ධනවාදයේ ඛේදවාචකය

SHARE

Share on facebook
Share on google
Share on twitter
Share on linkedin

2015 වසරේ සැප්තැම්බර් 06වැනිදා බි්‍රතාන්‍යයේ බීබීසී මාධ්‍ය ආයතනය වාර්තා චිත්‍රපටයක් විකාශය කළේය. ීමටැර ෘ්ාාහල ීමටැර ඊ්ඉහ නම් වූ එය ‘සුගර් ඩැඩීලා’ සහ ‘සුගර් බේබිලා’ පිළිබඳ සත්‍ය කතාවකි.(01) එතෙක් සීමිත පිරිසකගේ අත්දැකීමක්ව පැවති ගණිකා වෘත්තියේ නූතන ස්වරූපයක් එයින් නිරාවරණය කෙරිණි. එය තවදුරටත් පංති සමාජය තුළ කාන්තාව සූරාකෑමේ පැරණිතම ස්වරූපය වූ හුදු ගණිකා වෘත්තිය නොවේ; නව ලිබරල් ධනවාදය තුළ අධ්‍යාපනය, වෙළඳපොළ භාණ්ඩයක් බවට පත් කරනු ලැබීම හේතුවෙන් පැනනැගුණු නරුමකමක සමාජීය ප්‍රකාශනයක්ද වේ.

අධ්‍යාපන පෞද්ගලීකරණය

වාර්තා චිත්‍රපටයට අනුව එංගලන්තයේ ඉහළම පෙළේ විශ්වවිද්‍යාලයන්හි අධ්‍යාපනය ලැබීමට අදාළ වියදම් පියවා ගැනීම වෙනුවෙන් ශිෂ්‍යාවන්ට වියපත් ධනවතුන්ගේ ආශාවන් ඉටු කිරීමට සිදුව තිබේ. මෙසේ සොයා ගන්නා තමන්ගේ පියවරුන්, මුත්තණුවන් හා සමාන වයස් ගත වූවන් ‘සුගර් ඩැඩීලා’ වන අතර ඔවුන් ඇසුරු කරන මෙම තරුණියන් හැඳින්වෙන්නේ ‘සුගර් බේබිලා’ ලෙසය.

පෞද්ගලික අධ්‍යාපන ආයතනයන්හි පූර්ණකාලීන පාඨමාලා හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ඒවාට අදාළ ගෙවීම් කිරීම සඳහා අර්ධකාලීන රැකියාවන්හි නිරත වීමට සිදුව තිබීම ධනවාදය තුළ පොදු යථාර්ථයක් වී තිබේ. කෙසේ වුවද අධ්‍යාපන ගෙවීම් සඳහා මුදල් ඉපයීම වෙනුවෙන් තම ලිංගිකත්වය අලෙවි කිරීමට ශිෂ්‍යාවන්ට බලකෙරී තිබීම ඉන් ඔබ්බට ගිය කරුණකි. ඒ, අධ්‍යාපනයේ පෞද්ගලික හිමිකාරිත්වය යටතේ එය මිලදී ගැනීමට බලකෙරුණු එහෙත් ඒ වෙනුවෙන් වියදම් දැරීමට ආර්ථික හැකියාවක් නොමැති පවුල් පසුබිමකින් පැමිණෙන ශිෂ්‍යාවන් නරුම ධනවාදය විසින් ගොදුරු කර ගැනීමේ  ඛේදවාචකය මෙම ක්‍රියාවලියේදී පාවිච්චි වන වචනය වන ‘සුගර්’ (සීනි) මෙන් මිහිරි නොවන බැවිනි.

‘ඇමසෝන්’ වහල් කඳවුරු

පෝබ්ස් සඟරාවට අනුව ලොව ධනවත්ම පුද්ගලයා ලෙස දැනට සිව් වසරක කාලය පුරා රැඳී සිටින්නේ ඇමසෝන් (්ප්‘දබ) ව්‍යාපාරයේ ආරම්භකයා මෙන්ම හිමිකරුවා වන ජෙෆ් බෙසෝස්ය (න්‍ැff ඊැ‘දි). කොවිඞ් වසංගතයෙන් ලෝකය බැටකමින් සිටි 2020 වසර තුළ ඔහුගේ ධනය ඩොලර් බිලියන 64 සිට බිලියන 177 දක්වා දෙගුණයකට වැඩි ප්‍රමාණයකින් වර්ධනය විය.(2) මෙසේ ඔහුට අති මහත් ධනයක් ගොඩ ගසා දීම වෙනුවෙන් ඇමසෝන් ආයතනයට අනුබද්ධව ලොව පුරා මිලියනයකට වැඩි සේවක පිරිසක් දුක්ඛිත සේවා තත්වයන් යටතේ වැඩ කරමින් සිටිති. ධනවත් රටවල සාපේක්ෂ ලෙස පවතින කම්කරු නීතිවලින් රිංගා ක්‍රියාත්මක වන අතිශය දුෂ්කර සේවා කොන්දේසි තිබියෙදී පවා ආර්ථික අර්බුදය විසින් නිර්මාණය කරන

රැකියා විරහිතයින් ආකර්ෂණය කරගැනීමට එය සමත්ය. මෙම සේවා කොන්දේසි දියුණු ලෝකයක් තුළ අතිශය නරුමය; වහල්භාවයට ආසන්නය. එකම වෙනස සේවයට පැමිණෙන්නා එම නරුම කොන්දේසි පිළිබඳව යම් අවබෝධයක් ඇතිව සේවයට පැමිණීමය.

