින් තම බාරයේ රඳවා ගන්නා ලද අතර ඉතිරි කොටස් ප්‍රභූන් අතර බෙදා දෙන ලදී. එසේම ප්‍රභූන්ට ඉඩම් ලබාදීමේ ප්‍රධාන කොන්දේසියක් වූයේ, ඔවුන් රජුට අතිශයින්ම පක්ෂපාතී වීමත් රජුට අවශ්‍ය වූ විටක යුද කටයුතු සඳහා හමුදාවක් සැපයීමට බැඳී සිටීමත්ය. (එකල ප්‍රභූවරුන් සතුවද වෙනම හමුදාවක් පැවතුණි.) මෙසේ රජුගෙන් ප්‍රභූන්ට ලබා දෙන ලද ඉඩම් කොටස් ලැබිණි. ප්‍රභූන්ද තම ඉඩම් කොටස් කර තමාගේ යටත් කුඩා ඉඩම් හිමියන් පිරිසකට බෙදා හැරි අතර ඔවුන්ටද ප්‍රභූන්ට ගරු බුහුමන් දැක්වීමටත් සේවය කිරීමටත් සිදු විය. මෙසේ ඉඩම් කොටස් බෙදා හැරීමේ ක්‍රියාවලියේ අන්තිම පුරුක වූයේ ප්‍රවේණි දාසයාය. ඔහුට ඉතා කුඩා ඉඩම් කැබැල්ලක් ලැබුණි. ඒ, ඔහු ඉඩම් හිමියට කරන සේවය සඳහාය. එම ඉඩම් කැබැල්ලේ සැබෑ අයිතිකරු ඔහු නොවීය. ඔහු ප්‍රවේණියෙන්ම, එනම් පරපුරෙන්ම (උපතින්ම) දාසයෙකු විය.
පල්ලියටද ඉඩම් ලැබුණු අතර රජුගෙන් ප්‍රභූන්ට ඉඩම් ලැබෙනවාට සමාන්තරව පල්ලි සංවිධාන යටතේ ඉඩම් ලැබුණේ බිෂොප්වරයෙකුටය. ප්‍රවේණි දාසයාගේ ආධ්‍යාත්මික අවශ්‍යතාවයන් ඉටු කරන ලද්දේ පල්ලිය විසිනි. වෙනත් වචනයෙන් කිවහොත් ඉඩම් හිමි ප්‍රභූ පංතියට අවශ්‍ය ආකාරයට ප්‍රවේණි දාසයන් අවනත කර තබා ගැනීමට අවශ්‍ය මතවාදය සැපයීම පල්ලිය මගින් සිදු කරන ලදී. මෙසේ සිදුවූයේ පල්ලියේ බිෂොප්වරුන්ද ඉඩම් හිමි පංතියට අයත් වීම නිසාය.
මෙම නව නිෂ්පාදන රටාව හිමි සමාජ ක්‍රමය වැඩවසම් සමාජ ක්‍රමය ලෙස හඳුන්වනු ලබන අතර ඉඩම් හිමියන් සහ ප්‍රවේණි දාසයන් වශයෙන් මූලික පංති බෙදීමක් මෙහි දක්නට ලැබේ.