එක්සත් ජනපදයේ කෙන්සාස්හි කොෆිවිලි නගරයේ ඇමසෝන් බඩු ගබඩාවේ සේවය කිරීම සඳහා පළ වූ දැන්වීමක රැකියා අපේක්ෂකයෙකුට සුදුසුකම් ලෙස උසස් විද්‍යාල ඩිප්ලෝමාවට අමතරව පැය 8-10 කාලයක් දෙපයින් සිටගෙන සිටීමටත් දවසකට සැතපුම් 10-15ක (කිලෝමීටර් 16-24) දුරක් ඇවිදීමටත් හැකියාව තිබිය යුතු වේ.(03) ඊට අමතරව බඩු තේරීම සඳහා ඉදිරියට නැමීමට, දෙපා මත වාඩි වී සිටීමට සහ ඒවා එසවීමට හැකියාව අවශ්‍යය. මෙම නූතන වහල්භාවය අත්විඳ ඉන් ඉවත් වූ අයගේ එක් සේවකයෙකුගේ අත්දැකීම් අනුව ඇමරිකාව තුළ නරකම සේවා තත්වයන් පවතින්නේ ඇමසෝන් තුළය. එහි පෙන්සිල්වේනියාවේ වර්ග අඩි මිලියනයක් පුරා විහිදුණු විශාල බඩු ගබඩාවේ සේවය කළ ඔහු කියන්නේ ආරක්ෂක මුරපොළේ සිට සම්පූර්ණ කළ යුතු වැඩ ඉලක්ක දක්වාත් බන්ධනාගාරයක් සිහි ගන්වන ආපනශාලාව දක්වාත් සේවා පරිසරය කෙනෙකු උමතු කරවන සුළු බවය.

බ්‍රිතාන්‍යයේ ඇමසොන් සමාගමේ ‘වහල් කඳවුරු’ අටෙන් ඕනෑම එකක් තුළ විශ්වාස කළ නොහැකි තරමේ වැඩ පීඩනයක් තුළ භාණ්ඩ එකතු කිරීම සඳහා දිනකට සැතපුම් 10කට වැඩි දුරක් ඇවිදීමට සිදුවීම, සෑම තත්පර 30කට වරක් භාණ්ඩයක් එකතු කිරීමට සිදුවීම ‘සාමාන්‍ය’ තත්වයකි. ජී.පී.එස්. තාක්ෂණය මගින් සේවකයාගේ හැසිරීම පරීක්ෂාවට ලක්කෙරද්දී වැසිකිළි පාවිච්චි කිරීමට වෙලාවල් නියම කෙරෙනු ඇත. සමාගමේ ඉලක්කයන් සම්පූර්ණ නොකරන සේවකයෙකු අවවාද කිරීම් තුනකට පසු සේවයෙන් පහකර දැමෙනු ඇත. භාණ්ඩ එකතු කරන්නන් සතු ඩිජිටල් ස්කෑනරය ඔවුන් සොයන භාණ්ඩයට ඇති කෙටිම දුර පෙන්වා දෙන අතර එය අතට ගන්නා තෙක් කාල අවරෝහණ ගණන් කිරීමක් සිදු කරයි. මෙලෙස ගෙවී යන්නේ පැය භාගයක වැටුප් සහිත විවේකයක් සහ වැටුප් රහිත විනාඩි 15ක විවේක කාල දෙකක් සහිතව පැය 10කට වැඩි දෛනික සේවා කාලයකි.

මේ අතර ලෝකයේ ඉහළම ධනවතාගේ සමාගම් ජාලයේ ප්‍රවාහන සේවකයින්ට අනුගමනය කිරීමට සිදුවන දුක්ඛිත සේවා කොන්දේසියක් පිළිබඳව ජාත්‍යන්තර මාධ්‍ය අනාවරණය කර තිබිණි. ඒ භාණ්ඩ බෙදාහැරීමේ තම සේවා මුරයන් අතර වැසිකිළි පහසුකම් සෙවීමට කාලය ගත කළ නොහැකි බැවින් වාහන තුළ සිටම ප්ලාස්ටික් බෝතල්වලට මුත්‍රා කිරීමට සිදුව තිබීමය. ඇමසෝන් සමාගමේ ‘කීර්තිමත්’ වෙළඳනාමය පින්තාරු කරනු ලැබ ඇති බෙදාහැරීමේ වෑන් රථ රියදුරන්ට දිනක පැය 10ක සේවා මුරය තුළ පාර්සල් 300ක් පමණ බෙදා හැරීමට සිදුවේ. ඊට වඩා කාලයක් ගතවීනම් නිදහසට කරුණු විමසා බැලෙනු ඇති අතර සේවයෙන් පහ වීමේ අවදානමකට මුහුණ පායි. රාත්‍රියට පෙර භාණ්ඩ බෙදාහැර අවසන් විය යුතුව ඇති අතර වැසිකිළි පහසුකම් සෙවීම සඳහා අවම වශයෙන් අදාළ මාර්ගයෙන් විනාඩි 10ක අමතර ගමනක් යාමට සිදුවෙයි. යාමට සහ ඒමට ආදී වශයෙන් සමස්තයක් ලෙස වරකට විනාඩි 30ක කාලයක් අහිමි වෙයි.

මේ තත්වය තුළ වැඩිපුර ජලය පානය කිරීමට සිදුවන ප්‍රවාහන සේවකයන් වැසිකිළි පහසුකම් සොයමින් සිටීමේ ප්‍රතිඵලය යනු ඔහුට සෑම රාත්‍රියකම නොබෙදූ පාර්සල් සහිතව ආපසු වාර්තා කිරීමට සිදුවීමය. එවැනි දේ නැවත රැකියාවක් සෙවීමට සිදුවීම තරම් ‘මාරාන්තිකය’. එබැවින් මෙම රියදුරෝ මාර්ගය පසෙකින් වාහනය නවතා හිස් වූ ප්ලාස්ටික් ජල බෝතල් මගින් ‘ගෙදර යන ගමන් විසඳුමක්’ සොයාගනිති. මේ බව හෙළිදරව් වීම හේතුවෙන් ලැජ්ජාවට පත් ඇමසෝන් සමාගම එම පුවත් ප්‍රතික්ෂේප කළ නමුදු ඡායාරූප සමග කරන ලද හෙළිදරව් කිරීම් හමුවේ එම පුවත් සත්‍ය බව පසුව පිළිගත්තේය. එහෙත් තත්වයන්ගේ කිසිදු වෙනසක් වී නැත. අර්ධ වහල් සේවකයින්ගේ මුත්‍රා අඩංගු බෝතල්වල ඡායාරූප වාර්තා අතරම ජෙෆ් බෙසොස්ගේ වත්කම් දෙගුණකින් ඉහළ ගිය පුවත්ද පළ වීම සරදමකි.               

ආහාර වෙනුවෙන් නිරුවතින්

2012 වසරේ ජර්මනියේ ීඤූාැරකඤූටමපහි සාප්පු හිමියෙක් තමන්ගේ නව සුපිරි වෙළඳසල විවෘත කිරීමේ ප්‍රවර්ධන කටයුත්තක් ලෙස පළමුවෙන්ම පැමිණෙන පාරිභෝගිකයන් සියදෙනෙකුට ඩොලර් 340ක (රු. 67,000) භාණ්ඩ නොමිලේ ලබා දීමට තීරණය කළේය. එයට වෙළඳාමක් වෙනුවෙන් කළ හැකි නරුමම වර්ගයේ කොන්දේසියක්ද එකතු වී තිබිණි. ඒ එසේ බඩු ගැනීමට පැමිණෙන්නන් නිරුවතින් පැමිණිය යුතු බවටය. වෙළඳසල් හිමියා පසුව මාධ්‍යයට ප්‍රකාශ කර තිබුණේ තමන් එතරම් පිරිසක් පැමිණෙනු ඇතැයි අපේක්ෂා නොකළද 250කට වැඩි පිරිසක් උදෑසන සිට පෝලිමේ සිටි බවය. ඡායාරූප ගත වන බව හෝ වීඩියෝ ගත කෙරෙන බවත් මිනිසෙකු ලෙස තමන්ගේ ආත්මගරුත්වය අහිමි වන බවත් නොසලකා හැර නොමිලේ ආහාර ද්‍රව්‍ය ලබා ගැනීමට ඉදිරිපත් වන තැනකට මනුෂ්‍යත්වය බිඳ වැට්ටවීමට ධනවාදය සමත් වී තිබිණි.

2021 වසරේ පළමු මාස 05 අවසන් වෙද්දී කොවිඞ් 19 වසංගතය හේතුවෙන් මිලියන 1.7කට වැඩි ජනතාවකට තම ජීවිත අහිමි වී ඇත. වසංගතයට දැනට ඇති එකම විසඳුම එන්නත්කරණය බව තහවුරු වී තිබියෙදී ඨ 7 ලෝක නායකයින් පසුගිය පෙබරවාරියේදී ප්‍රතිඥා දුන්නේ ගෝලීය එන්නත් සැපයුම වැඩි කරන බවටය. එහෙත් එන්නත්වලට අදාළ බුද්ධිමය දේපළ නීති ඉවත් කිරීමට හෝ දිළිඳු රටවල් තුළ එන්නත් නිෂ්පාදනය ඇරඹීමට ඔවුහු මේ දක්වා කටයුතු කර නැත. ඒ ඔවුන්ගේ හුදු අකමැත්ත හේතුවෙන් උපන් තත්වයක් නොවේ; ඒ, ලොව පුරා මිය යමින් සිටින හෝ රෝගී වීමේ අවදානමින් සිටින බිලියන සංඛ්‍යාත ජනතාවකට වඩා දැවැන්ත බහුජාතික ඖෂධ සමාගම්වල වුවමනාකම් වෙනුවෙන් පෙනී සිටීමට ඔවුන්ට සිදුවී ඇති තත්වයක් තුළය.