දාසයාගේ ශ්‍රමය

ප්‍රවේණි දාසයා තමන්ට ලැබූ ඉඩම් කැබැල්ලේ වගා කළ යුතු වූවාක් මෙන්ම ප්‍රභූවරයාගේ, වංශාධිපතිවරයාගේ හෝ බිෂොප්ගේ හෝ පොදුවේ ඉඩම් හිමියාගේ ඉඩමෙහි කිසිදු අය කිරීමකින් තොරව වගා කටයුතු කළ යුතු විය. ඒ සඳහා ඔහුට ලැබුණේ ඒක්කේ අස්වැන්නෙන් සොච්චමකි. නැතිනම් ඔහුටම වගාකරගැනීමට ඉඩම් කැබැල්ලකි. එසේම තමන්ගේ ඉඩම් කැබැල්ලෙන්ද ලැබෙන නිෂ්පාදනයෙන් කොටසක්ද බදු වශයෙන් ඔහුට ඉඩම ලබාදුන් ඉඩම් හිමියාට ලබා දිය යුතු විය. තත්වය මෙසේ වුවත් තම ඉඩම අතහැර වෙනත් විකල්පයක් සොයා ගැනීමට ඔහුට අවස්ථාවක් නොවූ අතර ඔහු ඉඩමට බැඳ තබන ලද වහලෙක්ම විය. එහෙත් වහල් හිමි සමාජයේ වහලාට සාපේක්ෂව ප්‍රවේණි දාසයාගේ තත්වය යම් ඉහළ මට්ටමක විය. වහලාට තමන්ට කියා කිසිවක් නොමැති වුවද ප්‍රවේණි දාසයාට පෞද්ගලිකව පරිහරණ කිරීමට ඉඩම් කැබැල්ලක් තිබිණි. මේ තත්වය වහල් යුගයට වඩා යම් ප්‍රමාණයකට නිෂ්පාදනය වැඩි කිරීමට ඉවහල් විය.
“නව සමාජයේ නිෂ්පාදන සම්බන්ධතා ඉඩම් හිමි රදල පංතියත් ප්‍රවේණි දාස පංතියත් අතර තීරණය විය. ප්‍රවේණි දාසයා ස්වකීය රදලයාගේ ඉඩම්හි අනිවාර්යයයෙන්ම වැඩ කළ යුතු විය. ඔහු ඉඩමට බැඳ තැබූ වහලෙකු විය. තම ස්වාමියා අතහැර පලායාමට නිදහසක් ඔහු සතු නොවීය. එසේ වුවත් රදලයාට කරන ලද සේවයට ගෙවීමක් වශයෙන් ප්‍රවේණි දාසයා ඔහුගේ පෞද්ගලික පරිභෝජනයට ඉඩම් කැබැල්ලක් ලබා ගති. එම නිසා වහල් සමාජයේ වහලාගේ තත්වයට වඩා ප්‍රවේණි දාසයාගේ තත්වය බෙහෙවින්ම යහපත් විය. මීට අමතරව තම රදලයාගේ ආරක්ෂාවද ප්‍රවේණි දාසයාට හිමි විය. නිෂ්පාදන සම්බන්ධතාවල ඇති වූ මේ වෙනස නිෂ්පාදන බලවේගයන්ගේ වර්ධනයට හේතු විය. නිෂ්පාදකයාට (ප්‍රවේණි දාසයාට) තම ශ්‍රමයේ කිසියම් ප්‍රතිලාභයක් හිමි විය. (එහෙත් වහල් යුගයේදී වහලාගේ ශ්‍රමයේ සම්පූර්ණ ප්‍රතිලාභය වහල් හිමියා විසින් සූරාගත් ආකාරය අපි දුටුවෙමු.) එම නිසා ප්‍රවේණි දාසයා තම ශ්‍රමයේ කාර්යක්ෂමතාවය වැඩි දියුණු කිරීමට හේතුවන මෙවලම් හොදින් රැක බලා ගත්තේය. වසරකට කන්න දෙක තුනක් ධාන්‍ය වගා කිරීමත්, භූමිය පොහොර යොදා සරු කිරීමටත් පෙළඹුණි. මෙහි ප්‍රතිඵලය වූයේ කෘෂිකාර්මින නිෂ්පාදනය ඉතා වේගයෙන් වර්ධනය වීමයි. ඒ සමගම ශිල්ප ශ්‍රේණි ක්‍රම යටතේ සුළු පරිමාණික කාර්මික සහ කාර්මික වර්ධනය කෙරෙහි බලපෑවාවූ නව සොයා ගැනීම් රාශියක්ම මේ යුගයේදී ඇති විය. මාලිමා යන්ත්‍රය, දුරදක්නය, වෙඩි බෙහෙත්, කඩදාසි සහ මුද්‍රණ යන්ත්‍රය මෙම සොයාගැනීම් අතුරෙන් ප්‍රධාන ඒවා වූ අතර සුළඟින් සහ ජලයෙන් ක්‍රියාත්මක වන බල මෝල් (ඡදඇර ඵසකකි) සොයා ගැනීම නිසා නිෂ්පාදන උපක්‍රමයේ විශාල වර්ධනයක් ඇතිවිය.” – දේශපාලන චින්තනයේ ඉතිහාසය – පිට -156- එස්. දයා ප්‍රනාන්දු

යුගය නිමා කරන සටන්

කෙසේ වුවද මේ වන විට පැවති වැඩවසම් නිෂ්පාදන සම්බන්ධතා පුළුල් වූ වෙළඳපොළ විසින් ඉල්ලා සිටි නිෂ්පාදන සම්බන්ධතාවලට බාධාවක් විය. අනෙක් අතින් ප්‍රවේණි දාසයන් හට ඉඩම් හිමියන්ගෙන් එල්ලවන පීඩනයත් ඔවුන් ඊට එරෙහිව නැගී සිටීමත් ක්‍රමයෙන් වර්ධනය වන ධනපති පංතියට රාජාණ්ඩුවෙන් මෙන්ම ඉඩම් හිමියන්ගෙන් එල්ලවන බාධාවනුත් හමුවේ තවදුරටත් වැඩවසම් ක්‍රමය නිෂ්පාදන බලවේගයන්ගේ සංවර්ධනයට බාධාවක්ම විය. මේ තත්වයන් හමුවේ ප්‍රවේණි දාසයන්ගේ හා නව ධනපති පංතියේ වුවමනාවන් සමපාත වූ අතර ධනපති පංතියේ නායකත්වය යටතේ ප්‍රවේණි දාසයන් සිය විමුක්තිය උදා කරගත හැකි වේයැයි උපකල්පනය කරමින් දියත් කළ සටන් ඇරඹෙන්නට විය.
වැඩවසම් සමාජ ක්‍රමය බිඳ හෙළීමට අප ඉහතින් සඳහන් කළ ආකාරයේ සටන් ගණනාවක් ඇති විය.

ඉඩම් හිමි රදලයා සහ “ඉඩමක්” හිමි වහලා