කොවිඞ් වසංගතය

කොවිඞ් වසංගතය ධනවාදී ලෝකය තුළ අසමානතාවය ඉතා හොඳින් පෙන්නුම් කළ දර්ශකයක් වී තිබේ. 2021 මැයි මාසයේදී ධනවත් රටවල (ඨ 7) දිනකට මිලියන 4.6ක ජනගනයක් එන්නත් කෙරෙමින් සිටි අතර මේ වේගයට අනුව 2022 ජනවාරි වන විට ඒවායේ සමස්ත ජනගහනයට එන්නත් ලැබී තිබෙනු ඇත. එහෙත් දිළිඳු රටවල දිනකට 63,000 බැගින් එන්නත්කරණය සිදුවෙද්දී සමස්ත ජනගහනයට ඒ හා සමාන තත්වයකට ළඟා වීමට වසර 57ක කාලයක් ගතවීමට නියමිතය. 2021 ජුනි වන විට නිෂ්පාදනය වී ඇති කොවිඞ් එන්නත් මාත්‍රා බිලියන 1.77කින් 28%ක් ළඟා වී ඇත්තේ ධනවත් රටවලටය. ඊට පරස්පරව ඒ හා සමාන ජනගහනයක් ඇති දිළිඳු රටවලට ලැබී ඇත්තේ එන්නත් මාත්‍රාවලින් 0.3ක් පමණි.

පොරොන්දුවලින් ඔබ්බට ගොස් බැලුවහොත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවැක්ස් ව්‍යාපෘතිය යටතේ මැයි මාසය වන විට දිළිඳු රටවලට ලැබී ඇත්තේ ලැබිය යුතු වූ එන්නත්වලින් 1/3ක් පමණි. එහි අර්ථය 2021 අවසන් වන විටත් එම රටවල ජනගහනයෙන් 10%කට පමණක් එන්නත් ලැබී තිබෙනු ඇති බවය. ඖෂධ සමාගම්වල ඒකාධිකාරය බිඳ දමා ලොව පුරා රටවලට ඖෂධ නිෂ්පාදනය කරගැනීමට ඉඩ දෙනු සඳහා පේටන්ට් අයිතිය හා නිෂ්පාදන තාක්ෂණය බෙදා ගන්නා ලෙසට තම ආණ්ඩු විසින් අදාළ සමාගම් වලට බල කළ යුතු යැයි ධනවත් රටවල ජනතාවගෙන් 70%කට වැඩි ප්‍රමාණයක් විශ්වාස කරද්දී නරුම ධනවාදය නියෝජනය කරන ආණ්ඩුවලට එම තීරණයට එළඹීම පහසු නොවේ. ඒ, ඔවුන් ජන වරම සමග ඇති බැඳීමට වඩා ධනවාදය සමග ඇති බැඳීම ශක්තිමත් බැවිනි. එබැවින් ඔවුන් වඩා කැමති වනු ඇත්තේ බිලියන සංඛ්‍යාත ජනතාව ඖෂධ සමාගම්වල පාරිභෝගිකයන් වීමට ඉඩ හැර, ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවැක්ස් ව්‍යාපෘතියට එන්නත් ප්‍රමාණයක දායකත්වයක් ලබා දී අත පිසදා ගැනීමටය.

ගෝලීය වසංගතය හමුවේ මෙම දේශීය සහ ජාත්‍යන්තර නරුම ධනවාදයට කළ හැකි දෙය වන්නේ දිළිඳු, අවවරප්‍රසාදිත, සෞඛ්‍ය පහසුකම්වලට ප්‍රවේශයක් නොමැති අති මහත් ජනතාවක් රෝගයට බිලි දී සෙමින් සමූලඝාතනය කර දැමීමය. 

ව්‍යසන ධනවාදය

2020 වසර පොදුවේ සැලකෙන්නේ කොවිඞ් 19 වසංගතයෙන් පීඩා විඳි ලෝකයේ ආර්ථිකය එක තැන පල්වූ හෝ කඩා වැටුණු කාලයක් ලෙසය; මිලියන ගණනකට සිය රැකියා අහිමි වූ කාලයක් ලෙසය. ජීවන තත්වය පහළ ගිය කාලයක් ලෙසය. මේ පිළිබඳ විවිධ රටවල අත්දැකීම් බහුලව ගලා ආවේය. එහෙත් ස්වාභාවික හෝ මිනිසුන් විසින් නිර්මිත හෝ වේවා පොදුවේ ව්‍යසන, අති මහත් පීඩිත ජනතාවට මාරාන්තික වුවද ධනවාදයට ලාභ උපදවන ඉල්ලම්ය. ලෝකය අදටත් පීඩා විඳිමින් සිටින කොවිඞ් ව්‍යසනය මැද ලොව පුරා බිලියනපතියන්ගේ සංඛ්‍යාව ඉහළ යමින් ඇත්තේ එබැවිනි. ෆෝබ්ස් සඟරාවට අනුව 2020 වසර තුළ පමණක් අලුත් බිලියනපතියන් 493ක් බිහිවී තිබේ. එහි තේරුම සෑම පැය 17කටම වරක් අලුතින් කෝටිපතියෙකු බිහිව තිබීමය.

ව්‍යසන මගින් ලාභ ගරා ගැනීමට පාර කපා ගැනීම ධනවාදයට අලුත් අත්දැකීමක් නොවන නමුත් එය ධනවාදයේ නරුම ස්වභාවය පෙන්වා දෙයි. කැනඩා ජාතික නයෝමි ක්ලේන් (Naomi Klein) තම The Shock Doctrine: The Rise of Disaster Capitalism (කම්පන ධර්මය: ව්‍යසන ධනවාදයේ නැගීම) කෘතියේ මෙම තත්වය විස්තර කරයි. ඇය ප්‍රකාශ කරන්නේ නව ලිබරල්වාදී වෙළඳපොළ ප්‍රතිපත්ති ඇතැම් දියුණු රටවල ප්‍රමුඛතාව හිමිකර ගෙන ඇත්තේ ‘කම්පන ප්‍රතිකාරය’ (රාජ්‍ය දේපළ මහා පරිමාණයෙන් පෞද්ගලීකරණය කිරීමේ වෙළඳපොළ ලිබරල්කරණය) උපායමාර්ගයක් ලෙස භාවිත කිරීම මගිනි. දැනුවත් ප්‍රතිචාරයක් ලබාදීමට සහ ප්‍රමාණවත් විරෝධයක් දැක්විය නොහැකි ලෙසට පුරවැසියන් මානසිකව හා කායිකව වියවුල් වී සිටියෙදී මතභේදාත්මක සහ ගැටලුකාරී ප්‍රතිපත්ති සමාජගත කිරීමට ධනවාදය ජාතික අර්බුදයන් කූට ලෙස පාවිච්චි කරනු ලබන බව එයින් පෙන්වා දෙයි.

මිනිසුන් දස දහස් ගණනක් මිය ගිය, තුවාල සිදුවූ හා මානසිකව බිඳවට්ටවන තවත් මානව ඛේදවාචකයන් ගෝලීයව හා දේශීයව දිගහැරෙමින් තිබියෙදී ධනවාදයේ නරුම හැසිරීම් ඓතිහාසික සිදුවීම් කිහිපයක් ඇසුරින් මෙසේ පැහැදිලි කර ගත හැකිය.

● රුසියාව

ගෝලීය ධනවාදය විසින් අභ්‍යන්තර හා බාහිර ප්‍රහාර එල්ල කර 1991දී සමාජවාදී සෝවියට් දේශය බිඳ දමනු ලැබීමෙන් පසු සියල්ල බිඳ වැටුණු රුසියාවට ‘නව ආරම්භයක්’ ලෙස හඳුන්වා දෙමින් ධනවාදී කම්පන ප්‍රතිකාර (ීයදජන ඔයැර්චහ) හඳුන්වා දෙනු ලැබුවේ 1992 වසරේදීය. එය කෙතරම් නරුම නව ආරම්භයක් වීද යත් සියදිවිනසා ගැනීම් වේගයෙන් ඉහළ නගින්නට පටන් ගත් අතර 1994 වන විට එම අගය ඊට වසර 08කට පෙර පැවති අගය මෙන් දෙගුණයක් විය. එසේම අපරාධ අගය පවති අගය මෙන් සිව් ගුණයකින් ඉහළ ගියේය. සෝවියට් දේශය බිඳවැටීමෙන් වසර 15කට පසු 2006දී ‘අපරාධකාරී ධනවාදය’ රුසියානු ජනගහනය 10%කින් පහත හෙළනු ලැබ තිබිණි. මේ අපරාධකාරී ධනවාදයේ තවත් ‘හපන්කමක්’ දැකිය හැකි වූයේ 1990 දශකයේ අගභාගයේ නැගෙනහිර ආසියානු රටවල් ආර්ථික අර්බුදයට මුහුණ දෙමින් තිබියෙදීය. 1998දී දකුණු කොරියාවේ සියදිවිනසා ගැනීම් ප්‍රතිශතය 50%කින් ඉහළ ගියේ වියපත් දෙමව්පියන්ට තමන්ගේ ණය බර දරුවන් මතට පැටවීම වැළැක්වීම සඳහා මරණය තෝරා ගැනීමට බල කෙරුණු බැවිනි. මේ සියල්ලට තුඩු දුන් කම්පන ප්‍රතිකාර හඳුන්වා දුන් වෝල් ස්ටී්‍රට්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව වැනි මූල්‍ය බලවත්හු මේ මානව ඛේදවාචකයන් ඇස නොගැසුණු ලෙසින් සිටි නමුදු එම අර්බුදයන් පෙරළා ධනවාදය තවදුරටත් ව්‍යාප්ත කිරීමට අවස්ථාවන් ලෙස පාවිචිචි කර ගත්හ.

● එක්සත් ජනපදය       

2005 වසරේ ඇමරිකානු එක්සත් ජනපදයට කඩාවැදුණු කත්‍රිනා සුළි කුණාටුව හේතුවෙන් පැනනගුණු තත්වයයි. මෙයින් වඩාත්ම බැට කෑ ප්‍රදේශයක් වූයේ නිව් ඕලියනස් ප්‍රාන්තයය. නිව් ඕලියන්ස් ප්‍රාන්තය තුළ ඉතා හොඳින් ක්‍රියාත්මක වෙමින් තිබූ රාජ්‍ය අධ්‍යාපන පද්ධතිය කුණාටුවෙන් පසු වේගයෙන් පෞද්ගලීකරණය කෙරිණි. රාජ්‍ය පාසල් පෞද්ගලික, ලාභ ලබන පාසල් බවට පත් කරනු ලැබිණි. ඒවායේ වැඩිමහළු හා පලපුරුදු ගුරුවරුන් සේවයෙන් ඉවත් කොට ඒ වෙනුවට අඩු වැටුප්වලට සහ රාජ්‍ය පාසල් පද්ධතිය තුළ ගුරුවරුන් භුක්ති විඳි පහසුකම් රහිතව තරුණ ගුරුවරුන් බඳවා ගැනිණි.

● ඉරාකය

රසායනික අවි සඟවාගෙන සිටින බවට චෝදනා කරමින් සදාම් පාලනයට පෙරළා දැමීම සඳහා 2003දී එක්සත් ජනපදය, එක්සත් රාජධානිය ප්‍රමුඛ යුද සන්ධානය විසින් ඉරාකය ආක්‍රමණය කරන ලදී. ඒ සඳහා සහභාගි වන ලෙසට ඇමරිකාව සෙසු රටවලට ඇරයුම් කළේම ඉරාකය නැවත ගොඩනැගීමේ කොන්ත්‍රාත්තු යුද්ධයට එක් නොවන රටවලට ලබා නොදෙන බව කියමිනි. එය ප්‍රකාශ වූ පරිදිම යුද්ධයෙන් පසුව ඉරාකයේ අති මහත් ජනතාව ආර්ථික අර්බුදය තුළ හා දේශපාලන අරාජිකත්වය හමුවේ පීඩා විඳිද්දී එක්සත් ජනපද ඉදිකිරීම් සමාගම්වලට දැවැන්ත ලාභ ඒකරාශි කරවීය.

● දකුණු අප්‍රිකාව

1994දී දකුණු අප්‍රිකානු ජනතාව වර්ණ භේදවාදී ආණ්ඩුව ඉවත්කොට නෙල්සන් මැන්ඩෙලාගේ නායකත්වය යටතේ සාකච්ඡා මේසයෙන් ප්‍රජාතන්ත්‍රවාදය දිනා ගත්තේ මහත් බලාපොරොත්තු තබමිනි. ඒ ප්‍රජාතන්ත්‍රවාදයේ සුභ සිහින මැද අතරමං කරනු ලැබූ අති මහත් පීඩිත දකුණු අප්‍රිකානු ජනතාව කරා ආර්ථිකය බලය හුවමාරු වීම වළකනු ලැබිණි. මෙම කටයුත්ත සිදු කරනු ලැබුවේ මෙම සාකච්ඡාවන්ටම අනුග්‍රහ දැක්වූ ජාත්‍යන්තර මූල්‍ය ආයතනයන් විසිනි. ඔවුන්ගේ කොන්දේසි හේතුවෙන් නව බල හුවමාරුවෙන් පසුද ධනපති සමාගම්වල වුවමනාකම්වලට කිසිදු බලපෑමක් නොකළේ මිලියන සංඛ්‍යාත දිළිඳු දකුණු අප්‍රිකානුවන්ගේ ජීවිතවල දුක්ඛිතභාවයේ කිසිදු වෙනසක් සිදු නොකරමිනි.

● ශ්‍රී ලංකාව

නරුම ධනවාදය ලෝක පරිමාණයෙන් මෙසේ කටයුතු කරද්දී ලංකාව තුළද ඔවුන්ගේ හැසිරීම වෙනස් නොවේ. 2004 දෙසැම්බරයේ ඉන්දුනීසියාවට ආසන්න මුහුදේ ඇතිවූ භූ කම්පනයක ප්‍රතිඵලයක් ලෙස ඇති වූ සුනාමි තත්වය ශ්‍රී ලංකාව ඇතුළු ඉන්දියානු සාගරයේ වෙරළබඩ රටවලට සිදු කළේ බිහිසුණු විනාශයකි. ශ්‍රී ලංකාවේ වෙරළබඩ ජීවත් වූ 30,000කට වැඩි ජනතාවකට තමන්ගේ ජීවිත අහිමි වූ අතර දිළිඳු ධීවර ගම්මාන සිය ගණනක් තිබූ තැනක් සොයාගැනීමට නොහැකි වන සේ විනාශ වී ගියේය. මෙය අවස්ථාවක් කර ගනිමින් වෙරළබඩ පදිංචිව සිට අවතැන් වූ ජනතාව ආණ්ඩුව විසින් තීරණය කරන ලද වෙනම ස්ථානවල පදිංචි කරවන ලද අතර මෙසේ පදිංචි කරවන ලද බොහෝ දෙනෙකුට තමන්ගේ මුල් භුමියට දුරින් පදිංචි කරවනු ලැබීම හේතුවෙන් ජීවිකාවට අදාළව අමතර දුෂ්කරතා පැන නැග තිබිණි. කෙසේ වුවද වාණිජ වශයෙන් වැදගත්වූ ඔවුන්ගේ මුල් භූමිභාගයන් ධනවතුන් වෙනුවෙන් වූ හෝටල් සඳහා වෙන් කරගනු ලැබිණි.

ආසන්නතම ව්‍යසනකාරී තත්වය සලකා බැලුවහොත් කොවිඞ් 19 වසංගතය ධනපති ජාවාරමුන්ට වසන්තයක් වී ඇති ආකාරය පිළිබඳව සමාජ මාධ්‍යයන්හි තොරතුරු රැසක් වාර්තා විය. විශේෂයෙන් විදේශයන්හි සිට පැමිණෙන ශ්‍රී ලාංකිකයන්ට අධික මිලට ගුවන් ටිකට්පත් විකිණීමත් පී.සී.ආර්. (PCR) කිරීමද ඇතුළු නිරෝධායන පහසුකම් වෙනුවෙන් හෝටල් කාමර ලබාදීමට අධික මිල ගණන් අයකිරීමත් හෝටල් සැපයීමත් දැඩි විවේචනයට ලක්ව තිබුණේ අසරණභාවයෙන් මුදල් උපයන දේශපාලනයට සම්බන්ධ ව්‍යාපාරිකයන්ගේ නරුමකම විදහා පාමිනි. කොවිඞ් ප්‍රතිදේහ පරීක්ෂණ කට්ටල (RAT)  ආනයනය කිරීමේදී මෙන්ම පෞද්ගලික රෝහල්වල පී.සී.ආර්. පරීක්ෂණ සිදුකිරීමේදීද ඔවුන්ගේ අධික ලාභ ලැබීමේ උත්සාහය රහසක් වූයේ නැත. රුපියල් 250කට පමණ මිලක් වන එතනෝල් ස්ප්‍රීතු ලීටරයක් අතිශය සාන්ද්‍ර අතසෝදන විෂබීජ නාශක දියර (Sanitizer) ලීටරයක් බවට පත්වෙද්දී රුපියල් 2,500-3,000 මිලක් බවට පරිවර්තනය වන්නේ මේ කොවිඞ් තත්වය තුළ අතසේදීම අනිවාර්ය අවශ්‍යතාවක් වී තිබියෙදීය.

කොවිඞ් වසංගතය මැද ජනතා අවධානය වෙනතක තිබියෙදී ආණ්ඩුව 2021 මැයි 20වැනි දින රටේ ස්වෛරීභාවයට අභියෝග කළ පෝට් සිටි කොමිෂන් සභා පනත සම්මත කරගැනීමට උත්සුක වීමද මෙහිලා සැලකිල්ලට ගත හැකි තවත් කරුණකි. මුළු රටම කොවිඞ් 19 වසංගතය හමුවේ සංචරණ සීමා ඇතුළු දැඩි කොවිඞ් සෞඛ්‍ය නීති ක්‍රියාත්මක වෙමින් තිබියෙදී හා දෛනිකව 2000කට වැඩි ආසාදිතයින් හා 20කට වැඩි නිල කොවිඞ් මරණ වාර්තා වෙමින් තිබියෙදී ආණ්ඩුව වරාය නගර කොමිෂන් සභා සංවර්ධන පනත් කෙටුම්පත සම්මත කරගැනීම තමන්ගේ න්‍යාය පත්‍රයේ මුලට ගත්තේය. ඒ, එම පනත පිළිබඳව රට තුළ ප්‍රමාණවත් සංවාදයක් ඇතිවීමට හෝ ජනතා විරෝධයක් ගොඩනැගීමට ඉඩ නොමැති වටපිටාවකය.                                 

ධනවාදය එහි ආරම්භක අවදියේ වැඩවසම් යුගයට සාපේක්ෂව ප්‍රගතිශීලී වැඩකොටසක් ඉටු කළද එය වත්මන් අවධියේ ක්‍රියාත්මක වෙමින් තිබෙන්නේ මානව සමාජය නරුමත්වය වෙතට රැගෙන යාමට සහ අතළොස්සක් වෙනුවෙන් තව තවත් ලාභ හඹායාමටය. මේ තත්වය පොදුවේ මානව පැවැත්ම පමණක් නොව සමස්ත ජෛව පද්ධතියේම පැවැත්ම අභියෝගයට ලක්වන තැනකට ලෝකය ඇදවට්ටනු ඇති බවට ලැබෙමින් ඇති සංඥාවන් විසින් වුවමනාවටත් වඩා අනතුරු අඟවයි.

● වසර මිලියන 65කට පෙර ස්වාභාවිකව සිදු වූ ජීවීන්ගේ වඳ වී යාම් මෙන් 1000ක වේගයෙන් මේ වන විට ජෛව විශේෂයන් වඳ වෙමින් පවතී.

● 2000 වසරේ සිට සෑම වසරකම හෙක්ටයාර මිලියන 06කට වැඩි නොඉඳුල් වනාන්තර ප්‍රමාණයක් එළි කෙරෙමින් පවතී. එනම් වසරකට අක්කර 14,826,322ක භූමි භාගයකි.

● ලොව පුරා බිලියනයකට වැඩි ළමුන් සංඛ්‍යාවක් ශාරීරික, ලිංගික හා විවිධාකාරයේ ප්‍රචණ්ඩත්වයක් අත්විඳිමින් සිටිති.

● ලෝක ජනගහනයෙන් 15%ක් එනම් බිලියන 1.2ක ප්‍රමාණයක් බහු විධ දිළිඳුකමකට උරුමකම් කියති. ලෝක බැංකුවේ පුරෝකථනය වනුයේ 2021 වසර වන විට කොවිඞ් 19 වසංගතය හේතුවෙන් අමතර මිලියන 150ක ජනගහනයක් දිළිඳුකමට වැටෙනු ඇති බවය.

ධනවාදී සමාගම් සංවේදී වන්නේ පාරිභෝගිකයින්ගෙන් ඉපිදවිය හැකි ලාභය ගැනය. ඒ වෙනුවෙන් මූල්‍ය කේන්ද්‍රයන්ගෙන් ලැබෙන ඇඟවුම් ගැනය. ලෝකයේ සම්පත් නැවත නැවතත් සූරාකමින් සිටින්නේ එය පාරිසරික වශයෙන් කෙතරම් හානිදායකද යන්න සලකමින් නොවේ. ඔවුහු එතැනින් නතර නොවෙති. වසර 20 කාලයක් සමාගම්වල අරමුදල් යෙදවුණු ආකාරය පිළිබඳව පර්යේෂණයක නිරත වූ යේල් විශ්වවිද්‍යාලයේ සමාජවිද්‍යාඥ ජස්ටින් ෆාරෙල් ප්‍රකාශ කරන පරිදි ‘සමාගම් තමන්ගේ ධනය දේශගුණික වෙනස්වීම්වලට ප්‍රතිවිරුද්ධ මත ප්‍රවර්ධනය කිරීම සඳහාත් සැබැවින්ම යථාර්ථවාදී නොවන විද්‍යාත්මක විසඳුම් සොයා ගනු ඇති බවට වන මතවාදයක් තහවුරු කිරීම සඳහාත් පාවිච්චි කරනු ලැබ ඇත.’(9)   

2050 වන විට බිලියන 10ක ජනගහනයක් සහිතව ධනවාදී ලෝකය කවර තැනකට ගමන් කරනු ඇත්ද? මෙම ජනගහනයේ අවශ්‍යතා සම්පූර්ණ කිරීම වෙනුවෙන් ගෝලීය ධනවාදය තම නිෂ්පාදන ක්‍රියාවලිය ඉදිරියට ගෙන නොයනු ඇත. ලෝකයේ සම්පත් බෙදාහදා ගනිමින් පාවිච්චි කිරීමට ගෝලීය ධනවාදය කාරුණික වනු ඇත්තේ නැත. මුළු මහත් ලෝකයම කොවිඞ් 19 වැනි වසංගතයකින් පීඩා විඳිද්දී මානුෂික නොවූ නරුම ධනවාදය 2050දී බිලියන 10ක ජනතාවකගේ කුසගින්න නිවීම වෙනුවෙන් කාරුණික නොවනු ඇත. එංගල්ස් කී ලෙසම එක්කෝ මානව සංහතිය සමාජවාදය තෙක් ඉදිරියටය. නැතහොත්  ම්ලේච්ඡත්වය දක්වා ආපස්සටය.

ධනවාදයේ ඛේදවාචකය